නැහැ… අපිට එහෙම වෙන්නේ නැහැ

pexels-photo-1161268

“ඔව්, පීසා දෙකම මීඩියම්. මම විනාඩි 30 කින් විතර එන්නම් ගන්න.” ස්ටීවන්ස් දුරකථන සංවාදය නිමා කළේ එහෙමයි.

“අපි හෙට හම්බු වෙමු. ඕඩර් කරපු පීසා පික් කරගන්නත් තියෙනවා”, කාර්යාල බෑගය සකස් කර ගන්න අතරේම ඔහු මට කිව්වා.

“ඉතින් ඔයා පීසා කන්න කැමැතිම නැහැනේ…?”  මං ඇහුවේ පුදුමයෙන්. ඒකට හේතුව කෑමකට එළියට ගිය කිසිම වෙලාවක ස්ටීවන්ස් පීසා තෝරා ගන්නේ නැති බව මං දැන හිටිය හින්දම නෙමෙයි, ඒ ගැන මට කලින් ස්ටීව්ම කියලා තියෙන හින්දයි.

“ඔව්… ඒත් අද රිචඩ් එනවා මාත් එක්ක හොකී ගේම් එක බලන්න. පීසා තමයි රිචඩ් කැමැතිම”, ස්ටීව්ගේ මුහුණ පුරාම හිනාවක් ඇදිලා ගිහින් තිබුණා.

මං වැඩ කරන කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ කළමනාකරුවෙකු විදියට වැඩ කරන ස්ටීව් මට වඩා අවුරුදු විස්සකටත් වඩා වයසයි. ඒත් මාත්, ස්ටීවනුත් වාඩි වෙලා ඉන්නේ එකම ළග හින්දා ඒ වයස් පරතරය ඉක්මවා ගිය මිත්‍රත්වයක් අපි අතර තියෙනවා. පරම්පරා ගණනාවක්ම කැනඩාවේ ඉපදිලා හැදුණු වැඩුණු පවුලක සාමාජිකයෙක් වීමත්, බොහෝ පොත පත කියවන මිනිසෙකු වීමත් නිසා රාජකාරී කටයුතු වලට වගේම අනෙක් බොහොම විෂයන් ගැන ස්ටීව්ට ඉතාම හොඳ අවබෝධයක් වගේම මතකයකුත් තියෙනවා. මේ නිසා පොත්පත්, දේශපාලනය, ඉතිහාසය, කලාව මේ හැම දෙයක් ගැනම අපි දෙන්නා කරන සාකච්ඡා අතරතුරේ දී බොහෝ ඇසූ පිරූ තැන් ඇති ස්ටීව්ගෙන් මං උගත් දේවලුත් අපමණයි.

කොයි තරම් සමීපව ආශ්‍රය කළත් මං කිසිම දවසක ස්ටීව්ගේ පුද්ගලික තොරතුරු විමසලා නැහැ. ඒත් තමන් බිරිඳ ගෙන් වෙන් වෙලා සෑහෙන කාලයක් වෙන බවත්, කුලියට ගත්ත එපාර්ට්මන්ට් එකක තමන් තනිවම උයා පිහාගෙන ජීවත් වෙන බවත් ස්ටීව් මට කියලා තිබුණේ අපි ක්ෂේත්‍ර චාරිකාවකට ඈතකට ගිය ගමනක් අතරතුරදීයි. රිචඩ් කියන්නේ ස්ටීව්ගේ පුතා. රැකියාවක් කරන ලොකු පුතෙක්. ඒත් රූපවාහිනියේ ප්‍රධාන පෙළේ හොකී ක්‍රීඩාවක් සජීවීව විකාශය වන ඔය වගේ දවස්වල රිචඩ් එනවා තාත්තගේ එපාර්ට්මන්ට් එකට තාත්තත් එක්ක තරගය බලන්න. පීසා කන්න කොයි තරම් අකමැති වුණත් ස්ටීව් පීසා ඇණවුම් කරන්නේ ඔය වගේ දවස් වලට පුතාගේ සතුට වෙනුවෙන්.

මේ සිදුවීම මට මතක් වුණේ පහුගිය දවසක අන්තර්ජාලයේ දැක්ක ඡායාරූප කිහිපයක් හින්දා. ඇමරිකන් සොල්දාදුවන් මැද පෙරදිග කාලපයේ යුද කටයුතු වලට යන්න කලින් තමන්ගේ දරුවන්ගෙන් සමුගන්න හැටි දැක්වෙන පිංතූර සෑහෙන ප්‍රමාණයක් අන්තර්ජාලයේ තිබුණා. දරුවන්ගෙන්, තමන්ගේ පවුලෙන් විතරක් නෙමෙයි ගෙදර සුරතලයට ඇති කරන බල්ලන්ගෙන් පවා සමුගන්න පිංතූර තමයි එතැන දකින්න ලැබුණේ. අවුරුදු 73 ක් වයස ඇමරිකාවේ ජනාධිපති ට්‍රම්ප් වගේම අවුරුදු 80ක් වයස ඉරාන අධ්‍යාත්මික නායක කොමෙයිනි තමන්ගේ ජීවිතයේ සැදෑ සමය බොහොම සුව පහසුවෙන් සුඛෝපභෝගීව ගෙවා දමමින් තමන්ගේ ස්වයං ප්‍රීතිය උදෙසා යුද ප්‍රකාශ කරද්දී ඒ යුද්ධයට බිලිවෙන්නට යන මේ තරුණ පිරිසට තමන්ගේ ජීවිතය ගැන තියෙන්නේ කොයි තරම් අල්ප වූ බලාපොරොත්තුවක් ද කියන කාරණාව ඒ හැම ඡායාරූපයකින්ම දකින්නට ලැබුණා.

මේ ඡායාරූපත් එක්ක මට තව දෙයක් සිහිපත් වුණා. ඒ යුවාල් හරාරි (Yuval Harari)ගේ හෝමෝ ඩියුස් (Homo Deus) කියන පොතේ සඳහන් කරන එක් රෝගයක් ගැන. රෝගයක් කිව්වට මේක සාමාජීය රෝග ලක්ෂණයක්. ඉංග්‍රීසියෙන් කියන්නේ “‘Our Boys Didn’t Die in Vain’ Syndrome” කියලා. සිංහලෙන් කියනවා නම් “අපේ කොල්ලො මැරුණේ නිකරුණේ නෙමෙයි” කියන රෝගාබාධය. ඔය කියන රෝගාබාධය මුලින්ම කරලියට ආවේ 1915 දී ඉතාලිය පළමු ලෝක යුද්ධයට එකතු වුණාට පස්සේ. යුද්ධයට එකතු වෙන්න කලින් අතීත රෝමයේ තිබුණු සෞභාග්‍යය ආපහු ගේනවා කියලා ඉතාලියේ දේශපාලකයෝ (අපේ රටේ වගේම) පාර්ලිමේන්තුව උණුසුම් කරන කතා පැවැත්තුවා. දේශපාලන රැලි වල පුදුමාකාර විදියට අධිරාජ්‍ය විරෝධී, දේශානුරාගී කතා පැවැත්තුවා. (අපේ රටේ වගේමයි නේද?) මේ හින්දා දස දහස් ගනනක තරුණයෝ තමන්ගේ කැමැත්තෙන්ම යුද්ධයට බැඳුණා. ඒත් පළමු සටනින්ම ඉතාලි තරුණයෝ 15,000ක් මිය ගියා. දෙවැනි සටනින් තවත් 40,000ක් මිය ගියා. තුන් වැනි සටනින් ඉතාලි තරුණයෝ තවත් 60,000ක් මිය ගියා. දේශපාලකයන් පොරොන්දු දුන්නු සමෘද්ධිමත් දේශය වෙනුවට (ආසියාවේ ආශ්චර්යය වගේ) යුද්ධය අවසානයේ දී අන්තිමට ඉතිරි වුණේ ලේ ගංගාවක් ගලා ගිය රටක්. ඉතාලි තරුණයන් 700,000 ක් මිය ගිහින් තවත් දශ ලක්ෂයකට අධික තරුණයක් පිරිසක් තුවාල වුණා.

කතාවේ වැදගත් කොටස තියෙන්නේ මෙතැනයි. පළමු යුද්ධයෙන් තරුණයන් 15,000 ක් මිය යද්දී ඉතාලි දේශපාලකයන්ට තෝරා ගන්න උපාය මාර්ග දෙකක් තිබුණා. එයින් පළමු වැන්න තමයි තමන්ගේ පැවැත්ම උදෙස කරන යුද්ධයෙන් අයින් වෙලා ජනතාවගෙන් සමාව ඉල්ලලා දේශපාලනිකව ගැටලුව සමනය කරන්නට උත්සාහ කිරීම. දෙවැනි කාරණය තමන්ගේ සුඛ විහරණය වෙනුවෙන් තව දුරටත් සටන් වදින්න. (පාර්ලිමේන්තුව නියෝජනය කරපු එකම දේශපාලකයෙකුගේවත් දරුවෙක් ඉතාලි යුද්ධයට ගියේ නැහැ). ඉතින් නිසැකයෙන්ම ඉතාලි දේශපාලකයන් තෝරා ගත්තේ දෙවැනි උපාය මාර්ගය. ඒත් ඒක කරන්න නම් මහජනතාවගේ විශ්වාසය දිනා ගන්නට ඕනේ. මුල්ම යුද්ධයෙන් 15,000 ක්ම මිය ගිය නිසා ජනතාව වශී කරන්නට පුළුවන් සටන් පාඨයක් හොයා ගන්නට ඕනේ. ඉතින් ඒ වෙනුවෙන් ඔවුන් සටන් පාඨයක් නිර්මාණය කළා. ඒ තමයි ‘Our Boys Didn’t Die in Vain’ කියන සටන් පාඨය. අපේ දේශපාලකයන් එකතු වෙලා “රණ විරුවෝ” කියන නාමය බලෙන් පැටෙවුවා වගේ.  යුද්ධයේ සිදුවන හැම දෙයක්ම පරිස්සමින් තෝරා ගත්ත වචන වලට පරිවර්තනය කෙරුණා. අපේ රටේ නම් “ජීවිතය පූජා කළා” වගේ යෙදුම්.

මේ ගැටයට පොදු ජනතාව කොයි තරම් නම් පහසුවෙන් හසු වුණා ද දෙමව්පියන්ගේම ආශිර්වාදයෙන් තරුණයන් යුද්ධයට යැවුවා. අන්තිමේ දී ඉතාලි තරුණයන් 700,000ක්ම යුද්ධයෙන් මිය ගියා. මුළු මහත් සමාජයක්ම දේශපාලකයන් තමන්ට පොරවපු වීරත්වයේ ව්‍යාජ සළුපිළි වලට වසග වෙලා හිටියා. තමන්ගේ දරුවන් සිය කැමැත්තෙන්ම දන් දුන්නු දෙමව්පියන්ට හිත හදා ගන්න අමාරු වුණේ නැත්තේ අර කිව්ව දේශපාලන සටන් පාඨයට වසග වෙලා හිටිය නිසයි.

මේක ඉතාලියට විතරක්ම සීමා වෙච්ච දෙයක් නෙමෙයි. ලෝකයේ හැම රටකම වගේ අන්තිමේ දී යුද්ධයේ වගේම, සාමයේත් ජයග්‍රහණය හිමිකරගත්තේ දේශපාලකයන්ම විතරයි. ඔය කියන සටන් පාඨ ප්‍රමුඛ කරගත් කිසිම රටක අතීත සමෘද්ධිය කෙසේ වෙතත් අඩුම තරමින් තුන් වේල කන්නටවත් හැකි සමාජයක් බිහි වුණේ නැහැ. ඒකට හේතුව යුද්ධය වගේම සාමයත් දේශපාලකයන් විසින් නිර්මාණය කරනු ලබන සූක්ෂම ක්‍රියාවලියක් කියන කාරණාව වටහා ගන්නට තරම් අවබෝධයක් සමාජයේ සාතිශය බහුතරයකට නැති හින්දයි.

මේ කාරණාවෙන් කියන්නට උත්සාහ කරන්නේ රටක හමුදාවක් සටන් වදින්නේ නිකරුණේය කියන බොළද තර්කයක් ගෙන හැර පාන්න නෙමෙයි. ඒ මිය ගිය හැම සෙබළෙකුටම, ඔවුන්ගෙන් ගලා ගිය හැම රුධිර බිංදුවකටම සාධාරණත්වයක් ඉෂ්ට කර ගන්න රටක ජනතාව ඉදිරිපත් නොවෙනවා නම් ජීවිතය “පූජා කළ” ඒ හැම “රණ විරුවෙක්ම” නිකම්ම නිකම් සොල්දාදුවන් බවට පත්වෙනවාය කියන ගැඹුරු අදහස ඉදිරිපත් කරන්නයි.  ඒ වගකීම තියෙන්නේ යුද්ධයට මුහුණ දුන්නු සොල්දාදුවන් අත නෙමෙයි. සමාජයේ සාතිශය බහුතරයක් වෙන අපේ අතේ. එහෙම නැතිනම් අපිත් අර කිව්වා සින්ඩ්‍රෝම් එකේ ගොදුරක්.

සාමය කියන අකුරු තුන රජ කරනවා කියන යුගයක පවා බඩු මිල දවසින් දවසම ඉහළ යනවා නම්, නුසුදුසු පුද්ගලයන් ඉහළ තනතුරු වලට පත් කිරීම අඛණ්ඩවම සිද්ධ වෙනවා නම්, රටේ ස්වාධීනත්වය උදෙසා සොල්දාදුවන් සටන් වැදුණු භූමිය විදේශිකයන්ට අක්කර ගණනින් ලියා දෙනවා නම්, රටේ සම්පත් විදේශීය සමාගම්වලට සින්නක්කරවම පවරා දෙනවා නම්, බයිසිකලයෙන් පාර්ලිමේන්තුවට ආ මන්ත්‍රීන්ට කෝටි ගණනක දේපළ හිමිවෙනවා නම්, මිය ගිය සොල්දාදුවන්ගේ ජීවිත වලට සාධාරණත්වයක් කිසිසේත්ම ඉෂ්ට වෙලා නැහැ. ඒ නිසා ඒ ජීවිත පූජාවේ පූර්ණ ලාභාංශ ලබාගෙන තියෙන්නේ දේශපාලකයන් මිසක් රට නෙමෙයි.

මගේ කාර්යාලයේ ස්ටීවන්ස්, අමරිකානු හමුදාවේ ජේම්ස්, ලංකාවේ හමුදාවේ ගුණපාල… මේ කවුරු අතරත් එක්තරා පොදු සාධකයක් තියෙනවා. ඒ තමයි දේශ සීමාවන් ඉක්මවා යන මේ මානුෂික බැදීම්. හමුවීම, වෙන්වීම කියන එක අපේ ජීවිත වලට දැනෙන ප්‍රබල සාධකයක් වෙලා තියෙන්නේ ඒ හින්දයි. ඒත් මේ මානුෂීය බැදීම්, මානුෂීය ගුණාංග දේශපාලනික කරුණු වලදී අපි ළං කරගන්නේ හරිම ආත්මාර්ථකාමී විදියට. අපේ දේශපාලන පක්ෂයට හානි නොවන තාක් අපි කැමැතියි ප්‍රබුද්ධයෝ විදියට සමාජයේ පෙනී ඉන්න. බොහොම හර බර වාද විවාද කරන්න. ලෝක දේශපාලනයෙන් උදාහරණ අරන් මහා භාරදුර තර්ක ඉදිරිපත් කරන්න. ඒත් තමන්ගේ දේශපාලන පක්ෂය, තමන් ප්‍රිය කරන (කඩේ යන) නායකයා මෝඩ තකතිරු වැඩක් කරලා විවේචන එල්ල වෙන හැම මොහොතක නායකයා රැක ගන්න අප ගන්න තකතිරු උත්සහායත් එක්ක අපේ ස්වාධීනත්වය, ප්‍රබුද්ධත්වය සරුවාංගයෙන්ම ගිලිහිලා යනවා ඇඳිවතත් එක්කම, අපි දන්නෙත් නැතිව. ඒකට හේතුව හරිම සරලයි. තමන් පොරව ගෙන ඉන්න ස්වාධීනත්වයේ, ප්‍රබුද්ධත්වයේ  සළුපිළි කාගෙන් හරි ණයට ගත්ත දේවල්. ඉතින් තමන්ගේ ඇගට ගැලපෙන්නේ නැහැ, ඇදුම බර වැඩියි.  “ටිකිරි මොළ” වලට ඒ බර දරාගන්න බැහැ. ඉතින් අපි දන්නෙම නැතිව අපිට ගැලපෙන ඇඳුම ඇඳ ගෙන ඉවරයි. පූර්ව මැතිවරණ සමයේත්, මේ ගෙවිලා යන බහු රූ කෝලම් වලින් සමන්විත පශ්චාත් මැතිවරණ කාලයේත් මේ වගේ රෙදි ගලවා ගත්ත අය ඕන තරම් දකින්න පුලුවන්.

ඒත් අප්‍රසන්නතම කාරණාව නම් මේ යථාර්ථය සැබෑ ලෙසින්ම දකින මිනිස්සු ඒ කියන්නේ මේ දේශපාලන යථාර්ථය එහි ගැඹුරු අර්ථයෙන්ම වටහා ගන්නට පුලුවන් මිනිස්සුන්ව හාස්‍යයට ලක් කරන්නට සමාජයක් විදියට අපි කොයි තරමක් නම් සැදී පැහැදී ඉන්නවා ද කියන එකයි. ඉබාගාතේ යන හඩ පටි වලට වශී වෙච්ච, තාප්පවල තැවරෙන තීන්ත පින්තාරු වලින් ඇස් නිලංකාර වෙච්ච, තමන්ගේ දේශපාලන නායකයා වෙනුවෙන් ජීවිතය වුණත් පූජා කරන්නට තරම් කොඳු ඇට පෙළ නම්‍යශීලී වුණු කිසි කෙනෙකුට මේ යථාර්ථය වටහා ගන්න හිතන්නවත් බැහැ. එහෙමත් නැතිනම් වටහා ගන්න පුලුවන් වුණත් ඒ බවක් නොතේරුණ ගානටයි ඉන්න උත්සාහ කරන්නේ. සමාජයේ බහුතරයක්ම නියෝජනය කරන්නේ ඔන්න ඔය කියන මිනිස් කුලකය තමයි. ඒ නිසා හඩ පට අස්සේ, තාප්ප වල තැවරෙන තීන්ත අස්සේ ඇස් කන් පටලවා ගෙන ඒවා යටින් දිවෙන බරපතල දේශපාලන කාරණා හිතාමතාම තමන්ගෙන් ගිලිහිලා යන්න අපි ඉඩ හරිනවා.

ඈත අතීතයේ ඉදන්ම සෑම ජන සමාජයකම යථාර්ථය දකින්න බැරි වුණු මේ විදියේ මිනිසුන්ගෙන් කවදාවත් හිග පාඩුවක් තිබුණේ නැහැ. සිදුහත් සක්විති රජෙකු වෙන බව හැමෝම කියද්දී ඔහු නිසැකයෙන්ම බුදු වෙන බව කිව්වේ එක්කෙනයි. බරබ්බස් නිදහස් කරලා ජේසුස්ට ඇණ ගැසිය යුතු බව කිව්වෙත් සමාජයේ බහුතරයයි. ලෝකය දෙවියන්ගේ මැවීමක් කියලා බහුතරයක් කියද්දී, නැහැ ඒක ස්වභාවික පරිණාමීය ක්‍රියාවලියක් කියලා මුලින්ම කිව්වෙත් බුදුන් විතරයි.

“වැඩියෙන්ම වෛරයට පාත්‍ර වෙන්නේ සත්‍යය කතා කරන පුද්ගලයාය” කියන කරුණ ප්ලේටෝ කීවේ තමන්ගේ සමකාලීන සමාජය විතරක්ම දිහා බලලා නෙමෙයි. සොක්‍රටීස්ට වස බොන්නට සිද්ධ වුණේ සමාජයේ සාතිශය බහුතරය පිළිගත් මතවාදයේ වැරද්ද පෙන්වා දුන්නු නිසයි. ඉර වටේ පෘථිවිය භ්‍රමණය වෙනවාය කියන කාරණාව ගැලීලියෝ ඔප්පු කරලා පෙන්වද්දී ඔහුට එරෙහිව ගල් මුල් එල්ල වුණේ පල්ලියෙන් විතරක්ම නෙමෙයි.

සමාජයක තියෙන මේ කියන දුර්වලතාව ඒ කියන්නේ මිනිසුන් විදියට අප තුළ තියෙන චින්තනයේ නොහැකියාවෙන් මුලින්ම ප්‍රයෝජනය ගත්තේ පූජකයන්. ඉතිහාසය අරගෙන බැලුවාම මධ්‍ය කාලීන යුගය පුරාම දකින්නට තියෙන්නේ පල්ලියේ මතවාදයට එරෙහිව ඒ කියන්නේ ජනප්‍රිය මතවාදයට එරෙහිව සත්‍යය හෙළිදරවු කළ මිනිසුන් දස වද දී මරා දැමුණු අතිශය සාහසික යුගයක්. මේ නිසා විද්‍යාවේ, කලාවේ, සාහිත්‍යයයේ විතරක් නෙමෙයි පොදුවේ ගත්තම සමස්ත ශිෂ්ටාචාරයම මධ්‍ය කාලීන යුගයේ පල්ලිය විසින් සියවස් ගණනක් ඈතට තල්ලු කර දැම්මා. පාප් වහන්සේගේ ආශිර්වාදයෙන් සිදු වුණු ආක්‍රමණ වලින් සහ ආගමට හැරවීමේ ක්‍රියාවලියෙන් ලක්ෂ සංඛ්‍යාත මිනිසුන් මරා දැමුණා. මේ ක්‍රියාවලිය හදුන්වන්නේ “වතිකානු සංහාරය” කියලා. මේ වෙනුවෙන් ලියැවුණු පොත් පත්, වාර්තා වැඩ සටහන් සිය දහස් ගණනින් ලෝකය පුරාම තියෙනවා. සංවාද, සාකච්ඡා නිතර නිතර පැවැත්වෙනවා. (පාප් වහන්සේ කාන්තාවකගේ අතට ගැසීම වගේ දෙයක් ඒ සංහාරයන් එක්ක සම කරන්නවත් බැහැ). දයාවේ ප්‍රතිමූර්තියක් විදියට අර්ථ දැක්වෙන තෙරේසා මවුතුමියගේ මානව දයාව කොයි තරම් වූ ව්‍යාජයක් ද කියන කාරණාව ලිපි ලේඛනත් එක්කම හෙළිදරවු කරපු පැයක වාර්තා වැඩසටහනක් කැනේඩියානු ප්‍රධානතම රූපවාහිනී නාලිකාව වන සීබීසී පහුගිය මාසයේ දවසක ආපහු සැරයක් ප්‍රචාරය කළා.

ක්‍රිස්ටෝපර් කොළොම්බස් ලෝකයේ එක්තරා කොටසකට වීරයෙක්. ඒත් බොහෝ රටවල ආදිවාසීන්ට වගේම මධ්‍යස්ථ මතධාරී පිරිස් බොහොමයක ඔහු අති දුෂ්ටයෙක්. මේ ගැන සකස් වෙච්ච අතිශය සාර්ථක වාර්තා වැඩසටහන් බොහොමයක් අන්තර්ජාලයේ වගේම බීබීසී වාර්තා වැඩසටහන් අංශයේත් විකාශනය වුණා.

තෝමස් අල්වා එඩිසන් ජනප්‍රිය වුණේ නව නිෂ්පාදන දහසකට අධික සංඛ්‍යාවක් වෙනුවෙන් පේටන්ට් බලපත්‍ර ලබා ගත්ත අති දක්ෂ විද්‍යාඥයෙක් විදියට. බැටරි වලට භාවිත කෙරෙන DC විදුලිය (Direct Current) හොයා ගත්තේත් ඔහුයි. ඒත් නිකොලා ටෙස්ලා සමාජයේ අද අපිට නැතිවම බැරි AC (Alternative Current) විදුලිය ඒ කාලයේ දීම සොයා ගත්තා. ටෙස්ලාගේ මේ සොයා ගැනීම තමන්ගේ කීර්තියට හානියක් වෙන බව දැක්ක එඩිසන් නිව්යෝර්ක් නගරයේ Luna Park සත්ව උද්‍යානයේ  හිටිය Topsy කියන අහිංසක ඇතාව වෝල්ට් 6600ක විදුලි ධාරාවක් යවලා සාහසික විදියට මරා දැමුවේ මිනිසුන් 1500ක් තරම් පිරිසක් ඉදිරිපිටදී. ඒ ටෙස්ලාගේ මේ සොයා ගැනීම අවතක්සේරු කරලා සමාජය බියපත් කරන්න. ඇත්තටම ඒක සාර්ථක වුණා. ටෙස්ලාගේ ජීවිත කාලය පුරාම ඔහුට අහන්නට ලැබුණේ සරදම් අපහාස විතරයි. අද දවසේ අපේ ජීවිත වලට විදුලිය අත්‍යවශ්‍ය වුණත් ටෙස්ලා කියන නාමය අපේ මතකයේ නැහැ. ඒත් එඩිසන් ගැන පාසල් පෙළ පොත්වල පවා උගන්නවා.

සරු දේ සරු ලෙසත්, නිසරු දේ නිසරු විදියටත් දකින්නට කියලා බුදුන් කිව්වේ මේ ව්‍යාජය එදා ඉදන්ම තිබුණු හින්දයි. ඒත් මධ්‍ය කාලීන යුගයේ පල්ලියෙන් සිද්ධ වෙච්ච විනාසය මේ වෙනකොට ලංකාවේ සිද්ධ වෙන්නේ චීවරධාරීන් අතින්. බුදුන්ගේ අවවාදය මුළුමනින්ම කණ පිට පෙරලලා නිසරු දේ සරු ලෙසත්, සරු දේ නිසරු විදියටත් ගන්න චීවරධාරීන්ගෙන් අද කිසිම හිගයක් නැහැ. කය පැවිදි කිරීම විනාඩි කිහිපයකින් කළ හැකි වුණත් සිත පැවිදි කිරීම ඉතාම අපහසු කාර්යයක් කියලා රේරුකාණේ චන්දවිමල හාමුදුරුවන් කිව්ව කතාව සැබෑම සත්‍යයක්.

36x24-Budda-small_1024x1024

මෑත කාලයේ යුරෝපය පුරාම කතා බහට ලක්වෙච්ච බැන්ස්කිගේ (Bansky) බුදුන්ගේ රූපය ලංකාවේ බොහෝ චීවරධාරීන්ගේ යථාර්ථය හෙළිදරවු කරන සිතුවමක්.  බුදුන්ගේ සිතුවම ඔහු තමන්ගේ තෙලි තුඩින් මතු කරලා තියෙන්නේ පහරදීමට ලක් වෙච්ච රූපයක්  විදියට. බ්‍රැන්සිකිගේ සිතුවමේ වැඩ ඉන්න බුදුන්ගේ ගෙල පෙදෙසට පමණක් නෙමෙයි අතට පවා දරුණු විදියට පහර දීලා තියෙනවා. නාසයෙන් ලේ ගලා ගෙන එනවා. ඒත් ඒ බුදුරුවේ මෛත්‍රී සහගත නෙත් සගලත්, කරුණාව පෙරදැරි කරගත් මුද්‍රාවත් (නිර්මල බුදු දහම) මේ පහරදීම් නිසා වෙනස් වෙලා නැහැ. බ්‍රැන්ස්කි මේ සිතුවම නිර්මාණය කළේ බෞද්ධ දර්ශනය විකෘති කරන මේ වගේ ගණින්නාස්සේලා ගැන හිතලා තමයි.

ඒ නිසා තමන් කැමැති ආගමක් ඇදහුවත්, තමන් කැමැති දේශපාලන දර්ශනයක් අනුගමනය කළත්, තමන් කැමැති කොයි කවර නායකයෙකුට පක්ෂපාතී වුණත් (කඩේ ගියත්)කමක් නැහැ. ඒත් ඒ ආගමේ නාමයෙන්, ඒ වගේම තමන්ගේ දේශපාලන පක්ෂය, එහෙමත් නැතිනම් තමන් පක්ෂපාති දේශපාලන නායකයා කරන හැම අසික්කිත ක්‍රියාවක්ම සාධාරණීකරණය කරන්න යන්න එපා. තර්ක විතර්ක දාලා ඒවා සාමාන්‍යකරණය කරන්න යන්නත් එපා. ඒ විදියේ පෞරුෂත්වයක් ගොඩ නගා ගන්න තමන්ට හැකියාවක් නැතිනම් අඩුම තරමින් ඒකට එරෙහි වෙන්න පුලුවන් තරම් පිට කොන්ද ශක්තිමක් වෙච්ච මිනිස්සුන්ට සමච්චල් කරන්න යෑමෙන් වත් වළකින්න. නැතිනම් සමාජයට තියා අපිටවත් අපෙන් වැඩක් නැහැ.

“සමාජයයේ මතය පාලනය කරන්න හැම අවුරුද්දකම බිලියන ගණනින් මුදල් වැය කරනවා. ඒත් රටේ සාමාන්‍ය මිනිස්සුන්ට වැටහීමක් නැහැ මොනවද මේ වෙන්නේ කියලා. අඩුම තරමින් තමන්ට එහෙම අවබෝධයක් නැහැ කියලවත් ඒ අයට තේරුමක් නැහැ”, එහෙම කියන්නේ අද දවසේ ලෝකයේ ඉන්න විශිෂ්ටතම බුද්ධිමතෙකු වෙන නෝම් චොම්ස්කි. (“The general population doesn’t know what’s happening, and it doesn’t even know that it doesn’t know. Hundreds of billions of dollars are spent every year to control the public mind” – Noam Chomsky)

ව්‍යාජය දැක දැකත්, ඒ ව්‍යාජයේ භයානක ප්‍රතිපල අත් විදිමිනුත් ඒක ව්‍යාජයක් කියලා පිළිගන්නට සමාජයේ බහුතරයකටම බැරි වෙන්න තවත් එක් හේතුවක් තමයි ඒ බොහොම දෙනෙකුගේ පරිකල්පනය තමන්ගේ ගෙදර සාලයේ තියෙන රූපවාහිනියේ අගල් තිහක හතළියක තිරයේ ප්‍රමාණයට විතරක්ම සීමා වෙලා තියෙන නිසා.

ඒත් මේ තත්ත්වය කොයි තරම් බිහිසුණු දෙයක් ද කියන එක වික්ටර් ෆ්‍රෑන්ක් (Viktor Frankl) තමන්ගේ Man’s Search for Meaning කෘතියෙන් අපූරුවට පෙන්වලා දෙනවා. වික්ටඒ ෆ්‍රෑන්ක් අවුට්ස්විච් වගේම තවත් නාසි වධකාගාරවල ජීවිතයත් මරණයත් අතර අවුරුදු තුනකටත් වඩා කාලයක් දුක් වින්ද මිනිසෙක්. වෛද්‍ය විද්‍යාවට වගේම දර්ශනය විෂයටත් ආචාර්ය උපාධි හිමි කරගත්ත අති දක්ෂ මනෝ වෛද්‍යවරයෙක්. ෆ්‍රෑන්ක් කියන විදියට හැම මොහොතකම අපිට හිතෙනවා “අනිත් කාට එහෙම වුණත් අපිට එහෙම වෙන්නේ නැහැ” කියලා. ජීවිතය කොයි මොහොතේ තමන්ගෙන් තුරන් වෙයිද කියන අවිනිශ්චිතතාව කරපින්නා ගෙන නාසි වධකාගාර වල ජීවිතය ගෙවන මිනිස්සු පවා අන්තිම තත්පරයේත් හිතන්නේ අනිත් හැමෝම ගෑස් කාමරයට යවලා මරා දැම්මත් තමන් මරණයෙන් බේරේවි කියලා. ඒත් අන්තිමේ දී ඒ හැමෝටම මුහුණ දෙන්න වුණේ එකම ඉරණමකට.

මේ නිසා ආගම, දේශපාලනය වගේ කරුණු කාරණා ගැන තමන්ගේ මතවාද කුමක් වුණත්, තමන් වන්දනාමාන කරන ප්‍රතිරූප කොයි වගේ වුණත් වැරැද්ද වැරැද්දක් විදියට දකින්නට බැරි වුණොත් ඒකේ බිහිසුණු ප්‍රතිපලය අත් විඳින්නට වෙන්නේ තමන්ගේම දරුවන්ටයි. (දැනුත් සමාජයක් විදියට අපි ඒක හොඳින්ම අත් විඳිනවා)

ආගමේ නාමයෙන්, දේශපාලනයේ නාමයෙන් බොහොම කුරිරු දේවල් ලෝකය පුරාම සිද්ධ වෙනවා.  බලලෝභී දේශපාලකයන් දියුණුය කියන රටවලත් ඉන්නවා. ඒත් ඒ රටවල මිනිස්සු ඒ දේවල් නිර්දය විදියට විවේචනය කරන්න කිසිසේත්ම පසුබට වෙන්නේ නැහැ. ඒ රටවල රජයේ අරමුදල් මත පවත්වා ගෙන යන ප්‍රධානතම ගුවන් විදුලි, රූපවාහිනී නාලිකා තමයි රජයේ කාර්යයන් වඩාත්ම බරපතල විදියට විවේචනය කරන්නේ.

ඒත් ලංකාවේ අපි තාමත් හිතන්නේ අර නාසි වධකාගාරවල ඉන්න සිරකරුවන් වගේ.

“නැහැ… අපිට එහෙම වෙන්නේ නැහැ”.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )