අරාබි නිසොල්ලාසය කියන්නේ මුලු ලෝකයේම ඉන්න පොත්පත් කියවන පාඨකයන් අනිවාර්යයෙන්ම කියවලා තියෙන බොහොම රසවත් පොතක්. පොත් පත් නොකියවන අය පවා අඩුම තරමින් මේ පොතේ තියෙන කතාන්දර දෙක තුනක් ගැනවත් දැන ගෙන නොහිටියොත් ඒක පුදුමයක්. ඒකට හේතුව ඇලඩින්ගේ පුදුම පහන (The tale of Aladdin), අලිබබා සහ හොරු හතළිහ (Ali Baba and the Forty Thieves), සින්බෑඩ් නම් සේලරුවා (Sinbad the Sailor) ඔය වගේ ජනප්‍රිය කතා හැම එකක්ම තිබුණේ ඔය කියන අරාබි නිසොල්ලාසය කියන කතා පොත ඇතුළේ නිසා.
පර්සියානු, ඉන්දියානු, අරාබියානු කතා මාලාවක් පදනම් කරගෙන බිහිවුණු මේ පොත Arabian Nights නමින් ඉංග්‍රීසියට පෙරළුණේ 1700 මුල් කාලයේදී. එදා ඉදන් අද දක්වා නිමක් නැති සිනමා පට, ටෙලි නාට්‍ය, වේදිකා නාට්‍ය අරාබි නිසොල්ලාසය පදනම් කරගෙන මුලු ලෝකය පුරාම බිහිවෙන්නට පටන් ගත්තේ මේ කතාවල තිබුණු අපූරු රසවත්කම නිසයි. මරණීය දණ්ඩනයට උරුම වෙලා හිටිය සුල්තාන්වරයෙකුගේ බිරිදක් (පර්සියානු ජාතික කාන්තාවක වන ඇගේ නම Scheherazade) තමාට හිමිවුණු මරණ දණ්ඩනයෙන් බේරෙන්න හිතාගෙන හැමදාම රාත්‍රියේ සුල්තාන්වරයාට කියන කතා මාලාවක් තමයි මේකට පදනම් වෙලා තියෙන්නේ.
සුල්තාන්වරයාගේ බිරිද හැමදාම රාත්‍රියේ මේ කතාව නිම කරන්නේ බොහොම කුතුහලය පිරුණු තැනකින් කතාව නවත්තලා. මේ නිසා කතාවේ ඉතිරි කොටස අහගන්න සුල්තාන්වරයාට සිද්ධ වෙනවා ඊළග දවස වෙනකම් ඇයට හිමි මරණීය දණ්ඩනය දික් කරන්න. ඒත් බොහොම සූර කතාකාරියක් වෙච්ච ඇය මේ විදියට කුතුහලය පිරුණු තැනකින් කතාව නතර කරමින් රෑ එක්දහස් එකක් වෙනකල්ම කතා කියමින් තමන්ගේ ජීවිතය බේරා ගන්නට සමත් වුණා. එක් දහස් එක් වෙනි රැයේදී ඇය සුල්තාන්වරයා කියනවා තවත් කියන්න තරම් කතාන්දර ඇයට නැහැ කියලා. සුල්තාන්වරයා ඇයට සමාව දෙනවා විතරක් නෙමෙයි ඇයව තමන්ගේ බිසව විදියටත් අභිෂේක කරනවා. මේ නිසා මේ කතා මාලාව එක් දහස් එක් රැය (One Thousand and One Night) කියන නමිනුත් ජනප්‍රියයි.
ඒත් මේ කියන්නට යන්නේ අරාබි නිසොල්ලාසය ගැනවත්, ඒකේ තියෙන රසවත් කතාවක් ගැනවත් නෙමෙයි. අරාබි නිසොල්ලාසය නිසා සිද්ධ වෙච්ච දේශපාලන අර්බුදයක් ගැන ඔබ කවදාවමත්ම අහලා තියෙනවාද ?ලෝකයේ බලවත්ම රාජ්‍යයක් වන කැනඩාවේ අගමැතිවරයාට අරාබි නිසොල්ලාසය නිසා දැන් මුහුණ දෙන්නට සිදුවෙලා තියෙන්නේ බරපතල දේශපාලන අර්බුදයකට.
ලෝකයේ දෙවැනි විශාලතම රාජ්‍යයේ ප්‍රථම පුරවැසියා ලෙස භාරදූර පුටුවකට හිමිකම් කියන කඩවසම් රූපකායක් තියෙන තරුණ නායකයෙකු වන ජස්ටින් ටෘඩෝට මුහුණ දෙන්නට සිදුවෙලා තියෙන මේ අකරතැබ්බය අරාබි නිසොල්ලාසය නිසා සිද්ධ වෙච්ච මුල්ම දේශපාලන අර්බුදය කිව්වොත් නිවැරදියි.
කතාව පටන් ගන්නේ මෙහෙමයි. වැන්කුවර් නගරයේ තියෙන ප්‍රධාන පෙළේ පාසලක (West Point Grey Academy) වාර්ෂික සුහද හමුවක තේමාවක් විදියට අරාබි නිසොල්ලාසය තෝරා ගෙන තිබුණු නිසා ඒ සුහද හමුවට සහභාගි වෙච්ච අය බොහොම දෙනෙක් මේ තේමාවට ගැලපෙන විදියට සැරසිලා තමයි ඒකට සහභාගි වුණේ. ඒ වෙනකොට මේ පාසලේ ගණිත ගුරුවරයා ලෙසින් සේවය කළ ජස්ටින් ටෘඩෝ ඒකට සැරසිලා යන්නේ ඇලඩින්ගේ පුදුම පහනේ ඇලඩින් විදියට වෙස් ගන්වා ගෙන… කළුම කළු පාටින් මුහුණයි, අත්දෙකයි පාට කරගෙන, ඔලුවට තලප්පාවකුත් බැදගෙන. අමතක නොකරම කියන්න ඕන දෙයක් තමයි මේ සිද්ධිය සිද්ධ වෙන්නේ ජස්ටින් ටෘඩෝ අගමැතිවරයා වෙන්න හිතලාවත් නොතිබුණු කාලයක. ඒ කියන්නේ 2001 අවුරුද්දේදි. එතකොට ටෘඩෝට වයස අවුරුදු 29යි. එදා සුහද හමුවේ ඡායාරූප පාසලේ වාර්ෂික සගරාවේ පළවුණා. මේ සගරාවේ පළවෙච්ච පින්තූර, අවුරුදු දහ අටකට පස්සේ මේ විදියට එළියට ඇවිත් අද බරපතල දේශපාලන අර්බුදයක් බවට පත්වෙලා තියෙන්නේ මේ විදියට මුහුණ පාට කිරීම තුළින් විශේෂයෙන් කළු ජාතික ජනතාවට ජස්ටින් ටෘඩෝ හිතාමතාම අපහාස කළා කියන චෝදනාව එක්කයි.

මානුෂික නිදහස ඉහළින්ම ගරු කරන, ඒ වගේම ලෝකයේ ඕනෑම රටකින් කැනඩාවට එන කොයි කවුරුන් වුණත් එක හා සමානව සළකන කැනඩාවේ ව්‍යවස්ථාවේ කිසියම් කෙනෙකුට වෙනස් කොට සැලකීම (discrimination) සලකන්නේ නෛතිකව දඩුවම් ලැබෙන වැරැද්දක් විදියට. බොහොම ඈත අතීතයේ සිදුවුණු මේ කියන රාත්‍රී සුහද හමුවේ තේමාවට ගැලපෙන විදියට පැමිණියා මිසක් තමන් කිසිසේත්ම කිසිම ජාතියක් අපහාස කිරීමට අදහස් නොකළ බව අවධාරණය කළත් මේ සිදුවීම ගැන අගමැතිවරයා දෙවරක්ම ප්‍රසිද්ධියේම මහජනතාවගෙන් සමාව ඉල්ලා හිටියා. ( අදාළ වීඩියෝ පටය මෙම සබැදියාවෙන් බලන්න – https://youtu.be/c2IxuyROWKs) ඒ වගේම එදා සුහද හමුවට සහභාගි වෙච්ච ඇතැම් පිරිසත්, ටෘඩෝ මෙන්ම තමනුත් ඔය විදියේ ඇදුම් ආයිත්තම් වලින් සැරසිලා පැමිණි බවත්, මෙය කිසිසේත්ම අපහාසයක් නොවන බවත් කියා හිටිය නමුත් ජනමාධ්‍ය වගේම අගමැතිවරයාගේ දේශපාලන ප්‍රතිවාදීන් මේ ඡායාරූපයට එරෙහිව බරපතල ප්‍රහාර එල්ල කරනවා. බොහොමයක් මාධ්‍ය ජනතාවගෙන් මේ ගැන තමන්ගේ අදහස් විමසනවා වගේම පුවත්පත්වල විවිධාකාර ලිපි, කතුවැකි පවා ලියැවෙනවා. රටේ ප්‍රධාන විපක්ෂය වන කන්සර්වැටිව් පක්ෂයේ නායකයා ජනමාධ්‍ය ඔස්සේ ප්‍රකාශ කළේ මේ කාරණාව නිසා අගමැතිවරයා කැනඩාව වැනි රටක නායකත්වයට කිසිසේත්ම නුසුදුස්සෙක් බව ඔප්පු වෙනවා කියලයි. කැනඩාවේ තවත් ප්‍රබල දේශපාලන පක්ෂයක් වන එන්ඩීපී පක්ෂයේ නායකයාත් මේ සිදුවීම දරුණු විදියට විවේචනය කරමින් ප්‍රකාශ කළේත් අගමැතිවරයාගේ මේ ක්‍රියාව නිසා ඔහු තමන්ගේ තනතුරට සුදුසුද නැද්ද තීරණය කිරීම කැනේඩියානුවන් ඉදිරියේ ඇති වගකීමක් බවයි. රටේ තවත් පක්ෂයක් වන ග්‍රීන් පාටියේ නායිකාවද ප්‍රකාශ කළේ මේ ඡායාරූපය දැකීමෙන් තමන් මහත් සේ කම්පනය වෙච්ච නිසා, එය අන්‍ය ජාතියක් බරපතල ලෙස හෙළා දැකීමක් ලෙස තමන් සලකනවා කියලයි.
මැගිල් සරසවියෙන් (McGill University) සිය ප්‍රථම උපාධිය ලබා බ්‍රිටිෂ් කොළොම්බියා සරසවියෙන් අධ්‍යාපන විද්‍යා උපාධියත් හිමිකරගත්ත ටෘඩෝ මොන්ට්‍රියල් සරසවියේ ඉංජිනේරු විද්‍යාවත් හදාරලා පාරිසරික භූගෝල විද්‍යාව කියන විෂයත් වැඩිදුර හදාරපු කෙනෙක්. ඒ වගේම නැටුම් ශිල්පය, රංගන ශිල්පය වගේම තවත් විවිධාකාර විෂයන්වල දක්ෂයෙක්. ගුරුවරයෙකු විදියට තමන්ගේ ජීවිතය ආරම්භ කරපු ටෘඩෝ ජව සම්පන්න නායකත්වයක් (charismatic) පෙන්නපු නායකයෙක් බවට පත්වුණේ බොහොම තරුණ වයසකදී. විවිධාකාර ජාතීන් සිය ගණනකගේ එකමුතුවෙන් හැදුණු කැනඩාවේ ඒ ඒ ජාතීන්ගේ සංස්කෘතික අවස්ථාවන්ට සහභාගි වෙද්දී ඒ ඒ සංස්කෘතීන්ට අදාළ ඇදුම් ආයිත්තම් වලින් ඔහු සැරසුණේත් වරක් දෙවරක් නෙමෙයි. විශේෂයෙන්ම දකුණු ආසියානු සංස්කෘතිය ගැන කිසියම් ළැදිකමක් දක්වන ටෘඩෝගේ බොහොම ජනප්‍රිය ප්‍රකාශයක් තමයි, කැනඩාවේ තියෙන ප්‍රබලතම ශක්තිය බහුජාතිකත්වය කියන එක. (“diversity is our strength” ). නළුවෙකු විදියටත් කටයුතු කරපු නිසා විවිධාකාර චරිත නිරූපණය කරමින් විවිධාකාර ඇදුම් ආයිත්තම් වලින් සැරසුණු ටෘඩෝගේ ඡායාරූප අන්තර්ජාලයේ ඕන තරම් තියෙනවා.


ලෝකයේ ප්‍රබලතම සංවර්ධිත රටක අගමැතිවරයා වුණත් කැනඩාවේ අගමැති කියන ධුරයට ලංකාවේ විධායක ජනාධිපතිවරයාටවත්, අගමැතිවරයාට තබා කැබිනට් අමැතිවරයෙකුටවත් හිමි වරප්‍රසාද නැහැ. ටෙන්ඩර් වලින්, රටේ සංවර්ධන වැඩ වලින්, කොමිස් වලින් ගසා කන්න කිසිම ඉඩක් නැහැ. කොටින්ම කිව්වොත් අගමැතිවරයා පුද්ගලිකව වියදම් කරන හැම ඩොලරයක්ම ඔහුට සිද්ධ වෙනවා ආපහු ගෙවන්න. ඒ හැම වියදමක්ම විනිවිද පෙනෙන ආකාරයෙන් සිද්ධ වෙන නිසා මේ හැම දෙයක්ම රටේ මහජනතාවට විවෘතයි.
ජස්ටින් ටෘඩෝ අගමැතිවරයාට ඉන්නේ තාමත් බොහොම ළාබාල වියේ පසුවන දරුවන් තුන්දෙනෙක්. මේ දරුවන් රැක බලා ගැනීම වෙනුවෙන් ඉන්න ආයම්මලා දෙදෙනාට කැනේඩියානුවන්ගේ බදු මුදල් වලින්ද පඩි ගෙවන්නේ කියන එක ගැන පාර්ලිමේන්තු විවාදයක් පවා ගියා. ආයම්මලාට ගෙවන මුදල වැයවෙන්නේ තමන්ගේ පඩියෙන් කියලා ඔප්පු කරලා ඒකට අදාළ සියලු ලිපි ලේඛන පාර්ලිමේන්තුවේ සභාගත කරන්නට තමන්ගේ ධුර කාලයේ මුල් අවුරුද්දේදීම අගමැතිවරයාට සිද්ධ වුණා. ඒ වගේම තමන් ගිය හැම සංචාරයකම පුද්ගලිකව විය හියදම් සියල්ල ඔහු තමන්ගේ පොකට්ටුවෙන් ගෙවා දමන්නට ඕනේ.
කැනඩාවේ හිටපු සියලුම අගමැතිවරුන් වගේම ටෘඩෝත්, තමන්ගේ නිලයට හිමි ගුවන් යානයෙන් ගිය විනෝද ගමන් හැම එකකම මුදල අන්තිම සතය දක්වාම ගෙවා දැමුවා. කැනඩාවේ අගමැතිවරයා තමන්ගේ පුද්ගලික විනෝද ගමනක් ගියත් ඒ වෙනුවෙන් අගමැතිවරයාගේ නිල ගුවන්යානය පාවිච්චි කරන්නට ඕනේ. ඒකට හේතුව අගමැතිවරයාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් වගකිව යුතු නිසා. ඒත් ඒ හැම ගමනකදීම ඒ විය හියදම් අන්තිම සතයට ගෙවා දමන්නට කැනඩාවේ හිටපු හැම අගමැතිවරයෙකුම ස්වේච්ඡාවෙන්ම කටයුතු කළා. පාර්ලිමේන්තු සභාගත වුණු ලිපිලේඛන අනුව වර්තමාන අගමැතිවරයාගේ වාර්ෂික වේතනයෙන් අවම වශයෙන් සියයට දහයක්වත් වැය වෙන්නේ තමන්ගේ පුද්ගලික විය හියදම් ගෙවා දමන්නටයි. ඒ වගේම තමන්ගේ පුද්ගලික දුරකථන, ඉන්ටර්නෙට් බිල්පත් පවා අගමැතිවරයා ගෙවා දමන්න ඕනේ තමන්ගේ පඩියෙන්මයි. තමන්ගේ නිල නිවස වෙනුවෙන් හැරුණාම තමන්ගේ සියලු පුද්ගලික විය හියදම්, විනෝද සංචාරයකදී කරන කෑම බීම. හෝටල් ගාස්තු මේ හැම දෙයක්ම තමන්ගේ පොකට්ටුවෙන් තමයි අගමැතිවරයා වියදම් කරන්නට ඕනේ. මේ හැම වියදමක්ම, හැම බිල්පතක්ම විමර්ශනය කරන්නට මහජනතාවට අවස්ථාව තියෙනවා. විදේශ නිල සංචාර, සමුළුවලට යද්දී අපේ රටේ වගේ තමන්ගේ ඥාති හිත මිත්‍රාදීන් සනුහරයට අරගෙන සංචාරේ යෙදෙන්න අගමැතිවරයාට කිසිම බලතලයක් නැහැ. ඒ වගේම තමන්ගේ මස්සිනා එයාර් කැනඩා ගුවන් සේවයේ සභාපතිවරයා කරන්න, තමන්තගේ ඡන්ද වැඩවලට උදව් පදව් කළ උදවියට රජයේ ආයතනයක තනතුරක් ලබා දෙන්න, තමන්ගේ සහෝදරයාට ආරක්ෂක අමාත්‍යාංශයේ රැකියාවක් අරන් දෙන්න තියා අඩුම තරමින් තමන්ගේ පවුලේ කෙනෙකුට මොන විදියක හරි රජයේ රස්සාවකට දාලා දෙන්න කිසිම කැනේඩියානු අගමැතිවරයෙකුට බලතල නැහැ. ඒ වගේ ඥාති සංග්‍රහයක් ඔප්පු වුණොත් එතැනින්ම අගමැතිවරයාගේ දේශපාලන ගමන අවසන්.
මුලු ලෝකයටම ණය වෙච්ච, ලෝක සිතියමේ තිතක් විදියට පෙනෙන පුංචිම පුංචි ලංකාවේ විධායක ජනාධිපතිවරයාට, අගමැතිවරයාට විතරක් නෙමෙයි කැබිනට් ඇමතිවරුන්ට පවා හිමි අසීමිත බලතල, වරප්‍රසාද වලින් කොටසක්වත් සංවර්ධිත ලෝකයේ ඉහළින්ම ඉන්න ලෝකයේ විශාලතම දෙවැනි රටේ අගමැතිවරයාට හිමිකමක් නැති බව සනාථ කරන්නට තවත් කරුණු කාරණා උවමනා නැහැ.
කොහොම වුනත් කැනඩාවේ මහා මැතිවරණය ඉතාම ආසන්නයි. මේ මැතිවරණයේ අපේක්ෂකයකු වන්නට හිටින කැනඩාවේ අගමැතිවරයාට පුද්ගලිකව මුහුණ දෙන්නට සිදුවී ඇති චෝදනා ඔන්න ඔය වගෙයි. රටේ ජාතික ප්‍රතිපත්ති පිළිබද ගැටුම් මති මතාන්තර තිබුණත්, පුද්ගලික වශයනේ අගමැතිවරයාට මුහුණ දෙන්නට සිදුවෙලා තියෙන ප්‍රබලතම චෝදනාව තමයි මේ විදියට මුහුණ පාට කරගෙන ඡායාරූපයකට පෙනී හිටපු එක. තමන් අගමැති වෙන්න තියා පාර්ලිමේන්තුවවත් නියෝජනය නොකරපු කාලයක, තමන්ගේ වයස අවුරුදු විසි නවයේ දි ගත්ත ඡායාරූපයකට.
ලංකාවේත් මැතිවරණයක් බොහොම ආසන්නයි. ලෝකයේ අතිශය ප්‍රබල රටක පාලන බලය හිමි අගමැතිවරයාට පුද්ගලිකව එල්ල වෙන චෝදනා මේ විදියට තියෙද්දී ලංකාවේ ජනාධිපතිවරණයට පෙනී ඉන්න අපේක්ෂකයන්ට තියෙන්නේ මොන වගේ පුද්ගලික චෝදනාද?
කප්පම් කල්ලි පවත්වාගෙන යාම, විරුද්ධවාදීන් පැහැර ගෙන ගොස් වදදී මරා දැමිම. ක්‍රීඩාංගන – අධිවේගී මාර්ග – හමුදාවට ගෙනා ගුවන් යානා වලින් – කුලුනු වලින් කොමිස් කුට්ටි කඩා ගැනීම, ගන්ඨාර හොරා ගැනීම, කටුගේ කඩු අතුරුදන් කිරීම, තමන්ගේ මුලු මහත් ඥාති සනුහරයටම විතරක් නෙමෙයි තමන්ට කොඩි වැල් දරදිය ඇදපු හැම දෙනාමට රටේ ජාතික සම්පත් හොරා කන්නට ඉඩකඩ සපයා දීම, මහ දහවලේදිම මහ බැංකුව කොල්ල කෑම, රටේ ජාතික සම්පත් උකස් කොට තම ගිනුම්වලට පුරවා ගැනීම… කෙළවරක් නැහැ. අපූරුම කාරණාව තමයි මේ චෝදනා එල්ල වෙන සමහර අපේක්ෂකයන්ට අඩුම තරමින් ජනාධිපති _ අගමැති ධුරය තබා පාර්ලිමේන්තු මන්ත්‍රි ධුරයවත් හොබවන්නේ නැතිව තමයි මේ චෝදනා එල්ල වෙලා තියෙන්නේ.
කාගේවත් දේශපාලන වහලෙකු නොවන්නට තරම්ත මස්තිෂ්කය හොදින් වර්ධනය වුණු ලංකාවේ මිනිහෙකුට ඇලඩින්ගේ පුදුම පහන හමුවෙලා රටේ අනාගතය වෙනුවෙන් භූතයාගෙන් වර තුනක් ඉල්ලන්න අවස්ථාව ලැබුනොත් මේ විදියේ වරතුනක් සමහර විට ඉල්ලාවි.
ඔය කියන චෝදනා නැති මිනිහෙක් රටේ ජනාධිපති කරවන්න.
නැතිනම් රටේ දැන් ඉන්න ජනතාව වෙනුවට හිතන්න පතන්න පුලුවන් ජනතාවක් අලුතින් පත් කරලා දෙන්න.
මේ දෙකම කරන්නට බැරි නම් පිට රටකට පැන ගන්නට ඉඩකඩක් හදලා දෙන්න.
second option is better than third one.
කැමතියිLiked by 1 person
ඇලඩින්ගේ ජස්ටිනුත් මේ අපේ කෂ්ටිය වාගේම කෙනෙක් නේද?
එකම දේ වැඩේ ලීක් උනාම එයා සමාව ගත්තා, අපේ කෂ්ටිය නං මට මතක නෑ කියනවා.
කැමතියිකැමතියි