ඔබට පෙනෙනවා ද මේ සිතුවම….?

මේ වචන පේළියට පහළින් පෙනෙන අවකාශයේ ඇති සිතුවම ඔබට පෙනෙනවා ද …?

ඉහත අවකාශය තුළ ඔබට සිතුවමක් පෙනුනත් නැතත් මේ කියන්නට යන කතාව ඔය කියන සිතුවමට කෙළින්ම සම්බන්ධයි.

මුලින්ම කියන්නට ඕනේ මේ කතාව ඇස ගැටුණේ ෆේස් බුක් අඩවියේ හුවමාරු වුණු ලිපියක බව. ආගමික කරුණු සමග කෙළින්ම ගැට ගැහිලා තිබුණත් මේ කතාවේ තියෙන ගැඹුරු අර්ථය පටු ආගම්වාදී අරමුණකින් වටහා ගන්නට උත්සාහ කරන්නට එපාය කියන කරුණත් ඒ වගේම සදහන් කරන්නට ඕනේ.

2004 වසරේ කේම්බ්රිජ් සරසවියේ දී සිදුවුණු සිද්ධියක් තමයි මේ කතාවට පදනම් වෙලා තියෙන්නේ. කේම්බ්රිජ් සරසවිය කියන්නේ විවිධ රටවලින් එන සිසුන් එකතු වන තැනැක්නේ. මේ නිසා ඒ විදියේ විවිධ සිසුන්ගෙන් සමන්විත මිතුරු කණ්ඩායමකට දවසක අපූරු අදහසක් ආවා. ඒ තමයි තමන්ගේ කලා කුසලතා ඔප් නංවන්න ප්රදර්ශනයක් පවත්වන්න. කලින් කිව්වා වගේම මේ කණ්ඩායමේ හිටිය හැමෝම වගේ විවිධ ජාතීන්ට සහ විවිධ ආගම් වලට අයත් අය නිසා හරිම අපූරු මාතෘකාවක් තමයි ඔවුන් මේ ප්රදර්ශනයට යොදා ගත්තේ. “ ඔබේ ආගමික විශ්වාසයට අනුව ළගා විය හැකි හොදම තැන ” තමයි මාතෘකාව වුණේ. ඉතින් හැමෝම තමන්ගේ ආගමික විශ්වාසයට අනුව තමන්ට පුලුවන් ආකාරයෙන් ඉතාම අලංකාර වර්ණ වලින් ස්වර්ගය සිතුවම් කරන්නට පටන් ගත්තා.

මේ සිසුන් බොහොම වෙහෙස මහන්සියෙන් පරිස්සමින් තෝරා බේරාගත් වර්ණ හැඩතල භාවිතා කරමින් ස්වර්ගය සිතුවම් කරද්දී එක් සිසුවෙක් විතරක් සැහැල්ලුවෙන් සිනහවෙමින් කාලය ගත කරමින් හිටියා. අඩුම තරමින් සිතුවමක් අදින්න සූදානම් බවක්වත් ඔහුගෙන් පෙනුනේ නැහැ. මේ සිසුවා ප්රංශ ජාතික බෞද්ධ ජාතිකයෙක් බවත් අමතක වෙන්න කලින් කියන්නට ඕනේ.

අවසානයේ දී සරසවියේ විශාල ගොඩනැගිල්ලක මේ සියලුම සිතුවම් ප්ර දර්ශනය කෙරුණා.

විවිධාකාර වර්ණ හැඩතල වලින් පිරුණු අලංකාර සිතුවම් අතරේ එක් සිතුවමක් ප්රමදර්ශනයට ආපු හැමෝගේම විශේෂ අවධානය යොමු කරගන්නට සමත් වුණා. සිතුවමක් කිව්වත් එහි තිබුණේ ඇත්තෙන්ම සුදුම සුදුපාට හිස් කැන්වස් රෙද්දක් පමණයි.

මේ සිතුවම තමයි බෞද්ධ සිසුවා විසින් ඉදිරිපත් කරනු ලැබ තිබූ නිර්මාණය. ඔහු මෙය නම් කරලා තිබුණේ “ නිර්වාණ ” යන නමින්.

මේ සිතුවමින් ඔහු කියන්නට උත්සාහ කරන්නේ කුමක්ද කියන එක බොහොම දෙනෙක්ට ගැටලුවක් වුණ නිසා හැම දෙනාම ඒ ගැන ඔහුගෙන් විමසා සිටියා.

“ මම හිතන්නේ අපි හැමෝටම යන්නට පුලුවන් හොදම තැන නිර්වාණයයි. මම ඔබ හැමෝටම කියනවා ඔබ ‍ඇදපු ස්වර්ගය දිහා දවසක් බලාගෙන ඉන්න කියලා. ඔබට ස්වර්ගය එපා වේවි. ඒත් නිර්වාණය කියන්නේ එහෙම දෙයක් නෙමෙයි. එතැන අදින්න කිසිම දෙයක් නැහැ. කිසිවක්ම නැති තැන කුමක් එපා වෙන්න ද…? ”

මේ තරුණයා නිකොලොස් නම් ප්රංශ ජාතිකයෙක් බවත් කතාවේ සදහන්ව තිබුණා.

සිරුරට ගිනි තබාගෙන මිය යාම පාරමිතාවක් යැයි සිතන එහෙමත් නැතිනම් හලාල් දඩයමේ යාමෙන් බොදු බලය පෙන්විය හැකි යැයි සිතන ඒ වගේම දේශපාලනයෙන් නිවන් දැකිය හැකි යැයි සිතන චීවරධාරීන් සිටින රටක මෙවැනි ප්ර දර්ශනයක් පැවැත්වුණොත් නිකොලොස්ගේ සුදු කැන්වස් රෙද්ද මත කවර ආකාරයේ සිතුවමක් සටහන් විය හැකි යැයි ඔබට සිතෙන්නේද….?

2 thoughts on “ඔබට පෙනෙනවා ද මේ සිතුවම….?

Add yours

ප්‍රතිචාරයක් ලබාදෙන්න

WordPress.comහි බ්ලොග් සටහනක්.

ඉහළ ↑