මාරාන්තිකයි… ප්‍රතිකාර සීමිතයි

three_ducks.jpg

(ඡායාරූපය – Wikimedia Commons)

තාරාවන් තුන් දෙනෙක් එක පේළියට ගමනක් යනවා. ඉස්සරහින්ම යන තාරාවා කියනවා මට පිටිපස්සෙන් තවත් තාරාවන් දෙන්නෙක් ඉන්නවා කියලා.

මැදින් යන තාරාවා කියනවා මට ඉස්සරහින් තාරාවෙක් යනවා. පස්සෙනුත් තව තාරාවෙක් යනවා කියලා.

අන්තිමටම යන තාරාවා කියනවා මට ඉස්සරහින් තාරාවන් දෙන්නෙක් යනවා. පිටිපස්සෙනුත් තාරාවන් දෙන්නෙක් යනවා කියලා.

කොහොමද එහෙම වෙන්නේ? ප්‍රශ්නය අහන්නේ ඔබෙන්.

අපි දන්නවා ඇලුමිනම් භාජනයක් ලණුවකින් ගැට ගහලා බිම දිගේ ඇදගෙන යද්දී ටක ටක සද්දයක් ඇහෙනවා. ඒත් භාජනය ගැට ගහලා තියෙන ලණුව අපි වටේ වේගයෙන් කැරකුවොත් භාජනය බිම ගැටෙන්නට ඉඩක් නැති නිසා ඒ සද්දය ඇහෙන්නේ නැහැ. හිතන්න භාජනය ගැට ගහපු ලණුව බල්ලෙකුගේ වලිගයේ අමුණනවා කියලා. ටක ටක සද්දය ඇහෙන්නේ නැති වෙන්න නම් බල්ලා කොයි තරම් වේගයකින් දුවන්නට ඕනේද?

ඔන්න තවත් ප්‍රශ්නයක්.

හරි හතරැස් සිදුරකට ඒ හා සමානම ඉඩ ප්‍රමාණයක් තියෙන පයිප්පයක් සවි කරන්නට පුලුවන්ද? හැබැයි කිසිම ඉඩක් ඉතිරි නොවන විදියට.

මේ ප්‍රශ්න වලට ඔබ කවර පිළිතුරක් දුන්නත්, මේ ප්‍රශ්න පසුපස්සේ තියෙන්නේ සායනිකව ඔප්පු කළ බොහොම බරපතල මනෝ විද්‍යාත්මක සිද්ධාන්ත කිහිපයක්.

අර මුලින්ම කිව්ව තාරාවන්ගේ උදාහරණය අරගෙන බැලුවොත්, ඒ ප්‍රශ්නයට පිළිතුර හරිම සරලයි. අන්තිමට යන තාරාවා කියන්නේ බොරු. උත්තරය අපිට හොයා ගන්න බැරි වුණා නම් ඒකට හේතුව තමයි එතැන තිබුණු හැම කාරණාවක්ම ගැනම විශ්වාසය තබන්න අපි පෙළඹීම. ප්‍රශ්නයකට විසදුමක් හොයා ගෙන යද්දී තියෙන ප්‍රධානතම බාධාව තමයි වැරදි තොරතුරු මත විශ්වාසය තැබීම. ඒක අපේ ජීවිතයේ හැම සිදුවීමකටම වගේම යමක් ගැන තීරණයක් ගනිද්දී බොහොම වැදගත් වන සාධකයක්.

බල්ලාගේ ප්‍රශ්නයට උත්තරය හමුවුණාද?

උත්තරය බිංදුවයි. ඒ කියන්නේ බල්ලා දුවන්නේ නැතිව ඉන්න ඕනේ. මෙතැනදී අපිට උත්තරය හොයා ගන්න අමාරු වෙන්න එක කාරණාවක් තමයි අපි චිත්ත රූප මවා ගන්නවා බල්ලා කියන සතා ගැනත් උගේ දිවීම ගැනත්. ඒ කියන්නේ බල්ලෙක් නම් දුවන්න ඕන කියලා. ඒත් මෙතැනදී බල්ලා අනිවාර්යයෙන්ම දුවන්නට ඕනේ නැහැ. ඒ කියන්නේ බල්ලාගේ වේගය බිංදුව වෙන්නට ඕනේ.

පයිප්පය ගැන කාරණාවේදී අපිට උත්තරය දෙන්න අමාරු වෙන්නේ බොහොම දේවල් ගැන දැනටමත් අපි හිතින් මවාගෙන ඉන්න චිත්ත රූප නිවැරදි නොවීම හින්දා. අපේ හිතේ තියෙන චිත්ත රූප ඇත්තය කියලා අපි විශ්වාස කරන නිසා වෙනස් විදියකින් හිතන්නටවත් අපි කැමැති නැහැ. හරියට පයිප්පයක් කියන්නේ හැම තිස්සෙම රවුම් දෙයක් කියලා හිතුවා වගේ. ඒත් ඇත්තටම පයිප්පයක් රවුම්ම වෙන්න ඕනේ නැහැ. හරි හතරැස් පයිප්ප ඕන තරම් තියෙනවා.

ඔය කිව්ව හැම අවස්ථාවකදීම අපිට උත්තරය දෙන්න අමාරු වුණා නම්, ඒකට පාදක වෙන්න බලපෑ ප්‍රධාන හේතුවක් විදියට මනෝ විද්‍යාවේදී විග්‍රහ කෙරෙන්නේ මානසික අවස්ථිතිය එහෙමත් නැතිනම් Mental Inertia කියන කාරණාවයි. Mental Inertia කියන වචනය සම්මත ශබ්ද කෝෂයකින් පරීක්ෂා කළොත් ඔබට ලැබෙන්නේ වෙනස් වීමට තියෙන අකමැත්ත එහෙමත් නැතිනම් වෙනස් වෙන්නට උවමනාවක් නැතිකම වගේ අදහසක්. (a tendency to do nothing or to remain unchanged). සරලව කියනවා නම් අලුත් විදියට හිතන්න, අලුත් විදියට දකින්න, ගතානුගතික ආකල්පවලින් මි‍දෙන්න ති‍යෙන බලවත් ‍‍නොකැමැත්ත. එ‍හෙමත් නැතිනම් ‍ඒ විදියට ‍වෙනස් ‍වෙන්න ති‍යෙන ‍නොහැකියාව.

මානසික අවස්ථිතිය විවිධාකාරයි. ඒ නිසාම ඒ ඒ මානසික අවස්ථිතීන් විග්‍රහ කෙරෙන උදාහරණත් ඕනෑ තරම්.

අපි හිතමු ‍එළිය බිදක්වත් එළියට ‍කාන්දු නොවෙන විදියට ‍හොදින් වැසූ කාමරයක් ඇතු‍ළේ විදුලි පහන් පහක් සවිකරලා ති‍යෙනවා කියලා. කාමර‍යෙන් පිටත ‍මේ බල්බ පහට අදාළ යතුරුත් (ස්විච්) ති‍යෙනවා කියලා හිතමු. ‍කාමර‍යේ එළි‍යේ ඉදන් ‍මේ ස්විච ක්‍රියාත්මක කළත්, ආ‍ලෝකය ඔබට එළියට ‍පෙ‍නෙන්නේ නැතිනම් ඔබට පුලුවන් කමක් ති‍යෙනවා ද ඔබ ක්‍රියාත්මක කළ ස්විචය අයිති ‍මොන බල්බයටද කියලා කියන්න? ස්විචයන් ක්‍රියාත්මක වෙලා නැති මොහොතක ඔබට එකම එක වතාවක් විතරක් කාමරය ඇතුළට යන්න පුලුවන්.

‍මේකටත් පිළිතුර සරලයි. විදුලි බල්බයක් කිව්ව සැනින්ම අ‍පිට මතකයට එන්‍‍නේ ආ‍ලෝකය. ඒත් දැකීම විතරක්ම ‍නෙ‍මෙයි අ‍පිට දැනුම ලබාගන්න ති‍යෙන එකම මාර්ගය. විවිධාකාර සං‍වේදන අපට ති‍යෙනවා අපි හිතන පතන විදිය සකස් කරගන්න. ස්පර්ශයත් එයින් එකක්. උත්තරය පැහැදිලියි ‍නේද? ඔබ සුලු ‍මො‍හොතක් දල්වා නිවා දැමූ විදුලි පහන ඔබට ස්පර්ශ‍යෙන් හදුනා ගන්නට පුලුවන්. ‍අපි හිතන ක්‍රමය නිර්මාණශීලී නම් ‍මේ ව‍ගේ ‍දේවල් වටහා ගන්න  හරිම ‍ලේසියි.

මේ මානසික අවස්ථිතිය කියන්නේ රෝගයක්ද? ඔව්,  බරපතල රෝගී තත්ත්වයක්. ඒකෙන් අදහස් වෙන්නේ නැහැ ඔය කිව්ව ප්‍රශ්න වලට පිළිතුරු නොදුන් පමණින් අපි මානසික අවස්ථිතියෙන් පෙළෙනවා කියලා. ඒත් මේ රෝගී තත්ත්වයට පාදක වෙන ඔය කිව්ව විදියට හණ මිටි අදහස්වල එල්බ ගෙන නිර්මාණාත්මක චින්තනයෙන් හීන වීම කියන කාරණාව මුළු මහත් සමාජ දේහයම රෝගී කරන බරපතලම රෝගී තත්ත්වයක්. ඇත්තම කාරණාව නම් අපේ සමාජ‍යේ ‍බො‍හෝ ‍දෙනා ‍මේ ‍රෝග‍යෙන් ‍පෙ‍ළෙන අසාධ්‍ය ‍රෝගීන් වීම.  ඒක බරපතලම තත්ත්වයක් බවට පත්වෙලා තියෙන්නේ තමන් මේ ව‍ගේ ‍‍රෝගයකින් පෙ‍ළෙනවාය කියන කාරණාව ගැන කිසිම අවබෝධයක් තමන් තුළ නැතිවීම හින්දා. අපි හීනෙකින්වත් හිතන්නේවත් නැහැ අපි එහෙම අසනීපයකින් පෙළෙනවාය කියලා.

ගතානුගතික ආකල්ප වලින් මිදිලා සමාජ විප්ලවයකට පාර කැපුණු 1900 ගණන් වලදී නැපෝලියන් හිල් කියන සුප්‍රකට ඇමරිකානු ගත්කතුවරයා කිව්ව දෙයක් තමයි මේ කියන මානසික අවස්ථිතිය තරම් අතිශය සාමාන්‍ය වූත්, අතිශය ඛේදනීය වූත් තවත් දෙයක් නැහැ කියන එක. “Nothing is more tragic – or more common – than mental inertia.” Napoleon Hill )

ඊට සියවසක් විතර පහුවුණාට පස්සේ ඇල්බට් අයින්ස්ටයිනුත් ඔය කාරණයම වෙනත් විදියකට කිව්වා. වෙනසකට මුල පුරන තාක්කල් කිසිවක්ම වෙනස් වෙන්නේ නැහැ කියලා. (Nothing happens until something moves – Albert Einstein). හරියට නිව්ටන්ගේ තුන්වැනි නියමයට වෙනත් අර්ථ දැක්වීමක් දුන්නා වගේ.

තමන්ගේ ජීවිතයේ විතරක් නෙමෙයි සමාජයේ වුණත් ධනාත්මක එහෙමත් නැතිනම් ගුණාත්මක වෙනසක් ඇති කරන්නට ඕනේ නම් ඒකට මුල්ම පියවර තමයි මානසික අවස්ථිතිය කියන රෝගයෙන් තමනුත් පෙළෙනවාද කියන එක හදුනා ගන්න එක. එහෙම හදුනා ගෙන රෝගයෙන් මිදෙන්න උවමනාව ඇති කරගත්තොත් ඒකෙන් මිදෙන්න හරිම පහසුයි. පහසුයි විතරක් නෙමෙයි ඒ සැහැල්ලුව, ඒ ආලෝකය තමන්ගේ මුලු ජීවිතය පුරාම විහිදී යන හැටිත්, තමන් අපේක්ෂා කරන ජීවිතයත්, තමන් අපේක්ෂා කරන සමාජයත් තමන් ඉදිරියේම ගොඩ නැගෙන හැටිත් දකින්න පුලුවන්.  ඒත් මානසික අවස්ථිතිය කියන රෝගයෙන් තමන් පෙළෙනවාද කියන එක වටහා ගන්නවත් මොහොතක කාලයක්වත් මිඩංගු කරන්න තමන් කැමැති නැතිනම් තමන්ගේ ජීවිතයේ බොහොමයක් ස්වර්ණමය අවස්ථාවන් ගිලිහී යනවා විතරක් නෙමෙයි, තමන් ජීවත් වන සමාජයම අදුරේ හෙළන්නත් ඒ වගේ අය සක්‍රියව දායක වෙනවා.

මෑතකදී මට හරිම අපූරු පොත් දෙකක් කියවන්නට ලැබුණා. එයින් එක් පොතක් තමයි “Mindset: The New Psychology of Success”.  මේ පොත ලියලා තිබුණේ ස්ටැන්ෆර්ඩ් (Stanford) සරසවියේ මනෝවිද්‍යාඥවරියක විදියට සේවය කරන Carol Dweck. මේ පොතින් ඇය හදුන්වලා දෙනවා සමාජයේ අපි හැමෝම කොටස් දෙකකට අයිතියි කියලා. එයින් එකක් තමයි වෙනස් නොවන මානසික තත්ත්වයක, ඒ කියන්නේ Fixed Mindset එකක් තියෙන අය. මේ අය වෙනස් වෙන්න පොඩ්ඩක්වත් කැමැති නැහැ. වෙනස් වෙන්න හිතන්නත් බයයි. මේ අය හිතන්නේ පතන්නේ තමන්ට හිතන්න පතන්න පුරුදු පුහුණු කරන විදියට. ලංකාවේ දේශපාලනයේ දී නම් මේ අයව හදුන්වන වචනය අපි දන්නවානේ, ඔව් වහල්ලු කියන්නේ ඒ අයට.

දෙවැනි කොටස තමයි වර්ධනය වන මානසික මට්ටමක (Growth mindset) ඉන්න අය. මේ අය වයසින්, අත්දැකීම්වලින් හැම දෙයක්ම උකහා ගන්නවා. ඉගෙන ගන්නවා. තමන්ගේ ජීවිත වලට, සිතිවිලි වලට ඒ දේවල් බද්ධ කරගෙන තමන්ගේ ජීවිතය ආලෝක කරගන්නවා. ඒ අයට හරිම පහසුයි තමන්ගේ ජීවිතයේ දී වගේම දේශපාලනය කියන කරුණු කාරණා වලදීත් නිදහස් නිවහල් තීරණ ගන්න. සරසවිවලදී පවා අලුතින් එන සිසුන්ගෙන් බොහොම දෙනෙක් සරසවියෙන් නොමිලයේ ලබා දෙන බාහිර දැනුම සහිත පාඨමාලා ගන්න මැලිවෙන ආකාරය කැරොල් මේ පොතින් පෙන්වලා දෙනවා. ඒ විදියට නව දැනුම ලබා ගන්න මැලිවෙන අයට වඩා බොහොම පහසුවෙන් නව දැනුම සොයා ගෙන යන අය ජීවිතය ජය ගන්නා ආකාරය ඇය තමන්ගේ පොතින් විස්තර කර දෙනවා.

දෙවැනි පොත තමයි බොහොම මෑතකදී කේම්බ්‍රිජ් සරසවියෙන් ප්‍රකාශයට පත්කරපු , “Thinking Skills – Critical Thinking and Problem Solving” කියන පොත. මේ පොත ලියල තියෙන්නේ John Butterworth සහ Geoff Thwaites කියන විද්‍යාර්ථින් දෙන්නෙක් එකතු වෙලා. ඔවුන් පෙන්වලා දෙන විදියට Critical Thinking එහෙමත් නැතිනම් විචාරශීලී  / විචක්ෂණශීලී විදියට හිතන්න පතන්න නම් මුලින්ම අපි කරන්න ඕන දෙය තමයි අපි ඉදිරියේ තියෙන කරුණු කාරණා හොදින් අර්ථ නිරූපණය කර ගැනීම. තර්කනය මෙහෙවමින් තව දුරටත් ඒ ගැන සිත තුළින් සංවාදක යෙදීම. (The main strands of critical thinking are: analysis (interpretation), evaluation and further argument.)  ඒ වගේම එවැනි චින්තනයක් සහිත මනසක් ගොඩ නගා ගන්නට නම් තමන්ගේ මනස විවෘත වෙන්න ඕනේ. ස්වාධීන වෙන්න ඕනේ. දැනුමින් සන්නද්ධ වෙන්න ඕනේ. (Critical thinking is characterized by being: fair and open-minded; active and informed; skeptical; independent). මේ කරුණු කාරණා විෂය මාලාවක් විදියට හදාරන්න කැමැති අයට විශේෂයෙන් වෙන්වුණු විෂයක් පවා බටහිර ලෝකයේ සරසවි බොහොමයක පවත්වා ගෙන යනවා. සාමාන්‍ය ව්‍යවහාරයේදී critical thinking කියලා හදුන්වන එම වහර ඔය කියන සරසවි පාඨමලාවේදී කැපිටල් CT (Critical Thinking) කියලයි හදුන්වන්නේ. Thinking Skills කියන ඔය කිව්ව පොතේ ඒ විදියේ විචක්ෂණශීලී චින්තනයක් තමන්තුළ ගොඩ නගා ගන්න උදව් උපකාර කරණ මූලිකාංග බොහොමයක් දීර්ඝ විදියට සාකච්ඡා කෙරෙනවා.

හොදයි, අපි ආපහු සැරයක් අපේ මූලික මාතෘකවට එමු. මානසික අවස්ථිතිය රෝගයක් නම් මේ රෝගයට ප්‍රතිකාරයක් ඇත්තේම නැද්ද? ප්‍රතිකාර තියෙනවා.

අපි දන්නවා ඒඩ්ස් රෝගය කියන්නේ ශරීරයේ ප්‍රතිශක්තිය ක්ෂය වී යාමේ රෝගයකට. ඒ නිසා ඒඩ්ස් රෝගයට ගොදුරු වෙච්ච කෙනෙකුට සෙම්ප්‍රතිශ්‍යාව වගේ සුලු රෝගී තත්ත්වයක් වුණත් ඇති මරණය කරා ගෙන යන්න. ඒ නිසා ඒඩ්ස් රෝගය වැළදුනු කෙනෙකු මිය යන්නේ ඒ රෝගය නිසා නෙමෙයි, ඔය විදියේ වෙනත් කිසියම් සුලු රෝගී තත්ත්වයක් උත්සන්න වෙලා. මේ ගැන අවබෝධයක් අපිට නැතිනම් අපි හිතන්නේ රෝගියා මිය ගියේ නිවුමෝනියාවෙන්, මැලේරියාවෙන් එහෙමත් නැතිනම් වෙනත් වෛරසයක ආසාදනයකින් කියලා. මානසික අවස්ථිතියත් එහෙමම තමයි. ඒ නිසා රෝග ලක්ෂණ දැක දැක අපි හිතන්නේ ඒ වෙනත් ලෙඩක ප්‍රතිඵලයක් කියලා. ඇයි අපි දන්නේ නැහැනේ අසනීපය තියෙන්නේ අපි ලග කියලා.

කොහොමද හරියටම කියන්නේ අපිත් මේ රෝගයට ගොදුරු වෙලා කියලා?

හරිම පහසුයි. කලින්ම බලමු මොනවද රෝග ලක්ෂණ කියලා. තනි තනි අපි තුළ තියෙන මේ මානසික අවස්ථිතියේ රෝග රෝග ලක්ෂණ අවසානයේ දී ප්‍රකට වෙන්නේ අපි එදිනෙදා ජීවත් වෙන සමාජයෙන්. ඒ මෙන්න මෙහෙමයි.

ඔබට පැය ගණන් ළතවෙලා දුම්රියේ, බස්රියේ එල්ලිලා වැඩට යන සිද්ධ වෙනවා නම්, ප්‍රභූන් නඩයට පාර වහනකම් දාඩියෙන් තෙත්වෙලා ඔබේම වාහනේ හිරවෙලා ඉන්න වෙනවා නම්, දේශපාලකයන් මහ දවල් රට හොරා කද්දී ඒ අය වෙනුවෙන්ම කොඩි වැල් අදිමින් හිගා නොකා හිගා කන මිනිස් කුලකයට ඔබත් අයිතියි නම් (මුහුණු පොත හරහා අන්තර්ජාලයේ රෙදි ඇපිල්ලීමත්, බත් පැකට් එක වෙනුවෙන් පෙළපාලි යෑමත් එකක් මිස දෙකක් නොවන බවත් අමතක කරන්නට එපා), නෙළුම් කුලුන වෛවර්ණයෙන් බබළද්දී කුලුන පාමුල දෙනෝ දාහක් දෙනා කුසගින්නේ මියයන රටක ඔබ ජීවත් වෙනවා නම්, රටේ සෞඛ්‍ය ඇමතිවරයා විතරක් නෙමෙයි වෙන්න ජනපති අපේක්ෂකයෝ පවා උණට හෙම්බිරිස්සාවට සිංගප්පූරුවේ මවුන්ට් එළිසබෙත් රෝහලට දුවද්දි මහරෝහලේ ඇදන් යට බිම නිදාගෙන ඒ අය වෙනුවෙන්ම කතිරය ගහන්න ඔබත් සූදානම් නම්, තමන්ට සුරතල් බල්ලෙක් ලෝකේ අනිත් කෙළවරින් ගෙන්න ගන්න රටේ ප්‍රධානතම ගුවන් සේවාව කුලී රථ සේවාවක යොදවන රටක දරුවන්ට එක වේලක් කන්නට දෙන්න කුඹුරු කෑල්ල උකස් කරන මිනිස්සු ප්‍රවෘත්තියක් විදියට හරි ඔබට අහන්නට ලැබෙනවා නම් ඒ කියන්නේ අනිවාර්යයනේම ඔබ ජීවත් වෙන සමාජයේ බහුතරයක් ඒ රෝගයේ ගොදුරු. ඔය කිව්ව කරුණු කාරණා තමයි නිසැක රෝග ලක්ෂණ. ඒ නිසාම ඔබ නොදැනුවත්වම ඒ රෝගය ඔබටත් වැළදී තිබීමේ අවදානම බොහොම ඉහළයි. අමතක කරන්න එපා, සමාජයක් විදියට ගත්තම මේ රෝගය මාරාන්තිකයි. මුලු මහත් අනාගත පරම්පරාවක්ම සදාකාලික බෙලහීනයන්, ආබාධිතයන් බවට පත්කරන්නට තරම් බරපතලයි. ඒ නිසා තමන්ට උවමනා නොවුනත් අඩුම තරමින් තමන්ගේ දූ දරුවන් ගැන හිතලා හරි මේ රෝගයට ප්‍රතිකාර ගැනීම, ප්‍රතිකාරවලට යොමුවීම සමාජය වෙනුවෙන් කරන්නට ඕන සත්කාරයක්.  ඒ වගේම තමයි මානසික අවස්ථිතියට ගොදුරු වෙච්ච කෙනෙකු එකෙන් මුදවා ගන්නට දායක වෙන්න අපිට පුලුවන් නම් ඒකත් එක්තරා ආකාරයක පිංකමක්.

දැන් අපි බලමු කොහොමද මේ රෝගයෙන් මිදෙන්නේ කියලා.

මනෝ වෛද්‍යවරුන් පෙන්නලා දෙන විදියට මානසික අවස්ථිතිය කියන රෝගයෙන් මිදෙන්න මෙන්න මේ වගේ ප්‍රතිකාර භාවිත කරන්නට පුලුවන්. මොනවා හරි දෙයක් ගැන තමන්ගේ හිත තුළ තියෙන ස්ථිරසාර ආකල්ප අභියෝගයට ලක්කිරීම. හරියට අර කලින් කිව්ව උදාහරණයේ දී හැම පයිප්පයක්ම රවුම් කියලා ස්ථිරසාර හිතිවිල්ලක හිරවෙලා හිටියා වගේ. (Having a fixed version of the solution or root) අයියා නැතිනම් අපි ඡන්දෙ දෙන්නේ ඒ අයියගේ මල්ලියට. එහෙමත් නැතිනම් ඒ අයියගේ පුතාට, අයියාගේ බිරිදට, ඒ අයියාගේ අයියාට විතරමයි, කොටින්ම කිව්වොත් ඒ අයියගේ පවුලෙන් පිට කෙනෙකුට අපි ඡන්දෙ දෙන්නෙම නැහැ කියලා හිතාගෙන ඉන්නවා වගේ. ඒ පවුලේ අය මිය ඇදුනත් පිං තකා කියලා ඒ නමට ඡන්දය දෙන්නත් මේ වගේ රෝගීන්ට බැරි කමක් නැහැ. මහත්තයා මැරුණම වැන්දඹු බිරිදට, තාත්තා මැරුණම පුතාට ඡන්දය දෙන්නෙත් අලුතින් හිතන්න තරම් පිටකොන්දක් එහෙමත් නැතිනම් ධෛර්යයක් නැති ඔන්න ඔය ආකාරයේ රෝගීන්.

දෙවැනියට අපි වැරදි සහගත උපකල්පන වලින් (False assumptions) මිදෙන්නට ඕනේ. තාරාවන්ගේ කතාවේදී හැම තාරාවම කියන්නේ ඇත්ත කියලා හිතුවා වගේ. අවුරදු 71 ක් තිස්සෙම හිතුවා වගේ හොරු ටික එකතු වෙලා රට කවදා හරි හදාවි කියලා හිතනවා වගේ.

නිර්මාණාත්මක චින්තනයේ දුබලතාව, දැනුමේ අද බාල බව එහෙමත් නැතිනම් ළද බොළද බව, සීමිත දැනුමක් තුළ සිරවීම, තාර්කික චින්තනය මොට වීම වගේ කාරණාත් මේ රෝගය උත්සන්න කරනවා. මේ ගැන විශේෂයෙන් කියන්න දෙයක් නැහැ, මුහුණු පොතේ ටික වෙලාවක් එහාට මෙහාට ගියොත් බලාගන්න පුලුවන් සමාජයේ කොයි තරම් නම් කොටසක් මේ රෝගයට ගොදුරු වෙලා කරවටක් ගිලිලා ඉන්නවාද කියලා.

මනෝ වෛද්‍යවරුන් පෙන්වලා දෙන විදියට මේ රෝගයේ තවත් ප්‍රබලතම රෝග නිධානයක් තමයි නම්‍යතාවයක් නැති වීම. එහෙමත් නැතිනම් කිසියම් පුද්ගලයෙකු හෝ මතවාදයක් දේවත්වයෙන් සැළකීම. (Inflexibility / model worship). ඒකට විශේෂ උදාහරණ අවශ්‍ය නැහැ. සිංහලෙන් අපි වහල්ලු කියන්නේ ඔන්න ඔය පිරිසට. මෙහෙම අයම තමයි අර ජීවිතයට පාටක් නොදැක්ක අන්ධ ජ්‍යොතිෂයන්ගෙන් පවා ජය වර්ණය අහන උදවිය. ඉතින් තමන්ගේ නායකයා තිරුපති දේවාලයට ගිහින් දේව පිළිමය ඉස්සරහ බිම ඇද වැටිලා යාතිකා කළත්, වශි බෝල මිරික මිරික හිටියත්,  ඒ ඒ නඩුවට එක බැගින් බෙල්ල පුරා සුර පැළදගෙන හිටයත් ඔය කියන පිරිසට මේ අය පේන්නේ දේව ප්‍රතිමා වගේ.

අනෙක් කාරණාව තමයි තමන්ගේ සිතිවිලි කිසිසේත්ම නැවුම් නොවීම. එකම විදියකට හිතීම. වයසින් මුහුකුරා ගියත් දැනුමින්, පරිණත කමින් මුහුකුරා නොයාම. (Using the same strategy. Keep thinking the same way and you will continue to get the same result). අවුරුදු 71 ක් තිස්සේම රැවටුනා වගේ තව තවත් දැන දැනම රැවටීම. සිංහල ප්‍රස්ථාව පිරුල අනුව නම් දවල් වැටුණු වළේ රෑත් දැන දැනම වැටීම. මේ අය එක්තරා ආකාරයකින් ඇවිදින මෘතදේහ (zombies) වගේ. ඇගපතින් වයසට ගියත් මොළය මිය ගිහින්. මෙහෙම අයගෙන් පිරුණු රටකට කිසිම දවසක දියුණුවක් දකින්නට බැහැ. ඒ නිසාම තමයි මානසික අවස්ථිතිය එක්තරා දුරකට මරණයක් (Mental inertia is death) කියලා මනෝවෛද්‍යවරුන් කියන්නේ.

මනෝ විද්‍යාඥයන් පෙන්වා දෙන තවත් රෝග නිධානයක් තමයි ඉක්මනින්ම නිගමනවලට බැස ගැනීම. මේ අයට හිතන්න පතන්න තරම් ඉවසීමක්, විවේක බුද්‍ධියක් නැහැ (Rushing to a solution / incomplete thinking). මෙහෙම අය තමයි අපි කැපුවත් අර පක්ෂයේ කියන අය. හොරා කෑවත් පාරවල් හැදුවනේ කියන අය. (අඩුවෙන් හොරකම් කළ දේශපාලකයන් කියලා කොටසක් හරි හොරකම් කළත් රටට ආදරේ දේශපාලකයන් කියලා හරි දේශපාලකයන් කොටසක් නැහැ. පොදුවේ ගත්තම ඒ හැමෝම හොරු). කවුරු කිව්වත් අපේ ඡන්දෙ මෙයාට, අපේ අම්මලා තාත්තලා දුන්නෙත් ඒ පක්ෂෙට… ඒ නිසා අපි දෙන්නෙත් එයාට කියලා කියන පිරිස තමයි මේ රෝගය උත්සන්නම වෙච්ච අය. ඔය වගේ මානසික අවස්ථියෙන් පෙළෙන රෝගීන්ගෙන් සමාජ ප්‍රගමණයට අල්ප මාත්‍රයක සේවාවක් වෙන්නේ නැහැ. ඇත්තටම කියනවා  නම් ඒ අය සමාජයට බරක්.  රටේ යහපත් අනාගතයකට මරුවැල් අදින පිරිසක්.

Inertia-and-the-Mind

(රූපය webpsychologist.net වෙතිනි)

මේ කියන මානසික අවස්ථිතියට දැනුම, උගත්කම කියන කාරණාව කිසිසේත්ම අදාළ නැහැ. සමාජයක් විදියට ගත්තම උගත්තු කියන අය වගේම ප්‍රසිද්ධයි කියන අය තමයි තමන්ගේ මේ ඌනතාවය ඉහළින්ම ප්‍රදර්ශනය කරන්නේ. මෙතැනදී මූලිකවම හිතන්න ඕන දෙයක් තමයි උගත් කියන පිරිස ප්‍රඥාවන්තයන්ම නොවෙන බව. පොත් පත් කියවලා, උපාධියක් අරගෙන උගතෙක් වෙන්න පුලුවන් වුණත්, ප්‍රඥාවන්තයෙක් වෙන්න ඒ තරම්ම ලෙහෙසි නැහැ. ඒකට දැනුම විතරක් නෙමෙයි, තමන්ගේ දැක්ම, නිර්මාණාත්මක පරිකල්පන ශක්තිය, පරිණතකම වගේ හැම දෙයක්ම බලපානවා. දේශපාලනය චින්තනයේ දී නම් වහල්භාවයෙන් නිදහස් වීමත් ප්‍රඥාවන්තයෙක් හදුනා ගැනීමේ මූලික ලක්ෂණයක්.

අපි සරල උදාහරණයක් අරගෙන බලමු. පහුගිය දවසක ලංකාවේ පුවත්පත්වලත්, සමාජ මාධ්‍ය ජාලාවලත් පළවුණා ලංකාවේ කලාකරුවන් කියන බොහොම පිරිසක් එකතු වෙලා කරපු දැන්වීමක්. සම්පූර්ණ වර්ණ පිටුවක දැන්වීමක්. ජනාධිපතිවරණයේ දී තමන්ගේ සහාය ලැබෙන්නේ මෙන්න මේ අපේක්ෂකයාටයි, ඒ නිසා එයාට ඡන්දය දෙන්න කියලා තමයි ඔය කියන කලාකරුවන් තමන්ගේ රූප ටිකත් ඔබාගෙන රටේ ඡන්දදායකයන්ගෙන් ඉල්ලලා තිබුණේ. ඔය දැන්වීම පළකරද්දී ජනාධිපතිවරණයට නාමයෝජනා දීලා තිබුණේ හිටපු ආරක්ෂක ලේකම්වරයා විතරයි. වෙනත් කිසිම පක්ෂයකින් හෝ දේශපාලන සංවිධානයකින් තමන්ගේ අපේක්ෂකයා ප්‍රකාශයට පත් කරලාවත් තිබුණේ නැහැ.  ඉතින් මේ කලාකරුවන් කියන පිරිස අඩුම තරමින් වෙනත් පක්ෂවලින් හෝ ස්වාධීනව කොයි තරම් දැනුමක් හැකියාවක් තියෙන කෙනෙක් ඉදිරිපත් කළත් තමන් ඡන්දෙ දෙන්නේ කාටද කියලා කලින්ම තීරණය කරලා ඉවරයි. හරියට අර බල්ලාගේ උදාහරණයේදී වගේ. මේක බරපතල මානසික අවස්ථිතියක්. ඒ වගේම තමන්ගේ නිර්මාණාත්මක චින්තනයේ මොටකම, චින්තනයේ දුබලතාව ප්‍රදර්ශනය කිරීමක්. කලාකරුවන් කියන නමට තමන් කොයි තරම් අනුචිතද කියන කාරණාව තමයි එතැනදී ප්‍රදර්ශනය කෙරුණේ.

ඔබ දන්නවා දන්ත වෛද්‍යවරුන් (Dentist) වගේම දන්ත තාක්ෂණිකයන් (Dental Technician) කියලා කොටස් දෙකක් ලංකාව වගේ රටවල ඉන්නවා. මේ දෙවර්ගය අතර පරතරය බොහොම ඈතයි. දන්ත වෛද්‍යවරයෙක් වෙන්න උසස් පෙළ ජීව විද්‍යා අංශයෙන් ඉහළ ලකුණු ලබා ගන්න ඕන වගේම දන්ත වෛද්‍ය පීඨයේත් අධ්‍යාපනයයි, සායනික පුහුණුවයි ලබාගන්න ඕනේ. ඒත් දන්ත තාක්ෂණිකයන් ඒ මට්ටමේ අධ්‍යාපනය හෝ පුහුණුව ලබලා නැහැ. Dentist කියන එකයි Dental Technician කියන එකයි පටලවා ගත්තොත් තමන්ගේ කාර්යය ඉෂ්ට වෙන්නේ නැහැ. හරියට දෘෂ්ටි විශේෂඥයොයි (Opticians) සහ අක්ෂි වෛද්‍යවරුයි (optometrists) වගේ. (දැන්නම් චීවරධාරීන් සහ ස්වාමීන් වහන්සේලා කියලාත් දෙකොටසක් ඉන්නවානේ). ජනමාධ්‍යවේදීන් (Journalist) සහ වාර්තාකරුවන් (reporters) කියන දෙකොටසත් ඒ වගේ තමයි. ලංකාව වගේ රටක වාර්තාකරුවා කියන්නේ කියන දෙයක් ලියාගෙන එන කෙනාට, එහෙමත් නැතිනම් තමන්ගේ පත්තරේ, එහෙමත් නැතිනම් චැනල් එකේ මුදලාලිට උවමනා විදියට පෑන හරි මයික් එක හරි හසුරුවන කෙනාට. ඒත් මාධ්‍යවේදියෙක් කියන්නේ ඊට වඩා ඔබ්බට ගිය වෘත්තිය ගරුත්වයක් තියෙන පිරිසකට. ඒත් මේ වෙනකොට ජනමාධ්‍යවේදය (Journalism) කියලා දෙයක් ලංකාවේ ඉතිරි වෙලා නැති නිසා ජනමාධ්‍යවේදීන් කියලා පිරිසක් රට ඇතුළේ ඉන්න කොහෙත්ම විදියක් නැහැ.

නයි නටවන පුද්ගලයෙකුට අපි කලාකරුවෙක් කියලා කියන්නේ නැහැ. ඒත් ඔහුත් කිසියම් කලාවක් ප්‍රකට කරන ශිල්පියෙක්. රිලවෙකු නටවන පුද්ගලයෙක් වුනත් ඒ විදියේ ශිල්පියෙක්. ඉතින් අර කිව්ව දැන්වීමට තමන්ගේ මුහුණත්, අත්සනත් විකුණපු කලා ශිල්පීනුත් ඒ වගේම තමයි. ශිල්පීන්ම විතරයි. කලාකරුවෝ නම් නෙමෙයි. මොකද කලාකරුවන් කියන කොටසට තියෙන්නම ඕන දෙයක් තමයි දැක්ම කියන එක. කලාව කියන්නේ කුමක්ද කියලා ලියෝ ටෝල්ස්ටෝයි තමන්ගේ What is Art? කියන පොතෙන් විස්තර කළේ 1900 ටත් කලින්. මේ පොතෙන් කලාව විතරක් නෙමෙයි කලාකරුවෙකුගේ ලක්ෂණත් ඔහු පෙන්වලා දෙනවා. අවාසනාවන්ත කාරණාව නම් අපේ රටේ ඉන්න අතිශය ප්‍රසිද්ධ කලාකරුවන් බොහොම දෙනෙක් වැටෙන්නේ ඔය කියන ශිල්පීන්ගේ ගොන්නට. දැක්මක් කියලා දෙයක් ඇත්තේම නැහැ. ඔය කිව්ව පුවත්පත් දැන්වීමට අත්සන් කරපු හැම කලා ශිල්පියෙක්ම වගේ පහුගිය මැතිවරණ කාලය පුරාම ඔය විදියට එකිනෙකාට ඡන්දය දෙන්න කියලා පුවත්පත් දැන්වීම් වලට තමන්ගේ අත්සනත්, මුහුණත් තහඩුවත් විකුණපු මිනිස්සු. ඒ නිසා සියවස් දෙකකට කලින් ඈත අතීතයේ පවා ටෝල්ස්ටෝයි අර්ථ දක්වපු කලාකරුවා කියන උත්තම පුරුෂයන්ට මේ අය කොහෙත්ම අයිති නැහැ. මේ අයයි අර නයි නටවන එහෙමත් නැතිනම් රිලා නැටුම් පෙන්වන ශිල්පීනුයි අතර කිසිම වෙනසක් නැහැ. කලාකරුවෙක් කියලා හදුන්වන්න පුලුවන් ජනතාවට මග පෙන්වන්න පුලුවන්, එහෙමත් නැතිනම් සාමාන්‍ය ජන විඥානයෙන් ඔබ්බට ගිය නිර්මාණාත්මක චින්තන ශක්තියක් තියෙන පිරිසට. ඒත් ඔය කියන පිරිසට නැතිම දේත් තමා ඒක. සිතිවිලි නිර්මාණාත්මක නොවීම එහෙමත් නැතිනම් ගතානුගතික විදියට සිතීමේ මානසිකත්වයෙන් මිදීමේ නොහැකියාව මානසික අවස්ථිතියේ මූලිකම රෝග ලක්ෂණයක් කියන එක අපි කලින්ම කතා වුණානේ.

 

සමාජයක් විදියට අපි බරපතල මානසික අවස්ථිතියක ගිලිලා ඉන්න බව හදුනා ගන්න හොදම උදාහරණය තමයි අපේ රටේ දේශපාලනය. අර කලින් කිව්වා වගේ තාත්තගෙන් පුතාට, අම්මගෙන් දුවට, සැමියා මළ බිරිදට, අයියගෙන් මල්ලිට. මල්ලිගෙන් අයියගේ පුතාට…. කෙළවරක් නැහැ. හරියට අර පයිප්පයේ උදාහරණය වගේ. අපි හිතනවා හැම පයිප්පයක්ම රවුම් වෙන්න ඕනේ කියලා. අපිට හිතෙන්නේ නැහැ සමාජය වෙනස් කරන්න පුලුවන්, එහෙමත් නැතිනම් රටක් ගොඩනගන්න පුලුවන් විදියේ හතරැස් පයිප්පත් තියෙන්න පුලුවන් කියලා. ඉතින් සියලු පයිප්ප සිලින්ඩරාකාරයි කියන රෝගී සිතිවිල්ල නිසා තමයි දූෂකයින්, මිනීමරුවන්, මහා පරිමාණ ජාවාරම්කරුවන්, ප්‍රාථමික අධ්‍යාපනයවත් සපුරලා නැති පාදඩයන් රටේ ජනතාවගේ සියලු සැප සම්පත් භක්ෂණය කරමින් අවසානයේ දී ජීවිත කාලය පුරාම මහජන බදු මුදලින් විශ්‍රාම සුවය විදින්නේ. ඔන්න ඔය නිසයි මානසික අවස්ථිතියෙන් පෙළෙන රෝගීන් තමන්ව විතරක් නෙමෙයි මුලු මහත් ජාතියක්ම අනතුරේ හෙළන්නේ. ඒ නිසා මේ රෝගයට ගොදුරු වෙච්ච මිනිස්සු අර කලින් කිව්වා වගේ සමාජයට පිළිලයක්. සමාජ ප්‍රගමණයට අල්ප මාත්‍ර දායකත්වයක් ඔවුන්ගෙන් ලැබෙන්නේ නැහැ. අවාසනාවකට වගේ අපිට එදිනෙදා ජීවිතයේදී, බස් රථයේදී, කාර්යාලයේදී, ප්‍රිය සාද වලදී හමුවෙන බහුතරයක් මිනිස්සු ඔන්න ඔය වගේ…මානසික අවස්ථිතියේ කරවටක් ගිලිලා හුස්ම හිර කරගත්ත මිනිස්සු. හරියට වැලි ගොඩේ ඔලුව හංග ගත්ත පැස්බරුන් වගේ මිනිස්සු.

shutterstock_536266534-730x400

(ඡායාරූපය Your money.com වෙබ් අඩවියෙනි)

මානසික අවස්ථියෙන් පෙළෙන කෙනෙක් මුදවා ගන්න ක්‍රම දෙකක් තියෙනවා. එක විදියක් තමයි ඒ අයත් එක්ක කතා බහ කරලා සංවාදයක යෙදෙන එක. හරියට මනෝ විද්‍යා සායනයකදී වගේ. ඒත් මෙතැනදී මතකම තියා ගන්න ඕන දෙයක් තමයි, සංවාදයේදී දෙදෙනාම විවෘත වීම. ඒ කියන්නේ කිසිවෙකුත් තමන්ගේ මතවාදයට නම්මා ගැනීම නෙමෙයි විය යුත්තේ. එකිනෙකාගේ වැරදි අඩුපාඩු වටහා ගෙන නිවැරදි දිශානතියකට තල්ලු වීම. එහෙම නිවරැදි දිශානතියකට තල්ලු වෙන්න එක් පාර්ශ්චවයක් හරි කැමැති නැතිනම් එහෙමත් නැතිනම් විවෘත නැතිනම් ඒ අයත් එක්ක සංවාද කිරීම තමන්ගේම කාලය විනාශ කර දැමීමක්. තමන්ගේම ලෝකය ඇතුළේ අනාථ වුණාට පස්සේ ඒ අය ඕන කරන්නේ සදාකාලික සරණාගතයෝ විදියටම ඉන්න. ඉතින් ඒ වගේ අයත් එක්ක දේශපාලන සංවාද කරනවාට වඩා හොදයි යූටියුබ් එකේ ගිය කෑම වට්ටෝරුවක් ගැන කතා කරන එක.

අනෙක් ක්‍රමය තමයි තමන්ම තමන්ගේ ව්‍යාධිය හදුනාගෙන ප්‍රතිකාර කරගැනීම. ඒක තමයි වඩාත්ම පහසු සහ සරල ක්‍රමවේදය. කොහොමද ඒක කරන්නේ? හරිම පහසුයි තමන්ගේ සිතිවිලි නිර්මාණාත්මක කර ගැනීම තමයි මුලීකම අරමුණ වෙන්නට ඕනේ. එහෙමත් නැතිනම් සම්ප්‍රදායික හා ගතානුගතික චින්තන රටාවෙන් බැහැර වීම. ඔබ බෞද්ධයෙක් නම් කාලාම සූත්‍රය පිළිපැද්දාම හොදටම ඇති.

තවත් සරලව පැහැදිලි කරන්නට ඕනේ නම් මැතිවරණයක් වගේ දෙයක්ම උදාහරණයට අරන් බලමු. රටක ළග ළගම ජනාධිපතිවරණයක් එනවා කියලා හිතමු. මානසික අවස්ථිතිය කියන රෝගයේ ඔබත් ගොදුරක් නෙමෙයි නම් මුලින්ම කරන්න ඕන දේ තමයි තමන් නිර්පාක්ෂික වීම. ඒ කියන්නේ කිසිවෙකුට කඩේ නොයන, වහල් කමේ නොයෙදෙන මානසික ස්වභාවයකට පත්වීම. හැකියාවක් තියෙනවා නම් ඒ අයගේ ප්‍රතිපත්ති ප්‍රකාශ කොයි තරම් දුරට ප්‍රායෝගිකද කියන එක තමන්ගේ දැනුමින්ම වටහා ගන්නට බලන්න. ඊට පස්සේ බලන්න මැතිවරණයට ඉදිරිපත් වෙන්නේ කොයි වගේ පුද්ගලයන්ද කියලා. මේ පුද්ගලයන් ගැන තමන්ගේම තක්සේරුවක් ගොඩ නගා ගන්න. මේ අයගේ දැනුම් මට්ටම්, දේශපාලන පරිනත භාවය, හැකියාවන් විතරක් නෙමෙයි ඔහුට එරෙහිව තියෙන චෝදනා මොනවාද කියලත් හොයාල බලන්න. අපරාධ හා මිනීමැරුම්, පැහැර ගැනීම්, කප්පම් ගැනීම්, නිදන් හෑරීම්, මහජන දේපළ අවභාවිතා කිරීම, ව්‍යාජ ලිය කියවිලි පවත්වාගෙන යාම වගේ කටයුතු වලට ඒ අයට තියෙන සම්බන්ධය කොයි වගේද කියලා ඒ අයට එරෙහිව තියෙන චෝදනවා වලින් කිසියම් තක්සෙරුවක් ලබා ගන්න. (මෙතැනදී අමතක නොකර කියන්න ඕන දෙයක් තමයි මේ කියන චෝදනා තියෙන ඇතැම් අයට මේ චෝදනා වලට අධිකරණයෙන් දඩුවම් නොලැබිමට හේතුව ඒවා ඔප්පු කිරීමට ප්‍රමාණවත් සාක්ෂි ඉදිරිපත් නොවීම නිසා මිස ඒ චෝදනාවන්ගෙන්  ඔවුන් නිදොස් කොට නිදහස් වෙලා නැහැ කියන එක). ඊට පස්සේ බලන්න වටේ ඉන්න පිරිස දිහා. කොයි තරම් විශිෂ්ටයෙක් වුණත් වැඩක් නැහැ තමන්ගේ වටේ ඉන්න පිරිස සුපුරුදු මහජන හොරුන්, මංකොල්ලකරුවන්, කප්පම්කරුවන්, මාල කඩන පික්පොකට් කාරයන් නම්. එහෙම අයත් එක්ක කිසිම කෙනෙකුට අලුත් රටක් හදන්නට බැහැ. ඒ වගේම නිතර නිතර අසනීපවලට සිංගප්පූරුවට දුවන ලෙඩුන් එක්කත් අලුත් රටක් හදන්නට බැහැ. ඒ වගේම බලන්න ඔය කියන අපේක්ෂකයන්ගේ වේදිකාවල ඉන්න ප්‍රධාන කථිකයන් කවුරුන්ද කියලා. බලන්න ඒ අයට තියෙන්නේ මොන විදයේ චෝදනාද කියලා. ඔය සියලු කාරණා සලකා බලා තීරණය කරන්න මේ මොහොතේ ඔබට ඡන්දය දෙන්න පුලුවන් නිවැරදිම පුද්ගලයා කවුරුන්ද කියලා. කරන්න තියෙන්නේ හරිම සරල දෙයක්. අපේ මානසික දොරගුළු විවෘත කරගන්න එක. යතුර තියෙන්නෙත් අපේ අතේ.

මෙතැනට එන්න හිත හදාගන්නට බැරි නම් ඔබේ මානසික අවස්ථිතිය උග්‍රයි. සායනික ප්‍රතිකාර අවශ්‍යමයි. ප්‍රතිකාර නොගෙන ඉන්නට ඔබට පුලුවන්. ඒක ඔබේ කැමැත්ත. ඒකට අභියෝග කරන්නට කාටවත්ම බැහැ. ඒත් එයින් ඔබ කරන්නේ ඔබ වටා සිටින මුලු මහත් සමාජයම මාරාන්තික අනතුරක හෙළීමක් කියන එක නම් කොහෙත්ම අමතක කරන්න එපා. ඔබේ රෝගයට ඔබ ප්‍රතිකාර නොගෙන ඔබේ රෝගයේ රෝග ලක්ෂණ විදියට සමාජය තව තවත් අගාධයට තල්ලු වීම ගැන කිසිම විදියකින් විවේචනයක් කරන්න ඔබට කිසිම අයිතියක් නැහැ.

නොහැකියාව කියන්නේ මාරාන්තික දෙයක් නෙමෙයි. ඒත් වෙනස් වෙන්නට ඇති නොහැකියාව නම් මාරාන්තිකයි, මෙහෙම කියන්නේ කැලිෆෝර්නියා සරසවියේ ප්‍රධාන ක්‍රීඩා උපදේශක John Wooden. (Failure is not fatal, but failure to change might be).

Benjamin Barber කියන්නේ බොහොම ජනප්‍රිය පොත පත ලියපු ඇමරිකානු දේශපාලන චින්තකයෙක්. මුලු ලෝකයේම ඉන්න මානව වර්ගයා කොටස් දෙකකට බෙදන්න පුලුවන් කියලා බෙන්ජමින් කියනවා. හැදෙන්න කැමැති සහ හැදෙන්න කැමැත්තක් නැති කියලා. (“I don’t divide the world into the weak and the strong, or the successes and the failures. . . . I divide the world into the learners and nonlearners.”). ඒක ඇත්ත. බෙන්ජමින් කිව්ව කාරණාවම ඒ කියන්නේ අවුරුදු 71 ක අපේ දේශපාලන ගමන් මගම එකම එක වාක්‍යයකින් විස්තර කරන දෙබසක් “වීරයා ගෙදර ඇවිත්” ටෙලි නාට්‍යයේ මෙන්න මෙහෙම දෙබසකින් කියැවුණා – “ඉගෙන ගත්තට වැඩක් නැහැ, රැවටෙන එක පුරුද්දට ගියාම”.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )