මුළු මහත් ලෝකයක නායකයෝ එකම ප්‍රශ්නයකට පිළිතුරක් සොයමින් සිටිති.
බොහෝ ලෝක නායකයන් මේ ප්‍රශ්නයේ දී බොහෝ දුරට සමාන විසදුම් කරා පැමිණෙමින් සිටියත් ඔවුන් ඒ විසදුම් වලට ප්‍රවේශ වූ ආකාරයත්, ගැටලුව කෙරෙහි ප්‍රතිචාර දැක්වූ විලාසයත් එකිනෙකට වෙනස්ය.
රටක නායකයෙකුගේ පෞරුෂත්වය සහ විචක්ෂණශීලී භාවය මැනිය හැකි හොදම අවස්ථාව ජාතියක් ලෙස මුළු මහත් රටක් අර්බුදයකට මුහුණ පා සිටින මොහොතකි. එබැවින් ජාතික අර්බුදයක දී රටක ජනතාවට සිය නායකයාගේ පෞරුෂත්වය එවැනි මොහොතක දැක බලා වටහා ගත හැකි වන්නේය.
එහෙත් සෙසු රටවල නායකත්වයන් හා සසදා බලමින් සිය රටේ නායකත්වය ගැන තක්සේරුවක් ලබන්නට රටක ජනතාවකට ඉඩක් ලැබෙන්නේ ඉතාම කලාතුරකිනි. ආර්ථික ගැටලු හෝ ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම වැනි දිගු කාලීන සැලැස්මකට අනුව පිළිතුරු සෙවිය යුතු ගැටලු මෙන් නොව ක්ෂණිකව විසදුම් සෙවිය යුතු එකම ගෝලීය ගැටලුවකට මුළු මහත් ලෝකයක් එකම අවස්‍ථාවක මුහුණ දෙන අවස්ථා අතිශයින්ම විරලය. මේ ගෙවී යන තත්පරයේ ඔබත් මාත් එවන් ඓතිහාසික අවස්ථාවක ජීවමාන සාක්ෂිකරුවෝ වී සිටිමු.
සාප්පුවක් වසා දමන්නාක් මෙන් මුළු මහත් රටක් වසා දැමූ අවස්ථාවන් ඉතිහාසයේ ඇතිනම් ඒ අතිශය විරල විය යුතුය. යුද කාල සීමාවන්හි දී පවා තෝරා ගත් ප්‍රවේශ මාර්ගයන් මිස රටක් මුළුමනින්ම වසා දැමුණේ නැත.
කොරෝනාවට වඩා මාරාන්තික වූ රෝග බොහොමයක් මෑත ඉතිහාසයේ ලොව පුරා දැකිය හැකි විය. එහෙත් කොරෝනාවේ විශේෂත්වය වන්නේ එය ඉලක්ක කරගත් වයස් කාණ්ඩයකට මාරාන්තික වීම නොවේ. එය පැතිරී යන අසාමාන්‍ය වේගයයි. අතිශය මාරාන්තික රෝගයක් නොවන කෙරෝනාව වෙනුවෙන් මෙතරම් වද විය යුත්තේ ඇයි ද යන්න ඇතැමුන් නගන චෝදනාවයි. ඒ චෝදනාවට ලොව බොහෝ රටවල වෛද්‍ය වෘත්තිකයන්ට පැහැදිලි සෘජු පිළිතුරක් තිබේ. එනම් භයානක කම ඇත්තේ රෝගය මාරාන්තික ද නැතිද යන්න මත නොවේ. දැනටමත් ලොව බොහෝ රටවල දැඩි සත්කාර ඒකක මෙවැනි රෝගීන්ගෙන් පිරී ඉතිරී ගොස් තිබේ. තව දුරටත් නව රෝගීන්ට ඒවායේ ඉඩක් නැත. සාමාන්‍යයෙන් පුද්ගලයෙකු හදිසියේ රෝහල් ගත වන්නේ හෘදයාබාධ, අධි රුධිර පීඩනය ආදී වූ සැබෑ ලෙසින්ම ඉක්මන් ජීවිත තර්ජනයක් ඇති හදිසි ලෙඩ රෝග වෙනුවෙනි. එබැවින් රටක පාලකයා නිසි පියවර නොගෙන රෝගය පැතිරී යාමට ඉඩ සලස්වයි නම් බොහෝ රෝගීන් මිය යන්නේ කොරෝනාවෙන් නොවේ. ප්‍රතිකාර ඇති, එමෙන්ම ප්‍රතිකාර කළ හැකි රෝගාබාධ නිසාය. එයට හේතුව හෘදයාබාධයක් වැළදී රෝහල් ගත කරන කෙනෙකුට දැඩි සත්කාර ඒකකයක ඉඩක් ලබා දෙන්නට මේ වනවිට අසීරු වී ඇත්තේ බොහෝ රෝහල් කොරෝනා රෝගීන්ගෙන් පිරී ඉතිරී ගොස් ඇති බැවිනි. එබැවින් මේ වසංගතය නිසා බොහෝ මිනිසුන් නිකරුණේ මිය යන්නේ ප්‍රතිකාර ඇති, එමෙන්ම ප්‍රතිකාර කළ හැකි වෙනත් රෝගාබාධ වලට ගොදුරු වීමෙනි. රටක නායකත්වය නිසි තීන්දු තීරණ ගත යුතු වන්නේ එහෙයිනි.
දේශපාලන ලෝකයේ නානා ප්‍රකාර උසුළු විසුළුවලට ලක් වූ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කොරෝනා ගැටලුවේ දී තමන් මෙතෙක් නොපෙන්වූ පරිණත නායකත්ව ලක්ෂණ පෙන්නුම් කළේය. ඔහු ගැටලුව තීරණාත්මක ලෙස භාරගත්තා පමණක් නොව එය සිය පෞද්ගලික න්‍යාය පත්‍රයට ද ඇතුළත් කර ගත්තේය. රටේ ප්‍රධාන වෛද්‍ය නිලධාරියාගේ උපදෙස් එලෙසින්ම අනුගමනය කළ ඔහු සිය රට විදේශිකයන් උදෙසා වසා දැමීමෙන් නතර නොවී දහ දෙනෙකුට වැඩි පිරිසක් එකට හමු වීම පවා තහනම් කළේය.
සිය බිරිද උණ රෝග ලක්ෂණ ප්‍රකට කළ වහාම (කොරෝනාවට ගොදුරු වන්නටත් පෙර) ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කළ කැනේඩියානු අගැමැතිවරයා නිවසින් එළියට නොගියේය. කෙරෝනාව වැළදී නැතත් අගමැතිවරයා රට පාලනය කරන්නේ සිය නිවසේ සිටය. ප්‍රවෘත්ති සාකච්ඡා පවත්වන්නේ හුදෙකලාවමය. එහෙත් ගත යුතු නිවැරදි තීන්දු නිසි ලෙස ක්‍රියාවට නැංවෙන්නේය. ලොව දෙවැනි විශාලතම රට වන කැනඩාව ඉතිහාසයේ මුල් වරට මුළුමනින්ම වසා දැමුණේය. එය මේ වනවිට විවර වී ඇත්තේ රටින් පිටව ගිය කැනේඩියානුවන්ට සහ ඇමරිකානුවන්ට පමණි. එයට හේතුව ඇමරිකාවත්, කැනඩාවත් අතර ඇති අවියෝජනීය සම්බන්ධතාව නිසාය. එහෙත් කැනඩාවේ දේශපාලනය ක්‍රමය තුළ සෑම මහජන නියෝජිතයෙකුටම මෙන්ම සෑම රාජ්‍ය නිලධාරියෙකුටම පෞරුෂත්වයකින් වැඩ කළ හැකි බැවින් අගමැතිවරයාගේ ජාතිය ඇමතීමෙන් පැය දෙකක් තුළ ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැදවූ බ්‍රිටිෂ් කොළම්බියා ප්‍රාන්තයේ සෞඛ්‍ය ඇමැතිවරයා ඇමරිකානුවන්ට කැනඩාවට එන්නට එපා යැයි ප්‍රසිද්ධියේම කීවේය. (බ්‍රිටිෂ් කොළොම්බියා ප්‍රාන්තයේ මායිම ඇමරිකාව බැවින් දෙරටේ පුරවැසියන් දහස් ගණනින් දිනපතා දේශ සීමා තරණය කිරීම සාමාන්‍ය දෙයකි)
ලොව බොහෝ රටවල නායකයන් මේ මොහොතේ තීන්දු තීරණ ගන්නේ රටේ සෞඛ්‍ය සේවා නිලධාරීන්ගේ උපදෙස් ප්‍රකාරවය. මෑත ඉතිහාසයේ මුල්ම වරට ධවල මන්දිරයේ ප්‍රවෘත්ති සාකච්ඡාවල මුල් පුටුව ලැබී ඇත්තේ ජනාධිපතිවරයාට නොව ඇමරිකාවේ වසංගත රෝග නිවාරණ ජාතික ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය ඇන්තනිටය. කැනඩාවේ නම් ප්‍රධාන සෞඛ්‍ය නිලධාරී තේරේසා ටෑම්ටය. දේශපාලනය හෝ ඊලග ඡන්දයේ දී තමන්ගේ තනතුරට කුමක් වේදැයි සිතීමේ අවශ්‍යතාවක් නොමැති බැවින් සිය මතය ජනතාව හමුවේ තබන්නට මේ වෛද්‍යවරුන්ට ද කිසිදු බාධාවක් නැත. එබැවින් සිය වෘත්තිය ගරුත්වය දේශපාලනයට යටපත් කිරීමේ කිසිදු උවමනාවක් ඔවුන්ට නැත. ශිෂ්ටාචාරවත් දේශපාලන සම්ප්‍රදායක් පවත්වා ගෙන යන සෑම රටකම තත්ත්වය මෙයාකාරය.
අර්බුදයක දී රටක නායකත්වය මනින ක්‍රමවේද නායකත්ව අංග ලක්ෂණ යටතේ බොහෝ විෂය ධාරාවන්ගේ උගන්වන පොදු මාතෘකාවකි. අර්බුදයක් හමුවේ සැබෑ නායකයකුගේ සිතෙහි මුලින්ම මතු විය යුත්තේ අර්බුදය සම්බන්ධයෙන් තමන්ගේ භූමිකාව කුමක් විය යුතුද හා එහිදී තම වගකීම කවරාකාරද යන්න විග්‍රහ කර ගැනීම කෙරෙහිය. රටක නායකත්වයක් දරන කවරකු වුව ද එහිදි සිතිය යුත්තේ ජාතියක පැවැත්ම මිස ඉදිරි මැතිවරණය හෝ කෙසේ හෝ තම ඡන්ද ප්‍රමාණය වැඩි කර ගැනීම යන සිල්ලර කරුණු කාරණා නොවේ. එහිදී ප්‍රජතන්ත්‍රවාදී දියුණු රටක නායකත්වය නිරන්තරයෙන් සිහිතබා ගත යුත්තේ තමන් නායකයා වන්නේ තමන්ට ඡන්දය දුන් හෝ නොදුන් සමස්ත රටවැසියන්ටම මිස මැතිවරණයේ දී තමන් වෙනුවෙන් දර දිය ඇදි දේශපාලන රෙදි අපුල්ලන්නන්ට පමණක්ම නොවන බවය. මේ හේතුවෙන් සැබෑ නායකයෙකුට තමන් සාර්ථක ප්‍රතිඵල ලැබූ දේ සදහා පමණක් නොව තමන් අසාර්ථක ප්‍රතිඵල ලැබූ අවස්ථාවන්හි වගකීම ද එකසේ භාර ගන්නට තරම් පෞරුෂත්වයක් තිබිය යුත්තේය.
කොරෝනා අර්බුදය හමුවේ රටක නායකත්වය ප්‍රශ්න කෙරෙන ආකාරය ගැන කැනඩාවේ මැනිටොබා සරසවියේ දේශපාලන අධ්‍යයන අංශයේ මහාචාර්ය පෝල් තෝමස් විසින් සපයන ලද කදිම සටහනක් මට කියවන්නට ලැබුණි. ඔහු එහිදී අවධාරණය කරන එක් කාරණාවක් වන්නේ අර්බුදයක් හමුවේ රටක නායකයෙකු වගකිව යුතු වන්නේ තමන් කළ දේ සම්බන්ධයෙන් පමණක් නොවේ. තමන් කිරීමෙන් වැළකී සිටි කාර්යයන් සම්බන්ධයෙන් ද ඔහු වගකීමට බැදී සිටින්නේය යන්නයි. (Leaders must answer for their actions and inactions)
රට ගැන සිතා නිවැරදි තීන්දු තීරණ ගන්නා නායකයෙකු එමෙන්ම රටේ තනතුරු සදහා නිසි උගතුන් පත් කරන නායකයෙකු සිය පාක්ෂිකයන්ගේ කෙටි කාලීන දෝෂ දර්ශනයකට ලක් විය හැකි නමුත් දීර්ඝ කාලීනව මුළු මහත් ජනතාවකගේ ගෞරවාදරයට පාත්‍ර වීම වැළැක්විය නොහැකිය. “We should be judging our politicians on their eulogy, not their resume” යන්න ඉංග්‍රීසි භාෂාවේ නිරන්තර භාවිත වන කියමනකි. එහි තේරුම සරල ලෙසින් විස්තර කරන්නේ නම් රටක නායකත්වය සැබෑ ලෙසින්ම නිර්වචනය කළ හැකි වන්නේ එම නායකයාගේම ස්වයං පම්පෝරියෙන් හෝ ඔහුට ඡන්දය දුන් පාක්ෂිකයන්ගේ මන්ද මානසික වැල් වටාරම් වලින් නොවේ. ඔහුගේ මරණයෙන් පසු රටේ පොදු ජනතාව තුළ ඔහු පිළිබදව ඉතිරි වී ඇති මතක සමුදාය කෙතරම් ප්‍රසන්න වන්නේ ද යන්න මතයි.
කොරෝනා අර්බුදය හමුවේ නිරාවරණය වූ තවත් කාරණා දෙකක් තිබේ. එකක් නම් මෙවැනි පසුබිමක දී හැමදාමත් නිරාවරණය වන මාධ්‍ය සදාචාරයයි. මෙවන් අර්බුදයක් හමුවේ පවා කැනඩාවේ ප්‍රධානතම මාධ්‍යය වන සීබීසී මාධ්‍ය ජාලය සිය සෑම ප්‍රවෘත්තියක්ම විකාශය කෙරෙන්නේ අතිශය වගකීමකින් යුක්තවය. කොරෝනාවට ලක් වීමෙන් මේ වනවිට කැනඩාවේ මිය ගිය කිසිවෙකුගේ නම් ගම් හෝ ඔවුන්ගේ පෞද්ගලික තොරතුර කිසිදු මාධ්‍යයක මේ දක්වාම ප්‍රචාරය වූයේ නැත. මිය ගිය කිසිවෙකුගේ දේහයක් හෝ ඡායාරූපයක් මාධ්‍ය හරහා විකාශය වූයේ ද නැත. පැය 24 පුරාම මාධ්‍ය විවෘතව ඇත්තේ සෞඛ්‍ය බලධාරීන්ට මිස දේශපාලන බල අධිකාරියට නොවේ. ඒ දියුණු මාධ්‍ය සදාචාරයක සාමාන්‍ය සම්ප්‍රදායයි. එය දූපතක මාධ්‍ය සදාචාරය හා සැසදීමෙන් පලක් නොවන්නේ සැසදීමටවත් තරම් සදාචාරයක් එහි ඉතිරි වී නැති බැවිනි.
කොරෝනා අර්බුදය හමුවේ නිරාවරණය වූ අනෙක් කාරණාව නම් ආගමික බලාධිකාරියයි. සියල්ල කළ හැකි යැයි විශ්වාස කරනු ලැබූ සියලු සර්ව බලධාරී දෙවි දේවතාවුන් කොරෝනා විසින් විශ්වයේ ඈත කොණටම පන්නා දමන ලද්දේය. පාප් වහන්සේට සිය යාඥාව බිත්ති හතරට කොටු වී කරන්නට කොරෝනාව විසින් බල කරන ලද්දේය. කොරෝනාව සමග අන්තර්ජාලය බිද නොවැටුණු හෙයින් බැතිමතුන් හා දෙවියන් වහන්සේ සම්බන්ධ කරන්නට පාප් වහන්සේට පිහිට වූයේ අන්තර්ජාලයයි. ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන්ගෙන් පිරී යන මක්කම අරාබි කාන්තාරයක් තරමටම හිස්ව ගියේ සියල්ල කළ හැකි බලවත් දෙවියන් කෙරෙහි විශ්වාසය තබනවාට වඩා මරණ බය හමුවේ කොරෝනාව කෙරෙහි විශ්වාසය තබන්නට බැතිමතුන්ට සිදු වූ බැවිනි. තමන් ගලවා ගන්නට අහසේවත්, පොළොවේවත්, මුහුදේවත් සර්ව බලධාරියෙකු නොමැති බව අවුරුදු 2600කට පෙර බුදුන් වදාළේ එබැවිනි. එහෙත් වසංගත භීතිකාවට වඩා සම්ප්‍රදාය පවත්වා ගෙන යාම වැදගත් බව සිතන පූජකවරුන් ද සිටින නිසා සිරිපා වන්දනාව තවමත් නතර වී නැත්තේය.
කොරෝනාව වෙස් වලාගත් ආශිර්වාදයක් වන්නේ මේ සෑම හේතුවක් නිසාය. හැල්මේ දිව ගිය ලෝකය කොරෝනා හමුවේ එක තැන නතර වී ගිමන් හරින්නට පටන් ගෙන තිබේ. සර්ව බලධාරී දේව මණ්ඩලය පරීක්ෂාවට ලක් කෙරෙමින් තිබේ. මාධ්‍ය සදාචාරය නිරුවත් වෙමින් පවතී. රටක නායකත්වයේ සැබෑ පෞරුෂත්වය නිරාවරණය වෙමින් පවතී. අනෙකාට වඩා මොහොතක් හෝ ජීවත් වන්නට වෙර දරන මිනිසුන් හමුවේ මනුෂ්‍යත්වය ප්‍රශ්න කෙරෙමින් පවතී. වයිරසයෙන් මිනිස් ජීවිත බිලිගන්නවාට වඩා නාමයෝජනා නැකතින් බලයට පත් වීම යෙහෙකැයි සිතෙන නායකයන්ගේ රෙදි අපුල්ලන අනුගාමිකයන්ගේ බුද්ධ මට්ටම විභාග කෙරෙමින් පවතී. රටක වෛද්‍ය වෘත්තිකයන් පමණක් නොව පොදුවේ ගත් විට සෙසු වෘත්තිකයන් පවා සිය වෘත්තියට කෙතරම් ඔබින්නේ ද යන්න ප්‍රශ්න කෙරෙමින් පවතී.
එදා වේල සොයා ගනිමින් ජීවත් වන ජනතාවක් ඇති රටක් නිරෝධායනය සදහා වසා දැමීම තේරුමක් නැති කාරියක් යැයි එක්තරා දූපතක සෞඛ්‍ය අමැතිවරියක් කීවාය. ගැටලුව නම් එදා වේල සොයා කන මට්ටමකට රටක් ඇද දැම්මේ කවුරුන්ද යන්නයි. ඒ දූපතේ ජනතාවට ඒ ප්‍රශ්නයට විසදුම් සෙවිය හැකි නම් එය කොරෝනාවට විසදුම් සොයා යාමට වඩා වැදගත් වනු ඇත්තේය.
ඉතින් වෛරසයකින් මීට වඩා තවත් කුමක් බලාපොරොත්තු වන්න ද?
(මෙම ලිපියේ මාතෘකාව අශෝක හදගම නිර්මාණකරුවාගේ නිර්මාණාත්මක පදයකින් උපුටා ගත්තක් බව සලකන්න)