මෙහෙම හොඳයිනේ

women-s-white-and-black-button-up-collared-shirt-774909.jpg

මේ පිංතූරයේ ඉන්න කාන්තාවගේ මුහුණ දැක්කම ඔබට මොකක්ද හිතෙන්නේ?

ඔබ මුලින්ම වටහා ගනීවි ඇය විදේශීය කාන්තාවක් කියලා. ඒ වගේම ඔබට නිසැකයෙන්ම හිතෙනවා ඇති ඇය ඉන්නේ බොහොම සතුටින් කියලා. ඔබ ඇය සමීපයේ ඉන්නවා නම් තව සුලු මොහොතකින් ඇය බොහොම ප්‍රීතිමත් දෙයක් කියන්න ඉඩ තියෙනවා කියලත් ඔබට හිතේවි.

මේ හැම ප්‍රතිචාරයක්ම ඔබට දැනුණේ ඔබට විශේෂ මහන්සියක් අරගෙන නෙමෙයි. නිකම්ම ඔබට එහෙම හිතුණා. ඒක වේගවත් එහෙමත් නැතිනම් අප්‍රමාදී සිතිවිල්ලක් (Fast Thinking). මේ සිතිවිලි ධාරාව තමයි අපේ හිතේ automatic mode. මේ ස්වභාවය අපේ හිතේ මූලික ක්‍රියාකාරීත්වය එහෙමත් නැතිනම් System 1 විදියට හදුන්වන්න බොහොමයක් මනෝ විද්‍යාඥයන් කැමැතියි.

දැන් බලන්න මේ ගණිත ගැටලුව දිහා.

17 X 24

ඔබට එක සැරේම වැටහෙනවා මෙතැන තියෙන්නේ ගණිත ගැටලුවක් කියලා. ඔබ දන්නවා ඔබට ඒක විසදන්නත් පුලුවන් කියලා. ඒත් ඒකට පොඩි මහන්සියක් ගන්න ඕන වෙනවා. පිළිතුර හොයා ගන්න ඔබේ දැනුම, හැකියාව ගලපගන්න වෙනවා. අදියර කිහිපයක මානසික ක්‍රියාවලියක්. ඒ කියන්නේ එතැනදී මතුවෙන්නේ ප්‍රමාදී සිතිවිල්ලක් (Slow Thinking).  මේ විදියේ ප්‍රමාදී සිතිවිලි ධාරාවකදී ඔබ දන්නේම නැතිව ඔබේ ඇස්වල කළු ඉංගිරියාවේ වෙනසක් සිදු වෙනවා. අභ්‍යන්තර මස් පිඩුවල තරමක ආතතියක් ඇති වෙනවා. ගැටලුව සංකීර්ණ නම් රුධිර ගමනාගමනයේ වගේම හෘද ස්පන්දනයේත් නැගීමක් සිද්ධ වෙනවා. ගැටලුවට පිළිතුර සොයා ගත් සැනින් ඒ සියල්ල යථා තත්ත්වයට පත්වෙනවා. මේ ස්වභාවය අපේ හිතේ ද්විතියික ක්‍රියාකාරීත්වය එහෙමත් නැතිනම් System 2 විදියට හදුන්වන්න බොහොමයක් මනෝ විද්‍යාඥයන් කැමැතියි.

පැරිස් කිව්ව ගමන් ඔබට එක සැරේම ඔලුවට එනවා ප්‍රංශයේ අගනුවර තමයි ඒ කියලා. විශේෂ වෙහෙසක් ගන්න ඕනේ නැහැ. ඒ වගේම අවුරුදු හතරක් පහක වයස දරුවෙක් තමන්ට කියන්න ඕන දෙයක් බෙහොම අපූරුවට පද ගලපලා කියනවා. ඒ දරුවාට ව්‍යාකරණය ගැන මොනම අවබෝධයක්වත් නැහැ. ඒත් තමන් දන්නේවත් නැතිව ව්‍යාකරණානුකූලව පද ගලපලා කතා කරන්න එයාට පුලුවන්. දෙකයි දෙකයි එකතු වුණාම හතරයි කියන එක කිසිම මහන්සියක් නැතිව ඔබේ ඔලුවට එනවා. “පානුයි… ”කියන වාක්‍යය සම්පූර්ණ කරන්නකියලා කිව්වොත් නිසැකයෙන්ම ඔබේ ඔලුවට එන්න ඉඩ තියෙනවා “පානුයි පරිප්පුයි” එමෙත් නැතිනම් “පානුයි සම්බෝලයි” වගේ දෙයක්. මේ හැම දේම අර කිව්ව System 1 ක්‍රියාවලියට උදාහරණ.

නිතර අහන්නට නොලැබෙන සද්දයක් ඇහුනොත් ඒ මොකක්ද කියලා වටහා ගන්න, තමන්ට නුහුරු නුපුරුදු වේගයක් පවත්වා ගනිමින් එකදිගටම ගමනේ යන්න, මේ සටහනේ තියෙන “ස” අකුරු කීයක් තියෙනවාද කියලා ගනන් කිරීම, රජයේ කාර්යාලක පෝරමයක් පිරවීම, නීරස පොතක් කියවන්නට සිද්ධ වුණාම, බොහොම පටු තැනක වාහනයක් ගාල් කිරීම වගේ අවස්ථාවල ඔබට සිද්ධ වෙනවා ඒ වෙනුවෙන්ම විශේෂ ආයාසයක් ගන්න වගේම අවධානයක් ලබා දෙන්න. ඒ කියන්නේ මේ වගේ අවස්ථාවල ඒ දේවල් නිරායාසයෙන්ම ඔබේ හිතට ගලාගෙන එන්නේ නැහැ. ඔබට සිද්ධ වෙනවා දිගින් දිගටම අවධානයකින් ඉදලා කටයුත්ත නිම කරන්න. මේ දේවල් තමයි අපේ System 2 ට උදාහරණ.

මිනිස් ස්වභාවයෙන්ම අපි තරමක් කම්මැලියිනේ. යමක් ගැන හිතන්න අපි ඒතරම් ආයාසයක් ගන්නේ නැහැ. ඒ නිසා අපි හැම තිස්සේම වගේ අපේ system 1 වහල්ලු. ඉතින් ඒ නිසා අපි බොහොම දේවල් වරද්දා ගන්නවා. System 2 ස්වභාවයෙන්ම හරිම කම්මැලියි. ඒ නිසා System 2 මෙහෙයවා කරන්න ඕන දේවල් බොහොමයක් අපි system 1 යොදා ගෙන කරන්න ගිහින් අපේ ජීවිතේ විතරක් නෙමෙයි සමාජයේත් බොහොම දේවල් වරද්දා ගන්නවා. මේ නිසා අපිට පහසුවෙන්ම වටහා ගන්න පුලුවන් දේවල්වලට අපි අන්ධයි විතරක් නෙමෙයි අපේ ඒ අන්ධභාවයටත් අපි අන්ධයි. (We can be blind to the oblivious, and we are also blind to our blindness).

මේ කියන හැම දෙයක්ම මං උපුටලා ගත්තේ මේ දවස්වල මට කියවන්න ලැබුණු හරිම අපූරු පොතකින්. මේ පොතේ නම “Thinking Fast and Slow”. පොත ලියලා තියෙන්නේ නොබෙල් ත්‍යාගලාභී Daniel Kahneman. ඊශ්‍රායල්-ඇමරිකානු මනෝ විද්‍යඥයෙක් වගේම ආර්ථික විද්‍යාඥයෙකුත් වෙන ඩැනියෙල්, මිනිස් සිතේ මේ තීරණ ගැනීමේ ක්‍රියාවලිය ගැන කරපු පර්යේෂණවල ප්‍රතිපල අද වෙනකොට බටහිර ලෝකයේ හැම සරසවියකම විෂය ධාරාවට එක්වෙලා තියෙනවා. 2002 දී ඔහුට නොබෙල් ත්‍යාගය හිමිවෙන්නට බලපෑවේත් මිනිස් සිතිවිලි ධාරාවන් ක්‍රියාත්මක වෙන ආකාරය ආර්ථික විද්‍යා න්‍යායන් එක්ක ගලපලා ඔහු කරපු පර්යේෂණ ක්‍රියාදාමය වෙනුවෙනුයි.

1000x-1.jpg

EDaniel Kahneman එවකට ඇමරිකානු ජනපති බැරක් ඔබාමා අතින් ඇමරිකාවේ ඉහළම රාජ්‍ය තාන්ත්‍රික සම්මානයෙන් පිදුම් ලැබූ  මොහොතේ 

ඩැනියෙල්ගේ Thinking Fast and Slow පොත පුරාම තියෙන්නේ මිනිස්සු විදියට අපි දන්නෙම නැතිව කොයි තරමක් නම් මේ කියන System 1 එකේ වහල්ලු බවට පත්වෙලාද කියන අපිට තේරුම් කරවන්නයි.

ඩැනියෙල්ගේ පොතේ තියෙන මේ උදාහරණය අරගෙන බලමු.

බැට් පිත්තකුයි, බෝලයකුයි ඩොලර් 1.10යි.

බැට් පිත්ත බෝලයට වඩා ඩොලරයකින් මිල වැඩියි.

එහෙනම් බෝලයේ මිල කීයද?

එක සැරේම වගේ ඔබේ මනසට උත්තරය ඒවි. සත දහයයිනේ.මේක අහන්නත් තරම් ප්‍රශ්නයක්ද? ඔබට එහෙම හිතෙන්නට ඇති. ඒත් ඔබේ උත්තරය සත දහය නම් ඔබ වැරදියි. උත්තරය සත පහයි. (බෝලය සත දහයක් වුණානම් බැට් පිත්ත 1.20ක් වෙන්න ඕනේ, ඒ නිසා බෝලය සත 5යි, බැට් පිත්ත ඩොලරයයි සත පහයි). ඔබට නිවැරදි උත්තරය ආවා නම් ඒ කියන්නේ ඔබේ සිතිවිලි ධාරාවේ කිසියම් ආකාරයක පාලනයක් ඔබට තියෙනවා. උත්තරය වැරදුනානම් ඒකට හේතුව ඔය කිව්ව ගැටලුව ගැන තරමක් හිතලා බලන්න තරම් මහන්සියක් ගන්න අපි කම්මැලි වීම හින්දයි. මුලින්ම හිතට එන අදහස කියා පෑවා මිසක් අපි ටිකක් හිතලා බැලුවේ නැහැ ඒක ඇත්තද කියලා. ඒ කියන්නේ System 1 අපිව පාලනය කරමින් ඉන්න හින්දයි.

EAT  කියන වචනය ඔබ මීට ටිකකට කලින් දැක්කනම් හරි ඇහුණා නම් හරි SO_P  කියන වචනයේ ඔබ හිස්තැන පුරවන්නේ SOUP කියලා මිසක් SOAP කියලා නෙමෙයි. ඒ වගේම තමයි EAT කියන වචනය වෙනුවට WASH කියන වචනය ඔබට මීට ටිකකට කලින් ඇහුණා නම් හරි දැක්කා නම් හරි ඔබ ඒ හිස්තැන පුරවන්නේ SOAP කියලා මිසක් SOUP කියලා නෙමෙයි. ඒකට හේතුව ඔබේ System 1 ඔබට දැනටමත් කතාවක් හදලා දීලා ඉවරයි. ඔබේ System 2 ට සිද්ධ වෙනවා ඒක විශ්වාස කරන්න.

සද පෘථිවිය වටා භ්‍රමණය වේ.

විශාලතම සාගරය ශාන්තිකර සාගරය වේ.

කුකුළාට කකුල් හතරක් තිබේ.

මේ වාක්‍ය තුන ගත්තොත් කුකුළාට කකුල් හතරක් තියෙනවා කියන කාරණාව වැරදියි කියලා එක සැරේටම ඔබට නොහිතෙන්නට පුලුවන්. ඒකට හේතුව බොහොමයක් සතුන්ට කකුල් හතරක් තියෙන නිසා. ඒත් “කුකුළාට කකුල් තුනක් තිබේ.” කිව්වොත් ඒ වැරැද්ද ඔබට එක සැරේටම අහුවෙනවා. ඒකට හේතුව සාමාන්‍යයෙන් කකුල් තුනේ සත්තු නැති හින්දා.

System 1 හැම තිස්සෙම කරන්නේ අපි දන්න දේවල් එක්ක එකකට එකක් ගලපලා අලුත් කතාවක් අපිට හදලා දෙන්න හදන එක. එහෙම කරලා පුලුවන් ඉක්මනින් අපිව නිගමණයක් දිහාවට දක්කගෙන යනවා. දැන් බලන්න මේ පහ‍ළ තියෙන පිංතූරය දිහා.

neglectofambiguity

මැද තියෙන කොටුව අමතක කරලා දෙපැත්තේ තියෙන කොටු දෙක දිහා බැලුවොත් ඔබ නිසැකයෙන්ම ඒක කියවන්නට ඇත්තේ පළමු කොටුව ABC විදියටත්, අන්තිම කොටුව 12, 13, 14 කියලා නේද‍? ඒත් හොදට බලන්න.

ඔබට පළමු කොටුව A 13 C විදියටත් අන්තිම කොටුව 12 B 14 විදියටත් කියවන්න පුලුවන් කම තිබුණා නේද? ඒත් ඔබ එහෙම කියෙව්වේ නැහැ. ඇයි ඒ‍? මොකද අපේ හිතේ ඇදිලා තියෙනවා අකුරු නම් ඒවා එකට තියෙන්න ඕනේ වගේම ඉලක්කම් නම් ඒවාත් එකට තියෙන්න ඕනේ වගේ අදහසක්. ඒ නිසා වැඩිය හිතන්නේ නැතිවම අපි නිගමනයකට බැහැලත් ඉවරයි පළමු කොටුවේ තියෙන්නේ ABC, අන්තිම කොටුවේ තියෙන්නේ 12, 13, 14 කියලා. විකල්පයක් තියෙන්න පුලුවන් කියලා අපිට හිතෙන්නෙවත් නැහැ. මේ ක්‍රියාවලිය ඩැනියෙල් හදුන්වන්නේ Neglect of Ambiguity and Suppression of Doubt කියලා. අවිනිශ්චිතභාවය නොසලකා හැර සැකයේ වාසියට දොරගුළු හැරදීම වගේ අදහසක්.

ඩැනියෙල් කියන විදියට මේ සිද්ධිය තමයි හැම තැනකම හැම වෙලාවකම සිද්ධ වෙන්නේ. මනෝ විද්‍යාඥයන් ඒ වෙනුවෙන් අලුත් නමකුත් නිර්මාණය කරලා තියෙනවා. ඒ තමයි mere exposure effect. ඒ කියන්නේ අපි දන්න කියන කාරණා කියලා හිතන දේවල් වලදී තමයි අපි වැඩියෙන්ම පරිස්සම් වෙන්න ඕනේ. ඒ නිසා ඔහු අවධාරණය කරන්නේ System 1 ට අපිව පාලනය කරන්නට ඉඩ දෙන්න එපා කියලයි. ජීවිතේ හැම කරුණු කාරණාවකදීම කලාව සාහිත්‍යයේ විතරක් නෙමෙයි දේශපාලනයේදී පවා System 1 නිහඩ කරලා System 2 ට ඉඩදෙන්න කියලයි ඔහු ඉල්ලා හිටින්නේ. ජීවිතේ ඕනෑම කාරණාවකදී, දේශපාලන හෝ සමාජීය මතවාදයකදී ඔබේ හිතට එක සැරේම එන හිතිවිලි වලදී “මේ කතා කරන්නේ මගේ System 1, ඒකට ඉඩ නොදී  මාව පාලනය කරන්න System 2ට ඉඩදෙන්න ඕනේ”  (This is your System 1 talking. Slow down and let your System 2 take control) එන හිතිවිලි මෙන්න මේ විදියට පාලනය කරගන්න කරගත්තොත් ජීවිතයේ නිවැරදි තීරණ තීන්දු වලට පහසුවෙන්ම අපිට අවතීර්ණ වෙන්න පුලුවන්. මොකද System 2  කාර්යභාරය තමයි අපේ සිතිවිලි, හැගීම් වගේම අපේ කාර්යයනුත් පාලනය කරන එක.

ඇත්තටම කියනවා නම් මේක අපේ පරිණාමයෙන්ම ආපු ක්‍රියාවලියක්. සමස්ත සත්ත්ව සංහතියම නිතර ජීවත් වෙන්නේ තමන්ගේ වටේ මොනවද වෙන්නේ? මට හොද දෙයක් වෙන්නද යන්නේ? නැතිනම් නරකක්ද වෙන්න යන්නේ කියන සිතිවිල්ලත් එක්කයි. සවානා වනාන්තරේ ඉන්න කෙනෙක් එක්ක සංසන්දනය කළොත් නගරයේ ජීවත් වෙන ඔබ අපිට මේ බියජනක සිතිවිලි ගැන නිතර වදවෙන්න ඕන නැති නමුත් මානව පරිණාමයත් එක්ක මේ ක්‍රියාවලිය දිගින් දිගටම ගලාගෙන ආවා මිසක් නතර වුණේ නැහැ. මේ ක්‍රියාවලිය මැතිවරණයකදී ඉස්මතු වෙන හැටි ඩැනියෙල් ඇමරිකානු ප්‍රාන්ත මැතිවරණයක් ඇසුරින් විග්‍රහ කෙරෙනවා. ඔහුගේ ඒ විග්‍රහය ඒ විදියටම මෙතැන ගෙන හැර පෑවේ නැතත් ඔබේ System 2 ක්‍රියාත්මක කරන්න තරම් විවේක බුද්ධියක් ඔබට තියෙනවා නම් පාස්කු ප්‍රහාරය, මුසල්මානු ආක්‍රමණය විතරක් නෙමෙයි කැලණියේ නාග ධාතුවලින් පවා මේ ක්‍රියාවලිය වටහා ගන්න ඔබට පුලුවන් වෙන්න ඕනේ.

අපි හිතමු අපි කොහේ හරි ඈත පැත්තක නිවාඩුවක් ගත කරන්න ගියා කියලා. රෑ කෑම මේසයේදී ඔබට හමුවෙනවා ජෝන් කියලා ඔබ කලකින් නොදුටු ඔබේ සමීපම මිත්‍රයෙක්. ඒක හරිම පුදුම සහගත හමුවීමක්. හිතන්න ඉන් මාස කිහිපයකට පස්සේ ඔබට ඔහුවම අහම්බෙන් හමුවෙනවා ඔබේ රාජකාරී ගමනක් ගිය අතරතුර තේ කඩයකදී. මේ දෙවැනි අවස්ථාවේදී පළමු අවස්ථාවේ තරම් පුදුමයක් ඔබට දැනෙන්නේ නැහැ. ඒකට හේතුව දැනටමත් ඔබේ මනසේ System 1 ඒකට ඉඩකඩ හදලා දීලා තියෙන නිසා. ඒ කියන්නේ නොහිතපු වෙලාවක නොහිතපු තැනකදී ජෝන්ව හමුවෙන්න පුලුවන් කියන එක System 1 ඔබේ මනසට කාවද්දලා ඉවරයි . ඒ නිසා තමයි කොයි තරම් දේශපාලකයන් හොරකම් කළත් අපිට ඒක ගානක් නැත්තේ. ඒ කියන්නේ දේශපාලකයන් හොරකම් කිරීම, මිනී මැරීම, මංකොල්ල කෑම වෙන්න පුලුවන් හරිම සාමාන්‍ය දෙයක් විදියට System 1 ඔබට ඒත්තු ගන්වලා ඉවරයි. මේක හොදින්ම දකින්න පුලුවන් තැනක් තමයි විදේශගත වෙලා ඉන්න ශ්‍රී ලාංකිකයන් අතර. තමන් ජීවත් වන රටවල තියෙන යහපාලනය, දේශපාලන විනිවිදභාවය දැක දැකත් ඔවුන් තමන්ගේ උපන් මවුබිමේ දේශපාලකයන් අතින් සිදුවෙන හැම හොරකමක්ම, මංකොල්ලකෑමක්ම, හැම දේශපාලන ඝාතනයක්ම සාධාරණීකරණය කරනවා විතරක් නෙමෙයි පුලුවන් කමක් තියෙනවා නම් ඡන්දය දවසේ රටට ඇවිත් ඒ වෙනුවෙන් ඡන්දයත් පාවිච්චි කරනවා. (හැබැයි ඡන්දය ඉවර වෙච්ච ගමන් තමන්ගේ සුවපහසු ජීවිතය හොයා ගෙන ආපහු නැව් නගිනවා). මේ සිදුවීම ඩැනියෙල් හදුන්වල දෙන්නේ Norm Theory කියලා. ඒ කියන්නේ සිදුනොවිය යුතු දේ සිදුවිය යුතු දේ ලෙස දැකීම.

“ඔහු යහපත් පාලකයෙකු වෙයිද? ඔහු බුද්ධිමතෙක් සහ දක්ෂයෙක්…” මේ වචන ටික කියවද්දිම උත්තරය ඔබේ හිතට ඇවිත් ඉවරයි, උත්තරය “ඔව්”. ඒත් වාක්‍යයේ අන්තිම කොටස “…දුෂිතයෙක් සහ දාමරිකයෙක්” කියලා ඉවර වුනානම් මොකද වෙන්නේ කියන කාරණාව ඩැනියෙල් තමන්ගේ පොතින් ප්‍රශ්න කරනවා. මේ කාරණාව ඔහු හදුන්වන්නේ WYSIATI (What You See is All There Is) කියලයි. ඒ කියන්නේ ඔබ දකින්නේ ඔබ එහි දුටු දේ පමණයි. තවත් විදියකට කියනවා නම් ඔබ ඉන්නේ රාමුව ඇතුළේ නම් ඔබට සමස්ත පිංතූරය දකින්න බැහැ කියන එක. මේ වගේ අය බොහොම දෙනෙක් ගැන පහුගිය මැතිවරණයේදී මට පුද්ගලිකවම අත්දැකීම් ලැබුණා විතරක් නෙමෙයි සමාජ මාධ්‍ය ජාලා තුළත් දුටුව සංවාද වලදීත් ඕන තරම් දකින්න ලැබුණා. මැතිවරණයක් නැති කාලසීමා වලදී බොහොම හරබර වියත් මතිමතාන්තර ගෙන හර පාන මේ විදියේ පිරිස් මැතිවරණයකදී මේ තරම්ම අදබාල වෙන්නේ ඇයි කියන එක විතරක් නෙමෙයි මැතිවරණයෙන් පස්සේ තමන් කඩේ ගිය පක්ෂය විසින් ගනු ලබන අදබාල තීන්දු තීරණ සාධාරණීකරණය කරන්න දගලන දැගලිල්ල වටහා ගන්න කෙනෙකුට අවශ්‍ය නම් ඩැනියෙල්ගේ Thinking Fast and Slow පොත තමයි ඒකට සුදුසුම උපකරණය.

මේ කරුණු කාරණා ගැන කරපු පර්යේෂණ බොහොමයක්  පිටු 533 ක් පුරාවට Thinking Fast and Slow පොතේ විස්තරාත්මකව පැහැදිලි කරනවා. ඒ හැම දෙයක්ම විස්තර කරන්න මේ ලිපිය ප්‍රමාණවත් නැහැ. කොහොම වුණත් මේ පර්යේෂණ හැම එකකින්ම ඩැනියෙල් හේතු සාධක සහිතව පැහැදිලි කරන්නේ අපි අපේ System 2 ට ඉඩකඩ හදලා නොදුන්නොත් අපි අවට වෙන හැම දෙයක්ම විශ්වාස කරන්නට අපි පෙළඹෙනවා කියන එකයි. මේ මානසික පදනම වෙළෙද දැන්වීම් කලාවේදී නම් බොහොම ඈතක ඉදන් පාවිච්චි කෙරුණා. “90% Fat-Free” කිව්වම බොහොම ආකර්ශනීයයි “10% Fat” තියෙනවා කියනවාට වඩා. හරිම ලේසියෙන් අපේ System 1 රවට්ටන්න පුලුවන්. හරියට ලංකාවේ දේශපාලනය වගේ. සෑම් මිත්‍රශීලීද? කියලා කෙනෙකු ඇහුවොත් උත්තරය දෙන්න හරිම පහසුයි. ඒත් සෑම් මිත්‍රශීලී නැද්ද? කියලා ඇහුවොත් උත්තරය දෙන්න තරමක් හිතන්න වෙනවා. ඒකට හේතුව සෑම් මිත්‍රශීලී නොවුණු අවස්ථා ගැන හිතන්න System 2 ට යන්න සිද්ධ වෙන නිසා. මේ නිසා තමන්ගේ හිත ගත්ත පාලකයා රට හදාවි කියලා හිතන එක හරිම ලේසියි, ඔහුට රට හදන්න පුලුවන්ද කියලා හිතනවාට වඩා.

හැබැයි මේ සිදුවීම හැම සමාජයකම එකම විදියට සිද්ධ වෙන්නේ නැති වෙන්න පුලුවන්. ඒකට හේතුව සමහර සමාජ ක්‍රම ස්වභාවයෙන්ම පරිණාමයට ලක්වෙලා තියෙනවා. ඒත් ඇතැම් සමාජ ක්‍රම තාමක් නොදියුනු ගෝත්‍රික ලක්ෂණවල ගොදුරක්. ජාතිආලය, මව්බිමේ ආරක්ෂාව, දේශප්‍රේමය, රණවිරු ආලය වගේ තක්කඩි වාගාලාප ලෝකයේ දියුණු රටවල මැතිවරණ වේදීකාවල ඇහෙන්නේ නැත්තේ ඒ නිසයි. ඒ වෙනුවට ඒ රටවල වේදිකාවල ඇහෙන්නේ ප්‍රතිපත්තිමය සංවාද. ජාති ආලය, දේශප්‍රේමය වගේ හිස් වචන දියුණු රටවල මැතිවරණ වේදිකාවෙන් විසිවෙලා ගියේ මේ සියවස ආරම්‍භ වෙන්නත් කලින්.

ඒ වගේම ලෝක සිතියමේ තියෙන හැම රටකින්ම අපේ රට ආරක්ෂා කරගන්නට ඕනේ කියන හැගීම ලෝකයේ වෙන කිසිම රටකට වඩා අපේ රටේ චන්දදායකන්ගේ හිත් තුළ තියෙන්නේ ඇයි කියන කාරණාවත් ඔබේ System 2 පාවිච්චි කරලා හිතලා බලන්න ඕන කරන දෙයක්.

තවත් සරලව මේ දේ වටහා ගන්න ඕනේ නම් මැතිවරණයට කලින් කැලණියේ පෙන්නපු නාග ධාතු කෝලම ගැන විතරක්ම හිතුවත් ඇති. නාග ධාතු වන්දනාවට පෝලිමේ ගිය පිරිස නේද පහුවෙනිදා මැතිවරණයේ ඡන්දය පාවිච්චි කරන්නේ කියලා හිතද්දී තිගැස්මක් ඔබේ හිතටත් ඇති වුණා නම් ඕබේ System 2 ක්‍රියාශීලීව පවත්වා ගන්න ඔබට වැඩි මහන්සියක් ගන්න ඕනෙ නැහැ.

ඔබ සමහර විට අහලා ඇති Lady Macbeth Effect කියන කාරණාව. ශේක්ස්පියර්ගේ මැක්බත් නම් වූ මහාර්ඝ කෘතියේ මැක්බත් ආර්යාවට කියන චරිතය ගොඩ නංවා තියෙන්නේ මිනීමරු ද්‍රෝහී කාන්තාවක් විදියට. ශේක්ස්පියර්ගේ සාහිත්‍යය ඔබට හුරු පුරුදුයිනම් ඔබ දන්නවා ඇති ඔහුගේ හැම කෘතියකම වගේ මිනිස් චින්ත සන්තානය විග්‍රහ කරන්නට ඔහු දරා තියෙන සාර්ථක උත්සාහය ගැන. ඉතින් මැක්බත් කෘතිය පුරාමත් ශේක්ස්පියර් කොයි තරම් අපූරු විදියට මනෝ විද්‍යාත්මක සංකල්ප ගලපනවාද කියනවා නම් තමන්ගේ ද්‍රෝහීකම නිසාම මැක්බත් ආර්යාව නිතර නිතර පිරිසිදුව ඉන්න උත්සාහ කරන හැටි හරිම ලස්සනට විග්‍රහ කරනවා. සිතිවිලි පිරිසිදු නැති මිනිස්සු, ඒ වගේම නරුමකම්වලින් පිරුණු මිනිස්සු තමන්ගේ හිත ඇතුළේ තියෙන ඒ අපිරිසිදුබව නිසාම තමයි නිතර නිතර පිරිසිදුව ඉන්න උත්සාහ කරන්නේ. මේ මනෝ විද්‍යාත්මක සාධකය අද හදුන්වන්නේ Lady Macbeth Effect එහෙත් නැතිනම් Macbeth Effect ඔබ දැකලා ඇති ඕන තරම් මිනීමරුවන් සුදෝ සුදු ඇදුමින් සැරසිලා ඉන්න හැටි. (දිවයින පුවත්පතේ සේවය කරද්දී කැලණිය ප්‍රදේශයේ දාමරික දේශපාලකයකුගේ ප්‍රධාන ගෝලයා වෙච්ච නමගිය අපරාධකරුවෙකු සුදුම සුදු ඇදුමින්, සුදුම සුදු කන්නාඩි රාමුවකින්, සුදුම සුදු පාට ඔරලෝසු පටියකින්, සුදුම සුදු සපත්තු යුගලකින් සැරසිලා මා හමුවෙන්න ආපු හැටි මට මතකයි. තමන් ඒ නමගිය අපරාධකරුවා බව හදුන්වා නොදෙන්නට මං සිතුවේ ඔහු පුවත්පතට නිතර පැමිණෙන පන්නයේ නවක නළුවෙකු කියලයි.)  මේ කාරණාව ලංකාවේ දේශපාලනය බද්ධ කරලා ගත්තොත් මේ කියන Macbeth Effect  හදුනා ගන්න හරිම ලේසියි. නිතර නිතර පන්සලට දුවන්නේ, බෝධි පූජා පවත්වන්නේ, කඨින චීවරය හිස උඩින් තියාගෙන යන්නේ, රට ජාතිය ආගම ගැන පුදුමාකාර කැක්කුමකින් කතා කරන්නේ අභ්‍යන්තරයෙන් දූෂිත වෙච්ච ඔය විදියේ දේශපාලන චරිත තමයි.

eyen47qivzw3ostaqhln

Macbeth Effect – දූෂිතයෝ බාහිර පිරිසිදුකම සොයා යති

විජය ධර්ම ශ්‍රී ගේ ගුරුගෙදර කියන සිනමා පටය ඔබ නරඹලා තියෙනවා නම් ඔබට මතක ඇති අශෝක පීරිස් කියන දක්ෂ චරිතාංග නළුවාට හිමිවෙලා තිබුණු චරිතය. මේ සිනමා පටයේ අශෝක පීරිස්ට හිමිවෙන්නේ සුදු චරිතයක් නෙමෙයි. සිනමා පටයේ ඔහු මුල්ගුරුවරයා වුණත් ඔහුගේ චරිතය පුරාම තියෙන්නේ නරුම ලක්ෂණ. ඒත් ඔහු අදින්නේ සුදෝ සුදු ජාතික ඇදුම. ඔහු නිතර නිතර අත සෝදනවා. අත සෝදලා පිහදාන්නෙත් සුදෝ සුදු සළුවකින්. අභ්‍යන්තරිකව අපිරිසිදු මිනිස්සු ශාරීරික පිරිසිදුකම (Physical Hygiene) මතු කිරීම තුළින් ඒ අභ්‍යන්තර අපිරිසිදුකම වහගන්න දරන උත්සාහය තමයි අධ්‍යක්ෂවරයා අපිට එතැනදී පෙන්වන්නේ. සාමාන්‍ය ජීවිතයේ ගත්තම ශාරීරික පිරිසිදුකම පවත්වාගෙන යන එක ඒ තරම්ම අමාරු වැඩක් නෙමෙයි. ඒත් වඩාත්ම වැදගත් ඒ වගේම වඩාත්ම දුෂ්කර කාරණාව තමයි මානසික පිරිසිදුකම එමෙත් නැතිනම් මානසික යහපැවැත්ම (Mental Hygiene) පවත්වාගෙන යාම. මේ මානසික පිරිසිදුකම අන්තයටම වැටුණු මිනිස්සු පහුගිය මැතිවරණයේ දී අහුරු ගණන් ඔබට හමුවෙන්න ඇති. කතා කරන්නට ලැබෙන්නට ඇති. (පශ්චාත් මැතිවරණයෙන් පස්සේ මේ අය ආපහු සැරයක් පුරුදු විදියටම දාර්ශනිකයන් බවට පත්වෙනවා, බරසාර තර්ක විතර්ක ඉදිරිපත් කරනවා, සමාජ ක්‍රමය වෙනස් කරන්න ඕන හැටි ගැන කතා කරනවා…. ඒත් ඒ ආපහු මැතිවරණයක් එනකම් විතරයි).

Viktor-Frankl

Viktor Frankl

අවුෂ්විට්ස් වධකාගාරය ඇතුලු නාසි වධකාගාර හතරක ජීවිතයත් මරණයත් අතර දෝලනය වෙච්ච ත්‍රාසජනක ජීවිතයක් ගත කරපු Viktor Frankl කියන යුදෙව් ජාතික මහාචාර්යවරයා තමන්ගේ Man’s Search for Meaning පොතේ මේ කියන Mental Hygiene කියන කරුණ ගැන අපූරු විවරණයක් කරනවා. හිට්ලර් සහ යුදෙව් ඝාතන ගැන කොයි තරම් පොත් පත් කියවා තිබුණත් මේ කෘතිය මා කියවූ ඒ හැම කෘතියකටම වඩා වෙනස්. ඒකට හේතුව මේ කෘතිය පුරාම ඔහු යුදෙව් සංහාරය පෙන්වා දෙන්නේ සායනික දෘෂ්ටි කෝණයකින් හින්දා. Viktor Frank කියන්නේ ස්නායු චිකිත්සාව, මනෝ චිකිත්සාව වගේම දර්ශනය කියන විෂය ක්ෂේත්‍ර ගණනාවකම මහාචාර්යවරයෙක්. අවුරුදු තුනකටත් වඩා කාලයක් යුද්ධය ඉවර වෙනකල්ම නාසි සිරකදවුරුවේ සිරකරුවෙකු වෙන වික්ටර්ගේ දෙමව්පියන්, පවුලේ සාමාජිකයන්, වගේම බිරිද පවා ඉතා කුරිරු විදියට මේ සිරකදවුරු වලදී ඝාතනයට ලක්වෙච්ච බව ඔහු දැනගන්නෙත් යුද්ධය නිම වුණාට පස්සෙයි. මානසික යහපැවැත්ම බිද වැටුණු යුදෙව් සිරකරුවන් තමන්ගේ දෑස් හමුවේ මිය ගිය හැටි සංවේදීව විස්තර කරන වික්ටර් තමන් හැම මොහොතකම Mental Hygiene පවත්වාගෙන යන්න දරපු උත්සාහය Man’s Search for Meaning පොතින් විස්තර කරනවා.  යුද්ධයෙන් පසුව තමන්ගේ අත්දැකීම් ඇසුරින් ඔහුම සොයා ගත් මානසික චිකිත්සා ක්‍රම කිහිපයක්ම අදත් ලෝකය පුරාම මනෝ සායනවල සාර්ථකව භාවිත කරනවා.

මේ විදියේ  Mental Hygiene එකක් ඒ කියන්නේ මානසික යහපැවැත්මක් පවත්වා ගෙන යන්න, ඒ වගේම තමන්ගේ System 2 යහපත්ව පවත්වාගෙන යන්න හැමෝටම බැහැ. ඒක හරිම අමාරු වැඩක්. උසස් නාට්‍යයක්, උසස් සාහිත්‍ය කෘතියක්, උසස් සිනමා පටයක් රස විදින්න පුලුවන් සමාජයේ කීයෙන් කී දෙනාටද? බුදුන් වහන්සේ පවා ධර්ම කාරණාවක් පැහැදිලි කරන්න උත්සාහ කළේ තමන් ඉදිරිපිට ඉන්න ශ්‍රාවක පිරිස ගැන තක්සේරුවක් අරගෙනයි. මොකද හැම දෙයක්ම හැම දෙනාටම තේරෙන්නේ නැහැනේ. තේරුම් ගන්න බැරිකමක්ම නෙමෙයි. තේරුම් ගන්න තරම් මොළය පාවිච්චි කරන්නත් කුසීතයි. සමාජයේ අද වැඩිපුරම ඉන්නේ ඒ වගේ අය තමයි.

ඔබ දකිනවා ඇති කිසිම සංයමක් නැති දේශපාලන සංවාද, අතිශය අවර ගණයේ මියුසික් වීඩියෝ, කුනුහරුප බණ නරඹන පිරිස් සමාජයේ කොයි තරමක් නම් ඉන්නවාද කියලා. මේ දේවල් විවේචනය කර කර නමුත් ඔවුන් ඒවා නරඹනවා. ඒකට හේතුව කොයි තරම් දාර්ශනික දේවල් කතා කළත්, තමන් කොයි තරම් උගත් කියලා පෙන්නුවත්, කොයි තරම් දියුණු රසවින්දයක් තියෙනවා කියලා පෙන්නුවත් ඒ හැම දෙයක්ම මවාපෑමත් විතරයි. System 1 මිසක් System 2 එකට කිසිම ඉඩක් ඒ හිත්වල නැහැ. එහෙම හිතකට Mental Hygiene පවත්වාගෙන යන්න කොහෙත්ම බැහැ. ඒ නිසා කිසියම් කරුණකදී ඔබ දරන මතය ජනප්‍රිය මතයට වඩා වෙනස්ව ගිය එකක් නම් ඔබට ලෙහෙසියෙන්ම පුලුවන් ඔබ ගැනම සතුටු වෙන්න. ඒකට හේතුව ජනප්‍රිය දේ හරි දේම නොවෙන හින්දා. හරියට ජනප්‍රිය නළුවයි, හොදම නළුවයි වගේ. රූපකාය තිබුණාම ඇති ජනප්‍රිය නළුවා වෙන්න. ඒත් හොදම නළුවා වෙන්න නම් ප්‍රතිභාව ඕනෙමයි. ඒ වගේම තමයි හරි දේ කළාම දැනෙන සැහැල්ලුව ජනප්‍රිය දේ කරලා ලැබෙන ත්‍රිල් එකට වඩා බොහොම ඈතට ගිය දෙයක්. ඔබේ පුද්ගලික ජීවිතයේදී, ඔබේ දූ දරුවන්ගේ කටයුතු වලදී, දේශපාලනයේදී ඔබත් ඉන්නේ ජනප්‍රිය මතවාද එක්ක අත්වැල් බැදගෙනනම් ඔබේ ජීවිතයත් තවත් එක් සාමාන්‍ය ජීවිතයක්ම විතරයි. ඉතිහාස පොත පතවලට චරිත පවා ඇතුලු වෙන්නේ සාමාන්‍ය ජන මනසෙන් ඔබ්බට ගිහින් හිතපු මිනිස්සු, එහෙමත් නැනිනම් ගලා යන ජල ප්‍රවාහයට එරෙහිව සටන් වැදුනු මිනිස්සුන්ගෙන් මිසක් රැල්ලේ පාවෙලා ඔහේ ගහ ගෙන යන මිනිස් පරාණවලින් නෙමෙයි.

FB_IMG_1544108571459

ඔබේ මතය සම්මත මතයත් එක්ක පෑහෙන්නේ නැතිනම් තනිව ගමනේ යන්න කියන කාරණාව මුලින්ම ලොවට කිව්වේ බුදුන් වහන්සේ. (එහෙම තනිව ගමනක් යන්න ඕනේ කොහොමද කියන එක ගැටලුවක් නම් කාලාම සූත්‍රය ගුරු කොට ගන්න පුලුවන්). ඒත් ඒ ගමනට ගමන් සගයෙක් එකතු කරගන්නට ඔබේ හිත තුළත් අදහසක් තියෙනවා නම් ඒක ඒ තරම්ම පහසු කාර්යයකුත් නෙමෙයි. ඒකට හේතුව ඔබට කෙනෙකුගේ Physical Hygiene එක නම් සබන් කෑල්ලක් දීලා බලෙන් හරි කරවන්න පුලුවන්. ඒත් කොහොමද Mental Hygiene එක හදන්නේ? ඒ කියන්නේ System 1 එක off කරලා System 2 එක on කරන්නේ‍‍‍‍‍‍‍‍‍‍‍‍? මේ නිසා තමයි ඇතැම් තැන් වලදී බුදුන් වහන්සේ පවා නිහඩව හිටියේ. ඒ නිසා ඔබට නොගැලපෙන සංවාද, සාකච්ඡා, තර්ක විතර්ක විතරක් නෙමෙයි ප්‍රියසාදවලින් පවා වැළකිලා වෙන්ව ඉන්න එක ඔබේ Mental Hygiene එක පවත්වාගෙන යන්න හොදම බෙහෙතක්.

මේකට හොදම උදාහරණයක් මෑත ඉතිහාසයෙන් ගන්න පුලුවන්. ඔබ අහලා ඇති ස්පාටකස් ගැන. ඔහු රෝමානු යුද වීරයෙක්. ඒත් පාලකයන්ගේ පැත්තෙක් ගත්තම ඔහු ද්‍රෝහියෙක්. ඒකට හේතුව ඔහු තමන්ගේ මුලු ජීවිත කාලය පුරාම සටන් කළේ වහල්‍‍භාවයට එරෙහිව හින්දා. ස්පාටකස් චරිතකතාවේ එක් අවස්ථාවක ඔහු වහලුන් අමතලා මේ විදියේ කතාවක් කරනවා.

“එන්න අපි නිදහස උදෙසා සටන් වදිමු”

වහලුන් පෙරලා ඔහුගෙන් මෙසේ ප්‍රශ්න කරනවා.

“මොකක්ද නිදහස කියන්නේ? මෙහෙම හොදයිනේ”.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )