වසන්තය ගැන හිතන්නට නම්…!

pexels-photo-1477430

ඉරිදා හවස් වරුවේ අවමගුල් උත්සවයකට සහභාගි වෙන්න අවමංගල්‍ය ශාලාවකට ගියා. මිය ගිහින් තිබුණේ‍ මගේ ආයතනයේ යෙහෙළියකගේ මාමණ්ඩිය. ඒ කියන්නේ ඇගේ සැමියාගේ පියා. ඇයත්, මාත් වැඩ කරන අංශයන් සපුරා වෙනස් වුණත්, හවසට ඇයව ආයතනයෙන් අරගෙන යන්නට එන ඇගේ සැමියා නිතර මට මුණ ගැසෙන නිසා ඔහු සමගත් සමීප දැන හැඳුනුම්කමක් මට තිබුණා.

ඇගේ මාමණ්ඩිය මිය ගිහින් තිබුණේ පවුලේ අයත් සමග තරමක දිග විනෝද චාරිකාවක් ගිහින් ආපහු කැනඩාවට එන අතරේදී ගුවන් යානයේදීමයි. ඒ කියන්නේ උඩු ගුවනේදි. මරණය සිද්ධ වුණේ කැනඩාවේ අපි ඉන්න ප්‍රාන්තයට බොහොම ඈතින් තියෙන Quebec ප්‍රාන්තයේ දී නිසා ලියකියවිලි කටයුතු ඉවර කරලා මෘත දේහය වැන්කුවර් වලට එන්න දවස් තුන හතරක්ම ගියා. මේ නිසා අවමගුල් උත්සවය පැවැත්වුණේ මරණයෙන් සතියක් විතර ගිහිල්ලයි. සමීපවම ඇසුරු කරපු කිහිප දෙනෙකු හැරෙන්නට බොහොම දෙනෙක් මේ මරණය ගැන දැනගෙන හිටියේ නැහැ. ඒ නිසා මේ අවමංගල්‍යයට ආයතනයෙන් සහභාගි වුණේ දෙතුන් දෙනෙක් විතරයි.

අවමංගල්‍ය ශාලාවට මං යද්දි අවමංගල්‍යය උත්සවය පටන් අරන් ටික වෙලාවක්. ශාලාවේ ඈත කෙළවරක මෘත දේහය තැන්පත් කරලා තිබුණේ දේහයේ උඩ කොටසට විවෘත වෙන විදියට මිනී පෙට්ටිය විවර කරලයි. ඒ තරම්ම විශාල ශාලාවක් නොවුණත් මෘත දේහය ඈතට පෙනුණේ නැහැ. මේ අවමංග්‍යයට මං සහභාගි වෙන බව දැනගත්තු, මගේ යෙහෙළියගේ අංශයේම වැඩ කරන තවත් යෙහෙළියක් මාත් එක්කම ඒ ගමනට එකතු වුණා. අපි එතැනට යද්දී අවමංගල්‍ය උත්සවයේ වැඩ කටයුතු කෙරෙමින් පැවතුණු නිසා අපි නිහඩවම ශාලාවේ පසුපස කෙළවරවල තිබුණු දිග අසුන්වලින් එකක වාඩි වුණා. මාත් එක්ක ගමනට එකතු වෙච්ච යෙහෙළිය අවංමගල්‍ය ශාලාවේ දොරින් ඇතුලු වෙද්දීම පුදුමාකාර විදියට නොසන්සුන් වුණා. “මිනී පෙට්ටිය ඇරලා…. එයාව පේනවා” ඇය මිමිණුවේ හොදටම බියපත් වෙලා. මිනී පෙට්ටිය අඩක් විවෘතව තිබුණත් මෘත දේහය නම් කොහෙත්ම පෙනුනේ නැති බව මට හොදටම විශ්වාසයි. ඇගේ බියපත්කම නිසාම ඉස්සි ඉස්සී බැලුවත් අඩුම තරමින්  මිය ගිය පුද්ගලයාගේ කෙස් ගසක්වත් අප සිටින තැනට පෙනුණේ නැහැ. (මෘත දේහය තැන්පත් කරලා තිබුණේ එය කිසිසේත්ම එළියට නොඑන පරිද්දෙන් මිනී පෙට්ටියේ තරමක ගැඹුරකට වෙන්නට බව මට තහවුරු වුණේ උත්සව සභාවෙන් පස්සේ සමීපයට ගොස් මෘත දේහයට අවසාන ගෞරවය දක්වද්දීයි). නොසන්සුන්කම අතරේම තමන්ගේ ජංගම දුරකථනය අතට අරන් ඇය කුමක්දෝ දෙයක් කලබලයෙන් ටයිප් කරන්නට පටන් ගත්ත නිසා උත්සව සභාවේ ඒ මොහොතේ කතා කරමින් සිටි තැනැත්තාගේ හඬට කන්දෙන්නට මං උත්සාහ ගත්තා. ඒත් ඒ එක්කම මා අසලින්ම හිදගෙන සිටි යෙහෙළිය කලබලයෙන්ම ආසනයෙන් නැගිට එළියට යන්නට වුණා. ශාලාවේ අසුන් අරන් විනාඩි දෙක තුනක්වත් ගෙවී යන්නට මත්තෙන් ඇය එසේ නැගිට යාමට හේතුව හිතාගන්නට උත්සාහ දරන්නටත් කලින් මගේ ජංගම දුරකථනයට කෙටි පණිවිඩයක් ලැබුණා. ඒ ඇගෙන්. ඇය පිටත්ව යන බවත්, පසුදා ආයතනයට පැමිණි විට සියල්ල විස්තර කරන බවත් තමයි පණිවිඩයේ සටහන් වෙලා තිබුණේ. ඇය ගැන සොයා බැලිය යුතු යැයි හිතුණු හින්දා ඒ මොහොතේම වගේ මාත් ශාලාවෙන් පිටතට ආවා. ඒත් අවමංගල්‍ය ශාලාව තිබුණු භූමියේ ඒ අවට කිසිම තැනක ඇය ඉන්නවා මට පෙනුණේ නැහැ. අවමංගල්‍ය ශාලාව පිහිටලා තිබුණේ ප්‍රධාන පාරෙන් මීටර් විස්සක් තිහක් විතර ඇතුළට වෙන්න. ඒ හින්දා මං ඉක්මනටම ප්‍රධාන පාර දිහාවට දුවගෙන ගියා. ප්‍රධාන පාරේ බොහොම ඈතින් ඉක්මන් ඉක්මන් ගමනින් ඇවිද ගෙන යන ඇයව මා දුටුවේ එතකොටයි. ඇත්තටම කියනවා නම් ඇය හැඳගෙන ආපු ඇඳුම නොවන්නට ඇයව හඳුනා ගන්නත් බැරි තරම් දුරක තමයි ඇය හිටියේ. මේ සුලු වෙලාවට ඒ තරම්ම දුරක් යන්නටනම් දුවන්නටම ඕන බව තේරුම් ගන්න මට අසීරු වුණේ නැහැ. ඇයට කරදරයක් නැති බව ජංගම දුරකථනයෙන් තහවුරු කරගත්තාට පස්සේ නැවත  වරක් අවමංගල්‍ය ශාලාවට මං ඇතුලු වෙද්දී මුලු අවමංගල්‍ය ශාලාවම හිනාවෙන් පිරිලා ඉතිරිලා යමින් තිබුණා. ඒ මොහොතේ අවමංගල්‍ය සභාව අමතමින් හිටිය ඥාතියෙක් තමන්ගේ මියගිය වැඩිහිටි ඥාතියාගේ අතීත සිදුවීම් මාලාවක් දිග හරිමින් හිටියා. ඒ බොහොමයක් දේවල් හාස්‍යයෙන් පිරුණු දේවල් නිසා අවමංගල්‍ය ශාලාව සෑහෙන වෙලාවකට මංගල්‍ය ශාලාවක් තරමටම සිනාවෙන් පිරුණා. ඊට පසුව කතා කළ පවුලේ සාමාජිකයන් පවා අඩක් විවෘත වෙච්ච මෘත දේහය දිහාවට දෑත් යොමු කරමින් මියගිය තම පියාගේ, සීයාගේ, වැඩිහිටි ඥාතියාගේ ජීවිතයේ විවිධාකාර රසමුසු සිදුවීම් හෙළිදරවු කරද්දී කඳුලින් දෑස් බරව සිටි පිරිසට පවා සිනහව නවත්වා ගන්නට හැකි වුණේ නැහැ.

iStock-465109043sm

අවමංගල්‍ය භෝජන සංග්‍රහයක්

කැනඩාව වගේ රටවල අවමංගල්‍ය උත්සවයකදී මේ වගේ සිදුවීම් බොහොම සුලභයි. ඒකට හේතුව අවමංගල්‍ය උත්සවයකදී ඒවා පැවැත්වෙන්නේ මියගිය පුද්ගලයාගේ ජීවිතය සමරන (celebration) ආකාරයෙන් මිසක් අපට හුරු පුරුදු විදියට හඬා දොඩා විලාප දෙන ඛේදවාචකයක් විදියට නොවෙන හින්දා. ඉතින් මිය ගිය පුද්ගලයාගේ දරු මුණුපුරන්, සැමියා – බිරිඳ පවා මියගිය පුද්ගලයාත්, තමනුත් අතර තිබුණු ජීවිත සබඳතා වලදී මතුවුණු රස මුසු සිදුවීම් විස්තර කරන්නට පැකිලෙන්නේ නැහැ. මේ නිසා මිය ගිය පුද්ගලයාගේ ජීවිතයේ විවිධාකාර පෞරුෂ අගයන් එකිනෙකා එක්ක බෙදා හදා ගන්නට ඉඩක් ලැබෙනවා විතරක් නෙමෙයි මියගිය පුද්ගලයා ගැන බොහොම අව්‍යාජ ප්‍රසන්න මතකයක් ජීවත් වන්නන් තුළ ඉතිරි කරන්නටත් සමත් වෙනවා. කෙනෙක් මියගියාට පස්සේ පුවත්පතේ පළවෙන මරණ දැන්වීමේ පවා විස්තර කෙරෙන්නේ අදාළ තැනැත්තාගෙන් රටට සිදුවූ සේවය, ඔහුගේ හෝ ඇයගේ ජීවිතයේ සුවිශේෂී අවස්ථාවන් වගේ දේවල් විතරයි. කොහොම වුණත් සුසාන භූමියෙන් කෙළවර වෙන මේ ජීවන ගමනේ කෙළවර සිද්ධ වෙන්නේ අපූරු භෝජන සංග්‍රහයකින්. මේ භෝජන සංග්‍රහ පැවැත්වෙන්නේ අවමංගල්‍ය ශාලාවේම වෙනත් කොටසක. බොහොමයක් වෙලාවට මේ භෝජන සංග්‍රහය පැවැත්වෙන්නේ උත්සව සභාවෙන් පස්සේ මෘත දේහය භුමිදාන කරලා, අවමංගල්‍ය උත්සවයට සහභාගි වෙච්ච පිරිස නැවත ශාලාවට ඇවිල්ලයි. ඒත් කුමක් හෝ කරුණක් නිසා මේ අවමංගල්‍යයේ භූමිදාන කටයුතු කරන්නට නියම වෙලා තිබුණේ පසුදාටයි. මේ හින්දා  අවමංගල්‍ය උත්සවය සභාව නිමාවූ සැනින භෝජන සංග්‍රහය පටන් ගත්තා. ඒ කියන්නේ අවමංගල්‍ය ශාලාවේ එක් කාමරයක මෘත දේහය තැන්පත් කරලා තියෙද්දී, ඒ වෙලාවෙදිම අල්ලපු කාමරයේ ‍භෝජන සංග්‍රහය පැවැත්වුණා. 

මේ සිදුවීම් සමුදාය පිටුපස්සේ තියෙන සැබෑ යථාර්ථය බුදු දහමේ හරයත් එක්ක කොයි තරම් නම් බැඳී තියෙනවාද කියන කාරණාව මට දැනුණේ ටික කාලයකට කලින්. ඒ කියන්නේ කැනඩාවට ඇවිත් මේ අත්දැකීම ලබපු මුල්ම මොහොතේ. බුදුදහම නමින්ම නොවුණත්, බුදු දහමේ සංකල්ප මේ රටවල ප්‍රායෝගිකව ක්‍රියාත්මක වෙන අවස්ථා වලින් එකම එකක් තමයි මේ.

කොහොම වුණත් අවමංගල්‍ය ශාලාවෙන් පැන දිවූ මගේ යෙහෙළිය පසුව මට විස්තර කළේ ඇයට එසේ එන්නට බලපෑවේ ඇය හැදුණු වැඩුණු පරිසරයේ ආගමික විශ්වාසයන්ගේ පදනම හින්දා කියලයි. මොරොක්කෝවේ උපත ලබා හැදුණු වැඩුණු ඇය කැනඩාවට සංක්‍රමණය වුණේ මෑතකදී. විවෘත කෙරුණු පෙට්ටියක් තුළ මෘත දේහයක් මේ අයුරින් ප්‍රදර්ශනය වීම ඇගේ ආගමික විශ්වාසයන් එක්ක ගැටෙන්නේ කොහොමද කියන කාරණාව ගැන ගැඹුරින් සොයා බලන්නට මට උවමනාවක් තිබුණේ නැහැ. ඇතැම් විටෙක ඒ තමන්ගේ ආගමික විශ්වාසයන්ටත් එහා ගිය පුද්ගලික චරිත ලක්ෂණ නිසා වෙන්නත් පුලුවන්. ඒත් මරණය, ශෝක සංතාපය කියන කාරණාව ආගමික විශ්වාසයන් මගින් කිසියම් පටු තැනක සිර කරනවා නම්, එහෙමත් නැතිනම් කිසියම් සර්ව බලධාරී බලවේගයක විනිශ්චයක් මගින් සිදුකරනවාය යන විශ්වාසයට තල්ලු කරනවා නම් ඒ තල්ලු කරන ප්‍රවේගයට සාපේක්ෂව එම තැනැත්තාගේ චින්තන හැකියාවත් මොට වෙනවා නේද කියලා ඇයත් එක්ක කතා කරද්දී මට හිතුණා. හරියට නිව්ටන්ගේ තුන්වැනි නියමය වගේ. මේ වෙලාවේ බෞද්ධ සාහිත්‍යයේ එන සංවාදයක් මගේ මතකයට ආවා. බුදුන් හා බමුණෙකු අතර ඇතිවුණු මේ සංවාදය මා කියැවුයේ කොතැනකද කියා හරියටම මතක නැතත් මේ සංවාදයේ දෙබස් බොහොමයක් තාමත් මතකයේ රැඳී තියෙනවා. මට මතක විදියට මේ සංවාදය ඇතිවුණේ තමන්ගේ දරුවෙකුගේ මරණයකදී දුක ශෝකය දරා ගන්නේ කොහොම කියන කාරණාව ගැන බමුණෙකු මතු කරපු ප්‍රශ්නයක් නිසයි.

බුදුන් : ඔබේ දරුවා මිය ගියහොත් ඔබට එය දැනෙන්නේ කොහොමද?

බමුණා : මට ඒක දරාගන්නම බැරි වේවි. ජීවත් වෙලා පලක් නැහැ කියා හිතේවි. මටත් මැරෙන්නටම හිතේවි.

බුදුන් : ඔබේ සමීප ඥාතියෙකුගේ දරුවෙකු මිය ගියොත්?

බමුණා : මට තදබල දුකක් දැනේවි. ඒත් මගේ දරුවා මිය ගිය තරම්ම දුකක් නොදැනේවි.

බුදුන් : ඔබේ අසල්වැසියෙකුගේ දරුවෙකු මිය ගියොත් ?

බමුණා : දුකක් දැනේවි. ඒත් අර කලින් අවස්ථා දෙකේ තරම් දුකක් නම් නොදැනේවි.

බුදුන් : ඔබ නොදන්නා තැනැත්තෙකුගේ දරුවෙකු මිය ගියොත්?

බමුණා : මට එතරම් දුකක් දැනේවි යැයි මං හිතන්නේ නැහැ.

බුදුන් : ඒ කියන්නේ දුක සාපේක්ෂයි… එය ස්ථිර දෙයක් නෙමෙයි. දුක ඔබට දැනෙන්නේ ඔබ එය භාර ගන්නා ප්‍රමාණයට සාපේක්ෂවයි. හොදයි, ඔබේ දරුවා පුංචි කාලයේ දී මුහුදු වෙරළේ වැලි මාලිගා තනා තියෙනවාද?

බමුණා : එහෙමයි.

බුදුන් : වැලි මාලිගා මුහුදු රැල්ලෙන් කැඩි බිදී විනාශ වෙලා යනවා දකින ඔබේ දරුවා හඬද්දී ඔබත් දරුවා සමගම හැඬුවාද ?

බමුණා : නැහැ ස්වාමීනි.

බුදුන් : ඇයි ඒ?

බමුණා : වැලි මාලිගා අනිත්‍යයයි. ඒවා ස්ථිර දේවල් නෙමෙයි. විනාශ වී යාම උරුම කරගත්ත දේවල්. එහි  අනිත්‍යතාව වටහා ගෙන සිටි නිසා මා දරුවා සමග හැඬුවේ නැහැ.

ඉතාම සරල උදාහරණයක් ඇසුරින් මතුවුණු මේ සංවාදය අවසානයේ දී ජීවිතය, මරණය හා සෝකය කියන කාරණා විනිවිද දකින්න ඕනේ කොහාමද කියන කාරණාවත්, ඒවායේ ගැබ්වෙලා තියෙන අනිත්‍යභාවත් ඉතාම ගැඹුරින් බමුණාට ප්‍රත්‍යක්ෂ වෙනවා, කිසිම විසංවාදයක් නැතිවම.. සර්ව බලධාරී සංකල්පයක සරණ යන්නේ නැතිවම.

අවමංගල්‍ය ශාලාවෙන් පැන දිව්ව යෙහෙළිය ගැනම තවත් කතාවක් මට මේ වෙලාවේ මතක් වෙනවා. මාසයකට සැරයක් හවස් වරුවේ මං සේවය කරන ආයතනය ස්වේච්ඡා සේවාවකට උදවු කරනවා. හැමෝම නොවුණත් ආයතනයේ දහ දෙළොස් දෙනෙක් මේ ස්වේච්ඡා සේවයට (volunteering) එකතු වෙනවා. කන්න බොන්න හිගකම් තියෙන, ඒ වගේම පාරේ ජීවිතය ගෙවන (homeless) ගෙවන අයට කෑම බීම, ඇදුම් පැළඳුම් බෙදා දෙන මේ මහඟු කටයුත්ත ක්‍රියාත්මක කෙරෙන්නේ ක්‍රිස්තියානි පල්ලියකට සෘජුවම සම්බන්ධ ආයතනයකින්. මගේ ආයතනයේ සේවයට සම්බන්ධ වෙච්ච දවසේ ඉදන්ම නොකඩවා මේ ස්වේච්ඡා කටයුත්තට  සම්බන්ධ වෙන්න මං අතපසු කළේ නැහැ. ඔය කියන ස්වේච්ඡා සේවා දවසක, මෑතකදී අපේ ආයතනයට සම්බන්ධ වුණු ඔය කියන යෙහෙළියත් ඒ කටයුත්තට සහභාගි වුණා. අපේ කණ්ඩායමේ හිටිය එක් සුදු ජාතික මිතුරියකට මේ යෙහෙළිය හමුවුණේ මුල්ම වතාවටයි. එකම ආයතනය වුණත් බොහෝ පිරිසක් සේවය කරන විවිධාකාර දෙපාර්තමේන්තු තියෙන නිසා වෙනත් දෙපාර්තමේන්තුවක කෙනෙක් දැන හදුනාගෙන කතා කරන්නට අවස්ථාවක් ලැබෙන්නේ ඔය විදියේ විශේෂ අවස්ථාවක විතරයි. මගේ යෙහෙළිය මොරොක්කෝවෙන් පැමණි කෙනෙක් කියා දැනගත්තු සුදු ජාතික මිතුරිය ඇයත් එක්ක සුහද සංවාදයක යෙදුණා. මේ සුදු ජාතික මිතුරිය ඉතා කෙටි සංචාරයකට මොරොක්කෝවට ගිහින් තිබුණු නිසා ‍මොරොක්කෝවේදී තමාව කුතුහලයට පත් කරපු කාරණාවක් ගැන ඇය විමසන්නට වුණා.

“ මං මොරොක්කෝවේ හිටියේ එක රැයයි. ඒත් එදා මං දැක්ක හැම ගෙදරකම වගේ එළියේ එළුවෙක් බැඳලා හිටියා. අපිට එදා රෑත් තරමක් දුරක් වාහනයෙන් යන්න සිද්ධ වුණා. ඒ රෑත් හැම ගෙදරකම වගේ එළුවෙක් කෑ ගහන සද්දේ ඇහුණා, ටවුන් එකේ පවා. ඇයි ඒ? ”

සුදු ජාතික මිතුරිය මොරොක්කෝවට ගිය කාලය විමසා සිටි යෙහෙළිය සිනහව පිරුණු මුහුණින් මෙහෙම පිළිතුරක් දුන්නා.

“ ආ, ඒ අපේ …… දවස. එදාට අපි එළුවෙක්ව පරිත්‍යාග කරනවා ” සිය ආගමට අයත් ප්‍රධාන ආගමික දිනයක වගතුග ඇය බොහොම රසවත්ව විස්තර කරන්නට පටන් ගත්තා. ඇගේ ආගමට අයත් ලොව පුරා විසිරුණු පිරිස මෙම ආගමික උත්සවයේදී එළුවෙක් මරා දැමීම සාමාන්‍ය චාරිත්‍රයක් බව තමයි ඇය කිව්වේ. මරා දමන්නට පෙර නිවසේ මිදුලේ බැඳ දමා තිබුණු එළුවාගේ හඬ සහ රුවයි මගේ සුදු ජාතික මිතුරියගේ මතකයේ රැඳී තිබුණේ. මරා දැමීම වෙනුවට මොරොක්කෝවේ මගේ යෙහෙළිය පාවිච්චි කළ වචනය පරිත්‍යාගයයි (sacrifice).  එළුවාට යහපත් ආත්මයක් ලබා දෙන්නට එළුවා ගැන අනුකම්පාවෙන් කරන මානව පරිත්‍යාගයකි ඒ.

ඇය ඒ ගැන විස්තර කරද්දී තවත් කාරණාවක් මගේ මතකයට ආවා. ඒ ටික කාලයකට පෙර ප්‍රසිද්ධ දේශනයකට වැන්කුවර් පැමිණි ස්වාමීන් වහන්සේ කෙනෙකුගේ අනුශාසනාවක්. සුදු ජාතික මේ ස්වාමීන් වහන්සේ ඒ වනවිටත් වනවාසීව සිටි හිමිනමක්. මේ වනවිට උන්වහන්සේ පූර්ණ කාලීනවම වනවාසය තෝරා ගෙනයි ඉන්නේ. වැන්කුවර්හි උපත ලද තමන්, පාසල් යන වයසේදී මිතුරන් හා එක්ව සතුන්ට ගල් ගසා විනෝද වූ ආකාරය විස්තර කළ උන්වහන්සේ තමන් ඒ ක්‍රියාවෙන් මිදුණේ බුදුසමය හඳුනා ගත් පසුව බව රැස්ව සිටි පිරිසට විස්තර කළා.

“ අපි ඉස්කෝලෙ යන කාලේ කවුරුවත් අපිට කිව්වේ නැහැ සත්තුන්ට හිරිහැර කරදර කරන්න එපා කියලා. අඩුම තරමින් ඒක හිරිහැරයක් කියලාවත් අපි හිතුවේ නැහැ. අහම්බෙන් කියවපු බෞද්ධ පොතක් නිසයි මගේ ජීවිතය වෙනස් වුණේ. ඊට පස්සේ තමයි මං තව තවත් බෞද්ධ පොත් කියවලා අන්තිමේදී බෞද්ධ හිමිනමක් වෙන්න තීරණය කළේ ”

සත්ව හිංසාව පාපයක් ලෙසින් කෙසේ වෙතත් අඩුම තරමින් වරදක් ලෙසින්වත් බුදුදහම හැරුණු විට වෙනත් ආගම් මගින් උගන්වන්නේ නැතිද කියන කාරණාව ගැන කුතුහලය මා තුළ වරින් වර හොල්මන් කරන්නට පටන් ගත්තේ ඒ ස්වාමීන් වහන්සේගේ දේශනාවෙන් පස්සේ. අවිහිංසාවාදය ගැන බොහෝ සෙයින් උනන්දු වෙන කැනඩාවේ පවා දඩයම (hunting)  තාමත් සලකන්නේ ක්‍රීඩාවක් (sports) විදියට. මේ ගැන උන්වහන්සේත් එක්ක පෞද්ගලිකව කතා කරන්නට සිතා සිටියත්, දේශනය අවසානයේ දී උන්වහන්සේ හමුවීමට පෙළ ගැසී සිටි බොහෝ පිරිස අතරේ මං ඒ අදහස අත්හැර දැමුවා. පහුගිය කාලයේ අපේ රටේ විතරක් නෙමෙයි ලෝකයේ බොහෝ රටවල වරින් වර අහන්න දකින්න ලැබුණු දේවල් නිසා මේ ප්‍රශ්නය කිහිප වරක්ම ඔළුවට ආවත් ඒ ගැන නිවැරදි පිළිතුරක් හොයා ගන්නට මට බැරි වුණා. ඒත් අන්තිමේදී ඒ ගැටලුවට නිශ්චිත සරල හා පැහැදිලි පිළිතුරක් මට ලැබුණේ අහම්බෙන්. ඒ මෑතකදී මං කියවපු පොතකින්.

පිළිතුර කියන්නට කලින් පොත ගැනත්, එහි කතුවරයා ගැනත් යමක් කියන්නටම ඕනේ. මතක ඇති කාලයක මං කියවපු අතිවිශිෂ්ටතම පර්යේෂණ ග්‍රන්ථය මේ පොතයි කියලා කිව්වොත් ඒකේ වැරැද්දක් නැහැ. ගෙවී ගිය සීත සෘතුවේ නිවාඩු සමයේ තෑග්ගක් විදියට මේ පොත මට තෑගි කළේ මගේ වැඩිමහල් දියණියයි. පොතේ නම “Homo Deus: A Brief History of Tomorrow”.  මානව වර්ගයාගේ වර්තනමානය හා අනාගතය ගැන ලියැවුණු මේ පොත කොයි තරම් මාව වශී කළාද කියනවා නම් මේ කතුවරයාගේ අතින් ලියැවුණු ඉතිරි පොත් දෙකම මං මිලදී ගෙන කියෙවුවා. එයින් එක් පොතක් “Sapiens: A Brief History of Humankind”.  අනිත් පොත “21 Lessons for the 21st Century”. ඔහුගේ පර්යේෂණයේ ගැඹුර කොයි තරම් නම් මාව මවිතයට පත් කළාද කියනවා නම් මේ කතුවරයා ගැන වෙනමම හැදෑරීමක් කරන්නට මාව පෙළඹුනා.

h_03421852

Yuval Noah Harari

1976 දී ඊශ්‍රායලයේ යුදෙව් පවුලක උපත ලැබුව Yuval Noah Harari කියන මේ ලේඛකයා Hebrew University of Jerusalem සහ Jesus College, Oxford කියන උසස් අධ්‍යාපන ආයතනවලින් ආචාර්ය උපාධිය ලබලා මේ වෙන කොට ඉතිහාසඥයෙකු විදියට වගේම Hebrew University of Jerusalem සරසවියේ මහාචාර්යවරයෙකු විදියටත් කටයුතු කරනවා. ඔහුගේ මේ පොත් දෙක මේ වනවිට ලෝකය පුරා දැවැන්ත කතා බහකට මුල පුරා තියෙනවා විතරක් නෙමෙයි ලෝකයේ විවිධ භාෂාවන්ට පරිවර්තනය වෙමින් නැවත නැවත මුද්‍රණය කෙරමින් අලෙවි වාර්තා හැම එකක්ම වගේ බිඳ හෙලා තියෙනවා. සාමාන්‍යයෙන් Best Selling අංශයේ අලෙවි කරන පොතක් මාස දෙක තුනකින් තවත් පොතකින් විස්ථාපනය වෙලා ගියත්, අවුරුදු දෙකකට කලින් නිකුත් වෙච්ච මේ පොත් කැනඩාවේ පොත් සාප්පුවල මේ වසර දෙක පුරාම යළි යළිත් මුද්‍රණය වෙමින් Best Selling අංශයේ අඛණ්වම අලෙවි කෙරෙනවා.

මැදිවියේ කඩඉම පවා පසු නොකළ යුවාල් හරාරිට මේ සා දැවැන්ත පර්යේෂණයක් කරන්නට හැකියාව ලැබුණේ කොහොමද කියන කාරණාව ඔහු තමන්ගේ පොතින්ම විස්තර කරලා තියෙනවා. අවුරුදු පහළොවක් තිස්සේ තමන් විපස්සනා භාවනාව ප්‍රගුණ කළ බවත්, භාවනාව ප්‍රගුණ නොකරන්නට මෙවන් කෘතියක් තමන් අතින් බිහි නොවන බවත් ඔහු තමන්ගේ පොතේ පසු සටහනේ මුල්ම ඡේදයේ සටහන් කරලා තියෙනවා. ( I could  not have written this book without the focus, peace and insight gained from practicing Vipassana for the last fifteen years). ඒ විතරක් නෙමෙයි ඔහු තමන්ගේ පොත පිළිගන්වලා තියෙන්නේත් තමන්ගේ භාවනා ගුරුවරයා වුණු ගොඑන්කාට. (බුරුම හා ඉන්දීය සම්භවයක් තිබුණු Satya Narayan Goenka මිය ගියේ බොහොම මෑතකදී. විපස්සනා භාවනා ගුරුවරයෙකු විදියට කීර්තියක් අත්කරගත්ත Goenkaගේ බොහෝ සංවාද හා භාවනා වැඩ සටහන් යූ ටියුබ් මාධ්‍යය ඔස්සේ දකින්න පුලුවන්).

SN-Goenka_Ruth-Senturia

S.N. Goenka

පරිණාමයේ ආරම්භයේ ඉදන් මේ දක්වා පැමිණි මානව වර්ගයාගේ ගමන් මග ගැන ගැඹුරු ඒත් හරිම රසවත් අධ්‍යයනයක් අතරේ ඔහු තුලනාත්මක ආගම් ගැනත් විස්තරාත්මක පැහැදිලි කිරීමක් ඉදිරිපත් කරනවා. තමන් හැදී වැඩුණු යුදෙව් දහම, කිතු දහම, මුස්ලිම් ආගම වගේම බුදු දහම ආචාරය උපාධියක් දක්වාම ගැඹුරු හැදෑරීමක යෙදුණු යුවාල් තමන්ගේ Homo Deus කෘතියේ එක් තැනක තමයි මං කලින් කිව්ව ගැටලුවේ පිළිතුර සදහන් කරලා තියෙන්නේ. ඒ මෙන්න මෙහෙමයි. මිනිසාට ආත්මයක් ඇති නමුත්, සත්වයන්ට එවන් ආත්මයක් නැති බව තමයි බුදු දහම හැරුණු විට අනෙක් ආගම් සියල්ලම වාගේ පිළිගන්නේ. පාපයක් හෝ වරදක් සිදුවන්නේ ආත්මයක් ඇති ජීවියෙකු මරා දැමුවොත් පමණයි. ඒ නිසා ආත්මයක් අහිමි මේ සත්වයන් මරා දැමීම පාපයක් හෝ වරදක් නෙමෙයි. මං කලින් කිව්ව ස්වාමීන් වහන්සේට තමන් පාසල් යන වයසේදී සත්ව හිංසාව වරදක් ලෙස වටහා ගන්නට ඉඩක් නොලැබුණේ මේ කාරණාව නිසයි. මොරොක්කෝවේ යෙහෙළියට සතුන් මරා දැමීම ‘පරිත්‍යාග කිරීමක්’ ලෙස දකින්නට ලැබුණේත් ඒ නිසයි. ඒත් ආත්මය කියන සංකල්පය පිළිනොගන්නා බුදු දහමේ පාණාතිපාතා සිල්පදය මගින් මිනිසා පමණක් නෙමෙයි ජීවයක් ඇති සෑම සියලු සත්වයන් කෙරෙහි අවිහිංසාව පැතුරුවා හරින බව තමයි යුවාල් පෙන්වා දෙන්නේ. (‘Thou shalt not kill’ covered only humans, the ancient Indian principal of ‘ahimsa’ (non-violence) extends to every scientific being page 110).

යුවාල් පෙන්වා දෙන විදියට සත්වයන් මවා ඇත්තේ මානව වර්ගයාගේ ඒ කියන්නේ Homo sapiens ගේ පැවැත්ම වෙනුවෙන් බවයි බුදු දහම හා ජෛන වැනි ආගම් හැරුණු විට අනෙක් ප්‍රධාන ආගම් සියල්ලම වාගේ පිළිගන්නේ. මානව වර්ගයාගේත්, සත්ව රාජධානියේත් ගැටුම් ඇති වන හැම මොහොතකම ඒ හැම ආගමකික්ම උත්තරීතර භාවය හිමිවෙන්නේ නිසැකයෙන්ම හෝමෝ සේපියන්ස්ට. (Theist religions nevertheless have certain animal – friendly beliefs. The gods gave humans authority over the animal kingdom, but this authority carried with it some responsibilities. For example Jews were commanded to allow farm animals to rest on the Sabbath, and to avoid causing them unnecessary suffering. Noah was instructed to save the whole ecosystem in order to protect the common interests of gods and humans rather than the interests of the animals – page 109 – 110).

මේ කාරණාව Home Deus පොතේ “Homo sapiens – Conquers the World” කියන පළමු පරිච්ඡේදයේ තවත් ගැඹුරින් උදාහරණ බොහොමයක් එක්ක විස්තර කෙරෙනවා. (මේ කරුණු සදහන් කළේ ආගම් අතර සංසන්දයක් කිරීමට නොව, මා කලින් කී ප්‍රශ්නයට පිළිතුර මතු කිරීමට පමණක් බව කරුණාවෙන් සළකන්න)

බුදුදහම වෙනුවෙන් මරාගෙන මැරෙන්නට යන, බුදුදහම වෙනුවෙන් හිරබත් කන්නට පවා සූදානම් යැයි කියන, බුදුදහම වෙනුවෙන් උපවාස කරන, ඒ වගේම බුදුදහමේ සංකල්ප වෙනුවෙන් කදවුරු බැදගෙන වාද විවාද කරන බෞද්ධයන් කියන බොහොම දෙනෙකුට වගේම බුදුදහම රකින්නටම රටේ නායකයා වෙන්න හදන ජනාධිපති අපේක්ෂකවරුන්ට පවා අමතක වෙච්ච, එහෙමත් නැතිනම් ඒ අය කිසිසේත්ම නොදන්නා කාරණාවක් තියෙනවා. ඒ තමයි බුදුන් වහන්සේට ආගමක් කියා දෙයක් නොතිබුණු බව. ඒ නිසා ගහ මරා ගෙන, උපවාස කරගෙන, හිරබත් කාගෙන රකින්න ආගමක් බුදු දහමේ නැහැ. උන්වහන්සේගේ දේශනාව තුළ මුළුමනින්ම රැදිලා තියෙන්නේ සදාකාලික පරිසර නියාම ධර්ම පමණයි. තමන් වහන්සේ දේශනා කළේ යථාර්ථයට කවුළුවක් පමණක්ම බව උන්වහන්සේ දේශනා කළේ වරක් දෙවරක් නෙමෙයි. තම ධර්මය යනු යථාර්ථය විවර කළ හැකි දොරටුවට යතුරක් පමණක් බවත් දොරගුළු හැර බැලූවිට දැකිය නොහැකි කිසිවක් තම දේශනාව තුළ නැති බවත්‍, ඒ යථාර්ථය වටහා ගත් පසු ධර්මය පවා කර තබා ගෙන යාමේ අවශ්‍යතාවක් නැති බවත් උන්වහන්සේ සිය ශ්‍රාවකයන්ට දේශනා කර තිබෙනවා. ලෝක නියාම පැහැදිලි කළ උන්වහන්සේගේ දේශනාවට “බුදුදහම” කියා නම දැම්මේ බණ ඇසූ පිරිස මිසක් උන්වහන්සේ නෙමෙයි.

මේ කතාවට පදනම් වෙච්ච මරණය පවා ඔය කියන පරිසර නියාම ධර්මයේ තවත් එක් නියාමයක්. ඒ නියාම ධර්ම ඇත්තේ යළි යළිත් මෙනෙහි කොට අවබෝධ කරගන්නට මිසක් සාධුකාර දෙන්නට නම් නොවෙයි. බුදුදහමේ අන්ත මූලධර්මවාදයකට ගියත් මිනිසෙකුට පවා සත්වයෙකුට වුව හිංසාවක් කරන්නට හැකි එකම කාරණාවක්වත් කොතැනකින්වත් හොයා ගන්නට හැකියාවක් ලැබෙන්නේ නැහැ. බුදුන් දේශනා කළ ඒ නියාම ධර්ම හදුනන්නා ධර්මය පසුපස මිස යූ ටියුබ් චැනලයන් ඔස්සේ ප්‍රසිද්ධ වූ චීවරධාරීන් පසුපස හඹා යන්නේත් නැහැ. බුදුන් ලොවට කියා දුන් නියාම ධර්මයෙන් බිදක් හෝ වැටහුණා නම්, එසේ නැතිනම් වටහා ගන්නට හැකි අවකාශයක් තම හිස්කබල තුළ ඉතිරි වී තියෙනවා නම් ඒ නියාම ධර්ම පසුපස්සේ මිසක් බුදුන් උපන්නේ ලංකාවේදැයි සොය සොයා කාලය මිඩංගු කරන්නට තරම් ආකූල ව්‍යාකූල මනසකට කෙනෙක් පත් වෙන්නේත් නැහැ. බුදුන් ලංකාවේ උපන්නත්, ඉන්දියාවේ උපන්නත්, ඇෆ්ගනිස්ථානයේ හෝ අරාබියේ උපන්නත් ඒ දහම තුළ ඇති සදාතනික සත්‍යයට එයින් කිසිදු බාහිර ඔපයක් හෝ එළියක් ලැබෙන්නේ නැහැ. (ලැබිය හැකි එකම දෙය නම් ජාතිආලයට තවත් තෙල් ටිකක් සපයා දීම විතරයි).

බුදුන්ගේ උප්පැන්න සහතිකය හොයන්නට වෙර දරන, ඒ වගේම බුදුන්ගේ නාමයෙන් වාද විවාද – උපවාස කරන,  බුදු දහම සෙසු ආගමිකයන්ගෙන් බේරා ගන්නට මරාගෙන මැරෙන්නට පවා සූදානම් යැයි වහසි බස් දොඩන පිරිස ඒ වෙනුවෙන් කැප කරන කාලයෙන් දහයෙන් කොටසක් අභිධර්ම පිටකය නොව අඩුම තරමින් මංගල සූත්‍රය නැවත නැවත කියවා වටහා ගන්නට උත්සාහ දැරුවේ නම් මේ වනවිට එයින් සෑහෙන පිරිසක් සෝවාන් ඵලයකටවත් එළඹ සිටිනු නම් නොඅනුමානයි.

ඒත් තමන්ගේ ධර්මය වටහා ගන්නට හැකි වන්නේ එවැනි වටහා ගැනීමකට බුද්ධිමය මනස සකස් කරගත් පිරිසකට මිස නූගතුන්ට නොවන බව බුදුන් වහන්සේ දේශනා කළේ අවුරුදු දෙදහස් හයසියයක් තරම් ඈතකදි. ඒ හින්දා යුවාල් නොහාරි කියන බුදුදහමත්, ලංකාවේ ‘අදහන’ බුදුදහමත් එකිනෙකට වෙනස් ධර්මයන් දෙකක් මිස එකක් වෙන්නට පුළුවන් කමක් කොහෙත්ම නැහැ. බුදුන් දේශනා කළ ඒ නියාම ධර්ම වටහා ගන්නට බහුතරයක් බෞද්ධයන් වූ රටක ජනතාවකට හැකියාවක් ලැබුණා නම් දශරාජ ධර්මයට ළංවූ පාලකයන් මිසක් අදුරදර්ශී, අධම පාලකයන් රැළක් රටේ බිහිවන්නේත් නැහැ.

සදාකාලික සිසිරයක ගිලුණු සමාජයකට, වසන්තයක් ගැන හිතන්නට මේ මොහොත පවා ප්‍රමාද නැහැ.

 

Advertisements

One thought on “වසන්තය ගැන හිතන්නට නම්…!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )