කවුරු ආවත් ඔච්චරයි!

“හැම දේකටම දේශපාලනය ගාවගන්න එපා!”

නිතර අහන්න ලැබෙන කතාවක්. ඔය කතාව කියන අය ඒ එක්කම කියන තවත් කතාවකුත් තියෙනවා. ඒ තමයි “කවුරු ආවත් ඔච්චරයි!”

මේ කියන කාරණාවල ඇත්තක් තිබුණත් නැතත් මේ කාරණාව කියන පිරිස දිහා බැලුවම නම් හිනා යන එක වළක්වා ගන්න බැහැ. ඒකට හේතුව ඉතිහාසය පුරාම වැඩියෙන්ම මේ කාරණය කියන්නේ එකම පිරිසක් වීම.

ආණ්ඩුවක් බලයට පත්කරන්නට පුළුවන් තරම් දරදිය ඇදලා, අවුරුද්දක් දෙකක් යන්නටත් කලින් තමන් පත් කරපු ආණ්ඩුව තමන්ගේ සිතුම් පැතුම් බලාපොරොත්තු හැම දෙයක්ම සුන්නද්දූලි කරලා දැම්මට පස්සේ එදා මැතිවරණයේ දී දරදිය ඇද්ද අයගෙන් තමයි වැඩිපුරම මේ කතා අහන්න ලැබෙන්නේ.

සමාජ මනෝ විද්‍යාවේ (Social Phycology) පෙන්වා දෙන විදියට මේකට ප්‍රධානතම කාරණාව තමන්ගේ චින්තනයේ පටු බව එක්ක ගැටගැහුණු හීනමානය. ඉතින් තමන්ගේ චින්තනමය දුබලතාව වහගන්න එහෙමත් නැතිනම් සරලවම කියනවා නම් ලැජ්ජාව වහගන්න පහසුම පිළිතුර තමයි ඔය කිව්ව කතාව. මේ හින්දා මැතිවරණ කාලයේ දී දිවා රෑ නොබලා කඩේ ගිය උදවිය දැන් පුදුමාකාර විදියට නිර්පාක්ෂික වෙලා. දේශපාලනය ගැන හරියට කළකිරිලා! දේශපාලනය එපාම වෙලාලු. ලැජ්ජාව වහගන්න පහසුම පිළිතුර තමයි – “කවුරු ආවත් ඔච්චරයි!” මොකද එ් අයගේ පටු මස්තිෂ්කයට දැනෙන්නේ තමන් පත් කළ නායකයාට රට හදන්න බැරි නම් කාටවත්ම බැහැ කියලා.

එහෙම කිව්වත්, තමන් පත්කළ ආණ්ඩුවේ නොහැකියාව ගැන විවේචනයක් ඇහෙද්දී ආපහු ඇඟේ ලේ කෝප වෙනවා…. මැතිවරණයේ දී කඩේ ගිය පෙර පුරුද්ද ඉස්මතු වෙනවා. ඔන්න එතකොට තමයි අර මුලින්ම කිව්ව කතාව කියන්නේ – “හැම දේකටම දේශපාලනය ගාවගන්න එපා!”

හැම දේකටම දේශපාලනය සම්බන්ධ ද නැද්ද? කවුරු ආවත් ඔච්චරද?

ඒ ප්‍රශ්නවලට සෘජු පිළිතුරු බෞද්ධ දර්ශනයේ තියෙනවා. ඒ වගේම ඔය කියන කාරණාව ගැන හරිම අපූරුවට විග්‍රහ කෙරෙන සූත්‍ර කිහිපයක්ම බෞද්ධ සාහිත්‍යයේ තියෙනවා. කොසොල් රජ්ජුරුවන්ගේ සිහින විග්‍රහ කෙරෙන මහා සුපින ජාතකය ගැන හැමෝම දන්නවානේ. අපේ රටේ දේශපාලන යථාර්ථය පැහැදිලි කරගන්න මහා සුපින ජාතකය විතරක්ම හොඳටම ප්‍රමාණවත්. මොකද කොසොල් රජ්ජුරුවෝ දැක්ක ඒ සිහින 16ම ලංකාවේ අපි අද යථාර්ථයක් විදියට අත්විඳින හින්දා. චක්කවත්ති සීහනාද සූත්‍රය, කුඨදන්ත සූත්‍රය වගේ සූත්‍රත් පෙන්නුම් කරන්නේ රටේ පාලකයා නිසා ජනතාවට වෙන්න පුළුවන් විපත්ති ගැන. රටේ පාලනය අධාර්මික වුණාම ගහ කොළ ඵලදාව පවා හීන වෙලා ඒවාගේ රස ගුණ පවා වැනසී යන හැටි ගැන රාජෝවාද සූත්‍රයේ විග්‍රහ කෙරෙනවා. රටක ජනතාවගේ දුක සැප දෙකටම රටේ පාලකයා සහ පාලන ක්‍රමය සෘජුවම වගකිව යුතු බව එහෙමත් නැතිනම් සතර අගතියෙහි ආදීනව කුක්කුර ජාතකයේ විස්තර කෙරෙනවා.

වැඩි දෙනා නොදන්නා තවත් සූත්‍රයක් තමයි ගණ්ඩතින්දු ජාතකය. රාජ්‍ය නායකයා අධාර්මික වූ විට මැති ඇමතිවරුන් පවා අධාර්මික වෙලා ජනතාව දුසිරිතයටත්, පැවිද්දන් දුසිල්වන්ත වන්නටත් සෘජුවම බලපාන හැටි මේ ජාතක කතාවේ පැහැදිලිව විග්‍රහ කෙරෙනවා. පොදුවේ ගත්තම රටක ජනතාව ජීවන බරින් හෙම්බත් වෙලා සියලු බලාපොරොත්තු සුන් වෙලා ගිහින් එදා දවස ගත කර ගැනීමේ අවධානමට මුහුණ දී ඉන්නවා නම් ඒ සියලු විපත්වලට හේතුව රටේ පාලකයාත්, ඒ රටේ පාලන තන්ත්‍රයත් කියන කාරණාව මේ ජාතක කතාව හරිම අපූරුවට විග්‍රහ කරනවා.

මේ කාලයේ කියවන්න වටින හරිම අපූරු කතාවක්! ඒ වගේම ගැඹුරුම පණිවිඩයක් ලබා දෙන කතාවක්! මෙන්න මෙහෙමයි කතාව!

(මේ ජාතක කතාව සටහන් කරන්නට කලින් මේ ජාතක කතාව සම්බන්ධ සියලු තොරතුරු ලබා ගත්තේ මා හිතමිත්‍ර මහාචාර්ය විලේගොඩ අරියදේව හිමියන්ගේ පොතකින් බවත් කියන්නට ඕනේ)

පුරාණ භාරතයේ කම්පිල්ල කියන රාජ්‍යයෙහි පංචාල කියලා රජෙක් රට පාලනය කළා. මේ රජාගේ පාලනය අයුක්තියෙන් අධර්මයෙන් පිරිලා තිබුණා. මේ රජාගේ පාලන කාලයෙහි රටේ කිසිම ආර්ථික සංවර්ධනයක් ඇති වුණේ නැහැ. ජනතාව පීඩනයෙන් පීඩනයට පත්වෙලයි හිටියේ.

තමන් ගැන ජනතාව දරන අදහස් ගැන දැනගන්න රජවරු විවිධාකාර දේවල් කරනවානේ! අද කාලයේ ගම සමග පිළිසදරට යනවා වගේ එදා තිබුණු ජනප්‍රියම ක්‍රමය තමයි අප්‍රසිද්ධියේ තමන්ගේ රාජධානියේ සැරිසැරීම. ඉතින් මේ පංචාල රජුත් තමන්ගේ පුරෝහිතයා එක්ක ඔය විදියේ සංචාරයක නිරත වුණා.

රජායි, පුරෝහිතයයි ගමනේ යද්දී වළකට වැටිලා අත පය බිඳිලා විලාප නගමින් රජුට සාප කරන වයසක කාන්තාවක් තමයි මුලින්ම මුණ ගැහුණේ. අතපය වාරු නැතිව දුබල වෙලා මේ විදියට තමන්ගේම නොසැලකිල්ලෙන් වලක වැටිලා රජතුමාට සාප කරන එක අසාධාරණයි නේද කියලා වෙස් වලාගෙන හිටිය රජ්ජුරුවෝ ප්‍රශ්න කළා. මෙන්න ඒ මැහැල්ල කෙඳිරි ගාමින් දුන්නු උත්තරය:

“දීග දෙන වයසේ දූලා දෙන්නෙක් මට ඉන්නවා. උන් දීග ගෙනියන්න කවුරුවත් එන්නේ නැහැ. ඉතින් උන් දෙන්නා පෝෂණය කරන්න වෙලා තියෙන්නේ මට. කැලේට ගිහින් දර ටිකක් හරි පලා ටිකක් හරි කඩාගෙන ඇවිත් ඒවා විකුණලා බොහොම දුෂ්කර ජීවිතයක් තමයි මට ගත කරන්න වෙලා තියෙන්නේ. තමන්ටවත් තනියම ජීවත් වෙන්න බැරි මේ වගේ කාලයක දීග කන්න පිරිමි සූදානම් නැහැ. මගේ දියණියන් ගෙදරට නාකි වෙන්නේ ඒ නිසයි. රටේ පාලකයා හින්දා තමයි මෙහෙම තත්ත්වයකට මට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙන්නේ.”

මැහැල්ලගේ සාප කිරිල්ල සාධාරණ බව රජාටත්, පුරෝහිතයාටත් තේරුණා. ඒ නිසා එතැනින් ඉවත් වෙලා තවත් ඉස්සරහට ඇවිද ගෙන ගියා.

ඔන්න දැන් හම්බුවුණේ කටුවක් ඇනිලා කකුල අල්ලාගෙන රජුට සාප කරන මහලු මිනිහෙක්.

“අපොයි මගේ කකුල… මේ පංචාලයා හීයක් ඇනිලා මැරියන්. දුෂ්ට රජාට මීට වඩා සිය ගුණයක් වේදනාව දැනියන්…!” කිය කියා තමයි මහල්ලා විලාප දුන්නේ.

“ඇයි නාකියෝ උඹට පිස්සු ද මේ අහිංසක රජ්ජුරුවන්ට බනින්නේ? පාරට කටු ගෙනත් දැම්මේ රජ්ජුරුවෝ ද?”  තරහ ගිය පුරෝහිතයා මහල්ලාගෙන් ඇහුවා. මහල්ලා හේතුව පැහැදිලි කළා.

“මේ දුෂ්ට පංචාලයාගේ අධාර්මික පාලනය හින්දා රටේ හොර හතුරෝ වැඩිවෙලා. දවල් කාලයේ උගේ රාජ භටයෝ අපේ ඔලුව කනවා. ඒ මදිවට රාත්‍රියේ හොරු අපේ ඔලුව කනවා. උන්ගෙන් බේරෙන්න ගේ වටේ කටු අකුල් දාගෙන තමයි දැන් අපිට ඉන්න වෙලා තියෙන්නේ. ඒ කටුවක් තමයි මේ ඇනිලා තියෙන්නේ”

මහල්ලාගේ සාපය සාධාරණ බව පුරෝහිතට වගේම රජාටත් තේරුම් ගියා. දෙන්න නිහඩවම තවත් ඉස්සරහට ඇවිද ගෙන ගියා. වැඩි දුරක් එහෙම යන්න ලැබුණේ නැහැ. කුඹුරක් ලඟින් මෙන්න මේ විදියට සාප කරන හඩක් ඇහුණා.

“ඔය පංචාලයා නැසීයන්! ඕකා යුද්ධයකදීවත් කඩු ගෑවිලා නැසීයන්!” ඔළුවේ අත්දෙක බැඳගෙන මෙහෙම කෑ ගහන්නේ කුඹුරේ හිටපු ගොවියෙක්. කුඹුර සී සාන ගොනා කුඹුරේ වැටී දගලනවා. උගේ කකුලක් සීසාන නගුල් තලයට කැපිලා ලේ ගලනවා. ගොනා තුවාල වුණාමත් රජුට සාප කරන්නේ ඇයි කියන එක වෙස් වලාගෙන හිටපු රජුටත්, පුරෝහිතයාටත් හරිම පටලැවිල්ලක්. ගොවියා කාරණාව පැහැදිලි කළා.

“මම උදේ ඉඳන් මේ ගොනාගෙන් වැඩ ගන්නවා. දවල් මගේ බිරිඳ මට කෑම අරන් එද්දී රාජ පුරුෂයෝ ඒවා බලෙන් උදුරා ගෙන කාලා. ඒ නිසා ඇය ආපහු ගෙදරට ගියා බත් ටිකක් උයාගෙන ඉන්න. ඒ තරහට මම ගොනාට පහර දුන්නා. හෙම්බත් වෙලා හිටපු ගොනා මඩේ වැටිලා හී තලයට කකුල කැපුණේ ඒ නිසයි. මේ දුෂ්ට රජා හින්දා තමයි එක පිට එක හැම විපතකටම අපිට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙන්නේ”

ගොවියාගේ කෝපය සාධාරණ බව රජාටත්, පුරෝහිතටත් තේරුම් ගියා. වැඩි දුරක් යන්න කලින්ම ඔවුන්ට හමුවුණේ කුලප්පු වෙලා කඹය කඩාගෙන කැලෑ වදින කුළු දෙනක්. කිරි හට්ටියත් බිඳිලා කිරි හැම තැනම විසිරිලා ගිහින්. ගොපල්ලා ඇහැත් තුවාල කරගෙන රජ්ජුරුවන්ට සාප කරනවා.

“කුරිරු පංචාලයාගේ ඔළුව කිරි මුට්ටිය බිඳුනා වගේ කුඩුවෙයන්!”

මේ තරම් දරුණු විදියට රජුට සාප කරන්නට හේතුව පුරෝහිතයා විමසුවා. මෙන්න ගොපල්ලාගේ උත්තරය:

“මේ පංචාල රජුගේ මැති ඇමතියාගේ පටන් පහළම නිලධාරියා දක්වා එක වගේ ජනතාව පීඩාවට පත් කරනවා. උන්ට කොච්චර කිරි දොවා දුන්නත් මදි. ඉල්ලන තරම් කිරි නොදුන්නොත් අපිට හිරිහැර කරනාව. අපේ වැස්සියන්ගේ කිරි ප්‍රමාණවත් නැති නිසා කැලෑවෙන් කුළු ගවයන් අල්ලාගෙන කිරි දොවන්න අපිට සිද්ධ වෙලා තියෙනවා. ඒක ලේසි වැඩක් නෙමෙයි. මගේ ඇහැ තුවාල වුණේ මේ කුරිරු පාලකයාත්, උගේ හෙංචයියනුත් හින්දා තමයි!”

ගොපල්ලාගේ සාප කිරීමත් සාධාරණ බව රජුටත්, පුරෝහිතයාටත් තේරුණා. වැඩි දුරක් යන්න ලැබුණේ නැහැ. ගම් වැසියන් සෑහෙන පිරිසක් එකට එකතු වෙලා රජුට විතරක් නෙමෙයි රජ පවුලටම සාප කරන හැටි තමයි මේ දෙන්න අහන්න දකින්න ලැබුණේ. මහ වැස්සියක් ගම දෙවනත් වෙන්න විලාප තියනවා. වැස්සිය අයිති පවුලේ අය විතරක් නෙමෙයි, ගමේ කොලු කුරුට්ටන් පවා ගම් වැසියන් එක්ක එකතු වෙලා රජ පවුලට සාප කරනවා.

“මේ වැස්සියගේ පැටියා රාජ පුරුෂයන් අරගෙන ගිහින් මරා ගෙන කාලා. ඒ යක්කු ඒ පැටියාගේ හමත් කඩු කොපු හදාගන්න ගෙනිහිල්ලා. පැටියා නැති ශෝකයෙන් මේ වැස්සිගේ විලාපය අහගෙන ඉන්න බැරිව තමයි ගමේ මිනිස්සු රජ්ජුරුවන්ට සාප කරන්නේ…” සාප කර කර හිටපු එක් ගම්වැසියෙක් වෙස් වළාගෙන හිටිය රජ්ජුරුවන්ට පැහැදිලි කළා. මේ සාපයට තමන් වගකිව යුතු බව රජුටත් තේරුණා.

තවත් ටික දුරක් ඇවිද ගෙන යද්දී ජලය හිදුණු දිය කඩිත්තක ගෙම්බන් දෙන්නෙකුත් මෙන්න මෙහෙම රජාට සාප කරනවා.

“ඕකා මැරියන්… ඕකා මැරියන්…!”

අතීතයේ මිනිසුන් පරිසරය එක්ක බොහොම සංවේදී වුණ නිසා ජාතක කතා බොහොමයක මිනිසාත් සතුනුත් අතර සිදු කෙරෙන අදහස් හුවමාරු විග්‍රහ කෙරෙනවානේ. ඉතින් රජුටත්, පුරෝහිතයාටත් මේ ගෙම්බන්ගේ සාපය හරිම ප්‍රහේලිකාවක් වුණා.

“ගෙම්බනේ නුඹලා ඇයි මේ විදියට රජුට සාප කරන්නේ?”

රටට නිසි කලට වැසි නොවසින්නේ පංචාල රජුගේ අධාර්මික පාලනය නිසා බවත් මේ නිසාම රටේ සාගතය පැතිරිලා කපුටන්ට පවා කන්නට යමක් සොයා ගන්නට නොහැකි තැන වියලි දිය කඩිතිවල ඉන්න තමන්ව අල්ලා ගිල දමන බවත් ගෙම්බන් පැහැදිලි කළා. කපුටන් ගෙම්බන් කන්නට එන්නේ වෙන කන්න දෙයක් නැතිම වුණාමනේ! කපුටෙකුට පවා කන්න දෙයක් නැති තරමට රටේ කෑම බීම පවා හිඟ වෙලා.

මිනිසුන්ට විතරක් නෙමෙයි, ගහ කොළ සතා සීපාවට පවා සිදුවන සෑම විපත්තියකටම සම්පූර්ණයෙන් වගකිව යුත්තේ පාලකයා බවත්, රටක ආර්ථික සමෘද්ධිය මුළුමනින්ම රඳා පවතින්නේ පාලකයාගේ දුරදර්ශී භාවය මත බවත් පංචාල රජාටත්, පුරෝහිතයාටත් මේ සංචාරයෙන් තේරුම් ගියා.

ගණ්ඩතින්දු ජාතකය ගැන කතාව එතැනින් ඉවරයි. ඒත් මේ ජාතක කතාව හදිසියේම මතක් වෙන්න හේතු කිහිපයක් තිබුණා. එයින් එක් හේතුවක් තමයි ලංකාවේ සංචාරය කරන කැනේඩියානුවන්ට කැනඩා රජය තමන්ගේ නිල වෙබ් අඩවියේ කළ අනතුරු හැඟවීම. ඒ තමයි ලංකාවේ තියෙන ආර්ථික කඩා වැටීම නිසා ලංකාවට යන කැනේඩියානුවන් තමන්ගේ අතිශය සරල මූලික අවශ්‍යතා ඒ කියන්නේ කෑම බීම, වතුර බෝතල් විතරක් නෙමෙයි ඉන්ධන පවා ප්‍රමාණවත් විදියට ලබා ගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා ද කියන එක ගැන සැලකිලිමත් වෙන්න කියන එක.

දෙවැනි කාරණාව තමයි අහම්බෙන් දකින්න ලැබුණු පහතින් තියෙන සාරවත් කියමන

When a leader does not address a PROBLEM,

the PROBLEM becomes the leader and the leader becomes the PROBLEM.

ගැටලුවලට සැබෑ විසදුමක් ලබා දෙන්නට පාලකයා (නායකයා) අසමත් වන කල්හි

ගැටලුව (නිරායාසයෙන්ම) නායකත්වයට පත්ව

සැබෑම ගැටලුව (අන් කවරෙකුවත් නොව) පාලකයාම බව පසක් වන්නේය.

2 thoughts on “කවුරු ආවත් ඔච්චරයි!

Add yours

  1. තව ජාතක කතාවක තියෙනවා. රජු අධාර්මික වනකොට රටේ ගස්වල පලතුරු වල පවා රස හීන වෙනවා කියල ඉරිසිවරයෙක් රජුට කියනව. රජු මෙය කරලා බලනව. එය එහමම වෙනවා. එයින් පසු රජු අතිශය ධාර්මිකව රට කරනවා

    Liked by 1 person

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

WordPress.comහි බ්ලොග් සටහනක්.

ඉහළ ↑

%d bloggers like this: