සිංහල – දෙමළ දෙපාර්ශ්වයටම නිවැරදි දේශපාලන නායකත්වයක් අහිමි වී යාම අර්බුදයට මුලයි – ජගත් පූජිත ලේඛක ෂ්‍යාම් සෙල්වදුරෙයි

Selvadurai-02-Kevin-Kelly.jpg

විශ්ව සාහිත්‍යයෙහි ශ්‍රී ලාංකීය නාමය රන් අකුරින් සටහන් කරන සමකාලීන ලේඛකයන් දෙතුන් දෙනා අතරින් ෂ්‍යාම් සෙල්වදුරෙයි (Shyam Selvadurai) ට හිමි වන්නේ අද්විතීය  ස්ථානයක්. සිංහල ජාතික මවකගේ හා දෙමළ ජාතික පියෙකුගේ දරුවෙකු ලෙසින් උපත ලබන ෂ්‍යාම්ට අවුරුදු දහ නවයේ දී සිය මව්රට වන ලංකාවට අතහැර ජීවිත ආරක්ෂාව පතා කැනඩාවට සංක්‍රමණය වන්නට සිදුවන්නේ 83 වසරේ අවාසනාවන්ත කළු ජූලියෙහි ප්‍රතිඵලයක් ලෙසින්. ටොරොන්ටෝහි යෝර්ක් සරසවියෙන් සිය ප්‍රථම උපාධිය ලබා පසුව වැන්කුවර් හි බ්‍රිටිෂ් කොළම්බියා සරසවියෙන් නිර්මාණාත්මක ලේඛන කලාව පිළිබද පශ්චාත් උපාධිය හිමිකර ගන්නා ෂ්‍යාම් සරසවි ආචාර්යවරයෙකු ලෙසත් සිය දැනුම බෙදා දුන්නා. මේ වනවිට කැනඩාවේ ටොරොන්ටෝ නුවර සිට සාහිත්‍යකරණයෙහි යෙදෙන ෂ්‍යාම්ගේ අතින් ලියැවුණු  “Funny Boy”, “Swimming on Monsoon Sea”, “Cinnamon Gardens”, “Hungry Ghost”  ඇතුලු බොහෝ කෘතීන් විශ්ව සාහිත්‍ය ලෝකයෙහි බොහෝ සංවාද හා විචාරයන්ට ලක් වූවා පමණක් නෙමෙයි ජාත්‍යන්තර සම්මාන රැසකින්ද පිදුම් ලැබුවා. සුගතපාල සිල්වා සූරීන් අතින් සිංහලට පෙරළුණු “අමුතු ඉලන්දාරියා” (Funny Boy) කෘතියත් ලාංකීය සාහිත්‍ය ලෝකය තුළ පාඨක විචාරක අවධානයට ලක්වූ කෘතියක් වුණා.මේ වනවිට Funny Boy ඇසුරින් සිනමා පටයක් නිර්මානය කරන්නට ලෝක ප්‍රකට සිනමා අධ්‍යක්ෂවරියක වන දීපා මේතා සූදානම් වෙලා තියෙනවා විතරක් නෙමෙයි, එහි රූගත කිරීම් කරන්නට තෝරා ගෙන තියෙන්නේත් ශ්‍රී ලංකාවයි.

(සිළුමිණ ඉරිදා සංග්‍රහය වෙනුවෙන් ෂ්‍යාම් හා කළ මේ විශේෂ සංවාදය පසුගිය සැප්තැම්බර් 08 වැනි ඉරු දින සිළුමිණ පුවත්පතේ පළ වූ බව කරුණාවෙන් සළකන්න)

  • ඔබට ලංකාව අතහැර කැනඩාවට සංක්‍රමණය වන්නට සිදුවන්නේ අවුරුදු දහනවයක් තරම් ළාබාල අවදියකදී. ඒත් තමන්ගේ අතීතයෙන් කෙනෙකුට ලෙහෙසියෙන් ගැලවෙන්න පුලුවන් කමක් නැහැ. අපේ අතීතය කියන්නේ හැමදාමත් අප පසුපසින් එන දෙයක්. ඔබේ අතීතය ඔබටත්, ඔබේ ලේඛන කලාවටත් බලපෑවේ කොහොමද?

ෂ්‍යාම් – අවුරුදු දහනවයේ දී රට අත්හැරලා එන්න සිද්ධ වුණත් මං හැදුණේ වැඩුණේ ලංකාවේ. ඒක තමයි මගේ අනන්‍යතාව. අවුරුදු තිස් පහක විතර කාලයක් පුරා මං දැන් මෙහේ කැනඩාවේ ජීවත් වුණත් හිත ඇතුළෙන් තාමත් මං ශ්‍රී ලාංකිකයි. ඒකට හේතුව මාව නිර්මාණය වෙලා තියෙන්නේ ලාංකීය අනන්‍යතාවයත් එක්ක හින්දයි. මේ පසුබිම මගේ ලේඛන කටයුතු වලට තදින්ම බලපාපු බොහොම වැදගත් සාධකයක්. වයසින් වැඩෙන්න වැඩෙන්න මං තේරුම් ගත්ත දෙයක් තමයි මගේ ජීවිතයේ කොටසක් එක්ක ලංකාවට තියෙන බැඳීම හරිම සුවිශේෂීයි කියන එක. මං දන්නවා විදේශගත බොහොම දෙනෙක් තමන්ගේ රට ගැන ආඩම්බර වෙනවා. මගේ සහෝදර සහෝදරියන් පවා තමන් ලාංකිකයන් වීම ගැන ආඩම්බර වෙනවා. ඒත් ලංකාවත් එක්ක මට ඒකට එහා ගිය හරිම සුවිශේෂී බැඳීමක් තියෙනවා. ඒ නිසාම මං නිතර ලංකාවට යනවා එනවා. ඒක මගේ ජීවිතයට අත්‍යවශ්‍ය දෙයක්. හරියට කිසියම් ආකාරයක පිපාසයක් වගෙයි. එහෙම නොගියොත් ඒක ලොකු අඩුවක් වගෙයි මට දැනෙන්නේ. එහෙම වෙන්නේ ඇයි කියලා මටත් හරියටම තේරුම් ගන්න බැහැ. මට එහෙම යන්න ආසාව ඇතිවෙන්නේ විදේශගත ශ්‍රී ලාංකිකයෙක් ලංකාවට යනවා වගේවත්, සංචාරයක් විදියට හෝටල්වල කාලය ගත කරලා එන්නවත් නෙමෙයි. ඒ වගේ දේවල් වලින් මට සතුටු වෙන්න බැහැ. මං තෘප්තිමත් වෙන්නේ ගාලු සාහිත්‍ය උත්සවය වගේ සජීවී කටයුතුවලට සම්බන්ධ වෙලයි. මගේ ලෝකයේ ඉංග්‍රීසි විතරක් කතා කරන හිතවතුන්ගෙන් බැහැර වෙලා ඔය විදියේ සබඳතා එක්ක සමීප වෙන එක මගේ ලේඛන කලාවට වගේම මගේ පෞද්ගලික ජීවන පැවැත්මට හරිම වැදගත් සාධකයක්.

  • ඒ හින්දා වෙන්න ඇති ඔබේ කෘතීන් හැම එකකම වගේ ලාංකීය අනන්‍යතාවක් සනිටුහන් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ ඔබ මේ තරම් කාලයක් කැනඩාවේ ජීවත් වුණත් ඔබේ ලේඛන කලාවට උත්තේජනය සපයලා තියෙන්නේ ඔබ උපන් ඔබේ මවුරටද?

ෂ්‍යාම් – ඔව්, ඒක ඇත්ත. මට උත්තේජනයක් සපයපු දේවල් අතර යුද්ධය වගේම ලංකාවේ තියෙන සාරවත් සංස්කෘතික පදනමත් බලපෑවා. මේ හින්දා නවකතාකරුවෙකු විදියට පාඨකයන්ට පිළිගන්වන්න පුලුවන් බෙහොමයක් දේවල් මා සතුව තියෙනවා. මං ලියන්නේ ශ්‍රී ලාංකිකයෙක් විදියට වගේම ලංකාවේ සාරවත් සංස්කෘතික පදනමේ අත්දැකීම් අනුසාරයෙනුයි.  සාරවත් සංස්කෘතික පදනම විතරක් නෙමෙයි, වාර්ගික ගැටුම, පංති පරතරය වගේ දේවල් ලේඛකයෙකුගේ භූමිකාවට බොහොම සරුසාර පදනමක් සපයනවා.

  • ඔව්, ඔබ කියනවා වගේම අපිට සාරවත් සංස්කෘතික පදනමක් තියෙනවා. ඒ සාරවත් සංස්කෘතික පදනමේ අනිවාර්ය අංගයක් තමයි අතීතයේ අපිට උරුම වෙලා තිබුණු අද්විතීය සාහිත්‍ය කලාව. අද වෙනකොට ලංකාවේ පොත පත බොහොමයක් බිහිවුණත් ඒවායින් පාඨකයාගේ ජීවිතයට ගුණාත්මක බලපෑමක් සිද්ධ වෙනවාද කියන එක ගැටලුවට කාරණාවක්. ඒත් අපේ තරම් දැවැන්ත සාහිත්‍ය සම්ප්‍රදායක් උරුම වෙලා නොතිබුණු බටහිර ලෝකය තුළ අද වෙනකොට බිහිවෙන පොත පත ආකෘතියෙන් විතරක් නෙමෙයි අන්තර්ගතයෙන් පවා අපිව පසුකර බොහෝ දුරක් ගිහින්. ඔබ ඒ ප්‍රකාශයට එකගයිද?

ෂ්‍යාම් – සිංහල දෙමළ පොත් මං කියවන්නේ නැහැ. ඒ නිසා මට හරියටම ඒ ගැන අදහසක් නැහැ. එත් මං කියවන සිංහල දෙමළ පරිවර්තන නම් ඇත්තටම ඉහළයි. ඔබේ ප්‍රශ්නයට පිළිතුරක් දෙනවා නම් නවකතාව පැත්තෙන් ගත්තොත් නවකතාව කියන්නේ බටහිර සාහිත්‍ය ලෝකය තුළ නිර්මාණය වුණු කලාවක්. ඒක වර්ධනය වුණේ බටහිර සමාජ සංස්කෘතියත් එක්කයි. මේ නිසා අපිට සිද්ධ වුණේ බටහිරින් ණයට ගත්ත කලාවක් අපේ යථාර්ථයත් එක්ක ගලපා ගන්නයි. බටහිර ලෝකය කියන්නේ නිරන්තරයෙන්ම වෙනස් වෙන සමාජ ධාරාවක්. විවිධ රටවලින් සංක්‍රමණය වෙන ලේඛකයන්ගෙන් බටහිර සාහිත්‍ය ලෝකයට විවිධාකාර අනන්‍යතා එකතු වෙනවා. උදාහරණයක් විදියට කළු ජාතික ලේඛකයන් වගේ අයගෙන්. ඒ නිසා බටහිර සාහිත්‍යය නිරන්තරයෙන් සාරවත් වෙනවා. ඒ වගේම අවාසනාවකට වගේ පහුගිය කාලයේ අපට හිටිය උගතුන්, දක්ෂ ලේඛකයන් බොහොම දෙනෙක් රට අත් හැරලා ගියා. ඒත් මේ බෙලහීන තත්ත්වය යටතේ පවා අපි යහපත් තත්ත්වයක තැනක ඉන්නවා කියලයි මං හිතන්නේ.

  • සාහිත්‍ය ලෝකයට එකතු වන විවිධාකාර අනන්‍යතාවන් ගැන ඔබ සඳහන් කළා. සමකාලීන ලෝක සාහිත්‍යයේ සමලිංගික එහෙමත් නැතිනම් සමරිසි සාහිත්‍යයේ වැඩිම කතාබහක් ඇති කළ ලේඛකයා තමයි ඔබ. සමරිසි ප්‍රජාව මුල්කරගෙන ලෝකය පුරා විවිධාකාර ක්‍රියාකාරකම් දියත් වෙනවා. කැනඩාව ගත්තොත් Pride Movement කියන්නේ එවැනි දැවැන්ත සමාජ ව්‍යාපාරයක්. බටහිර රටවල තියෙන ඔය කියන සමාජ ප්‍රවණතා ඔය විදියටම ලංකාව ප්‍රමුඛ ආසියානු රටවල සංස්කෘතීන්ටත් වලංගුයි කියලා ඔබ හිතනවාද?

ෂ්‍යාම් – ඒතරම්ම ප්‍රබල විදියට නොවුණත් එහි බලපෑමක් තියෙනවා. ඉන්දියාව ගත්තොත් සමරිසි අයිතීන්වලට නීතිමය වලංගුතාවක් ලබා දීම මෑතකදී සිදුවුණු දැවැන්ත ක්‍රියාමාර්ගයක්. ඒ හින්දාම කලාවේ හා සාහිත්‍යයේ නිම්වළලු වඩාත් පුළුල් වුණා. මිනිස්සු වඩාත් විවෘතව, නිදහස්ව හිතන්නට පෙළෙඹෙන වාතාවරණයක් ඇති වුණා. තමන්ගේ ජීවිත අත්දැකීම් නොබියව ප්‍රකාශයට පත් කරන්න පුළුවන් කමක් ලැබුණා. ඒත් අවාසනාවකට වගේ ලංකාවේ මේ කරුණු කාරණා විවෘතව කතා කරන පරිසරයක් තවමත් නිර්මාණය වෙලා නැහැ.

  • ලංකාව කියන කුඩා දූපත ඇතුළේ සිංහල දෙමළ කියන ජන ප්‍රජාවන් සියවස් ගණනක් එකට ජීවත් වුණත් එකිනෙකාගේ සාහිත්‍යය ගැන අපිට තියෙන්නේ බොහොම අඩු දැනුමක්. ඇයි අපි මේ තරම් දුරස් වුණේ?

ෂ්‍යාම් – සරලම හේතුව අපේ භාෂාව. අපිට එකිනෙකාගේ භාෂාව වටහා ගන්නට බැහැ. මේ නිසා අපිට එකිනෙකා වටහා ගන්නවත්, එකිනෙකා ඉවසා දරා ගන්නවත් බැහැ. පරිවර්තනය සාහිතයය වැදගත් වන්නේ ඒ නිසයි.

  • ඔය විදියේ පරිවර්තන, ඒ වගේම වාර්ගික අනන්‍යතාව පදනම් කරගත්ත විවිධාකාර කවි, සිංදු, සාහිත්‍ය කෘතීන් ලියැවෙනවා. ඒත් එකම ශ්‍රී ලාංකීය ජාතියක් කියන අනන්‍යතාව ඉස්මතු කරමින් අපේ ලාංකීය සමාජය යළි ගොඩ නගන්නට සිංහල හා දෙමළ සාහිත්‍යධරයන් අතින් ප්‍රමාණවත් සේවාවක් සිද්ධ වෙනවාද?

ෂ්‍යාම් – මෙහෙමයි, ඔතැනදී කලාකරුවන් දේශපාලනිකව හිතන්නේ ඔය විදියට නෙමෙයි. ඔවුන්ට උවමනා කරන්නේ තමන්ගේ කිසියම් අත්දැකීම් සමුදායක් හෙළිදරවු කරන්නට විතරයි. නවකාවක් ලියද්දී තමන්ගේ නවකතාව මගින් ලාංකීය ජාතිය එකමුතු කිරීමක් සිදුවිය යුතු යැයි ඔවුන් අපේක්ෂා කරන්නේ නැහැ. ඔවුන්ට උවමනා තමන්ට කියන්නට අවශ්‍ය දේ ලෝකයා හමුවේ තැබීම පමණයි. ෆනීබෝයි ලියද්දී ඒ කාලය තුළ සිංහල දෙමළ ජන සමාජයේ සිදුවූ කැළඹීම් විස්තර කෙරුණා. ඒ විස්තර කිරීම නවකතාවෙන් හෙළිදරවු කරන්නට මට උවමනා වුණා. එයින් ඔබ්බට ගිය අපේක්ෂාවක් මට තිබුණේ නැහැ.

 

  • සිද්ධාන්තයක් විදියට අපිට කියන්න පුලුවන් තව දුරටත් අපේ රට තුළ යුද්ධයක් නැහැ කියලා. ඒත් තිත්ත ඇත්ත නම් සිංහල දෙමළ ජන ප්‍රජාවන් අතර උණුසුම් සහගත සැබෑ එකමුතුවක්, බැඳීමක් තවමත් ගොඩ නැගිලා නැහැ කියන එක. එක්තරා යුගයක මේ ගැටුමේ ගොදුරක් බවට පත්වෙච්ච ඔබ කොහොමද මේ සමාජය යථාර්ථය දකින්නේ?

ෂ්‍යාම් – ඔව්, ඇත්ත. මං හිතන්නේ මේකට හේතුව සිංහල – දෙමළ දෙපාර්ශ්වයටම නිවැරදි දේශපාලන නායකත්වයක් නැතිවීමයි. අපිට යහපත් දේශපාලන නායකත්වයක් තියෙනවා කියලා මං හිතන්නේ නැහැ. මේ ගැන අපි දෙන්නට පුලුවන් පැය ගණනාවක් වුණත් කතා කරන්න. යහපත් සමාජයක් ගොඩ නගන්නට සිංහල දෙමළ ජාතීන් දෙකටම ලැබුණු අවස්ථාවන් හැම එකක්ම ජාතීන් දෙක විසින්ම අවාසනාවන්ත විදියට පැහැර හැරියා, විනාශ කරලා දැම්මා. ඒකට නායකත්වය ලැබිය යුතුව තිබුණේ ඉහළම තැන්වලින්. සිවිල් සමාජයට පුලුවන් යම් යම් ක්‍රියාමාර්ග ගන්න. ඒත් සැබෑ වශයෙන්ම නිදහසක් නැතිව අපිට නිදහස්ව හිතන්නට බැහැ. මේක හරිම අවාසනාවන්ත තත්ත්වයක්. සැබෑ සාමයක් වෙනුවෙන් තිබුණු සියලු අවස්ථාවන් අපේ දෑත් අතරින් පෙනි පෙනීම මේ විදියට ගිලිහී යාම වේදනාකාරී දෙයක් විදියට මට දැනෙනවා.

  • ඔබේ ඔය පිළිතුරෙන් මට මේ විදියේ දෙයක් හිතට මතුවුණා. 83 අවාසනාවන්ත කළු ජූලියෙන් පස්සේ රට තුළ මතුවුණු අර්බුදය ඔබේ වර්ගීකරණයට ලක්වෙන්නේ කොහොමද? ඒක ත්‍රස්තවාදයක්ද? බෙදුම්වාදයක්ද? වාර්ගික අර්බුදයක්ද? සිවිල් යුද්ධයක්ද? එහෙමත් නැතිනම් ආර්ථික විෂමතාව නිසා සිදුවුණු නොවැළැක්විය හැකි සිදුවීම් ජාලාවක්ද?

ෂ්‍යාම් – මං හිතන්නේ සමන් ඔබ කිව්ව ඔය හැම දේකම එකතුවක් තමයි සිද්ධ වුණේ. දේශපාලකයන් හා සාමාන්‍ය ජනතාවගේ සිතුම් පැතුම් අතර දුරස්බවක් තිබුණා. ඒ වගේම දෙමළ ජනතාව කෙරෙහි දේශපාලනිකව කිසියම් ආකාරය හෙළා දැකීමක් දීර්ඝ කාලයක ඉදන් තිබුණා. ආගමික හා වාර්ගික සුළු ජන කොටස් සම්බන්ධයෙන් දේශපාලකයන්ගේ කොන් කිරීමක් තිබුණා. ආර්ථික විෂමතාවත් ඒකට බලපෑවා. කොටි සංවිධානය බිහිවෙන්නේ මේ වගේ පසුබමික් තුළයි. මං පෞද්ගලිකව විශ්වාස කරනවා ත්‍රස්තවාදී ව්‍යාපාරයක් බිහිවෙන්න මේ තත්ත්වය සෘජුවම බලපෑවා කියලා. ඒත් මං කොහෙත්ම අනුමත කරන්නේ නැහැ සිවිල් ජනතාව ඝාතනය කිරීම, ළමා සොල්දාදුවන් පවත්වාගෙන යාම. ඒත් මේ දේවල් වලට රජය ප්‍රතිචාර දක්වපු විලාසය හරියට ගිරයක් වගෙයි. මේ නිසා අන්තිමේදී ලංකාවේ ජනතාව ගිරයට අහුවුණු පුවක් ගෙඩියක් බවට පත්වුණා.

  • ඔබ ජීවත් වෙන කැනඩාවේ ඩයස්පෝරාව යුද සමයේ දී දැවැන්ත භූමිකාවකට පණ දුන්නා. අපි තාමත් දකිනවා කැනේඩියානු දෙමළ ඩයස්පෝරාවෙන් කොටසක් කැනඩාවේ ප්‍රධාන නගරවල කොටි සංවිධානයට පක්ෂග්‍රාහී උද්ඝෝෂණ හා රැළි පවත්වනවා. එල්ටීටීඊ හිතවාදී මේ ක්‍රියාකාරකම්වලින් සාමාන්‍ය දෙමළ ජනතාවගේ සැබෑ ජීවන අභිලාෂයන් හා ඔවුන්ගේ සැබෑ බලාපොරොත්තු නිරූපණය වෙනවා කියලා ඔබ හිතනවාද?

ෂ්‍යාම් – නැහැ මම එහෙම හිතන්නේ නැහැ. මං එහෙම විශ්වාස කරන්නෙත් නැහැ. ආර්ථික පීඩනයෙන් ඉන්න මිනිස්සු රටේ ඉන්නවා රටින් පිටවෙන්න විදියක් නැතිව. ඒ අය වෙනුවෙන් ආර්ථික පිළිසරණක් ලබාදීම ඇරුණම ඔබට ඇත්තටම යමක් කරන්න ඕනේ නම් ඇයි මෙහේ ඉදන් උද්ඝෝෂණ කරන්නේ? ඔබට එහෙම අවශ්‍යතාවත් තියෙනවා නම් රටට යන්න. රටට ගිහිල්ලයි ඒවාට විරුද්ධව නැගී සිටින්න ඕනේ.

  • අපි ආපහු සැරයක් හැරෙමු අපේ සාහිත්‍ය සංවාදයට. ෂ්‍යාම්, ඔබේ අලුත්ම නවකතාව Hungry Ghosts බෞද්ධ සාහිත්‍යය හා බෞද්ධ සංකල්ප ඇසුරෙන් ගොඩ නැගෙන නවකතාවක්. මේ පසුබිම ඔබේ නිර්මාණ වලින් අපි මීට කලින් අත්වින්දේ නැහැ. දෙමළ හින්දු සංස්කෘතික පසුබිමක් මත උපත ලබා කතෝලිකයෙකු ලෙසින් හැදී වැඩෙන ඔබට බුදුසමය මේ විදියේ බලපෑමක් කළේ කොහොමද?

ෂ්‍යාම් – මං හිතන්නේ මට ඇත්තටම ඕන වුණා මගේ ජීවිතයට කිසියම් ආකාරයක තේරුමක් එහෙමත් නැතිනම් අර්ථයක් හොයා ගෙන යන්න. එහෙම වුණේ ඇයි කියලා මං දන්නේ නැහැ. ඇත්තටම කියනවා නම් දෙමළ ජාතිකයන් තුළ  ආගමක් විදියට බුදුදහම ගැනත්, බෞද්ධ හිමිවරුන් ගැනත් තියෙන්නේ තරමක උදාසීන ආකල්පයක්. එහෙම ආකල්පයක් තමන් තුළ තියෙනවාය කියලා තමන් දන්නෙත් නැහැ, ඒත් ඇත්තටම එහෙම දෙයක් තමන් තුළ තියෙනවා. මේ අතරේ මට කියවන්න ලැබුණා කැරන් ආම්ස්ට්‍රෝන් (Karen Armstrong) ලියපු Buddha කියන පොත. ලංකාවේ ඉන්න කාලයේ මං දැනගෙන හිටිය බුදුදහමට වඩා වෙනස් දැක්මක් මං ඒ පොතින් දැක්කා. ඒ නිසා තවදුරටත් බුදුදහම ගැන කියවන්න පෙළඹුණාම මට තේරුණා බුදුදහම කියන්නේ මං හිතාගෙන හිටිය දේවල්වලට වඩා වෙනස් දෙයක් කියලා. ඒ හැම දෙයක්ම මගේ ජීවිතයට කිසියම් අර්ථයක් වැටහීමක් ගෙන දුන්නා. මං වඩාත්ම ඇළුම් කරන්නේ බුදුදහමේ තියෙන තාර්කික බවට. ඒ තාර්කික බව මට සමීප වුණා. දෙවියන් විශ්වාස කිරීම හෝ නොකිරීම ඔබේ කාර්යයක්. ඒත් බුදුදහම කියන්නේ එයින් ඔබ්බට යන දෙයක්. මට බුදුදහම කියන්නේ ජීවිතයේ සතුට ළගාකරවන දර්ශනයක්. මේ ලෝකය තුළ සතුට ළගා කරගන්නේ කොහොමද කියන කාරණාවට බුදුන් උත්තර දෙන්නේ ඔබ සතුව තියෙන ආසාවන් අත්හැර දමන්න කියලයි. ඒක බොහොම වැදගත් දෙයක්. විශේෂයෙන්ම භෞතික දේවල් ගැන තියෙන ආසාවන් අත්හැරලා දැමීම. මං බොහොමයක් පන්සල් ආරාම වලට ගියා. ථෙරවාද වලට වඩා මහායාන ඒවාට. භාවනා කළා. ඒවායේදී පාලිවලින් ලියැවුණු පාඨ කියවන්න ලැබුණා. වඩාත් යහපත් ජීවිතයක් පවත්වාගෙන යන්නේ කොහොමද කියලා වටහා  ගන්න මට ඒ දේවල් උදව් වුණා. මං දන්නවා බුදුදහම කියන්නේ ලංකාවේ නම් ආගමක්. ආගමක් විදියට පවත්වාගෙන යන්න විවිධාකාර ලංකාවේ දේවල් සිද්ධ වෙනවා. එත් මං කැමැති ඒකට නෙමෙයි. බුදුදහමේ තියෙන දර්ශනයට. ඒ නිසා මං උත්සාහ කරන්නේ ධර්මය අනුගමණය කරන්නයි. බුදුදහමේ මූලික දහම් කරුණු සමීප කරගන්න. ඒක මගේ ජීවිතයට සහනයක්. හැමදාම උදේට මං භාවනා කරනවා. බුදුදහමේ දර්ශනය ඒ විදියට මගේ ජීවිතයට ආස්වාදයක් සපයනවා වගේම තමයි අනෙක් පැත්තෙන් ගත්තොත් බෞද්ධ කතාන්දර මාව ආකර්ශනයට ලක්කරනවා. බුදුදහමේ දාර්ශනික මතවාද බෞද්ධ කතාන්දර තුළින් ඉස්මතු කරන ස්වරූපයට මං ඇළුම් කරනවා.

  • ඔබේ Hungry Ghost කෘතිය ඔය කිව්ව ජාතක කතාන්දර එක්ක කර්මය, පුනරුප්පත්තිය වගේ සංකල්ප ප්‍රධාන කතා තේමාවත් එක්ක බද්ධ කරගෙන තියෙනවා. මේ ගැන තව දුරටත් පැහැදිලි කිරීමක් කළොත්…?

ෂ්‍යාම් – Hungry Ghost නවකතාවෙන් මං උත්සාහ කළා බෞද්ධ ජාතක කතාන්දර එක්තරා විදියකින් ගෙනහැර පාන්න. ඒ විදියේ කතාන්දර මගේ ලේඛන කලාවට බද්ධ කරගෙන අඛණ්ඩව පවත්වාගෙන යාමේ ක්‍රියාවලියේ කොටසක් තමයි ඒ. මං පුද්ගලිකවම කර්මය විශ්වාස කරනවා. ඔබ කරන කියන හැම දේකම ප්‍රතිඵලය ඔබට බලාපොරොත්තු වෙන්න සිද්ධ වෙනවා. යහපත් ක්‍රියාවක් කළත් අයහපත් ක්‍රියාවක් කළත් එයට ප්‍රතිවිපාකයක් තියෙනවා, දැන් හරි පස්සේ හරි ඒක සිද්ධ වෙනවා. පුනරුප්පත්තිය මට විශ්වාස කරන්න පුළුවන්ද නැතිද කියන කාරණාව ගැන මට නිශ්චිතව කියන්න බැහැ. ඒත් මං කර්මය විශ්වාස කරනවා.

  • මං හරියටම දන්නේ නැහැ ඔබේ නිර්මාණවලින් ඔබේම පුද්ගලික ජීවිතය කොයි තරම් දුරට හෙළිදරවු වෙනවාද කියලා. ඒත් ඔබ කවදා හරි හිතලා තියෙනවාද ඔබේම ජීවිතයේ සිදුවීම් ඉස්මතු වෙන විදියේ නිර්මාණයක් කරන්න? 83 අදුරු කාල පරිච්ඡේදයේ දී ඔබේ පවුල වගේම ඔබේ නෑ හිත මිතුරන් මුහුණ දුන් සැබෑ සිද්ධීන් ඇසුරින් නිර්මාණයක් කරන්න?

ෂ්‍යාම් – මගේ නිර්මාණවලින් ඉස්මතු වෙන්නේ මගේම ජීවන අත්දැකීම්. ඒත් ඒ ස්වයං චරිතාපදානයක් විදියට නෙමෙයි. කතා වස්තුව සහ ඒ ඒ චරිත වලට වඩා ඒවායේ සිදුවීම්, කාලය, ස්ථානය, භාවමය හැඟීම් වගේ දේවල් මගේම ජීවිත අත්දැකීම්. උදාහරණයක් විදියට ෆනී බෝයි කියන නවකතාව ගත්තොත් ඒකේ ප්‍රධාන චරිතය දෙමළ තරුණයෙක්. ඔහුගේ මවත්, පියාත් දෙමළ. ඒත් මගේ අම්මා සිංහල, තාත්තා දෙමළ. එතැනම වෙනසක් තියෙනවා. මගේ අම්මා වෛද්‍යවරියක්. ඒ නිසාම නිවසේ කිසියම් තත්ත්වයක්, බලයක් ඇය සතුව තිබුණා. ඒත් නවකතාවේ අම්මාට එහෙම බලයක් නැහැ. ඇය ගෘහනියක් විතරයි. කලාවට මගේ තිබුණු කැමැත්ත දැක්ක නිසා මගේ දෙමව්පියන් මාව පුංචි කාලයේ ඉදන්ම කලා කටයුතුවලට යොමු කළා. ඒත් නවකතාවේ චරිතයට එහෙම අවස්ථාවක් නැහැ.

Selvadurai-03-Kevin-Kelly.jpg

  • ඔබව කම්පනයට පත්කරපු, එහෙමත් නැතිනම් ඔබේ ජීවිතය වෙනසකට ලක් කරපු නවකතාවක් ඔබට නම් කරන්න පුලුවන්ද?

ෂ්‍යාම් – ඔව්, මගේ ජීවිතය වෙනස් කළාම කියලා කියන්න බැරි වුණත් අනිටා දේසායි (Anita Desai) ගේ “Clear Light of Day”  එහෙම පොතක්. දිල්ලියේ පවුලක් පදනම් කරගත්ත කතාවක් ඒක. ඒ පවුල මගේ පවුලට සමීපයි. එයාලා තරමක් බටහිර පන්නයේ වුණත්, තමන්ගේ සංස්කෘතික රාමුවට බද්ධවෙලා ජීවත් වෙච්ච අය. රටේ වාර්ගික අර්බුදය ගැනත් ඇය කතා කරනවා. මේ පොත කියවද්දී මටත් හිතුණා ඒ ගැන යමක් මටත් ලියන්න තියෙනවා කියලා.

  • සාහිත්‍ය ලෝකයෙන් බැහැරව ගත්තම ඔබේ ජීවිතයට උත්තේජනයක් සපයපු එහෙමත් නැතිනම් ඔබට බලපෑමක් කරපු කිසියම් චින්තකයෙක්, දාර්ශනිකයෙක් හෝ ඔබ අනුගමනය කරන කිසියම් ආදර්ශවත් චරිතයක් (role model) තියෙනවාද?

ෂ්‍යාම් – හ්ම්ම්…නැහැ

  • කළු ජූලියට පස්සේ උදාවෙච්ච 36 වැනි වසරයි මේ දැන් අපි ගත කරන්නේ. ඒත් මෑතකදී ලංකාවේ ඇතිවූ සිදුවීම්වලින් පෙනී යන්නේ වාර්ගික පීඩනය කවර මොහොතක, කවර අවස්ථාවක, කොතැනකදී වුණත් අපේ දූපත තුළ පුපුරා යන්නට ඉඩ තියෙන බවයි. මොකක්ද ඔබට හිතෙන්නේ… ශ්‍රී ලාංකිකයන් විදියට යහපත් අනාගතයක් ගැන බලාපොරොත්තුවක් තබා ගන්න අපිට පුළුවන්ද?

ෂ්‍යාම් – අපි හැමෝම ශ්‍රී ලාංකිකයෝ. ඒ හින්දා අපිට ශ්‍රී ලාංකිකයන් විදියට යහපත් බලාපොරොත්තුවක් තියා ගන්නට ඕනේ වෙනවා. නැතිනම් කොහොමද රටක් විදියට අපි ඉදිරියට යන්නේ? කොයි කවර දෙයක් සිද්ධ වුණත් යහපත් අනාගතයක් ගැන බලාපොරොත්තු නැති කරගත යුතු නැහැ.

  • තරමක කාලයක් නිහඩව ඉදලා හිටිහැටියේම Hungry Ghost සමගින් පැමිණි ඔබ සාහිත්‍ය ලෝකය තුළ විප්ලවීය කැළඹීමක් ඇති කළා. නිහඩව ගෙවී යන මේ කාලසීමාව ඇතුළේදීත් එවැනිම දෙයක් ගැන බලාපොරොත්තු තියාගෙන ඉන්න අපිට පුලුවන්ද?

ෂ්‍යාම් – ඔව්… මගේ අලුත් පොත ඉවර කරන්න සෑහෙන කාලයක් ගෙවිලා ගියා. පොතක් ලියද්දී ඒ ගැන කතා කරන්න මං කැමැති නැහැ. මං දැන් මගේ අලුත් පොත නිමා කරමිනුයි ඉන්නේ.

(Photos – Kevin Kelly)

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

WordPress.comහි බ්ලොග් සටහනක්.

ඉහළ ↑

%d bloggers like this: