ආයෙත් ඒවි ද ඒ සමනලයා

woman-1149911_1920

“සෑහෙන කාලයක ඉඳන් එකතු කරපු මියුසික් තැටි ගොඩකුයි, තව විසිතුරු බඩු වගයකුයි තියෙනවා. ඔයාට දෙන්න ද?”

අත්‍යවශ්‍යම දෙයක් හැරෙන්නට නිවසේ අනවශ්‍ය බඩු භාණ්ඩ පුරවා ගැනීමට කොහෙත්ම අකමැති වුණත් එක සැරේටම ‘එපා’ කියන එක ආචාරශීලී නැහැ කියලා හිතුණා.

“ඒත් ඔයා ඔය දේවල් එකතු කළේ සෑහෙන කාලයක ඉඳන් නේද? ඇයි ඉතින් අරගෙන යන්නේ නැත්තේ?”

“ඔව්, අවුරුදු විස්සක තිහකටත් කලින් ඉඳන් එකතු කරපු දේවල් තමයි. ඒත් ලීසා කැමැති නැහැ මේ හැම දෙයක්ම අරගෙන යන්න”.

ලීසා කියන්නේ මාර්ක්ගේ බිරිඳ. මාර්ක්ට වයස අවුරුදු 65-70ක් විතර ඇති. රාජකාරී වැඩ වලදී නිතරම එකට වැඩ කරන්න සිද්ධ වෙන නිසා මාර්ක් එක්ක මට තිබුණේ බොහොම සමීප හිතවත්කමක්. ඒත් වෙනත් ප්‍රාන්තයක තියෙන ආයතනයේ ශාකාවක වැඩ රාජකාරි භාරව කටයුතු කරන්න උසස් වීමක් ලැබුණු නිසා ඒ ප්‍රාන්තයට පදිංචිය මාරු කරන්න මාර්ක්ට සිද්ධ වුණේ කොරෝනා වසංගතය පැතිරෙන්න පටන් ගත්ත කාලයේම වාගේ.

“මේ තැටිවල තියෙන සිංදු හැම එකක්ම වගේ අද ඉන්ටර්නෙට් එකෙන් අහන්න පුළුවන් කියලා මං දන්නවා. ඒත් මේ තැටි අතපත ගානකොට, ඒවා අතට අරගෙන සිංදුවක් අහන කොට අතීතය දිග හැරෙනවා. ඒ සිංදු මුලින්ම අහපු දවස් මතක් වෙනවා. ඒ වගේම ඔය විසිතුරු බඩු ගත්තේ විනෝද ගමන් ගිය වෙලාවල සිහිවටන විදියට. ඒවා දකිද්දී ඒ ගමන්වල සුන්දර මතක ආපහු මතක් වෙනවා. ඒත් ලීසාට මේවා ගැන ඒ විදියේ බැඳීමක් නැති හින්දා එයා කැමැති නැහැ බඩු ගොඩක් අරගෙන අලුත් ගෙදර පදිංචියට යන්න”, මාර්ක් කතා කළේ බොහොම හැගුම්බරව.

ලීසා කියන්නේ මාර්ක්ගේ දෙවැනි බිරිඳ. මාර්ක්ගේ බිරිඳ මිය ගියාට පස්සේ එයා ලීසාව විවාහ කරගෙන තියෙන්නේ මීට අවුරුදු පහකට දහයකට කලින්.

මාර්ක්ගේ හිත නොරිදෙන්න ඔහුගේ ‘වස්තුව’ භාර ගැනීම ප්‍රතික්ෂේප කළත් මාර්ක් එක්ක එයාගේ අතීත මතක ගැන සෑහෙන වෙලාවක් අපි එදා සංවාද කළා. සංවාදයක්ම නෙමෙයි. ඇත්තටම කියනවා නම් මං කළේ මාර්ක්ගේ සංවේදී මතකාවර්ජනයට බොහොම උනන්දුවෙන් සවන් දුන්නු එක විතරයි. මානසික සම්බන්ධතා කියන කාරණාව මිනිස් ජීවිතවලට කොයි තරම් නම් සමීපද, ළෙංගතු ද කියන කාරණාව ඒ මුළු වෙලාව තුළම මට හිතුණා. ඒ වගේම දැනුණා. ලීසාට හරි මට හරි ඒ වස්තූන් එක්ක මාර්ක්ට වගේම මානසික සම්බන්ධතාවක් තිබුණා නම් ඔය කියන කතා බහ ඔය විදියටම සිද්ධ නොවෙන බවත් අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ.

කොරෝනා වසංගතයත් එක්ක හුදෙකලා වෙන්න සිද්ධ වුණු කාලයේ රාජකාරී වැඩ වලදී මාර්ක් එක්ක ඊ මේල් ගනුදෙනු කරන හැම වෙලාවකම මට ඔය කියන සංවාදය මතකයට ආවා. ඒකට හේතුව බාහිර මිනිස් සබඳතා කොයි තරම් නම් කෙනෙකුට දැනෙනවාද කියන එක බොහොම දෙනෙක් සමීපව අත් වින්දේ කොරෝනා කාලයේ දී හින්දයි. ශාරීරිකව වගේම මානසිකව සිද්ධ වුණු මේ හුදෙකලාව බොහොම දෙනෙක් මානසිකව විඳගත්තේ එකිනෙකාට වෙනස් විදියට. ඒත් මේ හුදෙකලාව එකිනෙකා විඳ දරා ගත්ත විදියත්,  ඒවා ප්‍රකාශයට පත් කරපු විලාසයත් අරගෙන බලපුවාම ඒ ඒ තැනැත්තන් හැදුණු වැඩුණු පරිසරය, පෞරුෂත්ව ස්වභාවයන් විතරක් නෙමෙයි හංග ගෙන හිටපු දේශපාලනික මතිමතාන්තර පවා එළිදරවු වුණා.

කොරෝනාවත් එක්ක ආර්ථිකමය පීඩනයට හසුවචේච අය අත්හැරියම හුදෙකලාව ගෙවන්න සිද්ධ වෙච්ච මේ කාලය බොහොම දෙනෙක් මානසිකව විඳ දරා ගත්තේ එක්තරා විදියක පීඩනයකින්. ඒ පීඩනය කොයි තරම් ද කියනවා නම් තමන්ගේ කොණ්ඩෙ කපා ගත්තම, රැවුල වැවුවම එහෙමත් නැතිනම් රැවුල කැපුවම, ටයි එකක් දාගත්තම, zoom එකෙන් හරි ස්කයිප් එකෙන් හරි මීටිමකට සහභාගි වුණාම, කෑම එක අතට ගත්තම කොටින්ම කිව්වොත් ඔහේ නිකම් ඉන්න වෙලාවට පවා සෙල්ෆියක් අරන් ‘මං ලස්සනයිද?’ කියලා ෆේස්බුක් එකෙන් නොකියා අහන තරමට ඒ පීඩනය පිපිරිලා ගියා. තවත් සමහරු තමන්ගේ ඔළුවට එන හැම මනස්ගාතයක්ම හැමෝටම පේන්න  ෆේස් බුක් රෙදි වැලේ වැනුවා. තවත් බොහොම දෙනෙක් එක්ක කතා කරද්දී හිතු මනාපෙට එළියට බැහැලා යන්න බැරිකමින් ඒ අය කොයි තරම් නම් මානසික පීඩනයකින් ඉන්නවාද කියන එක දැනුණා.

ඒත් මේ හුදෙකලාව ඉතාම සතුටින් විඳගත්ත,  ඒ වගේම ඒක ආශිර්වාදයක් කරගත් පිරිසකුත් හිටියා. ඒ තමයි පොතක් පතක් කියවන්න, නිර්මාණයක් රස විඳින්න පුළුවන් වෙච්ච පිරිස. පොත් පත් ලිපි රචනා ලියන කියවන, චිත්‍රයක් අඳින, සංගීත නිර්මාණ කරන ඒවා රස විඳින, කෙටියෙන්ම කියනවා නම් නිර්මාණකරණයටත් රස වින්දනයටත් යොමු වෙච්ච හැම දෙනාම වගේ මේ කාලය බොහොම ආශිර්වාදයකින් වින්ද බව පෞද්ගලික කතා බස් වලදී ඒ හැම දෙනාගෙන්ම මට දැනගන්න ලැබුණා. ගෙදර එක වහලක් යට දී කතා බහ කරලා විසද ගන්න පුලුවන් දේවල්, ඒ කියන්නේ තමන්ගේ බිරිදට, අම්මට, තාත්තට ආදරෙයි කියන්න, එයාලට උපන් දිනේට සුභ පතා ගන්න, තමන්ගෙ ගෙදර දොර, කන්තොරු කාමරය හැමෝටම පෙන්නන්න වගේ සිල්ලර වැඩ වලට ෆේස් බුක්  පාවිච්චි කරන පිරිස අත්හැරියම ෆේස් බුක් කියන සමාජ මාධ්‍ය ජාලයේ වටිනාකම හදුනාගෙන ඒක වගකීමෙන් භාවිත කරන පිරිස අතර මේ කාලයේ බොහොම හරවත් සංවාද සිදු කෙරුණා. කවියන් අතින් ඉතා අනර්ග පදවැල් බොහොමයක් ලියැවුණා. සාරවත් සටහන් (posts) දකින්න ලැබුණා. ඒ ලියවිලි වලට පිළිතුරු එක් කළ පිරිසෙන් බොහොම දෙනෙක් ගැඹුරු කතිකාවතකට ඒවා අරගෙන ගියා.

ෆේස් බුක් එකේ තමන්ට ඕන විදියට මනස්ගාත දාන එක, තමන්ගේ දින චරියාව පැය විසිහතරකට සැරයක්වත් පිංතුරයකින් මුළු ලෝකෙටම පෙන්නන එක, තමන්ගේ දේශපාලන පක්ෂයයට වාල්කම් කරන මොනවා හරි දෙයක් ෂෙයාර්  කරන ඒකේ වැරැද්ද මොකක්ද කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. ඇත්තටම කිසිම වැරැද්දක් නැහැ. වැරැද්දක් නෙමෙයි තියෙන්නේ මහා භයානක අනතුරක්. ඒකට හේතුව මේ පිරිස තමයි ඉදිරි මැතිවරණයේ දී අපේ ‘බුද්ධිමත් ඡන්දදායකයන්’ බවට පත්වෙන්නේ. මේ පිරිසම තමයි රටේ අනාගතය තීන්දු කරන නායකයන් බලයට ගේන්නේ. කොටින්ම කිව්වොත් මෙයාලා තමයි රටේ අනාගතය.

කිසියම් පක්ෂයකට ඡන්දයක් දෙන එක ඒ වෙනුවෙන් කතා කිරීම කිසිසේත්ම වහල්කමක් නෙමෙයි. ඒක ඡන්දදායකයෙකුගේ අයිතියක්. ඒත් තමන්ගේ පක්ෂයෙන් සිද්ධ වෙන හැම වැරද්දක්ම සාධාරණීකරනය කරන්න පෙළෙඹෙනවා නම්, තවත් පක්ෂයක වැරැද්දක් අරගෙන තමන්ගේ පක්ෂයේ වැරදි වහන්න හදනවා එනම් එතැන ඉන්නේ ඡන්දදායකයෙක් නෙමෙයි. වචනයේ පරිසමාප්තියෙන්ම වහලෙක්.

සමාජ සාධාරණත්වය, පංති පරතරය, වහල්කම ගැන අපිත් එක්ක මහා තර්ක වලින් කතා කරපු අපේ පරපුරේ බොහොම දෙනෙක් අදහස් වලින් අද මිය ගිහින් ඉවරයි. ඒ දේවල් ගැන හිරිකිතයක් නැතිව කතා කරන්න පුළුවන් යාළුවො දැන් ඉතිරි වෙලා ඉන්නේ අතළොස්සයි. මැතිවරණයක් ළංවෙද්දී කලාකරුවෝ, විද්වතුන් කියන පිරිස ආපහු සැරයක් මැරෙනවා‍. ඇත්තටම කියනවා නම් මේ අය බොහොම දෙනෙක් තමන් මළ බව නොදැන ජීවත් වෙන පිරිසක්. භූමිදානය විතරක් නිල වශයෙන් පස්සේ සිදු කෙරේවි. අපේ පරපුර මේ විදියට මිය ගියාට අලුත උපන් තරුණ පරම්පරාවවත් මේ වහල්කමින් මිදේවි කියලා හිතුණාට එයාලත් එයාලගේ පරපුරේ වැඩිහිටියන්ටත් වඩා අන්ත වහල්කමේ ගිලිලා. ඒකේ වරදක් කියන්නත් බැහැ. මොකද වැඩිහිටියෝ විදියට එයාලා දකින බොහොම දෙනෙක් වයසින් පැහුණාට ‘වැඩිහිටියෝම’ නොවෙන හින්දා. (මෝඩයොත් වයසට යනවානේ).

කොහොම වුණත් මේ කොරෝනා කාලය ලංකාවේ අයට නම් බොහොම දේවල් දැන ගන්න, පසක් කරගන්න ලැබුණු අපූරු කාලයක්. ලංකාවට ගුවන් තැපැල් එන්නේ බත්තල් වලින්, එහෙමත් නැතිනම් රුවල් නැව්වලින් හරි බහුදින ධිවර යාත්‍රා වලින් හරි කියන එක මේ කාලයේ දැන ගන්න ලැබුණු වැදගත්ම ප්‍රවෘත්තියක්. හරියට ඇවන්ගාඩ් ආයුධ එකට එක හැප්පිලා ඒවායේ ලියාපදිංචි අංක මැකුණා වගේ. රුපියල් 2500කින් ජීවත් වෙන්න පුළුවන් කියලා කාටවත්ම ‌නිකමටවත් හිතලා තිබුණේ නැති කාලයක ඒක හොයා ගත්තෙත් ඒ අචාරියාම තමයි.

ගල්කිස්සෙන් වැලි දැම්මම වැල්ලවත්තෙන් මතුවෙනවාය කියන එකම කොයි තරම් නම් වැදගත් සොයා ගැනීමක්ද? සල්ලි අච්චු ගහලා ආර්ථිකය ගොඩ නංවන්න පුළුවන්ය කියන කාරණාව තව එකක්. රටේ ආර්ථිකය මෙහෙය වන්නේ ජනාධිපතිවරයාවත්, මුදල් ඇමතිවරයාවත් නෙමෙයි මහ බැංකුවේ නිලධාරීන් පිරිසක්ය කියන කාර‍ණාව තවත් එකක්. කොරෝනා කාලයේ මුළු ලෝකයේම ඉන්ධන මිල භාගයකින්ම අඩු වුණත් එහෙම අඩු කළොත් රටේ ජනතාව රස්තියාදු ගහන්න පුළුවන්ය කියන සොයා ගැනීමත් අපෙන් ලෝකයට දායාද කරපු සංකල්පයක්. රටට වැඩිම විනිමයක් ගේන කුවේට්වල ලාංකිකයන්ට වඩා ලංකාව ගැන අයිතියක් ඇමරිකාවෙන් එන සුද්දෙකුට තියෙන බව ඇමරිකන් එම්බසියේ සුද්ද සද්ද දාලම කියලා දීලා ගියා. රටේ නීතිය, නිරෝධායන පිළිවෙත් කියන මේ හැම දෙයක්ම එකිනෙකාගේ බලපුළුවන්කම් අනුව වෙනස් වෙනවාය කියන කාරණාව තොණ්ඩමන්ගේ අවංමග්‍ය නාඩගම් මඩුවෙන් පටන් අරන් කොටුවේ උද්ඝෝෂණයෙන් තහවුරු වුණා. අන්තිමේ  දී හමුදාව, පොලිසිය විතරක් නෙමයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකයාට පවා පිළිගන්න සිද්ධ වුණා ලංකාවේ තියෙන්නේ ‘එක රටයි – නීති ගොඩයි’ කියන සංකල්පය බව.

කොරෝනා අතරේ චන්දයක් තියන්නත් මුල ඉදන්ම අපේ නායකයන් කොයි තරම් නම් උනන්දු වුණා ද කියනවා නම් ඒක ගිනස් වාර්තාවක් දක්වාම දුර දිග ගියා. තමන්ගේ ධුර කාලය මුළුමනින්ම සම්පූර්ණ කරපු විශ්‍රාමික ‘විධායක ජනාධිපතිවරු’ දෙන්නෙක්ම ආපහු ‘රට හදන්න’ එකම පක්ෂයෙන් ‘සාමාන්‍ය මන්ත්‍රී ධුරයකට’ තරග කරනවා කියන එකම ඇති ජාතියක් විදියට අපේ රටේ නම ගිනස් පොතේ රන් අකුරින් ලියැවෙන්න. ඇමරිකාවේ හිටපු ජනාධිපතිවරු සිව් දෙනෙක්ම තවමත් ජීවතුන් අතර. තමන්ගේ කාර්යය ඉහළින්ම ඉටුකළ ඒ අය වචනයේ පරිසමාප්තියෙන්ම විශ්‍රාම සුවයෙන් කාලය ගත කරනවා. ඇමරිකාව අමතක කරලා ආසියාව එමුකෝ.  ලංකාව වගේ 60 ගුණයක් විශාල ඉන්දියාව වසර ගණනාවක්ම  පාලනය කරලා මෑතකදී විශ්‍රාම ගිය අබ්දුල් කලාම් විශ්‍රාම යද්දී ඔහුගේ වත්කම තක්සේරු කෙරුණා. කලිසම් හයක්, කමිස හතරක්, ඉන්දියන් සූට් දෙකක් බටහිර ඇදුම් කට්ටලයක්, පොත් 2500ක්, පද්ම ශ්‍රී සම්මානයක්, පද්මභූෂණ සම්මානයක්, භාරත්රත්න සම්මානයක් සහ උසස් උපාධි 16ක් විතරයි සම්පූර්ණ වත්කම. (සංසන්දය ඔබට භාරයි).

අද බිහිවෙලා තියෙන්නේ ප්‍රවෘත්ති බලලා දේශපාලනය තීරණය කරන පරපුරක් මිසක් දේශපාලනය හදාරලා ප්‍රවෘත්ති බලන සමාජයක් නෙමෙයි. මේ වගේ පරපුරක් රවට්ටවන්න හරිම ලේසියි. ආපහු නයා ධාතු අරගෙනම එන්න ඕනේ නැහැ. නයා එනවාය කියන ආරංචියත් ඇති. ඔය විදියේ පහසුවෙන් රැවටෙන ඡන්ද දායකන් පිරිසක් ඉන්න රටකට සර්ව ඡන ඡන්ද බලය කියන්නේ නිකම් නිකම් පොට්ට කාසියක් විතරයි. බොරුව අස්වද්දපු බිමකට සත්‍යය කියන්නේ හැමදාම වල් පැළ.

ඉතින් එන්න. මැතිවරණයක් අත ළග තියෙන මොහොතක අවුරුදු 71ක් තිස්සෙම වුණා වගේ අපි ආයෙත් අර සුන්දර සමනල් වියට ආපහු යමු.

රන්වන් පාටයි සමනලයා

රෝස මලේ පැනි බීලා ගියා

ආයෙත් ඒවිද ඒ සමනලයා

මල් වල පැනි බොන්ටා!

 

3 thoughts on “ආයෙත් ඒවි ද ඒ සමනලයා

Add yours

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.

ඉහළ ↑

%d bloggers like this: