කියන්න පොඩි හාමුදුරුවනේ…!

සීනුව නාද වෙන කොටත් මං හිටියේ පංති කාමරයේ කවුළුව අයිනේ.

හරියට ම හිතා ගන්න බැරි ඈත අතීතයක සැරි සරමින් තිබුණු මගේ හිත සීනු හඬත් එක්ක ආපහු පියවි ලෝකයට ආවා.

මහ වැස්සෙන් පස්සේ දූවිලි පොළොවෙන් විසිරිලා යන තෙතමනය මුහුවෙච්ච මේ සුවඳ හැමදාමත් මාව නොදන්නා අතීතයකට අරගෙන යනවා… මගේම පුංචි කාලයේ කොහේ හරි ඉසව්වකට.

විදුහල්පති බාලසූරිය මහත්තයා නම් කිව්වේ මේ පාර ගමට වැස්සක් ඇද හැලුණේ මාස ගණනාවකට ම පස්සේ කියලයි. දවස් තුන හතරකට කලින් මං ගමට එනකොටත් ගුරු පාර දෙපැත්තේ ගස්වැල් වේලිලා තිබුණා මට මතකයි.

නැවුම් පොළොවෙන් මතුවන තෙතමනයේ සුවඳ විඳිමින් හිටිය මං කවුළුව අයිනේ ඉඳන් ම දරුවන් ටික පන්සිල් ගන්න හැටි බලාගෙන හිටියේ මගේ ම අතීත මතකයෙන් මතු වුණු ආදරණීය මතකයත් තුරුළු කරගෙනයි.

අලුත් පංතියේ උගන්වන්න ආපු දෙවැනි දවස වුණත් පුංචි පැටවුන්ගේ මුහුණු ටික මට දැන් හුරු පුරුදුයි. පන්සිල් ගන්න අතරේ ළඟ ඉන්න යාලුවන්ට ඇඟිල්ලෙන් අනිමින් කරන දඟකාරකම් මට පෙනුනත් ඒවා නොදැක්ක තාලෙට ඉන්න උත්සාහ කළේ ඒ දඟකාරකම් තරුණ මගේ හිතේත් කිසියම් චමත්කාරයක් ඇති කළ නිසා වෙන්නට ඇති.

ඒ චමත්කාරයෙන් යුක්තව ම පංතියේ දරුවන්ගේ මුහුණු දිහා බලාගෙන යද්දී ඒ මුහුණ ආපහු මගේ නෙත ගැටුණේ හදිසියෙන්මයි.

ඒ මොහොතේ ම ආපහු සැරයක් ඒ පාලු හැඟීම එකසැරේම මගේ හදවත පුරා පැතිරිලා ගියා.

ඔව්… ඒ පුංචි ඇස් දෙක පංතියට ආපු මුල් පැයේ ඉඳන් ම මගේ හදවත පුරා නුහුරු නුපුරුදු හැඟීමක් ඇති කරන්නට සමත් වුණේ ඇයි ද කියලා තවමත් මට හිතා ගන්නට බැහැ. අපේ හමුවීම ඒ විදියට සිදු නොවුණා නම් කොයි තරම් හොඳද කියලා අද මට හිතෙන්නේ මේ සිදුවීමෙන් අවුරුදු ගණනාවකට පස්සේ අද දවසේ පවා ඒ මතකය දිහා ආපහු හැරිලා බලද්දී තවමත් ඒ හැඟීම ඒ විදියටම මගේ හදවත නොදන්නා ශෝකයකින් වෙළා ගන්නා නිසයි.

අඩුම තරමින් පංතියේ බුදු පිළිමය දිහාවත් නෙත් යොමු කරන්නේ නැතිව තමන්ගේ ම එක් කළ දෑත් මත නෙත් දල්වාගෙන පන්සිල් ගන්නා මේ පුංචි රූපය දිහා මං තවත් මොහොතක් බලාගෙන හිටියා. ඔහුගේ මුවෙන් ගාථා මිමිණෙනවා ඇතැයි මට නොසිතුණේ එක් කළ දෑතේ මහපැටඟිලි පුංචි තොල් පෙති මත තෙරපී තිබුණු නිසයි.

ඔව්.. අද මං මේ කතාව කියන්නට යන්නේ තරුණ ගුරුවරයෙක් විදියට මට ලැබුණු මුල්ම අත්දැකීමක් ගැන වුණත් දශක දෙකක පස්සේ අද දවසේ වුණත් ඕනෑම අවස්ථාවක සිත මොහොතකට නිසල කරන්නට තරම් මේ අත්දැකීම මට ප්‍රබලයි. තරුණ වයසේ සිටි මගේ සිත මේ තරම් ම කම්පනයකට ලක් කරන්නට බලපෑවේ ඒ පුංචි දරුවා තුළ වූ කුමන වූ අංගයක් නිසාදැයි මෑතක් වනතුරුම මට  මහත් ගැටලුවක් වූ නමුත් අද මට සිතෙන්නේ ඒ ඔහුගේ දෙනෙත නිසා වුවක් බවයි.  අහිංසකත්වයෙන් පිරී ගිය සිඟිති මුහුණේ සිහින් දෙනෙතින් මතු වූ නිහඬ ශෝකී සේයාව සිහි කරද්දී එදා මෙන් ම අදත් මා සිත වෙළී යන්නේ වචනයට නගා ගත නොහැකි පාළු අඳුරු ස්වභාවයකිනුයි.

දෙදෙනා බැගින් සිටින සේ සකස් කර තිබූ පංති කාමරයේ නිසල් …( ඔව් ඒ ඔහුගේ නමයි ) හිමිකරුවා වී සිටියේ කවුළුව අසල ම තිබූ තනි අසුනකයි. ඔහුට යාබදව තිබූ අසුන හැමදාමත් හිස්ව තිබුණේ කිසිවකුත් ඔහු හා අසුන් ගන්නට මැලි වූ නිසාද නැතිනම් ඔහුට යහලුවන් නොසිටි නිසා ද යන්න ගැන හරිහැටි ම අවබෝධයක් මුල් දවස් කිහිපයේ මට නොතිබුණත් ඒ හේතුන් දෙක ම ඊට එකසේ බලපාන්නට ඇති බව මට වැටහී ගියේ ටික දිනකින්මයි. නිසල්ගේ අසුනට යාබද අසුනේ කිසිවකු හෝ වාඩි කරවන්නට මා ගත් සියලු ම උත්සාහයන්ගෙන් සිදු වූයේ සිය අසල්වැසියාගේ විවිධාකාර වූ හිරිහැරයන්ට භාජනය වීමට ඔහුට සිදුවීමයි. ඒ වාගේ ම සිය අසල්වැසියාගේ පැන්සලක් , මකනයක් නැති වූ හැම අවස්ථාවක දී ම එහි වගකීම නිරායාසයෙන් ම භාර ගන්නට සිදු වුණේත් ඔහුටමයි. බොහොමයක් වෙලාවට නැති වූයේ යැයි කී යමක් ඩෙස්කයක් තුළ හෝ චෝදනාව යොමු කළ දරුවාගේ ම බෑගයේ තිබී හමුවුවත් ඒ කිසිදු අවස්ථාවක කිසිදු හැඟීමක් නිසල්ගේ මුහුණෙන් දකින්නට මට හැකි වූයේ නැත. ඔහුගේ නිහඬ බව නිසා ම එවැනි චෝදනාවන් සම්බන්ධයෙන් වරක් දෙකක් ඔහු මගේ සැකයට පවා භාජනය වූ අවස්ථාවන් ද නොතිබුණේ නොවේ. එහෙත් ඒ සෑම අවස්ථාවක දී ම සොරකම් චෝදනාවෙන් නිදහස ලැබීමෙන් පසු , ඔහුගේ දෙනෙත් මගේ දෙනෙත් හා ගැටෙද්දී එහි සටහන්ව තිබූ නිසලත්වයෙන් හැම විටෙකම මම සසල වී ගියෙමි. ඒ වරදකාරී හැඟීමෙන් මා සිත තලා පෙළා දමන අතරේ දී මය.

පංතිය තුළ දී අන් දරුවන්ගේ සමාගමයෙන් ඔහු පැහැදිලිව ම වෙන් වී සිටියේය. ඒ තත්ත්වය ඔහු විසින් ම ඇති කර ගනු ලැබූවක් ද යන්න ගැන ඒ තරම්ම පැහැදිලි හැඟීමක් මට නොතිබුණත් පංතියේ අනිත් දරුවන් හැම දෙනාම පාහේ හැසිරුණේ ඔහු වැනි කෙනෙකු පංතියේ සිටින බවට හැඟීමකින් නොවන බව නම් නිසැකයෙන්ම කිව හැකිය. පංතියේ කිසිදු සාමුහික කටයුත්තකට නිසල් ක්‍රියාකාරීව සහභාගි වූ බවක් ඇත්තෙන් ම මගේ මතකයට නගා ගන්නට අසීරුය.

පංතියේ දී මම කිසියම් ක්‍රියාකාරකමක් කියා දෙද්දී දරුවෝ සියලු දෙනාම මා වටා රැස්වෙති. මගේ ආසන්නයට ම පැමිණීමේ බලාපොරොත්තුවෙන් ඔවුහු එකිනෙකා තෙරපෙති. එවැනි විටෙක දී නිරන්තරයෙන් ම පසෙකට තල්ලු වී යන නිසල් තරමක් ඈතට වී මා කියන්නකට ඇහුම්කම් දෙන්නේ තද කර ගත් තොල් පෙති සඟලින් යුක්තවය. අනෙක් දරුවන්ට විශේෂත්වයක් නොදැනෙන සේ එවැනි මොහොතක නිසල් මා වෙතම කැඳවා ගන්නට මා දැරූ උත්සාහයන් හි දී ඔහුගේ මුහුණින් කිසිඳු හැගීමක් පළ නොවුණත් ; ඒ දෑස්වල තැවරිලා තිබූ කෘතඥතාවේ තෙතමනය හඳුනා ගන්නට මට කිසිවිටෙකත් අසීරු වූයේ නැත.

දරුවන් තමන්ගේ ශක්තිය උපරිම විදියට යොදා ගන්නේ විවේක කාලයේ දී ය. කඩිමුඩියේ සිය ආහාර බඳුන් ඉවතට ගන්නා ඔවුහු විවේක කාලයේ දී පංති කාමරය සිය රාජධානිය කර ගනිති. එවන් මොහොතක ඇතැම් අවස්ථාවක කිසිවෙකුගේ අතින් ඉගිලී යන පාන් වාටියක් ගුවනින් පාවී ගොස් අනෙකාගේ මුහුණේ ගැටෙන්නේ නිමේෂයකිනි. පහර කෑමට ලක් වූ තැනැත්තා වටපිට බලද්දී පහර දුන් තැනැත්තා කිසිත් නොවුනාක් මෙන් සිය පාඩුවේ ආහාර ගන්නා ආකාරය මගේ මුවගට පවා සිනහවක් නංවන්නට සමත් වුණත් දරුවන්ට තදින් සිටින්නට මගේ තරුණකම මට ඉඩ නොදුන්නේ එයින් මා ද කිසියම් චමත්කාරයක් විඳි නිසා යැයි අද මට සිතේ.

මෙවන් මොහොතක දී මගේ දෙනෙත් නිරායාසයෙන් ම යොමු වෙන්නේ නිසල් වෙතය. ඔහු සුපුරුදු පරිදි ම නිහඬව සිය අඳුරු පැහැති පොත් බෑගය මේසය මත තබා ඒ තුළට අත යවමින් යම් කිසිවක් සෙමින් සෙමින් විකන්නේ භාවනාවක් මෙන් බෙහෙවින් ම නිසොල්මන්වය. ඔහු මේ කාර්යය කෙතරම් සීරු මාරුවට කරන්නේ ද යත් ඔහු ආහාරයට ගන්නේ කවර ආකාරයක දෙයක් දැයි කිසිදා කිසි විටෙක මට දැනගත හැකි වූයේ නැත.

ඇතැම් අවස්ථාවන් හි ගුවනේ පාවී එන පාන් කැබැලිවල ගොදුරක් බවට පත්වෙන්නට නිසල්ට සිදු වුණත් කිසිම මොහොතක අඩුම තරමින් ඒ දිහා හිස ඔසවා බලන්නවත් ඔහු උනන්දු වූයේ නැත. කඩිමුඩියේ සිය කෑම ටික ගිල දමා සෙල්ලමට දිව යන දරුවන් අතරේ නිසල් වෙත ම  නෙත් දල්වා ගෙන සිටින මා නිතරම දකින්නේ  පාසල් ගෙට්ටුව අබියස සිට ඈතින් පෙනෙන මාවත දෙස නෙත් යොමු කරමින් බලා සිටින ඔහුගේ හුදෙකලා රූපයයි.

නිසල් ජීවත් වුයේ තමන්ගේ ම ලෝකයකය. නොදන්නා පාළු හැඟීමකින් හැමදාමත් , හැම මොහොතකමත් මගේ හිත පුරවා දමන මේ දරුවා හා දොඩමළු වීමේ දැඩි උවමනාවකින් මා වෙලී සිටිය ද ඒ සඳහා මා තැත් කළ හැම මොහොතකදී ම නිසල් වෙතින් මට ලැබුණේ කිසිසේත්ම දරිමත් කරවන ප්‍රතිචාරයක් නොවේ. නිසල්ට සමීප වන්නට මා දරන වෑයම ඔහුට හිරිහැරයකිය යන චෝදනාවෙන් මා පෙළන්නට වූ බැවින් අවසානයේ දී  මට සිදු වූයේ ඒ අවශ්‍යතාව වෑයමින් යටපත් කරගන්නටය.

පාසල නිමා වන්නට සීනුව නාද වෙන්නේ මුලු පංතිය ම එකම යුද පිටියක් බවට පත් කරමිනි. එකිනෙකා තෙරපා ගෙන එළියට දිව යන මේ දරුවන් මට සිහි ගන්වන්නේ කූඩුවෙන් මුදා හළ කුරුල්ලන් රංචුවකි. හැමට ම පසුව පංතියෙන් පිටවී යන නිසල් දොරටුව අසල රැඳී සිටින මාපියන් වෙත දිව යන දරුවන්ට ඉඩ දෙනු සඳහා වඩාත් අයිනක වී ගමන් කරන්නේ වටපිට නොබලාමය. රෙදි වලින් මසන ලද සිය පොත් බෑගය මහාර්ඝ වස්තුවක් මෙන් තුරුලු කරගෙන පාසල් පිට්ටනිය හරහා හුදෙකලාව පියමං කරන ඔහුගේ රුව දේවදාර ගස් අතරින් නොපෙනී යනතෙක් ම බලා සිටීම බොහෝ විටෙක මගේ දින චර්යාවේ ම අංගයක් බවට පත් වී තිබුණි.

පාසල නිමවා නවාතැන වෙතට යන මගේ සවස් වරුවන් බොහෝ විට ගෙවී ගියේ අලස කමිනි. මවත් සොහොයුරියත් පමණක් සිටි පවුලෙන් මා මෙසේ ඈත් වී යාම ඔවුන් දෙදෙනා විසින් උපේක්ෂාවෙන් විඳ දරා ගනු ලැබුවේ ගුරු වෘත්තිය කෙරෙහි මා තුළ වූ ඇල්ම නිසාම වුවත් , තනිකමින් ගෙවී යන සවස් වරුව මා වෙත ද ඇති කර තිබුණේ කාන්සියකි. පොතක් පතක් කියවන්නට කම්මැලි හිතෙන එවන් බොහෝ සවස් වරුවන් හි ගම් පියසේ ඇවිදින්නට යාම මගේ පුරුද්දක් බවට පත් වූයේ නිරායාසයෙනි. එවන් සෑම මොහොතකම පාහේ ඒ සඳහා මා විසින් උවමනාවෙන් ම තෝරා ගනු ලැබුවේ නිසල් ගේ නිවස පිහිටා තිබූ බඩ වැටිය අද්දර ගුරු පාරයි.

නිසල්ගේ නිවස පිහිටා තිබුණේ මගේ නවාතැනට එතරම්ම දුරකින් නොවේ. සම්ප්‍රදායිකව නිවසක් ලෙසින් හැඳින්වුවත් ඇත්තෙන් ම පිටතින් එය කාමරයකට වඩා විශාල වූයේ නැත. නිවසේ ඉදිරිපස කෙටි තාප්පයකින් වටවුණු පිල්කඩට ඉහළින් වූ සාර්ලිස් මාස්ටර්ගේ අඳුරු පැහැ ගැන්වුණු සිතුවම හැරුණු විට ඒ පිල්කඩෙහි වෙනත් කිසිදු සැලකිය යුතු යමක් මා ගමන් කරන ගුරු පාරට දර්ශනය වූයේ නැත. පිල් කණ්ඩිය අද්දරම තිබුණේ සරුවට වැඩුණු ඉද්ද පඳුරකි. නිසල්ගේ නිවසේ කෙටි තාප්පයේ පාරට මුහුණ ලා තිබූ කොටසට ලම්භකව පිහිටි කුඹුරු යාය කෙළවර ඉඩමකින් මතුවුණු සුදු පිරියම් ගෑ උස් වූ සොහොන් කොත මගේ නවාතැනටත් දැක ගන්නට හැකිය.

බඩ වැටිය අද්දර ගුරු පාර දිගේ නිසල්ගේ නිවස ඉදිරිපිටින් ගමන් කරන සෑම මෙහොතකදී ම මගේ ගමන් වේගය උවමනාවෙන් ම අඩුවන්නේ මටත් නොදැනීමය. අනාරාධිතව හෝ පිල් කඩිත්තට ගෙට ගොඩ වී කා සමගින් හෝ කතා බහ කරන්නට ඇති වූ දැඩි පෙළඹීම යටපත් කරන්නට සිදු වූයේ  ඒ සඳහා කිසිදු පසුබිමක් නිර්මාණය කර ගන්නට මා සමත් නොවූ නිසාය. ඒ පාළු නිවසින් කිසිවකුගේ හෝ රුවක් දකින්නට මගේ නෙත් සිටියේ නිරතුරුවම සැදී පැහැදී ගෙනය. එහෙත් මේ නිවස හැම විටෙකම පාහේ ගිලී තිබුණේ හුදෙකලාවකය.

ඇතැම් දවසක කෙටි තාප්පය මත දෙකකුල් රුවා ගෙන තනිව ම කිසියම් සෙල්ලමක නිරතව සිටින නිසල්ගේ රුව ඈතදී ම හඳුනා ගන්නට මා සමත් වුණත් බඩ වැටිය සමීපයෙන් මගේ රුව ළං වෙද්දී පසුබා ඉවතට ඇදෙනු විනා ඔහු කිසිවිටෙකත් පිල් කණ්ඩියේ රැඳී සිටියේ නැත.

තවත් දවසක මට දකින්නට ලැබුණේ මහළු කාන්තාවක් වත්තේ කිසියම් වැඩක නිරතව සිටින ආකාරයයි. ඇය සැරපරුෂ කාන්තාවක් විය හැකි යැයි යන හැඟීම මා සිත තුළ පැලපදියම් වී තිබුණත් එසේ සැක කරන්නට තරම් කිසිදු සාධාරණ හේතුවක් මට තිබුණේ නැත.

එක්තරා දවසක පාසල අවසන් වෙන්නට හෝරාවක් තිබියදී මහ වැස්සක් ඇද හැලෙන්නට පටන් ගත්තේ හිටි හැටියේමය. සිරි පොද වැස්ස ගිගිරුම් සහිත මහ වැස්සක් බවට පෙරලෙද්දී දරුවන් ද එහි උපරිම ප්‍රතිපල නෙලා ගන්නට උත්සාහ කළේ වැස්සේ ඝෝෂාවට එක්වෙමිනි. මෙවැනි මොහොතක ඔවුන් නිශ්ශබ්ද කරවීමේ ප්‍රායෝගික දුෂ්කරතාව අත්දැකීමෙන්ම අවබෝධ කරගෙන සිටි මා ඔවුන්ට රිසි සේ සිය නිදහස භුක්ති විඳින්නට ඉඩ හළේ පාසල නිමා වන්නට මත්තෙන් කළ යුතු කිසියම් රාජකාරී කටයුතු කිහිපයක්ම මා වෙත පැවරී තිබූ බැවිනි. වෙසක් පොහොය නිමිත්තෙන් එදිනෙන් පසු තරමක දිගු නිවාඩුවක් තිබූ බැවින් එදින ම හවස් වරුවේ කොළඹ යාමට මා ද සිටියේ තරමක නොඉවසිල්ලකිනි. පාසලේ සේවයට පැමිණ මාස තුනකට ආසන්න කාලයක් ගත වී නොතිබුණත් මගේ එකම සොහොයුරියගේ විවාහ මංගල්‍යය වෙනුවෙන් මා ඉල්ලා සිටි නිවාඩුව අනුමත වීම මා සිත තුළ ද ඇති කර තිබුණේ කිසියම් උද්දාමයකි. මේ නිසා දරුවන්ගේ කෙළි සෙල්ලම් දෙස වරින් වර මගේ නෙත් ද යොමු වූයේ සතුටු සහගත මනෝ භාවයකිනි.

එහෙත් කුණාටු සුළං මැද තනි වූ ගල් කුළක් මෙන් නිසල් නිහඬය.

කවුළුවට ඔබ්බෙන් පෙනෙන වැහි අඳුර දෙස දෙනෙත් යොමා ගෙන සිටින ඔහුගේ මුහුණේ ගෑවි නොගෑවී  වේගයෙන් පියාඹා ගිය කොළ ගුලියක් දැල් කවුලුවේ හැපී බිම වැටුණේ මා බලා සිටියදීමය. කොළය විසිකළ දඟකාරයා සොයා පංතිය සිසාරා මගේ නෙත් ලුහුබැන්ඳ ද  එවැන්නෙක් කෙසේ වෙතත් අඩුම තරමින් සැකකාර දෑසක්වත් සොයා ගන්නට මා දක්ෂයෙක් වුයේ නැත. එහෙත් තමන් සිටි ඉරියව්වෙන් ම නිසල් වර්ෂාව දෙස නෙත් යොමා සිටියේ එවැන්නක් කිසිදා කිසිවිටෙක සිදු නොවූ ආකාරයෙනි.

පාසල නිමා වන්නට සීනුව නාද කෙරුණේ පංතිය තුළ මෙවැනි වාතාවරණයක් තිබියදී ය. වර්ෂාව ඒ වනවිටත් නිමා වී නොතිබුණ ද එහි ප්‍රචණ්ඩත්වය සමහන් වී තිබූ නිසා දරුවන් දිවගොස් මා පියන් සමග එක්වෙද්දී මා ද කඩිනමින් පොත් පත් අස් කරන්නට වූයේ එදින ම කොළඹ යන්නට සිටි බැවිනි. එතෙක් වේලා එකම යුද පිටියක් බවට පත් ව තිබූ පංති කාමරය අසපුවක් සේ එක්වරම නිහඩ වෙද්දී කිසියම් වූ කිසියම් වූ නුපුරුදු අමුත්තක් මා සිත වෙලා ගත්තේ නොදැනුවත්වමය. ඔව්… නිසල් පමණක් තවමත් පංති කාමරයේ රැඳී සිටියි. මා කවදත් සසල කරවන ඒ දෙනෙත් යොමු වී ඇත්තේ මා වෙතය.

“ ඇයි ඔයා අද ගෙදර යන්නේ නැද්ද පුතා …? ”

“ පුතා ” නම් වූ ආමන්ත්‍රණය ඔහු තුළ කිසියම් වූ විපර්යාසයක් ඇති කළ ආකාරය මා දුටුවේ ඔහුගේ දෙනෙත් පුරා පැතිරී ගිය වෙනස් වීම නිසාය. මේ වනවිට ඔහුගේ දෙනෙතේ ඇති වන වෙනස්වීම් හඳුනා ගැනීමේ කිසියම් ඉවක් මා විසින් ගොඩ නගා ගනු ලැබ තිබුණි.

“ සර් වෙසක් පෝයට කොළඹ යනවද…? ”

“ ඔව් පුතා… මම අදම යනවා… ඇයි….? ”

“ මේක අපේ තාත්තට දෙන්න පුලුවන් ද …? ”

රෙදී බෑගයෙන් ඉවතට ගෙන ඔහු මා වෙත පෑ හතරැස් කාඩ්බෝඩ් කැබැල්ලේ තිබුණේ කිසියම් සිතුවමකි එහි සටහන්ව තිබුණේ කාන්තාවක හා පුරුෂයෙකු ලෙස සිතිය හැකි රූප දෙකක් සහ කුඩා දරුවකුගේ යැයි සිතිය හැකි රුවකි. ඔවුන්ගේ දෙඅත් වෙසක් කූඩුවක් වෙත යොමු වී තිබූ බැවින් ඔවුන් එය දල්වතියි සිතන්නට මට අපහසු වූයේ නැත.  කාඩ්බෝඩ් රූපය පිටුපස “ තාත්තා ” යන අකුරු තරමක් විශාලව ලියා තිබූ ආකාරය අද ද මට සිහිපත් වන්නේ එදා මා තුළ ඇති වූ කම්පනයෙන් යුක්තවමය.

“ මම පුතාගේ තාත්තාව අඳුනන්නේ නැහැනේ… ” ඔහු මා දෙස බලා සිටින්නේ බලාපොරොත්තු දැල්  වූ දෑසිනි.

“ අපේ තාත්තා ඉන්නේ කොළඹ කියලා අම්මා කිවුවා… ”මේ ඔහු අයුරින් මා ඉදිරියේ දොඩමළු වන මුල්ම අවස්ථාවයි.

“ පුතාගේ තාත්තා කොයි වගේ ද…?  ” මා ඇසුවේ නොඇසිය යුතුව තිබූ පැනයක් බව මට අවබෝධ වූයේ ප්‍රමාද වීමෙන් පසුවය. මෙතෙක් වේලා මා වෙත දැල් වී තිබූ ඒ දෑස් ඒ වනවිට දැල් කවුළුවෙන් ඈත අනන්තයට එල්ල වී හමාරය. වැස්ස දැන් හොඳටම අඩු වී ඇතත් සීතල හිරිකඩ පංතිය සිසාරා යමින් තිබුණේය.

“ අම්මා කිවුවා තාත්තා ළඟදීම ගෙදර එයි කියලා…. ” ඔහු එක්වරම පැවසුවේ අවධානය මා වෙත නැවතත් යොමු කරමිනි.

“ පුතාගේ ගෙදර ඉන්නේ කවුද …? ”මෙතෙක් දවස් සිර කරගෙන සිටි ප්‍රහේලිකාවේ හිස් කොටු පුරවා දැමීම මගේ අරමුණ වූ බව නිසැකය.

“ අම්මයි ආච්චියි….”

“ අම්ම මොනවද කරන්නේ…? ”

“ අම්ම වැඩ කරන්නේ ඈත…. හවසට ගිහින් උදේට එනවා….”  පංති කාමරයේ දොර හඬ නගා බිත්තියේ ගැටී ගියේ එක්වරම හමා ගිය සීතල සුළං රැල්ල නිසාය.

“ සර් තාත්තට කියන්න ගෙදර එන්න කියලා ” ඔහුගේ හඬ ක්‍රමයෙන් සිහින් වන්නේය.

ඔහු සිය රෙදි බෑගය පපුවට තුරුලු කර ගත්තේ බොත්තම් ගැලවී ගිය කමිසයේ අඩුපාඩු අතකින් වසා ගන්නට උත්සාහ දරන අතරේදීමය.

“ හොඳයි …. මං මේක තාත්තට දෙන්නම්… ගෙදර එන්න කියලත් කියන්නම්..”

එවර ඔහුගේ දෙනෙත් පුරා පැතිරී ගියේ බලාපොරොත්තුවක සේයාවක් ද නැතිනම් තෘප්තිමත් බවේ සතුටක් ද යන්න එක්වරම තෝරා බේරා ගන්නට මහ පහසු වූයේ නැත. සමහර විට ඒ හැඟීම් දෙක ම ඒ දෑස් මත තැවරී තිබෙන්නට ඇත. වෙනදා මෙන් ඔහු නොපෙනී යනතෙක් පාසල් පිට්ටනිය වෙත නෙත් අයා සිටින්නට තරම් කාලවේලාවක් මට නොතිබුණේ කොළඹට යන අවසන් “ ඉන්ටර්සිටි ” බස් රථය අල්ලා ගන්නට පෙර ගමන් බෑගය ගෙන යන්නට නවාතැනට ගොඩ වීමේ අවශ්‍යතාවක් ද මා තුළ තිබූ නිසාය.

එයින් පසුව උදා වූයේ බෙහෙවින් ම අවිවේකී සති දෙකකි. සොයුරියක් පමණක් සිටි පවුලේ එකම පිරිමි දරුවා මා වූ බැවින් විවාහ මංගල්ලයේ බොහොමයක් සුලු ‍දෙයට පවා දුව පනින්නට සිදු වූයේ මටය.

මා යළිත් සේවයට වාර්තා කළේ සොයුරියගේ වෙන්ව යාම නිසා ඇති වූ මානසික කම්පනයෙන් මෙන්ම ශාරීරිකව දැනුණු වෙහෙසින් ද හෙම්බත් වීමෙන් පසුවය. එහෙත් සේවයට වාර්තා කිරීමෙන් පසු පාසලේ දී ද මට මුහුණ දෙන්නට සිදු වූයේ එවැනි ම වූ වෙහෙසකර කාල පරිච්ඡේදයකටය. ඒ දෙවැනි වාරය වෙනුවෙන් දරුවන්ගේ ප්‍රගති වාර්තා සකස් කිරීමේ කාර්යයත් නිසා ම නොවේ.  වාර්ෂික ක්‍රීඩා උත්සවයේ වෙනුවෙන් සවස් කාලයේ දරුවන් පුහුණු කිරීමේ බොහෝ වැඩ කටයුතුත් විදුහල්පති බාලසූරිය මහතා විසින් මා වෙත ම පවරනු ලැබ තිබූ නිසාය. ඒ සතිය පුරාම නිසල්ගේ රුව පංති කාමරය තුළ දී දකින්නට නොලැබීම මගේ සිත කැළඹීමට පත් කරන්නට සමත් වුණත් ඒ පිළිබඳ හෝඩුවාවක් ලබා ගන්නට සති අන්තය වන තෙක්ම බලාගෙන සිටින්නට මට සිදු වූයේය.

සතිය ගෙවී යමින් උදා වූ  මුල්ම සෙනසුරාදා සවස් යාමයේ දී නිසල්ගේ නිවස පිහිටි ඉසව්ව කරා මා පියමං කළේ ඔහුගේ නිවසට ගොඩ වැදීමේ අරමුණ ඇතිවමය. බඩ වැටිය වෙත යොමු වූ දෙවැට අතරින් ගෙවත්තට පිවිසෙන තෙක්ම මා දුටුවේ සුපුරුදු නිහැඬියාවේ ගිලී ඇති පිල් කඩයි. සිද්ධාර්ථ කුමාරෝප්පත්තිය සිහිපත් කරවන සාර්ලිස් මාස්ටර්ගේ සිතුවම ඒ මොහොතේ මට දැනුණේ කිසියම් වූ සජීවී වස්තුවක් ලෙසිනි.

දොර පියන් පත විවර වී තිබුණ ද කිසිවකුත් පෙනෙන්නට නොසිටි නිසා මම දෙවරක් ම දොරට තට්ටු කළෙමි.  ක්‍රමයෙන් මතුවුණු පා හඬක් ඉදිරියට ඇදෙද්දී වෙනදා දකින මහලු කාන්තාවගේ රුව මම හඳුනා ගත්තෙමි.

“ මම තමයි නිසල්ට උගන්වන්නේ … ළඟදියි මේ ඉස්කෝලෙට ආවේ. ”මෙතෙක් වේලා අමුතු ම සත්ත්වයෙක් දෙස විපරම් කරන්නාක් මා දෙස විපිළිසරව බලා සිටි ඇය මගේ පිළිතුරෙන් සෑහීමකට පත් වූ බවක් දැකිය හැකි විය.

“ ඉඳගන්න මහත්තයෝ… ” ඇගේ කටහඬේ කිසිදු උද්යෝගයක් නැත.

පිල්කඩෙහි කෙළවර වැල් ඉහිරී ගිය පුටුවක් තිබුණ ද මා අසුන් ගත්තේ පෙරදා නිසල් වාඩි වී සිටි කෙටි තාප්පය මතය. නිවස ඇතුළින් කිසිදු හඬක් නැත.

“ ගෙදර කවුරුත් නැද්ද …? ”

“ කෙල්ල වැඩට ගිහින් ”ඇගේ පිළිතුරු කෙටිය.

මෙවැනි සවස් වරුවක වැඩට යන ඇය නිරත වනු ඇත්තේ කවර රැකියාවක විය හැකි ද …?

“ එතකොට නිසල්…? ”

“ පොඩි එකා නැහැ මහත්තයෝ ”

“ මේ සතියේම නිසල් ඉස්කෝලේ ආපු නැති නිසයි බලන්න ආවේ… නිසල් කොහේ හරි ගිහිල්ල ද …? ”

“ පොඩි එකා ආපහු ඉස්කෝලේ එන්නේ නැහැ… ” උදයේ පිපී පරව ගිය මලින් පිරුණු ඉද්ද මල් පඳුර වෙත දෙනෙත් රඳවා ගෙන සිටි ඇය මා ඇමතුවේ කිසිදු හැඟීමකින් තොරවයි.

“ ඒ කිව්වේ…? ”

“ කොලුවා මහණ කළා… බදුල්ලේ පන්සලක… මගේ මල්ලි වෙන කෙනෙක් තමයි පන්සලේ නායක හාමුදුරුවෝ. ගිය සතියේ තමයි පිංකම තිබුණේ. අපිත් තැපැල් රේල්ලුවෙන් පිංකම බලන්න ගියා..”

පපුව තුළින් මතු වුණු සිහින් උණුසුමක් මගේ මුලු සිරුර ම වෙලා ගන්නට පටන් ගත්තේය. ඒ උණුසුම සුළු මොහොතකින්ම මගේ දෙකොපුල් සහ කන් පෙති අතර සැරි සරනු මට දැනුණි.

“ ඉතින් නිසල්ගේ අම්මා කැමති වුණා ද…? ”  නිහැඬියාව බිඳිමින් මම සෙමෙන් කටඬ අවදි කළෙමි.

“ ඒකිය කියලා කොහොම ද මේ ඔක්කොම කරන්නේ … ඒකි කීයක් හරි හොයාගෙන ආවොත් මිසක අපට ඔය කාගෙන්වත් සත පහක්වත් ලැබෙනවැයි…. අඩුම තරමින් දැන් කොලුවා තුන් වේලම කාලවත් ඉන්නේ නැතැයි… ” ඇගේ හඬ ක්‍රමයෙන් උස් වෙයි. ඒ කටහඩේ තැවරී ඇති නොරිස්සුම යොමු වන්නේ මා වෙත ද…?

සුදු සොහොන් කොත පෙනෙන ඈත ඉසව්වෙන් හෙමිහිට ඇදෙන ලොරියක රුව පෙනී ගියත් එහි හඬ මා සිටි පිල් කණ්ඩියට ඇසුණේ නැත.

“ එතකොට නිසල්…? ”

“ කොලුවා කැමති වුණා මහත්තයෝ ”

පෙරදා නිසල් වාඩි වී සිටි ඒ බිත්ති කණ්ඩිය මත තව දුරටත් රැඳී සිටින්නට මගේ හිත මට සිත් දුන්නේ නැත. සිතිවිලි තෙරපෙමින් මහත් බරකින් යුක්තව හද පත්ලෙහි ම තැන්පත් වෙද්දී මං පිල්කඩෙන් මෑත් වුණේ සිරුර පුරාම පැතිරුණු අසහනකාරී හැඟීම් සමුදායක් එක්කයි.

එයින් පසුව පංති කාමරයේ කවුළුව අසල හිස් වී ඇති නිසල්ගේ මේසය හා පුටුව දෙස නොබලන්නට උත්සාහ දැරුවත් හැම නිමේෂයක දී ම මගේ දෙනෙත් ඒ වෙත යොමු වුණේ මටත් රහසේමය. දරුවන්ට කිසියම් අත්වැඩක් සැපයීමෙන් පසුව ගුරු මේසයේ අසුන මත හිඳ ඈතින් පෙනෙන පාසල් පිට්ටනිය වෙත නෙත් යොමු කරද්දී රෙදි බෑගය තුරුළු කරගත් නිසල්ගේ රුව පිට්ටනිය කෙළවර ඇති දේවදාර ගස් අතරින් මගේ මනසේ ඇඳී මැකී යන්නේ විදුලි සැරයක් පරිද්දෙනි. ගුරු මේසය හා හිස්ව තිබූ නිසල්ගේ මේසය හා පුටුව වෙනත් තැනකට ගෙන ගියත් පංති කාමරයේ නොසිටි ඔහු , පංති කාමරයේ රැඳී සිටි නිසල්ට වඩා මගේ හිත කැළඹීමට ලක්කළ බව කීවොත් ඇත්තෙන් ම එය නිවැරදිය. දොඩමළු පංති කාමරය පුරා මට දැනුණේ කිසියම් වූ හිස්කමක් තැවරී ඇති බවකි. කාන්සිය මකා ගන්නට ගම් පියසේ ඇවිද යාම පුරුද්දකට මෙන් සිදු කෙරුණත් එම පාසලෙන් මාරුවක් ලබා ගන්නා තෙක්ම යළි කිසි දිනක නිසල්ගේ නිවස වෙත යොමුව තිබූ බඩ වැටිය ඔස්සේ ගමන් කරන්නට තරම් ධෛර්යයක් හෝ ශක්තියක් මට තිබුණේ නැත.

නිසල් නොමැතිව ගෙවී ගිය සති කිහිපයකට පසු යළිත් වරක් ඇද හැළුණු සිරි පොද වැස්සක් දවසේ මං පංති කාමරයේ කවුළුව ළඟට ඇදුණේ බොහොම කාලයකට පසුවයි. දරුවන්ට කිසියම් අත්වැඩක් පවරා බොහෝ විට මා රැඳී සිටින පංති කාමරයේ මගේ ප්‍රියතම අඩවිය වුණු දැල් කවුළුව පිහිටි ඉසව්ව මේ වනවිට මා විසින් ම තහනම් කලාපයක් කරගනු ලැබ තිබුණේය. ඒ කවුළුව සමීපයෙන් නිසල්ගේ මතකයේ සුවඳ තවමත් මට දැනුණු බැවිනි. අවසන් වරට නිසල් මා හා දොඩමළු වූ ඒ වැහිබර දිනයේ මතකයෙන් ම කවුළුවෙන් පිටතට නෙත් යොමු කරද්දී එක්වරම දුටු දර්ශනයෙන් මම මොහොතකට කම්පනයට ලක් වුණෙමි.

තැඹිලි පාට දාස් පෙතියා මල් පොකුරක්…..

මං හැමදාමත් ආස කළ සිරි පොද වැස්සේ තෙතමනයේ උණුහුමත් එක්ක මුහුවුණු දාස් පෙතියා මල් පොකුරේ නැවුම් සුවඳ මගේ මුළු හදවත පුරා ම පැතිරිලා ගියේ සුලු මොහොතකට මුලු මහත් විශ්වයෙන්ම මා තනි කරලා ඉවතට අරගෙනයි.

සිරි පොද වැස්සත් එක්ක දඟ කරමින් සුළගේ ලෙළෙන ඒ මල් පොකුර පිපුණු පුංචි මල් පාත්තිය කාගේ ද යන්න හඳුනා ගන්නට මට මොහොතක්වත් අසීරු වූයේ නැත. පන්ති කාමරයේ තවත් එක් ක්‍රියාකාරකමක් ලෙසින් මල් පාත්ති සකස් කරද්දී නිසල් තමන්ගේ පාත්තිය විදියට තෝරා ගත්තේ කවුළුව පහළින් එක එල්ලයේ ම තිබුණු මේ බිම්කඩයි.

දාස් පෙතියා මල් පොකුරේ ම රැඳිලා තිබුණු මගේ දෑස් අනෙක් පාත්ති දිහාවටත් විහිදිලා ගියත් ඒ  බොහොමයක් පාත්ති තිබුණේ වේලිලා ගිහින්. පැළ හටගෙන තිබූ අනෙක් පාත්ති කිසිවකත් ඒ වනවිට මල් හටගෙන තිබුණේ නැත.

හැමදාමත් මල් දරාපු ඒ දාස් පෙතියා මල් පාත්තිය පාසලේ සිටිය මුලු කාලය පුරා ම ආපහු සැරයක් පංති කාමරයේ මගේ ප්‍රියතම ඉසව්ව කවුළුව සමීපය බවට යළිත් පත් කළේ මටත් නොදැනුවත්වමයි.

මේ සිද්ධිය සිදුවෙලා දැන් දශක දෙකකටත් වඩා වැඩි කාලයක්. කසාවතින් සැරසුණු පුංචි නිසල්ගේ රුව සොයා යන්නට මගේ හිත කවදාවත් මාව උනන්දු කළේ නැත්තේ ඇයි ද කියලා මට තවමත් හිතා ගන්නට අපහසුයි.

ඒත් අද මං ඉන්නේ ඒ පුංචි ඉස්කෝලෙන් විතරක් නෙමෙයි මගේ රටෙනුත් බොහොම ඈත විදේශයක… මැදි වියත් එක්ක අත්වැල් බැඳගෙන. ඒත් තරුණ වියේ ඒ මතකයේ උණුසුමත් තුරුළු කරගෙන පොඩි හාමුදුරුවන්ව සොයා ගන්නට හැකියාවක් ඇතිනම් ඒ වෙනුවෙන් බොහෝ දේ කැප කරන්නට අද මං සූදානම්.

ඒ එකම අරමුණක් වෙනුවෙන්.

එනම් ජීවිතයේ සැබෑ ම  සතුට කුමක්දැයි පොඩි හාමුදුරුවන්ගෙන් ම අසා දැන ගන්නටය.

Advertisements
This entry was posted in Uncategorized by කළු. Bookmark the permalink.

About කළු

ගලා යනු ඇත දිය පහර නොනැවතී ඉදිරියට , වැට කඩොළු සිර ගත නොවූ නිම්නයක... පමා නොවී ඔබත් නොවැරදීම එන්න ඒ නැවුම් පො‍ළොව මත නිදහසේ ගලා යන්නට....!

3 thoughts on “කියන්න පොඩි හාමුදුරුවනේ…!

  1. කඳුළු….. අඩුම තරමෙ එදා ඒ දරුවා මහණ වුණ පන්සලේ නමවත් දැනගත්තනම්.. කොහොම හරි හොයා ගන්න තිබුණා කියල හිතෙනවා. නිසල්ගේ ඒ නිසල සන්සිඳුණු පැවැත්ම සමහරවිට ඔහු සංසාරය පුරාම අරන් ආ දෙයක් වෙන්න ඇති. එහෙම නැත්නම් කුඩා කාලෙ ඉඳලම හුදකලා වීම නිසාම දරුවා තුළ ගොඩනැගුණු හුදකලා සංසිඳීමක් වෙන්නත් ඇති.

    ජීවිතය එක්ක අරගල නොකර සන්සුන්ව ඉන්න උත්සාහ කරන මුනිවර ස්වභාවයක් මට නිසල්ගෙ ඇවතුම් පැවතුම්වල දැනෙනවා. මටත් එහෙම වෙන්න ඇත්නම් කියල හිතෙනවා.

    Liked by 1 person

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )