ගුවන්විදුලියේ සවස හයේ ප්‍රවෘත්ති ආරම්භ වුණේ මං වැඩ ඇරිලා නිවසට එමින් සිටියදීයි. රිය අනතුරක් සිද්ධ වෙලා තිබු නිසා මං එන මාර්ගය පුරාම වාහන තදබදයක් නිර්මාණය වෙලා තිබුණා.
වාහනයේ ගුවන්විදුලි යන්ත්‍රයේ ඒ වෙලාවේ ක්‍රියාත්මක වෙලා තිබුණේ සීබීසී (Canadian Broadcasting Cooperation) එහෙමත් නැතිනම් කැනඩාවේ ප්‍රධාන ප්‍රවෘත්ති සේවා විකාශයටයි.
ප්‍රවෘත්ති අතරතුරේ දී එක සැරේම නිවේදකයා මෙහෙම දෙයක් කිව්වා.
“ අපි දැන් විශේෂ හඩ පටයක් විකාශය කරන්නයි යන්නේ. මේ හඩ පටය විනාඩියක කාලයක් පුරා තියෙනවා. එත් මේ හඩ පටයේ ඇති කරුණු මානසික පීඩනයක් ඇති කරන්නට හේතු වෙන්න පුළුවන්. විශේෂයෙන්ම පොඩි දරුවන් මේ වැඩසටහනට සවන් දෙනවා නම් ඒ ගැන විශේෂයෙන්ම සැළකිලිමත් වෙන්න කියලා දෙමව්පියන්ගෙන් අපි ඉල්ලා හිටිනවා. මේ හඩ පටය අපි විකාශය කරන්නේ එයින් කියැවෙන මානුෂීය පණිවිඩය ඒ අයුරින්ම ඔබට ලබා දීමේ අරමුණින් පමණයි. ඒ නිසා අපි නැවතත් කියනවා මේ හඩ පටයෙන් මානසික පීඩනයක් ඇති වෙන්න ඉඩකඩක් තියෙන නිසා මේ හඩපටය අහන්න කලින් ඒ ගැන විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න කියලා ”
නිවේදකයා මේ කරුණ දෙසැරයක්ම කිව්වා. හඩ පටය විකාශය වුණේ ඊට පස්සෙයි.
හඩ පටයට පදනම් වෙලා තිබුණේ ඇමරිකාවේ පොලිස් නිලධාරියෙකු අතින් කළු ජාතික සිවිල් වැසියෙකු මරණයට පත් වීමෙන් පස්සේ කළු ජාතිකයාගේ පෙම්වතිය එම පොලිස් නිලධාරියා ඉදිරියේ හඩමින් කරන ප්‍රකාශයක්. මේ ප්‍රකාශය පුරාම ඇය කිසිම විදියකින් පොලිස් නිලධාරියාට පහත් අන්දමින් බැන වදින්නේවත්, අසැබි වචන ප්‍රකාශ කරන්නේවත් නැහැ. එම කාලය පුරාම ඇය වැළපෙමින් හඩන අතරේ පුන පුනා කී කරුණ වුණේ, “ ඔෆිසර්… ඔයා මගේ පෙම්වතා මැරුවා කියලා නම් මට කියන්න එපා… මට ආයෙත් එයාව දකින්න ලැබෙන්නේ නැහැ කියන්න නම් එපා ” කියන කාරණාවම පමණයි.
ගුවන්විදුලි නිවේදකයා කිව්ව ආකාරයටම විනාඩියකට ආසන්න කාලයක් පුරා විකාශය වෙච්ච මේ හඩ පටය නිමා වුණ ගමන්ම මට මතක් වුණේ ලංකාවේ අපේ මාධ්‍ය කලාව ගැන. (ලංකාවේ මාධ්‍ය කලාවක් කිසිසේත්ම නැති වුණත් මෙතැන දී කලාව කියන වචනය පාවිච්චි කළේ සංසන්දනයේ පහසුව නිසයි). එයින් පළමු වැනි කාරණය මේ වගේ හඩ පටයක් ලංකාවේ මීඩියා වලට කිසිසේත්ම සිත් කම්පිත කරවන පුවතක් (shocking news) නොවන නිසා. ඒ කියන්නේ ලංකාවේ මාධ්‍යවලට මේ පුවත සිත කම්පිත කරවන්නට තරම් බලපෑමක් ඇති කරවන එකක් නෙමෙයි. ඒකට හේතුව දශක ගණනාවක් පුරාම ලංකාවේ මාධ්‍ය එකට එකතු වෙලා නිර්මාණය කරලා තියෙන, මුළුමනින්ම මීඩියා නිෂ්පාදනයක් වන අපේ පාඨක ජනතාව එහෙමත් නැතිනම් ප්‍රේක්ෂක ජනතාව මේ වගේ “ සුළු මානුෂීය කරුණු වලින් ” සිත කම්පිත වෙන අය නෙමෙයි. අපේ පාඨකයන්ට / ප්‍රේක්ෂකයන්ට පුවතක් සිත කම්පා කරවන්නට නම් අඩුම තරමින් මළ සිරුරක්වත් පෙන්නන්න ඕනේ. ඒ නිසා ඉහතින් කිව්ව හඩ පටය ලංකාවේ මීඩියා එකකින් විකාශය කරන්නට කලින් නිවේදකයාට ඒ ගැන දෙසැරයක් හිතන්නවත්, සිබීසී නිවේදකයා කිව්ව විදියේ පූර්ව නිවේදනයක් නිකුත් කරන්නටවත් ඕනේ නැහැ. ඒ තරමට අපේ ජන සමාජය අද වෙනකොට අසංවේදීයි. මේ අසංවේදීතාව කොයිතරම් ද කියනවා නම් මළ සිරුරක් දෙකක් පෙන්නන්නේ නැති අනතුරක්, අපේ ජනතාවට අනතුරක් නෙමෙයි. ලේවලින් නැහැවිච්ච සිරුරක් දෙකක් නොපෙන්වන පුවතක් සිත් කම්පා කරවන පුවතකුත් නෙමෙයි. දශක ගණනාවක් පුරා කුරිරු යුද්ධයක අමිහිරි අත්දැකීම් ඕනැ තරම් විදලා තිබුණත්, මළ මිනී දහස් ගණනකගේ සේයා රූ දැක තිබුණත් තව තවත් මළ මිනී දකින්නට, තව තවත් ලේ දකින්නට අප තුළ ඇති සැගවුණු අශ්ලීල ආසාව තවමත් පහව ගිහින් නැහැ. ලංකාවේ සියලුම පුවත්පත්වල මුල් පිටුවේත්, ලංකාවේ සියලුම විද්යුත් මාධ්‍යවල ප්‍රධාන පුවත්වලදීත් මළ මිනී, ලේ නොඅඩුව පෙන්වන්නේත්, ඒවාට සමාජායෙන් කිසිම විරෝධයක් එල්ල නොවන්නේත් ඒ නිසයි.
ලංකාවේ අපේ මාධ්‍ය තමන්ගේ මාධ්‍ය ලේවලින් නහවද්දී ශිෂ්ට යැයි සම්මත ලෝකයේ මීඩියා ගමන් කරන්නේ මීට මුළුමනින්ම විරුද්ධ ගමනක. ශිෂ්ට සම්පන්න කිසිම රටක පුවත්පත්වල විශේෂයෙන්ම මුල් පිටුවේ ඔබට මෘත දේහයක් තබා එකම ලේ බිදුවක්වත් දකින්නට ලැබෙන්නේ නැහැ. ඉතාම විරල අවස්ථාවක එවැන්නක් පළ වන්නේ නම් ඒ අතිශය විශේෂ පනිවිඩයක් ලබා දෙන්නටම පමණයි. මෑත ඉතිහාසයේ ඇමරිකාවේ සිදු වූ දැවැන්තම ඛේදවාචකය වූ 9/11 සිදුවීමේ දී කිසිදු මාධ්‍ය ආයතනයක් ඒ අනතුරේ භෞතික විනාශය මිස මළ සිරුරු පෙන්වන්නට ගියේ නැහැ. (ඒත් මේ අනතුර නිසා මිය ගිය අයගේ මළ සිරුරු පුවත්පතේ මුල් පිටුවේ පළ කරන්නට රොයිටර් ප්‍රවෘත්ති සේවය ඔස්සේ සොයා, එවැනි එකම පින්තූරයක්වත් සොයා ගන්නට නොහැකිව බලාපොරොත්තු සුන් වූ සිතැතිව සිටි ලංකාවේ ඇතැම් මාධ්‍ය ප්‍රධානීන් ගැන පුද්ගලික අත්දැකීමක් මේ වෙලාවේ මගේ මතකයට එනවා). දහස් ගණනක් මිය ගිය අතිශය දරුණු භූමිකම්පාවක් ජපානයේ මෑතක දී සිදුවුණා. ඒත් ජපානයේ කිසිම මීඩියා ආයතනයක් එකම මළ සිරුරක්වත් පෙන්නන්න ගියේ නැහැ. ඒ වෙනුවට ජපාන පුවත්පත්වල මුල් පිටුවේ පළ වුණේ මළ සිරුරු වසා තිබූ විනිවිද නොපෙනෙන විශාල නිල් පැහැති ප්ලාස්ටික් කවරයක් විතරයි. අපේ රට කම්පා කළ සුනාමියේ දී ලංකාවේ සියලුමමාධ්‍ය ආයතන මළ සිරුරු හඹා යද්දී ලෝක ජනමාධ්‍ය ඒ විනාශය සිත් කම්පිත කරවන ආකාරයෙන් වාර්තා කළේ එකම ලේ බිදුවක්වත් නොපෙන්වමිනුයි. මේ විදියේ උදාහරණ සිය දහස් ගණනක් තියෙනවා. පොදුවේ කියනවා නම් ශිෂ්ට සම්පන්න මාධ්‍ය භාවිතයක් තියෙන කිසිම රටක දී ඔබට මළ සිරුරුක් තබා ලේ බිදුවක්වත් මාධ්‍ය මගින් දකින්නට බැහැ.
කැනඩාවේ රැකවරණ සොයා නැව් නැගි මේ මේ සිරියානු දරුවා නැවෙහි පටවා සිටි අධික මිනිසුන්ගේ බරින් පෙරළි ගිය යාමෙන් පසු ඔහුගේ මළ සිරුර වෙරළට පාවී තිබූ අයුරුයි මේ. එහෙත් මේ ඡායාරූපය බොහෝ පුවත්පත්වල පළ කෙරුණේ දරුවාගේ මුහුණේ රුව පැහැදිලිව නොපෙන්වන අයුරිණි.
මේ කරුණ කියද්දී තවත් එක්තරා පුද්ගලික කරුණක් මගේ සිහියට නැගෙනවා. මෙයින් අවුරුදු දහයක දොළහකට පමණ පෙර මා දිවයින පුවත්පතේ සේවය කරමින් සිටිය දී අපි දෙතුන් දෙනෙක් එකතු වී පත්තරේ මුල් පිටුවේ මළ සිරුරු නොපන්වන්ට කතිකා කරගත්තා. ඒ කාරණයට ඉහළ කළමනාකාරීත්වයේ කැමැත්ත ගැනීමේ කාර්යය මට පැවරුණා. මා මවිතයට පත් කරමින් ආයතනයේ ඉහළම කළමනාකාරීත්වයෙන් ඒ කරුණට ලැබුණේ මා බලාපොරොත්තු නොවුණාටත් තරම් ඉහළ අනුමැතියක් හා ආශිර්වාදයක්. සම්ප්‍රදායික මාධ්‍ය කලාවෙන් තෙම්පරාදු වෙලා හිටිය කර්තෘ මණ්ඩලයේ ඇතැම් පැරණි සාමාජිකයන්ගේ විවිධාකාර අපහාස උපහාසයන් මැද්දේ වුණත් මේ අදහස අපි ක්‍රියාත්මක කළා. එත් ඒ සති දෙක තුනකට වගේ බොහොම කෙටි කාලයකට විතරයි. ඒකට හේතුව කර්තෘ මණ්ඩලයෙන්වත්, කළමනාකාරීත්වයෙන්වත් ඇති වෙච්ච විරෝධයක් නිසා නෙමෙයි. කියන්නටත් ලැජ්ජා වුණත් ඒ විරෝධය ආවේ පාඨකයන්ගෙන්මයි. “ අපි නිවුස් එක බලන්න ඔයාලගේ පත්තරේ ගන්න ඕනේ. ඒත් පිංතූර බලන්න සල්ලි දීලා තව පත්තරයක් ගන්න ඕනේ ” අපිට ලැබුණු බොහොමයක් දුරකථන ඇමතුම්වල කෙටි සාරාංශය වුණේ එකයි. මීඩියා කියන්නේ ව්‍යාපාරයක් නිසා පුවත්පතේ අලෙවිය රැක ගැනීම වෙනුවෙන් ඒ අදහස ආරම්භයේ දීම මරා දමන්නට සිද්ධ වුණා. නොසෑහෙන්න මළ මිනී දැක ඇතත්, මහා සාගරය තරම් ලේ ගංගා දැක තිබුණත් තව තවත් ඒ අශ්ලීල දර්ශන දකින්නට අපේ ජනතාව තුළ තියෙන නොතිත් ආශාව කෙළවරක් වෙලා නැහැ නේද කියන කාරණය ලංකාවේ ඕනෑම පුවත්පතක්, ඕනෑම විද්යුත් මාධ්‍යයක් දකින හැම මොහොතකම තහවුරු වෙනවා. පහුගිය දවස්වල ලංකාවේ සිදුවූ නාය යාමක දී පවා අනතුරින් මිය ගිය ගැබිණි මවකගේ සිරුරක් අපේ මාධ්‍ය තලු මරමින් පුන පුනා පෙන්නුවේ පිළිකුල් රසය ඉස්මතු කරවමින්. ජාතක අනතුරක දී අපේ ජනතාව ජාති භේද නොතකා එකිනෙකාට උදව් කරන්නට එකතු වන බව නිතරම කියැවෙන කාරණාවක්. ගංවතුරකදී, නාය යාමක දී විපතට පත් වූවවන්ට උදව් පදව් කරන්නට එකමුතු වන පිරිස ෆේස්බුක් වගේ මාධ්‍ය මගින් නිරන්තරයෙන් දකින්නටත් ලැබෙනවා. ඒ වගේ එකමුතුවක් ඇති කරවන්නට එහෙමත් නැතිනම් තවත් කෙනෙකුගේ විපතට පිහිට වන්නට ඉදිරිපත් වන මනසක් නිර්මාණය කරවන්නට මේ විදියේ අශ්ලීල මීඩියා භාවිතයක් අත්‍යවශ්‍ය වන තරමටම අපේ මනස අසංවේදී වි ඇතිය යන සාධකය අපි ඇත්තටම කතා කරන්නට මැලි වන එහෙමත් නැතිනම් අපි නොසිතන කාරණාවක්.
මළ සිරුරුක් නොපෙන්වා ව්‍යසනයක භයංකාරත්වය, ලේ නොපෙන්වා අනතුරක බියකරුබව පෙන්වන්නේ කොහොමද කියන කාරණය අපේ මීඩියා වෙනමම ඉගෙන ගත යුතු දෙයක්. අඩුම තරමින් ශිෂ්ට සම්පන්න ලෝකයේ රූපවාහිනි ප්‍රවෘත්ති, පත්තර මුල් පිටු බලනවා එන අපේ මීඩියා ඔස්තාර්ලාට ඒකත් හොද අත්පොතක් වේවි. ශිෂ්ට ලෝකය තුළ මළ මිනී, ලේ වැකුණු සිරුරු නොපෙන්වීමට පදනම් වුණු කාරණා කිහිපයක්ම තියෙනවා. මුල්ම කාරණාව මිය ගිය තැනැත්තාට දක්වන ගෞරවය. ජීවත් වුණත්, මිය ගියත් මිනිසෙකු කෙරෙහි තිබිය යුතු මානුෂීය ගෞරවය සුළු කොට තැකිය යුතු නැහැ. දෙවැනි කාරණාව ඒ පුද්ගලයාගේ සමීප ඥාතීන් සහ හිතුවතුන් කෙරෙහි තිබිය යුතු ගෞරවය. කිසියම් කරුණක් මීඩියා මගින් ප්‍රසිද්ධියට පත් කළ පසු එය මුළුනින්ම බලපාන්නේ එම තැනැත්තාගේ සමීපතම පවුලේ සාමාජිකයන්ට බව අපේ ජනමාධ්‍ය කිසිසේත්ම නොසිතන කාරණාවක්. (ඉහතින් සදහන් කළ නායයාමෙන් මිය ගිය ගැබිණි මවගේ සැමියාට, දෙමව්පියන්ට, සහෝදර සහෝදරයින්ට පමණක් නෙමෙයි ඇයට තවත් දරුවන් ඇති නම් ඒ අයට මේ ඡායාරූපය තමන්ගේ මුළු ජීවිත කාලය පුරාවටම අමතක නොවන අප්‍රසන්න සහ සිත් කම්පිත කරවන මතකයක් වන බව අපේ මීඩියා ඔස්තාර්ලාට නම් තමන්ගේ ජීවිත කාලය පුරාවටම සිතෙන එකක් නැහැ.) ශිෂ්ට ලෝකයේ මීඩියා මගින් මළ මිනී නොපෙන්වන ඊලග කාරණාව නම් ඒ තුළින් සමාජයට ඇතිවන බලපෑමයි. කිසියම් කරුණක් සමාජය තුළ කම්පනයක් ඇති කරන්නට හැකියාව ලැබෙන්නේ ඒ කාරණාව කොයි තරම් නිර්මාණාත්මකව ඉදිරිපත් කරන්නට පුළුවන් ද කියන කාරණාව මත මිසක් පෙන්වන මළ මිනී සංඛ්‍යාව මත නෙමෙයි. අපේ මාධ්‍ය වලට වටහා ගන්නටම අපහසු කාරණාව නම් ඒකයි. ඒත් නිර්මාණාත්මක චින්තනය කියන එක අනුරාධපුර යුගයෙන් පටන් ගෙන මහනුවර යුගය පසු කළාට පස්සේ පිරිහෙන්නට පටන් අරන් දැන් නැත්තටම නැති වෙලා තියෙන නිසා ඒ කාරණාව වටහා ගන්නට නම් ඒ තරම් පහසු වෙන එකක් නැහැ.
සුනාමි ව්‍යසනය සමයේ දී සංචාරයකට පැමිණි සංචාරක යුවළකගේ මේ ඡායාරූපය ඩෙන්මාර්ක් පුවත්පතක පළ වූයේ කිසියම් උපහාසාත්මක අරුතක් (සංචාරකය යුවළ සම්බන්ධයෙන්) මතු කරවීමේ අරමුණිනි.
මා ජීවත් වෙන කැනඩාව මාධ්‍ය සදාචාරය ඉහළින්ම සුරකින රටක්. ශිෂ්ට මාධ්‍ය සදාචාරයක් පවතින සෙසු රටවල මෙන්ම කැනඩාවේත් කිසිම විදියකින් තමන්ගේ පුද්ගලික ඡායාරූපයක් තමන්ගේ අවසරයකින් තොරව කිසිම විදියකින් ප්‍රචාරය කරන්නේ නැහැ. පාසලකට දරුවකු ඇතුළත් කිරීමේ දී පවා දරුවාගේ පාසල් ක්‍රියාකාරකමක හෝ බාහිර ක්‍රියාකාරකමක ඡායාරූපයක් පාසලේ වෙබ් අඩවියේ හෝ වෙනත් ස්ථානයක පළ කිරීමට දෙමව්පියන්ගේ කැමැත්ත අකමැත්ත ලිඛිතව ලබා ගන්නවා. තමන්ගේ දරුවාගේ ඡායාරූපයක් කිසිම විදියකින් කිසිම තැනක පළ වෙනවාට දෙමව්පියන් අකැමැති නම් එම දරුවාගේ රුව පාසලේ වෙබ් අඩවියේවත් කිසිම විදියකින් පළ කෙරෙන්නේ නැහැ. පාසලෙන් රැගෙන යන විනෝද සවාරියක දී පවා විනෝද සවාරියට පෙර එවැනි අනුමැතියක කැමැත්ත අකමැත්ත ඉල්ලා ගෙදරට ලිපියක් එනවා. මහජන අවධානය යොමු වූ බරපතල නඩු කටයුත්තක දී පවා කිසිම විදියකින් අධිකරණ භූමිය තුළ එම තැනැත්තන්ගේ සජීවී රූ විකාශය කෙරෙන්නේ නැහැ. ඒ වෙනුවට විකාශය කෙරෙන්නේ අතින් ඇදුණු රූ සටහනක් පමණයි.
සුනාමි ව්‍යසනය අපේ පුවත්පත්වලින් මළ මිනී පුරවමින් පෙන්වද්දී එකම මළ සිරුරක් හෝ ලේ බිදුවක් හෝ නොපන්වා සුනාමි ව්‍යසනයේ බියකරුබව අපේ අසල්වැසි ඉන්දියාවේ හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පතින් සහ බටහිර පුවත්පතකින් පෙන්වූ අපූරුව
මෙතැන දී පෙන්වා දිය යුතු උපහාසාත්මකම කරුණක් තියෙනවා. ලංකාවේ අපේ මාධ්‍ය කිසිම බියක් සැකක් නොමැතිව ජීවත් වන්නන් ගැන පවා නොසිතා මළ මිනී පෙන්නුවත් තමන්ගේ සාක්කුවට බලපාන කරුණු ගැන දක්වන්නේ සුනඛයා වල්ගය කොතැන හෝ ගහ ගන්නට ගන්නා උත්සාහය වගේ දෙයක්. කිසිම හිරිකතයකින් තොරව “ නිරභීතව, එඩිතරව ” මළ මිනීවලින් තමන්ගේ පත්තරවල මුල් පිටු එහෙමත් නැතිනම් තමන්ගේ ප්‍රවෘත්ති පුරවා ගන්නා අපේ මීඩියා තමන් කත් අදින දේශාපාලකයන් ගැන එහෙමත් නැතිනම් තමන්ට දැන්වීම් දෙන මහා පරිමාණ මුදලාලිලා ගැන අහිතකර පුවතක් කිසිසේත්ම පළ කරන්නේ නැහැ. පළ කරන්නට සිදුවන අවස්ථාවක දී පවා එය පළ කරන්නේ බොහෝ වෙලාවට නම් ගම් හෙළි නොකර. පුද්ගලිකත්වය ඉහළින්ම සුරකින කැනඩාව වැනි රටවල මාධ්‍ය එවැනි කරුණු ගැන නම් කිසිසේත්ම අනුකම්පාවක් දක්වන්නේ නැහැ. කිසියම් පාරිභෝගික නිෂ්පාදනයක් මිනිස් පරිභෝජනය නුසුදුසු වෙච්ච අවස්ථාවක එහෙමත් නැතිනම් කිසියම් සේවාවකින් මහජනාතාවට හිරිහැර සිදුවෙච්ච අවස්ථාවක එය රාජ්‍ය අංශයෙන් සිදුවුණත්, පුද්ගලික අංශයෙන් සිදුවුණත් ඒ සියලු නම් ගම් නිෂ්පාදනවල ඡායාරූප පවා සහිතව පළ කරන්නේ සිය වගකීම මූලිකවම ඇත්තේ මහජනතාව වෙනුවෙන් බව නිවැරුදිවම වටහා ගනිමිනුයි.
ලංකාවේ මාධ්‍යවල මේ තරම් අසෝභන ජුගුප්සාජනක සහ අශ්ලීල දේ ප්‍රචාරය වුණත් ඒ ගැන සැලකිය යුතු මහජන විරෝධයක්වත් පොදු ජන කතිකාවතක්වත් ඇති නොවන්නේ අපේ සමාජය එවැනි කරුණු ගැන ඒ තරමටම අසංවේදී වෙලා තියෙන හින්දයි. ලංකාවේ මීඩියා මේ තරම්ම මළ මිනී විකුණනන්නේ එවැනි ඉල්ලුමක් සමාජයෙන් ලැබෙන නිසා බවත් අමතක කරන්න බැහැ. එත් සාපේක්ෂව වඩා දියුණු මාධ්‍ය සදාචාරයක් ඇති රටවල මාධ්‍ය මගින් ප්‍රචාරය වන “ නරක ” යැයි සම්මත සුළු කරුණු ගැන පවා ඔවුන් බෙහෙවින්ම සැලකිලිමත් වෙනවා විතරක් නෙමෙයි ඒ ගැන නිරන්තර පර්යේෂණ පවා සිදු කෙරෙනවා. නරක ප්‍රවෘත්ති පුවත්පත්වල ප්‍රධාන පුවත් මවන්නේ ඇයි යන්න කෙරෙහි පවතින මානසිකත්වය ගැන කැනඩාවේ McGill සරසවිය මෑතක දී පර්යේෂණයක් සිදු කළා. මේ පර්යේෂණයේ ප්‍රතිළුලවල ඉහළ නිවැරදිතාවයක් ලබා ගැනීම සදහා ඔවුන් තමන්ගේ පර්යේෂණයේ අරමුණ ඊට සහාභාගි වන්නන්ට හෙළි කළේ නැහැ. ඒ වෙනුවට පර්යේෂකයන් ඊට සහභාගි වූ පිරිසට තමන්ගේ විද්‍යාගාරය තුළට පැමිණෙන්නට කීවේ “ ඇස ගැන කරන පරීක්ෂණ කටයුත්තකට ” සහභාගි වෙන්නට කියලයි. විද්‍යාගාරය තුළ දී මේ අයට විවිධාකාර වූ ප්‍රවෘත්ති නරඹන්නට ඉඩකඩ ලැබුණා. ඔවුන් ඒවා නැරඹූ සමස්ත කාලය තුළ දීත්, නැරඹීමෙන් පසු සිදු කළ ප්‍රශ්නාවලියෙනුත් යන දෙකෙන්ම තහවුරු වුණේ ධනාත්මක අර්ථය දනවන දේ වලට වඩා නිශේධනාත්මක අරුත දනවන දේ කෙරෙහි ඔවුන් වැඩි නැඹුරුවක් තිබූ බවයි. තමන්ට වඩාත් හුරුපුරුදු “Baby”, “smile” සහ “ fun” ආදී වූ වචන වෙනුවට “bomb”, “cancer” සහ “war” ආදී වචන කෙරෙහි ඔවුන්ගේ වැඩි අවධානයක් සහ වඩා ඉක්මන් ප්‍රතිචාරයක් ලැබුණු බව මෙහි දී තහවුරු වුණා. ඒ වගේම මේ සමීක්ෂණයේ දී තයවුරු වූ තවත් කාරණාවක් වුණේ මේ වගේ කාරණාවලදී සෙසු මිනිසුන්ට වඩා අපි ඉදිරියෙන් සිටින්නේය යන මතය අප බොහෝ දෙනෙක් විශ්වාස කරන බවයි. නිශේධනාත්මක එහෙමත් නැතිනම් සුබදායී නොවන ප්‍රවෘත්ති වලට අපේ කැමැත්තක් නැති බව අපි නිතර නිතර කිව්වත් ඇත්තෙන්ම අපේ හිත යට කැමැත්ත ඇත්තේ ඒවාට බව මේ පරීක්ෂණයෙන් එළිදරවු කෙරුණු වැදගත්ම කාරණාවක්. සමස්තයක් ලෙසින් ගත් විට මේක මානව පරිණාමයේ දී මිනිසා තුළ තවමත් ඉතිරි වී ඇති “ තිරිසන් ලක්ෂණයක් ” විදියට හදුන්වන්න පුළුවන්. ලංකාවේ අපි සම්බන්ධයෙන් ගත් විට මළ මිනී දකින්නට, ලේ දකින්නට අකැමති බව අපි මතුපිටින් කොයි තරම් ප්‍රකාශ කරන්නට හැදුවත් අපි බොහෝ දෙනෙක්ගේ යටි හිතේ කොණක ඒ ආසාව ප්‍රබලව මතුවෙලා තියෙන බව අමතක කරන්නට බැහැ.
මේ කාරණාවේ දී ඔබ සිටින්නේ කොතැන ද කියන එක ගැන වටහා ගන්නට ඔබටම කරන්න පුළුවන් ස්වයං පරීක්ෂණයක් තියෙනවා. මළ මිනි, ලේ විතරක් නෙමෙයි මෙලෝ රහක් නැති කාලය කා දමන දේශපාලන සංවාද, ගොසිප් වෙබ් අඩවිවල, ෆේස්බුක් වැනි සමාජ ජාලයන්හි පළවන වීඩියෝ සහ පිළිකුල් රසය මතු කරවන ඕපාදූප මේ ආදී වූ හැම දෙයක් කෙරෙහිම ඔබේ අවධානය යොමු වෙන්නේ කොයි ආකාරයෙන් ද කියන එක ඔබටම අත්හදා බලන්නට පුළුවන්. ඔබ ඔබටම අවංක වෙන්නේ ඔබ වඩාත් අවධානයෙන් කියවන්නේ, නරඹන්නේ ඔබේ ඇස ගැටෙන කවර පුවතක් එහෙමත් නැතිනම් කවර ආකාරයේ වීඩියෝවක් කෙරෙහි ද යන්න මගින් ඔබට ඔබ ගැනම තක්සේරුවක් කරගන්න පුළුවන්. මේ කාරණය සංසන්දනාත්මකව බලනවා නම් වඩාත් පැහැදිලි සිතුවමක් ඔබට මතු කරගන්න පුළුවන් වේවි. උදාහරණයක් විදියට ඔබ සතුව ඇති සීමිත කාලය තුළ දී ඔබ නරඹන්නට වඩාත් නැඹුරුවක් දක්වන්නේ එකිනෙකාට මඩ ගසා ගන්නා දේශපාලන සංවාදයක් ද? නැතිනම් සාහිත කලාව හෝ පරිසරය සම්බන්ධයෙන් වෙන් වූ වැඩසටහනක් ද ? පුවත්පතක දී ඔබේ නෙත නතර වන්නේ දේශපාලන ඕපාදූපයක් හෝ නළු නිළියන්ගේ අනියම් පෙබ් සබදතාවක් ගැන වූ පුවතක් ළග ද? නැතිනම් ඔබේ දැනුමට යමක් එක් කරගත හැකි පුවතක් ළග ද? හාන්සි පුටුවක් මත දී ඔබේ විවේකය ගෙවා දමන්නට ඔබ තෝරා ගන්නේ කවරාකාරයේ වූ රූපවාහිනී වැඩසටහනක් හෝ ටෙලි නාට්යයක් ද, නැතහොත් පොතක් පතක් කියැවීම හෝ වෙනත් කවර වූ විනෝදාත්මක කාර්යයක් ද? ඒ අනුව ඔබත් තවත් එක් අතිශය සාමාන්‍ය වූ මිනිසෙක් ද නැතිනම් ඊට තරමක් ඔබ්බට ගිය සාමාන්‍ය සමාජයෙන් ඉදිරියට ගිය මිනිසෙකු ද යන්න ඔබටම වටහා ගන්නට පුළුවන්.
බුදුන් වහන්සේ අවුරුදු දෙදහස් පන්සියයක් තරම් ඈතක දී කි කරුණ මෙතැන දී මුළුමනින්ම අදාළයි. ඔබ කවුරුන්ද යන්න තීරණය වන්නේ ඔබේ සිතිවිලි අනුවයි.
කළු,වෙලාවකට හිතෙනවා දියුණු රටවල තියෙන සමාජයේ තත්වය අප රටේ ඇතිකරන්න හිතන එකත් වරදක්දෝ
කියල, එහෙම කියලා නිකම්ම ඉන්නත් බෑ නොවැ.මිනිස්සු යහපත්වුනොත් සමාජය වෙනස්වෙයි.
සියල්ල කියෙව්වා දිය දෝත බොහෝම රසයි.
ආනන්ද විජයවීර ගැන ඇහුවේත් සිලිලාරෙන්.
මෙතන තියේ එතුමාගේ පින්තුරයක්
http://www.divaina.com/2011/02/20/feature03.html
දැන් පුරස්න,
දිවයිනේ කොළඹ අතිරේකය ගැන
ලිපි පෙළ පළවුණේ කොයි කාලයේද,
සතියේ කවර දිනයේදීද අතිරේකය පළවුයේ,
පුද්ගල අතීත ආවර්ජන ලිපි කීයක් පලවුනාද,
ඒවා එකතු කර පොතක් ඔබ පල කලද?
පුදුම ආසාවක් තියේ ඒ ටික ඔක්කොම කියවන්න
කැමතියිකැමතියි
අදහස්වලින් ලබා දුන් චින්තාවලියට ස්තුතියි. ශීු ලාංකිකයන්ගේ මනස ගැන විගුහයකි. අප ඉතිහාසයෙන් දියුණු වුවත් මනසින් තාම ළාබාලයි.
කැමතියිකැමතියි