සතුටු නැද්ද ඔයාට…?

ඇරිස්ටෝටල් විශ්වාස කළා ගැහැනුන්ට වඩා පිරිමින්ට දත් තියෙනවා කියලා. දෙවාරයක්ම විවාහ වුණත් ඔහු කිසිම දවසක තමන්ගේ බිරින්දෑවරුන්ට කිව්වේ නැහැ දත් කීයක් තියෙනවා ද කියලා ගනන් කරලා බලන්න, එයාලගේ කට ඇරලා පෙන්නන්න කියලා. ඒකට හේතුව උසස් වර්ගයේ අශ්වයන්ට වෙළඹට වඩා දත් තියෙන බව ඇරිස්ටෝටල් දැනගෙන හිටිය හින්දා. ඉතාම පහසුවෙන් ඒ ගැන හොයා බලන්න පුළුවන්කම තිබුණත් තමන් ‘දන්නා කරුණක්’ හොයා බලන්න උනන්දු නොවුණු නිසා ‘සියලු පිරිමින්ට කාන්තාවන්ට වඩා දත් ඇත’ කියන කාරණාව සිද්ධාන්තයක් විදියට ඔහු ගෙනහැර පෑවා.

අවුරුදු 1500ක කාලයක් පුරාම මිනිස්සු විශ්වාස කළා සැහැල්ලු දේවල්වලට වඩා වේගයෙන් බර දේවල් බිමට වැටෙනවා කියලා. ඒක කිසිසේත්ම එහෙම නෙමෙයි කියලා තත්පර විස්සක් තරම් සුළු කාලයක් ගත කරලා කරන බොහොම සුළු අත්හදා බැලීමකින් ඕනෑම කෙනෙකුට තේරුම් ගන්න පුළුවන්කම තිබුණා. ඒත් අවුරුදු 1500ක කාලයක් පුරාම මිනිස්සු ඒ දේ ඇත්ත කියලා විශ්වාස කළා. ඒකට හේතුව ඇරිස්ටෝටල් ඒක එහෙමයි කියලා කියල තිබුණු හින්දා.

“නයාට සිංදු කියන්න පුළුවන්ද?” කියන ප්‍රශ්නය කාගෙන්වත් අහන්නවත් අපට හිතෙන ප්‍රශ්නයක් නෙමෙයි. ඒකට හේතුව ‘නයා’ කියලා අපි දැන හඳුනාගෙන තියෙන සංකල්පයට ‘සිංදු කීම’ කියන කාරණාව කොහෙත්ම සම්බන්ධ නැති නිසා. ඒත් නයා සිංදු කියනවාද නැද්ද කියන කාරණාවේ සත්‍ය අසත්‍යතාව රැඳිලා තියෙන්නේ ඒ සම්බන්ධයෙන් අපිට ‘මේ දක්වා තියෙන අත්දැකීම්’ මත විතරයි.

‘අපිරිසිදු වතුර’ බොන්න ඔබ කැමැති නැහැ කියන එකෙන් අදහස් වෙනවාද ඔබ කැමැති ‘පිරිසිදු වතුර’ බොන්න කියන එක? කොහෙත්ම නැහැ. ඔබ අපිරිසිදු වතුර බොන්න කොහොත්ම කැමැති නැති වුණත් ඔබේ වඩාත්ම මනාපය තියෙන්නේ කිසිසේත්ම ‘පිරිසිදු’ වතුර කියලා කියන්නට බැරි ලෙමනේඩ්, ජින්ජර් බියර් හරි කොකා කෝලා වගේ දෙයක් ගැන වෙන්න පුළුවන්.

හතරට හතර එකතු වුණාම අට බව ගණිත මූලධර්ම අනුව ‘පරම සත්‍යයක්’ නිසා කෙනෙකුට හිතෙන්න පුළුවන් අට හැදෙන්නේ හතරට හතරක් එකතු වුණාම කියලා. ඒත් ඒක ඇත්තක් නෙමෙයිනේ! අට හැදෙන්න ඕන තරම් විදි තියෙනවා. ඒ වගේම තමයි A ඉඳන් B වෙත යන්න තියෙන කෙටිම පාර,  B ඉඳන් A වෙනකම් යන්න තියෙන කෙටිම පාරම නොවෙන්න පුළුවන්. ඒ වගේම තමයි A කියන සිද්ධියට පස්සේ B සිද්ධ වුණා කියලා අපිට හිතන්න බැහැ B සිද්ධ වෙන්නේ A නිසයි කියලා.

අවුරුදු 90 පැන්න වයසක මනුස්සයෙක් මරණයෙන් පස්සේ අපායට ඇදිලා යනවා කියලා හිතන්න. අපායට පය ගහලා එහේ මෙහේ සැරිසරද්දී මේ මනුස්සයා දකිනවා තමන් වගේම අවුරුදු 90ක් වයසට ගිහින් දිරාපත් වෙච්ච තමන්ගේ මිත්‍රයෙක් අපායේ තැනක ඉඳගෙන ඉන්නවා. එයාගේ උකුළ උඩ සුරූපී තරුණියක්.

“උඹට විශ්වාසයිද මේ අපාය කියලා… ? පේන විදියට නම් උඹ ඉන්නේ අපායේ කියලා පේන්නේ නැහැ” ඔහු තමාගේ පැරණි මිතුරාගෙන් විමසනවා.

“ඔව්… මේක අපාය තමයි. මේ කෙල්ලට දීලා තියෙන දඬුවම තමයි මම”

එක සමාන බරකින් යුක්ත ලී කැබැල්ල බැගින් අතට ගත්ත මිනිස්සු තුන් දෙනෙක් ඉන්නවා කියලා හිතමු. මේ තුන් දෙනාම තමන්ගේ අතේ තියෙන ලී කැබැලි තුන අතහරිනවා.

මුල්ම තැනැත්තාගේ ලී කැබැල්ල බිමට වැටෙනවා.

දෙවැන්නාගේ ලී කැබැල්ල උඩට යනවා.

තුන්වැන්නාගේ ලී කැබැල්ල තිබුණු තැනම තියෙනවා.

ඒ තුන්දෙනාගේ පැවැත්ම (universe) කොයි වගේ තැන්වල ද තියෙන්නේ කියලා හිරියට තේරුම් ගන්න බැරි වුණොත් එහෙම වෙන්නේ ඇයි කියලා තේරුම් ගන්නත් අපිට බැහැ.

මුල්ම තැනැත්තාගේ ලී කැබැල්ල පහළට වැටෙන්නේ ඒ තැනැත්තා පය ගහලා ඉන්නේ පොළොව මතුපිට හින්දයි. ජල තලය මත පය ගහලා ඉන්න දෙවැන්නාගේ ලී කැබැල්ල ජලය මතුපිටට ඇවිත් පාවෙලා යනකම් ඒක ඉහළට මතුවෙලා එනවා. අභ්‍යකාශයේ කක්ෂගත වෙලා ගුරුත්වාකර්ෂණයෙන් මිදුණු පරිසරයක ඉන්න අජටාකාශගාමියෙක් තමයි තුන්වැනියා. ඒ නිසා ලී කැබැල්ල අත හැරිය තැනම එහෙමම රැඳිලා තියෙනවා. කලින් කිව්ව අපායේ සිද්ධියේ දීත් නිර්මාණශීලී විදියට හිතන්න නම් ‘නිවැරදි මාර්ගයකට එළඹිලා’ හිතන්න අපි පුරුදු පුහුණු වෙන්න ඕනේ.

සමාන්තරව සිතන්නට (‘Parallel Thinking’) විෂයක් විදියට එහෙමත් නැතිනම් පුහුණුවක් විදියට අපි ප්‍රගුණ කරගන්න ඕනේ ඒ නිසයි. ඒ විදියට හිතන්නට නම් ඔබට සිද්ධ වෙනවා ඔබ තුළ දැනටමත් ඇති සංකල්ප, අදහස් සහ සංජානනයන් එහෙමත් නැතිනම් ආසන්න අත්දැකීම් (concepts, ideas and perceptions) එකිනෙක මුහුකර ගන්න. සරලව කිව්වොත් ඉහත කිව්ව උදාහරණවලින් පෙන්වලා දෙන විදියට විවිධ මානයන් ඔස්සේ හිතන්න. වයින් ටිකක් තොල ගාන්න වීදුරු කෝප්පයක් හරිම අපූරුයි. ඒත් උණු තේකක් බොන්න නම් වීදුරු කෝප්පයක් ඒ තරම්ම සුදුසු නැහැ.

හිතන්න ඔබ බලාපොරොත්තු වෙනවා මීදුමින් වැසී ගිය කඳු මුදුනක් තරණය කරන්න. බොහොම වෙහෙස මහන්සියෙන් මීදුම අතරින් කන්ද නැගලා අන්තිමේ දී කඳු මුදුනට ගිහින් තමන්ගේ අතේ තියෙන උපකරණයකින් (altimeter) පරීක්ෂා කළාම ඔබ දකිනවා එහි සටහන් වෙලා තියෙන උස නිවැරදි නැහැ කියන එක. ඒ කියන්නේ ඔබ වැරදීමකින් නැගලා තියෙන්නේ තරමක් කුඩා පරිවාර කන්දකට. මිදුම හින්දා කඳු පාමුල දී ඔබට ඒක තේරුණේ නැහැ. ඔබ ඇත්තටම බලාපොරොත්තු වෙච්ච කඳු මුදුනට යන්න නම් කෙටි මාර්ග නැහැ. නැගපු කන්ද ආපහු බැහැලා ආපහු අලුතින්ම අර සැබෑ කන්ද තරණය කරන්නටම වෙනවා. අපි හිතන්න ඕනේත් ඒ විදියටමයි. අලුතින්ම පටන් අරන් අලුත්ම විදියට.

ඉහතින් කිව්ව හැම උදාහරණයක්ම උපුටා ගත්තේ මීට ටික කාලයකට කලින් මට කියවන්නට ලැබුණු පොතකින්. මේ පොතේ නමත් හරිම අපූරුයි. “ඇයි මේ තරම් ඔළමොට්ටල?” (Why So Stupid?), පොතේ නම තමයි ඒ. පොත ලියලා තියෙන්නේ ‘මොළයේ කාර්යභාරයක් විදියට’ බරපතළ අරුතකින් ‘සිතීම’ (thinking) පුරුදු පුහුණු කරගැනීම ගැන අගනා පොත් පෙළක්ම රචනා කරපු අන්තර් ජාතික කීර්තියට පත් මහාචාර්ය එඩ්වඩ් බෝනෝ (Edward de Bono). එඩ්වඩ් බෝනෝ කියන්නේ මෝල්ටාවේ උපත ලැබුව වෛද්‍යවරයෙක්, සායනික මනෝ චිකිත්සකයෙක්, දාර්ශනිකයෙක් වගේම ලොව බලවත් රටවල් ගණනාවක අධ්‍යාපන ක්ෂේත්‍රයට සාධනීය සංකල්ප ගණනාවක් එක් කළ අධ්‍යාපනඥයෙක්. ඔහුගේ සංකල්ප රාජ්‍ය මට්ටමින් වගේම ලොව පුරා විශ්ව විද්‍යාල, දැවැන්ත ව්‍යාපාරික සමාගම් මේ වනවිට සාර්ථක විදියට ක්‍රියාත්මක කරනවා. Thinking කියන සංකල්පය විෂයක් විදියට (critical thinking විෂය නොවේ) මුල්ම වරට සරසවි අධ්‍යාපන විෂය ධාරාවට ඇතුළු වෙන්නේ ඉහතින් ගෙනහැර දක්වපු උදාහරණත් එක්ක බෝනෝ තමන්ගේ පොත්පත්වලින් මතුකළ සංවාදයට පස්සෙයි. මේ නිසා අප්‍රිකාවේ විශාලතම සරසවිය වන ප්‍රිටෝරියා සරසවියේ “Professor of Thinking” නමින් අලුත්ම තනතුරක් බිහිකරලා ඒ තනතුර ඔහුට හිමිවෙනවා. එයින් පස්සේ යුරෝපයේත්, උතුරු ඇමරිකාවේත් Thinking කියන මේ නව විෂය සිය විෂය ධාරාවන්ට එක් වෙනවා. සිතීම කියන විෂය මුලින්ම තමන්ගේ පාසල් විෂය ධාරාවේ අනිවාර්ය විෂයක් විදියට මුලින්ම ඇතුළත් කළේ වැනිසියුලාව. එයින් පස්සේ වෙනත් රටවල පාසල් විෂය ධාරාවටත් ඒ විෂය ඇතුළත් වෙන්න පටන් ගත්තා. (උපාධි සහතිකයක් ලබා ගැනීම, ආචාර්ය මහාචාර්ය තනතුරක් එල්ලා ගැනීම හෝ පොදුවේ ගත්තම උසස් අධ්‍යාපනයක් ලබා දැනුම (knowledge) ලබා ගැනීම කියන කාරණාවත් මාහාචාර්ය බෝනෝ පෙන්වා දෙන ‘මොළයේ කාර්යයක් විදියට සිතීමේ ක්‍රියාවලිය’ ප්‍රගුණ කිරීමක් එකිනෙකට සහමුලින්ම වෙනස් ක්‍රියාවන් දෙකක් බව යළිත් වරක් අවධාරණය කරන්න ඕනේ)

Edward De Bono

මේ ගැන සටහනක් ලියන්න හිතුණේ පහුගිය දවසක මට අත්විඳින්නට ලැබුණු අත්දැකීමක් නිසයි

“සතුටු නැද්ද ඔයාට…?” මගෙන් මෙහෙම ඇහුවේ කාලයකට පස්සේ හමුවුණු හිතවතෙක්. අපි දෙන්නම හමුවුණේ වැන්කුවර් නගරයේ සිල්ලර බඩු භාණ්ඩ ගන්න තියෙන වෙළෙඳ සැලකදී. දිනය හරියටම කියනවා නම් ලංකාවේ මෑතකදී පැවැත්වුණු මහා මැතිවරණයට පහුවෙනිදා.

“ඊයේ මුළු රෑම අපි මැතිවරණ ප්‍රතිපල බැලුවා. දැන් අපි මේ වෙරළට යනවා පාටියකට” පවුල් කිහිපයක් එක්ක එකට එකතු වෙලා මැතිවරණ ජයග්‍රහණය සමරන්න තරමක් ළඟ පාතක තිබුණු සුප්‍රකට වෙරළ තීරයට ගෙනි යන්න අවශ්‍ය කරන බීම වර්ග, බාබාකියු දේවල් අරගෙන යන්න තමයි ඔහු වෙළෙඳ සැලට ඇවිත් තිබුණේ. (ලංකාවේ රාජ්‍ය ආයතනයක ඉහළ තනතුරක් දැරුව මගේ හිතවතා කැනඩාවේ වැන්කුවර් පුරවරයේත් රාජ්‍ය අංශයට සම්බන්ධ ආයතනයක උසස් තනතුරක් දරන කෙනෙක්). ලංකාවේ මැතිවරණයෙන් ‘තමන්ගේ පාර්ශ්චවය’ ජය ගැනීම නිසා අමන්දානන්දයට පත් වෙලා හිටිය ඔහු ඒ සතුට එක දිගටම වචනවලින් පිට කරන්නට පටන් ගත්තා. දිගින් දිගටම දෝර ගලපු වචනවලට මගෙන් ලැබුණේ මද සිනාවක් විතරක්ම නිසා ඔහු මදකට කතාව නතර කරලා අර විදියට මගෙන් ඇහුවා.

“ඉතින්… සතුටු නැද්ද ඔයාට…?”

ඒ ප්‍රශ්නයටත් සිනාවකින් පමණක්ම පිළිතුරු දෙන්නට බැරි බව මට වැටහුණේ පිළිතුරක් බලාපොරොත්තුවෙන් ඔහු මා දිහාම බලාගෙන හිටිය හින්දා.

“රටක් යහපත් විදියට පවත්වා ගෙන යන්න ඕනේ කොයි විදියට ද කියන එකයි රටක නායකයෙකු තුළ තියෙන්න ඕන මොන වගේ ගුණාංග ද කියන එකයි දැන් අපි දෙන්නම මෙහේ (කැනඩාවේ) අත්විඳිනවානේ! ඉතින් පුද්ගලයන් දිනද්දී සතුටු වෙන්න ඉක්මන් නොවී රට දිනන වැඩ සිද්ධ වෙද්දී සතුටු වෙමු”, මම කෙටි පිළිතුරක් ඔහුට දුන්නා.

මගේ පිළිතුර අනුමත කරන බවක් කිසිසේත්ම ඔහුගේ මුහුණින් නොපෙනුනත් මාත් එක්ක තව දුරටත් සංවාදයේ යෙදෙන්න ඔහුට අවශ්‍ය වුණා. මේ වතාවේ ඔහුගේ කතාවට මාතෘකාව වුණේ ජාතික ලැයිස්තුවෙන් අලුතින්ම තේරී පත්වෙන්නට නියමිත මන්ත්‍රීවරයෙකු ගැන. (ඔහු මේ වනවිට මුස්ලිම් ජාතික ප්‍රබල ඇමතිවරයෙක්). මගේ හිතවතා මෙම මන්ත්‍රීවරයා ගැන කතා කළේ පුදුමාකාර විදියේ සතුටක්, ළෙංගතු කමක් හිතේ දරාගෙන. මෙවැනි කරුණු ගැන සංවාද කරමින් කාලය ගත කිරීම මගේ පුරුද්දක් නොවන නිසා ඔහු සඳහන් කළ වර්ගයේ ඇමැතිවරුන් කිහිප දෙනෙකු උදාහරණයට ගනිමින් ඔවුන්ගේ දේශපාලනයේ මුල් කාලීන ‘අහිංසක හැසිරීමත්’, මේ වෙද්දී අන්තවාදී  සහ ජාතිවාදී තැනකට රට තල්ලු කරන්නට ඔවුන් ගන්නා උත්සාහය ගැනත් කෙටි සිහිපත් කිරීමක් කරපු මං ‘කාලයට ඉඩ දී බලා ඉන්න’ යැයි ඇරයුමකුත් කරමින් ඔහුගෙන් සමුගත්තා.

ගිය සතියේ දවසක මගේ හිතවතා අහම්බෙන් හමුවු‍ණේ සුපුරුදු වෙළෙඳ සැලේදීමයි. දේශපාලනය ගැන කතා කරන්නට කිසිම උනන්දුවක් හෝ ආසාවක් නොතිබුණත් ඔහුට ඒ මාතෘකාව මගහැර යන්නට බැරි වුණා. මාස කිහිපයකට කලින් තිබුණු උද්යෝගය වෙනුවට මේ වෙලාවේ ඔහුගේ කටහඬේ තිබුණේ පුදුමාකාර විදියේ කලකිරීමක්. නිරෝධානය හරහා තෝරා ගත්ත ව්‍යාපාරිකයන් දෙතුන් දෙනෙකුට ධන උල්පතක් විවර කරදීම, පාස්කු ප්‍රහාරයේ වාර්තාව වරදකරුවකු නැතිවම අවසන් වීම, විදේශ සේවාවේ ඉහළ තනතුරුවලට මැති ඇමතිවරුන්ගේ දරු දැරියන් පත් කිරීම, ‘බේබිලාගේ’ නැන්දම්මලාට සහ මාමණ්ඩිලාට රටේ ඉහළම තනතුරු හිමිවීම, විද්‍යාව වෙනුවට මිත්‍යාව ජනගත කිරීම රාජ්‍ය ප්‍රතිපත්තියක් වීම වගේ මං ඒ වනවිටත් දැන සිටි කරුණු කාරණා බොහොමයක් ඔහු මට ආපහු සැරයක් විස්තර කරන්නට පටන් ගත්තා විතරක් නෙමෙයි එදා මහත් අභිරුචියෙන් කතා කළ කරුණ මන්ත්‍රීවරයා (ඇමතිවරයා) මේ වනවිට ඔහුගේ අප්‍රසන්නතම මන්ත්‍රීවරයා බවට පත්ව තිබුණා.

මේ හැම දෙයකට මද සිනාවකින් විතරක්ම පිළිතුරු දුන්නු නිසා ඔහු අන්තිමට මට මෙහෙම කිව්වා.

“මෙහෙමයි… ඒ වෙලාවේ හැටියට වෙන කරන්න දෙයක් තිබුණේ නැහැනේ…!”

මාහාචාර්ය බොනෝ මගේ සිහියට නැගුණේ ඒ වෙලාවෙදියි. මැතිවරණයට කලින් තමන් ස්වාධීන බුද්ධිමතුන්, ස්වාධීන වෘත්තිකයන්, ස්වාධීන කලාකාරයන් බවට අපූරු වෙස් මුහුණක් පෙන්වලා මැතිවරණයත් එක්ක ඒ සියලු වෙස් මුහුණු රෙදි පිටින්ම ගලවා ගත්ත පිරිස ආපහු සැරයක් ස්වාධීන වෙන්නට පුදුමාකාර උත්සාහයක් දරද්දී කියන පොදු යෙදුමක් තමයි මගේ හිතවතාගේ මුවිනුත් පිට වුණේ. මැතිවරණයකදී විතරක් නෙමෙයි අනෙත් කාරණා වලදීත් තමන්ගේ මුළු ජීවිතයම වෙළා ගෙන ඇති බුද්ධිමය වර්ණ අන්ධතාව වසා ගන්නට කියන ඔය විදියේ යෙදුම් අපිට ඕන තරම් අහන්නට ලැබෙනවා.

ඔය විදියේ පිරිසට මහාචාර්ය බෝනෝ මේ විදියේ ප්‍රශ්න තුනක් ඉදිරිපත් කරනවා. එක්තරා ආකාරයකින් ගත්තම සොක්‍රටීස් පන්නයේ ප්‍රශ්න තුනක්.

ඔබේ ප්‍රියතම ක්‍රීඩකයා කවුරුන්ද යන්න ඔබ තෝරා ගන්නේ අහම්බෙන්ද? (‘නැහැ’ යන්න සුලභ පිළිතුරයි)

ඔබේ නෞකාව හසුරුවන්නට සුදුසුම නාවිකයා කවුරුන් ද යන්න ඔබ තීරණය කරන්නේ අහම්බෙන්ද? (‘නැහැ’ යන්න සුලභ පිළිතුරයි)

එසේ නම් ඔබව පාලනය කිරීමට දේශපාලකයන් අහම්බෙන් තෝරා ගැනීම බුද්ධි ගෝචරද? (අපේක්ෂිත පිළිතුර ‘නැහැ’ යන්නයි)

ඒ විදියට අහම්බෙන් තීරණ ගැනීම වළක්වා ගන්නට ඔබට ඇති එකම විසඳුම විදියට මහාචාර්ය බෝනෝ පෙන්වා දෙන්නේ ‘මනසේ ක්‍රියාවලියක් විදියට සිතීම දියුණු කර ගැනීමයි’. ඒ කාර්යය කරන්නේ කොහොම කියන කරුණ මහාචාර්යවරයා තමන්ගේ පොත් පත් කිහිපයකින්ම පෙන්වලා දීලා තියෙනවා. ඒ හැම පොතකින්ම ‍ඔහු අවධාරණය කරන එකම කරුණක් තියෙනවා. ඒ තමයි “සිතීම” (thinking) තරම් වැදගත් දෙයක් මානව වර්ගයාට තවත් නැහැ කියන එක. (බුදු දහමේත් මුළු මහත් පදනමම ගොඩ නැගී ඇත්තේ මනස සහ සිතිවිලි මතයි) මේ නිසා මුළු මහත් මානව වර්ගයාගේම අනාගතය රැඳිලා තියෙන්නේ අද දවසේ අපගේ “සිතීම” තුළ බව බෝනෝ කරුණු තුනකින් යළි යළිත් අවධාරණය කරනවා.

සිතීම තරම් මිනිසාට මූලික වන දෙයක් තවත් නැහැ. (Nothing is more fundamental than human thinking)

සිතීම තරම් මානව වර්ගයාට වැදගත් තවත් දෙයක් නැහැ. (Nothing is more important than human thinking)

අපේ අනාගත පැවැත්ම මුළුමනින්ම රැඳිලා තියෙන්නේ හිතන්නට අප තුළ ඇති හැකියාව මතයි. (The quality of our future will depend directly on the excellence of our thinking)

මනසේ ක්‍රියාකාරකමක් විදියට සිතීම ප්‍රගුණ කරන්නට පුළුවන් නම් තමන්ගේ හැඟීම්, හැසිරීම් මුළුමනින්ම ඒකෙන් වෙනස් වෙනවා කියන එක මහාචාර්ය බෝනෝ කියනවා. ඒ වගේම ඒ මගින් තමන්ගේ ආත්ම අභිමානය, ආත්ම ශක්තිය වැඩි දියුණු වෙන බවත් ඔහු කියනවා. එහෙම පුද්ගලයා තමයි ගලා ගෙන යන රැල්ලට ඔහේ පාවෙලා යන පොරොප්ප මූඩියක් නොවී රැල්ලට හසු නොවී වෙර වීරියෙන් රැල්ල හා පොර බදින තැනැත්තෙකු  බවට පත්වෙන්නේ.  

මහාචාර්යවරයා පෙන්වලා දෙන්නේ “සිතා බැලීම” (thinking) කියන කාරණය ජාති ආගම් භූගෝලීය විෂමතාවන් සහ වයස් භේදයකින් තොරව උගන්වන්න පුළුවන්, ඉගෙන ගන්න පුළුවන් ඒ වගේම පුහුණුවෙන් වැඩි දියුණු කරගන්න පුළුවන් දක්ෂතාවක් (skill) විදියටයි. (ඒ ගැන වැඩිදුර ඉගෙන ගන්න කැමැති කෙනෙකුට ඒක කරන්නේ කොහොමද කියන එක ගැන ප්‍රායෝගික පොත් කිහිපයක් ඔහු ප්‍රකාශයට පත් කරලා තියෙනවා. අවශ්‍ය නම් තොරතුරු ලබා දෙන්නත් පුළුවන්). ‘සිතා බැලීම’ (thinking) කියන විෂයත් ‘ප්‍රඥාව’ (wisdom) හෝ ‘දැනුම’ (knowledge) කියන සංකල්පයත් අතර කිසිම සම්බන්ධයක් නැහැ කියලයි මහාචාර්යවරයා කියන්නේ.  ඒ ගැන නම් කිසිම විවාදයක් නැතිව මාහාචාර්ය බෝනෝ එක්ක එකඟ වෙන්නට පුළුවන්. මැතිවරණයකදී අපේ ‘වියත්’ යැයි සම්මත පිරිස් හැසිරෙන විදියත්, ආචාර්ය මහාචාර්යවරු, වෛද්‍ය ඉංජිනේරු, කලාකරුවන් කියන ‘වියතුන්ගේ’ හැසිරීමත් ඒකට හොඳම උදාහරණයක්. ධාතු අරන් දිය දෙබෑ කරගෙන නයා මතුවුණු කතාව කියන නායක හාමුදුරුවන්ගේ මහාචාර්යකමත්, මානසික රෝගියෙකු විසින් නිෂ්පාදනය කරන ලද පැණියක් බෙදා හරින්නට ක්‍රමවේදයක් සකස් කරන්නට කියන ‘අපේ චින්තනය’ ගැන කතා කරන මහාචාර්යවරයාගේ මහාචාර්යකමත්, දේව ආශිර්වාදයෙන් කටහඬ ලැබුණා කියන “ප්‍රබුද්ධ” කලාකරුවන් ගැනත් බලද්දී රටේ ඇත දුෂ්කර ගම්මානයක ගැමියෙකුගේ සිතීමේ හැකියාව ඒ මාහාචාර්යවරුන්ට, ප්‍රබුද්ධයන්ට ළං වෙන්නටත් බැරි තරම් දුරස්ථ බව පැහැදිලියිනේ!

මහාචාර්ය බෝනෝ පෙන්වා දෙන විදියට “සිතීම” විදියට මිනිස් වර්ගයා ඇත්තටම කරන්නේ “හඳුනා ගැනීම” (recognition)  කියන කාරණාවයි. සරල උදාහරණයක් විදියට කිව්වොත් ප්‍රතිකාර ගන්න තමන් ළගට ආව රෝගියෙකුගේ බිබිළි පරීක්ෂා කරලා, ඔහුට වැළදිලා තියෙන්නේ ‘පැපොල’ කියලා වෛද්‍යවරයෙක් රෝග විනිශ්චය කරනවා වගේ. මෙතැනදී වෛද්‍යවරයා සිදුකරන්නේ, පහුගිය අතීත කාලය පුරාම අනෙකුත් වෛද්‍යවරුන් විසින් නිරන්තයෙන්ම මේ ආකාරයේ බිබිළි ඒ විදියටම “හඳුනා ගෙන”  ඒවාට දුන්නු ‘පැපොල’ කියන නාමය එයට ලබා දී පැපොලට අදාළ ප්‍රතිකාර ලාබ දීමයි. මෙතැනදී “හඳුනා ගැනීම”  කියන ක්‍රියාවලිය මිසක් ‘සිතීම’ කියන ක්‍රියාවලිය මැදිහත් වුණේම නැහැ.   මේ හඳුනාගැනීම කියන කාරණාවට අපි කොයි තරම් නම් පුරුදු වෙලා තියෙනවා ද කියනවා නම් ඒ නිසාම අපි හිතන්න පෙළෙඹෙන්නේම නැති තරම්. “හඳුනා ගැනීම”   කියන කාරණාවට මුල් වෙන දැනුම (knowledge) කියන සංකල්පය හැම මොහොතකම බැඳිලා තියෙන්නේ අතීතයක් එක්ක. මේ අතීතය විනාඩි පහක් තරම් මැත කාලයක් වෙන්නත් පුළුවන්. ඒ වගේම සියවස් පහක් තරම් ඈත කාලයක් වෙන්නත් පුළුවන්. පරිණාමයෙන් අපට පුළුවන් වර්තමානයත්, අතීතයක් විග්‍රහ කරගන්න, ඒත් අනාගතය කියන්නේ අපි නිර්මාණය කරගන්න (design) ඕන දෙයක්.

ඇයි අපිට ඒ තරම්ම අමාරු හිතන්න පෙළඹෙන්න? ඒකටත් මහාචාර්ය බෝනෝ දීර්ඝ උත්තරයක් දෙනවා. කෙටියෙන් කිව්වොත් සාමාන්‍ය සංකල්පයක් තියෙනවානේ කැඩිලා නැතිනම් හදන්න ඕනේ නැහැ කියලා (If it is not broken don’t fix it) ඒ වගේම තමයි අපි හරියි කියලා හිතන විදියට සමාජය ගලාගෙන යනවා නම්, එහෙමත් නැතිනම් අපි කැමැතියි කියලා හිතන දේශපාලකයන් රට පාලනය කරනවා නම් අපි අඩුම තරමින් හිතන්නවත් පෙළෙඹෙන්නේ නැහැ සමාජ ක්‍රමය වෙනස් කරන්න. අපි බලාපොරොත්තු වෙච්ච වෙනස්කම් නොවුණාම මුහුණු පොතේ පේලියක් දෙකක් ලිවීමෙන් හෙළිවෙන්නේ තමන්ගේ විශ්වාස පද්ධතියට සිද්ධ වෙච්ච ඇද පළුදු මානසිකව හැඩ ගස්වා ගැනීම විතරයි. හිතීමේ ක්‍රියාවලියට ඒක කිසිසේත්ම සම්බන්ධ නැහැ.

මේ නිසා අපේ සම්ප්‍රදායික චින්තනය සකස් වෙලා තියෙන්නේ “මොකක්ද?” (What is?) කියන කාරණාවට පිළිතුරු සොයා ගැනීම වෙනුවෙන් මිසක් “මොකක් වෙන්න පුළුවන්ද?” (What can be?) කියන කාරණාවට පිළිතුරු සොයා යන්න නෙමෙයි. What is? කියන කාරණාවට අදාළ සිතීමත්,  What can be? කියන කාරණාවට අදාළ සිතීමත් කියන දෙක එකක් නොවන බව වටහා ගැනීම මෙතැනදී හරිම වැදගත්. මහාචාර්යවරයා පෙන්වා දෙන සිතා බැලීමේ ක්‍රියාවලිය වැදගත් වෙන්නේ මෙතැනදීයි. ඒක තරමක බරපතළ දෙයක්. (serious thinking). රටක සෞඛ්‍යය භාර ප්‍රධාන ඇමතිවරිය මුට්ට ගඟේ පා කරලා වසංගතයකට ප්‍රතිකාර සොයන්න හදනවා වගේ සිල්ලර කාර්යභාරයක් නෙමෙයි.

සොක්‍රටීස් වගේ දාර්ශනිකයන් ඉහතින් කිව්ව විදියේ ප්‍රශ්න කිරීමේ ක්‍රමවේදයක් මගින් ‘සිතීම’ හඳුන්වා දෙන්නට උත්සාහ කළත් මධ්‍ය කාලීන යුගයේ දී පල්ලිය විසින් ඒ චින්තන ධාරාව මුළුමනින්ම විනාශ කළ බව මහාචාර්ය බෝනෝ පෙන්වා දෙනවා. මධ්‍ය කාලීන යුගයේ යුරෝපයේ සියලු සරසවි, පාසල් සහ අධ්‍යාපනික ආයතන පාලනය වුණේ පල්ලිය ප්‍රමඛ තෝමස් ඇක්වයිනාස් ආදී වූ ක්‍රිස්තියානි දේවගැතිවරුන් මතයි. සිතන්නට, ප්‍රශ්න කරන්නට, එහෙමත් නැතිනම් බුද්ධිමය විමසා බැලීමකට කිසිම ඉඩක් ලබා දෙන්නට පල්ලියට උවමනා වුණේ නැහැ. (තමන් විශ්වාස කළ සත්‍යය පල්ලියේ විශ්වාසයත් එක්ක සමපාත නොවුණු හින්දම අන්තිමේදී වස බී මැරෙන්නට සොක්‍රටීටස්ට බලකරෙුණු බව හැමෝම දන්න දෙයක්). භක්තිය මිසක් විචාර බුද්ධිය පල්ලියේ චින්තකයන් ප්‍රතික්ෂේප කරපු නිසා සොක්‍රටීස්ගේ පරපුර යුරෝපයේ දියත් කරන්නට ගිය බුද්ධිමය චින්තන ධාරාව විනාශ කරලා පල්ලියට අනුගතව සිතන්නට අවශ්‍ය කරන පරපුරක් බිහිකර කරන්නට ගත්ත උත්සාහ විදියට තමයි මහාචාර්ය බෝනෝ පුනරුද (Renaissance) යුගය පෙන්වා දෙන්නේ. ඒ නිසා පුනරුද යුගය කියන්නේ මානව වර්ගයා අඳුරු ආගාධයකට කැඳවා ගෙන ගිය යුගයක් බව මහාචාර්ය බෝනෝ අවධාරණය කරනවා. (මේ කරුණම බොහෝ උදාහරණ එක්ක නොහාරි තමන්ගේ ‘Sapines’ සහ ‘Homo Deus’ කියන පොත්පත් වලිනුත් පෙන්වලා දෙනවා) මහාචාර්ය බෝනෝ වගේම නොහාරිත් පෙන්වා දෙන විදියට අද දවසේ අපේ අධ්‍යාපනයේ පදනම  වෙලා තියෙන තියෙන යුරෝපීය අධ්‍යාපනයේ ඛේදවාචකය ආරම්භය සනිටුහන් වුණේ එතැනින්. මේ නිසා සියවස් ගණනාවක් පුරා අපේ සංකල්ප, ආචාර ධර්ම වෙනස් වුණත් ඊට සමාගාමීව සිතීමේ ක්‍රියාවලියේ කිසිම වෙනසක් සිද්ධ වුණේ නැහැ.

 ‘හරි’ හෝ ‘වැරදි’ කියලා ලකුණු කරන්න තියෙන විභාග ප්‍රශ්න පත්‍රයක අපිට ඉහළම ලකුණු ලැබෙන්නේ ‘හරි’ කියලා ගුරුවරයා (සමාජය) අපේක්ෂා කළ පිළිතුරු අපි ලබා දුන්නොත් පමණයි.  ඒ කියන්නේ අපි එතැනදී කරන්නේ ගුරුවරයා ‘හරි’ කියලා හිතන්නේ මොකක්ද කියන එක අනුමාන කරන එක. හරියට රට ජාතිය බේර ගන්න කියලා අපි අනුමාන කරන පක්ෂයට ඡන්දය දෙනවා වගේ . මේකෙන් සිද්ධ වෙන්නේ මුළුමනින්ම අපේ නිර්මාණශීලීත්වය විනාශ වෙලා යන එක. ඒත් අපේ ප්‍රශ්න පත්තරයේ තියෙනවා නම් අපේ නිර්මාණශීලීත්වය ඇගයීමකට ලක්කරන්නට පුළුවන් විදියේ ලකුණු ලබා දෙන්න ක්‍රමයක් (‘right’ හෝ ‘wrong’ කියන උත්තරත් එක්ක‘interesting’ වගේ දෙයකුත්!) අපිට පුළුවන් සිතීමට තියෙන සීමාවන් ඉක්මවා යන්න. සරලව කියනවා නම් මගේ හිතවතා කිව්වා වගේ ‘විකල්පයක් නැහැ’ කියලා එකම හොරු පිරිසකට කතිරය ගහන්න පුරුදු පුහුණු වෙලා ඉන්න පිරිසට පුළුවන් විකල්පයක් නිර්මාණය වන විදියේ සමාජයක් වෙනුවෙන් පෙනී හිටින්න. තවත් හොරුන් පිරිසකට බලය අරන් දෙනවා වෙනුවට යහපත් විකල්පයක් වෙනුවෙන් නිර්මාණය කරගන්න සක්‍රීයව මැදිහත් වෙන්න. ඒත් ඒකට ‘මොළයේ ක්‍රියාකාරීත්වයක් විදියට සිතීමේ ක්‍රියාවලිය’ පුරුදු පුහුණු කරගන්න ඕනේ කියලා මහාචාර්යවරයා පෙන්වලා දෙනවා.

හිතන්න කිසියම් මනුස්සයෙක් පාරක ඇවිදගෙන යනවා කියලා. අපි ඒ තැනැත්තාව හිටිහැටියේම නතර කරලා අත්පා ලණුවකින් බැඳ දානවා කියලා. දැන් අපි දෙනවා ඔහුට වයලීනයක්. හොඳටම පැහැදිලියිනේ. අත් පා බැඳපු කෙනෙකුට වයලීනය වයන්න බැහැ. ඒ හින්දා අපි කියාවි ‘බැමි ලිහලා දැම්මොත් ඔහුට වයලීනය වයන්න පුළුවන්’ කියලා. ඒක තනිකරම පිස්සු මනස්ගාතයක්! අත් පා ලිහලා දැමුව පමණින් ඔහු කොහොමද වයලීන් ශිල්පියෙක් වෙන්නේ? ඒ වගේම තමයි ඔබ ආදරය කළ පමණින් ඔබ කැමැති දේශපලකයා පරිණත පාලකයෙක්වත්, ඔබ පන දෙන්නට හදන ඔබේ දේශපාලන පක්ෂය රට ජාතිය සුරකින දේශපාලන පක්ෂයවත් වන්නේ නැහැ. ඒත් පාලන බලය දෙනකල්ම අපට ඒක තේරුම් ගන්නට බැරි නම් මාහාචාර්ය බෝනෝ කියන හිතීමේ හැකියාවක් අපිට ඇත්තේම නැහැ… ඔළ මොට්ටලයි!

එක්තරා වීදියක ‘ඇන්ටික් බඩු’ කඩයක් තියෙනවා තියලා හිතමු. මේ වීදියට තවත් ඇන්ටික් බඩු කඩයක් අලුතින් එකතු වුණාම පළමු කඩේ මුදලාලිට හිතෙන්නට පුළුවන් ඒක තමන්ගේ ව්‍යාපාරයට තරගයක් කියලා. ඒත් අලුතින් ආපු මුදලාලිට හිතෙන්න පුළුවන් ඒ වීදියට තවත් ඇන්ටික් බඩු කඩ එනවා නම් හොදයි කියලා. ඒකට හේතුව එතකොට ඒ වීදිය ‘ඇන්ටික් බඩු වීදියක්’ වෙලා ඇන්ටික් බඩු ගන්න මිනිස්සු ඒ වීදියට ඒමේ ප්‍රවණතාව වැඩි වන හින්දා. මේ මුදලාලිලා දෙන්නාම මුහුණ දුන්නේ එකම යථාර්ථයකට. ඒත් ඒ යථාර්ථය ඒ දෙන්නා තේරුම් ගන්නේ වෙනස්ම අර්ථ දෙකකින්. මේ නිසා පළමු මුදලාලි තමන්ගේ ව්‍යාපාර කොටස් විකුණන්න හදද්දී දෙවැනි මුදලාලි උත්සාහ කරන්නේ අලුත් ව්‍යාපාර කොටස් මිලදී ගන්න.

නිර්මාණශීලීව හිතන්නට නම් තර්කානුකූලව හිතීමේ ශක්තියක් තියෙන්නට ඕනේ. ඒක බොහොම දෙනෙක්ට අමාරු වැඩක්. ශක්තිය වැය වන ක්‍රියාවක්.  මේ හින්දා මොළයෙන් සිද්ධ වෙන අනිත් ක්‍රියාකාරකම් වගේම ‘සිතීම’ (thinking) කියන කාරණාවත් ‘මොළයෙන් කෙරෙන කාර්යයක්’ විදියට වටහා ගෙන ඉටුකරන්නට කියලා තමන් කියන අදහස බොහෝ දෙනෙකුට තේරුම් ගන්නටත් අමාරු වේවිය කියලා මහාචාර්ය බෝනෝ තමන්ගේ කෘතිවල සටහන් කරලා තියෙනවා.  ඒක ඇත්ත. වදකහ සුදිය, මීවැල්ලාව, දොළුකන්ද, කෝවිඩ් පැණිය, දිය දෙබෑ කරන් ධාතු වැඩමවීම වගේ දේවල් පස්සේ යන පිරිසකට, එහෙමත් නැතිනම් ගාලු මුවදොර පිටියට ගෙනැවිත් හොරුන්ට දඬුවම් ලැබේවිය, මහ බංකු හොරුන් හිරේ දමාවිය, පාස්කු ප්‍රහාරය පසුපස ඉන්න අන්තවාදී දේශපාලකයන් ජීවිතාන්තය දක්වා සිරගත කරාවිය, ජාතික සම්පත් විකිණීම එක පෑන් පහරින් අවසන් වේවිය, බදුර්දීන් කැලේ ගස් සිටුවාවිය… කොන්ටින්ම කියතොත් මුළු රටටම එකම නිතියක් ලැබේවිය කියලා විශ්වාස කරන (කරපු) ජනතාවටකට නම් මහාචාර්ය බෝනෝ කියන මේ කියන සංකල්පය ක්‍රියාවේ යෙදවීම තියා ඒ සංකල්පය වටහා ගන්නටත් බොහොම තද උත්සාහයක් ගන්න වේවි. මහාචාර්යවරයාගේ අදහස් අපේ සමාජයට ගලපලා ගත්තම නිදහස් අධ්‍යාපනයේ දශක හතක ප්‍රතිඵල (වෙනත් වචන වලින් කියනවා නම් ‘ජාතියක සාක්ෂරතාව’ එහෙමත් නැතිනම් ‘ඡන්දදායකයන්ගේ සබුද්ධිකතාව’) එකම එක එක පේළියකට ගොනු කරන්න පුළුවන් : “මම කාලි… ඔබ වහන්සේගේ අම්මා”

The Thinker – පැරිස් නුවරදී ඔබට දැකිය හැකි ප්‍රතිමාවක්

මහාචාර්ය බෝනෝ තමන්ගේ පොතින් තවත් එක් සිත්ගන්නා සුලු කරුණත් මතු කරනවා. ඒ තමයි ආගමික සංකේත හා ප්‍රතිමා අතහැර දැමූ විට රටක ඉදිවන ප්‍රතිමා ඒ රටේ සමාජීය චින්තනය පෙන්නුම් කරන බව. ඔහු පෙන්වා දෙන විදියට පින්ලන්තයේ වීදිවල වැඩිපුරම දකින්නට පුළුවන් වෙන්නේ වාස්තු විද‍්‍යාත්මක සංකේත‍. ඒකට හේතුව පින්ලන්තය වාස්තු විද්‍යාව කියන විෂයට අන්තර්ජාතික කීර්තියක් උසුලන හින්දා. පැරීසිය ගත්තොත් චින්තකයන් හරි දාර්ශනිකයන්ගේ හරි පිළිරූ තමයි වැඩිපුරම දකින්නට ලැබෙන්නේ. ඒකට හේතුව ප්‍රංශ සමාජයට තමන්ගේ දාර්ශනික උරුමය ගැන ආඩම්බරයක් තියෙන නිසා. ලන්ඩනයේ නම් රණශූරයන් එහෙමත් නැතිනම් ජෙනරාල්වරුන් තමයි වැඩිපුරම දකින්නට ලැබෙන්නේ. ඒකට හේතුව බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ පැවැත්මට ඒ රණශූරත්වයේ සංකල්ප ජනතාව  අතරට ගෙන යාම අත‍්‍යවශ්‍ය නිසා. ඒත් ලංකාවේ අපි නම් හරිම වෙනස්. අපේ ප්‍රතිමාවල විතරක් නෙමෙයි මුදල් නෝට්ටු, රජයේ කාර්යාල මේ හැම එකකම දකින්න ලැබෙන්නේ දේශාපලකයන්ගේ මූණත් තහඩු. මෙහෙම හිතන ජාතියක් පවත්වාගෙන යාම රටේ පාලකයන්ගේ අවශ්‍යතාවක් නිසා මහාචාර්ය බෝනෝ හඳුන්වලා දුන්නු ඒ විෂය අපේ විෂය නිර්දේශයන්ට නම් කිසිදාක ඇතුළත් නොවේවි.

පින්ලන්තයේ Helsinki නුවර උද්‍යානයකදැකිය හැකි දසුනක්

අවසාන වශයෙන් ගත්තම, මැතිවරණයක දී විතරක නෙමෙයි ජීවිතේ ඕනෑම කරුණක දී “ඒ වෙලාවේ වෙන කරන්න දෙයක් තිබුණේ නැහැ… එහෙමත් නැතිනම් වෙන විකල්පයක් නැහැනේ”  කියන අයට “ඇයි මේ තරම් ඔළමොට්ටල?” කියන කෘතියෙන් මහාචාර්ය බෝනෝ පාඩමක් කියලා දෙනවා. ඒත් ඒ පාඩම අදාළ වෙන්නේ ඔළමොට්ටල නොවන්න කැමැති අයට විතරමයි.

“ඔබට පුළුවන් අතීතය ගැන කතාබහ කරන්න. ඒත් අනාගතය නිර්මාණය කරන්න ඕනේ ඔබම පමණයි”. (You can analyze the past but you have to design the future).

මේ නිසා ඔළමොට්ටල නොවන්නට නම් ඔබ කරන්නට ඕනේ එක එක දෙයක් විතරයි කියලා මහාචාර්ය බෝනෝ කියනවා. ඒ තමයි ‘සිතීම’ (thinking) කියන එක ‘මොළයෙන් සිදුවන අනෙක් සෑම ක්‍රියාකාරකමක්’ වගේම තවත් එක් ‘ක්‍රියාවක්’ විදියට තේරුම් අරගෙන ‘දැනුවත් ක්‍රියාවක්’ විදියට සිතන්න පුරුදු වෙන එක.

(If you defined thinking as any activity that takes place in the brain, then clearly the human race does think)

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

WordPress.comහි බ්ලොග් සටහනක්.

ඉහළ ↑

%d bloggers like this: