ඔහු රහසේම නික්ම ගොසිනි…!

මෙය සිදුවූයේ අදින් වසර දෙකකට පමණ පෙර දීය.  කෙටි නිවාඩුවක් සදහා මව්බිටම පැමිණි මොහොතක එක්තරා සවස් වරුවක මට දුරකථන ඇමතුමක් ලැබුණේය. රිසීවරයේ එහා කෙළවරේ සිටියේ මගේ සදාදරණීය කළණ මිතුරු ජානකය ; “ මචං ඇල්බට් එදිරිසිංහ අද නැතිවෙලා. එයා ගැන තොරතුරු හොයා ගන්න අමාරුයි. පත්තරේට පොඩි දෙයක් ලියන්න පුළුවන් ද… ”

එක්තරා යුගයක ඇස් කන්නාඩි ව්‍යාපාරයෙන් මුළු රටම හෙල්ලූ  ඇල්බට් එදිරිසිංහ සිය ජීවිතයේ සැදෑ කාලයේ දී හිමි නමක් බවට පත් වී අතිශය අප්‍රකට ජීවිතයක් ගත කළ බැවින් ඔහු ගැන කිසිදු තොරතුරක් බොහෝ කාලයකින් මම ද අසා නොතිබුණෙමි. එහෙත් ඔහු පිළිබද කිසියම් අයුරක පුද්ගලික මතකයක් මා සතුව තිබූ බැවින් ඒ සටහන ලියන්නට මා පෙළඹුණේ ඔහුගේ අභාවය (අපවත්වීම) අපේ රටේ එක්තරා යුග පුරුකක ගිලිහී යාමක් බව මම ද නොඅනුමානවම විශ්වාස කළ බැවිනි.

වෙනත් කටයුත්තක් සදහා තොරතුරු සොයමින් සිටිය දී අහම්බෙන් නෙත ගැටුණු ඒ ලිපිය මෙසේ පළ කරන්නට මට සිතුණේ ඔහුගේ දිවි ගමන කතාන්දරයක් සේ රසවත් වූවක් මෙන්ම එයින් ලද හැකි පාඩම් ද බොහෝ බැවිනි.

XXXXXXXXXXXXXXX

 ඒ හිමිදිරිය මට අද ඊයේ වාගේම මතකය.

කලබලකාරී කොල්ලුපිටිය මංසන්ධියෙන් බස් රථයෙන් බැස ගත් මම ලිබර්ටි ප්ලාසා වටරවුම ඔස්සේ ඉදිරියට ඇවිදිමින් සිටියෙමි.

මා වැඩි දුරක් ඇවිද යායුතු වූයේ නැත.

ඒ ජනාකීර්ණ වීදියටම මුහුණ ලා තිබූ පැරණි පන්නයේ නිවසක ආලින්දයේ මා බලාපොරොත්තුවෙන් ඔහු රැඳී සිටියේය.

ඒත් ඒ මා සිතා සිටි අයුරින් නොවේ.

මගේ පුවත්පත් කලා ජීවිතය තුළ දී බොහෝ සුප්‍රකට මිනිසුන් විශේෂයෙන්ම රට සුපතළ ව්‍යාපාරිකයන් මට හමුවූයේ උත්තුංග මැදුරක සුව පහසු විසිත්ත කාමරයක් තුළදීය. නැතහොත් විසල් මේසයක් අබිමුව ගරු ගාම්භීර කාර්යාල කාමරයක් තුළදීය.

ඒත් පරම්පරා ගණනාවක් පුරා මුලු දිවයිනේම නම රැන්ඳූ ඒ කීර්තිමත් මිනිසා වැඩි කලඑළියක් නොතිබූ ආලින්දයක වැල් පුටුවකට බර දී සිටියේ සැහැල්ලු කමිසයකින් හා සරමකින් සැරසී ගෙනය.

මහා ව්‍යාපාරිකයන් තුළ ලෙහෙසියෙන් දැකිය නොහැකි අතිශය අව්‍යාජ පිවිතුරු සිනාවකින් ඔහු පළමුව මට සංග්‍රහ කළේය.

මේ සිදුවීම සිදුවූයේ අදින් අවුරුදු දහ හතරකට පෙර 1999 වසරේ මේ වැනිම වූ ජූලි මාසයකදීය. මට හමු වූ ඒ  අපූරු මිනිසා ඇල්බට් එදිරිසිංහ නම් වූයේය.

රට හෙල්ලූ ව්‍යාපාරිකයෙකු වුව ද ඔහු මට හමු වූ හැම අවස්ථාවකදීම මා ඔහු තුළින් දුටුවේ සරල ගැමියෙකුගේ සොබා රුව පමණි. එබැවින් ඔහු මා හමු වූ මේ පළමු හමුවීමෙන් පසුව රට පුරා පිහිටි කන්නාඩි සාප්පුවල ඔහුගේ නාමය දකින හැම විටෙකම මට සිහිපත් වූයේ ඒ ගැමියා සහ පුලුල්ව විහිදී යන ඔහුගේ අව්‍යාජ සිනහව මිස ඇස් කන්නාඩි නොවේ.

මේ හමුවීමෙන් වසර කිහිපයකට පසු ඔහු සිය උපන් ගම්මානයට ගොස් නිහඩවම පැවිදි දිවියට ඇතුලු වූ පුවත මට දැනගැනීමට ලැබුණේ අහම්බෙනි. ගණේගම සිරි දේවමිත්ත නමින් පැවිදි දිවියට ඇතුලු වූ ඒ මහා ව්‍යාපාරිකයා හමුවන්නට දැඩි කැමැත්තක් මා තුළ වූව ද එය ඉටුකර ගැනීමට අවස්ථාවක් ලැබුණේ නැත. ප්‍රසිද්ධියට අකමැති වූ මේ හිමිපාණන් ගැන කිසිදු තොරතුරක් ඉන් පසුව මට අසන්නට ලැබුණේ ද නැත. අනපේක්ෂිත මොහොතක මිතුරෙකුගේ දුරකථන ඇමතුමකින්  උන්වහන්සේගේ අපවත්වීම දැනගත් වහාම මේ සියලු සිදුවීම් එකම රූපරාමුවක ජවනිකා පෙළක් මෙන් මනස පුරා සැරිසරන්නට වූයේ මෙවන් සටහනක් ලියන්නට මා පොළඹවාලමිනි.

“ මගේ ගම බද්දේගම…. 1913 අවුරුද්දේ තමයි මම ඉපදුණේ. ගමේ සිංහල බෞද්ධ ඉස්කෝලයට මුලින්ම ගිහිල්ලා ඊට පස්සේ ශාන්ත අන්තෝනිස් විද්‍යාලයට ගියා. ජූනියර් විභාගය ඉවර වෙනකල්ම ඒ කියන්නේ 1925 ඉදන් 1933 දක්වාම මම ඉගෙන ගත්තේ මහින්ද විද්‍යාලයේ. ඒත් අපිට ඒ කාලයේ තිබුණු ආර්ථික අපහසුකම් නිසා  ඉස්කෝලේ කාසි ගෙවන්නට තාත්තාට පුලුවන් කමක් තිබුණේ නැහැ. ඒ නිසා මගේ අධ්‍යාපනය අතරමග ඇන හිටියා. මේ නිසා මම 1933 දී ඉස්කෝලෙන් අයින් වෙලා තාත්තාටත් උදව් කරගෙන කුඹුරු කොටාගෙන ගමේ හිටියා. ” ඔහු එදා මා හා සිය ළමා කාලය සිහිපත් කළේ එසේය.

කාසි ගෙවන්නට මුදල් නැතිව කුඹුරු කොටන්නට ගමේ රැදුණු ඒ තරුණයා පසුව දෙස් විදෙස් පතල ව්‍යාපාරිකයෙක් බවට පත්වීම සැබවින්ම අසිරිමත් වූ කතාන්දරයක් නොවන්නේද…?

“ 1937 දී මම රැකියාවක් හොයාගෙන කොළඹ ඇවිත් විලියම් පේද්‍රිස් ඇස් කන්නාඩි සාප්පුවට බැඳුනා. මම එතැන අවුරුදු දහතුනක්ම වැඩ කළා. ඒ කාලයේ කොළඹින් පිට ඇස් කන්නාඩි සාප්පු තිබුණේ නැති නිසා කන්නාඩි ගන්න කාටත් කොළඹ එන්න සිද්ධ වුණා. යුද්ධය කාලයේ අපට හුගාක් ප්‍රශ්න ආවා. යුද්ධය නිසා එංගලන්තයේ ඉඳන් ඇස් කන්නාඩිවලට අවශ්‍ය කරන බඩු එන එක නතර වුණා. නැව් ගිලුණා. ඔහොම කාලය යනකොට “ ඕස්ට්රේලියන් ඔප්ටිකල් කම්පැනි ” කියලා සමාගමක් කොළඹට ඇවිත් මෙහේ ව්‍යාපාර කටයුතු කරන්නට පටන් ගත්තා. එත් ලංකාවත් ඉන්දියාවත් එක සැරේම වාගේ නිදහස ලබා ගත්ත නිසා බලාපොරොත්තු වුණු විදියට ව්‍යාපාර කටයුතු කරගන්න බැරිව 1954 දී කම්පැනිය විකුණලා දැම්මා. අමාරුවෙන් එකතු කරලා තිබුණු සල්ලි ටිකක් යොදවලා මම ඒ කම්පැනිය සල්ලිවලට ගත්තා. රුපියල් ලක්ෂ හතක විතර යන්ත්‍ර සූත්‍ර, වීදුරු රාමු වගේ දේවල් හැම දෙයක්ම ඒ අය විකුණුවේ රුපියල් පනස් දහසක මුදලකට. මේ හැම දෙයක්ම මිලදී ගෙන ධර්මපාල මාවතේ නොම්බර හය කියන තැන තිබුණු ගරාජයක නගර සභාවෙන් අවසර අරගෙන මේවා ගබඩා කළා. එතැන ඉඳන් මම බයිසිකලයක නැගලා තොග විදියට ඇස් කන්නාඩි විකුණන්න පටන් ගත්තා. ඒ අතරතුරේ දොස්තරවරුන්ගේ වට්ටෝරුවලට අනුව මගේ අතින්ම ඇස් කන්නාඩි පිළියෙළ කළා.  ”

බයිසිකලයක නැගී දාඩිය වගුරමින් කොළඹ නගරය පුරා ඇස් කන්නාඩි විකුණු මේ ධෛර්යවත් මිනිසා අන්තිමේදී ජාත්‍යන්තර කීර්තියට පත් ප්‍රධාන පෙළේ දේශීය ව්‍යාපාරිකයකු බවට පත් වූයේය.

“ ඒ කාලයේ කොල්ලුපිටිය අද වගේ නෙමෙයි. හුගාක් පාලුයි. ගෙවල් කිහිපයයි තිබුණේ. කොල්ලුපිටිය හන්දියේ ලොකු බාබර් සාප්පු දෙකක් තිබුණා. ඊට ටිකක් එහායින් “ ප්ලාටේ ” කම්පැනිය තිබුණා. ගාලු මුවදොරින් පටන් ගත්තාම කොල්ලුපිටියට එනකල්ම මොනම ගොඩනැගිල්ලක්වත් තිබුණේ නැහැ. දැන් ඔබරෝයි හෝටලය තියෙන තැන බිෂොප් හවුස් කියලා පරණ විශාල ගොඩනැගිල්ලක් තිබුණා. මේවැ හැරෙන්නට වෙන මොකුත් තිබුණු බවක් මට මතක නැහැ. කොල්ලුපිටියේ මුලින්ම ඇස් කන්නාඩි සාප්පුවක් දැම්මේ මමයි. ” ඔහුගේ ස්වරයේ තිබුණේ ආඩම්බරයක් නොවේ. තෘප්තිමත් මිනිසෙකු තුළ දැකිය හැකි නිහතමානී බවයි.

මුදල් පසුපස හඹා යන හුදු ව්‍යාපාරිකයෙක් නොවූ ඇල්බට් එදිරිසිංහ ඉන් පසුව ලන්ඩන් ගොස් දෘෂ්ටි විද්‍යාව පිළිබඳ පාඨමාලාවක් හැදෑරුවේය ඒ වනවිට දෘෂ්ටි විද්‍යාව හැදෑරීම සඳහා කිසිදු පාඨමාලාවක් ලංකාවේ තිබුණේ නැත. එබැවින් තමා ලත් දැනුම අනාගත පරපුරට ද දායාද කිරීමේ අරමුණින් ඔහු එවකට විද්‍යෝදය විශ්ව විද්‍යාලයේ උපකුලපති වැලිවිටියේ සෝරත හිමියන් හමු වී 1960 දී ඒ පාඨමාලාව ලංකාවේ ආරම්භ කිරීමට පුරෝගාමී වූයේය. ලංකාවේ විශ්ව විද්‍යාලයකට පළමු වරට තාක්ෂණික විෂයකට අදාළ පාඨමාලාවක් ඇතුලු වන්නේ ඒ අනුවය.

“ මට මතක ඇති කාලයේ කැස්බෑ ලෙල්ලෙන් ඇස් කන්නාඩි රාමු හැදීම මෙහේ ජනප්‍රිය ව්‍යාපාරයක්. ලංකාවේ එ තරම් කැස්බෑවෝ හිටියේ නැති නිසා මාලදිවයිනෙන් තමයි කැස්බෑ ලෙලි ගෙනාවේ. ඒකට කැස්බෑවෝ මරන්න ඕනේ නැහැ. අහක දමන ලෙලි තමයි ගන්නේ. ඒ කාලයේ මාලදිවයින ලංකාවට කප්පම් ගෙවනවා. මට මතකයි “ කප්පම් කඳ ”ආණ්ඩුකාරවරයාගේ ගෙදර ගෙනිච්ච හැටි. මාලදිවයිනෙන් ගෙනාපු කැස්බෑ ලෙලි වලින් කන්නාඩි රාමු වගේම පනා හැදීම හුගාක්ම සිද්ධ වුණේ ගාල්ල එලියට් මාවතේයි. ඒ කාලයේ තිබුණු අස් කන්නාඩි හැම එකක්ම වාගේ ඕවල් හැඩයේ ඒවා. ලංකාවට මුලින්ම ලෝහ රාමු සහිත ඇස් කන්නාඩි හඳුන්වලා දුන්නේ මමයි. මට මතක විදියට ඒ 1984 දී විතර ”

ඔහු හෙළි කරන තොරතුරු අපූරුය. එමෙන්ම රසවත්ය. මේ මහා ව්‍යාපාරිකයාගේ මුවින් ගිලිහෙන හැම වදනක්ම මා අසා සිටියේ සැබැවින්ම කුතුහලයකින් යුක්තවය.

“ විලියම් ප්‍රේදිස් සාප්පුවේ මම වැඩ කළ කාලයේ ඒ කියන්නේ එක්දහස් නමසිය තිස් ගණන්වල කාච දෙකක් අපි වික්කේ රුපියල් හතරකට. රාමුවක් වික්කේ රුපියල් හයකට. කේස් එකත් එක්ක සම්පූර්ණ කන්නාඩි කුට්ටම රුපියල් දොළහයි. මට මාසයටම ලැබුණු පඩිය රුපියල් විසි පහයි. හැම ඉරිදාම වැඩ කළොත් රුපියල් 2.50 ක් එකතු වෙනවා. හැබැයි එක ඉරිදාවක් හරි වැඩ කරන්න බැරි වුණොත් ඒ මුදල හම්බ වෙන්නේ නැහැ.  ඒ කාලයේ කයිමන් දොරකඩට එහායින් උසාවියට පහළින් කුරුඳු ගබඩා තිබුණා. ඒකේ එක ගබඩාවක් කුලියට අරගෙන පේද්‍රිස් මහත්තයා සිමෙන්ති ගබඩා කරලා තිබුණා. රුවන්වැලි සෑයට  “යකාමාක් “ සිමෙන්ති එහෙම ගෙනිච්චේ එතැනින් තමයි. පිටරටින් ගේන්නේ සිමෙන්ති බැරල්. මේ ගබඩාවේ මැද පත්තර කොළ දාලා ඊට උඩින් පැදුරු දාලයි අපි එදා නිදා ගත්තේ. ඔය ගබඩාව තිබුණේ ජනාධිපති ප්‍රේමදාස මහත්තයාගේ ගේ ඉස්සරහ. එයාලට දර මඩුවකුත් තිබුණා. ප්‍රේමදාස මහත්තයා ඒ කාලයේ කොට කලිසමකුත් ඇඳන් ෆුට්බෝල් ගහනවා මට මතකයි. අපි ඉරිදාට ගමේ යන්නේ නැති නිසා ප්‍රේමදාස මහත්තයාගේ අම්මා කොස් ටිකකුයි , පොල් ටිකකුයි , ලුණු මාලුයි එක්ක අපිට බත් එක්ක දෙනවා. මට දැනුත් ඒ කෑම වේල මතක් කරන එක ප්‍රියයි. ”

සිමෙන්ති ගබඩාවේ පත්තර කොළ මත රැය පහන් කළ මේ මිනිසා අන්තිමේදී රටේ ඉහළම නායකයා වූ ආණ්ඩුකාරවරයාට ඇස් කන්නාඩි සපයන නිල කන්නාඩි සැපයුම්කරු බවට පත් වූයේය. සෝල්බරි සාමිගේ පවා ඇස් කන්නාඩිය නිර්මාණය කළේ ඔහුය. එවකට සිටි සියලුම රාජ්‍ය නායකයන් සමීපව ඇසුරු කළ ඔහු ඒ සියල්ලන්ගේම ඉතා හොඳ මිතුරෙකු බවට පත් වූයේය.

දෙස් විදෙස් ධර්ම ප්‍රචාරයේ ද පුරෝගාමියෙකු වූ ඇල්බට් එදිරිසිංහයන් ලෝක බෞද්ධ සම්මේලනයේ ශ්‍රී ලංකා ශාඛාවේ සභාපති මෙන්ම සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ සභාපති ධුරය ඇතුලු දෙස් විදෙස් සංවිධාන රැසක ප්‍රධාන නිලතල හෙබවූයේය. අන්තර් ජාතික බෞද්ධ සම්මේලනයන්හි රැසක දී ශ්‍රී ලංකාව නියෝජනය කළේ ඔහුය. එමෙන්ම සෝමාවතී චෛත්‍යය ප්‍රතිසංස්කරණයට ද මුල් වූයේ ඔහුය.

මේ සටහනට සෘජුවම අදාළ නැතත් ඔහු විසින් පවසන ලද තවත් එක් රසවත් කතාවක් මෙහිදී සටහන් කළ යුතු යැයි මට සිතේ. ඊට හේතුව මෙවැනි කතාවක් ඇසිය හැකි මිනිසෙකු මින් පසු කිසිදිනෙක මට හමු නොවෙතැයි සිතෙන බැවිනි.

“ දහතුන් වැනි සියවසේ දීත් අපේ රටේ ඇස් කන්නාඩි හදලා තියෙනවා. ඒක හරිම රසවත් කතාවක්. ලංකාතිලක විහාරය ගොඩ නගලා තියෙන්නේ විජයබාහු රජ්ජුරුවන්ගේ අගමැතිවෙලා හිටිය සේනාධිලංකාර සෙනවියාගේ මූලිකත්වයෙන්. “ ස්ථාපතිරයාර් ” කියලා නිර්මාණ ශිල්පියෙක් තමයි ඒ කටයුතු භාරව ඉඳලා තියෙන්නේ. ඔන්න අන්තිමට විහාරයේ වැඩ කටයුතු නිමකරලා ඒක විවෘත කරන්න රජ්ජුරුවෝ ආවාම විහාරයේ සියුම් කැටයම් නරඹන්නට තරම් රජතුමාගේ ඇස් පෙනීම හොඳ මට්ටමක තිබිලා නැහැ. විහාරයේ කැටයම් හරිහැටි බලන්නට නොලැබීම නිසා රජ්ජුරුවෝ හරියට දුක්වෙලා තියෙනවා. මේ බව දැන ගත්ත අර නිර්මාණ ශිල්පියා රජතුමාට පැහැදිලි ඇස් පෙනීමක් ලබා දෙන්න ඉදිරිපත් වෙලා. ඒකට දවස් තුනක නිවාඩුවකුත් රජතුමාගේ නිවැරදි වයසත් අවශ්‍යයි කියලා නිර්මාණ ශිල්පියා කියලා තියෙනවා. අන්තිමට නිර්මාණ ශිල්පියා “ දිය තරිප්පු ”කියන පාෂාණයෙන් ඇස් කන්නාඩි කුට්ටමක් හදලා තියෙනවා. හරක් අඟින් හදපු පට්ටමකට තමයි කන්නාඩියේ ඇස් වීදුරු දෙක හයි කරලා තියෙන්නේ. කන්නාඩියේ රාමුව මැද්දෙන් ඔළුව වටේ ගත්ත නූලකින් ඒක කොණ්ඩයට බැඳ ගන්න ඕනේ. මේ කන්නාඩිය නිසා රජතුමාට පැහැදිලි පෙනීමක් ලැබුණු එක ගැන රජතුමා හරියට සතුටු වෙලා පිළිමතලව්වේ “ කිරි වවුල ” කියන ගම්වරයත් මේ නිර්මාණ ශිල්පියාට තෑගි කරලා තියෙනවා. මේ ගමේ අය අදත් දිය තරිප්පුවලින් කන්නාඩි හදනවා. මේක තමයි අපේ ඉතිහාසයේ මුල්ම කන්නාඩි නිෂ්පාදනය. මම ඉතාලි ගිය වෙලාවක දැක්කා එක සොහොනක්. ඒ සොහොනේ ගහලා තිබුණා “ Here lies the man who made the first pair of spectacles ” කියලා. ඒ පුද්ගලයා මිය ගිය අවුරුද්ද මට හරියට මතක නැහැ. මුල්ම කන්නඩිය හැදුවේ ඒ පුද්ගලයාද නැතිනම් ස්ථපතිරයාර් කියන ගල්වඩුවාද කියන එක හොයලා බලන්න ඕනේ. කොහොම වුණත් මුලු ලෝකයෙන්ම ඇස් කන්නාඩි නිර්මාණය කිරීමේ පළමු හෝ දෙවැනි තැන අපිට හිමිවෙනවා. ”

සියක් ආයු ලත් ඒ මිනිසා රහසේම නික්ම ගොසිනි.

අකුරු කරන්නට  කාසි සොයා ගත නොහැකිව කුඹුරු කොටා අන්තිමේදී දෙස් විදෙස් පාලකයන් හා උරෙනුර ගැටුණු ඒ මිනිසා තව දුරටත් අප අතර නැත.

ඔහුගේ පැවිදි දිවිය අප්‍රකටය. එහෙත් උන්වහන්සේ ඇසුරු කළ ගම්වාසීන්ට හා සහෝදර හිමිවරුන්ට ද දේවමිත්ත හිමියන් ගැන කියන්නට කතාවක් ඇතිවාට කිසිදු සැකයක් නැත. එහෙත් පැවිදි රුවින් උන්වහන්සේ නොදුටු මට නිසැකවම කිව හැකි කරුණක් තිබේ. එනම් රට හෙල්ලූ මේ මහා ව්‍යාපාරිකයා සිය කැමැත්තෙන්ම අතිශය අල්පේච්ඡ සැඳෑ සමයක් තෝරා ගත් බවය.

ඔහු වාසනාවන්තය. එපමණකටම පින්වන්තය. ඒ සියක් ආයු ලැබූ නිසාම නොවේ.

හිස් මිනිසුන් පිරුණු රටක උත්තම පුරුෂයකුගේ ජීවමාන රැව ගුණ මේ යැයි ඔහු රටට පෙන්වා දුන් බැවිනි.

රහසේම නික්ම ගිය හිමියනි…. ඔබට නිවන් සුව අත්වේවා…..!

Advertisements
This entry was posted in Uncategorized by කළු. Bookmark the permalink.

About කළු

ගලා යනු ඇත දිය පහර නොනැවතී ඉදිරියට , වැට කඩොළු සිර ගත නොවූ නිම්නයක... පමා නොවී ඔබත් නොවැරදීම එන්න ඒ නැවුම් පො‍ළොව මත නිදහසේ ගලා යන්නට....!

6 thoughts on “ඔහු රහසේම නික්ම ගොසිනි…!

  1. උතුම් ශ්‍රේෂ්ට මිනිසෙකුගේ ජීවන ගමන ගැන ලියැවුණු මේ සුළු විවරණය අතිශයින්ම වැදගත්. කියා නිම නොකල හැකි අගයක් එහි ගැබ්වෙයි. ශ්‍රේෂ්ටයි. මගේ ආචාරය ! මෙවන් ශ්‍රේෂ්ට මනුෂ්‍යයින් යළි බිහිනොවෙන තරම්… කණගාටුව ඒ ගැනයි… මගේ ජීවිතයට මෙය හොඳ පන්නරයක් ලබාදෙනවා. ස්තූතියි මෙය දැනගන්න සැලැස් වූවාට…
    විපුල සුමනසේකර.

    Liked by 1 person

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )