දිනෙක හිරු බැස යන වෙලාවක

සවස් යාමයේ මුහුදු වෙරළට ගිහින් හිරු බැහලා යන හැටි පැය දෙක තුනක් බලාගෙන ඉන්න ඕනේය කියලා මුලින්ම කිව්වේ මගේ වැඩිමහල් දියණිය. ගෙදර හැමෝම ඒ අදහසට ඒ මොහොතේදීම කැමැති වුණා.

මේ උදාවෙලා තියෙන්නේ කැනඩාවට වසන්තය. ඒ හින්දා කැනඩාවේ බොහොමයක් ප්‍රදේශවලට රෑ අට නවය වෙනකල්ම හොඳට ඉර එළිය තියෙනවා. හරියට ලංකාවේ හවස පහට හයට වගේ. පහුගිය සතියේ සෙනසුරාදා හවස වැන්කුවර් අගනගරයට ඉර බැහැලා යන වෙලාව විදියට සටහන් වෙලා තිබුණේ රෑ නවයයි කාල. ඒ හින්දා පැය කිහිපයක් නිසංසලේ මුහුදු වෙරළ අද්දර ඉන්න හිතාගෙන බොහොම වේලාසනින් මුහුදු වෙරළට ගියා.

වසන්තය නිසා මිනිස්සු බොහොම දෙනෙක් මුහුදු වෙරළට ඇවිත් හිටියත්, බෙහොම ඈතට විහිදෙන මුහුදු තීරයත්, ඊට යාබදව තිබුණු තණ තීරුවත් නිසා ඉඩකඩ ඇති නිස්කලංක තැන් ඕන තරම් තිබුණා. ඉර බහිනවා බලාගෙන ඉන්නවා වගේම තමයි වෙරළට ඇවිත් හිටිය පිරිස දිහා බලාගෙන ඉන්න එකත්. ඒ නිසා ගෙදර අනිත් අය වෙරළේ ගල් පරයක් උඩ ඉඳගෙන මුහුදු රළ නැගෙන පෙරළෙන හැටි බලාගෙන ඉන්න අතරේ වෙරළට යාබදව තිබුණු තණ තීරුවේ තිබුණු ලොවි බංකුවක මං වාඩි වෙලා හිටියා. බංකුව පහුකරගෙන ඇවිද ගෙන යන අය දිහා බලාගෙන ඉදීමත් ඒ අයගෙන් මතු වෙන සංවාදත් අහගෙන ඉන්න එකත් හරිම ප්‍රියජනකයි. විවිධාකාර මාතෘකා… ගැඹුරු හරබර ඒවා වගේම සැහැල්ලු සරල ඒවා. වැන්කුවර් කියන්නේ ලෝකයේ හැම අතකින්ම සංචාරකයන් ගලා‍ගෙන එන සංචාරක පුරවරයක් නිසා යන එන අයගේ මුහුණු විවිධාකාරයි. මා පහු කරමින් කතා කර කර යන විවිධ රටවල භාෂාවල රිද්මය පවා හරිම විචිත්‍රයි. ඇඳුම් පැළඳුම්වල පවා තිබුණේ හරිම අපූරු විවිධත්වයක්. උඩුකය කිසිසේත්ම නොවැසූ පිරිමි උදවියත් බොහොමයක් හිටියා.

චිත්‍ර ශිල්පීන් වෙරළ අද්දර ඉඳන් සිතුවම් අඳිනවා, මුදලට වගේම විනෝදයට. තවත් අය විවිධාකාර සංගීත භාණ්ඩ වාදනය කරනවා. ඒවා විවිධ සංස්කෘතීන් වලට අයත් සංගීතයන් නිසා පැය ගණනාවක් වුණත් අහගෙන ඉන්න පුලුවන්. තවත් අය පැදුරක් එලාගෙන නිදහසේ පොත් කියවනවා. කෑම බීම ගනිමින් විනෝද වෙන අයත් හිටියා. තවත් සමහර තරුණ පිරිස් සිංදු වාදනය කරමින් මං තීරුව ඔස්සේ නට නටා යන හැටිත් බලාගෙන ඉන්න ප්‍රියමනාපයි. ඒ අතරේ මුහුදු තීරුවේ පෙනෙන මානයෙන් විවිධාකාර විදියේ නැව්, රුවල් ඔරු වගේම විනෝදයට පදින බෝට්ටුත් ඇදී යනවා. පාත්තයන්, මුහුදු ළිහිනියන්, දිය කාවන් වගේ සතුන්ගෙනුත් මුහුදේ කිසිම අඩුවක් තිබුණේ නැහැ. මේ සෑම සියලු දෙයක් අතරේම මුහුදු රළ නැගෙන බිදෙන හඬත්, රන්වන් හිරු රැස්වල නෑවෙමින් පාවෙලා යන වලාකුළුවල විවිධ හැඩතලත් නිසා ඒ හැන්දෑව පුදුමාකාර සුන්දර සැහැල්ලු හැන්දෑවක් බවට පත් කරලා තිබුණා.  ඒත් මේ තරම් දහස් ගාණක සෙනග හිටියත් කොළ කෑල්ලක්වත් බිමට විසි නොවුණු පිරිසිදු වටපිටාවක් හැම තැනකම තිබුණු බවත් නොකියාම බැහැ.

ඔය කියන වෙලාවේ අපි හිටියේ පැසිපික් සාගරයට මායිම් වුණු English Bay කියන මුහුදු වෙරළේ. මේ මුහුදු වෙරළ අද්දර හරිම අපූරු එළිමහන් කලාගාරයක් තියෙනවා. ලෝකයේ ඕනෑම රටකින් වැන්කුවර් පුරවරයට එන මහජනතාව වෙනුවෙන්, අව්වට තෙමෙමින් වැස්සට වේලෙමින් ශිත කාලයට හිමෙන් යටවෙමින් දවස් තුන්සිය හැට පහේ ඕනෑම වෙලාවක  මේ කලාගාරය නොමිලයේම විවෘතව පවතිනවා.

ඇත්තටම මේ සටහන ලියැවෙන්නේත් මේ කලාකෘතීන් සමුදාය ගැන සටහනක් තියන්නයි. ඒකට හේතුව මේ මූර්ති පසුපස්සේ ලොකු කතාවක් තියෙන හින්දා.

Yue-Minjuns-iconic-scupltures-A-maze-ing-Laughter.-Image-via-vancouverstreetblog

ජීවමාන ප්‍රමාණයට වඩා විශාල මිනිස් සිරුරු 14ක් නිරූපණය කරන කලාකෘති සමුදායක් තමයි වෙරළ තීරුව ඉස්සරහ එළිමහන් බිම්කඩේ මේ විදියට ස්ථිරව සවි කරලා තියෙන්නේ. ඒත් විශේෂත්වයක් තියෙනවා. මේ මූර්ති දහ හතරේම තියෙන්නේ උඩුකය නිරාවරණය වුණු එකම එක මිනිසෙකුගේ රූපයක්. එකම හිනාවක්. ඉරියව් විතරයි වෙනස්. හැම මූර්තියක්ම නිමවෙලා තියෙන්නේ ලෝකඩ වලින්. මේ මූර්ති දහ හතරට පදනම් වෙච්ච රුව හිමි මිනිසා කවුද? ඔහු තමයි මේ මූර්ති නිර්මාණය කරපු කලාකරුවා. ඒ වගේම තමයි මේ හැම මූර්තියක්ම පුදුමාකාර විදියට හාස්‍ය්‍ය දනවන විදියට තමයි ඔහු නිර්මාණය කරලා තියෙන්නේ. දෙනෝ දාහක් යන එන මාවතක තමන්ගේම මුහුණ, එහෙමත් නැතිනම් තමන්ගේම සිරුර විහිළුවකට අරගෙන මේ විදියේ දැවැන්ත ප්‍රතිමා සමුදායක් නිර්මාණය කරන්න ඔහුට හිතුණේ ඇයි කියන කාරණාව මත තමයි මේ කියන්නට යන කතාවේ හරය ගැබ්වෙලා තියෙන්නේ.

නව මං සොයා ගෙන යන සමකාලීන චීන කලාකරුවකු විදියට බොහෝ දෙනාගේ කතා බහට ලක්වෙන Yue Minjun  තමයි මේ කලාකෘතිවල නිර්මාණකරුවා.  මේ මූර්ති ඔහු නිම කළේ චීනයේදී. මුලින්ම ඩොලර් දශ ලක්ෂ පහකට මිල කරලා තිබුණු මේ ප්‍රතිමා සමුදාය පස්සේ ඔහු ඩොලර් දශ ලක්ෂ එක හමාරකට වැන්කුවර් නුවරට ලබා දෙන්න තීරණය කළා. වැන්කුවර් නගරවාසීන්ටත්, නගරට පිවිසෙන සියලු දෙනාටම තෑග්ගක් විදියට මේ මුදල මුලුමනින්ම ගෙවා දැමුවේ වැන්කුවර් නුවර පදනම් කරගත්ත ලෝක ප්‍රසිද්ධ නිමි ඇදුම් නිර්මාණය කරන ආයතනයක් වන Lulu Lemon සමාගමේ හිමිකරුවා. චීනයෙන් ආනයනය කරලා වෙරළ අද්දර මේ සුන්දර බිම්කඩෙහි මූර්ති ස්ථිරව සවි කළේ 2013 වගේ කාලයක. මේ එළිමහන් කලාකෘති සමුදායට විවිධාකාර සම්මාන පවා හිමිවුණා. ඒත් Yue තමන්ගේ කලාකෘති මේ විදියට වැන්කුවර් නුවර ස්ථිර ප්‍රදර්ශනයට තියෙන හැටි දැක්කේ 2017 තරම් බොහොම මෑත කාලයේ කැනඩාවට පැමිණි සංචාරයකදී. තමන්ගේ නිර්මාණයෙන් මිනිස්සු කොයි තරම් සතුටට පත්වෙනවාද කියලා තමන්ගේ ඇස් දෙකින්ම දැක්ක කලාකරුවා පුදුමාකාර විදියට සතුටු වෙච්ච බව ඒ මෙහොතේ එතැන හිටපු මාධ්‍යවේදීන් වාර්තා කරලා තිබුණා.

minjun-arrived-in-vancouver-for-the-first-time-this-week

තමන්ගේ කලාකෘති වැන්කුවර් පුරවරයේ ස්ථිර ප්‍රදර්ශනයට තබා තියෙන ආකාරය අවුරුදු ගණනාවක පස්සේ 2017 දී ප්‍රථම වරට එහි නිර්මාතෘවරයා වන Yue Minjun දැක්ක මොහොතයි මේ

6975719

මේ මූර්ති නරඹන හැම දෙනාගේම මුවගට හිනාවක් නැගීම වළක්වන්න බැහැ. ඒ වගේම මේ මූර්ති දකින බොහොම දෙනෙක් මූර්තිවල ඉරියව් අනුකරණය කරමින් ඡායාරූප ගන්න කොයි තරම් නම් කැමැත්තක් දැක්වුවාද කියන එක එතැන ගැවසුණු කෙටි කාලය තුළදී මාත් දැක්කා.

මුලු ලොවම කම්පා කළ චීනයේ තියන්මාන් සිසු සංහාරයෙන් පස්සේ ජනප්‍රිය වෙච්ච කලා පරපුරට අයත් යූ වඩාත්ම ප්‍රසිද්ධියට පත් වුණේ ඔහුගේ තෙල් සායම් සිතුවම් වලින්. තමන්ගේ සිතුවම්වලින් සමහරක් ත්‍රිමාණ හැඩතලයකට ගෙන එන්න ගත්ත උත්සාහයක ප්‍රතිඵලයක් විදියට තමයි මේ පිළිරූ බිහිවෙලා තියෙන්නේ. යූ ගේ මේ නිර්මාණ අයත් වෙන්නේ  “cynical realism” කියන අලුත්ම කලා සම්ප්‍රදායට. මේ සම්ප්‍රදායට අඩිතාලම වැටුණේ ලොවම කම්පා කරමින් 1989 ජුනි මාසයේ චීනයේ තියන්මාන් චතුරස්‍රයේ (Tienanmen Square) දී සිදුවුණු සිසු සංහාර‍ය හින්දා.  මේ සිදුවීම ගැන කොයි කවුරුත් දන්නවා. ඒත් කෙටියෙන් මතක් කරනවා නම් ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීම, භාෂණයේ නිදහස, මාධ්‍ය නිදහස වගේම චීන රජයේ මර්දනකාරී ක්‍රියාවන්ට විරෝධය පාමින් තියන්මාන් චතුරස්‍රයට එක්වෙච්ච මිලියන ගණනක සිසුන් මැඩපවත්වන්න චීන ආණ්ඩුව පියවර ගත්තේ ආණ්ඩුවලට කවදත් හුරු පුරුදු ම්ලේච්ඡ මර්දනකාරී පිළිවෙතකින්. මේ මර්දනය කොයි තරම් දරුණු වුණාද කියනවා නම් අවසානයේදී එය කෙළවර වුණේ සිසු සංහාරයකින්. මිය ගිය සිසුන් ගණන කොයි තරම්ද කියා කියන්නත් බැරි තරම්. දස දහස් ගණනින් සිසුන් ඔය විදියට ම්ලේච්ඡ විදියට මරා දැම්මා විතරක් නෙමෙයි තවත් දස දහසක විතර සිසුන් පිරිසක් අත් අඩංගුවට අරන් දරුණු හිංසා පීඩාවන්ට භාජනය කෙරුණා. හරියටම 71-72 කාලයේ දී අපේ රටේ සිද්ධ වුණා වුගේ. එහෙමත් නැතිනම් 88-89 කාලයේදී බටලන්දේ, සූරියකන්දේදී සිද්ධ වුණා වගේ. එහෙමත් නැතිනම් පහුගිය ආණ්ඩු කාලයේ සුදුවෑන් වලින්, නිල නොලත් හමුදා කප්පම් කල්ලිවලින් සිද්ධ වුණා වගේ.

20090603-tank-cole-1000px

තියන්මාන් චත්‍රරස්‍රයේ සිසු සංහාරය සිද්ධ වෙන මොහොතේ බීජිං නුවර හෝටලයක හය වැනි මහලේ හිටපු Jeff Widene කියන ඡායාරූප ශිල්පියාගේ කැමරාටව හසු වුණු මේ ඡායාරූපය එදා මෙදා තුර ලෝකය කැළඹූ විශිෂ්ට ඡායාරූපවලින් එකක්. ‍ෂොපිං බෑග් දෙකක් අතේ එල්ලාගෙන සුදු කමිසයකින් හා ඩෙනිම් කලිසමකින් සැරසී තියන්මාන් චත්‍රරස්‍රය බලා එන යුද ටැංකි ඉදිරිපිටට නොබියව පිය නගන මේ මිනිසා කවුරුන්දැයි තවමත් හදුනාගෙන නැහැ. මේ නිසාම ඔහුව හදුන්වන්නේ Tank man නමින්. මේ පුද්ගලයා හමුදාව විසින් මරා දමනු ලබන්නට ඇතැයි ඡායාරූප ශිල්පියා විශ්වාස කළත් ඔහුට සිදුවූයේ කවරක්ද යන්නවත් හරිහැටි පැහැදිලි නැහැ. ජනතාව පීඩනයට පත් කරන පාලන තන්ත්‍රයන්ට එරෙහිව ජනතාව මහ මගට බසින අවස්ථා වලදී මේ ඡායාරූපය සංකේතයක් ලෙසින් අද ලොව පුරාව භාවිත කෙරෙනවා.

චීනයේ සිදුවෙච්ච මේ ම්ලේච්ඡ සිසු සංහාරයත්, සිනහවෙන් පිරුණු මේ මුහුණු වලත් අතර තියෙන සම්බන්ධය මොකක්ද කියන කාරණාව ඕනෑම කෙනෙකුට දැන් මතුවෙන්න පුලුවන්. අන්න එතැන තමයි අපිට හිතන්න බොහොම දේවල් ඉතිරි වෙලා තියෙන්නේ.

ඔය කියන සිසු සංහාරයෙන් පස්සේ ගෙවුණු කාලය තුළදී බිහිවුණු ආර්ථික ක්‍රියාදාමයන් එක්ක චීනයේ ආර්ථිකයේ දියුණුවක් ඇතිවුණා. රතු මකරා විදියට චීනය හදුන්වන්න තරමට ලෝකයේ ප්‍රබල ආර්ථකයකට චීනය හිමිකම් කියන්නට වුණා. ඒත් ඒ ආර්ථික දියුණුවේ වරප්‍රසාද පොදු ජනතාව වෙත ගලාගෙන ගියේ නැහැ. ඒ නිසා පොදු චීන ජනතාව හැමදාමත් හිටියේ හාමතින්, මර්දනයෙන් හා පීඩනයෙන්. ලෝකයේ ලාබම ශ්‍රමය චීනයෙන් ගන්නට බටහිර රටවලට පුලුවන්කම ලැබුණා. ලෝක ආර්ථිකයේ ඉහළ ස්ථාවරයක චීනය බැබළෙද්දී රට ඇතුළේ සිදුවෙන ප්‍රජාතන්ත්‍ර විරෝධි, මර්දනකාරී ක්‍රියාවන් වගේම පොදු ජනතාව මුහුණ දෙන ආර්ථික පීඩනය උපහාසයට නංවන්නට තමයි මේ කියන “cynical realism” කියන කලා සම්ප්‍රදාය බිහිවුණේ. Cynical කියන වචනයට සාහිත්‍යානුකූලව විවිධාකාර අර්ථ දෙන්න පුලුවන්. නුරුස්සන සුළු, නරුම, නිද්‍රාශීලී… ඔන්න ඔය වගේ තේරුමක්. ඒත් මේ කියන “cynical realism” කියන සම්ප්‍රදායට පාරිභාෂික සිංහල නමක් තියෙනවාද කියලා හොයා ගන්න උත්සාහ දැරුවත් ඒ ගැන දැනගන්න ලැබුණේ නැහැ. (කවුරුන් හෝ ඒ ගැන දන්නවා නම් කරුණාකර දැනුවත් කරන්න).

තියන්මාන් චතුරස්‍රයේ සිදුවීමෙන් පස්සෙත් දිගින් දිගටම මර්දනකාරී පිළිවෙතක් අනුගමනය කරන චීන පාලන තන්ත්‍රයත්, සමාජ යථාර්ථයත් දරුණු උපහාසයකට ලක් කරන්න කලාකරුවන් යොදා ගත්ත මගක් තමයි මේ cynical realism කියන කලා සම්ප්‍රදාය. සරලවම කියනවා නම් රටේ ආර්ථික තලයේ හා දේශපාලන තලයේ ගනුදෙනු එක්ක සමාජ යථාර්ථයේ තියෙන නොගැලපීම ගෙන හැර පාන්න කරපු කලාත්මක උත්සාහයක්. ඒ නිසා මේ හිනා මුහුණු පස්සේ සැගවිලා තියෙන්නේ හාස්‍ය්‍ය විතරක්ම නෙමෙයි. උත්ප්‍රාසය, උපහාසය, මායාකාරී යථාර්ථයට එරෙහි විරෝධය කියන හැම දෙයක්ම මේ හිනාව තුළ ගැබ්වෙලා තියෙනවා. ඒ නිසා මේ කලා සම්ප්‍රදාය බොහොම ඉක්මනින් තරුණ පරම්පරාව අතර ජනප්‍රිය වෙලා පැතිරිලා යන්න පටන් ගත්තා. මේ විදියට ගොඩ නැගෙන ආණ්ඩු විරෝධී කලා රැල්ල තමන්ගේ පාලන තන්ත්‍රයට අභියෝගයක් එල්ල කරන බව වටහා ගත්ත චීන රජය මේ කලා සම්ප්‍රදායට අයත් කලාකෘතීන් මහජන ප්‍රදර්ශනයට තැබීම තහනම් කළා විතරක් නෙමෙයි, ඒ කලා සම්ප්‍රදාය පැතිරී යාම වළක්වන්නට හැම අතකින්ම වැට බදින්නට උත්සාහ කළා. ඒත් මේ සම්ප්‍රදායට පණ පෙවුව ප්‍රධාන ධාරාවේ කලාකරුවන් එකතු වෙලා රාජ්‍ය විරෝධය හමුවේ පවා තමන්ගේ කලාකෘතීන් සමාජය හමුවේ තබන්නට විවිධාකාර පියවර ගත්තා. එයින් එක් පියවරක් තමයි බටහිර ලෝකයා හමුවේ මේ කලාකෘතීන් මුදාහැරලා සංවාදයක් මතු කරන්නට උත්සාහ දැරීම. ඉතින් ඒ අරමුණ ජයගත්ත මේ සම්ප්‍රදායේ පුරෝගාමියෙක් තමයි වැන්කුවර් නගරයේ කලාකෘති සමුදායට පණ දුන්නු Yue Minjun. ඒ නිසා මේ හාස්‍යය යටින් තියෙන සමාජ පණිවිඩය හරිම බරපතලයි.

Yue-Minjun-Execution-1995.-Image-via-Wikipedia

cynical realism මත නිර්මාණය වූ Yue-Minjunගේ සිතුවමක්. 1995 වසරේ දී නිර්මාණය කළ මේ සිතුවම නම් කරලා තියෙන්නේ Execution නමින්.

Yue-Minjun-Armed-forces-2009.-Image-via-Weng-Contemporary

Yue-Minjun 2009 දී තෙල් සායමින්  කළ මේ සිතුවම නම් කරලා තියෙන්නේ Armed Forces නමින්

English Bay වෙරළ තීරුවේ ඉඳන් මේ කලාකෘති රස විඳින මොහොතේ මට හිතුණේ මේ විදියේ එක ප්‍රතිමාවක් හරි ලංකාවේ හැම ප්‍රධාන නගරයකම ඉදිකරන්නට පුලුවන් නම් කොයි තරම් නම් අපූරුද කියලා. ඒකට හේතුව මේ කලාකෘතියෙන් ලංකාවේ ඡන්දදායකයා හරිම අපූරුවට ප්‍රතිනිර්මාණය කෙරෙන හින්දා. තමන් තමන්ටම උපහාසයෙන් හිනා වෙලා නාස් ලණු ටික ගලවා ගන්නට තාමත්‍ සූදානම් නැති නම් පහුගිය අවුරුදු හැත්තෑව පුරාම සිද්ධ වෙච්ච දේ ආපහු සැරයක් මේ ජනාධිපතිවරණයේදීත් සිද්ධ වෙන එකකොහොමත්ම වළක්වන්නට බැහැ. ඒ නිසා විවිධාකාර කඳවුරු වලින් ජනාධිපති අපේක්ෂකයන් වැට පැන ගෙන එන මේ මොහොතේ ඡන්ද දායකයන් විදියට මුලින්ම කරන්නට තියෙන්නේ තමන්ගේම යථාර්ථය තමන්ම වටහා ගැනීමයි. නැතිනම් කිසිදාක ගොඩ යාමක් නම් නැහැ. පිස්සෙක් රජ වුණාම හැම පිස්සෙක්ම හිතනවා තමන්ටත් රජ වෙන්න පුලුවන් කියලා. ඒ වගේම මැරයන්ට පාලන බලය ලැබුණාම හැම මැරයාම හිතනවා තමන්ටත් රට කරවන්න පුලුවන් කියලා. ජෝකරයන් කැබිනට් මණ්ඩලයක ඉන්න කොට වටපිටාවේ ඉන්න හැම ජෝකර්ම හිතනවා තමනුත් කැබිනට් මණ්ඩලයට සුදුසුයි කියලා. ඒ විතරක් නෙමෙයි හැට හැත්තෑව පැන්න සීයලා ආණ්ඩු කරන කොට, විපක්ෂ නායකවරු වෙලා ඉන්න කොට වැඩිහිටි නිවාස වලට යන්න ඔන්න මෙන්න ඉන්න අයටත් හිතනවා කනත්තේ මිනී වළේ සැතපෙන්න කලින් රජ මැදුරට ගිහින් සිරි යහනේ සැතපිලා බලන්න ඕනේ කියලා. ඉතින් ලංකාවේ ජනාධිපතිවරණය ඔන්න ඔය තරම්ම සැහැල්ලු සිල්ලර වෙන්දේසියක තත්ත්වයටම අද පත්වෙලා.

French president Macron age 39, Luxembourg prime minister Bettel age 44, Belgium Prime minister Michel age 41, Canadian Prime minister Trudeau age 44

අලුත් අදහස් මත රටකට නායකත්වය දෙමින් රටේ ආර්ථිකයේ ප්‍රතිලාභ සිය පුරවැසියන් වෙනුවෙන් වෙන් කරන ප්‍රබල රටවල් හතරක තරුණ නායකත්වය – (ඔබේ වම් අතේ සිට දකුණු පැත්තට) අවුරුදු 39 ක් වයසැති ප්‍රංශ ජනාධිපති Macron, අවුරුදු  44 ක් වයසැති ලක්සම්බර්ග් අගමැති Bettel, අවුරුදු 41 ක් වයසැති බෙල්ජියම් අගමැති Michel සහ අවුරුදු 44 ක් වයසැති කැනඩාවේ අගමැති Trudeau. (ලංකාවේ – ජනාධිපතිවරයා අවුරුදු 67යි, අගමැතිවරයා අවුරුදු 70යි,  තවමත් ජනාධිපති සිහින දකින හිටපු ජනාධිපතිවරයා අවුරුදු 73යි, ජනාධිපති සිහින දකින හිටපු ආරක්ෂක ලේකම්වරයා අවුරදු 70යි, කථානායකවරයා අවුරුදු 78යි, හිටපු කතානායකවරයා අවුරුදු 76යි)

හරකෙතුට වුණත් නාස් ලණුවක් දාන්න ලේසි නැහැ. පුලුවන් තරම් ප්‍රතිවිරෝධයක් දක්වනවා. අශ්වයකුට වුණත් ඒ තරම් පහසුවෙන් හීලෑ කරගන්න බැහැ. ඕනෑම තිරිසන් සත්වයෙක් එහෙම තමයි. ඒත් ලාංකීය ඡන්ද දායකයාට නම් නාස් ලණුව දාන එක හරිම පහසුයි. නාස් ලණුව පෙන්වන්න විතරමයි ඕනේ. තමන්ගේම අතින් දාගෙන ඉවරයි. “ඡන්දදායකයා බුද්ධිමත්” කියන මායාව දේශපාලකයන් නිර්මාණය කරන්නේ ඡන්ද දායකයාගේ ඒ යටහත් පහත් භාවයට කළගුණ සළකන්නයි. ඒත් ඇත්තටම පොදුවේ ගත්තම ලාංකීය ඡන්ද දායකයා කියන්නේ තමන්ගේ මොළ ගෙඩිය ඇගිල්ල පාට කරන ඡන්ද මධ්‍යස්ථානයේ නිලධාරියා ඉස්සරහ මේසයෙන් තියලා හිස් ඔළුගෙඩියෙන් ගිහින් කතිරය ගහන අපූරු සත්ව විශේෂයක්.

ජනාධිපතිවරණයේ දී බුද්ධිමත් තීරණයක් ගන්නට කියන හැමෝම බලපොරොත්තු වෙන්නේ තමන් බැලමෙහෙවර කරන පක්ෂයට කතිරය ගහන්න කියන එකම තමයි. මේ වගේ ඔලමොට්ටල ප්‍රබුද්ධයන්ගෙන් මුහුණු පොත පවා පිරිලා. එයාලා හරියට තමන්ගේ නාස් ලණුවල ශක්තිය, ඉස්තරම්කම, අලංකාරත්වය ගැන පුරසාරම් දොඩන හරක් පට්ටියක සාමාජිකයන් වගෙයි. ඉතින් මේ වගේ නාස් ලණු බුද්ධිමතුන් දිහා ඔය විදියේ නිර්දය උපහාසයෙන් සිනාවීමත් cynical realism කලා සම්ප්‍රදායේම කොටසක්.

තමනුත් නොදැනුවත්වම කාගේ හරි නාස් ලණුවක් තමන්ටත් වැටිලද  කියලා දැන ගන්න හරිම ලෙහෙසියි, පහසුයි. පොරකා, තෙරපී පිටකොටුවෙන් බස් රථයට නගින කාර්යාල සේවකයාට ඒ තෙරපීමෙන්ම මිරිකී මහරගමින් බහින්න පැය දෙක තුනක් ගත වෙද්දී තමන් මේ තරම්ම දුක් විදින්නේ ඇයිද කියලා හිතාගන්න බැරි නම් ඒ කියන්නේ නාස් ලණුවක් තමනුත් දාගෙනයි ඉන්නේ.

හරක් ගාලක වගේ සෙනග පටවාගෙන කොටුව දුම්රිය ස්ථානයෙන් පිටත්ව එන දුම්රියට අමාරුවෙන් නැග ගෙන, ක්‍රියාන්විත යුද මෙහෙයුමක නිරත වූණා වගේ හෙම්බත්ව රාගමින් බහිද්දී සම්පත් අනූන රටක පුරවැසියෙකු විදියට ඉපදුණු තමන්ට මේ දුක උරුමද කියලා හිතා ගන්න බැරි නම් නිසැකයෙන්ම නාස් ලණුවක් වැටිලයි තියෙන්නේ.

ඒ වගේම ප්‍රභූ රථ පෙළට මාවත ඉඩ දීලා ඒ අය යනකම් දහදියෙන්, දූවිල්ලෙන් නෑවීලා යටහත් පහත්ව මාර්ගයේ ඉඩ දෙන්නට සිදුවෙලා තියෙන වෙලාවකවත් තමන්ට නැති වරප්‍රසාද ඒ ප්‍රභූවරයාට ලැබුණේ කොහොමද කියලා වටහා ගන්නටවත් බැරි නම් ඒ කියන්නේ තමන් කැමැත්තෙන්ම නාස් ලණුවක් දාගෙනයි ඉන්නේ.

උපාධිය අතැති තම දූ පුතුන්ට අනාගතයක් ගැන හිතන්නටවත් ඉඩක් නැති පසුබිමක එදා මෙදා තුර අවුරුදු හැට හැත්තෑවක් පුරාම රට සින්නක්කරයට ගත්තු අවුරුදු හැට හැත්තෑවක් පැන්න වෘද්ධයන් රැළක් රටේ නායකයන් කරවා ඔවුන්ගේ ආර්යාවන්ගේත්,  උන්ගේ නොසන්ඩාල දූපුතුන්ගේත් පවුල් නගා හිටවන්න තමන්ගේ බදු මුදල් පිනට දෙන්නේ ඇයිද කියලා හිතන්නටවත් මහන්සියක් ගන්නට බැරි නම් ඒ කියන්නේ නාස් ලණුව විතරක් නෙමෙයි දෑතට විලංගු පවා වැටිලා.

Living-US-Presidents.Reuters-1

වංචා කරගත් මහජන මුදල් හෝ හිමිකාරත්වයක් නොමැති මන්දිර වෙනුවෙන් නඩු නැති, විදේශ ණය ආධාර හා ජනතා බදු මුදල් පවුලේ සුඛ විහරණයට හෝ විනෝද සංචාර සදහා යොදා ගත් බවට  චෝදනා නැති, කප්පම් කල්ලි  මෙහෙයවීම හා ඝාතනයන් සම්බන්ධයෙන් තමන් මෙන්ම තම දූ පුතුන් ද බේරා ගන්නට අවශ්‍යතාවයක් නැති , ඒ නිසාම බලය අල්ලා ගැනීම වෙනුවෙන් ජනතාව ඉදිරියේ රගපෑම් කරන්නට උවමනා නොවූ ඇමරිකානු ජනාධිපතිවරුන් පස් දෙනෙකු සිය විශ්‍රාම දිවිය සැහැල්ලුවෙන් හා නිදහසින් ගෙවා දමමින්…

මේ සටහන නිමා කරන්නට කලින් තවත් එක දෙයක් සිහිපත් කරන්නටම ඕනේ. මේ කියන දේ සිද්ධ වුණේ මුහුදු වෙරළේ ගත කළ ඔය කියන සති අන්ත සවස් යාමයෙන් පස්සේ උදාවෙච්ච සදුදා දවසේ මං සේවයට යද්දියි. සේවයට යන අතරතුරේ ගුවන් විදුලියේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන් දීම හැමදාමත් කරන පුරුද්දක්. ඔය කියන දවසේ ප්‍රවෘත්ති විකාශයෙන් කැනඩාවේ අගමැති ජස්ටින් ටෘඩෝ ගැන ප්‍රවෘත්තියක් කියැවුණා. මගේ නිවස පිහිටලා තියෙන සරේ (Surrey) පුරවරයට අගමැතිවරයා ඇවිත් කරපු දේශනයක් ගැන තමයි ප්‍රවෘත්තියට පාදක වෙලා තිබුණේ. මේ දේශනය අගමැතිවරයා කරලා තිබුණේ මගේ ගේ ළගම පයින් යන දුරක තියෙන ප්‍රජා ශාලාවක (Surrey Recreation Center) ඉදන්. අතිශයින්ම කාර්ය බහුල අගමැතිවරයෙක් වන ඔහුට මා ජීවත් වෙන සරේ ප්‍රදේශයට නිතර එන්න ඉඩකඩක් ලැබෙන්නේ නැහැ.  කැනඩාව කියන්නේ ලෝකයේ විශාලතම දෙවැනි රට. රට ඇතුළේ පවා එහා කෙළවරේ ඉදන් මෙහා කෙළවරට පැය තුනක වෙලාවේ වෙනසක් ඇති තරමටම රට විශාලයි. අගමැතිවරයා තමන්ගේ රාජකාරිය කරන්නේ මා ජීවත් වෙන British Columbia කියන ප්‍රාන්තයට මුලුමනින්ම අනෙක් අන්තයේ පිහිටලා තියෙන Ontario ප්‍රාන්තයේ ඉදන්. ඉතින් පැය පහක හයක දීර්ඝ අභ්‍යන්තර ගුවන් ගමනක යෙදිලා මගේ ගේ අද්දර ප්‍රජා ශාලාවකට ඇවිත් රටේ ප්‍රධානතම පුරවැසියා දේශනයක් කරපු බව මං දැනගත්තේත් ගුවන් විදුලියෙන්. නිරන්තරයෙන් මාධ්‍යවල පළවෙන දෑ සම්බන්ධයෙන් අවධානයෙන් සිටියත් ඒ පිළිබද කිසිම පූර්ව ප්‍රවෘත්තියක්වත්, ප්‍රචාරයක්වත් මං ඊට කලින් දැක්කේත් නැහැ. අගමැතිවරයා පිළිගැනීම වෙනුවෙන් අඩුම තරමින් A4 ප්‍රමාණයේ දැන්වීමක්වත් මං කිසිම තැනක දැක්කේ නැහැ.

ඒ විතරක් නෙමෙයි, මේ කියන ප්‍රවෘත්තිය විකාශය වුණේ ප්‍රාදේශීය ප්‍රවෘත්ති විකාශෙයෙන්. කැනඩාව දැවැන්ත රටක් නිසා ජාතික ප්‍රවෘත්ති සහ ප්‍රාදේශීය ප්‍රවෘත්ති (National and Local) විදියට ප්‍රවෘත්ති ප්‍රචාරයන් දෙකක් කැනඩාවේ හැම ප්‍රාන්තයකම ප්‍රචාරය කෙරෙනවා. ඒ නිසා ප්‍රාදේශීය ප්‍රවෘත්ති වලදී අවධාරණය කෙරෙන්නේ ප්‍රාදේශීය මට්ටමේ වැදගත් සිදුවීම්. ඒත් මේ කියන ප්‍රාදේශීය ප්‍රවෘත්ති විකාශයේ දී රටේ ප්‍රධාන පුරවැසියා වන අගමැතිවරයා ප්‍රාදේශීය ගම් පියසට ඇවිත් කරපු දේශනය විකාශය වුණේ තුන්වැනි ප්‍රවෘත්තිය විදියටයි.  මුල්ම ප්‍රවෘත්ති දෙකම වෙන් වෙලා තිබුණේ පරිසරය හා බැදුනු ප්‍රවෘත්ති දෙකක් වෙනුවෙන්.

දේශපාලකයාත්, ඔහුගෙන් විය යුතු සේවාවත් කවරාකාරදැයි සැබෑ ලෙසින්ම හදුනා ගත්තු දියුණු සමාජ මනසක් ඇති රටක ස්වභාවය තමයි ඒ. නාස් ල‍ණු දමා නොගත් ඡන්ද දායකයන් පිරිසක් ඉන්න සමාජ ක්‍රමයක යථාර්ථය තමයි ඒ.

මහාවංසයට අනුව අර්ථ දක්වනවා නම් පස් වැනි මිහිදුගේ පාලනය කියන්නේ අපේ දිවයිනේ ඉතිහාසය තුළ තිබුණු දුර්වලම පාලන කාලය. කොයි තරම් නම් දුර්වල පාලන කාලයක් වුණාද කියනවා නම් පස් වැනි මිහිදුගේ කාලයේ දී රටේ ජනතාව අය බදු පවා ගෙවන එක පැහැර හැරියා. ඒත් මහ දවල් මහ බැංකුව බින්ඳ ආණ්ඩුවකට, ඒ වගේම පල්ලියට ගිය බැතිමතුන් මහ දවල් මරා දමන්නට ඉඩකඩ හදා දුන් ආණ්ඩුවකට හිතුමතයේ ආණ්ඩු කරන්නට ඉඩ දෙන්නට තරම් බෙලහීන පරපුරක පුරුක් වෙච්ච අපි පස්වැනි මිහිදු සමයටවත් සුදුසු පුරවැසියන් නෙමෙයි.

ඒ වගේම තමන්ගෙන්ම සොරා කෑ බදු මුදලින් සොච්චමක් වැය කර තැනුව අධිවේගී මාර්ගයක, තම දූ පුතුන්ට හිමි විය යුතු සම්පත් සියල්ල තනි බූදලයට පවරා ගෙන විදේශ ණය ආධාරයෙන් ඉදිකරපු වරායක, ගුවන් තොටුපළක එහෙමත් නැතිනම් නෙළුම් කුළුණක අසිරියෙන් සිහිවිකල්ව ජයගෝසා නගමින් ඒ පවුල් පරපුරම යළිත් නගා හිටුවන්නට තරම් නාස් ලණු දමාගත්ත සමාජයක පුරවැසියන් වෙච්ච අපේ ඔළු ඇතුළේ තියෙන්නේ පස් වැනි මිහිදුගේ සමයටත් ඔබ්බට ගිය ගෝත්‍රික සමාජයක ප්‍රාථමික මනසක්.

ඒ වගේ ප්‍රාථමික සමාජ මනසක් පරිණත් මට්ටමකට ගෙන එන්නට නම්  cynical realism වලටත් වඩා ඔබ්බට ගිය අලුත් සම්ප්‍රදායක් හොයා ගෙන යන්නට අපිට සිද්ධ වේවි; වහල්ලුන්ගේ යථාර්ථය (slavery realism) වගේ අලුත් නමකුත් එක්ක.

Howard Zinn කියන්නේ මෑත කාලයේ බොහොම විවාදාසම්පන්න කතා බහට ලක්වෙච්ච පොත් පත් රැසක කතුවරයෙක් වුණු ඇමරිකානු සමාජ චින්තකයෙක්. ඔහු මිය ගියේ මෑතකදී. ප්‍රසිද්ධ දේශනයකදී ඔහු වරක් මෙහෙම කිව්වා. නාස් ලණු දමාගත්ත කොයි කවර සමාජයකට වුණත් මේ කියමන මසුරන් වටිනවා.

Howard Zinn

Howard Zinn

“ සමාජයක තියෙන අකීකරුකම නෙමෙයි අද අපිට තියෙන ප්‍රශ්නය; කීකරුකමයි. ඔය කියන කීකරුකම නිසා මිලියන ගණනක් මිනිස්සු ඝාතනයට, දුප්පත්කමට, මන්දපෝෂණයට වගේම මෝඩ අමනයන් රැළක් බවට පත්වෙලා තියෙනවා. මහා පරිමාණ හොරුන් රට පාලනය කරද්දී සාමාන්‍ය හොරුන්ගෙන් හිර ගෙවල් පිරෙනවා. ජනතාවගේ ඔය කියන කීකරුකම තමයි අද අපිට තියෙන ලොකුම ප්‍රශ්නය ”

(“Civil Disobedience is not our problem; Our problem is civil obedience – Our problem is that people all over the world have obeyed the dictates of leaders. Millions have been killed because of this obedience. Our problem is that people are obedient all over the world in the face of poverty, starvation, stupidity, war and cruelty. Our problem is that people are obediently filling our jails full of petty thieves while the grand thieves are running the country; that’s our problem” – Howard Zinn)

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )