දැල් වූ පහන්… දැල් වී තිබේවා!

(සිලිලාර බ්ලොග් අඩවිය සමග සම්බන්ධ වී සිටින එහෙත් සමාජ මාධ්‍ය පරිශීලකයන් නොවන පිරිසකගේ ඉල්ලීම මත පළ කරන ලිපියකි මේ. මුහුණු පොත වෙනුවෙන් මෑතක දී පළ කළ ලිපි දෙකක්, තනි ලිපියක් ලෙසින් බ්ලොග් අඩවිය වෙනුවෙන් මෙසේ සංස්කරණය කළ බව කරුණාවෙන් සලකන්න)

V වන මිහිඳු

ලංකා ඉතිහාසයේ දුර්වලතම පාලකයා සටහන් වූයේ අනුරාධපුර යුගයේ අවසන් භාගයේ දීය. ඒ V වැනි මිහිඳු හෙවත් මහින්ද (ක්‍රි. ව. 982-1029) සහ ඔහුගේ වසර 36ක් වූ පාලන කාලයයි. (V වන මිහිඳුගේ පාලන කාලය මහාවංශයට අනුව 36 කි. එහෙත් පූජාවලිය සහ රාජාවලියට අනුව අවුරුදු 48 කි).

ඔහු කෙතරම් අවිචාරවත්, අකාර්යක්ෂම සහ දුර්වල පාලකයෙකු වූයේ ද යත් ඔහුගේ අදුරදර්ශී පාලන කාලයේදී රට හැම අතකින්ම කඩා වැටුණේය. රටේ ජනතාව ඔහුගේ අත්තනෝමතික පාලනය නොඉවසූ බැවින් රට දිනෙන් දින අගාධයෙන් අගාධයට ගිලී ගියේය. රට කරගෙන යාමට මුදල් නොමැතිව පස් වන මිහිඳු ජනතාව මත දිනෙන් දින අධික ලෙස බර පැටවූයේය. ඒ් වනවිටත් අාර්ථික පීඩනයෙන් මිරිකී ගිය ජනතාව බදු ගෙවීම පැහැර හැරියහ. මේ නිසා රජුගේ භාණ්ඩාගාරය හිස් වී රටේ අාර්ථිකය බිංදුවටම කඩා වැටුණේය. කෘෂිකර්මාන්තය, වාරි කර්මාන්තය අාදී වූ සෑම අංශයක්ම බිඳ වැටුණේය. අාරක්ෂක හමුදාවන්ට වේතන ගෙවීමට පවා නොහැකි වූ බැවින් යුද ශක්තිය ද බිංදුවටම පිරිහුණේය. අවසානයේ දී රට මුළුමනින්ම අවුල් ජාලාවක් බවට පත් විය. සියලු ස්වභාවික සම්පත්වලින් අනූන වූ මේ සුන්දර භූමිය බලෙලා්භී රජෙකුගේ අදුරදර්ශී පාලනය හමුවේ අරාජික වන අාකාරය මහත් වූ උද්යෝගයකින් සහ උනන්දුවකින් බලා සිටි රාජ රාජ නම් චෝල අධිරාජයා සිය පුත් රාජේන්ද්‍ර ප්‍රමුඛ සේනාවක් ලංකාවට එවන්නේ ඒ් මොහාෙත්දීය.

කෙත් වතු ගිනි තබමින්, දේපළ කොල්ලකමින් සහ දැවැන්ත සංහාරයක් දියත් කරමින් මෙරටට ගොඩ බට රාජේන්ද්‍ර ප්‍රමුඛ ඉන්දීය චෝල සේනාව මෙරට පාලන බලය සියතට ගත්තා පමණක් නොව V වන මිහිඳු පවා නිකමෙකු ලෙස ඉන්දියාවට අල්ලා ගෙන ගියේය. අවසානයේ දී V වන මිහිඳු මිය යන්නේ ද ඉන්දියාවේ දීය.

ඓතිහාසික සමෘද්ධිමත් අනුරාධපුර රාජධානිය බිඳ වැටී මෙරට ඉතිහාසයේ අඳුරුතම යුගයක ආරම්භය සනිටුහන් වූයේ ඒ් අයුරිණි. රාජධානිය බිඳවැටුණා පමණක් නොව මේ අදුරදර්ශී පාලකයා හේතුවෙන් නොරට පාලකයන් (චෝලයන්) යටතේ නොඉවසිය හැකි තරම් දුක් පීඩා විඳින්නට රටවැසියන්ට සිදුවූයේය.

මෙරට අවාසනාවන්ත තත්ත්වයකට පත් කළ අවසානම පාලකයා V වන මිහිඳු පමණක්ම නොවීය. ඔහුගෙන් පසුව ද එවැනි අදුරදර්ශී සහ අවිචාරවත් පාලකයන් වරින් වර මතු වූ අාකාරය සිංහලේ රාජවංශය විමසිල්ලෙන් බලන කවරෙකුට වුව පෙනී යන්නේය.

කෝට්ටේ දොන් ජුවන් ධර්මපාලගෙන් පසු අවිචාරවත් සහ අදුරදර්ශී රජ පාලනයට විරාමයක් ලැබුණ ද 1948 පසු එය පවුල් පාලනයකට පරිවර්තනය වී යළිත් වරක් විරාජමානව මේ වනවිට එහි උච්චත්වයටම පත් වී අැත්තේය. V වන මිහිඳුගේ නූතන පුනරාගමනය දැන් රඟ දැක්වෙමින් ඇත්තේය. රාජ රාජ නම් වූ චෝල අධිරාජයා වෙනුවට චීන ජනාධිපති ෂි ජින්පින් මේ ව්‍යසනය මහත් වූ අභිරුචියකින් නරඹමින් සිටින්නේය.

අනුරාධපුර රාජධානියේ සිට මේ දක්වාම ගෙවී ගිය පාලන යුගයන් දෙස පිරික්සා බලද්දී රටේ සාතිශය බහුතරයකගෙන් පිස්සෙකු ලෙසින් අවමානයට පත්වූ රජෙකු හෝ පාලකයෙකු පිළිබඳ කිසිදු සටහනක් අපේ ඉතිහාසයේ ලේඛනගතව නැත්තේය. කන්‍යාවන් ලවා කිරි කළ නාවාගත්, පාර්ලිමේන්තුවේ මන්ත්‍රී අසුන් මත ඌරු තෙල් තැවරූ මුග්ධ පාලකයන් ගැන අසන්නට ලැබුණ ද සිය අධ්‍යාත්මික නායකයා ලෙස කට්ටඩි ගැහැනියක පත්කරගත් පාලකයන් ද ඉතිහාසයේ කොයි කවරදාවත් අපට සිටියේ නැත. පළමුවත් මවුබිම, දෙවනුවත් මවුබිම සහ තෙවනුවත් මව්බිම ලෙසින් දිවුරා සපථ කළ අාරක්ෂක හමුදාවන් ඉතිහාසයේ කොයි කවරදාවත් කට්ටඩි දේවාල රකින්නට දිවා රෑ අාරක්ෂක පවුරු ඉදිකළේ නැත. අාගම සහ ජාතිය උගස් කොට අශීලාචාර ලෙස බලයට පත් වූ පාලකයන් වෙනුවෙන් කවි ගී රචනා කළ පිරිස මේ මොහොත තුළ දීත් ජාතියෙන් සමාව ගනිමින් සිටින නමුත් රජ වාසල වෙනුවෙන් තමන් ලිවූ ප්‍රශස්ති කාව්‍යාලංකාරයන්ට සමාව අයැද සිටි කිසිදු කවියෙකු සිංහලේ රාජවංශයෙන් අපට හමුවන්නේ ද නැත. රට අාරාජිකත්වයට පත් කරන්නට සිය ටියුෂන් පංති කාමරය පවා දේශපාලන වේදිකාවක් කරගනිමින් සිසු දරුවන් පමණක් නොව ඔවුන්ගේ දෙමව්පියන් පවා ගොනාට ඇන්දවූ ටියුෂන් ගුරුන් ප්‍රමුඛ ‘වියත්” නඩය සමාව ඉල්ලා හඬා වැටීම මේ මොහොතේ විලාසිතාවක්ව අැති නමුත් සමාව ඉල්ලා හඬා වැටුණු ගුරු පරපුරක් හෝ විද්වත් පරපුරක් පිළිබඳ කිසිදු සටහනක් මහාවංශයේ හෝ වෙනත් කිසිදු සාහිත්‍ය මූලාශ්‍රයක සටහන්ව නැත්තේය. වැලිවිට සංඝරාජ හිමි සමයේ දී භික්ෂූත්වය ගණින්නාන්සේලා දක්වාම සිල්ලර වූ නමුත් ජන පීඩක පාලකයන් රකින්නට පස් කම් සැපයට ගිජු වූ මේ සා මහත් වූ චීවරධාරීන් පිරිසක් එකට එක් වූ අවස්ථාවක් ඉතිහාසයේ අන් කවර කාලයකවත් දැකිය නොහැකි විය.

එබැවින් මේ ගෙවෙමින් යන්නේ ලාංකේය ඉතිහාසයේ පෙර කවර කලෙකවත් දැකිය නොහැකි වූ හෝරාවන්ය. මහාවංශයේ නූතන පරිච්ඡේදය ලියැවෙන්නේ අපූරු පරම්පරාවක ශක්තිය සහ ධෛර්යය මුසුවූ තීන්ත මතිනි. වැඩිහිටි පරම්පරා ගණනක වන්දි ගෙවන නූතන පරපුර ජාති කුල අාගම් භේදයකින් තොරව පීඩනය සහ මර්දනයට එරෙහිව නිදහසේ ධජය එසවීමේ වගකීම සියතට ගෙන ඇත්තේය. ජනපීඩක පාලකයන් සහ ඒ් පීඩාකාරී පාලනයට ජීව රුධිරය සැපයූ පිරිස ඉතිහාසයේ කුණු බක්කියට තල්ලු වී යද්දී ඒ් ඓතිහාසික කාර්යභාරයට උරදෙන හුදී ජන කොටස් අලුතින් ලියැවෙන ඉතිහාසයේ ගෞරවනීය පංගුකරුවන් වීම නොවැළැක්විය හැකිය. එය ලෝක පරිමාණයෙන් ගත්ත ද ඓතිහාසික යථාර්ථයකි. අදුරදර්ශී සහ පීඩාකාරී පාලනය පන්නා දැමීමේ අරමුණින් බිහිවූ සටන ‘ජනතාවගෙන් සොරා කෑ මුදල් අාපසු දියව්’ යන තේමා පාඨය සමග එකට අත්වැල් බැඳ ගැනීම මහත් අාස්වාදයක් මෙන්ම අාදරයක් ද දනවන්නේය.

ඔව්… එවන් ආදරණීය සටන් ජයගත යුතුමය!

විලි ලැජ්ජයි…..! ආඩම්බරයි….!

“ඉන්දියාවෙන් ද?”

නොදන්නා දුරු රටක දී අලුතින්ම හමු වූ කෙනෙකු සමගින් සතුටු සාමීචියට වැටුණු විටක නිතරම අහන්නට ලැබෙන පැනයකි ඒ.

ලංකාව මෙන් හැට ගුණයක් විශාල දැවැන්ත ඉන්දීය රාජ්‍යයේ ජනතාව උතුරු ඇමරිකාවේත්, යුරෝපයේත් හැම තැනකම විසිරී සිටීමත්, අපේ දුඹුරු පැහැති හම ඉන්දීය සම්භවයකට වඩාත් කිට්ටු නිසාත් ඒ ආකාරයේ පැනයක් ඇසීම අතිශයින්ම සාධාරණය.

“අපොයි නැහැ… ශ්‍රී ලංකාවේ”

එවන් මොහොතක අප පිළිතුරු දෙන්නේ මහත් සේ ආඩම්බරයෙනි. ලංකාව යන නමින් මේ දූපත නොහඳුනන වයස්ගත සුද්දෙකු නම් ‘සිලෝන්’ ලෙස ඌන පූරණයක් කිරීමට ද එවැනි විටෙක අප අමතක නොකරන්නේ බොහෝ වයස්ගත වැඩිහිටියන්ට ‘සිලෝන් ටී’ නාමය ශ්‍රී ලංකාව යන නාමයටත් වඩා හුරුපුරුදු බැවිනි.

ලංකාව යන නාමය ඇසෙන හැම විටෙකම බොහොමයක් ආගන්තුක දෑස්මත ක්ෂණික දීප්තියක් ඇදී යන අයුරු උතුරු ඇමරිකාවේ හෝ යුරෝපීය රටවල වාසය කරන බොහෝ ශ්‍රී ලාංකිකයන්ට හුරු පුරුදු දසුනකි. එයට හේතුව වන්නේ ඉන්දියන් සාගරයේ තනි වූ කුඩා දූපතක් වුව ද ආඩම්බර විය හැකි බොහෝ දේ ලංකාව සතුව ඇති බව ඔවුන් දැන සිටි බැවිනි. තමන් අසා දැන සිටි මනස්කාන්ත ස්වභාව සෞන්දර්යය, පෞරාණික ඉතිහාසය හා සිලෝන් ටී යන නාමය පවා බොහොමයක් විදේශික සිත් තුළ ආදරණීය හැගුම් ජනිත කරවන බව නොරහසකි. එමෙන්ම විදෙස්ගත බොහෝ ශ්‍රී ලාංකිකයන් කාර්යශූර, අවංක එමෙන්ම සේවයට කැපවූ පිරිසක් ලෙස ප්‍රසිද්ධියට පත්ව ඇති බව ද සිහිපත් කළ යුතුය. මේ හේතුවෙන් උතුරු ඇමරිකාව, යුරෝපය වැනි රටවල වෙසෙන ශ්‍රී ලාංකිකයන් කෙරෙහි සෙසු දකුණු ආසියාතිකයන්ට වඩා ගෞරවනීය වටපිටාවක් නිර්මාණය වී ඇති බව ඒ රටවල ජීවත් වන්නෝ සහ ඒවායෙහි සංචාරය කරන්නෝ දනිති. (උතුරු ඇමරිකාව සහ යුරෝපය හැරුණු විට වෙනත් රටවල ලාංකිකයන්ගේ ජීවිත සම්බන්ධයෙන් අත්දැකීම් මා සතුව නැත).

මා ජීවත් වන කැනඩාව නම් වූ දැවැන්ත රාජ්‍යය හා සංසන්දනය කිරීමේ දී ලංකාව ඉතා කුඩා දූපත් රාජ්‍යයක් වන බැවින් කැනඩාවේ ප්‍රවෘත්තිවල ලංකාවේ පුවත් පළවෙන්නේම නැති තරම්ය. හබරණ කැලයේ කුණු කසල බුදින දැවැන්ත හස්ති රාජයෙකුගේ ඡායාරූපයක් ඉදහිට පුවත්පතක පළවූ අවස්ථාවක් හැරුණුවිට මගේ මව්රට සම්බන්ධයෙන් දුකක් ලැජ්ජාවක් ඇති වූ කාරණාවක් මෑතක දී අසන්නට ලැබුණේ නම් ඒ පාස්කු ප්‍රහාරය පමණය.

මගේ කාර්යාල මේසය මත ඇති පරිගණක තිර කිහිපයෙහි නිරන්තරයෙන් දකින්නට ලැබෙන ලංකාවේ වෙරළ තීරයේ මනස්කාන්ත ඡායාරූප (වෝල් පේපර්) පළමු වරට දකින ඕනෑම කෙනෙකු නිරන්තරයෙන් මගෙන් විමසන පැනයක් තිබේ: “ඔය තරම්ම සුන්දර රටක් දාලා ඇයි මෙහේ ආවේ…!”

එහෙත් ඒ මතකය දැන් සුන්දර අතීතයකට පමණක්ම සීමා වී ඇත්තේය. ලංකාව නම් වූ ඒ සුන්දර පාරාදීසය පිළිබඳ තොරතුරු වෙනුවට මගේ කාර්යාලයේ හිතමිතුරන්ට දැන් අපෙන් අසන්නට එකම පැනයක් පමණි.

“ඔයාලගේ පවුල්වල අය හොඳින් ද? කරදරයක් නැති ද?”

සඟවන්නට කිසිවක් දැන් ඉතිරි වී නැත. ලංකාව සම්බන්ධයෙන් බොහෝ දේ දැන් ඔවුහු උවමනාවටත් වඩා දනිති. එකම එක සාටක පවුලක් සිය සහචරයනුත් හා එක්ව සමස්ත ජාතියක් හිඟමනට ඇද දැමූ ආකාරය සංඛ්‍යාලේඛන, නිල සාධක සහිතව වෙබ්පිටු පුරා මේ මොහාතේ ද ලියැවෙන්නේය. වාර්තා වැඩසහටන් රූපවාහිනී ප්‍රවෘත්ති අතරේ දිග හැරෙන්නේය. ඇනොනිමස් හැකර්ලාගේ සොයා ගැනීම් ට්වීඩ් පණිවිඩ මගින් නිරතුරුව ගලාගෙන යන්නේය. විලිලැජ්ජාවේ සන්තෝසේ බැරුවාය!

ලොව කොයි කවර දේසයක සිටියත් ‘අපේ මව්රට’ ලෙසින් ආඩම්බරයෙන් හඬගා කියන්නට පුළුවන් වූ රටක අයිතිය අමන පාලකයන් රැසක් විසින් අද අපෙන් උදුරා ගනු ලැබ ඇත්තේය. රටේ සෑම සියලු පුරවැසියෙකුගේම සහ උප නූපන් දරු කැළගේ ජාතික ධනය නිර්ලජ්ජිතව සූරා කා සිය පරපුරේ සහ සහචරයන්ගේ විදේශ ගිණුම් වෙත පොම්ප කරමින් රට නිල වශයෙන්ම බංකොලොත් කළ ඔවුහු ලංකාව නම් වූ නාමය මත සදාතනික කළු පැල්ලමක් තැවරූහ. ඒ පැල්ලම යළි කිසිදා කිසිදිනෙක මකා දැමිය නොහැකිය.

අදුරදර්ශී උද්දච්ච පාලකයෙකුට සහ බලලෝභී අධම පාලනයකට මුළු මහත් රටක ජනතාව දේශ සීමා රහිතව කෙතරම් සුළු මොහොතකින් ප්‍රපාතයකට ඇද හෙළිය හැකි ද යන්නට මෑත ඉතිහාසයෙන් ගත හැකි හොඳම උදාහරණය ලංකාවය. එය අපරාධයක් පමණක් නොවේ, සාහසික මංකොල්ලයකි.

පුරවැසියන් හමුවේ රටක පාලකයෙකු (සහ ඔහුගේ සහචරයන්) ම්ලේච්ඡ අපරාධකරුවන් වන්නේ එසේය.

කඩා වැටී ඇත්තේ ආණ්ඩුව නොවේ!

ආණ්ඩුවක් කඩා වැටීම බරපතළ තත්ත්වයක් නොවේ. මැතිවරණයෙන් මැතිවරණයට ආණ්ඩු කඩා වැටීම අතිශය සාමාන්‍ය දෙයකි. එබැවින් බිද වැටුණු ආණ්ඩුව හමුවේ නව ආණ්ඩුවක් පත් කර ගැනීම සුළු දෙයකි. රටක ජනතාවට හෝ රාජ්‍ය යන්ත්‍රණයට එමගින් දැඩි බලපෑමක් එල්ල වන්නේ නැත.

එහෙත් රාජ්‍යයක් කඩා වැටීම යනු අතිශය බරපතළ කරුණකි. ඉතිහාසයේ ප්‍රථම වතාවට අද දවසේ බිඳ වැටී ඇත්තේ ශ්‍රී ලංකාව නම් වූ රාජ්‍යයයි.

නීතිය හෝ දේශපාලන විද්‍යාව හදාරා නොමැති අයෙකුට ආණ්ඩුව සහ රාජ්‍යය යන සංකල්ප දෙක අතර එතරම් වෙනසක් නොපෙනුනත් ඒ සංකල්පයන් දෙක අතර ඇත්තේ බරපතළ වෙනසකි. ආණ්ඩුව යනු රටේ දේශපාලන බලය හිමි පිරිසය. රජය කරවනුයේ ආණ්ඩුවය. එබැවින් රජයේ තාවකාලික මෙහෙයුම්කරුවා වන්නේ ආණ්ඩුවයි. එබැවින් ආණ්ඩුව යනු අස්ථිර සංකල්පයකි. එහෙත් රාජ්‍යය එසේ නොවේ. ආණ්ඩුව යනු සේවකයා නම් රාජ්‍යය යනු එහි ස්වාමියාය. එබැවින් රාජ්‍යය යන්න ස්ථිර සංකල්පයක් වන අතරම එහි බලය උත්තරීතරය. ආණ්ඩුව කරන්නේ එයින් කිසියම් බලයක් උරුම කර ගැනීම පමණය. මේ නිසා රාජ්‍යයට එහි පුරවැසියන් ඇතුලු සියලුම ආයතන සම්බන්ධව පැවැතියත් ආණ්ඩුවට සම්බන්ධ වන්නේ සීමිත පිරිසක් පමණය. තවත් සරලව කියනවා නම් ආණ්ඩුව යනු එක්තරා ආකරයක සචේතනික සංකල්පයක් වුණත් රජය හෙවත් රාජ්‍යය යන සංකල්පය අචේතනිකය. මේ හේතුවෙන් කිසිවෙකුට ආණ්ඩු විරෝධී විය හැකි නමුත් රාජ්‍ය විරෝධී විය නොහැකිය. මේ සංකල්පයන් දෙක අතර වෙනස සම්බන්ධයෙන් වැටහීමක් රටේ ජනතාවගෙන් සෑහෙන පිරිසකට නොමැති වීම පුදුමයට කරුණක් නොවන්නේ ජනමාධ්‍ය ආයතනයන්ට පවා එවැනි දැනුමක් නොමැති බව පෙනී යන බැවිනි.

එහෙත් ආණ්ඩුවක් බිඳ වැටීම මෙන් නොව රාජ්‍යයක් බිද වැටීම තුළ ඇති අතිශය බිහිසුණුභාවය පිළිබද හැගීමක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බහුතරයකට සහ ආණ්ඩුවට පවා නොමැති වීම මේ මොහොතේ අප මුහුණ දෙන බරපතළම ඛේදවාචකයයි.

රාජ්‍යය බිඳ වැටීම නම් වූ මේ බිහිසුණු යථාර්ථය කරා රට ගෙන ගිය පාලකයන් බිහිවූයේ ජනතා ආශිර්වාදයෙන් වුවත් මේ බිඳ වැටීම කිසිසේත්ම පුරවැසියන්ගේ වරදක් නිසා සිදුවූවක් නොවේ. මා දන්නා හඳුනන කිසිවෙකුත් මුදල් නොගෙවා විදුලිය ලබා ගෙන නැත. ගෑස්, ඉන්ධන හෝ ජලය හෝ වෙනත් කිසිදු සේවාවක් හෝ ලබා ගෙන නොමැත. කෙටියෙන්ම කිවහොත් මා දන්නා හඳුනන සෑම පුරවැසියෙකුම ආණ්ඩුවේ කිසිදු ආයතනයකට ගෙවිය යුතු මුදල් පැහැර නොහැර ඇත්තේය. එබැවින් මේ ඩොලර් අර්බුදය බිහි වූයේ කැදර පාලකයන්ගේ පවුල් ගිණුම් තර කරනු පිණිස දිවා රෑ නොබලා පොම්ප කළ මහජන මුදල් හේතුවෙනි. ජනගහනය මිලියන 167ක් වූ බංගලාදේශය කෝවිඩ් කාලසීමාව තුළ දී සිය ආර්ථික වර්ධන වේගය සියයට 6ක් දක්වා වැඩි කරගනිද්දී ජනගහණය මිලියන 21ක් තරම් සුළු වූ ලංකාවේ ආර්ථිකය බංකොලොත් වීම අදුරදර්ශී පවුල් පාලන න්‍යායයෙන් මිස අන් කවර නම් න්‍යායකින් විස්තර කළ හැකිද?

රාජ්‍යය බිඳ වැටී මුළුමහත් ජනතාවක් බිහිසුණු ප්‍රපාතයක මුවවිට සිටිය දී පවා හයක් හතරක් නොදත් විකට නළුවෙකු රාජ්‍ය තාන්ත්‍රිකයෙකු ලෙසින් නම් කරන්නට තරම් මුග්ධ වූ ආණ්ඩුවකට තව දුරටත් රාජ්‍ය පාලනයට ඉඩදීම ජාතියක මළගම සනිටුහන් කරන්නේය. (බලවත් රටක අඛණ්ඩ ප්‍රහාර හමුවේ සිය ජනතාවගේ ජීවිත අයිතිය උදෙසා සටන් වදින යුක්රේනයේ ජනාධිපති සෙලෙනිස්කි (Volodymyr Zelensky) විකට නළුවෛකු ලෙසින් සිය වෘත්තිය පවත්වා ගෙන ගිය ද ඔහු කිව් සරසවියෙන් නීති උපාධිය ලබා නීතිඥ වෘත්තියෙහි කටයුතු කිරීමට හැකියාව ලැබූ පුද්ගලයෙකු බව ද මෙහි දී සඳහන් කළ යුතුමය). එමෙන්ම රට තව දුරටත් අදුරෙන් අදුරට ගිලීයන මොහොතක තුට්ටු දෙකේ නිළියන් සංස්කෘතික ඇමතිවරියන් ලෙස පත් කරන්නට තරම් මුග්ධ වූ ආණ්ඩුවකින් රටකට තව දුරටත් යහපත් දිශානතියක් අපේක්ෂා කළ හැකිද?

ඔව් ආණ්ඩුව ඉල්ලා අස්වීමෙන් තොරව වෙනත් විසඳුමක් දැන්නම් නැත්තේමය. රටට මේ මොහොතේ ඇවැසි ඩොලර් සංචිත නංවන්නට විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් සූදානම්ය. එහෙත් සිය දහදිය මහන්සියෙන් උපයන මුදල් හොරුන් අතට පත් කරන්නට තරම් ඔවුහු නිවටයෝ නොවන්නෝය. සොරුන් පන්නා දැමීමෙන් තොරව රට ඉදිරියට ගෙන යා හැකි වෙනත් විකල්පයක් මේ මොහොතේ ඉතිරිව ඇතැයි සිතීමම මුලාවකි.

උඹලාගේ රටේ මිනිස්සු ගැන මට හරිම ආඩම්බරයි!

ලිපිය අවසන් කරන්නට මත්තෙන් තවත් එක් කරුණක් ගැන සදහන් කළ යුතුව ඇත්තේය.

සිකුරාදා හවස රාජකාරී කටයුතු අතරේ මගේ කාර්යාලීය මිත්‍රයෙක් මගේ පරිගණකයට එක්වරම කෙටි පණිවිඩයක් එව්වේය.

“I am so proud of your people!” (උඹලාගේ රටේ මිනිස්සු ගැන මට හරිම ආඩම්බරයි!)

ඔහු එවූ පණිවිඩය සමග ගාලු මුවදොර (ගෝටාගෝගම) අරගලයට බට රටවැසියන්ගේ පිංතූර කිහිපයක් ද අමුණා තිබුණි. ඒ සමගම වූයේ ගෝටාගෝගම ජනතාවගේ ධෛර්යය හා කැපකිරීම විවරණය කරමින් ඉංග්‍රීසි මාධ්‍යවේදියෙකු විසින් ලියන ලද අනර්ග ලිපියකි.

මගේ රට සහ මගේ රටේ ජනතාව ගැන උපන් ආදරයෙන් සහ ගෞරවයෙන් මගේ දෑස් තෙත් වී ගියේය.

මගේ වැඩිහිටි පරපුර විසින් අත්හැර දමන ලද, එමෙන්ම මගේ පරම්පරාව විසින් පැහැර හරින ලද නිදහසේ ධජය නූතන පරම්පරාව විසින් සියතට ගෙන හසුරුවනු ලබන ආකාරය හදවත ජීවයෙන් පුරවාලන්නේය. අරගලයට බට පරපුරේ පුරුකක් වීමට නොහැකි වීම ගැන ඇත්තේ පසුතැවිල්ලක් සහ ලැජ්ජාවක් වුව ද ජීවිත කාලය තුළ දී කිසිදා දැකිය නොහැකි යැයි සිතිය හැකි වූ යමක් ඇස් පනාපිට සිදුවීම කෙතරම්ම ආස්වාදජනක ද?

මේ ඓතිහාසික අරගලයට දායකත්වය දෙන්නට තරම් ළග පාතක නොසිටීම සිතට දුකක් දනවන්නක් බව සැබෑය. එහෙත් මේ සටහන ලියැවෙන්නේ ජාතියක හෙට දවස අලුතින් ලියන්නට අරගල බිමෙහි හිඳගත් සිංහල, දෙමළ, මුස්ලිම් නූතන පරම්පරාවට ගෞරව පිණිසය!

ඔව් මේ අරගලය ජයගත යුතුමය!

නිර්පාක්ෂික අරගල ලොව නැත!

මේ මොහොතේ රටේ පාලනය වෙනස් විය යුත්තේ කෙසේද, නව කැබිනට් මණ්ඩලය සකස් විය යුත්තේ කෙසේ ද, අරගලය දියත් විය යුත්තේ කවර දිසාවට ද යන්න ගැන සමාජ මාධ්‍ය ඔස්සේ දිවා රෑ නොබලා උපෙදස් දෙන කේවට්ටයෝ බොහෝය. ඔවුහු සිය මනසින් කැබිනට් මණ්ඩල සාමාජිකයන් පත් කරති. නව මුදල් අැමති කවුරුන් විය යුතුදැයි මත පළ කරති. රටේ ජනතාවගෙන් සූරාගත් ජාතික සම්පත් සොරුන්ටම සින්න වන සේ නීතිය ලිහිල් කොට හොරුන්ට පැන යන්නට රතු පලස් එළමින්, එතැනින් නොනැවතී සිල්ලර කඩයක් කඩන්නාක් මෙන් මහ බැංකුව මහ දවාලේ කඩා බිඳ දැමූ යහ පාලනයේ අගමැතිවරයා පරිණත රාජ්‍ය තාන්ත්‍රිකයෙකු ලෙස වෙස් ගන්වා යළිත් අගමැති කිරුළට රැගෙන එන්නට සටහන් ලියති. මෙරට ජනතාවගෙන් සොරා කෑ මුදලින් කෝටිපතිනියක් වූ සිය මෑණියන්ගේ සුඛ විහරණය ගැන වචනයකුදු නාෙදොඩන පුතාණෝ රජ පුටුවේ අසුන් ගන්නට ඇඟිලි ගනිති. ‘සංවේදී වී’ දුර්දාන්ත පාලනයකට ජවය සැපයූ මැක්කෝ, බල්ලා විසින් පන්නනු ලදුව අසරණව එල්ලීම සඳහා අලුත් බල්ලෙකු සොයමින් සිඟමන් යදිති.

මෙවන් අදුරදර්ශී පාලනයක් ගෙන එන්නට දිවා රෑ නිදිවරමින් ඇඳිවත ද උනා දර දිය අැදි පිරිස ‘225ම එපා’ කියමින් හිටි හැටියේම ස්වාධීන වන්නට උත්සාහ දරති. ජන අරගලයේ මුල්ම පැයේ දීම, ‘පාලකයා පන්නා ගෙන එන්නේ කවුරුන්දැයි’ හරස් ප්‍රශ්න මතු කළෝ ද ඔවුහුම වූහ. 225 වෙනුවට ‘බ්‍රෑන්ඩ් නිව්’ ඇමරිකන් පුරවැසියෙකු ආනයනය කර පුහු වීරත්වයට නංවා කරළියට ගෙනැවිත් මෙවන් වූ මහා විපතකට සමස්ත ජාතියම ඇද දැමුවෝ ද ඔවුහුම වූහ. අද දවසේ හිටිහැටියේම ස්වාධීන බුද්ධිමතුන් බවට පත්ව රටට උචිත කැබිනට් මණ්ඩලය නිර්මාණය කරන්නට තරම් දේශපාලන දැනුමින් සන්නද්ධ වූ මේ ෆේස්බුක් විද්වතුන්ගේ විචක්ෂණශීලීත්වය සහ දේශපාලන සාක්ෂරතාව පසුගිය මහ මැතිවරණයේ දී සහ ජනාධිපතිවරණයේ දී කොහි තිබුණි ද යන්න තෝරා බේරා ගන්නට වසර දෙකකට පෙර ඒ් අයගේ සමාජ මාධ්‍ය භාවිතය ගැන පිරික්සීම පමණක්ම වුව ප්‍රමාණවත්ය.

දුර්දාන්ත සහ අඳුරු පාලනයක් නිමා කිරීමේ ඓතිහාසික අරගලයට සිංහල, දෙමළ, මුස්ලිම් සෑම ප්‍රජාවක්ම මේ මොහොතේ වීදි බැස අැත්තේය. එහෙත් අරගලයෙන් පසු ලබන ජයග්‍රහණය ස්ථිරසාර ගමනාන්තයක් කරා ගෙන යාමට දේශපාලන දිශානතියක් නිසැකයෙන්ම අවශ්‍යය. පොදු සටනේ දී නිර්පාක්ෂික වුවත්, අවසාන ඉලක්කය සොයා යාමේ දී නිර්පාක්ෂික වීම විහිළු සහගත අමනත්වයකි. සිය දේශපාලන සාක්ෂරතාව මත වඩාත් යහපත්, වඩාත් විනයගරුක, වඩාත් සබුද්ධික දේශපාලන දිශානතියක් සහිත පිරිසක් වෙත විශ්වාසය තැබීම මැතිවරණයක දී ඡන්දදායකයා සතු යුතුකමක් සහ පුරවැසි වගකීමක් වන්නේය. හැමදාමත් රැවෙටන, හැමදාමත් කඩේ යන, හැමදාමත් සොරුන්ට ආවඩන කේවට්ටයන්ගේ උපදෙස් අළුයම කෙළ පිඬක් සේ බැහැර කිරීමට කිසිසේත්ම දෙවරක් සිතිය යුතු නැත.

5 thoughts on “දැල් වූ පහන්… දැල් වී තිබේවා!

Add yours

  1. නිර්පාක්ෂික අරගල ලොව නැත!
    වෙනත් ලිපි සේම මෙයද අගනා ලිපියකි. මා අද ලෙඩ ඇඳක. වැඩිය ලියන්න බෑ මේ ෆෝන් එකෙන්. මේ නිර්පාක්ෂික අරගලයක් – උද්ගෝෂණයක් – යන්න මගේ හිතේද ඇත්තේ දරුණු සැකයකි. ලංකාවේ සිදුවූ ගංවතුර – නායයෑම් වැනි කවර උවදුරකදීවත් මෙලෙස ආහාරපාන වතුර සැපයූ සංවිධාන නැත. මිනිසුන්ට භාන්ඩ හිඟයක් මවාපාන වෙළෙන්දුන් මෙලෙස සියලු දේවල් උද්ගෝෂකයින්ට සපයන්නේ කෙසේද ? මෙය කිසියම් අදිසි බලවේගයක බලපෑමක් බව එයින්ම වැටහෙනු ඇත. එය දේශපාලන හෝ විදෙස් ඩයස්පෝරා ක්‍රියාවක් ද??? සමාවන්න…මේ රෝගී මට හිතෙන දේවල්…

    කැමතියි

  2. ” නිර්පාක්ෂික අරගල ලොව නැත!
    වෙනත් ලිපි සේම මෙයද අගනා ලිපියකි. මා අද ලෙඩ ඇඳක. වැඩිය ලියන්න බෑ මේ ෆෝන්
    එකෙන්. මේ නිර්පාක්ෂික අරගලයක් – උද්ගෝෂණයක් – යන්න මගේ හිතේද ඇත්තේ දරුණු
    සැකයකි. ලංකාවේ සිදුවූ ගංවතුර – නායයෑම් වැනි කවර උවදුරකදීවත් මෙලෙස ආහාරපාන
    වතුර සැපයූ සංවිධාන නැත. මිනිසුන්ට භාන්ඩ හිඟයක් මවාපාන වෙළෙන්දුන් මෙලෙස
    සියලු දේවල් උද්ගෝෂකයින්ට සපයන්නේ කෙසේද ? මෙය කිසියම් අදිසි බලවේගයක බලපෑමක්
    බව එයින්ම වැටහෙනු ඇත. එය දේශපාලන හෝ විදෙස් ඩයස්පෝරා ක්‍රියාවක් ද???
    සමාවන්න…මේ රෝගී මට හිතෙන දේවල්…”
    Wipula Sumanasekera
    Writer, Director & Producer of Cinema & Television
    Creative Director and Consultant in Advertising
    Mobiles + 94777914995 – + 94717739283

    Liked by 1 person

    1. බොහොම ස්තුතියි ඔබේ සටහනට විපුල. මෙතැනදී නිර්පාක්ෂික අරගල ලොව නැත යන්නෙන් අදහස් කළේ අරගලයේ සුජාත බව ප්‍රශ්න කිරීම හෝ අරගලය පසුපස කිසියම් බලවේගයක් ඇතිද යන්න ගැන සැක පහළ කිරීම හෝ නොවේ. අරගලයට සම්බන්ධ වූ හැම දෙනාටම යම්කිසි පොදු අරමුණක් තිබිය හැකි නමුත් එහි සිටින හැම දෙනාටම තමන්ටම අනන්‍ය වූ දේශපාලන දැක්මක් ද ඇති බවයි. මැතිවරණයේ දී මතු වන්නේ ඒ් දේශපාලන දැක්මයි. අරගලයේ විසදුම් සැබෑ යථාර්ථයක් බවට පත් කළ හැකි වන්නේ අරගලයට පාදක වූ කරුණු කාරණා ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ හැකි දේශපාලන බලවේගයක් ක්‍රියාත්මක වූ පසු පමණයි. අවසන් විසදුමේ දී අරගලය දේශපාලනික විය යුත්තේ එයයි. තරුණ පරපුරට හැම දා මහමග සටන් කරන්නට හැකියාවක් නැතිවාක් මෙන්ම ඔවුන්ට හැම දා මහමහම රැදෙන්නට ඉඩ දිය යුතු ද නොවේ.

      දෙවැනි කරුණ ගත හොත් අරගලය මේ තරම් සාර්ථකව ඇදී යන්නේ කෙසේ ද යන්න ගැන ඔබ මතුකළ පැනයට සරලම උදාහරණයක් මාර්ටින් වික්‍රමසිංහයන්ගේ අදහසකින් ගෙන හැර දැක්විය හැකිය. (ඔහුගේ අදහස මතකයේ ඇතත් ඔහු එය සදහන් කළ කෘතිය මගේ මතකයේ නැත… බොහෝ විට උපන් දා සිට කෘතියේ විය හැකිය). ආණ්ඩුවක් විශාල මහජන මුදලක් වෙන් කර පවත්වන රාජ්‍ය වෙසක් උත්සවයට වඩා ජනතාව එක්ව පවත්වන වෙසක් උත්සවයක් අති සාර්ථක වන බව වික්‍රමසිංහයන් පෙන්වා දෙයි. එයට හේතුව රාජ්‍ය උත්සවයේ දී මහජනතාව එයට සහභාගි වන්නේ හැගීමකින් තොරව වන නමුත් මහජන එකමුතුවක දී ඒ් සහාය ලැබෙන්නේ ජනතාවගේ අවංක හද ගැස්මෙනි. රාජ්‍ය වප්මගුලට වඩා ගමක ශ්‍රමදානයක් සාර්ථක වෙන්නේ ද එහෙයිනි. පොදු මහජනතාවගේ හදවතින් පැන නගින කවර සාමුහික කටයුත්තක් වුව ද අති සාර්ථක වන බව ලෝක ඉතිහාසයෙන්ම උදාහරණය ඇත. මන්ද යත් ඒ්වාට ජීව වායුව පිඹිනුයේ පොදු ජනතාවම බැවිනි.

      කැමතියි

  3. මේ ආරම්භ වෙලා තියෙන්නෙ ලංකාවේ පළවෙනි නිදහස් අරගලය බව විස්වාස කරන්ඩ මම කැමතියි… හැබැයි ඒ අතරම මේක ඇතිවිය යුතු සැබෑ ප්‍රතිරෝධයක් යටපත් කරවන්ඩ හදලා දීලා තියෙන “කොන්ට්‍රෝල්ඩ් ප්‍රොටෙස්ට්” එකක් ද කියන සැකයකුත් මට තියෙනවා…

    මේ අරගලයට සමගාමීව IMF එකත් එක්ක සාකච්ඡාත් වෙනවා. සමහරු ඒක අරගලය හරහා ලබා ගත්ත ජයග්‍රහණයක් කියලත් නිර්වචනය කරනවා… ඒ අතරම, රටේ ප්‍රධාන වරාය-ගුවන් තොටුපොලවල් සියල්ල බදු දීම ගැන රජය අවධානය යොමු කරමින් ඉන්නවා කියලත් නිවේදනය වෙනවා. ලංකාවේ ප්‍රධානම ණය හිමියෙක් විදියට ඉන්දියාව IMF සාකච්ඡාවලට සහභාගීවන බවත්, IMF එක අපිට කියන්නේ ‘ණයහිමියන් එක්ක එකඟතාවයකට එන්ඩ’ කියන එක බවත් වාර්ථා වෙනවා…..

    ඔය කියන තත්වය උඩ වර්ථමාන චෝල අධිරාජ්‍යයා ජී ෂින්පිං නෙවෙයි, නරේන්ද්‍ර මෝදි කියලයි මට හිතෙන්නෙ. ජයශංකර්ලා දැනටමත් ලංකාවේ අභ්‍යන්තර ප්‍රශ්නවලට විසඳුම් දෙන්නෙ මේක ඉන්දියාවෙ ම ප්‍රාන්තයක් කියලා හිතාගෙන වගේ තමා…. ගෑස් පෝලිම්, තෙල් පෝලිම්, බෙහෙත් හිඟය විසඳෙනවා නම් රට ඉන්දියාවට ගියත් කමක් නෑ කියන තත්වයට සමහරුන්ගෙ හිත් දුර්වල වෙලා… කලාපීය විදුලි අර්බුධය විසඳන්න අන්තර්-කලාපීය රැහැන් ජාලයක් ඉදිකිරීම කාලෝචිතයි කියලා මෝදි මේ ලඟදි කියලා තිබුනා. කළුවරේ ඉන්ඩ වෙලා තියෙන අපිට ඒක මාරම අස්වැසිල්ලක් නෙවෙයිද? රටේ විදුලි සැපයුමෙයි ඉන්ධන සැමයුමෙයි පාලනය ඉන්දියාව සතු උනාම මේ රට තවදුරටත් නිදහස්-නිවහල් රටක්ද? අපිට නිදහස් දවසේ ගෝල්ෆේස් එකට උඩින් ගුවන් සංදර්ශන දාන්ඩ ඉන්දීය අවසරය ගන්ඩ වෙන තත්වයක් ලඟදීම ඒවි…

    ඒ මොක උනත්, සියලු ජාති-ආගම් භේද පක්ෂ-පංති බෙදීම් නැතුව ඔක්කොම එක කොඩියක් යටට එකතුවෙලා ඉන්න එක හරිම සතුටු හිතෙන දෙයක්. ඒක ගඹුරු ජාතික සමඟියක් – ජාතික රාජ්‍යයක ට පදනමක් වෙනවා නම් ගොඩක් හොඳයි. ඒකට ඒ දේශපාන සංස්කෘතිය ‘ගෝඨා-ගෝ-ගමේ’ ඉඳලා හද්ද පිටිසර ගම්වලටත් යන්ඩ ඕනේ… ඒක හිතන තරම් ලෙසි අරගලයක් නම් නෙවෙයි…

    ඔච්චර කාලයක් රාජපක්ෂලා හයිජැක් කරලා තිබුන ‘සිංහ කොඩිය්’ දැන් මිනිස්සු ආයෙත් උදුරලා අරන් වගේ හැඟීමක් මට දැනෙනෙවා. ‘ඔය සිංහ කොඩිය වනන්න පුළුවන් නිදහස ඇතිකරේ අපියි. ඒ නිසා දුවලා-පුතාලා ඒක පරිස්සමින් වනන්ඩ’ කියලා මහින්දට ජාතිය අමතලා කියන්ඩ උනේ ඒකයි. හැබයි තාම උතුරේ මිනිස්සුන්ට ඔය සිංහ කොඩියතුල පේන්නේ රාජපක්ෂලාගේ භීෂණය… ඒ බිය නැතිකරලා, සිංහ කොඩිය ඒ ගොල්ලන්ගේත් කොඩිය කියන එක ඒත්තු ගන්වන එක ගෝල්ෆේස් අරගලයේ වගකීමක්….

    මේ අරගලයේ මූලික අරමුනු තුනම එක්ක මම එකඟයි…

    1. “ගොඨා ගෝ හෝම්” [ඒ කියන්නේ ගොඨාභය කියන පුද්ගලයා විතරක් නෙවෙයි, නීතියට පිටින් පිහිටුවලා තියෙන අසීමාන්තික බලතල සහිත් ඔය විධායක ජනාධිපති ක්‍රමයම ඉවත්විය යුතුයි කියන ඒක.]
    2. “රාජපක්ෂලා ඇතුළු 225ම එපා” [ඒ කියන්නෙ, ජාතිවාදය-ආගම්වාදය වපුරන- මිනිස්සු අසමගි කරවන මේ මජර දේශපාලන සංස්කෘතියම වෙනස් විය යුතුයි කියන එක]

    3. ” හොරාකාපු සල්ලි දීපියව්” [ ඒ කියන්නේ පාර්ලිමේන්තුවේ ඉඳන් ග්‍රාම නිලධාරි මට්ටම දක්වා මුල් බැහැලා තියෙන, රාජ්‍ය සහ දේශපාලනික ක්ෂේත්‍රවල දූෂිතභාවය වෙනස් වෙලා, විගනනය හා පාරදෘශ්‍යභාවය සහිත පාලනයක් ස්ථාපිත විය යුතුයි කියන ඒක]

    මට තෙරෙන භූ-දේශපාලනික බලවේගවල ක්‍රියාකාරීතවයන්ට අනුව නම්, මේවා ක්‍රියාත්මක වෙමින් තියෙන සිස්ටම් එකට විරුද්ධ ඉල්ලීම්. ඉතින් මේ අරගලය පිටිපස්සේ ඉන්න අදිසි හස්තය මොකක්ද කියන ඒක ගැන මට තියෙන්නේ කුතුහලයක්… එහෙම බලවේගයක් නැත්තම්, මේ අරගලයට මේ තරම් කාලයක් පවතින්ඩ බෑ කියලයි මම විශ්වාස කරන්නේ… මේක තීරනාත්මක ජනතාවාදී – ජාතිකවාදී බලවේගයක් බවට පරිවර්ථනය කර ගැනීම රඳා පවතින්නෙ, මේ අරගලයේ අරමුණු රටේ සමස්ථ ජනතාව තුලට ම කාණ්දු කරවීම තුලයි… නිර්පාක්ෂිකව ඒක කරන්ඩ නම්… ? අනේ මට තේරෙන්නෙ නෑ!!

    අරුණ සිල්වා

    Liked by 1 person

    1. බොහොම ස්තුතියි අරුණ, වටිනා අදහස් දැක්වීමට. ඔබ පෙන්වා දෙන කරුණු වලට එකගයි. ඒ් වගේම අරගලයේ මූලික අරමුණු ලෙස ඔබ හදුනාගත්ත අරමුණු නිවැරදි බව මගේ ද හැගීමයි. ඔබේ වටිනා සටහනේ අවසාන ‌ඡේදය සම්බන්ධයෙන් අදහසක් දක්වන්නට කැමැතියි. ලෝක ඉතිහාසයේ කිසිම මහජන අරගලයකටම නිශ්චිත හැඩයක් තිබුණේ නැහැ. ඒවායේ දිශානතිය ගලාගෙන ගියේ විවිධාකර මාර්ග හරහා. මහජන අරගල සම්භාව්‍ය මට්ටමින් පවත්වාගෙන යන්න නම් විනයගරුක දේශපාලන නායකත්වයක් අවශ්‍යයි. එසේ නොවන අවස්ථාවල කිසියම් ආකාරයක කානිවල් හැඩයක් අරගලයට ලැබිය හැකි වුවත්, ඒ හැඩය පවා අරගලයේම කොටසක්. මේ නිසා සමස්ත අරගලයේ මතුපිට ස්වභාවය බලා අරගලයක දිශානතිය මැනීමට හෝ ඒ අරගලය අවතක්සේරු කළ නොහැකියි. ඔබ නිවැරදියි… ‌අරගලයේ අවසන් ජයග්‍රහණය නිර්පාක්ෂිකව ලැබිය නොහැකියි.

      මේ ලිපිය සම්බන්ධයෙන් අදහස් දැක් වූ විපුල සුමණසේකර මහතාගේ සටහන වෙනුවෙන් දැක් වූ කරුණක් යළිත් මෙහි උපුටා දැක්වීමට අවසර:
      // අරගලය මේ තරම් සාර්ථකව ඇදී යන්නේ කෙසේ ද යන්න ගැන ඔබ මතුකළ පැනයට සරලම උදාහරණයක් මාර්ටින් වික්‍රමසිංහයන්ගේ අදහසකින් ගෙන හැර දැක්විය හැකිය. (ඔහුගේ අදහස මතකයේ ඇතත් ඔහු එය සදහන් කළ කෘතිය මගේ මතකයේ නැත… බොහෝ විට උපන් දා සිට කෘතියේ විය හැකිය). ආණ්ඩුවක් විශාල මහජන මුදලක් වෙන් කර පවත්වන රාජ්‍ය වෙසක් උත්සවයට වඩා ජනතාව එක්ව පවත්වන වෙසක් උත්සවයක් අති සාර්ථක වන බව වික්‍රමසිංහයන් පෙන්වා දෙයි. එයට හේතුව රාජ්‍ය උත්සවයේ දී මහජනතාව එයට සහභාගි වන්නේ හැගීමකින් තොරව වන නමුත් මහජන එකමුතුවක දී ඒ් සහාය ලැබෙන්නේ ජනතාවගේ අවංක හද ගැස්මෙනි. රාජ්‍ය වප්මගුලට වඩා ගමක ශ්‍රමදානයක් සාර්ථක වෙන්නේ ද එහෙයිනි. පොදු මහජනතාවගේ හදවතින් පැන නගින කවර සාමුහික කටයුත්තක් වුව ද අති සාර්ථක වන බව ලෝක ඉතිහාසයෙන්ම උදාහරණය ඇත. මන්ද යත් ඒ්වාට ජීව වායුව පිඹිනුයේ පොදු ජනතාවම බැවිනි.//

      කැමතියි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

WordPress.comහි බ්ලොග් සටහනක්.

ඉහළ ↑

%d bloggers like this: