ඔය දොරගුළු හැර දමන්න…!

Jail-Cell-With-Open

බොහොම කාලයක ඉදලා දන්න කියන හාමුදුරුනමක් ගැන පුංචි කතාවක් මුලින්ම කියන්න තියෙනවා. තරුණ වයස පසුකරලා බොහොම කාලයක් නැති වුණත් මේ හාමුදුරුවන් බණ දේශනා කරන්න හරිම දක්ෂයි. බණ අහන ඕනැම කෙනෙකුට උන්වහන්සේ මතුකරන දහම් කරුණු වෙනුවෙන් හිත ඇදිලා යන්නේ නිරායාසයෙන්මයි. ඒකට හේතුව උන්වහන්සේගේ හැම ධර්ම දේශනාවක්ම බොහොම හරවත් ගැඹුරු දහම් කරුණුවලින් පිරුණු එකක් වීම හින්දයි. මවිබිමෙන් ඈත්වෙලා දුරු රටකට ආවට පස්සේ හාමුදුරුවන්ව ඇසුරු කරන්නට නොලැබුණත් පහුගිය ජනාධිපතිවරණ කාලයේ දී ෆේස් බුක් සමාජ ජාලය ඔස්සේ නැවත හාමුදුරුවන් එක්ක සම්බන්ධ වෙන්නට අවස්ථාව ලැබුණා. ඒත් ජනාධිපතිවරණ කාලයේ දී. එක්තරා අපේක්ෂකයකු වෙනුවෙන් උන්වහන්සේ කොයි තරම් දුරට දේශපාලන දැන්වීම් තමන්ගේ පිටුව හරහා පළ කළාද කියනවා නම් එදා මා දැන හදුනා සිටි ස්වාමීන් වහන්සේ ම ද මේ කියලා හිතෙන තරමටම මට පුදුම කම්පාවක් ඇති වුණා. අතීතයේ උන්වහන්සේ කෙරෙහි තිබුණු පැහැදීම නැති කරගන්න කැමති නොවුණු නිසාම ෆේස්බුක් පිටුව හරහා උන්වහන්සේ සමග කිසිසේත්ම සම්බන්ධ නොවී සිටින්නට මං උත්සාහ කළා.

ඒත් මහ මැතිවරණ උණුසුමත් එක්ක උන්වහන්සේ ආපහු සැරයක් තමන්ගේ අපේක්ෂකයා වෙනුවෙන් කරන කියන දේවල් දැක්කම ඇත්තෙන්ම මට ඇතිවුනේ කම්පාවටත් වඩා කණගාටුවක්. “අත් හැරීම” ගැන බොහොම ගැඹුරින් ධර්මය දේශනා කළ උන්වහන්සේ ගිහියන්ටත් වඩා දුර ගිහින් එක්තරා පුහුදුන් දේශපාලකයෙකු මේ තරම්ම “බදා වැළද ගන්නට” ගන්නා උත්සාහය උන්වහන්සේගේ සසර ගමන කොයි තරම් දුරකට ඇදගෙන යනවාද කියන කරුණ නිසයි ඒ. බල තණ්හාවෙන් ඔද වැටුණු පිරිහුණු දේශපාලකයකු වෙනුවෙන් මේ ස්වාමීන් වහන්සේ කොයි තරම් දුරකට තමන්ගේ වටිනා කාලය ෆේස් බුක් පිටුව ඔස්සේ මිඩංගු කරනවා ද කියනවා නම් උන්වහන්සේගේ නම ඇහුණමත් බෙහෝ වෙලාවට මට මතක් වෙන්නේ අර දේශපාලකයාගේ කපටි මුහුණයි.

බොහොම ගැඹුරින් ධර්මය දේශනා කළත් තමන් දෙසන දහමින් අල්පයක් තමන්ගේ ජීවිතයට සමීප කරගන්නට උන්වහන්සේ අසමත් වුණේ ඇයි ද කියන කරුණ උන්වහන්සේ නිතර හුවමාරු කරන දේශපාලන රැස්වීම්වල පිංතූර දකින හැම මොහොතකම මට හිතෙනවා. දහම් කාරණාවලදී බොහෝ දැනමුත්තකු වන උන්වහන්සේ දේශපාලනයේ දී මිසදුටු ගිහියෙකුටත් වඩා පහළ තැනකට ඇද වැටෙන හැටි දකිද්දී බොහෝ දේවල් ගැන ඉතාම ගැඹුරින් විශ්ලේෂණය කරන්නට සමත් මගේ ඇතැම් මිතුරන් දේශපාලනයේ දී නියැන්ඩර්තාල් චින්තනයක හිරවෙලා ඉන්න එක ගැන පුදුමයක් නැහැ කියලා හිතුණා.

ජීවිතයේ බොහෝ දේවල් ගැන බොහෝ විචක්ෂණව බලන ඒ වගේම සමාජයේ බොහෝ දේ ගැන දැනුම් තේරුම් ඇති බොහෝ දෙනෙක් දේශාපලනය කියන කරුණේ දී ඉතාම ළද බොළද සුකුමාර චරිත වෙන්නේ ඇයි ද කියන කරුණ ගැන මතුවෙච්ච කුතුහලය නිසාම මේ ගැන සොයා බලන්නට සිත් වුණා. එතැනදී ඇත්තෙන්ම මට දැනගන්නට ලැබුණේ බොහොම සිත් ඇද ගන්නා කරුණු කාරණා ටිකක්.

“දේශපාලනය විසින් ඔබ අන්ත මෝඩයකු බවට පත් කරනු ලබයි”  (Politics Makes You Stupid) කියන කරුණ ඉතිහාසය පුරාම ඔප්පු කර තියෙන බව මං දැනගත්තේ මේ සම්බන්ධ කරුණු කාරණා සොයා බලද්දියි. ඔබ පරිස්සම් නොවුණොත් දේශපාලනය විසින් මුලින්ම විනාශ කර දමනු ලබන්නේ ඔබේ තාර්කික ඥානයයි. ඒ එක්කම යමක් ගැන බුද්ධියෙන් වටහා ගැනීමේ හැකියාව ඔබෙන් ගිලිහී යන්නේ ඔබටත් හොරෙන්මයි. දේශපාලනය විසින් ඔබ අන්ත මෝඩයකු බවට පත් කරනු ලබයි කියන කරුණ වෙනත් විදියකට මෙහෙම කියන්නත් පුලුවන්. අපේ මෝඩකම වඩාත් හොදින් ප්රදර්ශනය වන්නේ දේශපාලනය කියන කරුණේදීයි. (Our Stupidities are Most Exposed in Politics)

විසිවන සියවසේ ලොව සිටි අගනා විද්වතකු වන අයින්ස්ටයින් කිව්ව විදියට විශ්වයටත් මිනිසාගේ මෝඩකමටත් සීමාවක් නැහැ. ඒත් විශ්වයේ සීමාවක් කවදා හරි හොයා ගත්තත් මිනිසුන්ගේ චින්තමය දුබලතාවයන්ගේ එහෙමත් නැතිනම් මෝඩකමේ සීමාවක් හොයා ගන්නට ඉඩක් ලැබෙයිද කියන එක සැකයි කියලා ඔහු කිව්වා.

දේශපාලන ගැතිකම නිසා මිනිසුන් කොයි තරම් මෝඩයන්ට ඇන්දෙනවාද කියන කරුණ පර්යේෂණ මගින් පවා ඔප්පු කරලා තියෙනවා. මිනිස් ස්වභාවය අනුව හැගීම් විශ්වාසයන්ට මුල් තැන දීමේ නැඹුරුවක් අපේ සිත්වල සහජයෙන්ම තියෙනවා. මේ නිසාම මිනිස් ස්වභාවය සිතීමට වඩා මුල් තැන දෙන්නේ විශ්වාසයන්ට හා භක්තියට. යමක් ගැන සිතා බලා සාක්ෂි සහිතව කරුණු කාරණා පිළිගන්නට ස්වභාවයෙන්ම මිනිස් සිත මැලි කමක් දක්වනවා. මේ කරුණ ඉතාම ඉහළින් ඔප්පු වෙන්නේ දේශපාලනයේ දීයි.

යේල් සරසවියේ නීතිය පිළිබද මහාචාර්ය ඩෑන් (Dan Kahan) ‍ගේ මූලිකත්වයෙන් බුද්ධිමය හා තර්කනමය හැකියාව ඉහළින්ම තිබුණු 1111 දෙනෙක් (එක්දහස් එකසිය එකොළහක්) සහභාගි කරගෙන මේ ගැන පර්යේෂණයක් සිදු කෙරුණා. මෙහිදී මේ 1111 දෙනා හට තමන්ගේ තර්ක ඥානය විමසා බැලෙන ගණිත ගැටලු මාලාවක් ලබා දුන්නා. මීට සමගාමීව සරල සමාජ කරුණු කාරණා මතුකර ඒවාට ලබා දෙන පිළිතුරුත් සන්සන්දනාත්මකව විමසා බැලුනා. පර්යේෂණයේ ප්‍රතිපල සිත් ඇදගන්නා සුලුයි. තර්ක ඥානයෙන් ගණිත ගැටලු බොහොම දක්ෂ විදියට විසදන්නට පුලුවන් වුණු මේ පිරිසෙන් බොහෝ දෙනෙකු සරල සමාජ කරුණු වලදී ඒ තර්ක ඥානය යොදා ගත්තේ නැතිම තරම්. ඇත්තටම කියනවා නම් සරල සමාජ කරුණු වලදී ඒ අය හිටියේ තාර්කික හැකියාවක් නැති සමාජයේ ඇතැම් පිරිස්වලටත් වඩා බොහොම පසුගාමී තැනක. තමන්ගේ දේශපාලන අදහස්වලට පටහැනිවන කරුණු වලදී තම තර්ක බුද්ධිය පවා ඔවුන් අතින් යටපත් වන හැටි මේ පර්යේෂණය මගින් මනාව ඔප්පු කොට පෙන්නුවා.

මිනිස් මොළය සම්බන්ධයෙන් සොයා ගත් ඉතාම සිත් කළ කිරවන සුලු සොයා ගැනීම විදියට තමයි කවුරුන් හෝ මේ පර්යේෂනයෙන් සොයා ගත්ත කරුණු ගැන අදහස් දක්වලා තිබුණේ.

බොහොම දෙනෙක් ළග තියෙන දේශපාලන ගැතිකම නිසා බොහොම දේවල් විනිවිද දකින්නට තියෙන හැකියාව එහෙමත් නැතිනම් යමක් පැහැදිලිව දකින්න තියෙන හැකියාව බොද වෙලා යනවා කියන එක පිළිගන්නට වෙන කාරණයක්. බොහොම මෑතකදී එළි දැක්ක මනෝ විද්‍යා පර්යේෂණයක පැහැදිලි නිගමණයකට ඇවිත් තිබුණු එක් කාරණාවක් වුණේ අප බොහෝ දෙනෙක් තුළ තියෙන දේශපාලන ගැතිකම නිසා එහෙමත් නැතිනම් කිසියම් පක්ෂයක් හෝ අපේක්ෂකයෙක් කෙරෙහි තියෙන විශේෂ ළැදියාව නිසා අප තුළ නිසර්ගයෙන් පිහිටා තිබෙන මූලික තර්කනමය හැකියාවන් පවා විනාශ වෙලා යන බවයි.

මේ පර්යේෂණයේ ප්‍රතිවල ලංකාවේ අපට නම් සියයට සියයක්ම වලංගුයි. දේශපාලනය කියන කරුණේ දී පූජකවරුන්, මහාචාර්යවරුන්, ආචාර්යවරුන් විතරක් නෙමෙයි වීදී සරන්නියන් පවා එකම මඩ ගොහොරුවක එකම කරවටක ගිලී ඉන්නා හැටි දැක්කම “අනේ අපොයි” කියලා හිතෙන තරම්. නරා වළකට වැටිලා තියෙන අපේ රටේ දේශපාලනය කියන්නේ බල පොරයකට පොරකන බලු පොරයක් කියන එක වටහා ගන්නට බොහෝ දෙනෙක් අසමත් වෙලා තියෙන්නේ අර පර්යේෂණයෙන් ඔප්පු කළා වගේ දේශපාලනය විසින් ඔබව අන්ත මෝඩයකු බවට පත් කරනු ලබයි කියන කියන කාරණය නිසයි. කැපුවත් නිල්, කැපුවත් කොළ, කැපුවත් රතු කියන පරපුරක් එදා ඉදන්ම අපේ රටේ බිහිවෙලා තියෙන්නේ ඔය කියන අන්ත මෝඩ චින්තන ධාරාව පරම්පරාවෙන් පරම්පරාවට ගලා යන නිසයි. මේ හින්දා හරි දේ හරි විදියටත් , වැරදි දේ වැරදි විදියටත් දකින්න බැරි තරමට අපේ ඡන්දදායකයන් එකම නුගතුන් රැළක් බවට පත් වෙලා තියෙනවා. තමන්ගේ පක්ෂයේ අපේක්ෂකයා කවර වැරැද්දක් කළත් අනෙක් පක්ෂයේ අපේක්ෂකුගේ වරදක් පෙන්වා වරද වරදින් සමාන කොට ඔනෑම තත්කඩියෙකු දේශප්රේමී අරවින්දයක් බවට පත් කරන්නට අපේ චන්ද දායකයන් පෙළඹෙන්නේ ඒ නිසයි.

වැරදි නිවැරදි යන්න සමාජයක තීරණය වෙන්නේ ඒ ඒ සමාජ සංස්කෘතීන්වල තියෙන ආවේණික ලක්ෂණ අනුවයි. මේ නිසාම කිසියම් සමාජයක හරි දේ වැරදි වෙන්නවත් , වැරදි දේ හරි වෙන්නවත් බැහැ. කවර දේශපාලන පක්ෂයක් නියෝජනය කළත් දූෂකයා දූෂකයාමයි. ටෙන්ඩර් මගඩියෙන් සියයට දහයක කොමිස් ගසා කන්නා කොමිස් කාක්කාමයි. පොදු දේපළ අයථා ලෙසින් පරිහරණය කරන්නා රටේ කවර තරාතිරමක නායකයකු වුවත් ඔහු හෝ ඇය තක්කඩියකුම වන්නේමයි. කුඩු එතනෝල් ගෙන්වන්නා කවර පක්ෂයක් නියෝජනය කළත් සමාජ පිළිලයක්මයි. දේශප්රේමය තමන්ගේ පැවැත්ම වෙනුවෙන් පාවිච්චි කරන්නා සමාජයෙන් නෙරපා දැමිය යුතු නරුමයෙක්මයි. ඒ වගේම කවර දේශපාලන පක්ෂයක් නියෝජනය කළත් යහපත් අරමුණු නියෝජනය කරන්නා පිදිය යුත්තෙක්මයි. ඒත් කණගාටුවට කරුණ වන්නේ මේ අතිශය සරල කාරණාව සමාජයේ සිටින බොහෝ පිරිසකට කොහෙත්ම වටහා ගන්නට අමාරු කරුණක් වීමයි. ඒ ඇයි….? පිළිතුර බොහොම සරලයි. දේශපාලනය විසින් ඔබ අන්ත මෝඩයකු බවට පත් කර තිබීමයි ඒ. හරබර පොත පත ලියන විද්වතුන්, මහා දැනුම් සම්භාරයක් ඇතැයි කියන ආචාර්ය මහාචාර්යවරුන්, බුදු දහමේ ගැඹුරු කරණු සිල්වතුන්ට දේශනා කරන අර මං මුලින්ම සදහන් කළා වගේ හිමිවරුන් වෙනත් ආගම්වල පූජකවරුන්, සමාජයේ බොහෝ වැදගත් තනතුරු හොබවන වෘත්තිකයන් මේ හැම දෙනාම දේශපාලනය කියන කරුණේ දී ඇගිලි උරණ කිරි සප්පයන්ටත් වඩා අන්ත තොත්ත බබාලගේ ගනයට වැටෙන්නේ මේ නිසයි.

මේ කරුණ ගැන කිසිසේත්ම සරලව හිතන්නට බැහැ. ඒකට හේතුව මේ කරුණ නිකම්ම නිකම් දේශපාලන කරුණක් නොවන නිසා. ඇත්තෙන්ම සමාජයක බහුතරය සිය කැමැත්තෙන්ම මේ විදියේ දේශපාලන අද බාලයන් බවට පත්වීම ජීවිතයත් මරණයත් අතර ඇති සටනක්. ඒකට හේතුව ලංකාව වගේ රටක දේශපාලකයා සර්ව බලධාරී දෙවියන් වහන්සේ කෙනෙකු බවට පත් ව සිටින නිසාම සමාජ දේහයේ සෑම අංශයකටම අණ විණ කරන්නට මේ දේශපාලකයන් සමත් වන නිසයි. 1948 වකවානුවේ දී අය වැය අතිරික්තයක් තිබුණු රටක උපදින්නට සිටින දරුවා පවා ඩොලර් මිලියන ගණනින් ලොව හතර දිග්භාගයට ණය කරුවන් බවට පත් වුණු ආශ්චර්යවත් රටක අප පුරවැසියන් වී ඇත්තේ මේ නිසයි. මේ නිසාම මේ දූපතේ වෙසෙන ඔනෑම අවස්ථාවාදී තක්කඩියෙකුට ජනතා නියෝජිතයකු වන්නට වරම් ලැබිලා තියෙනවා.

මේ නිසා මේ දූපතේ වාසය කරන දූපත් වාසීන් පාලනය කරන්නට බිහිවෙන්නේ අපූරු ආකාරයේ ජනතා නියෝජතයින්. රජයේ සේවකයන් ගස් බැද දඩුවම් දෙන පාදඩ දේශපාලකයන්, රටටම කුඩු ගෙන්වමින් ගරුතර ස්වාමීන් වහන්සේලා අතින් පිරිත් නූල් බැදගන්නා පාපතරයින්, රෙදි ඇදීමට වඩා රෙදි ගලවා නටන්නට හුරු පුරුදු වූ නැට්ටුක්කාරියන්, සිංදු කියන මහ ඇමැතිවරුන් , සැමියා මළ සොවින් වැළපෙන වැන්දඹුවන්, කෝච්චිවල මාල කඩන මංකොල්ලකරුවන්, සර්පිනා වයන ජනාධිපති උපදේශකවරුන්, ඉහළම ධනපති දේශපාලනයේ නියැළෙන වාමාංශික සහෝදරවරුන්, අප්ප වෙනුවට පුතණ්ඩියන් විතරක් නෙමෙයි මෙකී නොකී ඕනෑම පල් හොරෙකුට තමන්ව විතරක් නෙමෙයි තමන්ගේ දූ පුතුන්ගේ අනාගතය පවා සින්නක්කරව ලියා දෙන්නට තරම් අපේ මේ දූපත්වාසී චන්දදායකයින් සැදී පැහැදී සිටින්නේ මේ දේශපාලන ධාරාව විසින් සමාජයක් විදියට අපි හැමෝම අන්ත මෝඩයන්ට අන්දලා තියෙන හින්දයි.

ඉතින් මේ තත්ත්වයෙන් මිදෙන්නට මගක් නැද්ද…? මගක් තියෙනවා විතරක් නෙමෙයි ඒ මග අනුගමනය කරන්නත් හරිම පහසුයි. ඒකට මුලින්ම දේශපාලනය කියන කරුණේ දී තමන් ඉන්නේ කොතැනද කියන කරුණ වටහා ගන්නට ඕනෑමයි. දේශපාලන සිරගෙයක් ඇතුළේ සිය කැමැත්තෙනම් සිරගත වෙලා ඉන්න කෙනෙකුට කූඩුවේ දොර හරින යතුර අතට දුන්නත් වැඩක් නැහැනේ. හරියට අර මාක්ස් කිව්වා වගේ වහල් භාවයෙන් මිදෙන්නට නම් මුලින්ම කරන්නට ඕනේ තමන් වහළෙක් බව හදුනා ගන්න එකයි. එක් එක් දේශපාලන අනාථයන් වෙනුවෙන් කණ වැල අල්ලන්ට නොගිහින් යමක් තර්ක ඥානයෙන් විමසා බලා හරි දේ හරි ලෙසත් වැරදි දේ වැරදි ලෙසත් දකින්නට උත්සාහ කරනවා නම් ඔබව තව දුරටත් මෝඩයාට අන්දන්නට කිසිම දේශපාලකයකු සමත් වෙන්නේ නැහැ. සරලව කියනවා නිල් රතු කොළ පාට ඇස් කන්නාඩි වලින් නොබලා දූෂකයා දූෂකයාම විදියට දකින්නට තරම් අපේ ඇස් පෙනීම දියුණු කරගැනීම කියන කරුණයි ඒ. එහෙම වුණොත් ඕනැම තක්කඩි දේශපාලකයෙක් වර්ණ අන්ධතාවයකින් තොරව හදුනා ගන්නට අපිට හැකිවේවි.

ඔබ ‍බුදුදහම අනුගමනය කරන්නෙක් නම් මේ කරුණේ දී කාලාම සූත්රය තරම් වටිනා වෙනත් කිසිවක් ඔබට කොයි කවර තැනකින්වත් සොයා ගන්නට නොහැකි වේවි. තමන්ගේ තර්ක ඥානය අන් දේවල්වලින් යටපත් කරගන්නට ඉඩ නොදිය යුතු බව බුදුන් වහන්සේ දේශනා කළේ නවීන පර්යේෂණවලින් මේ කරුණු හෙළිදරව් වන්නට අවුරුදු දහස් ගණනකට පෙරයි. තමන්ගේ විචාර බුද්ධිය පාවිච්චි කිරීමේ දී ඔබ කිසිවකුගේත් චින්තනමය වහළෙක් වන්නට ඇවැසි නැහැ. ඒකට හේතුව මහාචාර්යවරුන් , ආචාර්යවරුන් කියන ඔය කොයි කවුරුත් දේශපාලනය කියන කරුණේ දී දුගද හමන මඩ වගුරක එරිලා ඉන්න නිසයි. ඒ වගේම ලංකාවේ දේශපාලනයේ දී බෙහොම ඉක්මණින් හිත පපුව පිච්චිලා යන තවත් කොටසක් ඉන්නවා. ඒ තමයි කලාකරුවන් කියන පිරිස. මේ කියන්නේ හැමෝම ගැන නෙමෙයි. තමන්ගේ හෘදය සාක්ෂියට එකගව කටයුතු කරන අවංක කලාකරුවන් පිරිසකුත් වාසනාවකට වගේ තවමත් ඉතිරි වෙලා හිටයත් බහුතර පිරිස ඒ කලාකරුවන්ගෙන් බැහැර වෙච්ච “නලාකරුවන්” පිරිසක්. ආණ්ඩුවේ සැරසිලිකාර උත්සව වලට නැටුමක් දෙකක් පෙන්නලා කෝටි ගණනින් මුදල් හම්බ කරගත්ත පිරිසකට ඒ මුදල් කුට්ටි අහිමි වෙලා යද්දී මහා ලොකු මානව දයාවක් මතුකරගෙන ඉදිරියට එන එක පුදුම වෙන්න දෙයක් නෙමෙයි. පිනට පඩි ගන්න ලැබෙන ජනාධිපති උපදේශක තනතුරක්, සංස්ථා සභාපතිකමක්, මහ ඇමැති තනතුරක් වගේ ලොකු ලොකු දේවල් වෙනුවෙන් වගේම තමන්ගේ ටෙලි නාට්ටියක් හොදම වෙලාවේ රූපාවාහිනියේ පෙන්වා ගැනීම, තමන්ගේ සිංදුවක් දෙකක් නිතර නිතර ගුවන් විදුලියේ ප්රචාරය කරවා ගැනීම වගේ අරමුණු මිසක් මේ නලාකාරයන්ට වෙනත් මානව හිතවාදයක් නැහැ. හිටපු ජනාධිපතිවරයාගේ පරාජයෙන් පසු පැවැති කලාකාර හමුවකදී එක්තරා ගායිකාවක් සියලු දෙනා ඉදිරියේ පැවසුවේ “ගහලා හරි ආපහු ආණ්ඩුව ගන්නයි තිබුණේ” කියලයි. ඇගේ මිහිරි කටහඩ යට සැගවී ඇත්තේ කෙතරම් ම්ලේච්ඡ වූ මනසක්ද යන්න වටහා ගන්නා එයම ප්රමාණවත්. අරලිය ගහ මන්දිරයේ ගේට්ටු කඩන්නට උත්සාහ ගන්නා තවත් කෙනෙක්ට අඩුම තරමින් තමන්ගේ කසාදයවත් රැකගන්නට ශක්තියක් නැහැ. තවත් එක්තරා ගායිකාවක් පහුගිය ජනාධිපතිවරණයේ දී කිව්වේ තමන්ගේ පුතණුවන්ට ජනාධිපතිගෙන් හාද්දක් අරගෙන දීම තමන්ගේ එකම සිහිනය වූ බවයි. අප ජීවත්වන කොදෙව්ව පුරා පය ගසා සිටින්නේ මෙවන් වූ කලාකරුවන් පිරිසක්ය. ජනාතාවට තමන්ගේ ඡන්ද බලය පාවිච්චි කරන්නට උගන්වන්නේ මෙවන් වූ අංගවිකල කලාකරුවන් පිරිසක්ය.

ඇමරිකාවේ හිටපු ජනාධිපතිවරයකු වන රොනල්ඩ් රේගන් වරක් අපූරු අදහසක් ලොවට කිව්වා. ඒ කියන්නේ ලොව පැරණිතම වෘත්තියත් දේශපාලනයත් අතර අතිශය සමාන සමීපකමක් තියෙනවා කියලා. (Politics is supposed to be the second-oldest profession. I have come to realize that it bears a very close resemblance to the first. ~Ronald Reagan) ලංකාවේ දේශපාලකයන් අතළොස්සක් හැරෙන්නට අනෙක් දේශපාලක නඩය ගත්තම මේ කියමන හරියටම හරි. ඒත් මට හිතෙන විදියට ලොව පැරණිතම වෘත්තියේ දී විකුණන්නේ තමන්ගේ සිරුර පමණයි. ඒත් ලාංකීය දේශපාලකයා කියන්නේ තමන්ගේ ආත්මය පවා විකුණන චරිතයක්. ඊළග ඡන්දය ගැන මිසක් ඊළග පරපුර ගැන හිතන දේශපාලකයන් අපේ රටේ හොයා ගැනීම හරියට හදේ හාවෝ හොයන්නට යනවා වගේ වැඩක්.

මේ නිසා බල තණ්හාවෙන් වියරු වැටුණු දේශපාලකයන්ගේ අරමුණුවල වහලුන් බවට පත්වෙලා තමන්ගේ තර්ක බුද්ධිය ඒ ඒ දේශපාලකයන් වෙනුනේ සින්නක්කරව ලියා දීම තමන්ගේ මිනිස්කමටත් කරගන්නා නිගාවක්. ඇයිද කියනවා නම් මිනිසුන් තිරිසනුන්ගෙන් වෙන් කරලා හදුනා ගන්න මූලිකම සාධකය මේ තර්ක බුද්ධියම වන නිසා. රජයේ සේවකයන් ගස් බැද පහර දෙන පාහර දේශපාලකයන් තමන්ගේ පක්ෂයේ සිටියදී මුනිවතින් ඉවසන කෙනෙක් ඔහු වෙනත් පක්ෂයකට ගිය වහාම කෑමොර දෙන්නට දගලන්නේ ඔය වැනි මානසිකත්වයක් ඇති වුණාම තමයි. තමන්ගේ ආණ්ඩුවේ සියලු දූෂිත හොර මැරකම් සිල්ගත් පරිද්දෙන් ඉවසා සිටිමන් අනෙක් පක්ෂයේ කුණු රොඩු අවුස්සන්නේත් එවැනි මානසිකතව්යකින් තමන්ගේ තර්ක බුද්ධිය මුලුමනින්ම වෑසී ගියාමයි.

පොදුවේ ගත්තම දේශපාලන පාදඩයන්ට, දූෂකයන්ට, කොමිස් හොරුන්ට නිල් රතු කොළ පාටක් තියෙන්නට බැහැ. කුමන පක්ෂයේ සිටියත් දූෂකයා දූෂකයාමයි. පාදඩයා පාදඩයාමයි. අමනයා අමනයාමයි. බොහොම කාලයකට ඉස්සර බැලුව ධර්මසිරි බණ්ඩාරනායකගේ “ඒකා අධිපති” වේදිකා නාට්ටියේ එක්තරා දෙබසක් තවමත් මතකයේ තියෙනවා “මේ වගේ උන් වදාපු ගර්භාෂය තව දුරටත් වදාවි”. දේශපාලන ගැතිකමින් හරි වැරැද්ද තෝරා බේරා ගන්නට නොහැකි වුණොත් සිදුවන්නේ එවැනි පරපුරකට රටේ පාලනය උරුම වීමයි.

මේ නිසා මේ ලැබිලා තියෙන්නේ බොහොම කාලයකින් අපට ලැබෙන්නට යන හරිම අපූරු අවස්ථාවක්. ඒ කියන්නේ පාර්ලිමේන්තුව පිරිසිදු කරන්නට ලැබෙන අවස්ථාවක්. දේශපාලන වහල් භාවයෙන් අන‍්ධවෙලා ඒ අවස්ථාව අප අහිමි කරගත්තොත් අනාගතයේ දී අපට සාප කරනු ඇත්තේ අපේම දූ දරුවන් බව පමණක් අමතක කළ යුතු නැහැ.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

WordPress.comහි බ්ලොග් සටහනක්.

ඉහළ ↑

%d bloggers like this: