1974 අවුරුද්දේ Home Life කියන සඟරාවේ පළ වී තිබූ එක්තරා ලිපියක් බොහෝ දෙනෙකුගේ අවධානයට ලක්වුණා. මේ නිසාම එදා ඉදන් අද වෙනකම් අවුරුදු හතළියක කාලයක් පුරාම මේ ලිපිය වරින් වර නැවත නැවතත් විවිධ පුවත්පත් සඟරාවන්හි පළ කෙරුණා. කතාව ලියලා තිබුණේ Elizabeth Silance Ballard. කතාව ලෝකය පුරාම පැතිරිලා ගිය නිසා සමහර විට මේ කතාව ඔබ මීට කලින් අහලා ඇති. නැතිනම් කියවලා ඇති. මේ කතාව මට කියවන්නට ලැබුණේ මීට කෙටි කාලයකට කලින්. කතාවේ තිබෙන සංවේදීකමත් මානුෂිකත්වය කැටිවුණු හැඟුම්බර බවත් නිසා එය මෙසේ ලියා පළ කරන්නට මට සිතුණා.
_____________________________________________
අලුත් අවුරුද්දේ ඉස්කෝලේ පටන් ගත්ත මුල්ම දවසයි ඒ. හැම ගුරුවරයෙක්ම කරනවා වගේ තොම්සන් කියන තරුණ ගුරුවරියත් (Miss Thompson) තමන් ඉස්සරහ හිටිය පස් වැනි පංතියේ සිසුන්ට කීවේ හැම දරුවෙක්ටම තමන් එක වගේම ආදරය කරනවා කියලයි.
ඒත් ඒක ඇත්තක්ම නෙමෙයි. පංතියේ ඉස්සරහම පේළියක තනිවෙච්ච පුංචි පිරිමි දරුවෙක් හිටියා Teddy Stallard කියලා , හරිම අපිරිසිදු පාටට. ඒ විතරක් නෙමෙයි මේ ටෙඩී කියන දරුවා පංතියේ අනෙක් දරුවන් එක්ක සෙල්ලම්වලටවත් මුහුවෙන්නේ නැති බව ඇගේ අවධානයට යොමු වෙලා තිබුණා. ටෙඩීගේ ඇදුම් පැළදුම් පවා කිසිම පිළිවෙළකට තිබුණේ නැහැ. මේ නිසාම ටෙඩී කිසිසේත්ම ප්රිණයමනාප දරුවෙක් නම් වුණේ නැහැ. ටෙඩීගේ පොත් පත් බලද්දී හැම මොහොතකම ගුරුවරියට සිද්ධ වුණේ රතු පාට පෑනකින් වැරදි හදන්නයි. මේ නිසාම ටෙඩීගේ පිළිතුරු පත්වල ලොකුවට F අකුරු දාන්න තමයි මිස් තොම්සන්ට සිද්ධ වුණේ.
පාසලේ තිබුණු නීති රීති සමුදායට අනුව සෑම දරුවෙකුගේම පැරණි වාර්තා කියවා බලන්නට ගුරුවරුන්ට අනිවාර්ය කරලා තිබුණා. අනික් හැම දරුවෙකුගේම පැරණි වාර්තා පරීක්ෂා කරලා බැලුව මිස් තොම්සන් ටෙඩීගේ වාර්තාව කියවන්නට තියාගත්තේ අන්තිමටයි.
කොහොම හරි අනෙක් සෑම දරුවෙක්ගේම අතීත වාර්තාවන් කියවලා අන්තිමට ටෙඩීගේ අතීත වාර්තාවන් කියවද්දී මිස් තොම්සන් දැක්කේ බොහොම පුදුම හිතෙන දෙයක්.
“ නිතරම සිනහවෙන් පිරුණු මුහුණකින් යුත් ටෙඩී හරිම දක්ෂ දීප්තිමත් දරුවෙක්. ඔහු පංතියේ වැඩ සියල්ල ඉතාම පිරිසිදුවත් ක්රණමානුකූලවත් සිදුකරනවා. ඉතාම හොඳ ගති පැවතුම් ඇති ටෙඩී වැනි දරුවෙක් පංතියේ සිටීම ඇත්තෙන්ම සතුටක් ” පළමු පංතියේ ගුරුවරිය ටෙඩී ගැන තම වාර්තාවේ සඳහන් කරලා තිබුණේ එහෙමයි.
“ ටෙඩී විශිෂ්ට දක්ෂකම් දක්වන දරුවෙක්. පංතියේ හැම දරුවෙක්ම ටෙඩීට ආදරෙයි. ඒත් ටෙඩීගේ මෑණියන් දරුණු රෝගයකින් පීඩා විඳින නිසා ටෙඩීට නිවසේ ගත කරන්නට සිදු වී ඇත්තේ දුෂ්කර කාලයක් බව පෙනෙන්නට තියෙනවා ”දෙවැනි පංතියේ ගුරුතුමිය ටෙඩී ගැන සිය වාර්තාවේ දක්වා තිබුණේ එහෙමයි.
“ ටෙඩීගේ මවගේ අභාවය ඔහුගේ ජීවිතයට දැඩි සේ බලපෑම් කර ඇති බව පෙනෙන්නට තිබේ. තම උපරිම හැකියාවන් පෙන්වන්නට උත්සාහ කළත් නිවසේ පරිසරය ඔහුගේ උත්සාහවන්ත භාවය පහළට ඇද දමා ඇතැයි සිතේ. දරුවාගේ ඉගෙනීමේ කටයුතු කෙරෙහි පියාගේ දැඩි උනන්දුවක් ඇති බවක් නොපෙනේ ” තෙවැනි පංතියේ ගුරුතුමිය සිය වාර්තාවේ සටහන් කර තිබුණා.
“ ඉගෙනීමේ කටයුතු කෙරෙහි ටෙඩීගේ උනන්දුවක් නැත. ඔහුට පාසලේ මිතුරන් නැති අතර ඔහු ඇතැම්විට පංතියේ නිදා ගෙන සිටිනු දැකිය හැකිය. ” හතරවැනි පංතියේ ගුරුවරයා සිය වාර්තාවේ කෙටියෙන් සටහන් කර තිබුණා.
මේ වාර්තා කියවා බැලූ මිස් තොම්සන්ට ගැටලුව ඇත්තේ කොතැනදැයි පැහැදිලි වුණා විතරක් නෙමෙයි තමන් ගැනම ලැජ්ජාවක් ද ඇති වුණා. ඇගේ කණස්සල්ල තවත් බරපතල වුණේ පංතියේ හැම දරුවෙක්ම නත්තලට ඇයට ගෙනාපු තෑගි පාර්සල් දැක්කමයි. ටෙඩී හැරෙන්නට අනෙක් හැම දරුවෙක්ම ඉතාම ලස්සන දීප්තිමත් වර්ණ කඩදාසිවලින් සරසපු තෑග්ගක් මිස් තොම්සන්ට දුන්නත් ටෙඩීගේ තෑග්ග ඔතලා තිබුණේ ඉරී ගිය පරණ රළු කඩදාසියක ඉතාම අපිළිවෙළකටයි. හැම තෑග්ගක්ම පංතිය ඉස්සරහ ගලවලා බලන එක සිරිතක් වුණත් හැම දෙනාම ඉදිරියේ මේ තෑග්ග ගලවලා බලන්න මිස් තොම්සන් පෙළඹුණේ හිතේ සඟවා ගත්ත සිහින් වේදනාවකුත් එක්කයි.
ටෙඩීගේ තෑග්ග දිග හරිද්දී පංතියේ ඇතැම් සිසුන් අතරින් මතුවුණේ සිනාවක්. ටෙඩීගේ තෑග්ග වුණේ මොන වගේ දෙයක් කියලාද ඔබ හිතන්නේ….? මේ තෑග්ගේ තිබුණේ තැනින් තැන මැණික් කැට ගැලවී ගිය වළල්ලක් සහ අඩියට ළං වන තෙක් පාවිච්චි කර තිබුණු සුවඳ විලවුන් බෝතලයක්. ඉතාම ආසාවෙන් වළල්ල දිහා බලලා ඒක බොහොම අගය කරපු මිස් තොම්සන් හරිම උනන්දුවකින් වළල්ල පැළඳ ගත්ත හැටිත් සුවඳ විලවුන් බෝතලයෙන් තමන්ගේ ඇඳුමට සුවඳ විලවුන් ටිකක් ඉහ ගත්ත හැටිත් දැක්කම පංතියේ සිසුන් අතරින් මතුවෙච්ච සිනාව නැත්තටම නැති වෙලා ගියා.
පාසල නිම වුණාට පස්සේ හැම දෙනෙක්ම පංතියෙන් යනකම් හිටිය ටෙඩී මිස් තොම්සන් ළඟට ගිහින් මෙහෙම කිව්වා.
“ මිස් තොම්සන් …. අද ඔයා ළඟින් එන්නේ මගේ අම්මාගේ සුවඳමයි ”
හැම දෙනාම පංතියෙන් පිටවෙලා ගියාට පස්සේ මිස් තොම්සන්ට ඉකි ගැහිලා ඇඩුණා. අඩුම තරමින් හෝරාවක්වත් ඇය පංති කාමරයේ ඉඳගෙන මේ විදියට තනියම හඬා වැටෙන්නට ඇති.
එදා ඉඳන් ඇය පාසලේ පංති කාමරයක් තුළ ගුරුවරියක් අතින් සිදුවන කියවීම , ලිවීම , ගණිතය වගේ සියලු විෂයන් ඉගැන්වීම මුලුමනින්ම නතර කර දැමුවා. ඒ වෙනුවට ඇය සැබෑ ලෙසින්ම “ දරුවන්ට ඉගැන්වීමට ” පෙළඹුණා. ඇගේ විශේෂ අවධානය ටෙඩී වෙත යොමු වුණා. ඇය සමීපයේ සිටින හැම අවස්ථාවකම ටෙඩී බොහොම උනන්දුවෙන් කටයුතු කරන බවක් පෙනෙන්නට තිබුණා. මිස් තොම්සන් උනන්දු කරන හැම මොහොතකම ඔහු වඩ වඩාත් උනන්දුවෙන් වැඩ කළා. අන්තිමේ දී වසර අවසානයේ පංතියේ සිටින විශිෂ්ටතම සිසුන් අතරින් කෙනෙකු බවට ටෙඩී පත් වුණා. පංතියේ හැම දෙනාටම එක වගේ ආදරය කරනවා කියලා මිස් තොම්සන් මුල්ම දවසේ කිව්වත් ඇත්තටම කියනවා නම් ඇගේ විශේෂ ආදරය හැම විටෙකම හිමි වුණේ ටෙඩීටයි.
වසරක් ගත වෙලා ටෙඩී ඉහළ පංතියට ගියාට පස්සේ ඇගේ කාමරයේ දොර යටින් පුංචි සටහනක් තිබුණා ටෙඩීගේ අත් අකුරින්. “ මගේ ජීවිතයේ හමු වූ ආදරණීයතම ගුරුතුමිය ඔබයි ”එහි සටහන්ව තිබුණා.
අවුරුදු හත අටකට පස්සේ ආපහු සැරයක් ඇයට ටෙඩීගෙන් සටහනක් ලැබුණා. තමන් ඉහළම සාමාර්ථ ඇතිව පාසල් අධ්යා පන නිමා කළ බවත් ඒ වගේම තවමත් ඔහුගේ ජීවිතයේ හමු වූ ආදරණීයම ගුරුතුමිය මිස් තොම්සන් බවත් එහි සටහන්ව තිබුණා.
ආපහු අවුරුදු හතරකට පස්සේ ටෙඩීගෙන් තවත් ලියුමක් මිස් තොම්සන්ට ලැබුණා. උපාධිය ලබා ගත්තාට පස්සේ තවත් දුරට ඉගෙන ගන්නට ඔහු තීරණය කළ බවයි එහි සටහන්ව තිබුණේ. තවමත් ඔහුගේ ජීවිතයේ ඔහුට හමු වූ ආදරණීයම ගුරුතුමිය වුණේ මිස් තොම්සන් බව සටහන් කරන්නට ඔහු අමතක කර තිබුණේ නැහැ. ඒත් මේ ලියුමේ ඔහුගේ නම තරමක් දීර්ඝව සටහන් වෙලා තිබුණේ නමේ මුලට “ වෛද්ය ” කියලා කෑල්ලත් එකතු වෙලා තිබුණ නිසයි.
මේ කතාව මෙතැනින් නතර වෙන්නේ නැහැ. ඊළඟ වස්සාන සෘතුවේ දී මිස් තොම්සන්ට තවත් ලිපියක් ලැබුණා. තමන්ට පෙම්වතියක් හමු වූ බවත් ඔවුන් දෙදෙනා විවාහ වන්නට සූදානමින් සිටින බවත් තමයි මේ ලියුමේ සටහන් කරලා තිබුණේ. ඔහුගේ පියා වසර කිහිපයකට කලින් මිය ගොස් තිබුණ නිසා විවාහයේ දී මනාලයාගේ මෑණියන්ට හිමි අසුනේ මිස් තොම්සන්ට ඉඳගන්නට පුළුවන් ද කියන ඉල්ලීම ඔහු මේ ලිපියෙන් මිස් තොම්සන්ගෙන් අසා තිබුණා.
ඇත්තෙන්ම ඔව්……! මිස් තොම්සන් ඊට කැමැත්ත පළ කළා විතරක් නෙමෙයි ඔබට අනුමාන කරන්නට පුළුවන්ද ඇය කුමක් සිදු කළා ද කියලා….? විවාහ මංගල්ලයට ඇය පැළඳ ගෙන ආවේ පස් වැනි පංතියේ දී ටෙඩී තෑගි කළ මැණික් ගල් බොහොමයක් ගිලිහී ගිය වළල්ලයි. ඒ විතරක් නෙමෙයි තවමත් ඇය ළඟ සුරක්ෂිතව තබා ගෙන තිබුණු ටෙඩීගේ සුවඳ විලවුන් බෝතලයෙන් බිංදු කිහිපයක් තමන්ගේ ඇඳුමට මුසු කර ගෙන එන්නත් ඇය අමතක කළේ නැහැ. මේ සුවඳ ටෙඩීට සිහිපත් කළේ අම්මාත් එක්ක එකට ගත කළ අන්තිම නත්තලයි.
ආදරයෙන් එකිනෙකා වැළඳ ගත් මොහොතේ වෛද්ය ටෙඩී ස්ටොලර්ඩ් මිස් තොම්සන්ගේ කණට මෙහෙම කෙඳුරුවා.
“ මං ගැන විශ්වාසය තැබුවාට බොහොම ස්තුතියි. මටත් වටිනාකමක් තියෙනවා කියලා පෙන්නලා දුන්නටත් වෙනසක් කරන්නට මටත් පුලුවන් කියලා මට දැනෙන්නට සැලැස්සුවාටත් ඇත්තටම ස්තුතියි ”
කඳුළු පිරුණු දෑසින් මිස් තොම්සන් ඔහුගේ කණට ආපහු මෙහෙම කෙඳුරුවා.
“ ටෙඩී ඔබ කිව්ව හැම දෙයක්ම වැරදියි. වෙනසක් කරන්නට පුළුවන් කියලා මට ඉගැන්නුවේ ඔයයි. ඔයා හමුවනකල්ම උගන්වන්නේ කොහොමද කියලා මං දැනගෙන හිටියේ නැහැ. ”
_____________________________________________
ඔබ කරන දෙයකින් එහෙමත් නැතිනම් ඔබ විසින් නොකරනු ලබන දෙයකින් තවත් කෙනෙකුගේ ජීවිතයට කොයි තරම් බලපෑමක් සිද්ධ වෙන්න පුළුවන්ද කියලා ඔබට කවදාවත්ම හිතා ගන්නට බැහැ. මේ නිසා ඒ කරුණ හැම මොහොතකම හිතේ තබා ගෙන ඔබේ ජීවිතයේ එදිනෙදා කටයුතුවල නිරත වෙන්න. ඒ වගේම තවත් කෙනෙකුගේ ජීවිතයේ සාධනීය වෙනසක් ඇති කරන්නට උත්සාහ කරන්න ; අදම….!
හරිම සංවේදී කතාවක්.. මම මේ කතාව කලින් කියවා තියෙනවා.. නමුත් මතකය අලුත් වුණා.. මෙවැනි ආදරණීය ගුරුවරු මටත් මුණ ගැහිල තියෙනවා.. හරිම සුන්දර මතකයන්…
කැමතියිකැමතියි
ඒක ඇත්ත…. අද ඉන්න බොහොමයක් ගුරුවරුන් ගැන හිතුවම මෙහෙම ගුරුවරුන් ලැබීම කොයි තරම් වාසනාවක්ද…?
කැමතියිකැමතියි
මං මේක රිඩර්ස් ඩයිජස්ට් එකේද කොහේද කියෙව්වා. ඒත් තාමත් ඒක කියවන විට ඇති වන හැගීම මුල් වරට කියෙව්වා වගේම දැනෙනවා.. ස්තුතිි ඔබට
කැමතියිකැමතියි
ස්තුතියි ඔබේ අදහස් දැක්වීමට…!
කැමතියිකැමතියි
When I read this I cried, cried and cried. When I type this note I can not see well because of tears.
කැමතියිකැමතියි
ගුරුවරයකු හට විශාල පාඩමක් කියල දුන්නා
කැමතියිLiked by 1 person