අතීතයේ දවසක එක්තරා සති අන්ත ජාතික පුවත්පතක් ලංකාවේ නමගිය නලුවෙකු එක්ක කළ සාකච්ඡාවක් ගැන අහම්‍බෙන් මට මතක් වුණේ ජනාධිපතිවරණයෙන් පසුව කියවන්න ලැබුණු පුවතක් නිසයි. ඇත්තටම කියනවා නම් මේ නලුවා කවුරුන්ද කියන එක මතකයෙන් හරිහැටිම තෝරා බේරා ගන්න අමාරු වුණත් ඔහු ලංකාවේ ප්‍රවීණ නලුවෙකු බව නම් හිතේ රැදිලා තියෙනවා. පුවත්පත් සාකච්ඡාවට පදනම් වෙලා තිබුණේ සිනමා කටයුත්තක් සදහා මෑතකදී ඔහු කළ විදේශ සංචාරයක් ගැනයි. සංචාරයේ දී මුහුණ දුන් අත්දැකීම් අතරේ තමන්ට අමතක නොවන සිදුවීමක් ද ඔහු විස්තර කර තිබුණා. එනම් එරට සිටි සිය මිතුරෙකුත් එක්ක සුපිරි වෙළෙද සැලකට ගොඩ වැදුණු මොහොතේ සෙසු පාරිභෝගිකයන් එක්ක එළවලු තෝරමින් සිටි මිනිසෙකු පෙන්වමින් “ඒ අපේ රටේ අගමැති” යැයි මිතුරා කීමෙන් තමන් මවිතයට පත් වුණු ආකාරයයි. ඔහු සදහන් කළ රට ඕස්ට්‍රේලියාව හෝ නවසීලන්තය යන රටවල් දෙකෙන් එකක් බව මට යාන්තමට මතකයි. ඒ තරම් සුවිසල් බලගතු රටක ඉහළම පුරවැසියා තමන් අත තිබූ ලැයිස්තුවක් බලමින් එළවලු තෝරන මේ දර්ශනයෙන් තමන් අතිශයින්ම පුදුමයට පත් වුණත් වෙළෙද සැලේ හිටිය කාටවක්වත් ඔහු ගැන ගාණක් මිම්මක් නොවූ බවත් ඔහු සදහන් කර තිබුණා.
ස්වාසිලන්තය වගේ ගෝත්‍රික සමාජවල වෙසෙන ජනතාවට මේ වගේ තත්ත්වයක් තේරුම් ගන්න අමාරු බව පුදුමයකට කාරණාවක් නෙමෙයි. ඒ වගේම කොල්ලකරුවන් පිරිසකගේ පාලනයකට යටත් වෙලා තියෙන සෝමාලියාව වගේ රටවල ජනතාවටත් මේ වගේ තත්ත්වයක් තේරුම් ගන්න අමාරු බව පුදුමයක් නෙමෙයි. ඒත් කණගාටුවට කාරණය නම් විධායක ජනාධිතිවරුන්‍ගේ බලතලවල උණුසුමින් දැවෙන දූපත්වාසීන් වෙන අපිටත් මේ වගේ සිදුවීම් තේරුම් ගන්න ආමරු වීමයි.
මේ පුවත්පත් සාකච්ඡාව අහම්‍බෙන් වගේ මතකයට ආවේ ජනාධිපතිවරණයෙන් පස්‍සේ දැක්ක පුවතක් නිසයි. ජනාධිපතිවරණයෙන් ජයගත් අලුත් ජනාධිපතිවරයා රැගත් වාහන පෙළ මහනුවරදී කහ ඉරෙන් පාර මාරු වන පදිකයන් වෙනුවෙන් නවතා ලීමයි මේ පුවත වුණේ. මේ සිදුවීම දුටු පාරේ සිටි පිරිස අත්පොළසන් දුන් බවකුත් පුවතේ සදහන් වෙලා තිබුණා. වාහනයක් කහ ඉර ළග නතර කිරීම වගේ බොහොම සරල නීතියක් ජනාධිපතිවරයා පිළිපැදීම පුවතක් වන‍්නේ කොහොමද කියන එකත් ඒ වගේම ඒ වෙනුවෙන් මිනිසුන් අත් පොළසන් දෙන මට්ටමකට පත් වීමත් මගින් කියා පාන්නේ අපේ රට අද වෙනකොට තවත් ස්වාසිලන්තයකට එහෙමත් නැතිනම් නීතියක් අහිමි වී ගිය තවත් සෝමාලියාවක් බවට පත් වෙලා තියෙන කාරණය නේද කියන එක ඔබටත් හිතෙනවා ඇති. ජනාධිපතිවරයා රටේ සරල නීතියත් පිළිපැදීම පුවත්පතක මුල් පුවතක් නිර්මාණය කරන රටක යහ පාලනයක් ඇති කරන්නට යාම ඒ අතින් බැලුවාම හිනාවට කාරණයක්. ඒකට හේතුව අඩුම තරමින් යහ පාලනයක හැඩ රුව මොන වගේදැයි කියන හැගීම පවා දූපත්වාසී අපේ හිත්වලට සමීප වෙලා නැති නිසයි.
සංවර්ධනයේ මුදුන් පෙත්තටම නැග සිටින ලෝකයේ ඉහළම රටවල් දිහා බැලුවාම ඒ හැම රටකම දියුණුවේ පිටුපස තියෙන්‍නේ නීතියේ ආධිපත්‍යය සුරක්ෂිත වීම බව හොදටම පේන්න තියෙනවා. ඇමරිකාව , කැනඩාව, ඕස්‍ට්‍රේලියාව, නවසීලන්තය පමණක් නොවෙයි යුරෝපයේ සෑම රටක් ගත්තමත් ඒ රටේ පාලකයා කියන්‍නේ නීතියට යටත් පුරවැසියෙක් මිසක් නීතියට පිටින් වැඩ හිටින දේවතාවෙක් නෙමෙයි. මේ නිසාම නීතිය ඉදිරියේ කවුරුත් සමානයි. සරලම උදාහරණයක් ගත්‍තොත් උපන් දා ඉදන්ම දිවි ගෙවූ මව්බිමේ දී වාහනයක් පදවා ගෙන යද්දී දැනෙනවට වඩා නිදහසක් වගේම සුරක්ෂිතකමක් මා දිවිගෙවන විදේශ රටේ දී වාහනයක් පදවාගෙන යාමේදී මට දැනෙනවා. ඒකට හේතුව මව් බිමේ දී කාගේ හෝ වැරැද්දකින් වාහනය අනතුරට ලක් වුණොත් නීතිය ක්‍රියාවට නැගෙන්‍නේ බලවතාගේ පැත්තෙන් නිසයි. මේ බලවතා බිම් මට්ටමේ හෝ දේශපාලකයකු වුණොත් වාහනය අනතුරට ලක්වුණු තැනැත්තාට විද ගන්නට සිද්ධ වෙන්‍නේ අලාභය විතරක් නෙමෙයි. පොලිසියෙන් නින්දා අපහාස, උසාවියෙන් දඩ මුදල් තවත් මෙකී නොකී සියලු අතුරු අන්තරාවලට මුහුණ දෙන්නට තමයි සිද්ධ වෙන්‍නේ. ඒත් නීතියේ බලය නිසි ලෙසින්ම පිළිපදින විදේශයක දී නම් ඔබේ වාහනය අනතුරට ලක්වුණේ අගමැතිවරයාගෙන් වුණත් නීතියේ රැකවරණය ඔබට නොඅඩුව ලැබෙන බව සහතික ලෙසින්ම කියන්නට පුලුවන්.
විධායක ජනාධිපතිවරයා කියන තනතුර මේ තරම්ම දේවත්වයෙන් පිදුම් ලබන මට්ටමට ගෙන එන්නට ජාතියක් විදියට අපි නිවට වුණේ කොහොමද කියන එක ඇත්‍තෙන්ම හිතා බලන්න ඕනේ කාරණයක්. මේ දේශපාලන පිළිකාව අපේ සමාජ දේහයේ කොයි තරම් ඔඩු දුවලා ද කියලා කියනවා නම් මහජනතාව දහස් ගණනින් රැස්‍ව ඉන්න වේදිකාවල දී පවා මැති ඇමතිවරුන් සිය කොන්ද දෙකට හතරට නවමින් විධායක ජනාධිපතිවරයා ඉදිරියේ වැද වැටෙන දර්ශන පහුගිය කාලයේ නොඅඩුවම දකින්නට ලැබුණා. රජයේ නිලධාරීන් ඇමතිවරුන් දුටු පමණින් කොන්ද වකුටු කරගනිමින් වැද වැටෙන දර්ශනත් ඕනෑ තරම් දකින්නට ලැබුණා. රජයේ පත්වීම් ලබන උපාධිධාරීන් මහ දවල් කිසිම හිරිකිතයක් නැතිව ඇමතිවරුන් ඉදිරියේ දණ ගසා වදින හැටිත් රූපවාහිනියේ නිතර දකින්නට ලැබුණා. නාගරික මන්ත්‍රිවරයකු පොලිසියට ගොඩ වූ සැනින් සිය ආසනය දී එකත් පස්ව සිටින පොලිස් ස්ථානාධිපතිවරුන් බිහිවුණු රටක නීතිය ගැන කවර කතාවක් ද? නීතියේ ආධිපත්යය මේ තරම්ම සුනාමියකට ලක්කළ පාදඩ දේශපාලන සංස්කෘතියක් ඉතිහාසයේ කොයි කවරදාවත් අපට තිබුණේ නැහැ.
ලංකාව නම් වූ මේ පුංචි දූපතේ විධායක ජනාධිපතිවරයා සියලු බලතල සහිත සක්විති රජෙක් බවට පත්වීමේ විහිලුව පහුගිය අවුරුදු කිහිපය තුළ දී කොයි තරම් උත්සන්න වුණා ද කියනවා නම් අයිබෝ වේවා මහරජාණෙනි ලෙසින් ගැයූ ගායිකාවගේ නමින් පාරක් පවා විවෘත වුණා. ලාංකීය ලකුණ ලොවට හෙළි කළ විරල ගණයේ පඩිවරයකු වූ ආනන්ද කුමාරස්වාමිගේ නමින් තිබූ මාවත්වල නම් ගලවා දමමින් එකම එක සිංදුවක් කී ගායිකාවකගේ නමින් මාවත් විවර වීම නිහඩවම විද දරා ගන්නා යටත් වැසියන් පිරිසයක් සිටීම රජවරුන්ගේ පැත්‍තෙන් බැලූ විට සැබෑම වාසනාවක්. ඒත් නූතන ලෝක දේශපාලන ධාරාව තුළ රජෙක් කියන්‍නේ මහජනතාවගේ සිතුම් පැතුම් විනාශ කර දමන ප්‍රජාතන්ත්‍ර විරෝධී ගමනක නිරත වන පුද්ගලයකුට කියන එක ඒ ගායිකාවවත්, සිංදුව ලිවුව රචකයාවත් දන්‍නේ නැතිව ඇති. දියුණු දේශපාලන සංස්කෘතීන් ඇති රටවලින් රජ පවුල් සංස්කෘතිය නැත්තටම නැති වී ඇත්තේ ඒ නිසයි. එක්සත් රාජධානියේ රැජින සංස්කෘතිමය සළකුණක් මිසක් රටේ පාලනයට සෘජුව බලපාන සාධකයක් නෙමෙයි.
ලෝකයේ බලගතුම දේශපාලන නායකයා බවට නිතරගයෙන් පත්ව ඉන්න ඇමරිකානු ජනාධිපතිවරයා පවා රටේ නිතියට යටත් පුරවැසියෙක්. ලොව බලගතුම රාජ්‍ය නායකයා වුණත් ඔහු සාමාන්‍ය ජීවිතයේ දී සෙසු ඇමරිකානු පුරවැසියන් සමග සම්බන්ධ වෙන්‍නේ තවත් ඇමරිකානුවෙක් විදියට විතරයි. එක්තරා ආයතනයකට ඔහු ගොඩ වැදුනු විටෙක ඔහුගේ අනන්‍යතාව තහවුරු කරන්නට සිය හැදුනුම්පත ඉදිරිපත් කරන වීඩියෝවක් මෑතකදී දකින්නට ලැබුණා. ඒ වගේම හදිසි ගමනක් යාමට හෙලිකොප්ටරයට ගොඩ වැදුණු පසුවත් නැවත යානයෙන් බැස ගොස් පිටත සිටි හමුදා භටයෙකුට ආචාර කර පැමිණි ආකරයත් ඒ විදියේම වීඩියෝවක් රූපවාහිනියේ ප්‍රචාරය වුණා. විදේශ කුමන්ත්‍රණ කියමින් තොල් මතුරමින් සිටින කාලයෙන් කොටසක් වැය කරලා යහපත් දේ යහපත් විදියට බලන්නට පුරුදු වෙන්නට දැන්වත් අප ප්‍රමාද නැහැ.

එක්සත් රාජධානියේ අගමැති ඩේවිඩ් කැමරන් ජීවත් වෙන්‍නේ සාමාන්‍ය නිවාසයක. ඒ වගේම අගමැති කාර්යාලයට යන්න කැමරන් පොදු දුම්රිය සේවාව පවා පාවිච්චි කරනවා. අවස්ථාව ලද හැම විටකම සිය සිගිති දියණිය පාසලෙන් ගන්නට සෙසු පියවරුන් මෙන්ම පාසලට පවා යනවා.

කෝටි හයක වෙච්ච ඉතාලි ජනතාවට නායකත්වය දෙන ඉතාලි අගමැති Matteo Renzi පොළොවේ පය ගහලා ඉන්න තවත් දේශපාලඥයෙක්. ෆ්ලොරෙන්ස් හී නගරාධිපති හැටියට, ටොයිලට් පේපර්ස්වල වියදම දක්වා අන්තර්ජාලය තුලින් ජනතාවට දැනගන්නට සැලැස්වීමෙන් පෙන්වන ලද විනිවිදභාවය සහ පරිපාලනය නිසා කිසි දිනක පාර්ලිමේන්තුවට ගොඩනොවී තිබූ 39 හැවිරිදි මේ තරුණ නායකයාට ඉතාලියේ අගමැති පුටුව හිමිවුණේ ඔහු රජෙක් වන්නට හිනෙකින්වත් නොසිතූ හින්දයි.
ලෝකයේ දුප්පත්ම ජනාධිපති විදියට සැලකෙන උරුගුවේ ජනාධිපති 78 හැවිරිදි José Mujica ජීවත් වෙන්‍නේ තමන්‍ගේ බිරිදට හිමි ගොවිපලක තනි කාමරයේ පුංචි ගෙදරක. ජනාධිපතිවරයා විදියට තමන්ට ලැබෙන වැටුපෙන් සියයට අනූවක්ම ඔහු වැය කරන්‍නේ සුභ සාධක වැඩවලට. මිලියන 3.3 ක් ජීවත් වන උරුගුවේ ඔහුගේ පාලනය තුළ දී දූෂණයෙන් තොරවූ ඉතාම සාමකාමී සහ ජීවන තත්ත්වය උසස් වූ එමෙන්ම මාධ්‍ය නිදහස සුරකින පළමු ලතින් ඇමරිකානු රට බවට අද පත් වෙලා තියෙනවා. මේ නිසාම José කියන්‍නේ රජෙක් යැයි පුරවැසියන්ට නොසිතෙන සැබෑ ජනහිතකාමී රජෙක් මිස කිසිසේත්ම දුප්පතෙක් නෙමෙයි. ඒත් මෙතැනදී රජ කියන වචනය පාවිච්චි වෙන්නේ දූපත්වාසීන් වන අපිට අද දවසේ හුරුවෙලා තියෙන විධායක බලතල ඇති රජකු ගැන නම් නෙමෙයි කියන එකත් සිහිපත් කරන්න ඕනේ. කෝටි අනූවකට අධික දේපළක් තිබුණු මෑතකදී මිය ගිය සවුදි අරාබියේ රජ අබ්දුල්ලාට අන්තිමේ දී ඉතිරි වුණේ මහ පොළොවේ හතර රියන පමණයි. José වගේ නායකයන් මේ තත්තවය තේරුම් අරන් තිබුණත් අපේ සක්විති රජවරුන්ට නම් කිසිදාක තේරුම් ගන්නට අමාරු වන්‍නේත් මේ සරල කාරණයමයි.

අපේ මේ පුංචි දූපතේ විධායක ජනාධිපති ධුරය දරන්නන් විතරක් නෙමෙයි පළාත් සභාවේ දේශපාලකයන් පවා මුලු පාරම වසාගෙන වාහන පිරිවරා නගර සංචාරය කරද්දී දූපතේ විශාලත්වය නිසාම මහාද්වීපයක් විදියට සැලකෙන ඕස්‍ට්‍රේලියාවේ බලගතුම පුරවැසියා වන එරට අගමැතිවරයා තමන්ගේ කාර්යාලයට පුෂ් බයිසිකලයක් පැදගෙන යනවා.
ලංකාව කියන දූපත වගේ 60 ගුණයකටත් වඩා විශාල අසල්වැසි ඉන්දියාව ගත්තත් රජතුමා සංකල්පයේ දී නම් අපිට වඩා බෙහොම ඉදිරියෙන් තමයි ඉන්‍නේ. හිටපු ඉන්දියානු ජනාධිති ආචාර්ය අබ්දුල් කලාම් මහ මැතිවරණයේ දී පැයකට අධික කාලයක් ඡන්දය දාන්න බොහොම නිසොල්මනේ පොදු ජනතාවත් එක්ක පෝලිමේ ඉන්නේ ඔහු පොළොවේ පය ගහලා ඉන්න සැබෑ ජන නායකයකු වෙච්ච නිසයි.

මේ විදියට උදාහරණ දෙන්න ගියොත් කෙළවරක් දකින්න බැහැ. රජතුමා සංකල්පයට අදින්නට රටේ පාලනයට එකතු වෙන නායක නායිකාවන් කොයි තරම් සැදී පැහැදී සිටිනවාද යන්න වගේම විධායක ජනාධිපතිවරයාව සීතාම්බර පට සලුවලින් සරසවන්නට අපේ ජනතාවත් පේවී ඉන්නවා ද කියන එක ජනාධිපතිවරයා අමතන වචන මාලාවෙන්ම හිතා ගන්න පුලුවන්. මහා බලගතු ඇමරිකාවේ ජනාධිපතිවරයා අමතන්නට Mr. President හැරෙන්නට තවත් වචනයක් ඇමරිකානු ජනතාවගේ ශබ්ද කෝෂයේ නැහැ. කැනඩාව, එක්සත් රාජධානිය, ඩෙන්මාර්කය, ස්වීඩනය, ඕස්ට්‍රේලියාව මේ ආදී මෙකී නොකී බොහොමයක් රටවල්වලත් තමන්‍ගේ රටේ මුල්ම පුරවැසියා අමතන්නට යොදන එකම ගෞරවාන්විත වචනය Mr. යන්නම පමණයි. එත් අපේ දූපතේ ජනාධිපතිවරයා අමතන්නට මහා ගරු ගාම්බීර වචන කෝෂයක්ම ජනතා ශබ්දකෝෂයේ තියෙනවා. මරණාධාර සමිතියක එහෙමත් නැතිනම් දායක සභාවක තනතුරු දරන නිලධාරියෙක්ට ගරු කියන වචනය පාවිච්චි කරන්නට වචනයේ පරිසමාප්තියෙන්ම අයිතියක් තියෙනවා. ඒ තමන් ඒ තනතුරෙන් වැටුපක් ගන්‍නේ නැති හින්දා. ඒත් සියලු විධායක බලතලවලින් සුඛිත මුදිත වුණු ඒ වගේම ඒ බලතල ජනතා සුභ සිද්ධියට වඩා තමන්‍ගේම යහපතට පාවිච්චි කරන විධායක ජනාධිපතිවරුන්ට අතිගරු අති ගෞරවණීය උතුමාණෙනි වගේ වචන පාවිච්චි කරන්‍නේ කොහොමද කියන එක හිතාගන්නත් අමාරුයි. 2012 පටන් ඉන්දියානු ජනාධිපති ප‍්‍රනාබ් මුකර්ජි “Mr President” සංකල්පය ඉන්දියාවටත් හදුන්වලා දුන්නා. එත් අපි තවමත්ඉන්‍නේ වැඩවසම් යුගයේ වහල් සමාජ ලක්ෂණවලින් පිරුණු මති මතාන්තර එක්ක.

කොහොම වුණත් පහුගිය ජනාධිපතිවරණයේ දී ජය පැරදුම කාට හිමි වුණත් බොහොම සාධනීය කරුණු ගණනාවක්ම සිද්ධ වුණු බව නම් පේනවා. මුල්ම කාරණය නම් නව ජනාධිපතිවරයා තමන් තව දුරටත් රජෙක් නොවන බවත් තමන් රටේ ප්‍රධානතම සේවකයා පමණක් බවත් දළදා වහන්සේ වැඩ හිදින භූමියේ දී ම ජනතාවට ප්‍රතිඥාවක් දීමයි. සක්විති රාජ සංකල්පයෙන් සමු අරන් විධායක ජනාධිපති ධුරය මතින් වැඩමවන වැඩවසම් පීඩිත සම්ප්රදායෙන් රටේ ජනතාව මුදාගන්නට නව ජනාධිපතිවරයාට ශක්තිය ලැබුණොත් ඒක ඇත්‍තෙන්ම ජනතාවගේ ජයක්. ඒ වගේම මහදැනමුත්තන් විදියට හැම දේටම කටත් හොටත් දාන්නට යන නැකැත් කාරයන්ට යන එන මං නැතිවීමත් පහුගිය ජනාධිපතිවරණයේ දී ජනතාව ලබපු තවත් එක් ජයක්. ඒ වගේම නලාකරුවන් බවට පත් වෙච්ච කලාකරුවන් නඩයකටම ආතක් පාතක් නැති වීමත් මේ ජනාධිපතිවරණයේ දී සිද්ධ වෙච්ච සාධනීය දෙයක්. සිංදුවක් ඇහුව පමණින් රැගුමකට අත් පොළසමක් දුන්නු පමණින් උන්‍ගේ අත්සනින් එළි දකින නිවේදන දිහා බලාගෙන උන් අත දිගුකරන අපේක්ෂකයන්ට ඡන්දය දාන්නට සූදානම් නැති බත් කන මිනිසුන් තවමත් සිටින බව හෙළිදරවු වීමත් බොහොම හොද දෙයක්.
සැමියා මිය ගිය ශෝකයට බිරිදට ඡන්දය දෙන, තාත්තා ගැන හිතා පුතාට ඡන්දය දෙන විදියේ මානසිකත්වයක් අපේ රටේ තියෙන නිසා ඉතිහාසය පුරාම අපේ රටේ වැඩිම ඡන්ද ගණනාවක් තමන් ගේ මල්ලට පුරවා ගන්නට පුලුවන් වුණේ ශෝක රසය උද්දීපනය කරන්නට පුලුවන් වෙච්ච අයට තමයි. ඒ නිසා අපේ රටේ ඡන්දදායකයා නම්මවා ගන්න පුලුවන් හොදම සාධකය බුද්ධියට වඩා කදුල බවත් අමතක කරන්නට හොද නැහැ. මේ නිසා මේ පුංචි දූපතේ මිනිසුන් ලවා රජතුමාට අන්දවා ගන්න අපේ දේශපාලකයන්ට හරිම පහසුයි. ඉතිහාසයේ මුල්ම වතාවට ඇමරිකාවේ ජනාධිපතිවරයා විදියට කලු ජාතිකයෙක් පත් වුණාම ඒ පත්වුණේ කල්ලන්‍ගේ ඡන්ද වලින්ද, එහෙමත් නැතිනම් සුද්දන් ගේ ඡන්ද වලින් ද එහෙමත් නැතිනම් මැක්සිකානුවන්‍ගේ ඡන්ද වලින් ද කියලා හොයලා බලන්න කවුරුවත් සූදානම් වුණේ නැහැ. ඒත් මේ පුංචි දූපතේ ජනාධිපතිවරයෙක් පත් වුණාම ඒ පත්වුණේ සිංහල බෞද්ධ ඡන්දවලින්ද, එහෙමත් නැතිනම් දෙමළ මුස්ලිම් ඡන්ද වලින්ද කියලා ඡන්ද සිතියම පාට ගාන්නට ඉදිරිපත් වන මානසික මට්ටමක් ගොඩ නැගෙන්‍නේ අර කලින් කිව්ව කොදෙව් මානසිකත්වයෙන් අපි වෙළාගෙන ඉන්න නිසයි.

දිගින් දිගටම මේ කතාව ඇදිලා යන්න කලින් කවුරුත්දන්නා කතාවකින් මේ ලියැවිල්ල අවසාන කරන්න හිතුණා. මේ කතාවේ කාලාන්තරයක් පුරා නිගයගයකින් පීඩා වින්ද එක්තරා දූපතක් තිබුණා. අවුරුදු ගණනාවක මේ දරුණු නියගයෙන් පස් සේ එක්තරා දිනයක මහා වැස්සක් කඩා හැලෙන බවත් මේ ඒත් මේ මුල්ම වැස්සට තෙමෙන මිනිසුන් උමතු වන බවත් බොහොම දැන උගත් පඩිවරයෙක් ඒ දූපතේ ඉන්න දූපත්වාසීන්ට අනතුරු ඇගෙව්වා. (හැබැයි එයා නැකැත් කාරයෙක් නම් නෙමෙයි). ඉතින් ඒ පඩිවරයා කිව්ව විදියටම කිව්ව දවසේ කිව්ව වෙලාවටම මහා වැස්සක් ඇද වැටුණා. පඩිවරයා අනතුරු අගවලා තිබුණත් කාලයකට පස්‍සේ මහා වැස්සක් ඇද හැලුණු සතුටට මිනිස්සු එළියට ඇවිත් ලොකු සතුටකින් වැස්‍සේ තෙමෙන්න පටන් ගත්තා. පඩිවරයා විතරයි වැස්සට තෙමුණේ නැත්‍තේ. මේ නිසා වැස්සට තෙමුණු දූපත් වාසීන් හැමෝම උමතු වුණා. මේ වර්ෂාව තමයි උමතුසං වර්ෂාව විදයට හදුන්වන්‍නේත්. ඉතින් දූපතේ උමතු නැති කෙනෙක්ට හිටිය එකම එක පුද්ගලයා අපේ පඩිවරයා විතරයි. ඒත් දූපතේ හැමෝම උමතු නිසා උමතු නොවුණු පඩිවරයාට හැමෝම පිස්සා පිස්සා කියන්න පටන් ගත්තා. පිස්සන් පිරිසක් මැද්‍දේ ජීවත් වෙන්න බැරි වෙච්ච නිසාම අන්තමේ දී මේ පඩිවරයාත් උමතුසං වර්ෂාවට තෙමිලා පිස්‍සෙක්ම වුණා. මේ දූපත ලංකාව නොවුණත් අපේ දූපතේත් බොහොම දෙනෙක් අද ඉන්‍නේ උමතුසං වර්ෂාවට තෙමුණු නොතෙමුණු ගානට තමයි. ඉතින් එහෙම පිරිසක් අතරේ ජීවත් වෙමින් සමාජයක් විදියට අපේ මිනිසුන් කරන උමතු විකාර දැක්කම තමන්ටත් උමතුසං වර්ෂාවට තෙමිලා පිස්සුම හැදෙනවා නම් හොදයි කියලා සිහි බුද්ධිය ඇති මිනිහෙකුට හිතුණොත් ඒකේ පුදුමයකුත් නැහැ. දේශපාලන අව් කන්නාඩිවලින් සැරසුණාම කුහකත්වයකින් තොරව හරි දේ හරි ලෙසත් වැරදි දේ වැරදි ලෙසත් දකින්නට පුලුවන් කමක් නැති බව ඇත්ත. පහුගිය ජනාධිපතිවරණයේ දීත් ජනාධිපතිවරණයෙන් පස්‍සේ ගෙවිලා යන මේ පශ්චාත් ජනාධිපතිවරණ සමයේ දීත් අහන්නට දකින්නට ලැබෙන දේවල්වලින් පේන්නේ දූපත්වාසී අපේ බොහොම දෙනෙකුගේ හිත්වල පිරිලා ඉතිරිලා යන දේශපාලන පරාධීනත්වය, කුහක දේශප්‍රේමය ජාතිවාදී කොදෙවු මානසිකත්වය මිසක් එකම ජාතියක් ලෙසින් රට නගා හිටුවන්නට එක්වීමේ උත්සාහයක් නොවන බව නම් හොදටම පැහැදිලියි.
ප්‍රතිචාරයක් ලබාදෙන්න