ඒ දිවයිනට මා, පා කර හරින්න

ළා කොළ පාට පසුබිමක කරත්ත රෝදයක් එක්ක සෙල්ලම් කරන පිරිමි ළමයෙකුගේ රූපයක් ඇදපු පිටකවරයක් තියෙන පොතක් බොහොම ඈත කාලයක කියවන්නට ලැබුණා. ඒ කියන්නේ අවුරුදු තිහකට විතර කලින් පාසලේ ඉහළ ප්‍රාථමික පංතිවල ඉගෙන ගන්න කාලයේ. නවකතාවක්ම නොවුණත්, නවකතාවකටත් වඩා රසවත් මේ පොත මතකයේ කොයි තරම් රැඳුණා ද  කියනවා නම් ඔය කිව්ව කවරයේ  පෙනුම විතරක් නෙමෙයි සිය ගණනක් පුස්තකාල පාඨකයන්ගේ අතින් අතට ගිහින් පොතේ කවරයේ තැනින් තැන මතුවෙලා තිබුණු කඩතොළු පවා තාමත් අද වගේම මතකයි. මේ පොත පරිවර්තනයක්. පරිවර්තනයේ නම මා පයට තණ නිල්ල. පොත පරිවර්තනය කරලා තිබුණේ නිව්ටන් ජයසේන කියලා මහත්මයෙක්.

මේ පොත ගැන මතකය ආපහු අලුත් වුණේ අහම්බෙන්. එදා කියවූ සිංහල පරිවර්තනය ඉතාම ඉහළ මට්ටමින් තිබුණත්, පොතේ මුල් ඉංග්‍රීසි පොත කියවන්නට තිබුණා නම් හොඳයි කියලා පහුගිය දවසක අහම්බෙන් හිතුණා. ලංකාවේ ඈත පිටිසර ගමක් ගැන, අවුරුදු අසූවක් තරම් ඈත අතීතයේ දී ලියැවුණු මේ වගේ පොතක් බටහිර රටක පුස්තකාලයක තියෙන්නට ඉඩක් නැති බව හිතුණත්, පොත ගැන පුස්තකාලයෙන් විපරම් කළා. මාව පුදුමයට පත් කරමින් ඒ පොත මං ජීවත් වෙන ප්‍රාන්තයේ එක්තරා සරසවියක පුස්තකාලයක තියෙන බව අන්තර්ජාලයෙන් දැන ගන්නට ලැබුණා. ලෝකයේ දෙවැනි විශාලතම රට වෙච්ච කැනඩාවේ මං ජීවත් වෙන බ්‍රිටිෂ් කොළොම්බියා ප්‍රාන්තය විතරක් ලංකාව වගේ පහළොස් ගුණයක් විශාලයි. ඉතින් මේ පොතේ පිටපතක් තිබුණේ මං ජීවත් වන වැන්කුවර් නගරයට බොහොම ඈත තැනක සරසවියක පුස්තකාලයේ විතරයි. තමන්ට ආසන්න පුස්තකාල කිසිවක නැති පොතක්, දුර බැහැර පුස්තකාලයකින් හෝ නොමිලයේ ගෙනැවිත් දීමේ අපූරු සේවයක් කැනඩාවේ පුස්තකාල සේවාව ක්‍රියාත්මක කරන නිසා අන්තර්ජාලය ඔස්සේ මා ඉල්ලුම් කළ ඒ පොත සතියක් දෙකක් යන්නටත් කලින් මගේ අතටම ලැබුණා.

Grass for my Feet කියන මේ මුල් ඉංග්‍රීසි පොත අතට ලැබුණාම මට දැනුණේ ඉතාම හිතවත් මිතුරෙක් හමුවුණා වගේ හැඟීමක්. ඒ හැඟීම තවත් තීව්‍ර වෙලා ඇත්තටම කියනවා නම් ලංකාවේ ඒ ඈත පිටිසර ගම්මානයට ගොඩ වැදිලා මේ ලේඛකයාත් එක්ක ඒ ගම්මානයේ අඩිපාරවල් ඔස්සේ ඇවිද ගෙන යනවා වගේ හැඟීමක් ඇති වුණේ මා අතට පත්වෙච්ච පොත අතිශය පෞරාණික අගයකින් යුක්ත වෙච්ච නිසයි. සුදෝ සුදු පාට පිටුවලින් යුක්තව, විවිධාකාර වර්ණවත් කවරවලින් අපේ අතට අද දවසේ පොත් පත් එක්ක ගත්තම මේ පොත අතට ගත්තම ඇතිවුණේ වචනයෙන් විස්තර කරන්නට බැරි තරම් බැතිමත් හැඟීමක්. මේ පොත මුල්ම වරට බ්‍රිතාන්‍යයේ දී මුද්‍රණය වෙලා තියෙන්නේ 1935 වසරේ දී. මගේ අතට පත් වෙච්ච පොත ඒකේ තුන්වැනි මුද්‍රණය විදියට 1943 දී නිකුත් කරපු පොතක්. ලංකාවේ ඈත පිටිසර ගමක් ගැන ලියැවුණු පොතක් මහා බ්‍රිතාන්‍යය වගේ රටක අවුරුදු අටක් වගේ කෙටි කාලයක් ඇතුළත දී තුන් සැරයක්ම මුද්‍රණය කරන්නට සිදු වුණා කියන එක තරමක විස්මය දනවන කාරණාවක් වගේම එදා මේ පොත කොයි තරමක් නම් ජනප්‍රිය වෙන්නට ඇතිද කියන එකත් ඒකෙන් කියැවෙනවා.

 

1943 වසරේ දී නිකුත් කෙරුණු මගේ අතට ලැබුණු පොත තුළ තිබුණේ කෞතුකාගාර පුස්තකාලයක තැන්පත් කර තියෙන මහානුභාවසම්පන්න පොතක ගති ලක්ෂණ. පොත දිග හරිද්දිම දැනුණු සැබෑ පොතක පිටුවල තීන්ත සුවඳ, පැරණි පන්නයේ අතීත පිටුවල මුහුවුණු මටසිළුටු ස්පර්ශය, පැරණි මුද්‍රණවලට ආවේණික වෙච්ච අපූරු අංග ලක්ෂණ නිසා පොත කියවන්නට කලින් ඒකේ සුවඳ, පෞරාණික රසය විඳින්න මං සෑහෙන වෙලාවක් ගත කළා. පොත කොයිතරමක් නම් පැරණි වුණත්, එදා පාසලේ දී මං කියෙව්ව පරිවර්තන පොතේ කවරයෙයි, ඇතුල් පිටුවලයි තිබුණු විදියේ කඩතොළු කිසිම දෙයක් මේ පොතේ තිබුණේ නැහැ. මුද්‍රණයේ පෞරාණික ස්වභාවය හැරෙන්නට පොතේ පිටුවකටවත් කිසිම හානියක් වෙලා තිබුණේ නැහැ.

මේ පොත ගැන මේ විදියේ සටහනක් ලියන්නට හිතුණේ පොත ආපහු කියැවීමෙන් ලැබුණු ආස්වාදයටත් වඩා, මං කිසිදාක දැක නොතිබුණු දේවල් කිහිපයක්ම මේ පොතේ මට දකින්නට ලැබුණු නිසයි. මේ පොත නිකුත් වෙලා තියෙන්නේ දෙවැනි ලෝක යුද්ධයේ සෙවණැලි වැටෙමින් තිබුණු කාලයක. ඒ නිසා මේ පොතේ කවරයේ බීබීසී සේවාව සම්බන්ධයෙන් කළ අපූරු විස්තරයක් අඩංගු වෙනවා. මිත්‍ර හමුදාවන්ගේ සැබෑ තොරතුරුත්, යුද්ධයේ නවතම තොරතුරුත් දැනගන්න බීබීසී සේවාවට ඇහුම්කන් දෙන්න කියන විස්තරය පොතේ කවරයේ බොහොම විස්තරාත්මකව සටහන් වෙලා තියෙනවා. සාහිත්‍ය කෘතියක මේ විදියට යුද්ධය වෙනුවෙන් නිල ප්‍රචාරයක් සිදු කරලා තියෙන හැටි මං දැක්කේ මුල්ම වතාවටයි. ඒත් එය කතුවරයාගේ හෝ පොත ප්‍රකාශයට පත් කර තිබූ ලන්ඩනයේ Edward Arnold නම් ජනප්‍රිය පොත් ප්‍රකාශන සමාගමේ උවමනාවට වූවක් නොව යුද සමයේ පැවැති නීති රීති මත සිදුවූවක් බව පැහැදිලියි. ඒකට හේතුව මේ පොත මුද්‍රණය කර ඇත්තේ යුද නීතිරීතිවලට අනුකූලව අඩුම ආර්ථික පිරිවැයක් දරන කඩදාසි හා මුද්‍රණ ශිල්ප ක්‍රමවලින්ය කියන සහතිකයත් පොතේ පැහැදිලිවම සටහන් කර තියෙන නිසයි.

 

 

පිටු 230 කින් යුත් මේ කුඩා පොතේ එදා මිල කීයක් වුණා ද කියන එක නම් කවරයේ සටහන්ව තිබුණේ නැහැ. ඒත් පොත ඇතුළේ තිබිලා හරිම අපූරු වෙනත් සිහිවටනයක් නම් හමුවුණා. ඒ තමයි ලන්ඩනයේ බස් ටිකට් පතක්. මේ ප්‍රවේශ පත්‍රයේ අවුරුද්ද සටහන් වෙලා නැතත් පොත තරමටම ටිකට් පතත් පෞරාණික බව නම් පැහැදිලිවම පේනවා. දශක ගණනාවක අතීතයක් පුරා මේ පොත ඇතුළේ සුරක්ෂිතව රැදුණු මේ ප්‍රවේශ පත්‍රයේ ගාස්තුව සටහන් වෙලා තියෙන්නේ පැන්ස පහක් විදියට. පැන්සය හදුන්වන පැරණි මිල ක්‍රමය වන D අකුර තමයි ඒකේ සටහන් වෙලා තියෙන්නේ.

මේ කිව්ව හැම දෙයක්ම පොතේ ඉපැරණි ස්වභාවය හා එහි විශේෂ ලක්ෂණ ගැන කියන දේවල්. ඔන්න දැන් තමයි පොතේ  අන්තර්ගතයත්, කතුවරයා ගැනත් සිත් ඇදගන්නා සුළු දේවල් කියන්නට යන්නේ.

මේ පොතේ සටහන් වෙන්නේ ගෙවුණු සියවසේ මුල්ම කාලයේ දී, ලංකාවේ දකුණු බඩ ගාල්ලට කිට්ටුව තියෙන ඌරල කියන ගමත්, ඒ ගමේ ජීවත් වෙච්ච ගම්මුන්ගේත් යටගියාව ගැනත් රසවත් තොරතුරු සමුදායක්. ගමේ සිරියාව, මිනිස්සුන්ගේ ජීවනෝපාය, ආගමික කටයුතු හා වතාවත්, ගැමිකතා, එදිනෙදා ජීවිතයේ ස්වභාවය, බලි තොවිල්, හදි හූනියම් විතරක් නෙමෙයි මිනීමැරුම් ගැන පවා තොරතුරු මේ පොතේ අපූරුවට ලියැවිලා තියෙනවා. පොතේ කතුවරයා වන ජිනදාස විජයතුංග මහතා උපත ලබලා හැදිලා වැඩෙන්නේ මේ ගමේ. ඒත් පසු කාලයක ඔහු බ්‍රිතාන්‍යයේ ස්ථිර පදිංචියට යනවා. තමාට අහිමි වී ගිය ඒ අතීත වසන්ත සමය සිහිපත් කරමින් ලන්ඩනයේ දී තමයි ඔහු මේ පොත නිකුත් කරන්නේ. මේ පොත නවකතාවක් නෙමෙයි. නිකම්ම නිකම් සිහිවටන එකතුවකුත් නෙමෙයි. ඒත් නවකතාවකටත් වඩා රසවත්, චරිත කතාවකටත් වඩා නැවුම් හරිම අපූරු පොතක්. ඒ නිසාම පොත කියවද්දී ගමේ ජීවන සුවඳ වගේම ගැමියන්ගේ හෘදයාංගම උණුසුම හදවතට දැනෙනවා. කතුවරයා තමන්ගේ කුඩා අවදියේ ජීවන අත්දැකීම් අප හා බෙදා හදා ගන්නේ කියවන පාඨකයාත් ඒ ගමේම තවත් එක් ගැමියෙක් බවට පත් කරමින්.

මෙහි කතුවර ජිනදාස විජයතුංග මහතා උපත ලබන්නේ 1902 වසරේ දී ඌරල කියන ගම්මානයේ දී. ඔහු බ්‍රිතාන්‍යයට සංක්‍රමණය වෙන්නේ 1931 වසරේ දී. ඉංග්‍රීසි ගුරුවරයෙකු විදියට සිය වෘත්තීය ජීවිතය ආරම්භ කරන විජයතුංග මහතා රවීන්ද්‍රනාත් තාගෝර්තුමන්ගේ පෞද්ගලික ඉල්ලීම මත ඉන්දියාවේ ශාන්ති නිකේතනයේ ඉංග්‍රීසි ගුරුවරයෙකු ලෙසත් කටයුතු කරනවා. කල්කටා සරසවියේ විභාග පරීක්ෂකවරුන්ගේ මණ්ඩලයේ පවා සාමාජිකයකු වන ඔහු එස් ඩබ්ලිව් ආර් ඩී බණ්ඩාරනායක ප්‍රමුඛ ප්‍රකට රාජ්‍ය තාන්ත්‍රිකයන් හා පවා සමීප ඇසුරක් පැවැත්වූ තැනැත්තෙක්.

ග්‍රන්ථ ගණනාවක කතුවරයා වන ඔහු ලන්ඩන් ටයිම්ස්, නිව්යෝර්ක් ටයිම්ස් ආදී ප්‍රමුඛ පෙළේ මාධ්‍ය ආයතනවල සම්මානනීය ජනමාධ්‍යවේදියෙකු ලෙසත් කටයුතු කරනවා.

වියපත්ව සිටි විජයතුංග මහතා පෞද්ගලිකව හමු වී කතා බහ කළ තොරතුරු සමුදායක් එක්කරමින් ආචාර්ය තිලක් ප්‍රනාන්දු වෙබ් අඩවියකට ලියූ ලිපියක් ඔහු ගැන තොරතුරු සොයා බලද්දී මට අහම්බෙන් හමුවුණා. තමාට විජයතුංග මහතා හමුවන විට ඔහු 86 හැවිරිදි වියෙහි පසු වූ බවත්, ඔහු අතිශය මිත්‍රශීලී, සුහද හා ප්‍රසන්න මිනිසෙකු වූ බවත් ආචාර්ය තිලක් ප්‍රනාන්දු මහතා තම ලිපියේ විස්තර කර තියෙනවා. තමා ඔහුව හමුවූයේ උතුරු ලන්ඩනයේ ඔහු දිවි ගෙවූ කුඩා හුදෙකලා නවාතැනක දී බව පෙන්වා දෙන ආචාර්ය ප්‍රනාන්දු එවන් වූ උත්තුංග චරිතයක් එවැනි හුදෙකලා කාමරයක තනි වී ජීවත් වීම තමා මවිතයට පත් කළ බවත් පෙන්වා දෙනවා.

මා අතට පත් වූ විජයතුංග මහතාගේ ඉංග්‍රීසි පොත ඔහු පිළිගන්වා තිබුණේ තමන්ගේ මෑණියන්ටයි. පොතට ඔහු පෙරවදනක් ලියා තිබුණේ නැහැ. ඒත් ඒ වෙනුවට ඔහු කවි දෙකක් පමණක් සටහන් කර තිබුණා. බෙහොම හෘදයාංගම ඒ කවි දෙක,පොත පුස්තකාලයට භාර දෙන්නට කලින් පිටපත් කරගන්නට සිටියත් ඉතාම අවාසනාවන්ත ලෙස එය මග හැරී ගියා. ඒත් ඔහු ඒ එක් කවියක් අවසන් කර තිබුණේ Drift me to that country (ඒ දිවයිනට මා පාකර හරින්න) කියන වාක්‍යයෙන් බව නම් හොඳටම මතකයේ රැදුණා. රාජ්‍ය තාන්ත්‍රිකයන් ඇසුරු කරමින් මහා බ්‍රිතාන්‍යයේ ජීවත් වුණත් ඔහුගේ හදවත හා මනස තවමත් රැඳී තිබුණේ තමාගේ ළමා විය ගෙවී ගිය ලංකාවේ ඒ  පිටිසර ගම්මානයේ බවට ඊටත් වඩා කුමන වූ සාක්ෂියක් ද..?

මිය යන්නට පෙර ඔහු යළි තම මව්බිමේ පදිංචියට පැමිණි බව මහා බ්‍රිතාන්‍යයේ විද්‍යාර්ථින් ගැන තොරතුරු පළවන වෙබ් අඩවියක පළ වී තිබෙනු මා දුටුවත් ඔහුගේ අවසන් කාලය පිළිබද වැඩිමනත් තොරතුරු සොයා ගන්නට මට හැකි වූයේ නැහැ.

ජිනදාස විජයතුංග මහතාණෙනි, ඔබට නිවන් සුව…!

4 thoughts on “ඒ දිවයිනට මා, පා කර හරින්න

Add yours

  1. ජිනදාස විජයතුංග මහතා මිය ගියේ ලංකාවේ. ඔහු අවසන් කාලයේදී ලංකාවට ආවා. ඔහුව බීබීසී ආයතනයේදී මහාචාර්‍ය සුනන්ද මහේන ද්‍රට හමු වූ බව වරක් මහාචාර්‍ය සුනන්ද මහේන් ද්‍ර මට කීවා

    කැමතියි

  2. ඔබගේ ලිපි කියවන්න ලැබුනේ දින කිහිපයකට පෙර සිට මම මේ වනවිට ඒවා කියවමින් ඉන්නේ මෙය ඉතා යහපත් කටයුත්තක් ඔබට ස්තුතියි – භරත පෙරේරා

    කැමතියි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.

ඉහළ ↑

%d bloggers like this: