ඒ සුන්දර උදෑසන මට කිසිදිනක අමතක නොවනු ඇත.
සුවිසල් පැසිෆික් සාගරයේ දිය රැළි මතින් සුදෝ සුදු පෙන කැටි විසුරුවාලමින් ගමනේ යෙදුණු සුවිසල් මගී නෞකාවක පියස්සේ වූ එළිමහන් වේදිකාවක මම ඒ මොහොතේ රැඳී සිටියෙමි.
හිමිදිරි වළාකුළු මතින් හිරු රැස් පෙරී ආවේ සයුරු රළ මත රන්වන් රටා මවමිනි.
වරින් වර රංචු ගැසී පියාඹා යන කුරුල්ලන්ගේ මිහිරි නාදයත්, ගමන ආරම්භ වූ මොහොතේ සිටම එක දිගට හමා ආ සිසිල් සුළං රැල්ලත් මගේ ගත මෙන්ම සිත ද එකසේ ප්‍රබෝධවත් කරමින් තිබුණේය.
මා ගමන් ඇරඹූ වැන්කුවර් නුවර පියස්ස අතරින් හිම කැටිති තැවරුණු කඳු මුදුන්වල දසුන පෙනී නොපෙනී යද්දී මගේ ගමනාන්තය වූ ඒ සුන්දර දූපත ඈතින් මතුව ආවේය.
මගීන් පමණක් නොව ඔවුන්ගේ රථ වාහන ද පටවාගෙන හෝරා දෙකක පමණ කාලයක් පුරා කළ යාත්‍රාවකින් පසු නෞකාව නතර වූයේ මගේ ගමනාන්තය වූ කැනඩාවේ බ්‍රිටිෂ් කොළොම්බියා ප්‍රාන්තයේ වික්ටෝරියා නම් මනරම් දිවයිනේය.
නගරයේ වීදී පසුකර යමින් සරුවට වැඩුණු තුරුලතා අතරින් වූ නිසංසල මාවත දිගේ රිය පදවාගෙන යද්දී මගේ ගමනට බාධා කළ කළේ වරින් වර පාර පුරා දිව ගිය මුව රංචු පමණි.
ඒ සුන්දර දූපතේ හුදෙකලා ගම් පියෙසක පිහිටි පැරණි පන්නයේ අපූරු නිවහනක කවුළුවක් සමීපයේ වූ අසුනක වාඩි වී යමක් කුරුටු ගාමින් සිටි ඒ මිනිසා අවසානයේ දී මට මුණ ගැසුණේය.
ඔහු මහදුරු සිරි ගුනසිංහයන්ය.
ජනමාධ්‍යවේදියෙකු ලෙස කටයුතු කළ කිසිම අවස්ථාවක රාජකාරී කටයුතුවලදී ස්වාමීන් වහන්සේ කෙනෙකුට හැර වෙනත් කිසිවෙකුට වැද නමස්කාර කිරීමේ පුරුද්දක් නොතිබුණත් මේ මහා ප්‍රාඥයා ඉදිරියේ දී මා ඔහුට වැඳ නමස්කාර කළේ කිසිදු පැකිලීමකින් තොරවය. ඒ මා මේ ගමනට සහභාගි වූයේ ජනමාධ්‍යාවේදී කටයුත්තක් සිත්හි තබාගෙනම පමණක් නොවූ බැවිනි. කැනඩාවට පැමිණි දා සිටි ඔහු මුණ ගැසී දොඩමළු වන්නට බොහෝ කාලයක් පුරා බලාගෙන ද සිටි බැවිනි.
භාෂා ගණනාවක ප්‍රවිණයෙකු මෙන්ම ක්ෂේත්‍ර ගණනාවක මහා දැනුම් සම්භාරයකින් සන්නද්ධව සිටිය ද ඔහු මා සිතුවාටත් වඩා අතිශය සරල හා සුහද මිනිසෙක් වූයේය. ඉතිහාසය, කලාව, සාහිත්‍යය පමණක් නොව භාෂාව සම්බන්ධයෙන් ද එකසේ මහා දැනුම් සම්භාරයකින් පරිපූර්ණ වූ අපේ පරපුරේ අවසාන ජීවමාන පඬිවරයා ඔහු වූයේය.
ලොව කීර්තිමත් සරසවියක් වන කැනඩාවේ වික්ටෝරියා සරසවියේ මහාචාර්වරයෙකු ලෙසින් වසර හතලිහක කාලයක් පුරා සේවය කළ ඔහු සිය ආදරණීය බිරිඳ ආචාර්ය හේමමාලී ද සමග නිදහස් විශ්‍රාම දිවියක් ගතකරමින් සිටියේ වික්ටෝරියා සරසවියටම යාබදව තිබූ නිවෙසකය. මා ඔහු හමුවූ මුල්ම දිනයේ එතුමන්ගේ නිවසට යාබද නිවසේ ගෙහිමියා මියගොස් තිබුණි. ගෙහිමියාගේ දරුවන් අවමංගල්‍ය කටයුතු සම්බන්ධයෙන් දැනුවත් කරන්නට ගෙට ගොඩ වූයේ ද අප දොඩමළු වෙමින් සිටි හෝරා කිහිපය අතරේදීය. එම හදිසි සාකච්ඡාව නිමවීමෙන් පසු හුනස්නෙන් නැගී සිටි ඔහු කිසියම් වූ කල්පනාවක නිරත වෙමින් කවුළුවට පිටතින් පෙනෙන එම නිවස දෙස බොහෝ වේලාවක් බලාගෙන සිටි ආකාරය මට තවමත් මතකය. ඒ දසුන බලාගෙන සිටි මට මෙවන් වූ පඬිවරයෙකු සත් සමුදුරින් ඈතින් පිහිටි මෙවන් වූ දූපතක තනිවී සිටිය යුතු ද යන්න සිතට නැගුණේ නිරායාසයෙන්මය. ඒ මොහොතේ මා සිත තුළ මතු වූ ඒ සිතිවිල්ල වචනයට පෙරළා ඔහුගෙන් අසා සිටිය නොහැකි තරමටම ඒ සිතිවිල්ල බලවත් වූයේය.
“ සැප පහසුකම් අතින් ඉහළම රටක මං ඉන්න බව ඇත්ත. ඒත් ඒක භෞතිකයි. මා තුළ තිබෙන පුරුද්ද නිසා මට ඒක ඒ තරම් වැදගත් නැහැ. ඒ නිසා මානසිකමය වශයෙන් මට ඒ තරම් තෘප්තියක් නැහැ. සිංහලෙන් ලියන්න , කියන්න, සිංහල පොත පත කියවන්න තවමත් මං පුරුදු වෙලා ඉන්නේ ඒ තෘප්තිමත් බව ලබා ගන්නයි. ඒ වගේම අවුරුද්දකට සැරයක් ලංකාවට ගිහින් පැරණි මිතුරන් හමුවෙන්නේත් ඒ හැගීමෙන්ම තමයි. ඒ අතීත සබදකම් හරහා ජීවිතය අලුත් වෙනවා. ”
ඔහු මහා ඇදුරෙකු වූයේ සිංහල හෝ සංස්කෘතික හෝ වෙනත් භාෂාවන් ගණනාවකට පමණක් නොවේ. ඉතිහාසය, සාහිත්‍යය, චිත්‍ර කලාව පමණක් නොව සිනමාව පවා ඔහු අතින් පෝෂණය වූයේය. මතුපිටින් අතගාමින් තිබූ සාහිත්‍යය ඔහු සිය “මස් ලේ නැති ඇට” තුළින් යථාර්ථවාදී තලයකට ගෙන ආවේය. ඔහු විසින් නිර්මාණය කළ එකම සිනමාපටය වූ සත් සමුදුර රාජ්‍ය සම්මානයෙන් පමණක් නොව ප්‍රේක්ෂක විචාරයකයන්ගේ නොමද ගෞරවාදරයට පාත්‍ර වූයේය. සිංහල භාෂාවේ න-ණ ල-ළ භේදය ඉවත් විය යුතුය යන්න දැඩි සේ විශ්වාස කළ ඔහු වියපත් වූ පසු පවා භාෂාව සම්බන්ධයෙන් තිබුණේ හණ මිටි අදහස් නොව තාරුණ්‍යයෙන් සපිරි අදහස් සමුදායකි.
“ මුල් කාලයේ පත්තරයක් අරගෙන බලන්න. ඒ පත්තර භාෂාව අද පත්තරවල නැහැ. ඒ කියන්නේ භාෂාව සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා. ඒත් මිනිස්සු පිළිගන්නේ නැහැ භාෂාව වෙනස් වෙනවා කියලා. භාෂාවේ ස්වභාවය තමයි වෙනස් වීම කියන්නේ. “ ගොනා තන කයි ” කියලා කිවුවම ගොනා කන්නේ මොනවද කියලා ඕනම කෙනෙකුට තේරෙනවා. උදාහරණයක් විදියට දැන් අපි කියනවා ” එයා ඇමතිතුමා වෙනුවෙන් කඩේ යනවා ” කියලා. ඔය “ කඩේ යනවා ” කියන එක භාෂාවේ වෙනස්වීමක් නේ. ඒක හරිම ප්‍රාණවත් රූපකයක්. ඒ ප්‍රාණවත් රූපකය ඇති වෙන්නේ නැහැ භාෂාවේ නිදහස නැති කළා නම්. භාෂාව වෙනස් වෙලා තියෙනවා , භාෂාව වෙනස් වෙමින් තියෙනවා , භාෂාව වෙනස් විය යුතුය කියන එක පිළිගන්න බැරි එක තමයි මෙතැන තියෙන මූලිකම දේ. ” ඔහු කීවේ බොහෝ සේ උදාහරණ දක්වමිනි.
“මහාචාර්ය ගුනසිංහයන් සංස්කෘත කාව්‍යය කොයි තරම් රසවත්ව විග්‍රහ කරලා අපිට උගැන්නුවාද කියනවා නම් සාහිත්‍ය රසාස්වාදය ගැන ඉගෙන ගන්න අපට ආසාවක් ඇතිවුණේ ඔහු නිසයි ” මහදුරු සුචරිත ගම්ලත් වරෙක කී බව මට මතකය.
මහාචාර්ය පරණවිතානයන් මෙන්ම සීගිරියට සහ සීගිරි කවියට පෙම් බැඳි ඔහු සීගිරිය සම්බන්ධයෙන් මෑතකදී ද උසස් මට්ටමේ පොතක් ඉංග්‍රීසි බසින් ලියා පළ කළේය. තමන් ප්‍රවීණතාවක් දැක්වූ සෑම විෂය ක්ෂේත්‍රයක් සම්බන්ධයෙන්ම මහත් වූ ඥාන සම්භාරයකට උරුමකම් කී ඔහු ඉතා විශ්වාසයෙන් යුක්තව ශක්තිමත් මතවාදයන් ගෙන හැර පාන්නට කිසිවිටෙක පසුබට වූයේ නැත. ඔහු විසින් ඉංග්‍රීසියෙන් ලියන ලද ලිපියක් සිංහලට පෙරළීමේ වාසනාව වරෙක මට හිමි වූ අතර එම ලිපිය මගින් පොළොන්නරුවේ පිහිටි පරාක්‍රමබාහු ප්‍රතිමාව නමින් ප්‍රචලිත පිළිමය අගස්ති සෘෂිවරයාගේ බවට වූ ප්‍රබල මතයක් ඔහු ගෙන හැර පා තිබුණේ ප්‍රාමාණික සාක්ෂි සාධක රැසක් මතුකරමිනි.
විචාර කලාවේ මෙන්ම යථාර්ථවාදී නිසදැස් කලාවේ පුරෝගාමියෙකු වූව ද ඔහු නූතන ලාංකීය කලාවේ සහ විචාර සම්ප්‍රදාය ගැන සිටියේ පැහැදීමකින් නොවේ.
“ විචාරය කියන එක ඕනෑම කෙනෙකුට කරන්න පුලුවන් කියලා හිතන එක තමයි ලොකුම වැරැද්ද වුණේ. මොකද ඹ්න කෙනෙකුට සිනමාපටයක් , සිංදුවක් හෝ පොතක් ගැන මොනව හරි ලියන්න පුලුවන්නේ. ඒත් විචාරය කියන එක වෙනමම ඉගෙන ගන්න ඕන විෂයක්. විචාරය කියන්නේ මොකක්ද … යමක් විචාරය කළ යුත්තේ කොහොමද කියන එක ගැන ලංකාවේ සරසවිවලවත් උගන්වන්නේ නැහැ. එහෙම විෂයක් අපේ සරසවිවල නැහැ. ඒ කාලයේ තිබුණෙත් නැහැ. සාහිත්‍යය උගන්වනවා කියලා ඇත්ත වශයෙන්ම කළේ පොතේ ව්‍යාකරණය උගන්වන එකයි. කවි සිළුමිණ ගත්තොත් ඒක සරල බසින් කියලා දීලා ව්‍යාකරණ කරුණු සාකච්ඡා කිරීම තමයි සරසවිවල සිංහල සාහිත්‍යය උගන්වනවා කියලා එදත් කළේ. මම උනත් සිංහල සාහිත්‍යය ඉගෙන ගත්තේ ඔය විදියට තමයි. ඒත් එයින් පිට පැනලා සාහිත්‍ය කෘතියක කතාව නෙමෙයි සැබෑ සාරය සොයන්න අපට හැකියාව ලැබුණේ විචාරය කියන විෂය ඉංගිරිසි භාෂාවෙන් හැදෑරුවට පස්සේ තමයි. ඒ වගේම මම හිතන්නේ 19 වැනි ශත වර්ෂයේ නෙමෙයි ඊටත් ඈත යුගයේ තිබුණු වාරණයක් තමයි අද ලංකාවේ තියෙන්නේ. කලා කෘතියකට අවම මට්ටමේවත් නිදහසක් අවශ්‍යයි. සිනමා පටයක සිගරැට්ටුවක් බිවුවා කියලා මිනිස්සු සිගරැට් බොන්න පුරුදු වෙනවද ?නොබොන මිනිහා කොහොමත් බොන්නේ නැහැ. මේ වාරණය කලාවේ දියුණුවට විශාල බාධාවක්.”
සෑම විෂයක් කෙරෙහිම ඔහුගේ දැක්ම බොහෝ සේ තීව්‍ර වූයේය. “රජෙකු එතැයි අප කොපමණ පැතුවත් එන්නේ හිඟන්නෝමැයි ” යනුවෙන් ඔහු ලීවේ සිය අබිනික්මන කාව්‍ය සංග්‍රය පළවූ 1958 තරම් ඈතකදීය. එය අදට පමණක් නොව ලංකාවේ අපට හෙට දවසේ ද තමත් යථාර්ථයක් වන්නේය. මේ කවි දෙපද මා ඔහුට සිහි කරද්දී ඔහු අද දවසේ අපේ රට ගැන පළ කළේ මෙවන් අදහසකි.
“ අද තියෙන ගැටළුව නම් වෙනස්කමක් කරන්න පටන් ගන්නේ කොතැනින්ද කියන එක නෙමෙයි… වෙනස්කමක් පටන් ගන්න පුලුවන්ද කියන එකයි. පහුගිය අවුරුදු විස්සක කාලය ගත්තම මැතිවරණයෙන් මැතිවරණයට සමාජය පහතට ඇද වැටීම මිසක් ඉහළට යාමක් නම් සිදු වුණේ නැහැ. අඩුම තරමින් රටේ ආර්ථිකම දියුණුවක් හෝ තියෙනවා නම් අනිවාර්යයෙන්ම අනිත් අංශවලත් දියුණුවක් තියෙන්න ඕනේ. ලෝකයේ අනෙක් රටවල් ගත්තත් ආර්ථිකමය පදනමේ දියුණුවක් ඇතිවෙනවා නම් සමාජීය දියුණුවකුත් ඒ එක්කම ඇති වෙන්න ඕනේ. ලංකාවේ දේශපාලකයන් කියනවා නම් ආර්ථිකමය දියුණුවක් තියෙනවා කියලා ඒ අය රට දියුණු කරන විදියේ අඩුපාඩුවක් තියෙන්න ඕන. ඒකට හේතුව සමාජීය වශයෙන් එහෙම දියුණුවක් දකින්න නැති නිසා. අනිත් අතට එහෙම දියුණුවීමක් ඇති කරන්න සුදුසුකම් තියෙන මිනිස්සුත් ඉන්න ඕන නේ…! මේ කඩා වැටීම පහුගිය අවුරුදු පනහ තිස්සේම හෙමිහිට සිද්ධ වුණා. අපේ රට තියෙන්නේ දේශපාලනමය වශයෙන් ඇද වැටුණු තැනක. දේශපාලනමය සහ ආර්ථිකමය වශයෙන් ඇද වැටුණු රටක අනිවාර්යයෙන්ම සිදුවන දේවල් තමයි අපේ රටේ සිද්ධ වෙන්නේ ”
ඔහු කෙතරම්ම උතුම් මිනිසෙකුද වූයේ ද යත් මා වැනි දුහුනෙකු විසින් ලියන ලද කෘතියක අත්පිටපතේ සෝදුපත් බලන්නට පමණක් නොව ඊට පෙරවදනක් ලියාදෙන්නට තරම් අතිශය නිහතමානී මිනිසෙකු වූයේය. එය සිදුවූයේ ඔහු තදින් අසනීපව සිටි මෙයින් මාස කිහිපයකට පෙරදී බැවින් ඔහු විසින් කියවන ලද අවසාන සිංහල අත් පිටපත එය වූවාට සැකයක් නැත.
සිය අවාසන කාලයේ දී ඔහුගේ දරු දැරියන්ට අමතරව ඔහුගේ සෙවණැල්ල මෙන් ළගින්ම සිටියේ ඔහුගේ ආදරණීය බිරිඳ ආචාර්ය හේමමාලිය. ජීවිතයේ අවසාන භාගයේ දී මහාචාර්යතුමන්ගේ සෞඛ්‍ය තත්ත්වය වරින් වර අයහපත් වෙමින් තිබූ පසුබිමක් යටතේ ඒ සියලු කටයුතුවල වගකීම භාරගෙන කටයුතු කළේ ඇයයි. තමන් සිංහල නවකතාවක් ලියමින් සිටින නමුත් එය ලියැවෙන්නේ ඉතා සෙමන් බව ඔහු මීට වසර කිහිපයකට පෙර මට කීවත් එම කෘතිය සැබවින්ම නිමා වූයේ ද යන්න මම නොදනිමි.
ඔහුගේ අවසන් ඉල්ලීම මත අවසන් කටයුතු කෙරෙන්නේ ඉතා චාම්ව පවුලේ සමීපතමයන්ගේ සහභාගිත්වය මතය.
ඔහු අවසන් වරට හමුවූ අවස්ථාවේ දී නිවසින් පිටතට විත් මා රිය පණ ගන්වාගෙන ඔහුගේ ගෙමිදුලින් නික්ම යනතෙක්ම ඔහු බලා සිටි ආකාරය මට මේ මොහොතේත් මැවී පෙනෙන්නේය.
එතුමන් පිළිබද වූ ඒ සජීවී මතකය එලෙසින්ම මා සිත තුළ ඉතිරි කරගනිමින්, ඔහුගේ මේ නික්ම යාම දන්වාලමින් ආචාර්ය හේමමාලී විසින් මා වෙත එවනු ලැබ තිබූ ඊ මේල් ලිපියේ මාතෘකාවෙන්ම මෙම ලිපිය අවසන් කරන්නට මට අවසර; …. පිපුණු කුසුම පරවූවා.
මහඇදුරුතුමනි ඔබට නිවන් සුව!
මෙය සංවේදනාවන් දනවන සැමරුම් සටහනකි. ආචාර්ය සිරී ගුණසිංහයන් මගේද ඉතාම සුහද මිතුරෙකි. මගේ පලවුණු එකම කෙටිකතා පොත කියවා (සිටුකුලයෙ ප්‍රේමයක්) අගයකරමින් මහා ඔවදන් රැසක් දුන් වියතෙකි. එතැන් පටන් ඔහු මගේ පුද්ගලික මිතුරෙකු විය. කොළඹ “අතරමං වුණු“ සැමවිටම මං ඔහුගේ නිවසේ ඔහුත් සමග ඉතාම රසවත් සන්ධ්‍යාවන් ගත කර ඇත. උයාපිහාගෙන කා ඇත. සුවිශේෂි අත්දැකීම් රැසක් ඇති මුත් ලියන්නට වෙලාවක් නැත. අනේ ඔහු මියගිය බවක් අපේ කිසිම නාලිකාවකින් කිව්වේ ද නැත. ඒ ගැන කතා කරලාද වැඩක් නැත. දැන් පිපුණු කුසුම් පරවෙන කාලයයි… මෙවැනි කුසුම් ඇත්තේ තව අල්පයකි. ලංකාවෙම නියඟලා මල් සහ අල බහින කාලයයි. ඔබට බෙහෙවින් ස්තූතියි කළු…
කැමතියිකැමතියි