ඔහු තාමත් අවදියෙන්!

මධ්‍යම රාත්‍රියත් පහුවෙලා. හවස් වරුවේ පටන් ගත්ත වැස්ස තාමත් එක දිගටම වැටෙනවා. නිදාගන්න යන්න කලින් පුරුද්දට වගේ මගේ නිදන කාමරයේ කවුළුවෙන් මොහොතකට එළියට එබී බැලුවා.

ඔහු තාමත් අවදියෙන්!

ඔහුගේ කුටියේ පහන් එළිය වෙනදා වගේම අදත් මහ රෑ දැල්වෙනවා. පරිගණක තිරය මත ඇති කිසියම් දෙයක් වෙත දෑස් යොමාගෙන සිටින ඔහුගේ ඡායාව ජල බිංදු පතිත වුණු ජනේලය අතරින් අදත් මට පේනවා.

බිල් කියන්නේ මගේ අසල්වැසියා. අවුරුදු අසුවත් ඉක්මවා ගිය ඉතා ප්‍රියමනාප මිත්‍රශීලි මිනිසෙක්. අත්දිග කමිසය ඉන පටිය බැඳි කලිසමට යට කරලා බොහොම පි‍ළිවෙළට තමයි නිතරම ඉන්නේ.

බිල් ජීවත් වුණේ බිරිඳ බාබරා එක්ක. ග්‍රීෂ්ම කාලයේ මිදුලේ මල් පැළවලට සාත්තු සප්පයාම් කරන බිල් සහ බාබරා එක්ක අපි නිතර නිතර සතුටු සාමීචියේ යෙදෙන්න පුරුදු වෙලා හිටියා. වත්තේ වැඩ කරද්දී පවා කලින් කිව්ව විදියට අත් දිග කමිසය ඇඳලා පිළිවෙළට තමයි ඒ වැඩ කරන්න බිල් පුරුදු වෙලා ඉන්නේ.

හවස් වරුවේ මාත් බිරිඳත් ඇවිදින්න යද්දී, ව්‍යායාමට ඇවිදින්න යන බිල්වත් නිතර නිතර අපිට මුණ ගැහෙනවා. ඒ සමහර වෙලාවට බයිසිකලය පදින්නත් බිල් අමතක කළේ නැහැ. තමන්ගේ ශරීර සෞඛ්‍යය හොදීන් පවත්වා ගෙන යන්නට බිල් ලොකු උත්සාහයක් ගත්තා. ඒකට විශේෂ හේතුවකුත් තිබුණා. බිල්ගේ බිරිඳ බාබරා ටික කාලයක ඉඳන් රෝද පුටුවේ ඉන්නේ. බිරිඳව වෛද්‍යවරයා ළගට ගෙනියන්න, නිතර නිතර කඩමණ්ඩියට යන්න වගේ වැඩවලට වාහනය පදවන්න බිල්ට සිද්ධ වෙනවා. කැනඩාවේ මගේ ප්‍රාන්තයේ ජීවත් වෙන වයෝවෘද්ධ තැනැත්තෙකුට රියදුරු බලපත්‍රය අලුත් කරගන්නට තරමක් දුෂ්කරයි. ඒකට හේතුව රියදුරු බලපත්‍රය අලුත් කරන්නට කලින් ඒ අයගේ සෞඛ්‍යය ගැන විශේෂ පරීක්ෂණ කිහිපයක් සිදු කෙරෙන නිසා. ඒ වගේම බලපත්‍රය නිකුත් කරන්නෙත් අවුරුද්දෙන් අවුරුද්ද අලුත් කරගන්නට සිද්ධ වෙන විදියට. සෞඛ්‍ය පරීක්ෂණයෙන් අසමත් නොවන විදියට හැකිතාක් කාලයක් තමන්ගේ සෞඛ්‍යය යහපත්ව පවත්වා ගෙන යන්නට ලොකු උත්සාහයක් ගන්න බව බිල් මට කිහිප සැරයක්ම කියලා තියෙනවා.

දැනට මාස දෙක තුනකට කලින් බාබරා මිය ගියා. දැන් බිල් ජීවත් වෙන්නේ තනියම. ග්‍රීෂ්ම කාලය නිමා වෙලා වැහිබර අඳුරු සීත සමයයි මේ ගතවෙමින් යන්නේ. හවස් යාමයේ ඇද හැලෙන වර්ෂාව හින්දා වෙනදා වගේ එළියට බැහැලා ඇවිදින්න යන්නත් දැන් බැහැ. ඒ නිසා දැන් බිල්ව එළිපහළියේ දකින්න බැහැ. සීතල අඳුරු පරිසරයත් එක්ක තනිකම වෙලා ගත්ත මේ වැඩිහිටි මිත්‍රයා ගැන නිතර නිතර හිතට නැගෙන දුක්මුසු සිතිවිලි හින්දා දුරකථනයෙන් කෙටි පණිවිඩ යවලා වරින් වර ඔහුගේ සුව දුක් විමසා කළ යුතු යමක් ඇතිදැයි විමසූවත් කිසිම දවසක ඔහු මගෙන් උදව් ඉල්ලා නැහැ.

බිම් මට්මේ තියෙන කාමරයක කවුළුව අද්දරට වෙලා හැමදාම වගේ රාත්‍රියට පරිගණක තිරය දිහා බලාගෙන යමක් කියවන එහෙමත් නැතිනම් වීඩියෝ ක්‍රීඩාවක නිරත වෙන බිල් ඉහළ මාලයක තියෙන මගේ නිදන කාමරයට හොඳින් පෙනෙනවා. පොතක් පතක් කියවලා පාන්දර එකට දෙකට නින්දට යන ඇතැම් අවස්ථාවල පවා බිල් අවදියෙන්. පාළුවත්, තනිකමත්, පරිසරය වෙලා ගත්ත සීතල අඳුරත් ඔහුගේ නින්ද සීමා කරනවා වෙන්න ඇති. 

දිය බිඳු පතිත වුණු වීදුරු කවුළුව අතරින් රාත්‍රියේ පෙනෙන බිල්ගේ රුව දකින බොහොම වෙලාවට මනෝ විද්‍යාත්මක සංකල්පයක් එහෙමත් නැතිනම් නූතන මනෝ චිකිත්සාවක් ගැන මගේ මතකයට එන්නේ නිරායාසයෙන්මයි. මේ ප්‍රතිකාර ක්‍රමයට කියන්නේ “logotherapy” කියලා. මේ ප්‍රතිකාර ක්‍රමය ගැන මමත් මුලින්ම ඉගෙන ගත්තේ තරමක කාලයකට කලින් කියෙව්ව ලෝක ප්‍රසිද්ධ පොතකින්. පොතේ නම “Man’s Search for Meaning”. නොබෙල් ත්‍යාගයට නම් කෙරුණු මහාචාර්ය වික්ටර් ෆ්‍රෑන්ක්ල් (Viktor E Frankl 1905 – 1997) තමයි පොතේ කතුවරයා. අතිබිහිසුණු අව්ෂ්විට්ස් වධකාගාරයේ වසර හතරක කාලයක් ජීවිතයත්, මරණයත් අතර දෝලනය වන ජීවිතයට උරුමකම් කිව්ව සිරකරුවෙකු ලෙස ජීවිතය ගත කරලා ජීවිතය බේරා ගන්නට වාසනාව ලැබූ අතිශය සුළුතරයෙන් කෙනෙක්.

ස්නායු ශල්‍ය විද්‍යාව, මනෝවිද්‍යාව කියන අංශ දෙකෙන්ම ආචාර්ය උපාධි දෙකක්ම ලබපු විශිෂ්ට වෛද්‍යවරයෙක් වුණු ඔස්ට්‍රියානු ජාතික වික්ටර් දාර්ශනික චින්තකයෙක්. මහාචාර්ය වික්ටර් අතිශය සම්භාවනාවට පත් වුණු පොත් පත් 39ක කතුවරයා වුණත් තමන්ගේම ජීවිත කතාව ඇතුළත් කරලා ලියපු ඉහත කිව්ව පොත ඒ හැම එකක්ම අබිබවමින් ලෝකයේ භාෂා විශාල ගණනකට පරිවර්තනය වුණා. ඒකට හේතුව බිහිසුණු වධ කඳවුර ඇතුළේ තමන්ගේම ජීවන අත්දැක‍ීම් අතරින් ඔහු සොයා ගත්ත විශිෂ්ට මනෝ විද්‍යාත්මක සංකල්ප කිහිපයක්ම ඒ පොත තුළින් ඔහු ලොවට හෙළි කරපු හින්දා. ඒ පොතින් ඔහු ලෝකයට හෙළිකරපු ඒ වගේම සාර්ථකව අත්හදා බලපු මනෝ විද්‍යාත්මක චිකිත්සාවක් තමයි ඉහතින් කිව්ව “logotherapy”  කියලා කියන්නේ. (මේ පොත ගැන මීට කලිනුත් සටහනක් ලියන්නට යෙදුණා)

අවුෂ්විට්ස් වධ කඳවුර ඇතුළේ ජීවිතයත් මරණයත් අතර සටන් කරලා තවදුරටත් ජීවත් වෙන්නට මහාචාර්යවරයා වාසනාවන්ත වුණත් ඔහුගේ අම්මා, තාත්තා. සහෝදරයා, බිරිඳ… ඒ හැමෝම නාසි වධ කදවුරේ දී කුරිරු විදියට ඝාතනයට ලක් වුණා. කොටින්ම කිව්වොත් වික්ටර්ගේ ජීවිතයේ හැම දෙයක්ම… පවුලේ සියලුම සාමාජිකයින්, ඔහුගේ ගේ දොර දේපළ, රැකියාව මේ හැම දෙයක්ම ඔහුට සදහටම අහිමි වුණා.

මහාචාර්ය වික්ටර් ෆ්‍රෑන්ක්ල්

Logos කියන වචනයට අර්ථ ගණනාවක් තිබුණත් ග්‍රික භාෂාවේ යෙදෙන තේරුම කිසියම් අරමුණක්, අදහසක් එහෙත් නැතිනම් තේරුමක් වගේ දෙයක්. ලෝගෝතෙරපි කියන මනෝ විද්‍යාත්මක ප්‍රතිකාර ක්‍රමය මගින් වික්ටර් ලෝකයට හඳුන්වලා දෙන්නේ තමන්ගේ ජීවිතයට කිසියම් තේරුමක් සොයා ගැනීමේ ප්‍රතිකාර විධික්‍රමයක් කියලා සරලව කියන්න පුළුවන්. මේ කියන ප්‍රතිකාර විධික්‍රමය ගැන මහාචාර්යවරයාගේ පොතේ තියෙන කරුණු ගොනු කරලා ගත්තම මේ විදියට සරලව ඒ කරුණු පෙළ ගස්වන්න පුළුවන්.

කොයි විධියේ තත්ත්වයක් යටතේ වුණත්, ඒ කියන්නේ ඔබේ ජීවිතයේ ඕනෑම අවාසනාවන්ත තත්ත්වයක දී පවා (මහාචාර්යවරයා බිහිසුණු දිවියක් ගත කළ අවුෂ්විට්ස් වධකාගාරයේ දී පවා) මිනිසුන් විදියට අපේ ජීවිතයට කිසියම් ආකාරයක තේරුමක් දෙන්න අපිට පුළුවන්. (Life has meaning under all circumstances, even the most miserable ones).

ඔය කියන ජීවන අරමුණ එහෙමත් නැතිනම් අපේ ජීවිතයේ තේරුම හොයා ගෙන යාමට අපි දරන උත්සාහය නිසා තමයි අපි ජීවිතය ගෙවා දමන්නේ. වෙනත් වචනයකින් කියනවා නම් ජීවත් වෙන්නට අපිට තියෙන ප්‍රධානම පෙළඹීම තමයි ඔය කියන ජීවන අරමුණ හොයා ගෙන යන එක. (Our main motivation for living is our will to find meaning in life).

අපේ මේ ජීවන ගමනේ දී එදිනෙදා අපි ජීවිතයට මුහුණ දිය යුත්තේ කොහොමද කියන කාරණාව ගැන පූර්ණ නිදහසක් අපිට තියෙනවා කියලා මහාචාර්යවරයා අවධාරණය කරනවා. ඒ කියන්නේ අපේ ජීවිතයේ ඉතාම දුක්බර එහෙමත් නැතිනම් ඉතාම දුෂ්කර අවස්ථාවන්වල පවා ඒ අවස්ථාවන්ට මුහුණ දිය යුත්තේ කොහොම ද කියන තීරණය ගැනීමේ පරම අයිතිය තියෙන්නේ අපිට විතරමක්මය කියලා මහාචර්යවරයා කියනවා. (We have freedom to find meaning in what we do, and what we experience, or at least in the stance we take when faced with a situation of unchangeable suffering).

මේ කරුණු සනාථ කරන්න මහාචාර්යවරයා අවුෂ්ට්විට්ස් වධකාගාරයේ වගේම වෛද්‍යවරයෙක් විදියට තමන්ගේම ජීවිත අත්දැකීම් ඇසුරින් හරිම අපූරු උදාහරණ රාශියක් ඔය කිව්ව පොතින් පෙන්වලා දෙනවා.

දැන් අපි ආපහු හැරෙමු මගේ වයස්ගත මිත්‍රයා බිල් දිහාවට. වැහි වැටෙන සීතල අඳුරු රාත්‍රියේ නිදිවර්ජිතව හුදෙකලාව රැය පහන් කරන මගේ මිත්‍රයාට සමාන අත්දැකීමක් ඇති තැනැත්තෙකුට ඉහතින් කිව්ව ප්‍රතිකාර ක්‍රමය මගින් තමන් ලබා දුන්නු අතිශය සාර්ථක ප්‍රතිකාරයක් ගැන මහාචාර්යවරයා තමන්ගේ පොතින් හෙළිදරවු කරනවා.

අවුෂ්විට්ස් වධ කඳවුරෙන් ජීවිතය බේරා ගෙන පසු කාලීනව වෛද්‍ය වෘත්තියේ නියැලෙන මහාචාර්ය වික්ටර් ළගට එක්තරා අවස්ථාවක රෝගියෙක් එනවා. රෝගියෙක් කිව්වාට ඔහුත් වියපත් වෛද්‍යවරයෙක්. මේ වියපත් වෛද්‍යවරයා දරුණු මානසික පීඩාවකින් එහෙමත් නැතිනම් විශාදයෙන් (depression) පීඩා විඳිනවා. ඒකට හේතුව තමයි තමන්ගේ ජීවිතයේ තමන් ළගින්ම හිටිය ඒ වගේම තමන් එක්ක බොහොම ආදරයෙන් ජීවිතය බෙදා හදා ගත්ත බිරිඳ ඊට වසර දෙකකට කලින් මිය යාම. බිරිඳ මිය ගිහින් වසර දෙකක් වුණත් තමන් ජීවිතයේ හැම දේටම වඩා ආදරය කළ බිරිඳගේ වියොව දරා ගන්නට මේ වියපත් වෛද්‍යවරයාට තාමත් හැකිවෙලා නැහැ. දුකින් පිරුණු මුහුණින් බරව තමන්ගෙන් ප්‍රතිකාර පතා පැමිණි වියපත් වෛද්‍යවරයා දිහා සුළු වෙලාවක් බලාගෙන ඉන්න මහාචාර්යවරයා ඔහුගෙන් එකම එක ප්‍රශ්නයක් අහනවා.

“ඔබේ බිරිඳට කලින් ඔබ මිය ගියානම්…  ඔබ නැතිව ජීවත් වීම ඔබේ බිරිඳට කොහොම දැනේවි ද ඩොක්ටර්?”

“අපොයි… එහෙනම් එයාට ඒක හරිම දුකක් වේවි. එයා කොහොම ඒක දරා ගන්න ද?”

“දැක්කනේ ඩොක්ටර්… ඔබේ බිරිඳ වෙනුවට ඒ දුක දැන් දරාගන්නේ ඔබයි. ඔබේ බිරිඳට දුකක් දෙනවා වෙනුවට ඇය වෙනුවෙන් ඒ දුක දරා ගනිමින් ජීවිතයට මුහුණ දීම තමයි ඔබ අද මේ කරන්නේ”

වියපත් වෛදවරයා කිසිවක් පවසන්නේ නැහැ. සෙමෙන් නැගී සිටින ඔහු මහාචාර්යවරයාට අතට අත දී නිහඩවම කාමරයෙන් පිටත්ව යනවා. ඒත් ඒ සැහැල්ලු හිතකින්.

තමන් මෙතැනදී සිදුකළේ වියපත් වෛද්‍යවරයාගේ සිත තළා පෙළෙන සියලු දුක්ඛ දෝමනස්සයන් කෙරෙහි ඔහු බලන ආකල්පය වෙනස් කිරීම පමණක් බව මහාචාර්යවරයා පෙන්වලා දෙනවා. ඒ කියන්නේ වියපත් වෛද්‍යවරයාගේ හදවත පුරවා ගත්ත තනිකමට, ශෝකයට කිසියම් අරමුණක් ලබා දීම‍. මෙතැනදී ඒ අරමුණ තමයි පරිත්‍යාගය (sacrifice) කියන කාරණාව. ඒ කියන්නේ තමන්ගේ සිත වෙලා ගත්ත දුක ශෝකය, තමන්ගේ ආදරණීය බිරිඳ වෙනුවෙන් කරන පරිත්‍යාගයක්ය කියන විදියට ආකල්පය සකස් කරගන්නට වෛද්‍යවරයාට මග පෙන්වීම තමයි මහාචාර්යවරයා කළේ.

බෞද්ධ දර්ශනයේ එන අත්හැරීම කියන සංකල්පය ප්‍රගුණ කරන්නට පුළුවන් නම් මේ විදියේ පසුබිමක දී තියෙන ප්‍රශස්තම විසදුම එය බවට කිසිම සැකයක් නැහැ. ඒත් ඒ ස්ථාවරයට තල්ලු වෙන්නට බැරි පෘථග්ජන මිනිසුන්ට මේ කියන සංකල්පය හරිම ප්‍රායෝගිකව අත්හදා බලන්නට පුළුවන් සංකල්පයක්.

තමන්ගේ ජීවිතයේ අරමුණ ආගමික අර්ථයෙන් විසදා ගන්නට එපා කියන කාරණාවත් මහාචාර්යවරයා හෙළිදරවු කරන්නේ තමන්ගේම අත්දැකීමකින්. පසුකාලීනව මහාචාර්යවරයා විවාහ දිවියට ඇතුළත් වෙන්නේ කතෝලික ආගමට ඉතාම භක්තිමත් වුණු කාන්තාවක් එක්ක. ඔවුන්ගේ එකම දියණිය වයස අවුරුදු හයේදී තම මහාචාර්ය තාත්තාගෙන් මෙහෙම අහනවා. (මේ දියණියත් පසුකාලීනව ළමා මනෝ වෛද්‍යවරියක් බවට පත්වෙනවා)

“ඇයි තාත්තේ අපි දෙවියන් වහන්සේට ‘දයාවන්ත දෙවියෝ’ (good Lord) කියලා කියන්නේ?”

“දැන් බලන්න. සති දෙක තුනකට කලින් ඔයාට සරම්ප හැදිලා තිබුණා. ‘දයාවන්ත’ දෙවියන් වහන්සේ තමයි ඔයාව හොඳටම සනීප කළේ”

“ඉතින් තාත්තේ අමතක කරන්න එපා… මට සරම්ප හැදුවෙත් එයාම තමයි”

ඉහතින් කිව්ව වියපත් වෛද්‍යවරයා දුක විඳ දරා ගැනීම (suffering) ගැනීම කියන කාරණාව ඔස්සේ සාර්ථකව තමන්ගේ ජීවිත අරමුණ සොයා ගන්නට සමත් වුණත්, තමන්ගේ ජීවිතයට තේරුමක් සොයා ගන්නට දුක විඳ දරා ගැනීම කිසිසේත්ම අත්‍යවශ්‍ය නොවන බව මහාචාර්යවරයා තමන්ගේ පොතින් ඉතා පැහැදිලිව අවධාරණය කරනවා. තමන්ගේ ජීවිත වෙලා ගත්ත දුක් කරදර සමුදාය මානසිකව, ජීව විද්‍යාත්මකව එහෙමත් නැතිනම් දේශපාලනිකව වළක්වා ගන්නට පුළුවන්කම තියෙද්දීත් දුක් පීඩා විඳිමින් ඒවා ඉවසා දරා ගැනීම ස්වපීඩනකාමයක් එහෙමත් නැතිනම් තමන්වම තලා පෙලා ගැනීමෙන් සතුටුවීමක් මිසක් වීරත්වයක් නොවන බව මහාචාර්යවරයා තදින්ම කියා සිටිනවා. (To suffer unnecessarily is masochistic rather than heroic).

අන්න ඒ කාරණාව නම් ලංකාවේ අපිට අපේ ජීවිතයේ අරමුණ වටහා ගන්නට හොඳටම ප්‍රමාණවත්. තමන්ගේ දූ දරුවන්ගේ අනාගතය සදහටම අඳුරු ආගාධයකට ඇද වැටී තියෙද්දිත් තමන්ගේ දේශපාලන ස්වාමියන්ගේ දූ දරු මුණුබුරු මිණිබිරියන් සහ ඥාති හිතමිත්‍රාදීන්ගේ අනාගතය ගොඩ නගන්නට ජීවිත දිය කර හරින අපි හැමෝම වැටෙන්නේ මහාචාර්යවරයා ඒ කියන ස්වපීඩාකාමුකයන්ගේ ගොඩට. මහාචාර්ය වික්ටර් පෙන්වා දෙන විදියට අතිශය දුෂ්කර තීරණාත්මක අවස්ථාවක පවා තමන්ගේ ජීවිතයේ අරමුණ සොයා ගන්නට එහෙමත් නැතිනම් ජීවිතය අර්ථ සම්පූර්ණ කරගන්නට පූර්ණ නිදහස අප සතුව තිබුණත් අවුරුදු හැට හැත්තෑවක් පුරාම අපි කරන්නේ සිය කැමැත්තෙන්ම මර්දනයේ, පීඩනයේ ගොදුරු බවට පත්වෙන එක. කොයි තරම් කාලයක් සිය කැමැත්තෙන්ම අපි මේ පීඩනයේ ගොදුරු බවට පත්වෙලා තියෙනවා ද කියනවා දැන් ඒක ඇබ්බැහියක්. යහපත් රැකියාවක්, ගෙයක් දොරක් තනා ගැනීම වෙනුවට අපේ පරපුරේ අද දවසේ හිනය පෝලීමේ දවස ගත කර ගෑස් ටැංකියක් හිමිකර ගැනීම, වාහනයට ඉන්ධන පුරවා ගැනීම, හාල් මල්ලක්, එලවුළු මල්ලක් හිමිකර ගැනීම වගේ අතිශය සරල සිල්ලර කාරණා. රට පුරාම ගෙවල්වල ගෑස් ටැංකි තැනින් තැන පුපුරා යද්දී ඒ පිපිරීමේ දේශපාලන හේතු සාධක සොයා යනවා වෙනුවට ගෑස් ටැංකි කුස්සියෙන් පිටත තබා ගැනීමේ වැදගත්කම ගැන වාක්‍ය රචනා ලියන්න පුරුදු පුහුණු වෙන්නේ, එහෙත් නැතිනම් තමන්ට හිමි වැටුප හිමිකර ගන්නට කිසියම් වෘත්තිකයක් පිරිසක් අරගල කරද්දී එය හෙළා දකින්නට ලිපි රචනා කවි ගී ලියැවුණත්, වැස්සකටවත් සරසවියකට පා නොතැබූ, ඒ වගේම සර්පයින් පෙන්වමින් රටක් මුලා කළ චීවරධාරීන් ලොව පිළිගත් සරසවියන්හි කුලපති ධුරයට පත් කරද්දී මාරාන්තික මුනිවතම රකින්නේ, නොරටින් එන අසූචි නැවක් තම මව්බිමේ විසුරුවාලන්නට පාලකයන්ට ඉඩහසර පාදා දෙන්නට තර්ක විතර්ක ගෙන එන්නේ, රටක අතීත උරුමය වගේම අනාගත පරපුරට හිමිවිය යුතු සොබා සම්පත් තමන්ට හිමිවන කොමිස් කුට්ටිය මත සාහසික ලෙස වනසා දමද්දීත් පාලකයන් වෙනුවෙන් පෙනී සිටින්නේත්, ජීවන බරින් මිරිකී මියැදෙමින් බස් රථයේ දුම්රියේ පා පුවරුවේ එල්ලී යමින් පවා පාලකයන්ගේ ගුණ ගායනා කරන්නේත්, බිලියන ගණනින් හිතුමතයේ මුදල් අච්චු ගසමින් සමස්ත අනාගත පරපුරක්ම අන්ත දරිද්‍රතාවයට ඇද දමද්දී ඒ පාදඩ ක්‍රියාවන් සාධාරණීකරණය කරන්නට ආර්ථික විද්‍යා න්‍යායන් සොයා යන්නට උත්සාහ කරන්නේත් මහාචාර්යවරයා කියන මානසික ව්‍යාධිය උත්සන්න වුණාම තමයි.

ලංකාවේ අපි (පිංතූරය අන්තර්ජාලයෙනි)

මේ ව්‍යාධිය අපේ ලේවලට කොයි තරම් මුහුවෙලා ද කියනවා නම් එහෙම රෝගයක් අපිට තියෙනවා කියලා අපිට හිතෙන්නෙවත් නැහැ. ඒ නිසා පහුගිය අවුරුදු ගණනාව පුරාම ලංකාවේ අපි ජීවිතය විඳිනවා වෙනුවට මුළු ජීවිත කාලය පුරාම කරන්නේ, කරලා තියෙන්නේ ජීවත් වෙන්න උත්සාහ දරන එකම විතරයි. එහෙමත් නැතිනම් හොරු පන්නනවා වෙනුවට හොරු මාරු කරන්න අරගල කරන එකම විතරයි.

ශාරීරික රෝගයක් වගේ නෙමෙයි, මානසික ව්‍යාධියක් තමන්ට තියෙනවා කියලා හදුනා ගන්න කවුද කැමැති? සමාජයක්ම මේ විදියේ මානසික ව්‍යාධියකට ගොදුරු වුණාම ඒකට ප්‍රතිකාර කරන්න ඒ තරම්ම ලෙහෙසි නැහැ. මොකද ඒ වගේ ව්‍යාධියක් අපිට තියෙන බව අපිම දන්නේ නැති නිසා.  මේ විධියේ ව්‍යාධියකින් අපි පෙළෙන බව වටහා ගත්ත අතිශය සුළුතරයක් වූ මිනිසුන් මේ අන්ධකාර  යථාර්ථය පහදා දෙන්නට උත්සාහ දරද්දී එවැන්නන් දේශපාලන ඇසින් හෙළා දකින්නට අපි පෙළඹෙන්නේත් ඒ රෝගය උත්සන්න වුණාම තමයි.

අනෙක් අතට ගත්තම මහාචාර්ය වික්ටර් ෆ්‍රෑන්ක්ල් අද ජීවතුන් අතර හිටියා නම්,  නයෙක්ට රැවටුණු ඡන්ද දායකයන් පිරිසකට… පැණි බෝතලයකට රැවටුණු ජාතියකට මොන ප්‍රතිකාර ද කියලා එයාටම වුණත් හිතෙන්න තිබුණා.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.

ඉහළ ↑

%d bloggers like this: