බුර්කාවෙන් ඔබ්බට…

Burqa2

මගේ කාර්යාල පරිගණකයට සම්බන්ධව කර ඇති පරිවාර පරිගණක තීරයන්හි පසුබ්මි ඡායාරූපය ලෙසින් ඇත්තේ ශ්‍රී ලංකාවේ  දකුණු දිග මුහුදු තීරයේ අතිශය මනස්කාන්ත දර්ශනයකි. මේ පරිගණක තිර නෙත ගැටෙන බෙහොමයක් දෙනා ඒ ගැන විමසද්දී ඒ මා උපන් රටේ මුහුදු තීරය බව මා ඔවුන්ට පහදා දෙන්නේ තරමක ආඩම්බරයක්ද සිත්හි දරාගෙනය. එතැනින් නොනැවතී ලංකාව යනු ඉන්දියන් සාගරයේ ස්ථානගත වූ සොබා දහමින් අනූන වූ පාරාදීසයක් බවද කියන්නට මා අමතක කරන්නේ නැත. කැනඩාව ද ලොව අතිශය මනස්කාන්ත භූමි දර්ශන රැසක එකතුවකින් යුත් සුන්දර රටක් වුවත් ඉන්දියන් සාගරයෙන් වට වූ ශ්‍රී ලංකාවේ තරම් දැකුම්කළු මුහුදු තීරුවක් පැසිපික් සාගරයට මායිම් වූ කැනඩාවට නැත.

මගේ පරිගණකයේ අලුත් මෘදුකාංගයක් ස්ථාපිත කරන්නට සති කිහිපයකට පමණ පෙර මා වෙත පැමිණි ඇෆ්ගන් ජාතික පරිගණක ඉංජිනේරුවාගෙන් මම ඇෆ්ගනිස්ථානයේ උපත ලද අතිවිශිෂ්ට නවකතාකරුවෙකු වූ කාලිඩ් හුසේන් (Khaled Hosseini) නම් වූ ලේඛකයා පිළිබදව විමසුවෙමි. ඉංජිනේරුවරයා ද පොත පතට ඇලුම් කරන කෙනෙක් වූ හෙයින් කාලිඩ් හුසේන්ගේ The Kite Runner, A Thousand Splendid Suns, And the Mountains Echoed වැනි පොත් පත් පිළිබදව මහත් අභිරුචියකින් තරමක් වේලා කතා කිරීමෙන් පසු මගේ පරිගණක තිරයේ දිස්වෙන ලාංකීය මුහුදු වෙරළ දෙස යොමා ගත් නෙතින් ඔහු මෙසේ කීවේය. “අපේ රට ගැන කතා කරන්නට අපිට ඉතිරි වෙලා තියෙන එකම දේ තමයි කාලිඩ් හුසේන් කියන්නේ. කාලිඩ් හැරුණාම ඔබේ රට වගේ කතා කරන්න තරම් ලස්සන දේවල් අපේ රටේ නැහැ”. ඔහුගේ පිළිතුර අප දෙදෙනාම මෙහොතකට ගොලු කර දැමුවේ නිරායාසයෙන්ය. උපතින්ම මුස්ලිම් භක්තිකයෙකු වුවද මේ ඉංජිනේරුවරයා ඉස්ලාම් අන්තවාදය මත පෝෂණය වූ ගෝත්‍රික සිවිල් යුද්ධ නිසා  තම රට විනාශ වී ගිය ආකාරයත්, තමා රට හැර එන්නට එයම හේතු වූ ආකාරය ගැනත් ඉන්පසුව මොහොතක් වේලා මා හා දොඩමළු වූයේය.

සිය කාර්යය නිමකර යන්නට මත්තෙන් මට බොහෝ සුපුරුදු ප්‍රශ්නයක් ඔහු ද මගෙන් ඇසුවේය. “ඇයි මෙච්චර ලස්සන රටක් දාලා ආවේ?”. මේ ප්‍රශ්නය නැගෙන්නේ ලාංකිකයෙකු වෙතින් නොවේ නම් ඊට කිසියම් කෙටි පිළිතුරක් දී එයින් ලිස්සා යන්නට මා උත්සාහ කරන්නේ මේ දූපත මනස්කාන්ත පාරාදීසයක්ය යන සුන්දර සිතුවම ලෝකයා ඉදිරියේ බොඳ කර දැමීමට ඇති අකමැත්ත නිසාමය. එබැවින් ඉංජිනේරුවරයාට ද එවන් කෙටි පිළිතුරක් දී ඒ මොහොතේ ඔහුගේ ප්‍රශ්නය මග හැර යන්නට මට අපහසු වූයේ නැත. එහෙත් එක්තරා අවස්ථාවක කාර්යාලයේ මගේ සමීපතම සුදු ජාතික මිතුරියක සමග දිවා ආහාරය ගනිමින් සිටියදී ඇය මේ ප්‍රශ්නය නැවත වරක් මගෙන් විමසුවාය. එහිදී මගේ සුපුරුදු කෙටි පිළිතුරකින් ඇය සෑහීමකට පත් වූයේ නැත. එබැවින් ලංකාව සුන්දර පාරාදීසයක් වූවත් එහි පාලන බලයට හවුල් වී ඇති පක්ෂ විපක්ෂ දේශපාලකයන් නඩය පොදුවේ ගත් විට අමනයන් (idiots) රැළක් බව ඇයට කියන්නට මට සිදුවූයේය. උස් හඩින් සිනාසුණු ඇය මට පිළිතුරු දුන්නේ ලොවේ කොයි කවර රටක වුවද දේශපාලකයන් යනු අමනයන් බව පවසමිනි. එයට ප්‍රති උත්තර ලෙස සිනහවකින්ම සංග්‍රහ කොට මා කතාව වෙනතකට හරවා දැමුවේ ලාංකීය දේශපාලකයන් යනු වෙන කවර රටකටත් වඩා ඔබ්බට ගිය අමුතුම ආකාරයක ජානමය සංයුතියකින් යුත් වනචාරී ගෝත්‍රික විශේෂයක් බව පැහැදිලි කරන්නට යාම නොමනා බව හැගුණු බැවිනි. පරම්පරා කිහිපයක්ම කැනඩාවේ උපත ලද පරපුරක කාන්තාවක වූ, එමෙන්ම උතුරු ඇමරිකාවේ හා යුරෝපයේ මිස කිසිදු දවසක දකුණු ආසියාවේ සංචාරය නොකර ඇති ඇය ලාංකීය දේශපාලනයේ සැබෑ හැඩරුව දුටුවේ නම් තමා මෙතෙක් කල් අමනයන් සේ දුටු අපරදිග දේශපාලන පරපුර සුරදූතයන් (angel) ලෙස දකිනු නම් නිසැක බව මට යළි යළිත් සිහිපත් වූයේ පාස්තු ඉරිදායින් පසුව සිදූවූ ඛේදවාචකයේ දී අපේ රටේ දේශපාලන තන්ත්‍රය හැසිරුණු ආකාරය දුටු විටය.

කිතුනු බැතිමතුන්ගේ අති පූජනීය දිනයක් වූ පාස්තු ඉරිදා එල්ල වූ ම්ලේච්ඡ ප්‍රහාරයෙන් පසු රජයත්, විපක්ෂයත්, පාර්ලිමේන්තුව නියෝජනය කරන සෙසු දේශපාලන පක්ෂ හා බලය වෙනුවෙන් පෙළ ගැසී සිටින නායකයන් හැසිරුණු ආකාරය දෙස බැලූවිට මා කම්පනයට පත් කළ කාරණාව නම් රටේ අනාගත නායකත්වයට සුදුසු සැබෑ නායකයෙක් ගැන හිතන්නටවත් සුදුසු පසක් හෝ සුදුසු අරටුවක් තවදුරටත් මේ පාරාදීසය තුළ ඉතිරි වී ඇති ද යන කාරණාවයි.

ඇමරිකාව විසින්ම ත්‍රස්තවාදය පෝෂණය කරනු ලැබූ නමුත් සිය දේශයේ පුරවැසියන් ත්‍රස්ත ක්‍රියාවන්ගෙන් මිය ගිය සෑම අවස්ථාවකම බැරැක් ඔබාමා සිය ජාතිය පමණක් නොව ප්‍රවෘත්ති සාකච්ඡාවන්ද මෙහෙය වූයේ හැඬූ කඳුලිනි. (අයිසිස් යනු ඇමරිකාව සිය ආධිපතයය පතුරුවා හැරීම සදහා රටකට ඇතුලු වීමට යොදා ගන්නා යතුර බව වෙනමම කතා කළ යුතු මාතෘකාවකි). ප්‍රංශයේ සිදුවූ සමූහ වෙඩි තැබීමේදී ප්‍රංශ අගමැතිවරයා මහජනතාව අතර ගැවසෙමින් මහජනතාවගේ දුක් කදුළු බෙදා හදා ගත්තේය.  නවසීලන්තයේ මෑතකදී සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු එරට අගමැතිනිය කදුළින් බරවූ දෙනෙතින් යුක්තව කම්පනයට පත් ව සිටි ආකාරය මුලු ලොවම දුටුවේය. එහෙත් තුන්සිය ගණනකට අධික පිරිසක් මරු කැඳවූ මේ ම්ලේච්ඡ ප්‍රහාරය හමුවේ රටේ ජනාධිපතිවරයා, අගමැතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය මෙන්ම පාර්ලිමේන්තුව නියෝජනය කරන සෑම පක්ෂයකම නියෝජිතයන් ඊට මුහුණ දුන් ලැජ්ජා සහගත ආකාරය මුලු ලොවම අපූරුවට දැක බලා ගත්තේය.

විදේශ මාධ්‍ය හමුවේ පැවැති රජයේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මේ මිනිස් සංහාරය රස මුසු පුවතක් ලෙසින් සිනා සාගරයක ගිල්ලවූ විලාසය කිසිදු ශිෂ්ට මිනිසෙකුට ඉවසිය නොහැකි තරමටම ජුගුප්සාජනක වූයේය. පාර්ලිමේන්තු සභා රැස්වීම එකම කෝලම් මඩුවක් බවට පත් වී කල් දැමුණේය. ෆේස් බුක් නොවන්නට මේ විපත දැන නොගන්නා තරමට රටේ ප්‍රධාන පුරවැසියා ද විහිළු සපයන්නෙකු බවට පත්වූයේය. අයිසිස් යනු ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස පිළිගත නොහැක්කේ ඇයිද යන්න ගැන තහවුරු කරන්නට අගමැතිවරයා කොයි තරම් කොකුම් පෑවේද යත් සිවිල් සමාජයේ විරෝධය නොවන්නට අයිසිස් හා සාම ගිවිසුමක් ගසන්නට ඔන්න මෙන්න තරමටම ගියේය. (සමහරවිට ඉදිරියේදී එය එසේ නොවන්නට ද බැරි කමක් නැත). රටේ මුදල් ඇමැතිවරයා කෙතරම් නොහොබිනා නොහික්මුණු මිනිසෙකුද යන්න ඔප්පු වූයේ මේ සංහාරය නිසා රටට ලැබුණු විදේශ ණය ආධාර “වාසිය” ගැන කතා කරන්නට තරම් අධම මට්ටමට වැටුණු බැවිනි. රටේ සෞඛ්‍ය ඇමතිවරයා මේ මිනිස් සංහාරය ඇමරිකාවට එල්ල වූ ප්‍රහාරය හා සසඳමින් සමානුපාතිකව එය කෙතරම් සුලු සිදුවීමක් ද කියන්නට ගණිත තර්ක ඇද බාන්නට තරම් අඳ බාලයෙකු වූයේය. සිය සහෝදර කිතුණු භක්තික ජනතාව සංහාරයේ කම්පනයෙන් සිහිවිසඥව සිටින මොහොතක කිතුණු භක්තික තවත් කැබිනට් ඇමතිවරයෙකු තමන්ගේ තාත්තාගේ අනතුරු හැගවීම නිසා පල්ලි නොගිහින් ජීවිතය බේරා ගත් හැටි විස්තර කරන්නට වූයේ විදුලි කොටනවාට බියෙන් ඇඳ යටට රිංගාගත් අතදරුවෙකු සිහිපත් කරමිනි.

පාස්කු සංහාරයෙන් පසු දිවයිනේ රැදී සිටි විදේශිකයන් රටින් පිටව යන්නට තැත් දරද්දී රටට ඇතුලු වූ විදේශිකයෝ පිරිසක් ද වූහ. ඒ ලොව සැම රටකම විහිදී විසිරී ගිය මාධ්‍යවේදීන්ය. කැනඩාවේ ප්‍රධාන මාධ්‍ය ආයතනය වන කැනේඩියන් බ්‍රෝඩ්කාස්ටින් ආයතනයේ (CBC) ප්‍රවීණ මාධ්‍යවේදිනියක ද ඒ අතර වූවාය. අනතුරින් පසු රටේ ප්‍රධානතම පුරවැසියන් දෙදෙනාගෙන් එක් අයෙකු හා සම්මුඛ සාකච්ඡාවක නිරත වූ ඇයට, තමන් ඇසූ ප්‍රශ්න සදහා ලැබුණු පිළිතුරු හමුවේ ඇය අන්දමන්ද වී යන ආකාරය රූපවාහිනී තිරය ඔස්සේ ලොවම දුටුවේය. එයින් වඩාත්ම අපහසුතාවට පත් වූයේ ලාංකීය පුරවැසියන්ටත් වඩා විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ය. මන්දයත් ප්‍රවෘත්ති විකාශය නරඹා විපිළිසර වූ විදේශිකයන් ඇසූ ප්‍රශ්න සම්බන්ධයෙන්,රටේ අභිමානය (එවැන්නක් ඇතිනම්) නොකෙළසා ඊට පිළිතුරු බදින්නට බොහෝ වචන සොයා යන්නට සිදුවූ බැවිනි. මාධ්‍යවේදිනිය ඇසූ එක් පැනයක් වූයේ ලංකාවට තවමත් ආදරය කරන විදේශිකයන් රටේ සංචාරය කරන්නට කැමැති නම් කුමක් කිව හැකිද යන්නයි. දෙවරක් නොසිතාම ක්ෂණිකව ලැබුණු පිළිතුරින් ගම්‍ය වූයේ ‘ඒක එයාලගේ වැඩක්. ආරක්ෂාව සහතික කරන්නට බැහැ’ යන අදහස ලබා දුන් පිළිතුරකි. රටක පාලන බලය මෙහෙයවන්නෙකුගෙන් මෙවන් පිළිතුරක් හිමිවන්නේ නම් විදේශිකයෙකු තබා අඩුම තරමින් ගමේ මිනිසෙකු කොළඹටවත් නොඑන බව නිසැකය. ඇය ඇසූ තවත් ප්‍රශ්නයක් වූයේ මෙවන් අනතුරක් ඉතාම ආසන්නයේ සිදුවන බවට විශ්වාස කටයුතු ආරංචි මාර්ග මගින් තහවුරු වී තිබියදීත් මෙවන් සංහාරයකට ඉඩ දුන්නේ ඇයිද යන්නයි. සිය වගකීමෙන් මිදෙමින් ඊට ලබා දුන් වැනෙන සුලු පිළිතුර ද රටේ සාමාන්‍ය පුරවැසියෙකුගේවත් මුවින් පිට නොවිය යුතු මට්ටමේ මුග්ධ වූවකි. ඒ පිළිතුරින් ඇය කෙතරම් විපිළිසරව යන්නේද යත් තමා මේ සම්මුඛ සාකච්ඡාවේ යෙදෙන්නේ රටේ ප්‍රධානතම පුරවැසියන් දෙදෙනාගෙන් එක් අයෙකු නැතිනම් බස් රථයක් එනතුරු මහමග රැදී සිටින මගියෙකු සමගද යන්න ඇයටම තහවුරු කර ගන්නට උවමනා වූ බැවින්දෝ ඇය ඔහුගේ තනතුර යළිත් ඔහුටම සිහිපත් කර දෙමින් ඔබ රටේ මෙවන් තනතුරක් දරන පුද්ගලයා නොවන්නේ දැයි අසන්නේ ලාංකීය දේශපාලනයේ පිළිකුල් සහගත හැඩරුව ලොවටම නිරාවරණය කරමිනි.

මෙම සිදුවීම සිදු වූ දිනයේ සිට ලොව සෑම සියලු මාධ්‍යයකම පාහේ ප්‍රධානතම ප්‍රවෘත්තිය වූයේ ලංකාවයි.  ප්‍රධාන ජනමාධ්‍ය නියෝජනය කරන මාධ්‍යවේදීන් කොළඹට පැමිණි සිටි හෙයින් රජයේ ප්‍රවෘත්ති සාකච්ඡා වෙනුවෙන් ඔවුන්ගේ කැමරාවන්ද එල්ල වූයේය. රටේ ඇමති මණ්ඩලය කොක්සන් හඩ නගමින් මේ සංහාරය වෙනුවෙන් ප්‍රවෘත්ති සාකච්ඡා තැබූ ආකාරය ඔවුන්ගේ වීඩියෝ කැමරාවලද එලෙසින්ම සටහන් වූයේය. එහෙත් මාධ්‍ය සදාචාරයටත් වඩා ඔබ්බට ගිය හිරිකිතය නම් වූ ගුණාංගය නිසාම ඔවුන් තම ප්‍රවෘත්ති දර්ශන වලින් ඒ ජුගුප්සාජනක දර්ශන ඉවත් නොකරන්නට ලාංකිකයන් යනු තිරිසන් සත්ව කොට්ඨාශයක් බව මුලු ලොවටම හැගී යන්නට ඉඩ තිබිණ.

මේ සියල්ල අතරේ ලොකුම විගඩම වූයේ ලොවම පිළිගත් ත්‍රස්තවාදී සංවිධානයක් මඩින්නට නීති නැතැයි කියන්නට තරම් රටේ පාලකයන් තකතීරු වීමය. ව්‍යවස්ථාදායකයේ මූලිකම වගකීම නීති සම්පාදනය බව උගන්වන්නේ හය හත වසර පංති වලදීය. රටේ නීති සම්පාදනයේ කේන්ද්‍රස්ථානය පාර්ලිමේන්තුව බව වටහා ගන්නට නීති විද්‍යාලයට ඇතුලු විය යුතු නැත. මහා මිනිස් සංහාරයකින් පසු පවා මුලු මහත් ලෝකයම පිළිගත් ත්‍රස්තවාදී කල්ලියක් මැඩලන්නට නීති නැතැයි කිසියම් රටක පාලකයන් කියන්නේ නම් ඔවුන්ට එරෙහිව නඩු මගට යෑම පුරවැසියන් සතු අයිතියකි. මන්දයත් අඩුම කරමින් තම කාර්යභාරය ගැන පවා හසරක් නොදැන මහජන මුදල් ගසා කමින් රටක පාලනයට අත තැබීමේ චෝදනාව සාපරාධී මිනීමැරුමක් තරමට සාහසික අපරාධයක් වන බැවිනි.

මන්ත්‍රීවරයෙකු ලෙසින් තවමත් පාර්ලිමේන්තුවට එන්නට තරම් ජනතා සේවයට කැපවූ, ජාති ආලයෙන් ඔද වැටුණු විශ්‍රාමික ජනාධිපතිවරයා කියා පෑවේ මේ ප්‍රහාරය තමන්ගේ ආරක්ෂකයන් හරහා මුලදීම තමන් දැනගත් බවය. එහෙත් ආණ්ඩු කරන්නේ තමන් නොවන බැවින් ජනතා බලය යළිත් තමන් අතට පත්වෙන තුරු ඔහු නිහඩවම බලා සිටින්නට තීරණය කරන්නට ඇත. ජාත්‍යන්තර ගැටලු වලදී තුම්මුල්ල හන්දිය තනි නොකරන විප්ලවවාදී රතු පක්ෂ අසාමාන්‍ය නිහැඩියාවක ගිළුණා පමණක් නොව පුතා කළ දේට අප්පා පළි නැතැයි කියන්නට තරම් නිර්ලජ්ජිත ද වූයේය. ත්‍රස්තවාදී රාමුවක් රට තුළ ක්‍රියාත්මක වී ජාතීන් හා ආගම් අතර අවිශ්වාසය, අසමගිය නිර්මාණය වන පසුබිමක් තුළ මුදල් වියදම් නොකරම සිය ඡන්ද ව්‍යාපාරය අපූරුවට දියත් වන හැටි මහත් උද්දාමයෙන් බලා සිටි රටේ හිටපු ආරක්ෂක ලේකම්වරයා ඒ අල්ල පනල්ල අතරේ තමන් සියයට සියයක්ම ශ්‍රී ලාංකික බවත්, ඉදිරි ජනාධිපතිවරණයට ඉල්ලන බවට සපථ කරන්නට මෙයම අවස්ථාව කරගත්තේය. හිටි හැටියේ කඩන් පාත්වෙන ඕනෑම මිනිස් ප්‍රාණියෙකුට මේ භූමිය තුළ කවර නැටුමක් වුව රග දැක්විය හැකි බව හොඳින් දැන හඳුනාගත් තව තවත් චරිත ද සිය ජනාධිපතිවරණ ඡන්ද සටන මුවහත් කර ගන්නට මේ මිනිස් සංහාරය තෝතැන්නක් කර ගත්තේය.  සිය ඡන්ද සටන සහ දේශපාලන පැවැත්ම සදහා මේ සංහාරය යොදා ගන්නේ කෙසේද යන්න ගැන මිස මියගිය එකම එක පුරවැසියෙකු ගැන හෝ කම්පාවක් ඒ කිසිදු මුහුණකින් ප්‍රකට නොවීය.

මේ සියල්ල අතරේ බැහැර කළ නොහැකි, එමෙන්ම කිසිදා සමාව දිය නොහැකි, එමෙන්ම කිසිදා අමතක කළ නොහැකි බරපතල  කාරණාවක් පවතින්නේය. මෙවැනි ප්‍රහාරයක් එල්ල වන බව රටේ ආරක්ෂක ලේකම්වරයා දැන සිටියේය. ඔහු කියන ආකාරයට එය ජනාධිපතිවරයා ද දැන සිටියේය. අගැමතිවරයා ද දැන සිටියේය. එපමණක් නොව විශ්‍රාම ගිය ජනාධිපතිවරයාද දැන සිටියේය.  පොලිස්පතිවරයා දැන සිටියේය. රාජ්‍ය ආරක්ෂක ඇමැතිවරයා දැන සිටියේය. ජනමාධ්‍ය ඇමැතිවරයා පවා දැන සිටියේය. කැබිනට් මණ්ඩලයේ බොහෝ දෙනෙකු දැන සිටියේය. මෙවන් ප්‍රහාරයක් සිදුවන බව නොදැන සිටි එකම පිරිස සාමන්‍ය ජනතාවයි.  ප්‍රහාරයෙන් මියගියේ ආගමික මෙහෙයන්හි නිරතව සිටි අහිංසක පුරවැසියන්ය. මේ සුන්දර දිවයිනේ සිර නරඹන්නට පැමිණි නිරායුධ විදේශිකයන්ය. එහෙත් ඔවුන් ආරක්ෂාව තර කරන්නට යන්නේ පාර්ලිමේන්තුවේය. මෙයින් ගම්‍ය වන්නේ එකම එක කරුණකි. එනම් රටේ ඇත්තේ දේශපාලන පක්ෂ දෙකක් පමණි. අමන දේශපාලකයන් සහ පොදු මහජනතාව යනු ඒ පක්ෂ දෙකයි. මිය ගිය ත්‍රස්තවාදීන්ගෙන් බොහොමයක් දෙනා උගතුන් බව ආරක්ෂක අංශ කියයි. ඔවුන් සිය උගත්කම ආගමික අන්තවාදයට පාවා දී ත්‍රස්තවාදය තුළින් ස්වර්ග රාජ්‍යය සොයන්නට උත්සාහ දරද්දී අපි නූගතුන් රැසක් තෝරා බේරා දියවන්නාවට ගාල් කර ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහය හරහා යහපත් සමාජයක් සොයන්නට වෙර දරන්නෙමු. ප්‍රතිඵලය එකමය. ත්‍රස්තවාදියාට ස්වර්ග රාජ්‍යය අත් නොවන්නා සේම, පුරවැසියාට ද යහපත් සමාජයක් හමු නොවන්නේමය. මේ තරම් බරපතල වූ ත්‍රස්තවාදයක් හමුවේ සිය දේශපාලන න්‍යය පත්‍ර දිග හැර ගන්නා කවරෙකු වුවද මරාගෙන මිය ගිය ත්‍රස්තවාදීන් තරමට සාහසිකය. එමෙන්ම එවන් වූ දේශපාලන අමනයන්ගේ දේශපාලන න්‍යායපත්‍ර වෙනුවෙන් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ මේ තීරණාත්මක මොහොතේ කුලී කම් කරන පිරිස ද ඒ තරමටම ත්‍රස්තවාදීහු වන්නෝය. ලෝකයා ඉදිරියේ මෙතරම්ම රට හෑල්ලුවට ලක් කරමින්, එමෙන්ම මෙවන්සා වූ හසික ප්‍රහාරයකින් පසු කොක් හඩලා සිනා සෙමින් ප්‍රවෘත්ති සාකච්ඡා පවත්වමින්, කෝලම් මඩුවක් බවට පාර්ලිමේන්තුව පත් කර එකිනෙකාට බැන අඩ ගසා පාර්ලිමේන්තු සභා රැස්වීම් කල් දමන දේශපාලන සංස්කෘතියක් බිහිකළේ ඔවුන්ගේ චන්දයෙන් බැවිනි.  ලෝකයා ඉදිරියේ රටම හෑල්ලුවට ලක්වී මේ නිරුවත් වන්නේ ඔබේ නූගත් චන්දයේ සාහසික ප්‍රතිඵලයයි. මේ ගෙවී යන තීරණාත්මක සති කිහිපයේදී පොලිස් නිල සුනඛයන්ගෙන් සිදුවූ සේවාවෙන් අංශු මාත්‍රයක් හෝ ඔබේ අවිචාර කතිරයේ බලයෙන් පත් කර ගත් ජනතා නියෝජිතයන් අතරින් කවරෙකුගෙන් හෝ සිදු නොවීය.

මේ ජාතික ව්‍යසනයේ දී මුළු මහත් කැබිනට් මණ්ඩලයටත් සමස්ත පාර්ලිමේන්තුවටත් වඩා රාජ්‍ය තාන්ත්‍රික භාවය පෙන්වූ තනි මිනිසෙක් සිටියේය. ඒ රටේ අගරදගුරුවරයාය. මේ සංහාරය හමුවේ ඔහු ප්‍රශ්නයේ මූලබීජය හොඳින්ම වටහා ගත්තා පමණක් නොව රටේ පාලකයන්ට වඩා පරිණතභාවයකින් ගැටලුවට මුහුණ දුන්නේය. බහුතර සිංහල බෞද්ධ රටක පවතින බෞද්ධ සාරධර්ම මේ තීරණාත්මක මොහොතේ ඔහුගේ සංවරත්වය සමග මනාව පෑහුනෙන් කඩු කිණිසි සහ හමුදා නිල ඇඳුම් පමණක්  නොව සිල් රෙදි පවා හමුවූ මුස්ලිම් පල්ලි පවා ගිනිගත්තේ නැත. එහි ගෞරවය මුළුමනින්ම හිමිවිය යුත්තේ  අගරදගුරුතුමන්ගේ අවිහිංසාවාදී නායකත්වය හමුවේ කිතුණු ප්‍රජාව වෙතින් මතු වූ ප්‍රේමයේ හා සාමයේ පණිවිඩයට හා බෞද්ධ පුරුෂාර්ථ මත පදනම් වූ ලාංකීය සංස්කෘතියටය. මෙය රට පාලනය කරන සහ පාලනය කරන්නට බලාපෙරොත්තුවෙන් සරම කැසපට ගසමින් පසුවන දේශපාලකයන්ගේ අරමුණු හා අපේක්ෂාවන් භංග කර දමන්නට සමත් වූයේය. ප්‍රහාරයෙන් පසු ත්‍රස්තවාදීන් බලාපොරොත්තු වූ දෙවැනි අරමුණ සහමුලින්ම සිද බිද දැමුණේය. බහුතරය බෞද්ධයන් වූ රටකට බෞද්ධ නායකයෙකු නොමැති වූ අඩුව පිරිමසාලමින් අගරදගුරුතුමන් බුදුදහමේ අවිහිංසාවාදී පණිවිඩය සමස්ත ජාතිය වෙත ගෙන ගියේය.

මෙම අර්බුදය හමුවේ සැබෑ ලෙසින්ම හඩ මතුවිය යුතුව තිබුණේ මුස්ලිම් ප්‍රජාවගෙනි. එහෙත් කිසිදු මුස්ලිම් නායකයෙකු හෝ කිසිදු මුස්ලිම් පූජකයෙකු මේ කාරණාව හමුවේ අවංක අදහස් දැක්වීමක් අද දක්වාම සිදු කළේ නැත. සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ බොහෝ සේ නාද පවත්වන මුස්ලිම් කලාකරුවන්, ක්‍රියාකාරිකයන් මේ කාරණාවේදී සිය මතය අවදි කළ යුතුව තිබුණත් ඔවුන් දැරුවේ අසාමාන්‍ය වූ නිහඩ පිළිවෙතකි. තමන් විදින පීඩනය පුපුරුවා හරින්නට මුස්ලිම් කාන්තාවන්ට මේ අවස්ථාව අනගි පසුබිමක් සැපයුවද ඔවුහු ඒ අවස්ථාව හිතා මතාම පැහැර හැර ගත්හ. නැතහොත් සිය ආගමික සළුපිළි වලින් වැසුණු සැබෑ යථාර්ථය හදුනා නොගත්හ. අහිංසක මුස්ලිම් මිනිසුන් ත්‍රස්තවාදීන් නොවුණ ද මෙවන් පසුබිමක් යටතේ ජාතියක් ලෙසින් නිහඩව සිටීම ත්‍රස්තවාදයට අනුබල දීමක් බව අමුතුවෙන් කිව යුතු නොවන්නේය. මෙහි භයානක ප්‍රතිඵල විදින්නට සිදුවන්නේ ද මුස්ලිම් ප්‍රජාවටමය. එයට එක් මහගු උදාහරණයක් ගෙවී ගිය සතියේ දී මම අත්වින්දෙමි. පාස්කු ඉරිදා සංහාරයේ දී මිය ගිය අහිංසක මිනිසුන් වෙනුවෙන් ඉටි පහන් දල්වා ඔවුන් සිහිපත් කරන්නට හදිසියේ සංවිධානය කළ වැඩසටහනක් ඊට පසු දින සවස් භාගයේ මා ජීවත් වෙන සරේ (Surrey) නගරයේ උද්‍යාන භූමියක් තුළ සිදු කෙරුණේය. හදිසියේ සංවිධානය කළ වැඩසටහනක් වුවත් ශ්‍රී ලාංකිකයන් පමණක් නොව අන්‍ය ජාතිකයන්ද  එකමුතුව දෙසියයකට අධික පිරිසක් එයට සහභාගි වූහ. මේ අවස්ථාවේ දී බෞද්ධ හිමිවරුන්ගේ සහ ක්‍රිස්තියානි පූජකවරයෙකුගේ කෙටි ආගමික කාර්යයන්ට පසු ලාංකීය දෙමළ ජාතික කාන්තාවක සහ මුස්ලිම් ජාතික කාන්තාවක ද රැස්ව සිටි පිරිස ඇමතූහ. මුස්ලිම් කාන්තාව තමා වසර විස්සකට අධික කාලයක් ගුරු වෘත්තියේ යෙදී සිටින ලාංකීය සම්භවයක් ඇති මහාචාර්යවරියක බව සිය කතාව ආරම්භයේ දීම කියා සිටි අතර උත්සවයේ අරමුණින් බැහැරව යමින් ඇය කුරාණය ගැන පහදා දෙන්නට උත්සාහ දැරීමත් සමගම ඇයට එරෙහිව මුල්ම විරෝධය එල්ල වූයේ සුදු ජාතික වියපත් මිනිසෙකු වෙතිනි. විරෝධය නොතකා ඇය තව දුරටත් කුරාණය විස්තර කරන්නට යාම හේතුවෙන් අවසානයේ දී විරෝධතා වැලක් මතුව එන්නට වූයෙන් ඇය බලාපොරොත්තු වූ ආකාරයෙන් සිය කතාව කරගෙන යාමට ඉඩ ලැබුණේ නැත. මේ විරෝධතාවන් කිසිවක් එල්ල වූයේ එහි සිටි ශ්‍රී ලාංකිකයන්ගෙන් නොවේ. අන්තවාදය නොඉවසූ විදේශිකයන් වෙතිනි. ශ්‍රී ලංකාවේ ප්‍රහාරයත් සමගම ජාත්‍යන්තර මාධ්‍ය බොහොමයක් ඉස්ලාම් අන්තවාදය හමුවේ මුස්ලිම් ව්‍යාප්තවාදය පැතිරී යන ආකාරය ගැන වාර්තා වැඩසටහන් ප්‍රචාරය කළේය. බොහෝ පුවත් මතු වුණේය. ඉස්ලාම් අන්තවාදයට එරෙහි පළමු කැරැල්ල මතුවිය යුතුව ඇත්තේ ඉස්ලාම් දහම අදහන සමාජය වෙතින්මය. මෑතකදී රටේ ඇති වූ බොදු බල සේනා, මහසෝන් බලකාය වැනි අන්තගාමී සංවිධානවලට එරෙහිව පළමු ගල් පහර එල්ල වූයේ සිංහල බෞද්ධ සමාජයෙන්ම මිස අන්‍ය ආගමිකයන් අතින් නොවේ. (කවර ආගමක් වෙසින් පැමිණියද අන්තවාදය යනු අන්තවාදයමය. එය පළමු වටයේදීම පරාජය නොකරන්නේ නම් විනාස වී යන්නේ මිනිස්කම හා මානව දයාවයි. මාර සේනාවන් මිස බුදු දහම හා බැදුනු කිසිදු බල සේනාවක් බුදුන් වහන්සේගේ සමකාලීන යුගයේ දීවත් මේ තුන් ලොවෙහිම නොවීය. එබැවින් බුදු දහමේ නාමයෙන් කිසියම් අන්තවාදී ක්‍රියාවන් සිදු කෙරෙන්නේ නම් එය තවත් මාර සේනාවක් මිස එය බුදු දහම හා කිසිසේත්ම සමපාත වන්නක් නොවේ. මන්දයත් අන්තවාදය හෝ මූලධර්මවාදය යන්න බුදු දහමේ පාරිභාෂික ශබ්ද මාලාවේ හෝ බෞද්ධ සාහිත්‍යයේ කොයි කවර කලෙකවත් නොවූ විරූ බැවිනිර්‍) එබැවින් කවර ආගමක හෝ නාමයෙන් අන්තවාදය හිස ඔසවයි නම් එය පරාජය කළ යුත්තේ පළමු වටයේදීමය. එහිදී ජාති ආගම් භේදයක් අවශ්‍ය වන්නේ නැත. මෙවන් අන්තවාදයක් ඇතැමෙකුගේ කෙටි කාලීන ප්‍රීති ප්‍රමෝදයට හේතුවක් විය හැකි වුවත්, ‍ලොව කොයි කවර තැනක වුව පවතින අන්තවාදය හෝ මූලධර්මවාදය දීර්ඝ කාලීනව නිසැක ලේ හැලීමක් බව ඉතිහාසය යළි යළිත් තහවුරු කරන්නේය.

මේ අර්බුදය හමුවේ රටේ නායකත්වය ඉල්ලා සිටින මේ සියලු දෙනාම අර්බුදයේ කොස්කරුවන් මිස විසඳුමක බලාපොරොත්තුවක් හෝ නොවේ. රටට උවදුරක් වූ ශරියා විශ්ව විද්‍යාලයට මුල් ගල තැබුණේ අද ජාතිය වෙනුවෙන් පෙනී සිටින්නට උත්සාහ දරන්නන්ගේ පාලන සමයේ දීය. විල්පත්තු වන සංහාරයට පළමු පස් පිඩැල්ල කැපුණේ ඇමරිකානු පුරවැසිභාවය අතහැර රට රකින්නට එන බවට ප්‍රතිඥා දෙන්නන්ගේ පූර්ණ ආශිර්වාදය මැද්දේය. ශිෂ්ට සම්පන්න ලෝකය වෙතින් ගැරහුම් ලබන ශරියා නීතිය නීතිගත කරන්නට පිඹුරුපත් සකස් කර දුන්නේ අද ඊයේ නොව මෙයින් දශකයකටත් පමණ පෙරය. ප්‍රහාරයෙන් පසු තහනම් කළ මුස්ලිම් අන්තවාදී සංවිධාන ද පාස්කු ඉරිදාට සතියකට පෙර බිහිවූ සංවිධාන නොවේ. ගෙවී ගිය ආණ්ඩු සමයේ දී රාජ්‍ය අනුග්‍රහය මත උපත ලද ඒ දරුවන් රැක බලා ගෙන පෝෂණය කළේ මේ ආණ්ඩුව වෙතිනි. එබැවින් අද දවසේ වාද විවාද, රූපවාහිනී සාකච්ඡා සංවාද මෙහෙය විය යුත්තේ මුස්ලිම් අන්තවාදය (හෝ අන් කවර හෝ අන්තවාදයක්) රට තුළ රෝපණය කළේ කවුරුන්ද යන්න ගැන නොවේ. මේ සියලු සංවාදයන් හා කතිකාවන්හි දී සිත්හි ධාරණය කර ගත යුතු මූලිකම කාරණාව නම් මේ සියලු පාර්ශ්චවයන් මේ අර්බුදයේ කොටස්කරුවන් මිස ගැලවුම්කරුවන් නොවන බවය. ගැටලුවට පිළිතුර සෙවිය යුත්තේත්, පිළිතුරු ලැබිය හැකි වන්නේත් එවිටය. නැතිනම් තව තවත් පාස්කු ඉරිදාවන් උදාවනු නොවැළැක්විය හැකිය. වෙසක් උත්සවය තහනම් වන අවසන් අවස්ථාව මෙය නොවනු ඇත්තේය.

බහුතර දෙමළ ජනතාව ජීවත් වෙන උතුරුකරයේ තේසවලාමේ නීතිය හා පරම්පරාගත උඩරැටියන් ජීවත් වෙන පෙදෙස්වල නාමිකව පමණක් ක්‍රියාත්මක වෙන උඩරට නීතිය යනු මූලික වශයෙන්ම දේපළ මත පදනම් වූ නීතියක් පමණි. එය ආගම මත පදනම් වූවක් නොවේ. එහෙත් ශරියා නීතිය යනු රටේ නීතිය අබිබවා යන්නා වූ තවත් නීති පද්ධතියකි. ඉස්ලාම් ධර්මය මත පදනම් වූ ශරියා නීතියේ මූලිකාංගය වන්නේ ඉස්ලාම් ධර්මය මුල් කරගත් දෙවියන් විසින් පනවනු ලැබූ එමෙන්ම දෙවියන් විසින් පිළිගනු ලැබූ නීති පද්ධතියකි. එබැවින් මහජනතාව ඉදිරියේ ප්‍රසිද්ධියේ කස පහර දීම, මරණයට පත් වන තෙක් ගල් ගසා මරා දැමීම, අත් පා සිද දැමීම වැනි දරුණු නීති ද ශරියා නීතියේ අංගෝපාංග අතර වෙයි. මේ නිසා ලොව බොහෝ රටවල ශරියා නීතියට වැට බැද ඇත. මෙම නීති පද්ධතිය ක්‍රියාත්මක වන රටවල් ඇත්තේ අතළොස්සක් වන අතර මුස්ලිම් රටවල පවා මෙම නීති පද්ධතිය ඒ අයුරින්ම ක්‍රියාත්මක නොවන්නේය. එබැවින් ශරියා නීතිය නීතිගත කිරීම යනු රටක් තුළ තවත් රටක් මිස සහජීවන සංකල්පයක් නොවේ. බහුතර සිංහල, දෙමළ ජනතාව ජීවත් වන පරිසරයක ශරියා නීතිය ගෙන එන්නට කිසියම් පාලන තන්ත්‍රයක් උත්සාහ දරන්නේ නම් එහි අරමුණ ඉතා පැහැදිලිය.

එමෙන්ම රටේ බහුතර ජනතාවගේ ආරක්ෂාවට බුර්කාව හරස් වන්නේ නම් එයට වැට බදින්නට නොහැකි පාලන තන්ත්‍රයක් මරණාධාර සමිතියක නායකත්වය දරන්නට පවා සුදුසු නැත. සිය අනන්‍යතාව හෙළි කළ යුතු අවස්ථාවන්හිදී බුර්කාව ගලවා දැමිය යුතු බව ඇමරිකාව, කැනඩාව ප්‍රමුඛ ලොව බොහෝ රටවල් ඒකමතිකව පිළිගෙන ඇති අතර ප්‍රංශය, ඩෙන්මාර්කය, ඕස්ට්‍රේලියාව ආදී රටවල් දහ හතරක් මේ වනවිටත් මුලුමනින්ම බුර්කාව තහනම් කර ඇත්තේය. රටේ පුරවැසියන්ගේ ජීවිතවලට පැහැදිලි තර්ජනයක් වන අවස්ථාවක මෙවන් කරුණු කාරණාවලදී තනි තීරණයක් ගන්නට නොහැකි රජයක් යනු හදිසියකට කුරුල්ලෙකුවත් එළවා දමන්නට බැරි පඹයෙකුට සමානය. එමෙන්ම සිය ඡන්ද පදනම පුපුරුවා යතියි බියෙන් මෙවන් කරුණු කාරණාවලදී ස්ත්‍රී ලාලිත්‍යයෙන් නිහඩව බලා සිටින ඒකාබද්ධ විපක්ෂයක් හා ජනාධිපති අපේක්ෂකවරුන් යනු ඒ පඹයා වටා එතුණු කඩමලුය. එවන් පඹයන් රැළක් සාමුහිකව එකට එක්වූ කල්හි අයිසිස් නොව සුරතල් සුනඛයන් ඇති කරන්නන්ගේ සංගමයකට පවා රටක බලය සියතට ගන්නට වැඩිමනත් මහන්සියක් ඇවැසි වන්නේ නැත. මෙවන් පිරිසක් වෙතින් යහපත් රටක් බලාපොරොත්තු වීමත් ස්වර්ගයේ දී කන්‍යාවන් සොයා යාමත් අරටුවෙන් එක හා සමානය.

සිංගප්පූරුව සිය ජනතාවට නොමිලයේ මුදල් බෙදා දුන්නේ රටේ පුරවැසියන් සිය රටට ආදරය කරන උගතුන් තෝරා පාර්ලිමේන්තුවට පත් කර යැවූ බැවිනි. රට වටේටම සාගරයෙන් වටවී තිබුණත් සැමන් ටින් එකක්වත් නිෂ්පාදනය නොවන, සිංහ කොඩිය පවා චීනයෙන් ආනනයන කෙරෙන. අඩුම කරමින් ඉඳිකටුවක්වත් නිෂ්පාදනය නොකෙරෙන රටක ඇමති මණ්ඩලය ප්‍රමුඛ මන්ත්‍රී කැළ නඩත්තුවට දිනපතා මහජන මුදල් මිලියන ගණනින් වැය කරන අප හදවතින්ම ශ්‍රී ලාංකිකය. ලොව වෙනත් කිසිම රටකට වඩා වෙනස් වූ ජාතියක්ය. පක්ෂ විපක්ෂ භේදයකින් තොරව රටේ පාලන බලයට හවුල් වන සෑම සියලු දෙනාම එකිනෙකා සොරා කෑ බව ඔවුනොවුන්ම ප්‍රසිද්ධියේ පාර්ලිමේන්තුවේදී පවා වාද විවාද කරගන්නා නමුත්  ඔවුන් සොරුන් බව පිළිගැනීමට අපි අකැමැති වෙමු. ජනතා නියෝජිතයන් යැයි කියා ගන්නා පිරිසගේ නොපනත්කම් හා අමනකම් එළිපිටම පෙනුනද ඔවුන් අමනයන් සේ පිළිගැනීමට අපි මැළි වෙමු. ලාංකික අපි පිල් බෙදුනු යටත්වැසි දූපත්වාසීන් මිස සැබෑව දකින පුරවැසියෝ නොවෙමු. අප අරගල කරන්නේ හොරු මාරුකර දමන්නට මිස හොරුන් පන්නා දමන්නට නොවේ.

Stupid යන ඉංග්‍රීසි වචනයට සිංහල බසින් නිශ්චිතවම තේරුමක් දිය නොහැකි වන්නේ එයින් අර්ථ කිහිපයක් ගම්‍ය වන බැවිනි.  මෝඩ, තකතීරු, ඔලමොට්ටල, අඥාන පමණක් නොව සිහිවිකල වූ යන අර්ථය පවා එයින් ගම්‍ය වන්නේය. මේ stupid යන වචනයට අපූරු නිර්වචනයක් මෑතකදී කියවූ සටහනක මට දකින්නට ලැබුණේය. යථාර්ථය එහෙමත් නැතිනම් සැබෑ ලෙසින්ම සිදුවන්නේ කුමක්දැයි ඇස් පනාපිට දකිමින්ම තව දුරටත් මුලාවෙහිම ගිලී සිටීම යනු ඔලමොට්ටල කමයි, නැතිනම් මෝඩ තකතීරු කම හෝ අඥාන මන්ද බුද්ධිකභාවයයි.  (Stupidity – Knowing the truth, seeing the truth, but still believing the lies). සමාජයක් ලෙස තවත් කොපමණ කාලයක් අප මේ නිර්වචනය හා අත්වැල් බැඳගෙන ගමන් කරනවාද යන්න මත තීරණය වන්නේ ඔබේ දරුවාගේ හෙට දවසයි.

2 thoughts on “බුර්කාවෙන් ඔබ්බට…

  1. අප තවමත් මළගමේ මානසිකත්වයෙන් මිදී නැත.
    එහෙත් පාලකයෝ සුපුරුදු වගඩම් අරඹා අහවරය

    ඔබලාට දැනෙන දේවත් නොදැනෙන ලාදුරු රෝගීන් බහුල රටක අනාරක්ෂිතව දිවිගෙවමූ

    Liked by 1 person

Esharma Kariyakarawana වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )