එකම සතියක්… සිද්ධීන් තුනක්…!

සෙනසුරාදා පාන්දරින්ම දුරකථනය නාද වුණා.

දුරකථන තිරයේ තිබුණේ ලංකාවේ අංකයක් නිසා කතා කරන්නේ කවුරුන්ද කියා නොසිතාම දුරකථනය අතට ගත්තා, හදිසියකට වෙන්නත් පුලුවන් නිසා.

රිසීවරය එහා පැත්තේ හිටියේ මගේ පැරණි මිත්‍රයෙක්.

ආගිය තොරතුරු කතා කරන අතරේ ඔහු මගෙන් මෙහෙම ඇහුවා.

“ඒක නෙමෙයි, නැද්ද ඔහේට පැන ගන්න විදියක්. දන්න අදුනන හොඳ ඒජන්සියක් එහෙම…?”

ආචාර්ය උපාධියක් තියෙන මගේ මිත්‍රයා අධ්‍යාපන ක්ෂේත්‍රයට සම්බන්ධ ඉහළ ආයතනයක සේවය කරන කෙනෙක්. පහුගිය කාලයේ ‘වියත් මග’ කියන දේශපාලන සංවිධානයත් එක්ක  එකට එකතු වෙලා ක්‍රියාකාරීව කටයුතු කළ කෙනෙක්. ඒ වගේම මුහුණු පොත හරහා දිවා රෑ නොබලා දේශපාලනය වෙනුවෙන් දර දිය ඇද්ද කෙනෙක්.

ඒත් දැන් සති දෙක තුනක ඉඳන් බොහොම දෙනෙක්ට වෙලා තියෙනවා වගේ ආපහු ‘ස්වාධීන’ වෙන්න පටන් ගත්ත කෙනෙක්.

“ඉතින් ඇයි කෙලින්ම ඇප්ලයි කරන්නේ නැත්තේ? ඔයාට අධ්‍යාපන සුදුසුකම් තියෙනවනේ. ඒජන්සි හරහා එන්න හදන්න ඕනේ නැහැනේ”

“මෙහෙමනේ… දැන් වයස ටිකක් වැඩියිනේ. ඒ නිසා ඒකට සෑහෙන ලකුණු ගානක් නැති වෙනවා. ඒ නිසා ඒ විදියට ඇප්ලයි කරලා එන්න අමාරුයි. නැද්ද වෙන මොනවා හරි ක්‍රමයක් ඔහේට පැන ගන්න?”

“ඉතින් ඇයි හදිසියේ එහෙම තීරණයක් ගන්න හිතුවේ? ඔයාලා බලාපොරොත්තු වෙච්ච, ඔයාලා මහන්සි වෙලා වැඩ කරපු දේශපාලන බලවේග බලයට ඇවිත් ඉන්නවා. ඔයාලා ආදරය කරපු නායකයෝ බලයේ ඉන්නවා. මැති ඇමතිවරු විදියට පිටින් කවුරුවත් ඇවිත් නැහැ. ඔයාලා පහුගිය කාලේ ඡන්දෙ දෙන්න කියලා කියපු අයම තමයි ඒ ඇමැතිකම් දරන්නේ. ඔයාලා එක්කම එකම දේශපාලනයක් වෙනුවෙන් වැඩ කරපු නළු නිළියන් ගායක ගායිකාවන්ට රටේ ඉහළම ආයතන වලට තනතුර ලැබිලා තියෙනවා. ඔයාලා බලාපොරොත්තු වෙච්ච ප්‍රතිපත්ති ක්‍රියාවට නංවලා තියෙනවා. කොටින්ම කියනවා නම් ඔයාලා බලාපොරොත්තු වෙච්ච සමාජය දැන් උදා වෙලා. ඉතින් එහෙම තියෙද්දි ඇයි මේ දැන් මේ  හදිසියේ රට දාලා යන්න හදන්නේ?”

මිත්‍රයා තරමක සද්දයකින් හිනා වුණා.

“මචං විහිළු කරන්න එපා… ඇත්තටම තමයි ඇහුවේ?”

“විහිළුවක් නෙමෙයි… මාත් ඇත්තටම තමයි කිව්වේ”

මොහොතක නිහැඩියාවකට පස්සේ මිත්‍රයා මෙහෙම කිව්වා

“මෙහෙමනේ මචං… අපේ දරුවන්ටත් අනාගතයක් තියෙන්න එපැයි…”

XXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXX

“මොනව වුණත් අපි මේ වෙලාවේ සපෝර්ට් කරන්න ඕනේ ට්‍රම්ප්ට” ඇමරිකානු ජනාධිපතිවරණයේ අවසන් ඡන්ද ප්‍රතිඵල විකාශනය වන අතරේ වට්ස් ඇප් මගින් මා ඇමැතූ මගේ මිත්‍රයෙක් කිව්වා.

“ඇයි ඒ…?”

“නැහැ… මං කියන්නේ මිනිහා අප්සට් වැඩ කරනවා තමයි. ඒත් ලංකාව වගේ රටකට හොඳ මිනිහා වගේ කෙනෙක් අවොත්”

“ඇයි ඒ…?”

“ට්‍රම්ප් එක්ක ඔය සුළු ජාතීන්ට සෙල්ලම් කරන්න බැහැනේ… මිනිහට මුස්ලිම් අන්තවාදය පෙන්නන්න බැහැනේ”

“ඒ කියන්නේ ට්‍රම්ප් ආවොත් සිංහල බෞද්ධයන්ට හොද කලක් යාවිද…? පහුගිය අවුරුදු හතරේ සිංහල බෞද්ධයන් වෙනුවෙන් ට්‍රම්ප් වැඩ කළාද…?” මම මෝඩ පහේ ප්‍රශ්නයක් දාලා බැලුවා.

“නැහැ… විහිළුවක් නෙමෙයි. ට්‍රම්ප් එක්ක ඔය සුළු ජාතිවාදී බලවේග වලට හැරෙන්නවත් බැහැ. මිනිහා ඒවට තදින් ඉන්නවා. ඉතින් මිනිහා පැරදුනොත් කොටින්ටත් ඒක වාසියක්”

“ඒ කියන්නේ ට්‍රම්ප් පැරදුනොත් ආපහු කොටි නැගිටියිද?” මගේ ප්‍රශ්නයේ තිබුණු සරදම මිත්‍රයාට වැටහුණේ නැහැ.

“නැතුව… කොටි විතරක් නෙමෙයි… මුස්ලිම් අන්තවාදයත් ආපහු නැගිටින්න පුළුවන්…”

“එහෙමද….? ඉතින් පහුගිය කාලයේ මුස්ලිම් අන්තවාදීන් පාස්කු දවසේ පල්ලියටම ඇවිත් කී දෙනෙක් නම් මරා දැම්මද…? මුස්ලිම් ජාතිවාදී නායකයන් කී දෙනෙක් නම් රටේ වනාන්තර එළි කළාද? අලි ඇත්තු වන සතුන්  කි දෙනෙක් නම් මරා දැම්මද? ඔය දැනුත් අලුතින් පාර්ලිමේන්තුවට ආපු මුස්ලිම් මන්ත්‍රී කෙනෙක් ලොකුම ඇමතිකමක් අරගෙන තමන්ට හිතුණු හිතුණු දේවල් ක්‍රියාත්මක කරන්නේ? කාටවත් දඩුවමක් ලැබිලා නැහැනේ. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව වෙනස් කරගත්තෙත් ඔය කියන මුස්ලිම් මන්ත්‍රීවරු ටික හින්දනේ. ඉතින් ට්‍රම්ප්ව බලයට ගෙනල්ල ද එතකොට අපේ රටේ නීතිය ක්‍රියාත්මක කරව ගන්න හදන්නේ…?”

මොහොතක නිහැඩියාවක්.

“මචං… මේක ටිකක් දිගට කතා කරන්න ඕන දෙයක්… අපි පස්සේ කතා කරමු”

“වැඩක් වෙන එකක් නැහැ… ට්‍රම්ප් දැනටමත් පරාදයි…” ඒ වනවිටත් රූපවාහිනී තිරයේ දිස් වූ ‘Breaking News’ සිරස්තල දෙස බලමින් මම මිත්‍රයාට කිව්වා.

XXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXX

අපූරුවට හැද පැළඳ ගෙන ටයි පටියක් පැළඳ ගත්ත සුදු මිනිසෙක් එක්ක ඒ විදියටම පිළිවෙළට ඇද පැ‍ළැඳ ගත්ත කාන්තාවක් මා කලක සිට දන්නා හදුනන විදියට මගේ ළගටම ආවා.

“ඉතින් කොහොමද?” දෙන්නාම එක සැරේම බොහොම ළෙංගතුව ඇහුවා. මුහුණු වැස්මක් දාගෙන හිටපු නිසා මේ ඇත්තෙන්ම මා දන්නා හඳුනන කෙනෙක්ද කියලා හිතාගන්න බැරි වුණත් එයාලගේ අතේ තිබුණු පත්‍රිකා ටික දැක්කම එයාලා එන්න හදන්නේ මොනවට ද කියලා මට එක සැරේටම තේරුම් ගියා. ඒත් ඒ බවක් නොපෙන්වා කතා බහ ටිකක් ඇදිලා යන්න සැලැස්සුවේ මං ආපු ආයතනය විවෘත කරන්න තව ටිකක් වෙලාව තිබුණු හින්දා.

සුහද කතා බහ ඇදිලා යන අතරේ කොරෝනා නිසා මගේ රැකියාව නැතිවුණාද, දන්න හඳුනන කෙනෙකුට කරදරයක් වුණා ද කියලත් බොහොම අනුකම්පාවෙන් අහද්දී එහෙම ගැටලු මට නැහැ කියලා මං කිව්වා.

“ඒකනේ, ඔබට දෙවියන වහන්සේගේ ආශිර්වාදය ලැබිලා තියෙනවා. අපි ඒකට දෙවියන් වහන්සේට ස්තුති කරන්න ඕනේ. මේ වෙලාවේ අපි දෙවියන් වහන්සේට යාඥා කරන්න ඕනේ, මේ පැන්ඩමික් එකෙන් අපිව බේරලා දෙන්න කියලා.. දෙවියන් වහන්සේගේ කරුණාව හින්දා තමයි අපිට මෙහෙම ජීවත් වෙන්න පුලුවන් වෙලා තියෙන්නේ… හැම ඉරිදාම තියෙනවා අපේ යාඥා දේව මෙහෙය…”

වෛවර්ණ පාටින් මුද්‍රණය කරපු පත්‍රිකාවක් මට දෙන්න දිගු කරන ගමන් එයාලා කියා ගෙන කියා ගෙන ගියා.

“ඒ කියන්නේ මැරුණු අයට දෙවියන් වහන්සේ කරුණාව ලැබුණේ නැහැ කියන එකද? එතකොට එහෙනම් මේ වෛරසය තනිකරම දෙවියන් වහන්සේගේ වැඩක්නේ…” කතාව අතර මැද්දට පැනලා මම නිකමට කියලා දැම්මා.

“ඔබ දෙවියන් වහන්සේගේ බලය විශ්වාස කරන්නේ නැද්ද?”මා දිහා පුදුමයෙන් බලපු කාන්තාව අර කිව්වා පත්‍රිකාවට අමතරව ආකර්ශනීය පිටකවරයක් තිබුණු පොතකුත් මට තෑගි කරන්න හැදුවා.

“ඔයාලගේ පවුලේ කෙනෙකුට කොරෝනා හැදුනොත් පල්ලියට ද යන්නේ ? නැතිනම් ඉස්පිරිතාලෙට ද?” මම බොහොම ආචාරශීලීව ඇහුවා.

“ඒක ටිකක් දිගට කතා කරන්න ඕන දෙයක්. කලින්ම මේ පොත කියවන්න. ඊට පස්සේ අපි කතා කරමු. දෙවියන් වහන්සේගේ කරුණාව හැමෝටම පොදුයි…” පත්‍රිකාවයි, පොතටයි අමතරව විසිටින් කාඩ් පතකුත් තෑගි ගොන්නට එකතු වුණා.

“දෙවියන් වහන්සේගේ කරුණාව හැමෝටම පොදු ද?” මම ඒ වගන්තිය ප්‍රශ්නයක් බවට පත් කළා.

මගේ ප්‍රශ්නයෙන් දෙන්නාටම අලුත් පණක් ලැබුණා.

“ඔව්… මේ ලෝකේ හැමෝටම දෙවියන් වහන්සේගේ කරුණාව ආශිර්වාදය ලැබෙනවා…දෙවියන් වහන්සේ හැම දෙයක්ම බලාගෙන ඉන්නේ”

“හොඳයි… මම හැම තිස්සේම කරන්නේ හොඳ දේවල් විතරක්ම කියලා හිතමු.. ඒ වගේම මම කිසිම කෙනෙකුට උදව්වක් මිසක් වැරැද්දක් කරන්නේ නැහැ කියලා හිතමු. හැබැයි මම දෙවියන් වහන්සේ විශ්වාස කරන්නේ නැහැ කියාල හිතමු. එතකොට එතුමන්ව විශ්වාස නොකළ පමණින්ම අර තරම් හොඳ දේවල් විතරක්ම කරපු මාව  උන්වහන්සේ යවන්නේ ස්වර්ගයට ද, අපායට ද?”

තරමක නිහැඩියාවට පස්සේ කාන්තාව අයි පෑඩයක් එළියට ගත්තා. අරගෙන මට නරඹන්නට පුළුවන් වීඩියෝ පට දෙක තුනක ලින්ක් ටිකක් එවන්නට මගේ ඊ මේල් ලිපිනය ඉල්ලා හිටියා.

“නැහැ ඊට කලින් මගේ ප්‍රශ්නයට උත්තරයක් දෙන්න. දෙවියන් වහන්සේ ඔය කියන තරම්ම කරුණාවන්ත නම් එතුමන් විශ්වාස නොකළ පමණින්ම යහපත් මිනිහෙක් අපායට යවන්න උන්වහන්සේ සූදානම් ද?”

උත්තරයක් නොදුන්න කාන්තාව යළිත් වරක් මගේ ඊ මේල් ලිපිනය ඉල්ලා හිටියත් මා ඇගෙන් උත්තරයම ඉල්ලලා සිටියා.

“නැහැ… එහෙම වෙන්නේ නැහැ…” පිරිමි තැනැත්තා තවත් දිග කතාවකට මුල පුරන්නට උත්සාහ ගත්තා.

“එහෙම නම් ගැටලුවක් නැහැනේ… මම දෙවියන් වහන්සේ විශ්වාස කරනවද නොකරනවද කියන එක මත නෙමෙයිනේ මගේ ජීවිතයේ විනිශ්චය තීරණය වෙන්නේ… මම මොනවද කරන්නේ කියන දේ අනුවනේ….ඒ නිසා මම දෙවියන් වහන්සේ විශ්වාස කරනවාද නැද්ද කියන එක අදාලම නැහැනේ… බොහොම ස්තුතියි ඔය පොත් පත්වලට, වෙන කාටහරි දෙන්න”

(මේ සටහන ලියැවුණේ කිසිම ආගමක් හෝ කිසිදු ආගමික නායකයෙකුට අපහාස පිණිස නොවන බව අවධාරණය කළ යුතුය. ‘හෙලිකොප්ටර් සෘද්ධි බලයෙන්’ අහසින් පිරිත් පැන් ඉසින්නන්, පිරිත් ජීවම් කොට කළගෙඩි ගංගාවට අතහරින්නන්, චෛත්‍යය වටා සිවුරු පොරවන්නන්, පන්සල් අසපු කරමින් බුද්ධ චරිතය විකෘති කරමින් ‘බුදු මාලිගා’ තනන්නන්, ජාතියට වින කරන දේශපාලකයන් සරණ යමන් ඔවුන් වෙනුවෙන් පිරිත් නූල් බඳිමන් මැතිවරණ වේදිකා මත නගින චීවරධාරීන් ද වැටෙන්නේ ආගම විකුණමින් සිය ජීවිකාව ගෙන යන ඉහත කී තක්කඩින්ගේ ගොඩටම බව සිහිපත් කළ යුතුමය)

3 thoughts on “එකම සතියක්… සිද්ධීන් තුනක්…!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )