පහුගිය අවුරුදු ලක්ෂ අට ඇතුළත 25 වතාවක්ම ලංකාවයි, ඉන්දියාවයි එකම ගොඩබිමක්!

බුදු හාමුදුරුවෝ වැඩ වාසය කරපු වකවානුව වෙනකොටත් ලංකාවේ ඉතාම දියුණු ශිෂ්ටාචාරයක් තිබුණු බව පැහැදිලියි!

සිංහයන්, කඟවේනන්, හිපපොටේමස්, ගවරුන් විතරක් නෙමෙයි මානවයන් පවා ඉන්දියාවේ ඉඳන් පයින්ම ලංකාවට ආවා ගියා!

එදා ලංකාව සම්පූර්ණයෙන්ම හිමෙන් වැහිලයි තිබුණේ!

විජයට ලංකාවට ගොඩ බැහැලා මහ ලොකු දෙයක් කරන්න ඉතිරි වෙලා තිබුණේ නැහැ!

විජය එනකොටත් අපේ රට අශ්වයන් පවා ඇති කළ ජාත්‍යන්තර මට්ටමේ දියුණු වෙළඳ මධ්‍යස්ථානයක්!

ලොව විශිෂ්ටතම පුරාවිද්‍යාඥයන්ගේ නාමාවලියේ අමරණීය නාමයක් සනිටුහන් කළ ආචාර්ය සිරාන් දැරණියගල සමස්ත දකුණු අසියාවේම ඉතිහාසය වෙනස් කිරීමට දායක වූ විරල ගණයේ ප්‍රාඥයෙක් විය. මෙරට ප්‍රාග් ඓතිහාසික මානව ශිෂ්ටාචාරය සහ භෞතික ශිෂ්ටාචාරය මුළු ලොවටම හෙළිදරවු කිරීමේ ගෞරවය හිමිවන්නේ අචාර්ය සිරාන් දැරණියගලට සහ ඔහුගේ පියාණන් වූ මෙරට සිටි කීර්තිමත්ම මානව විද්‍යාඥයා වන ආචාර්ය පී. ඒ. පී. දැරණියගලයන්ටය. පුරාවිද්‍යාව ආභරණයක් කර ගනිමින් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රතිරූප ඔසවා ගන්නට වෙර දරන පිරිස අතරේ දැවැන්ත සේවාවක් නිහඬව සිදු කළ ඒ අප්‍රමාණ මිනිසාගේ සමුගැනීම මෙරට පුරාවිද්‍යා ක්ෂේත්‍රයේ ඉතිරිව සිටි ශිෂ්ටාරවත් යුගයට අයත් ප්‍රාඥයන්ගේ පරපුරේ අවසාන පුරුකක නිමාව සටහන් කරනු ඇත්තේය.

ආචාර්ය සිරාන් දැරණියගලයන් පුරා විද්‍යා අධ්‍යක්ෂ ජනරාල්ව සිටි අවදියේ දී මගේ සොයුරු මාධ්‍යවේදී ජානක ලියනාරච්චි සහ මා සමග දින ගණනාවක් පුරා පැවැත් වූ සුහද සාකච්ඡා කිහිපයකින් උපුටා ගත් සංවාද සටහන් අතරින් සංක්ෂිප්ත කළ මේ සටහන මෙසේ පළ කරන්නේ ඒ අප්‍රමාණ වූ මිනිසාට උපහාරයක් සහ ගෞරවයක් ලෙසිනි. (මෙම සංවාදයන් සියල්ල 2000 වසරේ ජනවාරි, පෙබරවාරි සහ මාර්තු යන මාසයන් හිදී දිවයින සහ ඉරිදා දිවයින සංග්‍රහයෙහි කොටස් වශයෙන් පළ වුණේය).

ආචාර්ය දැරණියගල‍….. ඔබට සුබ රාත්‍රියක්!

__________________________________________________________

“ලංකාවේ අපි පය ගහලා ඉන්නේ අවුරුදු කෝටි 280ක් තරම් ඈත ඉතිහාසයකට ගිය භූමියක කියලා ඔබට විශ්වාස කරන්න පුළුවන් ද?  

ඔව් අපේ මේ දූපත එහෙමත් නැතිනම් ලංකාව පිහිටලා තියෙන මේ භූමි තලයේ බොහොමයක් කොටස් බිහිවෙලා තියෙන්නේ අවුරුදු කෝටි 280ක් තරම් පැරණි පාෂාණවලින්. මේක දිග කතාවක්.

මීට අවුරුදු කෝටි ගණනකට කලින් මුළු ලෝකයම එකම මහද්වීපයක්. මේ සුපිරි මහද්වීපයට (supercontinent) කිව්වේ පැන්ජියාව (Pangaea) කියලා. ඒත් ඔබට ආඩම්බර වෙන්න පුළුවන් තවත් කාරණාවක් තියෙනවා. ලංකාව පිහිටි භූමිය බිහිවුණේ ඔය කියන සුපිරි මහද්වීපය බිහිවෙන්නත් කලින්.

ඉන්දියාව, පාකිස්ථානය, ඇෆ්ගනිස්ථානය කියන රටවල් අයිතිවෙලා තිබුණ වර්තමානයේ හිමාල අඩවියට දකුණින් පිහිටි බිම් ප්‍රදේශය එදා පැවතුණේ මුහුදින් වටවුණු හුදෙකලා බිම්කඩක් විදියටයි. ලංකාවත් මුල පටන්ම ඔය බිම්කඩට සම්බන්ධ වෙලා තිබුණේ ඉන්දියාවේ කොටසක් විදියටයි. ඒ කාලයේ ලංකාව පැවතුණේ සමකයෙන් අක්ෂාංශ හතක් උතුරෙන්.

ඊට පස්සේ පෘථිවියේ ඔය විදියට තැනින් තැන තිබුණු ගොඩබිම් ඔක්කොම එකට එකතු වෙලා තමයි කලින් කිව්ව පැන්ජියාව නිර්මාණය වුණේ. ඒ එක්කම ලංකාවත් ඉන්දියානු බිම්කඩත් එක්ක සමකය පහුකරගෙන ගිහින් අප්‍රිකාවත් ඇන්ටාර්ටිකාවත් එක්ක එකට සම්බන්ධ වුණා.

මේ සුපිරි මහාද්වීපය වටේටම තිබුණු මහා සාගරය (super ocean) හැදින්වූයේ “පැන්තලසා”  (Panthalassa) කියලයි. මේ සුපිරි මහාද්වීපය මැද්දේ “තෙතීස්” (Tethys Ocean) කියලා මුහුදකුත් තිබුණා. මේ සුපිරි මහද්වීපය පැවැති කාලය හදුන්වන්නේ මෙසොසොයික් යුගය (Mesozoic  era) කියලයි. ඒ කියන්නේ අදින් අවුරුදු දශ ලක්ෂ 200කට කලින්.

ලංකාව ගැන ආයෙත් කතා කරනවා නම් අදින් අවුරුදු කෝටි 26කට කලින් පර්මියානු අවදියේ දී ලංකාව තිබුණේ දක්ෂිණ ධ්‍රැවයට සමීපයෙන් හිමෙන් වැසුණු ප්‍රදේශයක. ඒ කාලයේ අපේ රටේ නැගෙනහිර ප්‍රදේශයයි, දකුණු දිග ප්‍රදේශයයි පිළිවෙළින් ඇන්ටාර්ටිකාවටත්, දකුණු අප්‍රිකාවටත් හේත්තු වෙලයි තිබුණේ.

දකුණු අප්‍රිකාවේ ඉඳන් ගලාගෙන ආව යෝධ හිම ගංගා ඒ කියන්නේ ග්ලැසියර, අපේ මධ්‍ය කඳුකරය අසලින් ගලාගෙන ගියා. ලංකාව දක්ෂිණ ධ්‍රැවයට සමීප වෙලා තිබුණු ඔය කාලයේ උතුරු ඇමරිකාව අයත් ප්‍රදේශයේ සමකයට ළං වෙලා ගන වනාන්තරවලින් වැහිලයි තිබුණේ.

මම කලින් සඳහන් කරපු තෙතීස් මුහුද දිහාවට ආයෙත් යමු. තෙතීස් මුහුදෙන් උතුරේ තිබුණ භූමිය ලොරේෂියාව (Laurasia) විදියටත්, දකුණින් තිබුණු භූමිය ගොඩ්වානාලන්තය (Gondwana) විදියටත් නම් කරනවා. විටෙන් විට එකට යාවුණු මේ මේ බිම්කඩවල් දෙක ආයෙත් කාලයක දී වෙන් වුණු බවට සාධක තියෙනවා.

ලෝරේෂියාව නිර්මාණය වෙලා තිබුණේ උතුරු ඇමරිකාව, ග්‍රීන්ලන්තය, ස්කොට්ලන්තය එක්වෙලයි. ගොඩ්වානාලන්තයට අයිතිව තිබුණු රටවල් අතර ලංකාව දකුණු ඇමරිකාව, ෆ්ලෝරිඩාව, අප්‍රිකාව, ඇන්ටාර්ටිකාව, ඕස්ට්‍රේලියාව, ඉන්දියාව, ටිබැටය, ඉරානය, සවුදි අරාබිය, තූර්කිය, දකුණු යුරෝපය වගේ ප්‍රදේශ තිබුණා.

මහාද්වීප පාවීමේ මතය (continental drift) කියලා මුළු ලෝකය පුරාම ප්‍රචලිත වෙච්ච මේ මතය ලෝකයට ඉදිරිපත් කළේ ජර්මන් ජාතික ඇල්ෆ්‍රඩ් වෙග්නර් (Alfred Wegener). ගොඩ්වානාලන්තය කාලෙකට පස්සේ ආයෙත් කැබැලිවලට වෙන්වුණා. ඒ එක්කම ඕස්ට්‍රේලියාවත්, ඉන්දියානු මහාද්වීපයත් උතුරු දිශාවට පාවෙලා ගියා.

පැන්ජියා සහ පැන්තලසා (ඡායාරූපය – Encyclopædia Britannica) Inc.)

මීට අවුරුදු කෝටි 18කට කලින් ඒ කියන්නේ ඩයිනෝසරයන් ජීවත් වුණු ජුරාසික් යුගයේ ලංකාව ආයෙත් නිවර්තන කලාපයට ඇවිත් තිබුණා. ඒ කාලයේ ලංකාවේ තිබුණු මීවණ වර්ග, කස ගස් වගේ කේතුධර ශාකවල පොසිල පුත්තලම ප්‍රදේශයෙන් හමුවෙලා තියෙනවා. ඔහොම කාලයක් ගිහින් ඩයිනෝසරයන් මුළු ලෝකයෙන්ම වඳවෙලා ගිය කාලයේ ඒ කියන්නේ අදින් අවුරුදු කෝටි 6.5කට විතර කලින් ලංකාවත්, ඉන්දියානු භුමියත් යුරේසියානු බිම්කඩ මත ගැටිලා ඒ උඩින් ගමන් කරන්නට පටන් ගත්තා. මේ නිසා ඒ පෙදෙස් රැළි ගැහෙන්නට පටන් ගත්තා. හිමාල කඳුවැටිය නිර්මාණය වුණේ ඒ භූ චලනයේ ප්‍රතිඵලයක් විදියටයි.

ඔය විදියට මහාද්වීප ඝට්ටනය වෙන්න ගත්තම ලංකාවයි, ඉන්දියාවයි. ක්‍රම ක්‍රමයෙන් වෙන් වෙන්නට පටන් ගත්තා. වයඹ – ගිණිකොන දිශාවට සිද්ධ වෙන මේ ඈත්වීම අදත් හෙමිහිට සිද්ධ වෙනවා. මුල් කාලයේ ඉන්දියාවේ මදුරාසියත් එක්ක සමීපව තිබුණු යාපන අර්ධ ද්වීපය අද සැතපුම් දෙසියයක් විතර ඈතට තල්ලු වෙලා තියෙන්නේ ඔය හින්දයි.

කොහොම වුණත් අයිස් කඳු දියවීමත්, නැවත් අයිස් කඳු නිර්මාණය වීමත් නිසා මුහුදු මට්ටම ඉහළ පහළ යාමෙන් ලංකාවයි, ඉන්දියාවයි සැරෙන් සැරේ එකට හාවීමත්, නැවතත් එකිනෙකට වෙන් වීමත් සිද්ධ වෙලා තියෙනවා.  පහුගිය අවුරුදු ලක්ෂ අට ඇතුළත 25 වතාවක්ම මේ සිද්ධිය සිද්ධ වෙලා තියෙනවා. ඒ කියන්නේ පහුගිය අවුරුදු ලක්ෂ අට ඇතුළත් 25 වතාවක්ම ලංකාවයි, ඉන්දියාවයි එකම ගොඩබිමක්.  අතරමැදින් මහා සාගරයක් එදා තිබුණේ නැහැ. එදා ලංකාවේ දකින්න ලැබුණු සිංහයන්, කඟවේනන්, හිපපොටේමස්, ගවරුන් ඉන්දියාව ඔස්සේ පයින්ම තමයි ලංකාවට ඇවිත් තියෙන්නේ. ඒත් ව්‍යාඝ්‍රයන් වගේ සත්තුන්ට අපේ රටේ දේශගුණය ඒ තරම් හිතකර නොවුණු නිසා ව්‍යාඝ්‍රයන් අපේ රටට සංක්‍රමණය වෙලා නැති බවයි පෙනෙන්නේ. ඔය විදියට ලංකාවට ආපු ඒ සත්ව වර්ග ඉන්දියාවයි, ලංකාවයි වෙන් වුණාම හුදෙකලාව පරිණාමය වෙන්න පටන් ගත්තා. එදා අපේ රටේ හිටපු සිංහයන්, රයිනෝසිරස් වගේ සතුන් අද ඉන්න සිංහයන්ට, රයිනෝසිරස්ලාට වඩා වෙනස් වෙන්න මූලිකම හේතුව ඒකයි. සතුන් විතරක් නෙමෙයි ලංකාවෙයි, ඉන්දියාවෙයි එදා හිටිය මානවයෝත් කිසිම බාධාවක් නැතිව පයින්ම තමයි ඔය රටවල් දෙක අතර සංචාරය කරලා තියෙන්නේ. මේ හැම දෙයක්ම පුරාවිද්‍යාත්මක සාධකවලින් තහවුරු වෙලා තියෙනවා. ලංකාවට ආවේණික නොවුණු සිංහයන්, හිපපොටේමස්, රයිනෝසිරස් වගේ සතුන්ගේ පොසිල අපේ රටේ බොහොම තැන්වලින් හමුවෙලා තියෙන්නේ ඒ නිසයි. ලෝක සිතියමක් අරගෙන බැලුවත් මෙම භූමි එකට එකතු වෙලා තිබුණු හැටි ගැන අද වුණත් අදහසක් ගන්න පුළුවන්

අපේ රටේ මුලින්ම සිංහයකුගේ පොසිල හමුවුණේ 1936 අවුරුද්දේ දී කුරුවිට – රත්නපුර මාර්ගයේ 51 වැනි සැතපුම් කණුව අසල මැණික් පතලක අඩි 19ක් තරම් ගැඹුරු බිමකින්. මේ සිංහ පොසිල නිදර්ශකය සිංහයෙකුගේ වම්පස පහළ හණුවේ පාෂාණභූත වූ දතක්. (මේ සොයා ගැනීම සිදු කළේ ජාතික කෞතුකාගාරයේ අධ්‍යක්ෂ මෙන්ම පුරාවිද්‍යා කොමසාරිස්වරයෙකු මෙන්ම ලොව අග්‍රගණ්‍ය මානව විද්‍යාඥයෙකු ද වූ ආචාර්ය පී. ඒ. පී. දැරණියගලය. ඔහු ආචාර්ය සිරාන්ගේ පියාණන්ය). ඊට පස්සේ 1947 දී කුරුවිට කුරුගඟ ළඟ ගෝනපිටියේ දී අඩි විස්සක් ගැඹුරු මැණික් පතලකින් සිංහයෙකුගේ පහළ හණුවේ දකුණු පස රදනක දත් කැබැල්ලක් හමුවුණා. මේ විදියට සත්ව විශේෂ ගණනාවක පොසිල වැඩිපුරම හමුවුණේ රත්නපුර ප්‍රදේශයේ මැණික් පතල්වලින්. ලාංකික සිංහයාත්, වර්තමාන සිංහයාත් අතර ශරීර වෙනස්කම් තිබුණා. ආචාර්ය දැරණියගල (ආචාර්ය සිරාන්ගේ පියාණන්) ලාංකික සිංහයා නම් කළේ  ලියෝ ලියෝ සිංහලේයුස් (Leo leo sinhaleyus ) කියලයි. වර්තමාන සිංහයා නම් කරන්නේ පැන්තරා ලියෝ (Panthera leo)  කියලයි. ලාංකික සිංහයා වර්තමාන සිංහයාට වඩා ශරීර ප්‍රමාණයෙන් විශාලයි. අපේ පරපුරේ ආදිතමයන් ජීවත් වුණු කුරුවිට බටදොඹ  ලෙන ආශ්‍රිතව ජීවත් වුණු බලංගාඩ මානවයාත් ඔය සිංහයන් ඇසුරු කරමින් තමයි ජීවත් වෙලා තියෙන්නේ. (බටදොඹ ලෙන මුල්ම වරට ගවේෂණය කරමින් බලංගාඩ මානවයා පිළිබද තොරතුරු මුල්ම වරට ලොවට හෙළිදරවු කළේ ද ආචාර්ය සිරාන්ගේ පියාණන්ය. ඒ 1937-1940 අතර කාලයේ දීය).

ආචාර්ය පී. ඒ. පී. දැරණියගල

බිබිල, බදුල්ල වගේ ප්‍රදේශවලින් වගේම ලුණුගල කඳුවැටිය පාමුල මැණික් ඉල්ලම්වලින් පොසිල බවටපත් වුණු රයිනෝසිරස් ඇටකටු කොටස් හමුවුණා. හුගක් වෙලාවට ඒ සතුන්ගේ චාර්වක දත් තමයි මෙහෙම හමුවෙන්නේ. හිපපොටේමස්ගේ දත්වලට වඩා රයිනෝසිරස්ගේ දත්වල එනමලය කොටස ගනකමින් අඩුයි. මේ පොසිල වෙන් කර හඳුනා ගන්න ඒ කාරණාවත් වැදගත් වෙනවා. රයිනෝසිරස්ලා ලංකාවේ හිටියේත් සිංහයන් අපේ රටේ ජීවත් වුණු කාලයේම තමයි. අපේ රටේ රයිනෝ විශේෂ දෙකක් ජීවත් වුණා. රයිනෝසිරස් සිංහලේන්ස් (Rhinoceros Sinhaleyus) සහ රයිනෝසිරස් කඟවේනා (Rhinoceros kagavena) ඒ වර්ග දෙකයි. ලංකාවේ හිටිය රයිනෝසිරස්ලාත් දැන් ඉන්න රයිනෝලාට වඩා වෙනස්. අප්‍රිකාවේ දැන් ඉන්න රයිනෝලාට අඟ යුගලක් තිබුණත්, අපේ රටේ හිටිය රයිනෝට තිබුණේ තනි අඟක්. ඒ ව‍ගේම අප්‍රිකාවේ රයිනෝලා ජීවත් වෙන්නේ මඩ වගුරුවල. ඒත්අපේ රයිනෝලා ජීවත් වෙලා තියෙන්නේ වනාන්තර ආශ්‍රිතව.

අවුරුදු කෝටි 2.4කට කලින් ඒ කියන්නේ මයෝසීන යුගයේ දී කලින් කිව්ව විදියට රට තුළට කඩා වැදුණු මුහුද යාපන අර්ධද්වීපයේ සිට පුත්තලම දක්වාම විහිදෙන අවසාදිත හුණුගල් තීරය ඇති කිරීමට හේතුවෙලා තියෙනවා. මේ සුවිසල් හුණුගල් තීරුව අඩි සිය ගණනක ගනකමින් යුක්තයි. මුහුදේ ජල මට්ටම ඉහළ ගිය කාලයේ පෝක් සමුද්‍ර සන්ධියේ වැඩුණු කොරල්පර නිසා පෝක් සමුද්‍ර සන්ධියේ හුණුගල් තට්ටුවකුත් නිර්මාණය වෙලා තියෙනවා. රත්නපුර ප්‍රදේශයේ කළු ගඟ මුහුද මට්ටමේ ඉදන් අඩි හැටකට වඩා වැඩි උසක නොපිහිටන නිසා මුහුද මට්ටම ඉහළ ගිය කාලවලදී කළුගඟ කුරුවිටත්, රත්නපුරත්, දක්වා පැතිරුණු එකම විලක් බවට පත්වුණු බව හදුනාගන්න පුළුවන්.

අපේ මානව වංශ කතාවේ මෑත ඉතිහාසය ගත්තාම අපේ පරපුර ආරම්භ වුණේ විජයගෙන් කියන කරුණ බොහොම සම්ප්‍රදායික කියමනක්. ඒත් මීට අවුරුදු 2500කට කලින් විජය ගොඩ බැස්සේ අශ්වයන් පවා ඇති කළ බොහොම දියුණු නගරයකට. විජයට ලංකාවට ගොඩ බැහැලා මහ ලොකු දෙයක් කරන්න ඉතිරිවෙලා තිබුණේ නැහැ. විජය ලංකාවට ගොඩ බහින යුගය වෙද්දී ලංකාවේ යකඩ නිෂ්පාදනය සිද්ධ වුණා. ඒ වෙනකොටත් ලංකාව ගොවිතැන් කටයුතු කළ ඒ වගේම දියුණු සාක්ෂරතාවක් තිබුණු ශිෂ්ටාරවත් රටක්. මේ සත්‍යය පුරාවිද්‍යා සාධක සාක්ෂි සහිතවම ඔප්පු වුණේ 1969 දී අනුරාධපුරයේ ඇතුළුනුවර දී මගේ මූලිකත්වයෙන් සිදුවුණු පුරාවිද්‍යා කැණිම මගින්. මෙම කැණීමේ දී පොළොව මට්ටමින් අඩි 28ක් යටදී බලන්ගොඩ මානවයාගේ කාලේ මානව වාසස්ථානයක නටබුන් අපිට හමුවුණා. ඒ පස් තට්ටුවට මතුපිටින් ඉතා දියුණු ශිෂ්ටාචාරයක සාධක හමුවුණා. දියුණු ශිෂ්ටාචාරයක් කියලා කියන්නේ යකඩ භාවිතය, වී ගොවිතැන, කුඹල් කර්මාන්තය සිදු කෙරුණු ඒ වගේම අශ්වයන් පවා ඇති කළ මිනිසුන් ජීවත් වුණු මානව ශිෂ්ටාචාරයක් අපිට හමුවුණා. ඒත් අපි ඔය පර්යේෂණය සිදු කළ කාලයේ නිවැරදිව කාලය මනින්න තරම් දියුණු තාක්ෂණයක් තිබුණේ නැහැ. ඒ නිසා ඒ ශිෂ්ටාචාරය අයත් කාලය ගැන නිවැරදි මතවාදයක් තිබුණේ නැහැ.

1984 වෙද්දී සියයට සියයක්ම නිවැරදිව කාලය මනින්න පුළුවන් කාබන් දාහතර කාල නිර්ණය ක්‍රමය මුලින්ම ලෝකයට හඳුන්වලා දුන්නාට පස්සේ අනුරාධපුරයේ ඇතුළුනුවර සල්ගහවත්තේ මගේ මෙහෙයවීමෙන් අලුත් කැණීමක් පටන් ගත්තා. ඒ කැණිමෙන් ලැබුණු ප්‍රතිඵල කාබන් කාල නිර්ණ ක්‍රමයෙන් නිවැරදිවම ගණනය කළා. මේ කැණීම නිසා මුළු ලෝකයේම අවධානය අපිට යොමු වුණා. කැණීමෙන් හමුවුණු වළං කැබැල්ලක් නිසා තමයි සමස්ත දකුණු ආසියාවේම ඉතිහාසය උඩු යටිකුරු වුණේ.

අපිට හමුවුණ වළං කටු කැබැල්ලේ ආර්ය ප්‍රාකෘත භාෂාවෙන් “අනුරධ” කියන ශබ්දය සටහන් කරලා තිබුණා. මේ වගේ අක්ෂර සහිත වළං කටු කිහිපයක්ම තවත් තැන්වලින් හමුවුණා. මේවා මැටි පාත්‍රවල කොටස්. බොහෝවිට ඒවායේ අයිතිකාරයාගේ නමයි එහෙම සටහන් කරලා තිබුණේ. මේ වළං කැබැලිවල වයස සොයා ගැනීමත් එක්ක තමයි අර කිව්ව විදියට සමස්ත දකුණු ආසියාවේම ඉතිහාසය වෙනස් වුණේ. මෙච්චර කාලයක් ලෝකයේ පිළිගැනීමට ලක්වෙලා තිබුණේ අශෝක අධිරාජයාගේ කාලයේදී අක්ෂර භාවිතය ආරම්භ වෙලා දකුණු ඉන්දියාවේ ව්‍යාප්ත වුණා කියලයි. අශෝක අධිරාජයා ජීවත් වුණේ ක්‍රි. පූ. 300-250 කාලයේ දී. ඒත් මේ වළං කටු ඊටත් අවුරුදු 300-400ක් විතර පැරණියි. ඒ කියන්නේ මුළු දකුණු ආසියාවේම තියෙන පැරණිතම ආර්ය ප්‍රාකෘත අක්ෂර තමයි අනුරාධපුරයෙන් අපිට ලැබුණේ.

තවත් පැහැදිලි කරනවා නම් බුදු හාමුදුරුවෝ වැඩ වාසය කරපු වකවානුව වෙනකොටත් ලංකාවේ ඉතාම දියුණු ශිෂ්ටාචාරයක් තිබුණු බව පැහැදිලිවම ඔප්පු වුණා. මුළු දකුණු ඉන්දියාවටම අනුරාධපුරය වගේ දියුණු ශිෂ්ටාචාරයක් සහිත නගරයක් ඔය කාලයේ තිබුණේ නැහැ. ඒ කියන්නේ අපේ රටට උතුරු ඉන්දියාවෙන් ශිෂ්ටාචාරය ව්‍යාප්ත වුණා කියන එක මුළුමනින්ම ප්‍රතික්ෂේප වුණා. විජයත් එක්ක ආව අනුරාධ කියන සෙනෙවියා අනුරාධපුරය පිහිටෙව්වා කියන කතාවත්, පණ්ඩුකාභය රජ්ජුරුවෝ අනුරාධපුරය නගරයක් කළා කියන කතාවත් මේ සොයා ගැනීම එක්ක ගැටුණා. ඇත්තටම සිද්ධ වුණේ ඔවුන්ගේ කාලයේ දී අනුරාධපුරය තව තවත් පුළුල්වීම පමණයි.

කොහොම වුණත් විජය ආවාය කියන කාලයේ දී මොකක් හරි විශේෂත්වයක් අනුරාධපුරයේ දී ඇති වෙලා තියෙන බව නම් ඒ යුගයට අයත් මැටි බඳුන්වල වර්ණයෙන්, හැඩහුරුකම්වලින් හා වෙනස්කම්වලින් පෙනෙනවා. ඒත් විජය ආව කතාව ඇත්තක් කියලා හිතුවත් ඔහු ආවේ ඉතාම දියුණු ශිෂ්ටාචාරයක් තිබුණු රටකට. අශ්වයන් කියන්නේ අපිට ආවේනික සත්වයෙක් නෙමෙයි. ඒත් විජය ආපු කාලයේ අපේ රට අශ්වයන් පවා ඇති කළ ජාත්‍යන්තර මට්ටමේ දියුණු වෙළඳ මධ්‍යස්ථානයක්.

මේ සොයා ගැනීම එක්ක ජාත්‍යන්තර ප්‍රජාව කොයි තරම් කම්පනයකට ලක් වුණා ද කියනවා නම් එංගලන්තයේ කේම්බ්‍රිජ් සරසවියේ පුරාවිද්‍යා විශේෂඥ කණ්ඩායමක් ලංකාවට ඇවිත් අනුරාධපුරයේ ඔය ස්ථානයේම අඩි 30 X 30ක විශාල කැණීමක් සිද්ධ කළා. ලැබුණු ප්‍රතිඵලය කිසිම වෙනසක් නැහැ. මුළු ජාත්‍යන්තර ප්‍රජාවම මේ සොයා ගැනීම ගෞරවයෙන් පිළිගත්තා.

ඒත් තවත් එක් දෙයක් කියන්න ඕනේ. මුළු අනුරාධපුරය පුරාණ නගරයේ බිම් ප්‍රමාණයෙන් තවම කැණීම් කරලා තියෙන්නේ දහ දහසෙන් එක් කොටසක් විතරයි. ඒ කියන්නේ දැනට කැණීම් කරලා තියෙන ප්‍රමාණය වගේ නව දහස් නවසිය අනූ නවයක්ම පොළොව යට හැංගිලා.

ඒත් දැනට කැණිම් කරලා තියෙන ඒ අංශු මාත්‍රයෙන් වුණත් සොයා ගත්ත තොරතුරු මුළු ලෝකයම මවිතයට පත් කරන්නට සමත් වෙලා තියෙනවා. ලෝකයේ කිසිම රටකට දෙවැනි නොවන අද්විතීය ප්‍රෞඩ උරුමයක් ඉතිහාසයක් අපිට තියෙනවා”

ආචාර්ය සිරාන් දැරණියගල

4 thoughts on “පහුගිය අවුරුදු ලක්ෂ අට ඇතුළත 25 වතාවක්ම ලංකාවයි, ඉන්දියාවයි එකම ගොඩබිමක්!

Add yours

  1. සිංහලෙන් මේ ලිපි අපට දීම ඉතා වැදගත් . උසස් ලිපි ඉංග්‍රීසි යෙන් ලියවෙන නිසා පොදු ජනයාට ඒ දැනුම නොලැබේ . ඔබට ගොඩක් ස්තුති යි .

    Liked by 1 person

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

WordPress.comහි බ්ලොග් සටහනක්.

ඉහළ ↑

%d bloggers like this: