දවසක් දා බෝ මළුවේ….!

ඒ මොහොතේ මං හිටියේ කළුතර බෝධි පූජා භූමියේ පහළ බෝ මළුවේ.

සතියේ දවසක උදය වරුවක් නිසා වෙනදා වඩා තරමක නිස්කලංක බවක් තමයි බෝධි මළුවේ දකින්නට ලැබුණේ. නිවාඩුවකට ලංකාවට ආපු මොහොතක් නිසා ගෙදර හැමෝම බොහොම ආස්වාදයකින් යුක්තව ආගමික වතාවත්වල යෙදෙද්දී මං ආපහු සැරයක් බුදු මැදුරට ගොඩ වැදුණේ මල් ආසනයේ ඡායාරූපයක් ගන්න හිතාගෙන.

ඒකට හේතුව වුණේ මල් ආසනය කවුරුන් හෝ සැදැහවතෙක් පූජා කරලා තිබුණු වැටකෙයියා මල් වලින් පිරිලා තිබුණු නිසයි. මගේ මතකය නිවැරදි නම් මේ තරම් වැටකෙයියා මල් සමූහයක් එකම තැනක දී මීට කලින් මං දැකලා තිබුණාය කියලා මට හිතෙන්නේ නැහැ. කොහොම වුණත් මල් ආසනයේ කවදත් දකින්නට ලැබෙන නෙළුම් මානෙල් මල් සුවඳට මේ වැටකෙයියා මල් සුවඳත් මුසුවෙලා මුලු බුදු ගෙය පුරාම සිත පහන් කරවන දසුනක් නිර්මාණය වෙලා තිබුණා.

බුදු ගෙයි පිය ගැට පෙළ බැහැලා එළියට එද්දිම මට හමුවුණේ බුදු ගේ දිහාවට ඇවිදලා එන සුදු ජාතික කාන්තාවකුත් , ඇගේ පුතා යැයි සිතන්නට පුළුවන් වයස අවුරුදු දහයක දොළහක පමණ දරුවෙකුත්. දෙන්නා අතේම තිබුණේ මානෙල් මල් දෙකක්.

බෝ මළුව දිහාවට ආපහු සැරයක් ඇවිද ගෙන එන අතරේ එක සැරේම කලබලයක හඞක් ඇහුණු හින්දා ආපහු පසුපස හැරිලා බලද්දී මං දැක්කේ හිතා ගන්න බැරි අමුතුම දෙයක්.

කලින් කිව්ව සුදු ජාතික කාන්තාවත් ඇගේ පුතාත් බෝධි මළුවේ පිටවීමේ දොරටුව දිහාවට බොහොම වේගයකින් ආපහු එන හැටිත් තවත් පිරිමින් තුන් දෙනෙක් මේ දෙන්නා පස්සෙන් වේගයෙන් පන්නාගෙන එන හැටිත් තමයි මං දැක්කේ. මේ පිරිමි තුන්දෙනාගෙන් එක් කෙනෙක් බෝධි මළුවේ ආරක්ෂකයෙක් කියලා හිතා ගන්න පුළුවන් වුණේ ආරක්ෂක නිල ඇඳමක් ඇඟලාගෙන හිටිය නිසයි. ඒත් පිළිවෙළකට ඇඳුමක් ඇඳගෙන හිටියේ නැති අනිත් දෙන්නා කවුරුන්ද කියලා හිතාගන්න පුළුවන් කමක් තිබුණේ නැහැ.

බොහොම බියපත් බවක් පෙනුණු විදේශීය කාන්තාව තමන්ගේ පපුවට අත තියාගෙන “ වෙරි සොරි…. වෙරි සොරි ”කියා ගෙන ඉදිරියට දිව එන හැටිත් පස්සෙන් පන්නාගෙන එන තුන්දෙනා බොහොම සද්දෙන් “ගෝ….ගෝ…. ” කියාගෙන ඇයව එළවා ගෙන එන හැටිත් ඇරුණු කොට මේ මහා කලබලය මොකක්දෝ කියන එක ගැන කිසිම හෝඩුවාවක් මට හිතාගන්නට බැරි වුණා.

බියෙන් එළියට ආපු විදේශ කාන්තාවත් ඇගේ පුතාත් පාරේ යමින් තිබුණු ත්රිදරෝද රථයකට අත දිගු කළේ පුළුවන් තරම් ඉක්මණින් එතැනින් ගැලවී යාමේ අරමුණින්. තදම කළු පාට ටී ෂර්ට් එකකින් සැරසිලා කොණ්ඩය වවාගෙන හිටි ත්රික රෝද රථ රියදුරාත් කරාබු පැළඳ ගෙන හිටිය අමුතුම ජාතියේ පුද්ගලයෙක් බව මං දැක්කේ සුදු ජාතික කාන්තාවගේ බාහුවෙන් නොමනා විදියට අල්ලාගෙන බොහොම උනන්දුවෙන් තමන්ගේ රථයට නග්ගගෙන ඉගිල්ලා ගිය හැටි දැක්කමයි.

අන්තිමේදී කාන්තාව පසුපසින් පන්නපු පිරිමින් තුන්දෙනා බොහොම දැවැන්ත වීර කමක් කළා වගේ විසිරිලා ගියා.

මේ හැම දේම සිද්ධ වුණේ විනාඩියක් දෙකක් ඇතුළත බොහොම ඉක්මණින්. කිසිම දෙයක් තේරුම් ගන්නට බැරිව හිටිය මට සිද්ධිය තේරුම් කරලා දුන්නේ ළඟ හිටිය කෙනෙක්.

බෝධි මළුවෙන් ඇයව එළවා දමන්නට තරම් ඇය කළ වරද වූයේ අසංවර ඇඳුමක් ඇඳ විහාර භූමියට ඇතුළු වීමයි. දණ හිසින් පහළ දක්වාම දික්ව තිබූ ඇගේ ගවුමේ අසංවර භාවය රැඳී තිබෙන්නට ඇත්තේ ගවුමේ දෙඅත් විවර වී තිබීම නිසා විය යුතු බව මට සිතුණේ ඇගේ ගවුමේ ස්වභාවය ගැන ආපහු සැරයක් මතකයට නගා ගත්තාට පසුවයි. ඒත් බොහොම සංවරව විහාර භූමියේ හැසිරුණු ඇයගේ ගවුමේ පවා විහාරයකට පැමිණෙන්නට තරම් නුසුදුසු අසංවර භාවයක් තිබුණා කියලා නම් කිසිසේත්ම හිතන්නට බැහැ. අනිත් අතට ඇගේ ගවුමේ අහලකින්වත් තියන්න බැරි විදියට කපා කොටා විවර වී තිබූ ඇඳුම් ඇඳගෙන පාර පුරා සැරිසරන ළඳුන් ඕනෑ තරම් ලංකාවේ හිටිය සති කිහිපය තුළ දී අපිට දකින්නට ලැබුණා.

විහාරයෙන් මේ විදියට පිටමං කරන්නට තරම් තමන් අතින් වෙච්ච වැරැද්ද මොකක්ද කියන එක මේ විදේශීය කාන්තාව මේ මොහොත වෙනකල්ම දන්නවාද කියන එක ගැන වැටහීමක් මට නැහැ. ඒකට හේතුව “ගෝ…. ගෝ…” කියලා එළවා දැමුවා මිසක් ඊට වඩා එහාට ගිය වචනයක් දෙකක් ඉංගිරිසි බසින් පවසන්නට තරම් දැනුමක් පස්සෙන් පන්න ගෙන ආපු තුන් දෙනාටම නොතිබුණු නිසයි. බියටත් කම්පනයටත් පත් වෙලා හිටිය සුදු ජාතික කාන්තාව ඒ පිරිසෙන් බේරී යන්න වහ වහා ත්රි. රෝද රථයට නැග ගත්ත නිසා සිදු වූ දේ ගැන කිසිම වැටහීමක් ඇයට තිබුණා කියලා ඇගේ මුහුණින් කිසිසේත්ම පෙණුනේ නැහැ. අනිත් අතට ලංකාවේ ඉපදී හැදුණු වැඩුණු මට පවා මේ විකාර ජවනිකාව වටහා ගන්නට නොහැකි වෙද්දී සතියක දෙකක සංචාරයකට එන විදේශීය ළඳකට තමන්ට වෙච්ච දේ ගැන කිසිම නිනව්වක් ඇති වේවි කියලා හිතන්නත් පුළුවන්ද….?

හැම සමාජ සංස්ථාව එක සේ පිරිහී යමින් තියෙන අපේ රටේ තියෙන සියලුම සදාචාරමය හා සංස්කෘතිමය අර්බුද හැම දෙයක්ම මේ සුදු කාන්තාවගේ දෙවුර වැසී යාමෙන් දූර්නීභූත වෙලා යනවා නම් කිසිම ප්රශ්නයක් නැහැ. ඒත් මේ විදියේ තකතීරු සිදුවීම් නම් කළුතර බෝ සමිඳුන්වත් ඉවසා වදාරන්නේ නැති බව විශ්වාසයි.

ලංකාවට එන කිසිම විදේශිකයෙකුට ලංකාවේ සංස්කෘතිය එහෙමත් නැතිනම් සදාචාරමය සීමාවන් ගැන කිසිම ආකාරයකින් දැනුවත් කෙරෙන කිසිම රජයේ ආයතනක් ලංකාවේ නැහැ. මේ නිසාම නොදැනුවත්කම නිසා සිදුවන මෙවැනි සිදුවීම් වලදී ඊට පිළිතුරක් විදියට පන්නා දමනවා වෙනුවට අඩුම තරමින් සිදු වූ දේ ගැන පැහැදිලි කිරීමක් හරි කරන්න පුලුවන් කෙනෙක් ඒ තැන්වල ඉන්නවා නම් තත්ත්වය මීට වඩා යහපත් වෙන්න තිබුණා. පෙර කී කාන්තාවට සිදු වූ දේ එකම එක උදාහරණයක් විතරයි. මේ වගේ ජුගුප්සාජනක සිද්ධීන් සිය ගණනක් එක් දවසක දී මුලු ලංකාව පුරාම සිද්ධ වෙනවා. ඉතින් මේ විදේශිකයන් ලංකාවෙන් පිටවෙලා යන්නේත් , ගියාට පසුව අපේ රට ගැන කතා කරන්නේත් යහපත් සිතුවමක් හිතේ ඇඳගෙන නෙමෙයි. ඒ නිසාම ඔය කියන “ආසියාවේ ආශ්චර්යය” අපේ කාන්සිය අකා මකා ගන්න අපි ; අපි ගැනම හිතාගෙන ඉන්න සංකල්පයක් විතරයි. අපේ නායකයන්ට හිතේ අමාරුවට තොල් මතුර මතුර ඉන්නත්, රටේ ජනතාව ගොනාට අන්දන්නත් ඔය සංකල්පයෙන් පුලුවන්. ඒත් කළුතර බෝධි මළුවේ දී වුණා වගේ ආශ්චර්යයන් නිරන්තරයෙන් සිද්ධ වෙන රටකින් ඒ සංකල්පය ලෝක තලයට ගෙනි යන්නට පුළුවන් කියලා හිතන්නවත් පුළුවන්ද…?

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.

ඉහළ ↑

%d bloggers like this: