
හොඳින් හිරු පායා තිබුණ ද සීත සුළං හමා ගිය සීතල උදය වරුවකි ඒ.
කාර්ය බහුල වැන්කුවර් නගරය සමීපයේ වූව ද තරමක නිසංසල වටපිටාවක පිහිටි අවහන්හලකට ඉතාලි ජාතික මගේ මිතුරෙකුත් මාත් ගොඩ වූයේ දිවා ආහාරය පිණිසය.දිවා ආහාර සදහා තරමක් උදෑසන වැඩි වූ බැවින්දෝ ඒ වනවිට අවන්හලේ රැඳී සිටියේ කිහිප දෙනෙකු පමණි.
ආහාර පිළියෙළ කිරීම සඳහා තරමක් කාලය ගත වන බව අත්දැකීමෙන්ම දැන සිටි බැවින් අසුන් ගන්නට පෙරදීම අවන්හලේ කවුන්ටරයට යාබදව තිබූ රාක්කයෙන් සගරාවක් ගත්තේ පුරුද්දට මෙනි.
මිතුරා සමග අල්ලාප සල්ලාපයෙහි යෙදෙන අතරම සගරාවේ කවරය වෙත නෙත් යොමු කළ මා දුටුවේ සිත් ඇද ගන්නා සුලු මාතෘකාවකි. වසර 2013 දී උපත ලබන්නට සුදුසුම රට කුමක් ද…? යන්න සගරාවේ කවරයේ කතාවට පාදක වී තිබූ මාතෘකාව වූයේය. ස්වාධීන ආර්ථික සමීක්ෂණ සංවිධානයක් විසින් සිදු කරනු ලැබූ සමීක්ෂණයක් ඔස්සේ සකස් කර තිබූ වාර්තාවක් ඇසුරින් ගත් තොරතුරු සමුදායක් සගරාවේ සටහන්ව තිබූ බැවින් මිතුරාත් මාත් දෙදෙනාටම අපේ ආහාර සකස් වනතෙක් එය අපූරු මාතෘකාවක් බවට පත් වූයේ නිරායාසයෙන්ය. උසස් ජීවන තත්ත්වය , උපතේදී අපේක්ෂිත ආයු කාලය , සමානාත්මතාව , දික්කසාද වීම් ආදී වූ පුද්ගල සාධක මෙන්ම වර්ෂාපතනය , පරිසරයේ ගුණාත්මකභාවය ආදී වූ කාලගුණ දත්තයන් පවා අවධානයට යොමු කර සකස් කර තිබූ මෙම සමීක්ෂණයට අනුව 2013 වසරේ දී උපදින්නට සුදුසුම රට ස්විට්සර්ලන්තයයි. උපදින්නට සුදුසුම සෙසු රටවල් දහය අතර ඇත්තේ ඕස්ට්රේලියාව , නෝර්වේ , ස්වීඩන් , ඩෙන්මාර්ක් , සිංගප්පූරුව , නවසීලන්තය , නෙදර්ලන්තය , කැනඩාව සහ හොං කොං දේශයයි. ලොව බලවත්ම රට බවට නිතරගයෙන් පත්ව තිබෙන ඇමරිකාව මෙම දර්ශකයට අනුව 16 වන ස්ථානයට පත්ව ඇති අතර ජර්මනිය ද සම තත්ත්වය ලබමින් එම ස්ථානයට පත්ව තිබුණේය. 2012 වසරේ දී හොඳින්ම දරුවකු හදා වඩා ගන්නට හැකියාව තිබූ රට ලෙස සටහන්ව තිබුණේ කැනඩාවයි.
මගේ මිතුරා ඉතාලිය ඇත්තේ කවර ස්ථානයකදැයි බලන්නට උත්සුක වෙද්දී මගේ දෙනෙත් ද ඉක්මණින්ම දිව ගියේ ලංකාවේ තත්ත්වය දකිනු රිසියෙනි. දර්ශකයට අනුව ඉතාලිය තිබුණේ 21 වැනි ස්ථානයේය. දරුවකු බිහිවීමට නුසුදුසුම රට ලෙස දර්ශකයේ අවසන් ස්ථානය වූ 80 වැනි ස්ථානය ලබා ගනිමින් නයිජීරියාව නම් කොට තිබූ අතර ලංකාවත් , පිලිපීනයත් සම තත්ත්වයේ සිටිමින් 63 වන ස්ථානයේ ස්ථානගත වී තිබුණේය.
2012 වසරේ දෙසැම්බර් මාසයේ නිකුත් වූ අවසාන සඟරාව බැවින් සගරාවේ සෙසු ලිපි ද වෙන් වී තිබුණේ 2012 වසරේ ලෝකය දෙස ආපසු හැරී බැලීම සදහාය. මේ නිසාම සගරාවේ තිබූ සෙසු ලිපි ද කුතුහලය දනවන ආකර්ශනීය තේමාවන් ඔස්සේ සකස් වී තිබුණේය.
ඒ අනුව 2012 වසරේ ලොව යහපත්ම රටවල් එසේත් නැතිනම් අඩුම දූෂණයන්ගෙන් යුත් රටවල් දහය සම්බන්ධයෙන් ද ලියැවුණු අපූරු ලිපියක් එහි වූයේය. ඒ අනුව දූෂණයෙන් තොරවූ රටවල් අතර මුල්ම ස්ථානය ඩෙන්මාර්කයට හිමි වී තිබූ අතර ඊට මූලිකව බලපා තිබුණේ රටේ ජාතික ආදායම ජනතාව වෙනුවෙන් යහපත්ව වැය කරන ලොව විශාලතම සමෘද්ධිමත් සුභ සාධක රට ලෙස එය හදුන්වාදෙමිනි.
දෙවැනි ස්ථානය හිමි තිබූ ෆින්ලන්තය ගැන සටහන් කර තිබුණේ දුෂණ චෝදනාවන් ඉතාම කලාතුරකින් මතුවන රටක් ලෙසය. දුෂණයන්ට එරෙහිව සාර්ථකව වැට බැඳ ඇති රටවල් අතර මුල් තැනක් ගනිමින් ඒ සදහා විනිවිද පෙනෙන ඉතා සාර්ථක ක්රමවේදයක් සකස් කළ රටක් ලෙස ෆින්ලන්තය හඳුන්වා තිබුණි.
පිළිවෙළින් තුන සහ හතර වැනි ස්ථානයන් හිමිකරගත් නවසීලන්තය සහ ස්වීඩනය යන රටවල පාලකයන් දූෂණයට එරෙහිව වැට බැද ඇති අකාරය ද සගරාවේ අපූරුවට විස්තර කර තිබුණේය. පස්වැනි ස්ථානය ගත් සිංගප්පූරුව දීර්ඝ කාලයක් පුරා එක දිගට ලොව අඩුම දූෂණයන් අසන්නට ලැබෙන රටක් ලෙස ස්ථානගත වන්නට හේතු වී ඇත්තේ එරටෙහි ඇති කතා කිරීමේ නිදහස , යහපත් අධිකරණ පාලනය සහ නීතිය අකුරටම ක්රියාවේ යෙදවීමයි.
හය වැනි ස්ථානය ලබා ගත් ස්විට්සර්ලන්තය සටහන්ව තිබුණේ දූෂණයෙන් තොර රටක් ලෙසින් පමණක් නොව සෙසු සංවර්ධිත රටවල් අතර ඉතාම ඉහළ පරිසර සංරක්ෂණයක් පවත්වාගෙන යන රටක් ලෙස ද නම් කරමිනි.හත්වැනි සහ අටවැනි ස්ථානයන් හිමිකරගත් ඕස්ට්රේලියාව සහ නෝර්වේ එම ස්ථානයන්ට පත්ව ඇත්තේ එම රටවල දක්නට ලැබෙන විනිවිද පෙනෙන සුලු ඉහළ ගුණාත්මක බවින් යුත් දේශපාලන සංස්කෘතිය මත පිහිටාය.
නව වන ස්ථානයේ තිබූ කැනඩාව දූෂණයන්ගෙන් අවම වූ රටක් බවට පත්ව ඇත්තේ ලොව වෙන කිසිදු රටකට අසමාන වූ මානුෂික නිදහස සහ මූලික අයිතිවාසිකම් ඉහළින්ම සුරැකීමට කැනඩා රජය සමත් වී තිබූ නිසාය.
දහවන ස්ථානයට පත් ව තිබූ නෙදර්ලන්තය එම දීර්ඝ කාලයක් පුරා පරම්පරානුගත සංස්කෘතික නිදහසකට උරුමකම් කීම දූෂණයන්ගන් අවම වීමට බලපා ඇති බව සගරාවේ සටහන්ව තිබුණි.
මෙම ලිපියේම කොටසක ඉතාලියේ හිටපු අගමැතිවවරයා සිදු කරනු ලැබූ අදායම් බදු වංචාවක් නිසා ඔහුව වසර හතරකට සිර ගෙට යැවූ බවට වූ විශේෂ සටහනක් එම හිටපු අගමැතිවරයාගේ වර්ණ ඡායාරූපයක් ද සමග පළ කර තිබුණේ දූෂණයන්ට වැට බැදීම සදහා ඉතාලි රජය විසින් මෑතක දී සම්මත කරගත් නීතියක යහපත් අංග පිළිබඳව ද විස්තරාත්මක සටහනක් තබමිනි.
දූෂණය සම්බන්ධයෙන් ලංකාවේ තත්ත්වය කෙසේදැයි මගේ මිතුරා විමසද්දී මා ඒ කතාවෙන් ලිස්සා ගියේ අවහන්හලේ සේවිකාව විසින් ගෙන එනු ලැබූ සලාදයක ගුණා ගුණ කියමිනි. මගේම වාසනාවට ලොව දූෂණයෙන් අඩුම රටවල් අතර වූ ඒ ලැයිස්තුවේ ලංකාවට හිමිවන්නේ කවර ස්ථානය ද යන්න නිශ්චය කරගත හැකි කිසිදු සළකුණක් සගරාවේ ලේඛකයන් අතින් ලියැවී තිබුණේ නැත.එය වාසනාවක් ලෙසින් මට සිතුණේ දූෂණ සම්බන්ධයෙන් ගත් විට හොද කැරැට්ටුවක් අපට ඇතැයි සිහිනෙකිනුදු සිතියි නොහැකි වු බැවිනි.
මා ජීවත් වන කැනඩාව පමණක් නොව ඇමරිකාව , ස්වීඩනය , ඩෙන්මාර්ක් , ඕස්ට්රේලියාව හෝ වෙනත් ඕනෑම සමෘද්ධිමත් රටක් ගත් විට මෙම රටවල දැකිය හැකි දියුණුවත් , යහපත් රාජ්ය පාලනය මෙන්ම දූෂණය හා වංචාව අවම වීමටත් බලපා ඇති මූලිකම සහ වැදගත්ම සාධකය වී ඇත්තේ මෙම සියලු රටවලට පොදු වූ ධර්මතාවන් දෙකක් නිසාය. ඒ නීතියේ සමානාත්මතාවය සහ දේශපාලනය පාදඩකරණයට ලක් වී නොතිබීම යන හේතූන් දෙකයි.මේ රටවල නීතියේ සමානාත්මතාව කෙතරම් ඉහළ ද යත් මේ මේ සියලු රටවල අගමැතිවරයා හෝ ජනාධිපතිවරයාටත් , රටේ ජීවත්වන කොයි කවර අන්දමේ පුරවැසියාටත් නීතිය ඉදිරියේ හිමිවන්නේ සමාන තත්ත්වයකි.
ලොව අන් කවර දේසයකින් හෝ සොයා ගත නොහැකි අරුම පුදුම මැජක් තනතුරක් වන ලංකාවේ විධායක ජනාධිපතිවරයාට හිමිවන බලතල වලින් දහයෙන් පංගුවක බලයක්වත් ලොව බලවත්ම රට වන ඇමරිකාවේ ජනාධිපතිවරයාටවත් කිසිදා කිසිදිනක හිමි වී නැත.මිහිපිට සිටි කිසිදු ඇමරිකානු ජනාධිපතිවරයකුට හිමි වූයේ ද නැත. මේ නිසාම නීතිය අතට ගන්නට මේ කිසිදු රටක ව්ය වස්ථාදායකයට හැකියාවක් නැත. මේ සියලු රටවල ආණ්ඩු ක්රම ව්යවස්ථාව උල්ලංඝනය කිරීම බරපතල අපරාධයක් වන්නේය. ඒත් අපේ රටේ විධායකය එසේත් නැතිනම් විධායක බලතල සහිත ජනාධිපතිවරයා කෙසේ හැසිරුණු ද එය පාලනය කිරීමේ බලයක් ව්යස්ථාදායකය හොබවන පාර්ලිමේන්තුවටවත් , අධිකරණයටවත් නැත. එය ලෝකයේ දියුණු යැයි සම්මත එසේත් නැතිනම් ශිෂ්ට යැයි සම්මත කිසිදු රටක දක්නට නැති විකාර සහගත රාජ්‍ය පාලනයකි. මේ නිසාම විධායක ජනාධිපති ධුරයට පත්වන කවර යහපත් පාලකයකු වුව ද දරුණු ඒකාධිපතියකු බවට පත් කිරීමේ හැකියාව අපේ ආණ්ඩු ක්රම ව්යවස්ථාවට ඇති බව අපි අත්දැකීමෙන්ම දනිමු. දියුණු යැයි සම්මත සියලු රටවල ආණ්ඩු ක්රම ව්යවස්ථාව එම රටවල සිවිල් ආගම බවට පත්ව ඇත්තේය. එහෙත් අපේ රටේ ආණ්ඩු ක්රිම ව්යවස්ථාව සම්බන්ධයෙන් එසේ සිතීම පවා ඉල ඇදෙන මට්ටමේ විහිලුවක් වන්නේය. මේ නිසාම අපේ දේශපාලකයන්ට ජනතා ආශිර්වාදය ඇතිවම ආණ්ඩු ක්රම ව්යවස්ථාව යන නාමය තොල් මතුරමින් ජනතාවට වින කටින නාඩගම් පාන්නට ඉඩ කඩ ලැබී තිබේ.
ලොව දියුණු යැයි සම්මත සියලු රටවල අධිකරණ නිදහස ද වචනයේ පරිසමාප්තියෙන්ම උත්තරීතරය. ඒත් අද වන විට ලංකාවේ පාලක රජය අධිකරණයේ තීන්දු පිළි නොගන්නා බව නිළ වශයෙන්ම ප්රසකාශ කර ඇති බැවින් මිනිසුන් පිළිසරණ සොයා අධිකරණය ඉදිරියට යනු වෙනුවට අද සිදුව ඇත්තේ තම නිදහස සොයා අධිකරණයට මිනිසුන් ඉදිරියට යාමටය. මුලු ලොවම තවත් නව වසරකට පා තබන මේ මොහොතේ ලංකාවේ අප ලොව දූෂිතම රාජ්ය පාලනයන් ගුරු කොට ගැනීම කවර නම් වූ අවාසනාවක් ද…?
එදා සිටම අදත් හෙටත් අපේ ජනතාව රැවටිය හැකි අපූරු වචන සමුදායක් අපේ පාලකයන්ටත් , අපේ මාධ්යන්ටත් තිබේ. ඒ “ පාර්ලීමේන්තුවේ උත්තරීතරභාවය ” සහ “ ජනතා පරමාධිපත්යය ” නම් වූ හිස් වචන දෙකයි. ඉතාම කීකරු ජනතාවක් වූ ලාංකීය පුරවැසියා කිසිදා කිසිදිනක උත්තරීතරවන්නේ කුමක්දැයි එහෙමත් නැතිනම් තමන්ට හිමිව ඇති මේ පරමාධිපත්යය කියන්නේ කුමක්දැයි පෙරළා ප්රශ්න නගන්නේ නැත. ඒ නිසාම මේ දේශපාලක “ උත්තරීතර ” මිනිසුන් විසින් ජනතා පරමාධිපත්යය ලබමින්ම රට “ උත්තරීතර ආගාධයක ” ට දක්කමින් තිබේ.
දිනපතා පුවත්පතක් බැලූ විට සියලු හොර මැරකම් දූෂණයන්ට මුල් වී ඇත්තේ ජනතා පරමාධිපත්යය ලැබූ මේ උත්තරීතර මිනිසුන්ය. කිරි සුවද නොගිය දැරියන් දූෂණය කරනුයේ නිකම්ම නිකම් පළාත් සභා මන්තිරිවරුන් නොව පළාත් සභා සභාපතිවරුන්ය. උත්තරිතර දේශපාලකයකුගේ වාහන අනතුරක් සිදුවූ විට එම වාහන තුළින් මතු වන්නේ කිලෝ ගණනින් ගංජා සහ නීති විරෝධී ටී 56 ගිනි අවිය. තවත් උත්තරීතර ඇමති ආචාරියකු සිය උත්තරීතර පුතණ්ඩියා සමග එක්ව මුලු ලංකාවේම දරුවන්ට මත් කුඩු සහ එක්ස්ටසි නම් වූ මත් පෙති බෙදා දෙන අතර මුන්නේශ්වරම් කෝවිලේ බිලි පූජාවන්ට එරෙහිව බජාර් සටන් පාඨ නගන්නේ ජාතියේ දරුවන් රැක ගැනීමට වඩා එළුවන් රැක ගැනීම රජයේ ප්රතිපත්තිය නිසා විය යුතුය. දහම් පාසල් විභාගයක්වත් හරිහැටි පවත්වා ගත නොහැකි වූ ලොව අසාර්ථකම අධ්යාපන ඇමතිවරුන් දෙබානක් ඉල්ලා අස්නොවී තව දුරටත් සුදු රෙද්ද හඳින්නට තරම් සදාචාර සම්පන්න වී ඇත්තේ මේ උත්තරීතරභාවය නිසා විය යුතුය. ඒ නිසාම ඉල්ලා අස්වනු වෙනුවට පිට වූ ප්රශ්න පත්තර සදහා නොමිළයේ ලකුණු දීමේ පිළිවෙළක් ලොවට හඳුන්වා දුන් මෙවැනි උත්තරීතර දේශපාලුවන් සිටින රටක් ඇතුළත් කළ හැකි දර්ශකයක් තවම හඳුන්වා දී නොතිබීම සැබැවින්ම වාසනාවකි. රටේ දිග පළලවත් හරිහැටි කියා ගන්නට නොදොන්නා තොදොල් නලු නිළියන් රටේ ජනතාව බරපතල තීන්දු තීරණ ගන්නේ ඔවුන්ගේ උත්තරීතර භාවය නිසා නම් මෙගා ටෙලි කෝලම්වල රගපාන සියලුම නලු නිළියන් උත්තරීතර විය යුතුය. සියලු මත් කුඩු ජාවාරම්කරුවන් , හරක් හොරුන් , මැරයන් පවා උත්තරීතර විය යුතුය. මන්ද යත් ලංකාවේ වර්තමාන දේශපාලය යනු මේ සකල විධ නාඩගම්කරුවන්ගේ එකමුතුවක් බැවිනි. රටේ හතරවැනි පුරවැසියා වන අග විනිසුරුවරිය සිය තනතුරට සුදුසුදැයි සොයා බලා නීතිය විග්රහ කරන්නට “අට සමත් උගතුන් ” සහ දත් දොස්තරවරුන් සහභාගි වන තරමටම මේ උත්තරීතරභාවය දෝර ගලා යමින් තිබේ.
යුද්ධය නිමා වූයේ යැයි පම්පෝරි ගැසුව ද ජනතාව මත මිරිකී ඇති ජීවන බර යුද්ධය පැවැති දශක තුන තුළ දී ම නොතිබූ තරම්ම දරුණුය. පාන් ගෙඩියට බදු පටවන අතරේ සුඛෝපභෝගී මෝටර් රථවල බදු ඉවත්කරන ලොව එකම රට ද ලංකාවට බවට සැකයක් නැත. අනෙත් අතට යුද්ධය නිමා වී වසර තුනක්ම ගත වුව ද අද වන විට ද 11,000 කට අධික පිරිසක් මේ වනවිටත් යා යුතු මගක් නොමැතිව කඳවුරුවල දුක්විඳින බව මෑතකදී නිකුත් වූ අලුත්ම අන්තර්ජාතික මානව හිමිකම් වාර්තාවේ පවා සදහන් කර තිබේ. පිටරට යවන බව කියමින් අහිංසක මිනිසුන්ගෙන් කෝටි ගණනින් මුදල් වංචා කරමින් පරණ යකඩ බඩු පවා වංචාකොට විකිණූ අධමයන් විවෘත වරෙන්තු තිබියදීත් රාජ්ය මාධ්ය ආයතනවල ඉහළම ධුරයන් හොබවන ලොව එකම රට ද ලංකාවය.
තවත් වසරක් ගෙවී යමින් අලුත් වසරක් උදා වූ මේ මොහොතේ මුලු ලොවම ඉදිරියට පා තබද්දී මේ උත්තරීතර මිනිසුන්ට පින් සිදු වන්නට මේ වනවිට අපි ගල් යුගය වෙත හැල්මේ දුවමින් සිටිමු. රට මෙවැනි අගාධයක සිරගත වූයේ හිටි හැටියේම නොවේ. එය ගෙවී ගිය දශක ගණනාව පුරාම සිදූ වූවක් බැවින් රට වැටී ඇති ආගාධයේ පීතෘත්වයේ වගකීමෙන් ගැලවෙන්නට විපක්ෂයට ද කිසිසේත්ම හැකියාවක් නැත.
දශක ගණනාවකට පෙර මහජන නියෝජිතයන් ලෙස තේරී පත් වූ පිරිස කිසියම් ආකාරයක උගත්කමින් හෙබි පිරිසක් වූහ. මේ නිසාම ඒ යුගයේ හැන්සාඩ් වාර්තා පවා ගැඹුරුය. හරවත්ය. එහෙත් අද වනවිට ලංකාවේ දේශපාලනය යනු පාදඩ පැලැන්තිය නියෝජනය කරන්නක් බවට පත් වී ඇත. සොත්ති උපාලිලා කෘත්යා ධිකාරී මණ්ඩලයේ සිටි යුගය නිමාවී ඔවුන් උත්තරීතර යැයි කියන පාර්ලිමේන්තුව නියෝජනය කරන යුගයකට රට අවතීර්ණ වී ඇත. දේශපාලනයේ මේ පාදඩකරණය තුළ 2013 වසර දරුවකු උපදින්නට තබා දරුවකු පය ගසන්නටවත් සුදුසු රටක් ලෙස ලංකාව කිසියම් දර්ශකයකට ඇතුළත් කළ හැකි වේවි ද…?
මේ ආකාරයට මං මුළා වී ආගාධයක ගිලී යන රටක් ගොඩ නගන්නට හැකියාව ඉතිරිව ඇත්තේ ආයතන තුනකට පමණි. එනම් අධිකරණය , විපක්ෂය සහ ජනමාධ්ය යි. ඉහතින් සදහන් කළ ලෙස අධිකරණයට පවා අද මහජනතාවගේ සරණ පතනු මිස අන් සරණක් නැත. විපක්ෂයක් කියා යමක් රටේ නැති බැවින් ඒ ගැන සටහන් කිරීම පවා වචන අපතේ යැවීමකි. ස්වාධීන සහ නිදහස් ලෙසින් තමන්ම හඳුන්වා ගන්නා සියලුම මාධ්යයන් ලේක් හවුස් මුද්රණ යන්තරයෙන් බෙදා හරින පත්තර කඩමාලුවලට වඩා වෙනස් වන්නේ නමින් පමණි.
ඉතින් එවන් වූ රටකට තවත් අලුත් අවුරුද්දක් උදා වී තිබේ.
උදා වූ වසර සුභ නව වසරක් වන්නේ “ උත්තරීතරභාවය ”සහ “ පරමාධිපත්යය ”යන වචන දෙක මේ වසර තුළ දීත් දොහොත් මුදුනින් පිළිගන්නට අපේ පුරවැසියන් කොයි තාක් දුරකට සිත හදා ගෙන ඇති ද යන බරපතල කාරණය මත පමණක් බව අවසාන වශයෙන් සටහන් කළ යුතුව ඇත.
බොහොම වටින ලිපියක්.
අඩුවකට තියෙන්නෙ සාක්ෂරතාව ඉහල අගයක තියෙනව කියන අපේ රටේ ඉන්න ජහමනය ගැන අදහසක් නොලියවුන එක විතරයි..
මටනම් හිතෙන්නෙ අපේ රට මෝඩම මෝඩ ගෝත්‍රික ජාතියක් ඉන්න රටක් නිසයි මෙහෙම වෙලා තියෙන්නෙ. යමක් කමක් තේරෙන යමක් කරන්න පුලුවන් හැමදෙනාමත් පිටරටවල් වල පදිංචියටම ගිහින් ඒවයෙ ඉඳගෙන සීතල මැකෙන්න ලංකාව ගැන වාද විවාද කරන එක විතරනෙ කරන්නෙත්.
හරක් හොරුන් , මැරයන්, ස්ත්‍රී දූෂකයන් ජන්දෙ ඉල්ලන් එනකොට පොල්පිතතෙන් ගහල එලවන්න සංවිධානය වුන පිරිසක් නැති එකනෙ ප්‍රශ්නෙ වුනේ
රටට ආදරේ ඇති රටට සේවය කරන්න පුලුවන් අවංක තරුණ අය කොච්චර ඉන්නවද හූල්ල හූල්ල…සෝම හාමුදුරුවො එකපාරක් ජන්දයක් වෙලාවෙදි ජන්දෙ කටුගාල දාල ඒ බලය පෙන්වල මග පාදන්න හැදුවෙ ඔය ලෝක හොරු ගහල එලවන්න තමයි….
කෝ ඉතින් ….අනේ අපේ කීකරු ජහමනය….
කැමතියිකැමතියි
ඒක ඇත්ත… අපේ සාක්ෂරතාව කියන්නේ අකුරු කියවන්න පුලුවන් පිරිසක් රටේ ඉන්නවා කියන එක විතරයි. අකුරු කියවන්න පුලුවන් ඒ පිරිසගේ බුද්ධිය මුහුකුරා ගිය බවක් නම් පේන්න නැහැ. බොහොම ස්තුතියි අදහස්වලට.
කැමතියිකැමතියි
a kiyawana akuruwalin hadena wachanaye theruma hariyata igenagannakam api ithin mehema thmai. dan nam hondatoma athi. wenasak ona ikmanin
කැමතියිකැමතියි
වෙනසක් ඇති කළ හැකි කෙනෙක් නැති වීම ජාතියේ අවාසනාවක්…! බොහොම ස්තුතියි අදහස්වලට.
කැමතියිකැමතියි