වසන්තය ආවාම, මල් කඩන්නට එන්න…!

“තමුන් දන්නව ද මම කවුද කියලා…?” ගුවන් තොටුපළ සේවයේ නිරත වෙලා හිටිය තරුණ නිලධාරියෙකුට මේ විදියට තර්ජනය කළේ මිල අධික කබායක් එක්ක ටයි පටියක් දාගෙන හිටපු “වැදගත් පන්නයේ මහත්තයෙක්”.

ගුවන් යානයට ගොඩවෙන්න පෝලිම් හැදිලා හිටියා මිනිස්සු අතරින් හොර පාරෙන් පෝලිම පනින්නට ගිය මේ තැනැත්තාව ගුවන් තොටුපළ සේවයේ යෙදිලා හිටියා නිලධාරියා අතින් අල්ලලා නතර කළාට පස්සේ තමයි ඔය කියන “මහත්තයා” සැර පරුස ලීලාවෙන් ඔහොම තර්ජනය කළේ.

ඒත් නිලධාරියා බොහොම තීක්ෂණ නුවණක් තිබුණු තරුණයෙක්.

“අනේ නැහැ… මම දන්නේ නැහැනේ… ඒත් මට පුළුවන් වේවි උදව් කරන්න”,  සිනාවකින් පි‍ළිතුරු දුන්නු තරුණයා පෝලිමේ ඉන්න හැමෝටම ඇහෙන්න උස් හඬින් මෙහෙම කිව්වා: “මේ මහත්තයාට එයා කවුද කියලා මතක නැහැලු…. කාට හරි පුළුවන් ද උදව් කරන්න…?”

පෝලිමේ හිටපු මගී ජනතාවගෙන් නැගුණු කසුකුසුව දැඩි විරෝධයකට පරිවර්තනය වෙද්දී  ටයි පටිය තෙමෙන තරමටම දහදියෙන් පෙගිච්ච “මහත්තයාට”ලැජ්ජාවෙන් පසුබහිනවා හැරෙන්නට වෙනත් කිසිම විකල්පයක් ඉතිරි වුණේ නැහැ.

මේක විදෙස් ගුවන් තොටුපළක දී සිද්ධ වුණු සැබෑම සිදුවීමක් වුණත් ලංකාවේ අපිටත් හරිම අදාළයි. හේතුව රටේ ප්‍රධානතම පුරවැසියා තාමත් දන්නේ නැහැ තමන් කවුද කියලා. ඔහු විතරක් නෙමෙයි පාර්ලිමේන්තුවේ ඉන්න විශ්‍රාම ගිය මහලු ජනාධිපතිවරුන් දෙන්නාත් දන්නේ නැහැ තමන් කවුද කියලා. කැබිනට් මණ්ඩලයට නම් කොහෙත්ම අවබෝධයක් නැහැ. ඒ විතරක් නෙමෙයි පාර්ලිමේන්තුව නියෝජනය කරන බොහොමයක් පිරිස දන්නෙත් නැහැ තමන් කවුද කියලා. වොයිස්කට් නිකායේ “භික්ෂූන්” දන්නෙත් නැහැ තමන් පොරවා ගෙන ඉන්නේ චීවරයක් කියලා. ඉතින් එයාල කවුද කියලා එයාලටම තේරුම් කරවන්න තමයි ගෝල් පේස් පිටිය කේන්ද්‍ර කරගෙන දෙවුන්දර තුඩුවේ ඉඳන් පේදුරු තුඩුව දක්වාම මිනිස්සු පාරට බැහැලා තියෙන්නේ.

සැඟවුණු ජනාධිපති අමුත්තා

“If what I say now seems to you be very reasonable, then I’ll have failed completely” (මම මේ කියන දේවල් සාමාන්‍ය දේවල් විදියට ඔබට පෙනෙනවා නම්, මගේ උත්සාහය හැම අතකින්ම අසාර්ථකයි) 1964 දී ආතර් සී ක්ලාක් ඔන්න ඔය විදියට කිව්වේ වසර 2000 දී ලෝකය කොයි විදියේ ස්වරූපයක් ගනීවිද කියලා විස්තර කරද්දී. ඒකට හේතුව වසර 2000 දී ලෝකයේ සිද්ධ වෙන්න පුළුවන් තාක්ෂණික දියුණුව 1964 තරම් කාලයක දී හිතාගන්නවත් බැරි තරම් පුදුම සහගත වෙන්න පුළුවන් හින්දා.  

දශක ගණනාවක් පුරාම වහල්ලු විදියට වශී බෝල, සාටකවලට යටවෙලා හිටපු අයත් මේ ජනතා නැගිටීම තේරුම් ගන්නෙ 1964 දී ආතර් සී ක්ලාක් ආමන්ත්‍රණය කළ මිනිස්සු වගේ තමයි. සීයගෙන් තාත්තට, තාත්තගෙන් පුතාට පරම්පරා ගණනාවක්ම වහල් මානසිකත්වයකට හුරුවුණාම වහල්ලු වුණත් වැඩියෙන්ම ආදරය කරන්නේ තමන්ගේ යදම්වලට. මේ නිසා රජ පවුලක බරකින් නිදහස් වීම කියලා හිතන එක පවා හදවත කීරි ගැස්සීලා යන කාරණාවක්. “ජනාධිපති අයින් කරලා කවුද ගේන්නේ?…”, “ඉතින් ඊට පස්සේ මොකද වෙන්නේ…?”,  “අරගලය නිසා ඩොලර් ප්‍රශ්නය උග්‍ර වේවි….”,  “88/89 වගේ කාලයක් ආපහු ඒවි…” ඔන්න ඔය වගේ ආතක් පාතක් නැති ඔලමොට්ටල කතා කියන්නේ ඔය විදියට හීත හොඳටම කීරිගැස්සුණු උදවිය.

තවත් සමහරුන්ට තේරෙනවා ජනතාවගෙන් බහුතරය වහල්භාවයෙන් පුරවැසිභාවයට සංක්‍රමණය වෙන එක මේ වතාවෙ නම් වළක්වන්න බැහැ කියලා. ඇදිවතත් කරට අරන් බරටම කඩේ ගිය මේ පිරිසගෙන් ලැජ්ජාව බය ගෑවිලා තිබුණු උදවිය තමන්ගෙන් සිද්ධ වුණු වරදට ජාතියෙන් සමාව ඉල්ලලා ඉවරයි. ඒත් තවත් සමහරුන් ඉන්නවා උද්දච්චකම නිසාම තමන්ගේ දේශපාලන නූගත්කම ප්‍රදර්ශනය වීම වහගන්න හදන උදවිය. අන්න ඒ අය තමයි “225ම එපා… අපි ගේමු අලුත්ම කෙනෙක්” වගේ ගොබ්බ කතා කියන්නේ. ඒත් ඒ “සැඟවුණු ජනාධිපති අමුත්තා” වගේම බ්‍රෑන්ඩ් නිව් 225 කවුද කියන එක ඇහුවොත් විරිත්තනවා හැරෙන්නට උත්තරයක් එයාලටවත් නැහැ.

තවත් පිරිසක් ඉන්නවා මේ අරගලය අතරේ මාරාන්තික නින්දක. ඒත් අරගලයේ යෙදිලා ඉන්න තරුණයෙක් වැරදිලා හරි තමන්ගේ පෙම්වතිය එහෙම සිප ගත්තොත්… එහෙමත් නැතිනම් අරගල භූමියේ භික්ෂූන් වහන්සේ නමක් මුස්ලිම් ජාතිකයෙක් එක්ක තේ කෝප්පයක් එහෙම තොල ගානවා වගේ චායාරූපයක් එහෙම දැක්කොක් එක සැරේටම අවදි වෙලා “සංස්කෘතිය, ජාතිය, ආගම” රැක ගන්නට සියලු අවි අමෝරා ගන්නේ එයාලා තමයි. (“ඩයිහාඩ් බයියන්” කියන්නේ එයාලට. මේ වගේ අය වෙනුවෙන් සංස්කෘතිය රැකලා දෙන්න තමයි “පාලම යට” ඉඳන් චීත්තයෙන් සාරියට මාරු වෙච්ච අලුත්ම සංස්කෘතික ඇමතිනියක් ප්‍රාදුර්භූත වෙලා තියෙන්නේ).

මේ අතරේ තවත් පිරිසකගේ කාර්යභාරය තමයි හාන්සි පුටුවල ඉඳන් අරගලයට උපදෙස් දීම. රට ඇතුලේ සිද්ධ වෙන හැම දෙයකටම ඉස්පාසුවක් නැතිව අටුවා ටීකා ලියන එක තමයි එයාලගෙ කාර්යය. ලෝකයේ කීර්තිමත්ම විශ්ව විද්‍යාලවල සමස්ත ආචාර්ය මණ්ඩලයම එකතු කළත් හැම විෂයකටම මේ තරම් ප්‍රවීණයන් වෙච්ච විශ්ලේෂකයන් හොයා ගන්න බැහැ. ඒකත් හරියට අර දුර්දාන්ත පාලකයන්ගේ පරපුර බුදුන් උපන් ශාක්‍ය වංශයට සම්බන්ධ කරලා තමන්ගේ මඩිය පුරවා ගත්ත කලාහොරුන් තමන් ඉතිහාසය පිළිබද පකීර්ලා කියලා හිතාගෙන ඉන්නවා වගේ වැඩක්. එහෙමත් නැතිනම් උපන්තේකට පාටක් දැකලා නැති අන්ධ ජ්‍යොතීර්වේදීන් ජය වර්ණය කියනවා වගේ දෙයක්.

නැවුම් දේශයක අරුණළු උදාකරවන්නට මහ වැස්සට තෙමි තෙමී, කිරි කැටි දරුවොත් එක්ක සීතලේ රැය පහන් කරන පිරිස ගැන කිසිම හැඟීමක් නැති ආත්මාර්ථකාමී අසංවේදී පිරිසත් අපි අතර ඕන තරම්. ඒ අය තමයි, තමන් විනෝද වෙන මල් උයන්, දිය ඇළි, ගංගා, ඇළ දොළ, තමන් ගොඩ වැදුණු කෝපි අවන්හලක වගතුග, උපන් දින කේක් ගෙඩියේ ගරු ගාම්භීරකම වගේ දේවල් නිතර නිතර ප්‍රදර්ශනය කර කර ඉන්නේ. තමන් ලෝකයේ කොතැන හිටියත් තමන් වෙනුවෙන් නිදහස් අධ්‍යාපනයට මුදල් වියදම් ක‌ළේ අරගලයට සම්බන්ධ තරුණ පරපුරේ දෙමව්පියන් නේද කියලා හැඟීමක්වත් මේ අයට නැහැ.

වහලුන්; පුරවැසියන් බවට රූපාන්තරණය වීම

ලාංකිකයන්ගෙන් බහුතරය “පෘතුගීසිකාරයා රටවල් අල්ලන්න සූරයා” කියන සිංදුවටත් නටන්න පුරුදු වෙලා ඉන්න ජාතියක්නේ. මේ හින්දා කොයි තරම් හිරිකිත කතාවක් වුණත්, එක ලේ බිඳක්වත් නොහෙලා 1948 දී නිදහස ගත්තා කියලා කියලා අපි කියන්නේ හරිම ආඩම්බරෙන්. ඒකට හේතුව නිදහස කියලා අපිට බන්දේසියක දාලා පරිත්‍යාග කළේ නිදහසක් නොවේය කියලා හිතන්න තරම්වත් අවබෝධයක් අපිට නැති හින්දා. නිදහස වෙනුවෙන් සටන් වැදුණු ඉන්දියාවට නිදහස දීලා ගෙදර යන ගමන් තමන්ගේම වියදමින් “Independence” කියලා පිංතාරු කරපු බෝඩ් ලැල්ලක් අපිට දීලා යන්න සුද්දා දෙසැරයක් හිතුවේ නැහැ. ඒකට හේතුව තමන් නැතිවුණත්, තමන්ට උවමනා විදියට හීලෑ කරපු නායක පැලැන්තියක් ඒ වනවිටත් පුරුදු පුහුණු කරලා තිබුණු හින්දා. එහෙම බැලුවම අපේ රටේ නිදහස් අරගල විදියට ඇත්තටම නම් කරන්නට පුළුවන් කැරලි තිබුණේ දෙකයි. ඒ 1818 කැරැල්ලයි, 1848 කැරැල්ලයි. ඒත් ඒ කැරලි දෙකම අධිරාජ්‍යවාදී පීඩනයට එරෙහිව ගහපු කැරලි.

ඓතිහාසික හේතූන් එක්ක සලකා බලද්දී රාජ්‍ය මර්දනයට එරෙහිව නැගුණු 71 සහ 88/89 තරුණ නැගිටීමත් කිසිසේත්ම නොසලා හරින්න බැහැ. තරුණයෙන්ගෙන් මතුවුණු ඒ නැගිටීමට පිළිතුර විදියට මරණය සහ උණ්ඩය ප්‍රදානය කරනවා වෙනුවට විසඳුම් ලබා දුන්නා නම් තිස් අවුරුදු යුද්ධයක්වත්, අද තරුණ පරපුර මුහුණ දෙන මේ ඛේදවාචකයවත් මේ විදියට දකින්න ලැබෙන්නේ නැහැ.

කොහොම වුණත් අපේ ඉතිහාසයේ පළමු නිදහස් අරගලය විදියට මේ මොහොතේ ඇතිවෙලා තියෙන තාරුණ්‍යයේ අරගලය හැඳින්වීම වරදක් නැහැ කියලා හිතන්නට හේතු ගොඩක් තියෙනවා. ප්‍රධානතම හේතුව තමයි අපේ රටට සර්ව ජන ඡන්ද අයිතිය හිමිවුණු දවසේ ඉඳන්ම ඡන්දදායකයන්ගෙන් බහුතරය “වහල්ලු” විදියට ලේබල්  වෙලා තිබුණු වර්ගීකරණය “පුරවැසියන්” කියන ලේබලයට පරිණාමය වුණු මුල්ම අවස්ථාව තමයි මේ අරගලය.

දෙවැන්න තමයි ඉතිහාසයේ කොයි කවරදාකවත් නොදුටු විදියට සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් විතරක් නෙමෙයි බෞද්ධ, ක්‍රිස්තියානි, කතෝලික, හින්දු, ඉස්ලාම් කියන හැම ජනවර්ගයකම, හැම ආගමකම ජනතාව එකම ධජයක් යටතට එකතු වුණු මුල්ම අවස්ථාවත් මේකම තමයි.  කිසිම දවසක එකට පෙළපාලි නොගිය පිරිස (රාජ්‍ය සරසවි සිසුන් එක්ක පෞද්ගලික සරසවි සිසුන් වගේ අය) එකම අරගලයක කොටස්කරුවන් වීමම කොයි තරම් සුන්දරද?

මේ අරගලය නිර්ධන පංතිය සහ ධනපති පංතිය අතර ඇතිවුණු අරගයක් කියනවාට වඩා නිවැරදියි පීඩකයාට එරෙහිව පීඩිතයා නැගී හිටපු අරගලයක් කියලා හඳුන්වන එක. නිර්ධන පංතියටත් වඩා මේ අරගලයට සම්බන්ධ වෙලා ඉන්නේ මැද පංතියටත්, ඉහළ මැද පංතියටත් අයිති මිනිස්සු. 1953 හර්තාලයේදීවත් මෙහෙම දෙයක් සිද්ධ වුණේ නැහැ. කොටින්ම කිව්වොත් බොහෝ දෙනෙකු තමන්ගේ ජීවිත කාලය තුළ දී දකින්නට ලැබේවි යැයි නොසිතූ අරගලයක් තමයි මේ. 

ඔව්… ඒ නිසාම මේ අරගලය මහාවංසයේ නූතන පරිච්ඡේදයේ රන් අකුරින් ලියැවෙන කතාවක්.

එන්න යන්න කානිවල්

ගාලු මුවදොර අරගලය කානිවල් සැණකෙළියකට සමකරන්නට උත්සාහ දරන පිරිසකුත් ඉන්නවා. ඇත්ත… මේ අරගල භූමිය රාත්‍රී කාලයේ දී සැණකෙළි ස්වභාවයක් දරන බව ඇත්තක්. ඒත් ලෝක ඉතිහාසයේ සෑම ජන අරගලයක්ම පැන නැගුණේ මේ විදියටම තමයි. ඒවාට නිශ්චිත හැඩරුවක් නැහැ. නිශ්චිත ක්‍රමවේදයක් නැහැ. නිශ්චිත නායකත්වයක් නැහැ. ඒත් ඒ පොදු ජනතා අරගල තුළ හැමදාමත් ජීව ගුණය පිරිලා තිබුණා. කානිවල් ස්වභාවයත් ඒ ජීව ගුණයේම කොටසක් තමයි.

ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව හදාරලා කරපු මහජන අරගල ලෝක ඉතිහාසයේ කොතැනකවත් ඔබට හමුවෙන්නේ නැහැ. ව්‍යවස්ථානුකූලව සිදු කරන විරෝධතා තියෙනවා… ඒත් ජන අරගල නැහැ. ජන අරගලයක් කියන්නේම ව්‍යවස්ථාවටත්, පවතින (දූෂිත) පාලන ක්‍රමයටත් අභියෝග කරන ජනතා පිබිදීමක්. ජනතා හිතවාදී ව්‍යවස්ථාවන් ලෝකයේ  බිහිවුණේ පවතින ව්‍යවස්ථාවන්ට අභියෝග කරමින්  එරෙහි මතුවුණු කැරලි වලින් මිසක් ව්‍යවස්ථාපිතව එකත්පස්ව සිදුකෙරුණු කැරලි වලින් නෙමෙයි. ආණ්ඩුවට විසි වන සංශෝධනය හකුලා ගන්නට සිද්ධ වෙන පසුබිමක් නිර්මාණය වෙලා තියෙන්නේ මේ කැරැල්ලේ කොටසක් නිසාම කියන එක අමතක කරන්න එපා. (ජනතාවගේ බරපතළ ඉල්ලීම හමුවේ පවා නෑසු කන්ව සිටින පාලකයෙකුගේත්, ඔහුගේ සහචරයනුත් හමුවේ විනීතව සංවරව එකත්පස්ව සත්‍යග්‍රහයක යෙදෙන්නට නම් විනයගරුක දේශපාලන නායකත්වයක් එහෙමත් නැතිනම් විනයගරුක සංවිධාන ව්‍යුහයක් යටතේ දේශපාලන අරගලයක් සිද්ධ විය යුතුයි, ඒත් මේ තියෙන්නේ පීඩනය, මර්දනය, අදුරදර්ශී පාලනයට එරෙහි සමස්ත ජනතා නැගිටීමක් මිසක් තනි දේශපාලන පක්ෂයක අරගලයක් නෙමෙයි).

පොදුවේ ගත්තාම මේ ජන අරගලය හරිම ආස්වාදජනකයි. පාර්ලිමේන්තුව හරහා කිසිදා කිසිදිනක කරගන්නට නොහැකි වුණු බොහොමයක් ජයග්‍රහණ මේ ජන අරගලයෙන් දැනටමත් ලබා ගෙන ඉවරයි. සුර හත අටක් එල්ලා ගෙන වශී බෝල මිරිකමින් ඥානක්කාගේ ග්‍රහණයට නතුව මිත්‍යාවේ ගිලී සිටි රජ පවුලක තේජස සුණු විසුණු කරලා දූෂිත පවුල් පාලනය දෙදරවා හැරීමම මේ තාරුණ්‍යය විසින් අනාගත පරපුරට නතු කර දෙනු ලැබූ සුවිසල් ජයග්‍රහණයක්. ලෙනින් කිව්වා වගේම තක්කඩියාගේ අවසාන ආයුධය වුණු දේශප්‍රේමයත්, ජාති ආලයත් කියන බර අවි සියතට අරන් සිංහල, දෙමළ, මුස්ලිම් සහෝදර දෑත් මතින් ගාලු මුවදොරින් ඉන්දියන් සාගරය හරහා මුහුදු පතුලේ ගිල්වීම තවත් දැවැන්ත ජයග්‍රහණයක්.

“මේ අර්බුද කිසිවක් මා විසින් ඇති කරන ලද ඒවා නොවේ” යැයි කී ජනාධිපතිවරයාට තුන් පෝයක් ගතවෙන්නටත් මත්තෙන් රටේ මේ මොහොතේ උද්ගත වෙලා තියෙන බිහිසුණුම සහ විනාශකාරීම අර්බුද දෙක නිර්මාණය කරන ලද්දේ තමන් විසින් යැයි පාපොච්ඡාරණය කරන්නට සිදුවූයේ ද ගාලු මුවදොරින් පැන නැගුනු ජන රළ පෙළෙහි ජීව ශක්තිය නිසා බව අමුතුවෙන් කියන්නට අවශ්‍ය නැහැ. (නිසි මොහොතේ මූල්‍ය අරමුදල වෙත නොයාම හේතුවෙන් ඇති වී ඇති දැවැන්ත මූල්‍ය අර්බුදය සහ ඒ හේතුවෙන් ඉදිරියේදී සිදුවන්නට නියමිත බරපතළ උද්ධමනය එක අර්බුදයක්. රසායනික පොහොර එක රැයින් නවතා දැමීම හින්දා දැනටමත් මතුවෙලා තියෙන  ඒ වගේම ඉදිරියේ දී  උග්‍රවීමට නියමිත ආහාර අර්බුදය දෙවැන්නයි) ආහාර සුරක්ෂිතතාව කියන්නේ ජාතික ආරක්ෂාවේම කොටසක් කියන එක ජනාධිපතිවරයාට තබා ජනතා වැටුප් මතින් සුඛෝපභෝගී දිවි ගෙවන ඔහුගේ උපදේශක මණ්ඩලයටවත් නොතේරීමේ නූගත් රාජ්‍ය පාලනයක පල විපාක අද විඳින්නට සිද්ධ වෙලා තියෙන්නේ සමස්ත ජාතියටමයි.

කෑදර කපුටෙකු විදියට මහජනතාවගේ මුදල් ගිල දැමූ මුදල් ඇමතිවරයා වගේම කපුටෙකු මරා තටුවක් එල්ලූ කළ සියල්ල නිමවේ යැයි වහසි බස් දොඩමින් රටේ සමස්ත ජනතාව තමන් මෙන්ම කපුටන් යැයි සිතූ කපුටු කැබිනට් මණ්ඩලය විසුරුවා හරින්නට සිදුවීමත් මේ තාරුණ්‍යයෙන් සමාජයට පිදුණු ත්‍යාගයක්. පිසාචයෙකු විදියට රටේ රන් සංචිත බිලිගෙන රට ප්‍රපාතයකට තල්ලු කර දැමූ අන්ත දූෂිත මහ බැංකු අධිපතිවරයා කාණු පල්ලට විසිකර දමන්නට සිදු වීමත් අරගලයේ ජයග්‍රහණයක්. (කාණු පල්ලට පමණක් වීසි කර දැමීම ප්‍රමාණවත් නොවන බව වෙනම කතාවක්). අහසට‌ වෙඩි තැබුවාම කරණම් ගසා මිනිසුන් මරා දමන තුවක්කු සහ උණ්ඩ ශ්‍රී ලංකා පොලිසියට තියෙනවා කියලා රටේ ජනතාවට දැනගන්නට ලැබු‌ණේත් මේ අරගලය හින්දාම තමයි. (ඒ වගේ තුවක්කුවලින් කොයි තරම් තරුණ තරුණියන් ප්‍රමාණයක් පහුගිය කාලයේ දී මරා දමන්නට ඇතිද?) 88/89 දී, රතුපස්වලදී එහෙමත් නැතිනම් වෙනත් ජන අරගලයකදී අපි හැමදාමත් දැක්ක පොලිස් සහ හමුදා ප්‍රචණ්ඩත්වයට එරෙහි මහ පවුරක් විදියට ඉතිහාසයේ ප්‍රථම වතාවට නීතිවේදී එකමුතුවක් ඇති වුණේත් මේ අරගලයේ ආස්වාදජනක ප්‍රතිපලයක් විදියටයි..

ඒකාධිපති විදියට සම්මත කරගත්ත විසි වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව රිවස් කරන්න පෙළගැසීමත් මේ අරගලයේ ඓතිහාසික ජයග්‍රහණයක්. අත්තනෝමතිකව රට කළ පාලකයෙකුත්, උද්දච්ච ඇමැති මණ්ඩලයකුත් මහජනතාව ඉස්සරහ මේ විදියට අසරණව දණ ගහලා ඉන්න හැටි දැකීමත් කොයි තරම් නම් ආශ්චර්යයක් ද?

ඉතින් මේ විදියේ ජයග්‍රහණ නිමක් නැහැ. මේ අරගලයත් එක්ක තව තවත් ජයග්‍රහණ ඉදිරියේ දී නිර්මාණය වේවි. සියල්ල අවසානයේ දී අපි බලාපොරොත්තු වෙන සුන්දර රට බිහි වෙන දවස තව තවත් ඈත වෙන්න පුළුවන්…

ඒත්, වැසිකිළියට පෝච්චියක්, වහලට ටකරමක්, දරුවාට බේසමක් කියන සංකල්පයෙන් මිදිලා ජනතා නියෝජිතයන් විදියට පෙනී ඉන්න සොරු කල්ලියෙන් විගණනයක් ඉල්ලා හිටින තාරුණ්‍යයක් බිහිවීම…..!

අරක්කු බෝතලයට, කෑම පාර්සලයට, රුපියල් දහසට පෙළපාලි නොයන තාරුණ්‍යයක් බිහිවීම…!

වැඩිහිටි පරපුරෙන් ගිලිහී ගිය මජර දේශපාලන සංස්කෘතියට සරදම් කළ තාරුණ්‍යයක් බිහිවීම…!

කොයි තරම් සුන්දර ද ඉන්දියන් සාගරයට පාමුල කිරි සුදු පෙණ බිඳෙන මේ තාරුණ්‍යයේ රළ පෙළ!

යන්නම ඕනේද?

කෙනෙකුට හිතෙන්න පුළුවන් ජනාධිපතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්වීම තවමත් අවශ්‍ය ද කියලා. ඔව් ඇත්තටම අවශ්‍යයි. ඒකටත් හේතු ගණනාවක්ම පෙන්නන්න පුළුවන්. ප්‍රධානතම හේතුව තමයි උගන්ඩාව, චීනය, යම් මට්මකින් ඉන්දියාව හැරුණාම ලෝකයේ කිසිම දියුණු රටකට අපේ රටේ නායකත්වය ගැන කිසිම විශ්වාසයක් මේ මොහොතේ නැතිවීම. ලෝක බැංකුවේ දොරකොඩටම ගිහින් අත වන වනා ආපහු එන්න වුණේ ඒ නිසයි. මේ තරම් මන්ද බුද්ධික ආණ්ඩුවක් විශ්වාස කරලා සල්ලි ණයට දෙන්න තරම් ලෝක බැංකුව අතදරුවො නෙමෙයිනේ. දෙවැනි කාරණාව තමයි උගන්ඩාව වගේ රටවල් හැරුණාම ලෝකයේ කිසිම දියුණු රටක් ලංකාවේ දේශපාලන නායකත්වය ගැන විශ්වාස නොකරන හින්දා ලෝකයේ දියුණුම රටවල් හැම එකක්ම වගේ ලංකාවේ සංචාරය කරන තමන්ගේ පුරවැසියන්ට අනතුරු හැඟෙව්වේ ගාලු මුවදොර අරගලය පටන් ගන්නත් මාස හතර පහකට කලින් ඉඳන්. ඒ වගේම තමන්ගේ මව්රට වෙනුවෙන් ධනයෙන් ශ්‍රමයෙන් දායකත්වය ලබා දෙන්න සූදානම් වෙලා ඉන්න ලෝකය පුරාම විසිරුණු ලාංකික ජනතාව ඒ කිසිම ආධාරයක් දෙන්න මේ මොහොතේ ඉදිරිපත් නොවීම. තමන් දුක් මහන්සියෙන් උපයා ගන්නා ඩොලර් හොරුන් අතට එවන්න කවුද කැමැති?

රටේ ජනතාවගේ ණය බරත්, ජීවන බරත් දවසින් දවස වැඩි කරලා රටේ සම්පත් චීනයටයි, ඉන්දියාවටයි දවසින් දවස සින්න කෙරුවා හැරෙන්නට මහල්ලන්ගෙන් පිරුණු මේ අඳබාල කැබිනට් මණ්ඩලය වෙනත් කිසිම කාර්යභාරයක් ජනතාව වෙනුවෙන් නොකිරීම තවත් හේතුවක්.  (කෝවිඩ් එන්නත ගැහුවේ මැදමුදල වතුපිටිවල සල්ලි වලින් කියලා හිතන අය නම් ඇත්තටම පව්!). ලිපිය තව තවත් දිගු කරන්නට අවශ්‍ය නැති නිසා මීට වඩා උදාහරණ අවශ්‍ය නැහැ.

ජනාධිපති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්වුණාම මොනවද කරන්න ඕනේ කියලත් කෙනෙකුට හිතෙන්න පුළුවන්. ඔව් වැදගත්ම කාර්යය තියෙන්නේ එතැන තමයි. අරගලය නිර්පාක්ෂික වුණත් අරගලයේ ජයග්‍රහණ ජනතා සන්තක වෙන්න නම් නිවැරදි දේශපාලන නායකත්වයක් අත්‍යවශ්‍යයි. පුරවැසියෙකුගේ වගකීම සහ යුතුකම වෙන්නේ අවුරුදු කිහිපයකට සැරයක් මැතිවරණයක ද‍ී චන්ද කාඩ් පතේ කතිරය සලකුණු කිරීම විතරක්ම නෙමෙයි. තම දූ දරුවන්ගේ අනාගතයත්‍, රටේ අනාගතයත් වෙනුවෙන් යහපත් ප්‍රතිපත්ති සහ ක්‍රමවේදයක් ඉටු කරවා ගැනීමට බලපෑම් කිරීම වගේම පාර්ලිමේන්තුවට නුසුදුස්සන් ඇතුලුවීම වැළැක්වීම වැළැක්වීමට මුරබල්ලන් ලෙස කටයුතු කිරීමත් ඒ කතිරයටම අයිති පූර්ව සහ පශ්චාත් කාර්යයන්. ඔය කිව්ව ආකාරයේ පිරිසිදු කේවල චරිත මේ 225 අතරේ හමුවෙන්න පුළුවන්. ඒත් ඒ කේවල චරිත ලගින්නේ මඩගොහොරු පිරුණු නරාවළක නම් එවන් දේශපාලන සංස්කෘතියක් නැවත ඇති කරන්නට නම් එපා. ඔබේ අරගලය වෙන්නට ඕනේ “හොරුන් එපා” කියන සටන් පාඨය මිසක් “225 ම එපා” කියන හිස් බොල් සටන් පාඨ නෙමෙයි. ඔබේ දේශපාලන සාක්ෂරතාව මත යහපත් පූර්වාදර්ශ සහිත විනය ගරුක සහ සොරුන් නොසිටින දේශපාලන පක්ෂයක් හමුවේ කතිරය සටහන් කරන්නට ඔබ පෙළ ගැහෙනවා නම් ඔබ ප්‍රාර්ථනා කරන නිර්මල දේශපාලන සංස්කෘතිය වැඩි ඈතක නෙමෙයි.

මල් නෙලන්නට ඔබේ පවුලම රැගෙන යන්න

ඔව්.. අපි ලෝකයේ කොතැනක හිටියත් මේ ගෙවිලා යන්නේ ඔබ උපන් බිමේ ඔබේම සොයුරු සොයුරින් මව්බ්මේ සුජාත භාවය උදෙසා සටන් වදින ‌ඓතිහාසික මොහොතක්.

ගාලු මුවදොරින් මේ පණ ගහන්නේ ඉතිහාසයේ කිසිම දවසක පණ නොගැසූ දිය රැළි… මේ හමා යන්නේ ඉතිහාසයේ කිසිම දවසක ඔබ නොවිදි සුළං රැල්ලක පහස… ඉතින් ඔබේ සහාය වෙන කවරදාටත් වඩා ඔවුන්ට ඇවැසිම මොහොතක්!

ඔබ ගුරුවරයෙකු නම් මෙවන් පාදඩ පාලකයන් ඔබේ සිසු දරුවන් අතරින් බිහිනොවන්නට වග බලා ගන්න.

ඔබ කවියෙකු නම් අලුත් පසක් නිර්මාණය කරන්නට කවි පද ගොතන්න.

ඔබ ලේඛකයෙකු නම් ඒ අලුත් පසෙහි සරු බීජ පැළ කරන්න.

ඔබ නිර්මාණවේදියෙකු නම් ඒ සරු බීජ අතු ඉති දමා වැඩෙන්නට මග එළි කරන්න.

ඔබ මාධ්‍යවේදියෙකු නම් ඒ බිමෙහි වල් පැළ වැවෙන්නට ඉඩ නොතබන්න.

ඔබ පූජකයෙකු නම් වෛරය වෙනුවට ආදර දියෙන් ඒ බිම තෙමා සනහාලන්න‍.

එවන් හැකියාවක් ඔබ සතුව නැතිනම් නවෝදයක අරුණළු ඒ සරු බිම මත පතිත වන්නට දායක වන කුමන හෝ කාර්යයක් කරන්න.

ඔබට එවැනි කැපකිරීමක් කළ නොහැකි නම් අඩුම තරමින් එවන් කැපකිරීම් සිදුකරන තාරුණ්‍යයට ගෞරව කරන්නටවත් ආචාරශීලී වන්න.

ඔබ ලොව කොයි කවර දේශයක හිටියත් ඔබේ නිදහස් අධ්‍යාපනයට වියදම් කළේ ජීවන බරින් සහ පීඩනයෙන් මිරිකෙමින් සිය තාරුණ්‍යය මහ මග දිය කර හරින මේ තරුණ පරපුරේ මව් පියන්ගෙන් සූරා ගත් බදු මුදලින් බව අමතක කරන්නට තරම් අසංවේදී විය හැකි ද ඔබට…?

ඔබේම මව් බිමේ තාරුණ්‍යය අව් වැසි සුළං මැද අලුත් ලොවකට පාර තනන්නට වෙහෙසන මෙවන් මොහොතක… ඔබ ද කොටස්කරුවෙකු වූ සමස්ත ජාතියක් එදිනෙදා දවස ගෙවා ගත නොහැකි තරමටම භයානක උද්ධමනයක අබිමුව සිටින මෙවන් මොහොතක… දිය ඇළි, ගංගා ඇළ දොළ, මල්වතු උයන් කෙළි පමණක් නොව ඔබේ සුරතල් බලු පැටියා හෝ උපන් දින කේක් ගෙඩියේ ගාම්භීරත්වය හෝ මුහුණු පොතට එක් කරමින් සතුටු වන්නට තරමටම අසංවේදී ද ඔබ….!

පසුගිය කාලයේ තිබූ ගුරු වැඩ වර්ජනයේ ද‍ී ඊට වචනයකින් පවා සහායක් නොදැක්ව‍ු නමුත් අරගලයට බට ගුරුවරුන්ගේ ලේ කඳුළු මතින් දිනාගත් සහන හිරිකිතයකින් තොරව භුක්ති විදින මා පෞද්ගලිකවම දන්නා හඳුනන ගුරුවර ගුරුවරියන් ඕන තරම් ඉන්නවා.

ඉතින් අද දවසේ තාරුණ්‍යයේ මේ අරගලයට ඔබ සහයෝගයක් ලබා දුන්නත්, නොදුන්නත් මේ අරගලයේ යහපත් ප්‍රතිලාභ හිමිවන්නේ මව්බිමෙහි උප නූපන් පරපුරටම මිසක් ඒ තාරුණ්‍යයට පමණක්ම නොවේ. හෙට දවසේ ඔබේ දරුවාට එල්ල විය හැකිව තිබූ නින්දිත පොලිස් පහරදීම්වලින් ඔබේ දරුවා ගලවා ගන්නට මේ තාරුණ්‍යය විසින් අද දවසේ වැට කඩොළු බඳිමින් සිටින්නේය. ඔබ පය ගසා සිටින්නේ විදේශයක නම් මව්බිමේ පය ගසා සිටින ඔබේ මා පියන් හෝ ඥාති හිතවතුන් මේ අරගලයේ සුබ පල නෙලා ගනු ඇත්තේය. ඔබ අරගලය හෙළා දුටුව ද, මාරාන්තික නිහැඩියාවක ගිලී සිටිය ද අරගලයට සිය තාරුණ්‍යය දිය කර හරින මේ පරපුර ඔබේ දරුවන් වෙනුවෙන් යහපත් රටක් ගොඩ නගන්නට බිම සකස් කරනු ඇත්තේය. වසන්තයේ දී ඒ බිමෙහි මල් පල නෙළන්නට ඔබත් එහි යන්න.

නිවැරදි දේ කුමක්දැයි දැන සිටියත් ඒ වෙනුවෙන් යමක් කරන්නට ඔබ නොපෙළඹෙන්නේ නම් එයින් පලක් නැතැයි (Knowing what’s right doesn’t mean much unless you do what’s right) රූස්වෙල්ට් කිව්වා. රූස්වෙල්ට් නොකියා කියූ ඒ ප්‍රකාශය තේරෙන භාෂාවෙන් සරලවම කියනවා නම් අරගලයක දී මධ්‍යස්ථව ඉන්න කෙනාට තමයි අමනයා කියන්නේ.  ඒ වගේම ඩෙස්මන් ටුටූ කිව්වා වාගේම අසාධාරණයේ දී මධ්‍යස්ථව ඉන්න ඔබ තීරණය කරනවා නම් ඔබ උවමනාවෙන්ම පීඩකයාගේ පැත්ත තෝරා ගෙන තියන බවත් අමතක කරන්නට එපා. (If you are neutral in situations of injustice, you have chosen the side of the oppressor)

මහාචාර්ය එඩ්වර්ඩ් බෝනෝ (Edward de Bono) තමන්ගේ “How the Human Race has Never Really Learned to Think” කියන පොතේ එක තැනක කියනවා “You can analyze the past, but you have to design the future” කියලා. ඔබටපුළුවන් අතීතය ගැන විග්‍රහ කරමින් ඕන තරම් අර්ථ නිරූපණ කෙස් පැලෙන තර්ක ඉදිරිපත් කරන්න. ඒත් යහපත් අනාගතයක් බිහිකරන්නට නම් ඒ කාර්යයට ඔබ අවතීර්ණ වෙන්නම ඕනේ.

ඉතින් ඔබ කැමැති නම් තව දුරටත් නිහඬවම ඉන්න. ජනාධිපති එළවා ගෙනෙන්නේ කවුදැයි අහන්න… අරගලය නිසා ඩොලර් අර්බුදය උග්‍ර වෙනවා යැයි මැසිවිලි නගන්න… 88/89 ගැන නන්දොඩවන්න… 225ම එළවමු යැයි මන්තරයක් මෙන් දොඩවමින් ඔය විදියටම නිද්‍රාශීලීව ඉන්න.

ඒත් අරගලයේ යෙදෙන මේ තාරුණ්‍යය තමන්ගේ ලේ කදුළු මතින් සකස් කරන සාර බිමෙහි මල් පිපුණු පසුව ඒ මල් නෙලන්නට ඔබේ පවුලම රැගෙන එහි යන්න. මල් නෙලන අතරේ ඩෙස්මන් ටුටූ කිව්ව ඉහත ප්‍රකාශයත් යාන්තමට වගේ මතකයට නගා ගන්න.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

WordPress.comහි බ්ලොග් සටහනක්.

ඉහළ ↑

%d bloggers like this: