
සැන්දෑ අහස පුරාවට රතු පාටට හිරු එළිය පැතිරිලා ගිය හවස් වරුවේ සකුරා මල් පිපුණු මාවත දිගේ අපි ඇවිද ගෙන ගියා. මාවත දෙපැත්තම සකුරා මලින් බරවෙලා. මල් සුවඳ හැම තැනම. මල් මාවත දිගේ පාර අද්දරටම ඇවිද ගෙන ගියාට පස්සේ දැක්කේ බොහොම දුක හිතෙන දසුනක්. සකුරා මල් ගහක් බිම ඇද වැටිලා. මලින් පිරිලා ඉතිරිලා ගිය විසාල සකුරා ගහක්.
මුළු අහස පුරාම රතු පාට සායම් තවරමින් හීන් සීරුවට අඳුර මෝදු වෙමින් තිබුණු ඒ හැන්දෑවේ මලින් පිරිලා ඉතිරිලා ගිහින් බිම ඇද වැටුණු මේ සකුරා ගහ දුක්බර හිතිවිලි සමුදායකින් අපේ හිත් පුරවා දැම්මා. ඒත් ඒ සංවේගය අතරින්ම හදවත කොනක සිහින් ආලෝකයක එළියකුත් නිව් නිවී දැල්වෙන්න පටන් ගත්තා. අවුරුදු ගණනාවක් පුරාවටම මලින් සැරසිලා මග යන එන දහසක් දෙනෙත් සතුටින් පුරවපු, ඒ වගේම ඒ හැම හදවතක්ම සුවඳින් පුරවා දැමූ මේ දැවැන්තයා මිහිතලයෙන් සමුගන්නා මොහොතේ දී පවා මුළු මහත් ලෝකයටම සිය අවසන් මල් අස්වැන්න පිළිගන්වලා තියෙන හැටි කොයි තරම් නම් අපූරුද? කඩා වැටුණු මල් ගහේ හැම මලකින්ම කියා පෑවේ එකම ජීවන දර්ශනයක්. තමන්ගේ ජීවිත කාලය පුරාම අනුන්ගේ සිත් තුළ ජීවන සුවඳ තවරමින් දිවි ගෙවා සුන්දරත්වයෙන් පිරි සොඳුරු මතකයක් ඉතිරි කරලා මේ විදියට දිවිසැරිය නිම කරන්නට පුළුවන් වෙන්නේ කොයි තරම් නම් අල්ප පිරිසකට ද?
මලින් පිරුණු මේ සකුරා ගහ බිමට ඇද වැටුණේ පහුගිය සති අන්තයේ හමා ගෙන ගිය කුණාටුව නිසා බවට කිසිම සැකයක් නැහැ. කිසිම කෙනෙකුට හානියක් නොවුණත්, මේ කුණාටුව හෝරා කිහිපයක්ම තද සුළගක් විදියට වරින් වර හමා ගෙන ගියා. සකුරා ගහ මුලින් උදුරා දැමුවේ ඒ කුණාටුව නිසා බව ඉදිරී වැටුණු ගහ පාමූල වේළුණු මුල්වලිනුත් කියන්නට පුළුවන්. ගහ පිහිටලා තිබුණේ සකුරා මල් පිපිණු මාවත කෙළවර උස් කණ්ඩියක් පිහිටි ගෙවත්තක ඉදිරිපස කෙළවර. එතැන තරමක සුළං කපොල්ලක්.


ගහක් බිම ඇද වැටුණාම නගර සභාවෙන් ඇවිත් පැය විසි හතරක් යන්න කලින් ගහ ඉක්මනින්ම එතැනින් ඉවත් කිරීම තමයි සාමාන්‍යයෙන් සිද්ධ වෙන්නේ. ඒත් මේ ගහ මුලින් ඉදිරී බිම ඇද වැටිලා සතියකට ආසන්න කාලයක්ම ගත වුණත් ගහ එතැනින් ඉවත් කරන්න කවුරුවත්ම අත තියලා නැහැ. බිම ඇද වැටුණු ගහ නිසා තමන්ගේ ගෙවත්තේ කොටසක් වගේම වාහන නවත්වන විවෘත බිම් කඩෙහි කොටසක් ඇහිරී තිබුණත් මේ තරම් සුන්දර මලින් පිරි ගහක් ඉවත් කරන්නට හිත හදාගන්නට ගෙවත්ත හිමියන්ට තබා නගර සභාවටවත් පුළුවන්ද? ඒ් නිසා බිම ඇද වැටුණු ගහේ මල් එකින් එක පරෙවලා ඒ හැම මලක්ම වියැලිලා යනකල්ම ගහ එතැනම තියේවි.
සීත සෘතුව නිමාවෙලා වසන්තය උදාවෙන්නට ඔන්න මෙන්න තියෙන වස්සාන කාලයේ මං ජීවත්වන බ්‍රිටිෂ් කොළොම්බියා ප්‍රාන්තයම මලින් පිරිලා යනවා. සීත සෘතුවේ කොළ හැලී නිරුවත් අතු පතර අතරින් දළු රිකිලී ලියලන්නත් කලින් තමයි ඒ අතු පතර වසා ගෙන මේ විදියට මල් පොකුරු මතුවෙන්නේ. ඒ් නිසා වස්සානයේ මුලින්ම දකින්න ලැබෙන්නේ මල් පොකුරු. දළු කොළ ලියලන්නේ ඊට පස්සේ. ඒ් අතරිනුත් මුලින්ම මල්බර වෙන්නේ මේ කියන සකුරා, එහෙමත් නැතිනම් චෙරි මල්. ළා රෝස පාට, තද රෝස පාට, ක්‍රිම්සන් පාට, සුදු පාට… විවිධාකාර චෙරි මල් පොකුරුවලින් නගර වීදි මල්බර වෙද්දී ඒ් වීදී පුරාම චෙරි මල් සුවඳ නැහැවිලා යනවා. මේ චෙරි මල් ඒ ඒ ප්‍රභේදය අනුව පිපෙන කාලයේත් සති කිහිපයක වෙනසක් තියෙන නිසා ඒ ඒ වීදිවල මල් පිපෙන කාලය නගර සභාවේ නිල වෙබ් අඩවියේ වාර්ෂිකව ප්‍රකාශයට පත් කරන තරමටම භාරදුර වගකීමක් විදියට තමයි ප්‍රාදේශීය ආණ්ඩුව සළකන්නේ. ඒ නිසා මේ සකුරා ගස් විතරක් නෙමෙයි තමන්ගේ වත්තේ තියෙන වෙනත් විශාල ගහක්වත් කපා දමන්නට ආණ්ඩුවේ අවසරය අනිවාර්යයි.
http://maps.vcbf.ca/map/?fbclid=IwAR0HeUtiUHUIDVyYnDnXcA68nELzqXXhKE5e79fiV0cFxowcD3V9wcMqC1o
මුළු මහත් වනාන්තරයක් දළු ලියලා වැඩෙද්දී නැගෙන ස්වරයට වඩා බොහොම උස් ස්වරයක් (එහෙමත් නැතිනම් ලොකු පණිවිඩයක්) ඇද වැටෙන ගහකින් මතු වන බව කොතැන හෝ තැනක කියවන්නට ලැබුණා මතකයි. (A falling tree makes more noise than a growing forest). ජීවමනා ගහක කොළයක විතරක් නෙමෙයි, ඉදිරී වැටන ගහක පවා වටිනාකමක් දන්න මිනිසුන් පිරිසක් අතර ජීවත් වෙන්නට ලැබීම කොයි තරම් නම් සතුටක් ද කියලා ඉදිරී වැටුණු ගහ පාමුල දී මට හිතුණා.
මිනිස් ජීවිතයක, මිනිසත්කමක වටිනාකමක් දැනෙන්නේ වන සතුන් ගහ කොළවල වටිනාකමක් දන්න සමාජයකටම විතරයි. ගහ කොළ විනාස කිරීම රාජ්‍ය ප්‍රතිපත්තියක් වුණු රටකට අලි ඇතුන්, ගහ කොළ විතරක් නෙමෙයි, මිනිස් ජීවිතයකවත් වටිනාකමක් ඉතිරි වෙන්නේ නැහැ. මේ සමාජ පණිවිඩය තේරුම් ගන්න කෝවිඩ් එන්නතම ප්‍රමාණවත්.
තාක්ෂණෙයන් දියුණු වෙච්ච බොහොමයක් රටවල වගේම කැනඩාවේත් කෝවිඩ් එන්නත ලබා දීමේ දී ප්‍රමුඛත්වය ලබුණේ ජීවිත අවදානම නොතකා සේවය කරන ඉදිරිපෙළ වෘත්තිකයන්ට. එයින් පස්සේ වැඩිහිටියන්ට. කැනඩාවේ නම් ජීවිතයේ අවසානම භාගයේ පසුවන අවුරුදු 90න් ඉහළ පිරිසට. එයින් පස්සේ අවුරුදු 80න් ඉහළ පිරිසට. ඊළගට 75න් පසු පිරිසට. මේ විදියට වයස් කාණ්ඩය අනුව අඩුවන පිළිවෙළට. මේ නිසා එන්නත මුලින්ම හිමිවුණේ සමාජයේ ආර්ථික ක්‍රියාවලියට කිසිසේත්ම සක්‍රිය දායකත්වයක් නොමැති පිරිසට. ඒකට පොදු පදනමක් තිබුණා. ඒ තමයි වැඩිහිටියන් ආරක්ෂා කරගත යුතුය යන සමාජීය මතවාදය තුළ හැමෝම හිටිය නිසා. ඒත් ඇතැම් දූපතක මුලින්ම එන්නත ලැබෙන්නේ රජ පවුලට. එයින් අනතුරුව රජ පවුලට ගෑවුණු හිත මිත්‍රාදීන්ට. එයින් පස්සේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට. එන්නත සමාජගත වෙද්දී ශ්‍රමියකයන්ට. ඒකට හේතුව රටේ ආර්ථිකය ප්‍රතිලාභ සූරා කන්නට නම් ශ්‍රමිකයන්ගේ දැති රෝද ක්‍රියාත්මක වෙන්නට ඕන නිසා. ආර්ථික ක්‍රියාවලියට දායකත්වයක් නොමැති වැඩිහිටියන් එවැනි සමාජයකට සමාජීය බරක්.
එන්නත ලබා ගත්තා දැයි පහුගිය සතියේ දී ජනමාධ්‍යවේදියෙක් කැනඩාවේ අගමැතිවරයාගෙන් ප්‍රශ්න කළ මොහොතේ කෙටි පැහැදිලි පිළිතුරක් ඔහුට තිබුණා. ඒ තාමත් තමන්ගේ වයස් කාණ්ඩයට එන්නත නිකුත් කරන්නට පටන් අරන් නැහැ කියන එක. තමන්ගේ වයස් කාණ්ඩය පැමිණි විට පොදු මහජනතාවට එක්ක පෝලිමට ගිහින් එන්නත ලබා ගන්නා බවට ඔහු ජනමාධ්‍යට ප්‍රකාශ කළා. කැනඩාවේ අගමැතිවරයා වෙනස් වුණත් මේ ප්‍රකාශය කැනඩාවේ බලයට පත්වෙන ඕනෑම අගමැතිවරයෙකු විසින් දෙනු ලබන පොදු ප්‍රකාශය බවට කිසිදු සැකයක් නැහැ. ඒකට හේතුව සබුද්ධික ඡන්දදායකයන් පිරිසක් සිටින රටක බිහිවන නායකයන් තුළ විනයක් හික්මීමක් ඇතිවීම ඒ ක්‍රමය තුළින්ම පවත්වාගෙන යන නිසා.
ඒ විදියේ සබුද්ධික විඥානයෙන් තොර වුණු රටක ජනතාව අතරින් බිහිවන පාලකයන් මුලින්ම සිදු කරන්නේ ජාතිආලය, දේශප්‍රේමය, ආගමික ශ්‍රද්ධාව රට පුරා දෝරෙ ගලා යන්නට සැලැස්වීම. ඊට පස්සේ ජනතා හඬ, නිහඬ කිරීම. ඒ කියන්නේ ප්‍රකාශනයේ නිදහස අහුරා දැමීම. ගහ කොළ සතා සිවුපාවන් මරා දමා හුස්ම ගැනීමේ අයිතිය පවා උදුරා දැමෙන්නේ එයින් පස්සේ. පාලකයන්ගේ දරු මුණුබුරන් සහ ඥාති වර්ගයාගේ පැවැත්ම උදෙසා ජාතියේ දූ දරුවන්ගේ සම්පත් මංකොල්ලය මේ ව්‍යාපෘතිය පුරාම සිද්ධ වෙනවා. වස විස මුසු ආහාර ඔස්සේ සිය වහල් ඡන්ද දායකයන් ශාරීරිකව අඩපණ කර ටිකින් ටික මරා දමන්නට පටන් ගන්නේ එයිනුත් පස්සේ. ඒත් වඳ කොත්තු තරම් විෂ පොල්තෙල් කතාබහට එන්නේ නැහැ. ඒකට හේතුව මේ ව්‍යාපාතියේ මුලින්ම විසුරුවා හැරපු දේශප්‍රේමය මේ මුළු මහත් කාලය පුරාම ඡන්දදායකයන් තුළ උතුරා ගලා හැලෙන හින්දා.
සකුරා මලකින් කතාව පටන් ගත්ත නිසා ගස් වැල් ගැනම කියැවෙන තූර්කි ජනකකාවකින්ම කතාව නිමා කරන්නට හිතුණා.
එක්තරා වන්නාන්තරයක මහ ගස් වැල් හිටිහැටියේ වඳවෙලා යන්නට පටන් ගත්තා.
එත් හැමදාම ඒ ගස්වැල් ඡන්දය දුන්නේ පොරොවට.
ඒකට හේතුවක් තිබුණා. ඡන්දයක් ළංවෙද්දී පොරොව හැමදාමත් ලීයෙන් කරපු පොරෝ මිට ගස්වැල්වලට පෙන්නලා “මමත් උඹලාගේම කෙනෙක් තමයි” කියලා කියන්න පුරුදු වෙලා හිටියා.
දිලිසෙන තියුණු ලෝහ තලය අමතක කළ ගස්වැල් හැමදාමත් පොරොවට රැවටුණා.
(ඡායාරූප – කුමුදුගෙන්)
ප්‍රතිචාරයක් ලබාදෙන්න