හමිංබර්ඩ්

පුංචිම පුංචි හමිංබර්ඩ්ලා දෙතුන් දෙනෙක් හැමදාම වත්තට එනවා. පැන්සලයක කෙළවර වුණත් වහන්නට පුළුවන් ලෝකයේ පුංචිම පුංචි කුරුල්ලා. උදේට, දවල්ට, හවසට දෙතුන් සැරයක්ම එක සැරේම වත්තට ඇවිත් යනවා මල්පැණි බීලා යන්න.

ඇහැට නොපෙනෙන තරම් පුදුමාකාර වේගයකින් අත්තටු ගහන මේ කුරුල්ලා නිකම්ම නිකම් හිස් අවකාශයේ රැදී ඉන්න හැටි බලාගෙන ඉන්න ආසයි. මේ කුරුල්ලාට හමිංබර්ඩ් කියන නම ඇවිත් තියෙන්නෙත් මේ තරම් වේගයෙන් අත්තටු ගහද්දී එන සියුම් සද්දය (humming) නිසාමයි. ඒ වගේම තමයි පිටුපසට පියාඹන්නට පුළුවන් ලෝකයේ එකම කුරුල්ලාත් මේ හමිංබර්ඩ් තමයි. ඉතින් ළා නිල් – දම් පාට දිළිසෙන සිරුරකින් හැඩ වෙලා ඉස්සරහට පිටුපසට පියාඹමින්, ඒ වගේම එකම තැන රැදී ඉදිමින් පුංචි දිග හොටෙන් මල් පැණි බොද්දී පුදුමාකාර චමත්කාරයක් තමයි තියෙන්නේ. ඒ නිසා තමයි ඕනෑම ගෙවත්තකට එන්නට පුලුවන් විස්මයජනක අමුත්තෙක් (surprise visitor) විදියට හමිංබර්ඩ් සලකන්නේ.

කිහිප සැරයක්ම වත්තට ආවත් මේ කුරුල්ලා දිහා බලාගෙන ඉදීමේ ඇතිවීමක් නැහැ. ඒ නිසා හැමදාම දවසකට කිහිප සැරයක්ම හමිංබර්ඩ්ලා වත්තට ආවත් ඒ එන යන හැම වෙලාවකම මේ පුංචි කුරුල්ලා දිහා බලාගෙන ඉන්න ගෙදර අපි හැමෝම පුරුදු වෙලා ඉන්නවා. කාර්යාලයේ වැඩ ගෙදර ඉදන් කරන මේ දවස්වල කොයි තරම් වැඩ අස්සේ වුණත්, ඒ වගේම කාර්යාල රැස්වීම් අතරේ පවා මේ කුරුල්ලො යන එන වෙලාවට ජනෙල් කවුළුවෙන් ඒ දිහා බලාගෙන ඉන්න එක මගෙත් පුරුද්දක්.

හමිංබර්ඩ් වැඩියෙන්ම කැමැති දීප්තිමත් තද රතු පාට මල්වලට. ඒ නිසා හමිංබර්ඩ්ලා මල් පැණි බොන්න එන වත්තේ තියෙන රතු පාට මල් ගස් වලට අමතරව තවත් ඒ ජාතියේම මල් ගස් ගෙනැත් අපි හිටෙව්වා.

ලංකාවෙන් කෙටි නිවාඩුවකට කැනඩාවට ආපු හිතවත් පවුලක් එක්තරා දවසක දවල් කෑමකට අපේ ගෙදර ආවා. ඒ ආපු වෙලාවෙත් පුරුදු විදියටම මේ හමිංබර්ඩ්ලා මල් පැණි බොන්න වත්තට ආවා. සාමාන්‍යයෙන් කෙනෙකුට දකින්නට නොලැබෙන ලෝකයේ පුංචිම කුරුල්ලාව මං ඒ අයට පෙන්නුවා. ඒ කවුරුවත් මීට කලින් හමිංබර්ඩ්ව දැකලා තිබුණේ නැහැ. පවුලේ හිටපු පුංචි දරුවා විතරක් බොහොම කුතුහලයෙන් කවුළු පියන්පත් අතරින් පෙනෙන මේ කුරුල්ලා මල් පැණි බොන අපූරුව බොහොම ආසාවෙන් දිග වෙලාවක් බලාගෙන හිටියත් දෙමව්පියන් ඒ වෙනුවෙන් වෙන් කළේ තත්පර වලින් මනින්න පුළුවන් වෙලාවක් විතරයි. ඒත් දිවා ආහාරය අවසන් වෙලා ඔවුන් නවාතැන් අරගෙන හිටපු තැනට ගෙනි යද්දී මග දෙපස දැක්ක අලුත්ම පන්නයේ වාහන වල විස්තර අහන්න නම් දරුවාගේ අම්මයි, තාත්තයි බොහොම උනන්දු වුණා.

මේ විදියේම දෙයක් මීට කලිනුත් මට අත්දකින්න ලැබුණා. ඇමරිකාවේ කෙටි සංචාරයකට ලංකාවේ ඉදන් ආපු මං දන්න කියන පවුලක් රාත්‍රී භෝජනයකට අපේ ගෙදරට එන්න නියමිතව තිබුණා. ඒ අය මීට කලින් කැනඩාවේ මං ඉන්න ප්‍රාන්තයට ඇවිත් තිබුණේ නැහැ. කැනඩාවත් ඇමරිකාවත් අතර දේශ සීමාවට මගේ ගෙදර ඉදන් තියෙන්නේ විනාඩි කිහිපයක දුරක්. වාහනයකින් යන්න එන්න පුලුවන්. ඇමරිකාවේ ඉදන් කැනඩාවට එන අතරේ මගේ ගෙදරට ආසන්නයෙන් බලන්න තියෙන තැන් ගැන ඔවුන් විස්තර ඇහුවා.

ඒ වස්සාන කාලය. ඒ කාලයට දිය ඇළි වතුරෙන් පිරිලා ඉතිරිලා ගිහින් පුදුමාකාර විදියට ලස්සනයි. ඒ හැම දිය ඇල්ලක්ම එකකට එකක් වෙනස්. කොයි තරම් බලාගෙන හිටියත් ඇති වෙන්නේ නැති තරම්. ඒ නිසා හැම අවුරුද්දෙම වස්සාන කාලයේ දී මේ දිය ඇළි අද්දරට ගිහින් සෑහෙන වෙලාවක් කාලය ගත කරන්න අපිත් බොහොම කාලයක ඉදන් පුදුරු වෙලා ඉන්නවා. දිය ඇළි වලින් පිරිලා තියෙන මගේ ප්‍රාන්තයේ ඒ අයට පහසුවෙන් යන්න පුලුවන් ළග පාත තියෙන දිය ඇළි තුනක මාර්ග විස්තර මං ලියලා යැවුවා.

රාත්‍රී භෝජනයට ගෙදරට ආපු වෙලාවේ මං බලන්න ගිය දිය ඇළිවල විස්තර ඒ අයගෙන් ඇහුවා. “ආ…. අපි එකකට විතරයි ගියේ. දිය ඇළිම තුනක් බලලා වැඩක් නැහැ කියලා හිතුණු නිසා අපි මෝල් එකට ගියා. ෂා… පුදුම ලස්සන මෝල් එකක්නේ. වෙලාව යනවා දැනුනේම  නැහැ… හරි විසාලයි නේද?” ඔවුන් මුළු සවස් වරුවම ගත කර තිබුණේ මගේ නිවස ආසන්නයේ තිබුණු දැවැන්ත සාප්පු සංකීර්ණයේ කඩ සාප්පු අතරයි.

මේ විදියේම තවත් සිද්ධියකට මං මෑතක දී මුහුණ දුන්නා. ලංකාවේ මිතුරෙකුගේ උදව්වක් වෙනුවෙන් ඔහු දන්න කියන නිවසකට මට යන්නට සිද්ධ වුණා. ඒ නිවසේ පදිංචිව ඉන්න ලාංකික පවුල අවුරුදු විස්සකට තිහකට වඩා කාලයක ඉදන් කැනඩාවේ ඉන්න පවුලක් වුණත් ඒ අය මීට පෙර මට හමුවෙලා තිබුණේ නැහැ. ඔවුන් පදිංචිව සිටියේ ගෙයි ඉදිරිපසට වෙන්නට ලොකු ගෙවත්තක් තිබුණු විශාල ගෙයක. මේ ගෙවත්තේ වවලා තිබුණු මල් ගස් වලට අමතරව රූස්ස ගහක් ගෙවත්තේ හරි මැද මිදුලේ තිබුණා. ගහේ අතු පතර විහිදිලා තිබුණු විදියට ඒක අවුරුදු හතලියක් පනහක්වත් වයස ගහක් වෙන්නට ඕනේ. ගෙවත්තේ තිබුණු එකම විශාල ගහ වුණත් අතු පතර විහිදිලා මුලු ගෙවත්තටම හරිම අපූරු හෙවණක් ඒ ගහෙන් ලැබුණා. නිතර දකින හුරු පුරුදු ගහක් නොවුණු නිසා මේ ගහ මොකක් ද කියලා මං ගෙහිමි ලාංකිකයාගෙන් ඇහුවා.

‘දන්නේ නැහැ…’ ඔහු කීවේ ඒ ‘මෝඩ’ප්‍රශ්නයෙන් පුදුම වුණා වගේ. අවුරුදු විස්සකට ආසන්න කාලයක් තමන් ඉන්න ගෙදර මිදුලේ තියෙන එකම එක රූස්ස ගහ මොකක් ද කියන එකවත් නොදන්නා ඔහු ගැනත් මම ඒ විදියටම පුදුම වුණා.

ඒත් ඒ වගේම මීට වඩා වෙනස් ප්‍රසන්න අත්දැකීමකුත් මට මතකයි. මගේ සමීපතම ඥාතීන් දෙපළක් කෙටි කාලයකට කැනඩාවට ආවා. ඒ අය නතර වුණේ අපේ ගෙදර. සාමාන්‍යයෙන් ලංකාවෙන් එන කවුරුන්හරි ආපහු ලංකාවට යද්දී කැනඩාවෙන් උවමනා කරන්නේ විසිතුරු දේවල්. බොහොමයක් වෙලාවට ඉලෙක්ට්‍රොනික් බඩු භාණ්ඩ. මොබයිල් ෆෝන් …එහෙමත් නැතිනම් අඩුම තරමින් කැනේඩියන් චොකලට් එකක් හරි…. ඒත් මේ ඥාතීන්ට ඒ ගමන වෙනුවෙන් බොහොම උදව් උපකාර කරපු බැංකු නිලධාරියෙක්  විතරක් හරිම අපූරු ඉල්ලීමක් කරලා තිබුණා. ඒ තමයි කැනඩාවේ ජාතික කොඩියේ සංකේතය වුණු මේපල් කොළයක් පුලුවන් නම් අරගෙන එන්න කියන එක. බාහිර දේවල් පසුපස දුවන සමාජයක මේ අපූරු ඉල්ලීම කොයි තරම් අපේ හිත් ගත්තා ද කියනවා නම් අපි ඒ ඉල්ලීම ඉටු කළේ  හිත පුරා උතුරා ගිය සතුටකින්.

එදිනෙදා ජීවිතයේ අපට මුණ ගැහෙන බොහොම දෙනෙකුගේ ජීවිත ගෙවිලා යන්නේ මේ විදියේ භෞතික සැප සම්පත් පස්සේ. අලුතින්ම ආපු නවීන පන්නයේ වාහනයක් ගන්න, අලුත්ම මාදිලියේ ෆෝන් එකක් ගන්න, අලුතින්ම ආපු ඉලෙක්ට්‍රොනික උපාංගය තමන් සතු කරගන්න, සෙල්ෆියක් අරන් ෆේස්බුක් එකේ දාන්න වගේ බොහොම සරල සිල්ලර කාරණා හැරණාම ලෝකය දිහා බලන්න ඒ අයට වෙලාවක් පවා නැති තරම්. සුන්දර පරිසරයකට ගියත් මේ අය වඩා විනෝදයක් විදින්නේ පරිසරයේ සුන්දරත්වයට වඩා තමන්ගේ සෙල්ෆියට ලැබෙන ලයික් ගාන දිහා බලලයි.

ජනමාධ්‍යවේදය කියන විෂය උගන්වද්දී  ප්‍රවෘත්තියක් කියන්නේ මොකක්ද කියන එක පහදන්න මුල් කාලයේ ගත්ත බොහොම ප්‍රකට උදාරහණයක් තමයි, බල්ලෙක් මිනිසෙක් සපා කෑම ප්‍රවෘත්තියක් නොවුණත්, මිනිහෙක් බල්ලෙක්ව සපා කෑම ප්‍රවෘත්තියක් කියන එක. එත් අද ලංකාවේ ප්‍රවෘත්ති බවට පත්වෙලා තියෙන්නේ බල්ලෙක් මිනිහෙක් කෑම මිසක් මිනිහා බල්ලාව කෑම නෙමෙයි. රටේ නායකයෙක් කෝච්චියක් යනකම් තමන්ගේ වාහනය නවත්වා ගෙන ඉන්න එක, පාලකයෙක් දරුවෙක් වඩා ගන්න එක, ඒ පාලකයා සාමාන්‍ය මනුස්සයෙක් එක්ක එක්ක හිනා වෙන එක, පාලකයෙකුගේ පුතෙකුගේ බිරිදට දරුවෙක් ලැබෙන්න යන නිමිත්තට ගත්ත ප්‍රිය සාදය වගේ දෙවල් මහා ප්‍රවෘත්ති බවට පත් වුණත් සිංහරාජයයේ දැවැන්ත වන විනාශය, වනාතවිල්ලුවේ තෙත් බිම් සංහාරය, පොළොන්නරුවේ ඓතිහාසික පුද භූමියට වෙන්නට යන විනාශය වගේ දේවල් අද දවසේ ප්‍රවෘත්තියක් බවට පත්වෙන්නේ සාමාන්‍ය මිනිස්සුන්ගෙනුත් එහෙමත් කෙනෙකුට විතරයි.

සංවේදීතාව කියන ස්නායුව උපතින්ම මොට වෙච්ච පරපුරකට ලෝක උරුමයක් වෙච්ච සිංහරාජය කියන්නෙත් බත්තරමුල්ලේ හරිත උයන වගේ බිම් තීරුවක් විතරයි. තවත් ලෝක උරුමයක් වෙච්ච පොළොන්නරුව පුරාවිද්‍යා භූමිය කියන්නෙත් නෙළුම් කුලුන වගේ ගෙඩනැගිලි සංකීර්ණයක් විතරයි.

එළාර මැරුවේ නළුවෙක් කියලා හිතන දේශපාලන සාක්ෂරතාවක් තියෙන රටක පරිසරය, පුරාවිද්‍යාව, සංස්කෘතිය විතරක් නෙමයි ආගම පවා තමන්ගේ දේශපාලන වහල්කම මත තීරණය වන සිල්ලර සාධක. වහල්කම කියලා කිව්වත් රටේ බහුතර ඡන්දදායකයන් පිරිසකට නම් ඒ වහල්කමත් තනිකරම අභිමානයක්. 

(හමිංබර්ඩ් ඡායාරූප දියණිය සුබෝධිගෙන්)

One thought on “හමිංබර්ඩ්

Add yours

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

WordPress.comහි බ්ලොග් සටහනක්.

ඉහළ ↑

%d bloggers like this: