දූපතක කතාවක්

BLOG-PIC-SELF-LIMITING

පවනට බඳු වේගයෙන් දිව යා හැකි මේ අශ්වයා බැඳ දමා ඇත්තේ කුමකින්ද?

ළදරුවෙකුට පවා තල්ලු කර දැමිය හැකි සැහැල්ලු පුටුවකිනි.

තමන්ට උවමනා කරන පළමු තත්පරයේදීම තම නිදහස සොයා කවර ඉසව්වකට හෝ දිව යා හැකි නමුදු තමන්ට එවැනි හැකියාවක් ඇතැයි අශ්වයාට සිතෙන්නේවත් නැත. ඊට හේතුවක් තිබේ. අශ්වයා මේ සැහැල්ලු පුටුවකට බැඳ තබා හීලෑ කරගන්නට උගේ ස්වාමියා පුරුදු වූයේ අශ්ව පැටියා ඉතාම කුඩා කාලයේදීය. ගෙවී ගිය අවුරුදු ගණනාවක කාලය තුළ අශ්වයා කෙතරම් උස් මහත් වුවත්, ඊට සරිලන සේ සිය සිතීමේ ශක්තිය වර්ධනය නොවූ බැවින් පුටුව හා රැහැන් පට දුටු පමණින්ම අශ්වයා ස්වාමියාට හීලෑ වන්නේය.

කය ශක්තිමත් වුවද සිත මානසික වහල්භාවයේ ගිලී ඇති බැවින් අශ්වයා තවමත් අස්හල තුළය. අශ්වයාගේ මෝඩකම තම ගජ මිතුරන්ට ද ප්‍රදර්ශනය කරමින් අස් හිමියා ලබන ප්‍රීති ප්‍රමෝදය අපමණය.

∼∼∼∼∼∼∼∼∼∼∼∼∼∼∼∼∼∼∼∼∼∼∼∼∼∼∼∼∼∼∼∼∼∼∼∼∼∼∼∼∼∼∼∼∼∼∼∼∼∼∼∼∼∼∼∼

එක්තරා දූපතක් තුළ බෝම්බ වැළක් පිපිරී යන්නට විය.  පාතරසය ගනිමින් සිටි මිනිසුන් මෙන්ම දෙවියන් යදිමින් සිටි අහිංසක මිනිසුන් රැසක් ද නිමේශයක් තුළ දී ජීවිතයට සමුදුන්නේය.

රට පුරා ගිනිදැල් බුර බුරා පැතිර යනු ඇතැයි අපේක්ෂා කළ හැකිව තිබුණද පුරා සතියක්ම බොහෝ සේ නිශ්චලව ගෙවී ගියේය. නිරපරාදේ මියගිය මිනිසුන් සමූහ මිනීවළවල් තුළ මිහිදන් වෙද්දීත්, අතිශය සංවේදී දුක්බර කතා සවන් පුරා පැතිර යමින් තිබියදීත්, ඇතැම් දේවස්ථාන තුළින් කඩු කිණිසි, පුපුරණ ද්‍රව්‍ය හමුවෙද්දීත්, දේශපාලකයන් සිය පාදඩ කතා වපුරද්දීත් දූපතේ මිනිස්සු තවත් සතියක් පුරාවටම පුදුමාකාර ලෙස සංවර සීලය රැකුවෝය. දූපත පුරා ඇදිරි නීතිය පැනවුණේය. පාසල් තුළට බෝම්බ ප්‍රහාර එල්ල වන බවට ප්‍රචාර පැතිර ගියේය. පාස්කු සතිය කඳුලින්ම නැහැවී ගියාක් මෙන්ම වෙසක් සතිය ද තහනම් කෙරුණේය. සමාජ මාධ්‍ය ජාලා මුලුමනින්ම අවහිර කෙරුණේය. ඇඳිරි නීතිය පැනවුණේය. දූපත්වාසීන් කුපිත විය හැකි සියලු ක්‍රියාමාර්ග ගැනුණේය. එහෙත් දූපත්වාසීහූ කුපිත නොවූහ. වාද විවාද හැරුණු කොට සමස්ත දූපතම පුදුමාකාර ලෙස සන්සුන්ව තිබුණේය.

ජනාධිපති සිය මිණිබිරිය නිවසේ රඳවා ගනිමින් ජාතියේ දරුවන්ගෙන් පාසල් යන ලෙස ඉල්ලා සිටියේය.  අධ්‍යාපන ඇමතිවරයා මිය යන දරුවන්ට ලක්ෂයක ලන්සුවකින් දෙමව්පියන්ට කප්පම් දුන්නේය. ජනාධිපතිවරයාත්, අගමැතිවරයාත්, කැබිනට් මණ්ඩලය හා විපක්ෂ නායකවරයා ප්‍රමඛ විපක්ෂය පමණක් නොව “වෙන්න ජනපති” අපේක්ෂකවරුන් පවා මාරාන්තික විහිළු සැපයුවේය. එහෙත් දූපතේ බහුතර ජනතාව ඒ කිසිවෙකුත් තඹයකට මායිම් කළේ නැත.

ඒ වෙනුවට බෞද්ධ – කතෝලික සමගිය දළු ලා වැඩෙන්නට වූ අතර සිංහල – දෙමළ ජන සමාජය අතර සුහදතාව වර්ධනය වන්නට විය. මුස්ලිම් පල්ලි තුළින් කඩු කිණිසි පවා මතු වුවද සිංහල දෙමළ ප්‍රජාව වෙතින් ඉස්ලාම් අන්තවාදයට එරෙහි මතවාද මිස මුස්ලිම් මිනිසුන්ට එරෙහිව අවි එසවුණේ නැත.

මෙය මේ දූපත තුළ මෑත ඉතිහාසය තුළ පෙර නොවූ විරූ සමගියකි. මේ සමගින්ම  අලුත් මතවාද නිර්මාණය වන්නට විය. සමස්ත ව්‍යවස්දායකයම හෑල්ලුවට ලක් වූ අතර එහි සාමාජිකයන්ගෙන් තම ජීවිත වලට ව්‍යසනයක් මිස නිදහසක් උරුම නොවන බව මිනිසුන්ට දැනෙන්නට තේරෙන්නට පටන් ගත්තේය. පාන් ගෙඩියෙන්, හාල් මල්ලෙන් හිතන පතන මිනිසුන්, ඔලුවෙන් හිතන්නට පටන් ගන්නට හැකි අවකාශයක් නිර්මාණය වෙමින් තිබිණ.

ගොඩ නැගී එන මේ එකමුතුව දූපතේ පාලකයන් බියපත් කරන්නට කරන්නට සමත් වූයේය. රටක ජනතාව පාලනය කළ හැකි සුදුසුම ආයුධය ඔවුන් බෙදා වෙන්කර පාලනය කිරීමයි. මන්ද යත් ජනතාව ඔවුනොවුන් එකිනෙකා ඇනකොටා ගනිද්දී ඒ සැමට උරුම වූ සැබෑ අර්බුදය වන ආර්ථික අර්බුදය යටපත් වන බැවිනි. එබැවින් ජනතාව අතර ගැටුම් වර්ධනය කිරීම තෙවැනි ලොව රටවල පාලන ක්‍රමයේ මූලිකාංගයයි. ගැටුම් ඇතිතාක්, ජනතා බදු මුදල් ගසා කමින් දේශපාලකයන් සිදුකරන කිසිදු පාදඩ මගඩිකමක් වෙත ජනතා දෑස් යොමු නොවන්නේය.

එබැවින් මේ ව්‍යසනය හමුවේ මෝදු වී ගෙන එන ජාතික එකමුතුවේ අනතුර ආණ්ඩුව වහ වහා වටහා ගත්තේය. ඒ වටහා ගැනීම ඒ ලෙසින්ම විපක්ෂනායකවරයා ප්‍රමුඛ විපක්ෂය ද වහ වහා වටහා ගත්තේය. මන්ද යත් ජනතාව තුළින් ජාතිවාදය සහ ආගම්වාදය මත පදනම් වූ ආකල්පය වියැකී ගිය කල්හි දේශපාලන පිටිය තුළ සිය පැවැත්ම සදාකාලිකවම වැළලී යන බව හොඳින්ම දන්නා බැවිනි. අනතුර සිදුවූ සැනින්ම සිය විදේශ පුරවැසිභාවය අත්හළ ජනාධිපති අපේක්ෂකවරුන්ට ද මේ ජාතික එකමුතුවේ අනතුර දරාගන්නට බැරි තරම් අතිමහත් වූයේය. මන්ද යත් තම පැවැත්ම නිසැකයෙන්ම රැඳී ඇත්තේ ප්‍රචණ්ඩත්වය හා වෛරය කැටි වුණු සමාජයක බව දන්නා බැවිනි.  (ඇතිවී යන ජාතික සමගිය හමුවේ, “මේ වෙලාවේ ඕන කරන්නේ …. වගේ මිනිහෙක්”  යන බොළද සටන් පාඨය වියැකී යාම ඔහුට පමණක් නොව ඔහු වෙනුවෙන් පෙළ ගැසුණු සංවිධානවලට පවා කිසිසේත්ම රිස්සුවේ නැත). රටටම නීති රීති උගන්වමින් කරලියට රිංගා මේ දූපතේ පාලකයා වන්නට සිහින මැවූ තවත් නීතිඥවරයෙකු තම නිවස අසල මාර්ගයේ යන එන මිනිසුන් පවා රූපගත කර සමාජ මාධ්‍ය ජාලා තුළ ප්‍රචාරය කරමින් සිය නීතිඥ වෘත්තියේ වපසරිය කියා පෑවේය.

මේ මොහොතේ කලබල වූයේ ආණ්ඩුව, විපක්ෂය හා ජනාධිපති අපේක්ෂකවරුන් පමණක් නොවේ. ජාතීන් මත පදනම් වූ දේශපාලන නායකයන් සහ සංවිධාන ද මේ අසාමාන්‍ය නිහැඩියාව බලාගෙන සිටියේ අතිශය ත්‍රස්ත වූ මනසකින් යුක්තවය. මන්දයත් සිය එදාවේල සරු කරගන්නට ඇති එකම ආදායම් මාර්ගය ජාතිවාදය හා ආගම්වාදය වන බැවිනි.

බලාසිටින්නට බැරිය. විනාස වී යන්නේ තමන්ගේ අනාගත සිහින මල්ලයි. තම දරුපවුල්වල සුඛ විහරණයයි. පරම්පරා ගණනාවක සුඛෝපභෝගී ජීවන දිවිපෙවෙතයි. කෙසේ නම් අත් බැඳ  බලා සිටින්නද? එබැවින් ආණ්ඩුව සමග විපක්ෂය අත්වැල් බැඳ ගත්තේය. විපක්ෂයේත්, ඇතැම් ජනාධිපති අපේක්ෂකවරුන්ගේත් පූර්ණ ආශිර්වාදය මත රාජ්‍ය ත්‍රස්තවාදය දූපත තුළ ව්‍යාප්ත වූයේය. හරියටම අසූ තුනේදී නිර්මාණය වූවාක් මෙන්ය.  සැබෑ සතුරා යළිත් වරක් යට ගියේය. සැබෑ ත්‍රස්තවාදියාද යටපත් වී ගියේය. මූලධර්මවාදය යටපත් වී එය මුස්ලිම් විරෝධයක් දක්වා දියාරු වී ගියේය. සරලම බසින් කියන්නේ නම් ගහන්න ඕනෑ එකා සිටියදී, ගහන්නට ලෙහෙසිම එකාට පහර පිට පහර වැදුණේය.

දැන් ජනතාව පරිස්සම් විය යුත්තේ සැබෑ ත්‍රස්තවාදියාගෙන් නොව, ව්‍යවස්ථාදායකයේ ආශිර්වාදය හමුවේ නිර්මාණය වූ අපට සුපුරුදු ත්‍රස්තවාදයෙනි.

දැන් ඇත්තේ ඔබේ වාරයයි. දැන් ඔබ දිවි ‍ගෙවන්‍‍නේ ‍මේ ‍මො‍හොත ‍ගෙවා දමන්‍නේ ‍‍කෙ‍සේදැයි කල්පනා කරමින් ළතැවීමට සිදුවී ඇති සමාජ යන්ත්‍රණයක් තුළය. ඔ‍බේ දරුවන්ට අනාගතයක් ගැන සිතන්නට ඇති අවසාන අවකාශයද වැළලී යන්නට ‍පෙර ඔබ ‍වෙනස් විය යුතු කාලයයි ‍මේ.

මරාගෙන මැරෙන ත්‍රස්තවාදියෙකු වන්නට ඔබටත් ඇවැසි නම් ඔබ කළ යුත්තේ එවැන්නෙකු ලෙස සිතන්නට පටන් ගැනීම පමණි. බෝම්බ බඩ බැඳ ගන්නටම අවශ්‍ය නැත. ඔබට දෙවියෙකු වන්නට ඇවැසි නම් ඔබ කළ යුත්තේ දෙවියෙකු මෙන් සිතීම පැතීම හා ක්‍රියාකිරීම පමණ. ඔබට බුදුවරයෙකු වන්නට ඇවැසි නම් ඊට පහසුම මග බුදුවරයෙකු ලෙස සිතා දිවිගෙවීම පමණි. ආර්ය අෂ්ඨාංගික මාර්ගය මුලුමනින්ම පදනම් වී ඇත්තේ බුදු කෙනෙකු සේ ක්‍රියාකිරීම, බුදු කෙනෙකුන් සේ පැවැත්ම සකසා ගැනීම හා බුදුකෙනෙකුන් සේ දකින්නට උත්සාහ කිරීම මතය.

ඔබට බුද්ධිමත් පාලනයක් හෝ බුද්ධිමත් පාලකයෙකු ඇවැසි නම් මුලින්ම බුද්ධිමත් විය යුත්තේ ඔබය. මනසින් අන්ධ නම් ඔබේ දෙනෙතින් පළක් නැත. බුද්ධිමත් වීම යනු ඉන්නා පාලකයන් නඩය පන්නා දමා තවත් එවැනිම වූ අමනයන් රැළක් බලයට පත් කිරීම නොවේ. මේ සියලු අමනයන්ට යළිත් නැගී සිටිය නොහැකි වන්නට සමස්ත සමාජ පද්ධතියේම වෙනසක් වෙනුවෙන් පෙළ ගැසීමයි. එහිදී ඔබ සිහින මැවූ අනාගත පාලකයා ඔබ අතරින්ම බිහිවෙනු ඇත. එය නිසැකය. කාලය ද හොඳටම ප්‍රමාණවත්ය.

එහෙත් ඒ සිහින නායකයාගේ රුව, දැනටමත් ජනාධිපති සටන් කරළියේ සිටින මුහුණක් නම් ඔබත්, මේ ඡායාරූපයේ සිටින අශ්වයාත් අතර වැඩි වෙනසක් නැත. ඔබේ සටන ඇත්තේ කරළියේ සිටින එවන් මුහුණක් බලයට පත්කිරීම නම් ජීවන බරින් මිරිකුණද, බදු පිට බදු වැදුනද, බෝම්බ පිට බෝම්බ පිපිරුණද ඊට එරෙහිව බැන වදින්නට ඔබට කිසිදු සදාචාරාත්මක අයිතියක්ද නැත්තේය. මන්ද යත් ඔබ දැනටමත් ඔබේ යුතුකම හා වගකීම පැහැර හැර ඇති බැවිනි.

2 thoughts on “දූපතක කතාවක්

Add yours

  1. මල්ලි , තවත් බොහොම අර්ථාන්විත ලිපියක් , ඊයෙ ලැබුන දවසේ ම කියෙව්වා.
    බොහොම හොඳයි .
    තව තවත් වටිනා අදහස් ලෝකයට බෙදා දෙන්නට ශක්තිය දයිරිය වාසනාව ලැබේවා .
    අක්කා

    Sent from my Samsung Galaxy smartphone.

    Liked by 1 person

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.

ඉහළ ↑

%d bloggers like this: