පච්චයක් කොටා ගත්ත තරුණයෙක් ලෝක නායකයෙක් බවට පත් වෙච්ච මුල්ම අවස්ථාව ගැන එක්තරා පුවත්පතක දින කිහිපයකට පෙර පුවතක් පළ වෙලා තිබුණා. මේ පුවතට පදනම් වෙලා තිබුණු රට කැනඩාව. පච්චය කොටා ගත්ත තරුණයා ජස්ටින් ටෲඩෝ. පහුගිය සතියේ පැවැති කැනේඩියානු මහ මැතිවරණයෙන් අති විශිෂ්ට ජයක් ලබා ගත් වත්මන් කැනේඩියානු අගමැතිවරයායි ඔහු. ලෝකයේ දෙවැනි විශාලතම රට වන කැනඩාව කියන්‍නේ ලෝක බලවතුන් අතර ඉදිරියෙන්ම ඉන්න රටක්. මෙහෙම රටක නායකයා බවට පත් වෙන්නට ඔහුට හැකිවුණේ කොහොමද කියන එක අපේ ජීවිතවලට බොහොම වැදගත් පාඩමක් කියා දෙනවා.
මාස දෙකකට පෙර කැනේඩියානු මහ මැතිවරණයට දින නියම කරද්දී ටෲඩෝ කියන්නේ කැනඩාවේ නායකයා බවට පත් වෙයි කියලා කවුරුත් හිතුවේ නැති කෙනෙක් කියලා කිවුවොත් වරදක් නැහැ. ඔහු නියෝජනය කරන ලිබරල් පක්ෂයට කැනඩා පාර්ලිමේන්තුවේ හිමිවෙලා තිබුණේ ආසන 34 ක් විතරයි. සම්පූර්ණ ආසන සංඛ්‍යාව 308 ක් වුණු කැනේඩියානු පාර්ලිමේන්තුවේ ආසන 34 ක් පමණක් හිමිව තිබුණු ලිබරල් පක්ෂයේ මේ තරුණ නායකයා රටේ පාලනය භාර ගන්නා තැනැත්තා වේවිය කියලා මත විමසුමකින්වත් හෙළි කරලා තිබුණේ නැහැ. බොහොම දෙනෙක් හිතුවේ ඔහු දිනුවත් ඔහුට පාලනය පිහිටුවන්න සිද්ධ වෙන්‍නේ තවත් පක්ෂයක සහායක් ඇතිව කියලයි. ඒත් අන්තිමේදී ඔහු ආසන 184 ක පැහැදිලි බහුතර ආසන සංඛ්‍යාවක් දිනා ගත්තා. ඒ කියන්නේ ඔහුගේ නායකත්වය යටතේ පක්ෂය සියයට 150 ක වර්ධනයක් ලබා ගත්තා. මේ වර්ධනය කොයි තරම් පුදුම සහගත ද කියලා පෙනෙන්‍නේ කැනඩාවේ බලවත් සියලු පක්ෂ අන්ත කඩා වැටීමකට ලක් කළ මෙවර මහ මැතිවරණයෙන් මේ සා විශාල වර්ධනයක් ලබා ගත්ත එකම පක්ෂය ටෲඩෝ නායකත්වය දුන් ලිබරල් පක්ෂය විතරක්ම නිසයි. අනෙක් සියලුම පක්ෂ තමන්‍ගේ ආසන සංඛ්‍යාව දැවැන්ත විදියට සෝදා පාලුවට ලක් කරගත්තා.
ජස්ටින් ටෲඩෝ කියන මේ මිනිසා අපේ ජීවිතවලට අපූරු පාඩම් ගණනාවක්ම කියා දෙන අතරේ මේ මහ මැතිවරණය ලාංකික ඡන්ද දායකයන්ටත් අපූරු පාඩම් ගණනාවක්ම කියා දෙනවා.
ලෝකයේ රටවල් සංවර්ධිත හා අසංවර්ධිත එහෙමත් නැතිනම් තුන් වැනි ලෝකයේ රටවල් විදියට හදුන්වා දීම කොයි තරමක් දුරට යුක්ති සහගත ද කියන කරුණ ඇත්‍තෙන්ම විවාදාත්මකයි. ඒත් විවෘත චින්තනය නිදහස් මානසිකත්වය කියන කරුණේ දී නම් මේ බෙදීම අසාධාරණ නැහැ කියලයි මට හිතෙන්‍නේ. විශේෂයෙන්ම මහ මැතිවරණයක දී එහෙමත් නැතිනම් රටේ පාලකයන් තෝරා පත්කරගන්නා කවර හෝ මැතිවරණයක දී අපේ ලාංකිකයන් හැසිරෙන ආකාරය ගත්තම සංවර්ධිත අසංවර්ධිත කියන බෙදීම සර්ව සාධාරණයි කිව්‍වොත් වරදක් නැහැ. ඒකට හොදම උදාහරණය පහුගිය මහ මැතිවරණය. රටේ ජනාධිපති අගමැති කියන තනතුරු දෙක වෙනස් වුණත් පරණ පාර්ලිමේන්තුවේත් අලුත් පාර්ලිවේන්තුවේත් ඉන්න මුහුණු වල වැඩි වෙනසක් නැහැ. ඒකට හේතුව සියලු දූෂිතයන්, මහජන මුදල් ගසා කන මංකොල්ලකරුවන්, මෙලෝ රහක් නැති නලු නිළියන්… ඔය කොයි කාගේත් සිත් මහ මැතිවරණයේ දී නොරිදවන්නට අපේ ඡන්ද දායකයන් වග බලා ගත්ත නිසයි. සංවර්ධිත චින්තනයක් එහෙමත් නැතිනම් පක්ෂ පාට භේදයකින් තොරව නිවරුදි දේ නිවැරුදි විදියට දකින්න තරම් මානසික නිදහසක් තියෙන ඔලු ගෙඩි අපේ ඡන්ද දායකයන්ට තිබුණා නම් පරණ පාර්ලිමේන්තුවේ තියෙන මුහුණු ටිකම අලුත් පාර්ලිමේන්තුවටත් එන්න විදියක් නැහැනේ.
කැනේඩියානු මැතිවරණයේ දී අපේක්ෂකයන්ට වියදම් කරන්නට පුලුවන් උපරිම මුදලක් නියම වෙලා තියෙනවා. මේ සියලු මුදල් විගණනයකට ලක්කෙරෙනවා පමණක් නෙමෙයි කවුරුන් හෝ පැමිණිල්ලක් ඉදිරිපත් කළොත් ක්ෂණිකවම ඒ පැමිණිල්ල ගැන සොයා බලනවා. කොමිෂන් පත් කරලා කල් මරන්නේ නැහැ. මැතිවරණ සටනින් ජය ලබපු එක් මන්තිරිවරයෙක් අනුමත මුදලට වඩා ඩොලර් දෙදහසක් වගේ සුලු මුදල් වැඩිපුර වියකම් කළ හේතුවෙන් ඔහුගෙ මන්තිරිධුරය අහෝසි කෙරුණේ ක්ෂණිකවමයි. ඒ වගේම පහුගිය සති කිහිපය පුරාම තිබුණු කැනේඩියානු චන්ද සටනේ දී පුද්ගලික මඩ ප්රහාරයන් කිසිවක්ම දකින්නට ලැබුණේ නැහැ.
කැනඩාවේ විතරක් නෙමෙයි ලෝකයේ දියුණුය කියලා කියන ඕනෑම රටක දූෂිත දේශපාලකයන් ඉන්නවා. ඒත් ඒ රටවලත් අපේ රටේ වෙනසක් තියෙනවා. ඒ කැනඩාව වගේ රටවල් කෙනෙක් මහජන මුදල් කොල්ල කෑවොත් එහෙමත් නැතිනම් දූෂකයෙක් වංචනිකයෙක් වුණොත් ඔහුගේ දේශපාලන ගමන එතැනින්ම ඉවරයි. ලංකාවේ වගේ චන්දදායකයන්ගේ ආශිර්වාදය ලැබිලා ආපහු පාර්ලිමේන්තුවට එන්න ලැබෙන්නේ නැහැ. ඒ වගේම කැපුවත් නිල්, කැපුවත් කොළ, කැපුවත් රතු වගේ නොදියුණු මුහුකුරා නොගිය මනස් ලෝකයේ දියුණුය කියන රටවල නැහැ. ඒ කියන්නේ අපේ රටේ ඡන්දදායකයන් වගේ දියුණු රටවල මිනිසුන් මානසික වහලුන් බවට පත්වෙලා නැහැ. අලුත් මතවාදවලට වගේම නිවරුදි දේ නිවැරදි විදියට පිළිගන්න ඒ මනස් විවෘතයි. ලංකාව වගේ රටක මහ මැතිවරණයට ටෲඩෝ ඉදිරිපත් වුණා නම් මුලින්ම එළියට එන්නේ ඔහුගේ අතේ කෙටා තිබෙන පච්චය ගැන වාද විවාදයි. එහෙත් නැතිනම් ඔහුගේ රූබර පෙණුම රටක නායකයෙක්ට කොයි තරම් දුරකට ගැළපෙනවා ද කියන කරුණයි. එහෙත් නැතිනම් ඉන්දු කැනේඩියානු උත්සවයකට සහභාගි වෙමින් ඔහු කළ බංගාරා නැටුමයි. ඔබාමා ලංකාවේ මැතිවරණයට ඉදිරිපත් වුණා නම් ඔහුටත් කිසිම දවසක මැතිවරණය ජයගන්න ලැබෙන්නේ නැහැ. ඒකට හේතුව ඔහුගේ ජාතිකත්වය එහෙමත් නැතිනම් සම්භවයට කරළියට එන හින්දයි. ඒත් සුදු ජාතික ජනාධිපතිවරුන්ගේ සෙල්ලම් පිට්ටනියක් බවට පත්වුණු ඇමරිකාවේ ජනාධිපතිධුරයට ඔබාමා පත් වුණේ ඓතිහාසික ජයක් ලබමින්. කැනේඩියානු මහ මැතිවරණයේ කිසිම වාද විවාදයක ටෲඩෝ ගේ පච්චය ගැනවත් ඔහුගේ පෙනුම ගැනවත් වාද විවාද ගියේ නැහැ. සමස්ත කැනේඩියානුවන් ඇහුම්කන් දුන්‍නේ කැනේඩියනු අගමැති අපේක්ෂකයන් තම තමන්ගේ ප්‍රතිපත්ති ගැන ඉදිරිපත් කළ අදහස් හා වාද විවාදවලට පමණයි. ටෲඩෝ ගේ මේ ජයග්‍රහණයට ඔහුගේ රූපයත් කිසියම් ආකාරයක බලපෑමක් නොවුණා කියන්නට බැහැ. ඒත් ඔහුගේ සැබෑ ජයග්‍රහණය පසුපස තියෙන්නේ ඡන්ද සටනට එක්වුණු අනෙක් අපේක්ෂකයන්ට වඩා ඉදිරියට ගිහින් විවාදාත්මක කරුණුවලදී තමන්ගේ මතය නොබියව කියන්නට ඔහු ඉදිරිපත් වීම නිසයි. විශේෂයෙන්ම ජාතීන් 150 කට වඩා සිටින රටක ඇතැම් ජාතිකත්වයනට සංවේදී වන කරුණු වලදී චන්ද සටනට ඉදිරිපත්වන්නන් කරුණු දක්වන්නේ බොහොම පරිස්සමින් වුණත් ටෲඩෝ ඒ අවදානම භාර ගත්තා. ඡන්ද දායකයන්ට විවෘත මනසක් තිබුණු නිසා අපේකෂකයන් කිවුව කරුණු නුවණින් විමසා බලා මැතිවරණයේ දී තමන්ගේ පිළිතුර ලබා දුන්නා.
ලොව දෙවැනි විශාලතම රටේ නායකයා විදියට දැවැන්ත ජයක් ලබා ගත්තාට පස්සේ ඔහු කළ කතාවේ දී ඔහු කිව්වේ තමන්ගේ ජයට හේතුව තමන් ඉතාම පැරණි සටන් උපක්රමයක් අනුගමණය කළ නිසා බවයි. එනම් රටේ පුරවැසියන් හමු වී ඔවුන්ගේ අදහස්වලට සවන් දීමයි. ටෲඩෝ කියන්නේ කැනඩාවේ හිටපු අගමැතිවරයකුගේ පුතෙක් වුණත් ඔහුගේ ඡන්ද සටහනට තාත්තාගේ බලපෑමක් තිබුණේ නැහැ. ලංකාවේ වගේ අප්පාගෙන් පුතාට කියන සංකල්පය තිබුණා නම් ඔහුගේ පක්ෂය පහුගිය මැතිවරණයේ දී බොහොම කුඩා ආසන සංඛ්‍යාවකට කොටු වෙන්නේත් නැහැ. සාහිත්‍යයටත්, අධ්‍යාපන ක්‍රමවේදයටත් මූලික උපාධි දෙකක්ම හිමිකරගත්ත ටෲඩෝ පශ්චාත් උපාධියකටත් හිමිකම් කියනවා. ඔහු තමන්ගේ ජීවිතය ආරම්භ කළේ ද්විතියික පාසලේ ගණිතය සහ විද්‍යාව ගුරුවරයෙක් විදියට. ඒත් ඔහුගේ කැපවීමත් ඉදිරි දැක්මත් අවසානයේ දී ලෝකයේ විශාලතම දෙවැනි රටේ නායකයා බවට ඉහළින්ම ඔසවා තබන්නට සමත් වුණා. ධනාත්මක චින්තය තුළින් අපි නිශේධනාත්මක බලපෑම් යටපත් කළා ඡන්ද සටන ජයගත් පසු ඔහු පැවසුවා.
https://www.youtube.com/watch?v=JtIlAIIWRZw
මේ සටහන අවසන් කරන්නට පළමුවෙන් තවත් කරුණක් සටහන් කරන්නටම ඕනේ. පසුගිය සතියේ අන්තර් ජාතික වෙළෙද ගනුදෙනුවකදී ටෲඩෝ ලිවූ වචන තුනක් ඩොලර් දෙළොස් දහසකට අධික මුදලකට වෙන්දේසි වුණා. තමන් කැනේඩියානු ඡන්ද සටනට ඉදිරිපත් වන බව ටෲඩෝ දැනුම දුන්නාට පස්සේ මීට අවුරුදු දෙකකට කලින් 2013 දී මයිකල් කියලා පුද්ගලයෙක්ට අහම්බෙන් ටෲඩෝ හමුවුණා. මේ දෙදෙනා කිසිම දවසක මුණ ගැහුණු දෙන්නෙක්වත් හදුනන දෙන්නෙක්වත් නෙමෙයි. “Can you really beat Harper?” (ඔබට ඇත්තෙන්ම හාපර් පරදවන්න පුලුවන්ද?) කියලා පුංචි සටහනක් ලියලා මයිකල් ටෲඩෝට පෙන්නුවා. හාපර් කියන්නේ අවුරුදු දහයක් පුරාම කැනඩාවේ අගමැති වෙලා හිටපු ප්‍රබල රාජ්‍ය නායකයෙක්. පහුගිය සතිය වෙනකල්ම කැනඩාවේ අගමැතිවරයා වූයේ ඔහුයි. මයිකල්ගේ සටහනට සිනාවක් පෑ ටෲඩෝ මේ වචන තුන පිළිතුරක් ලෙස සටහන් කළා. “Just watch me.” (මං දිහා බලාගෙන ඉන්නකෝ). ටෲඩෝ ගේ දැවැන්ත ජයත් එක්කම මේ සටහන ඩොලර් 12,301 කට අලෙවි වුණා.
අන්තිමේදී මයිකල් විතරක් නෙමෙයි මුලු මහත් කැනඩාවම ටෲඩෝ දිහා බලාගෙන හිටියා විතරක් නෙමෙයි ඔහු ඉහළටම ඔසවා තැබුවා. ඒකට හේතුව එවැනි සටහනක් ලියන්නට තරම් ආත්ම විශ්වාසයක් වගේම තමන් යන ගමන ගැන පැහැදිලි අදහසක් ඔහු තුළ තිබූ නිසයි.
ඉතින් කැනඩාවේ මහ මැතිවරණය වගේම ටෲඩෝත් අපේ ජීවිතවලට බෙහෝ දේවල් පවසනවා නේද?
කැනඩාවේ විතරක් නෙමෙයි ලෝකයේ දියුණුය කියලා කියන ඕනෑම රටක දූෂිත දේශපාලකයන් ඉන්නවා. ඒත් ඒ රටවලත් අපේ රටේ වෙනසක් තියෙනවා. ඒ කැනඩාව වගේ රටවල් කෙනෙක් මහජන මුදල් කොල්ල කෑවොත් එහෙමත් නැතිනම් දූෂකයෙක් වංචනිකයෙක් වුණොත් ඔහුගේ දේශපාලන ගමන එතැනින්ම ඉවරයි. ලංකාවේ වගේ චන්දදායකයන්ගේ ආශිර්වාදය ලැබිලා ආපහු පාර්ලිමේන්තුවට එන්න ලැබෙන්නේ නැහැ. ඒ වගේම කැපුවත් නිල්, කැපුවත් කොළ, කැපුවත් රතු වගේ නොදියුණු මුහුකුරා නොගිය මනස් ලෝකයේ දියුණුය කියන රටවල නැහැ. ඒ කියන්නේ අපේ රටේ ඡන්දදායකයන් වගේ දියුණු රටවල මිනිසුන් මානසික වහලුන් බවට පත්වෙලා නැහැ. අලුත් මතවාදවලට වගේම නිවරුදි දේ නිවැරදි විදියට පිළිගන්න ඒ මනස් විවෘතයි. +++++++++++++++++++++++++++++++++++++++ ( Athha)
කැමතියිLiked by 1 person
මා කල තවත් වැදගත් නිරීක්ෂණයක් නම් අර්බුදකාරී මත පලකල අපේක්ෂකයින් කීප දෙනෙකුගේම අපේක්ෂකත්වය එවෙලේම වාගේ අවලංගු කරන්නට ප්‍රධාන පක්ෂ කටයුතු කිරීමයි. එක් කෙනෙක්ගේ අපේක්ෂකත්වය නැතිවුනේ, මාස ගණනකට කලින් සම ලිංගිකත්වය වෙෙද්‍ය ප්‍රතිකාර හා නියමාකාර උපදෙස් මගින් සුව කරන්නට පුළුවන් රෝගයක් යැයි ලිපියක් ලියා තිබීම නිසා.
තව කෙනෙක්, කාලෙකට පෙර ජලනල කාර්මිකයකු ලෙස වැඩ කරන කාලයේ ගෙදරක අළුත් වැඩියාවක් කරන අතරතුර හදිසියක් වී, ගෙදර මේසයක් මත තිබුණු වීදුරුවකට මුත්‍රා කරන වීඩියෝවක් එළියට එ්ම නිසා.
http://www.cbc.ca/news/politics/canada-election-2015-conservative-candidate-jagdish-grewal-gay-youth-1.3259324
කැමතියිLiked by 1 person
ඔව් වැදගත්ම කාරණය දේශපාලකයන් සම්බන්ධ ප්රශ්නවලදී නීතිය අකුරටම ක්රියාත්මක කරන්නට පොලිසිය පූර්ණ නිදහස තියෙන එක. පහුගිය කාලයේ මත භේදවලට මුහුණ දුන් මන්ත්රීවරුන් සම්බන්ධව කටයුතු කළේ පොලිසිය මිසක් අගමැතිවරයා හෝ කථානායකවරයා නෙමෙයි. පොලිසිය නීතිය ක්රිායාත්මක කරද්දීම පක්ෂයේ නායකයා ඔවුන්ගේ පක්ෂ සාමාජිකත්වය පවා අහෝසි කරනවා. රටේ නීතියට උඩින් ගිය පාර්ලිමේන්තු වරප්රසාද කිසිවක් දියුණු රටවල මන්ත්රීවරුන්ට නැහැ. මේ කරුණු දිහා බලද්දී නම් ඔය කියන සංවර්ධිත හා අසංවර්ධිත කියන වෙනස හොදින්ම පැහැදිලි වෙනවා. අදහසට බෙහොම ස්තුතියි රන්සිරිමල්.
කැමතියිකැමතියි