සියල්ලටම හේතුවක් ඇත….!

කැනේඩියානු සාහිත්‍යය ගැන අප දන්නේ බොහොම අඩුවෙන්. ඒකට හේතු කිහිපයක් ම තියෙනවා. මූලිකම හේතුව ලෝකයේ සෙසු ජාතීන් එක්ක සංසන්දනය කරද්දී කැනඩාව ඉන්නේ තවමත් ළදරු අවදියක වීම. (මෙතැනදී ළදරු අවදියක කියලා කිව්වේ ජාතියක් විදියට දිග ඉතිහාසයක් නැතිය යන අදහසින් පමණයි. අනෙක් සෑම අංශයකින්ම කැනඩාව ඉන්නේ සංවර්ධිත රටවල් අතර ඉහළම තැනකයි.) ඒ නිසාම රුසියානු , ප්‍රංශ , බ්‍රිතාන්‍යය වැනි ලෝක සාහිත්යයේ දැවැන්තයන් තරම් කැනේඩියානු සාහිත්‍යය කතා බහට ලක්වෙන්නේ නැහැ.

මෑත යුගයේ එළි දැක්වුණු කැනේඩියානු ලේඛකයන් කිහිප දෙනෙකුගේ කෙටිකතා නිර්මාණ සහිත පොතක් කියවන්නට ලැබුණේ අහම්බයෙන්. මේ කෙටිකතා සියල්ලම කොයි තරම් රසබර වූවා ද කියනවා නම් හොද පොතක් කියවීමෙන් ලැබෙන අසීමිත ආස්වාදය ඒ හැම කෙටිකතාවකින්ම නොඅඩුව විදින්නට ලැබුණා. මේ කෙටිකතා හැම එකකම එක් පොදු සාධකයක් තිබුණා. ඒ තමයි ඒ හැම කෙටිකතාවක්ම බොහොම සියුම් හැගීමක් වස්තු විෂය කරගෙන තිබීම. මේ පොතට අන්තර්ගත වෙලා තිබුණු හැම කෙටිකතාවක්ම එකිනෙකට එකක් නොපරදින තරම් රසබර වුවත් එයින් එක් කෙටිකතාවක් මගේ සිත වඩාත්ම තදින් පැහැර ගත්තේ එයට පදනම් වෙලා තිබුණු හිත සසල කරවන අත්දැකීම වෙන්න පුලුවන්.

මෙම කෙටිකතාවේ රචකයා වන Dan Ross නවකතා සිය ගණනක කතුවරයෙක් වන අතර ඔහු විසින් රචනා කරන ලද කෙටිකතා සංඛ්‍යාව පන්සියයකට වැඩියි. එයින් එක් කෙටිකතාවක් වන Always a Motive නම් කෙටිකතාවේ පරිවර්තනයක් මෙසේ පළ කරන්නට සිතුණේ මා සසල කළ ඒ අත්දැකීම ඔබත් එක්ක බෙදා ගැනීමේ අරමුණින්. (මේ පරිවර්තනයෙන් ඒ හැගීම ඔබ තුළ ඇති නොවුණොත් එය මගේ පරිවර්තනයේ දුර්වලකමක්  බව ද අවධාරණය කරන්නට කැමැතියි).

 සියල්ලටම හේතුවක් ඇත….!

නිල් පැහැගත් මළානික ආලෝකය විහිදුවන වීදි පහන් කණුව යට ඔහු සුළු වේලාවක් රැඳී සිටියේය. සුව නින්දෙහි පසුවන දරුවා ඉතාම පරිස්සමින් සිය බාහුවේ හොවා ගත් ඔහු දරුවාගේ අවිහිංසක මුහුණත් , මෘදු කෙස් රොදත් දෙස යළිත් වරක් නෙත් යොමු කළේ උතුරා ගිය සොවින් යුක්තවය.

හුදෙකලා වූ පාළු මාවතේ ඔහු මොහොතක් රැඳී සිටියේ කළ යුත්තේ කුමක් දැයි හරිහැටි වටහා ගත නොහැකි වූ අයුරිණි. ඔහු තරුණය. ඇඳුම් වැරහැලි වී ගොසිනි. එය වසන්තයේ උණුසුම් රැයක් වූ අතර ඔහු හිස් වැස්මක් පැළඳ සිටියේ නැත. තද කළු පැහැති කැරලි කෙස් රොදින් සහ සුදුමැලි වී ගිය මුහුණින් යුක්ත වූ ඔහුගේ ස්වභාවයෙහි දැකිය හැකි වූයේ කිසියම් අස්වාභාවික බවකි.

හදිසියේම සිය හිත හදාගත් ඔහු හුදෙකලා වීදිය ඔස්සේ ඇවිද ගියේ ගඩොලින් බැඳුණු තට්ටු නිවාස ගොඩනැගිල්ලක් වෙතය. විවරව තිබුණු දොරෙන් ගොඩනැගිල්ල ඇතුළට පැනගත් ඔහුගේ දෙනෙත් ලියුම් පෙට්ටිවල සටහන් කර තිබූ නිවැසියන්ගේ නාම පුවරු අතර සැරි සරන්නට වූයේ අසුරු සැනිනි. මිලර්ස් වාසය කරන්නේ දෙවැනි මහලේ බව දුටු ඔහු ඒ සැනින් ම දෙවැනි මහළ වෙත ගමන් කරන්නට වූයේය.

මිලර්ස්ගේ නිවසේ විදුලි සීනුව නාද කිරීමෙන් පසු මොහොතක් ගෙවී ගියේය. කොරිඩෝවේ අඩ අඳුරු ආලෝකය අතරේ ඔහු එහි රැඳී සිටියේ ළයෙහි හොවා ගත් දරුවා ද අතැතිවය. විවර වූ දොර පියන්පත් අතරින් එළියට ආ බැනියමකින් සහ කලිසමකින් සැරසී සිටි තඹ පැහැගත් කෙස් රොදින් යුත් තරුණ මිනිසා ප්‍රශ්නකාරීව මේ අමුත්තා දෙස බැලුවේ නිදි බර දෑසිනි.

“ මෙන්න ඔයාගේ පුතා… ” ඔහු සෙමෙන් පැවසුවේය. “ එයාට කරදරයක් නැහැ… එයා හොඳින්…” භීතියට පත්ව සිටි තරුණ පියාගේ මුහුණ පුරා ඔහුගේ දෙනෙත් දිව යමින් තිබිණ.

ඉකි බිඳුමක් වැනි හඬක් නංවමින් දරුවා සිය දෑතට ගත් මිලර්ස් තමන් සතු වූ ඒ මහාර්ඝ වස්තුව ද රැගෙන තම මහල් නිවාසය තුළට දිව ගියේ ක්ෂණික බියපත් බැල්මක් අමුත්තා වෙත හෙළමිනි.

ඒ මොහොතේම තරුණ අමුත්තා ද සෝපාන පෙළ ඔස්සේ වහ වහා පහළට ඇදුණේ කැළඹීමට පත් වූ හැඟීම් සමුදායක් ද සමගිනි.

සියල්ල එකවර සිද්ධ වූයේ ඔහු මහල් නිවාස ගොඩනැගිල්ලෙන් පිට වී වීදිය දිගේ ඇවිද මොහොතේය. අඳුරු සෙවණැලි තුළින් ඡායාවන් මතුව එන අතරේ , දෑස් නිලංකාර කරවමින් දීප්තිමත් ආලෝක ධාරාවන් එල්ල වන්නට වූයේ ඔහුගේ දෑත් දැඩි ග්‍රහණයකට ලක්වද්දීමය.

“ බේරෙන්න හදන්න එපා… ”දැඩි හඬක් ඔහුට අනතුරු හැඟෙව්වේය.  “ මේ පොලිසියෙන් ”

පොලිස් මූලස්ථානයට යාමට ගත වූයේ  විනාඩි කිහිපයක් පමණි. පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ බාහු යුග්මයන්ගේ ග්‍රහණයෙන් යුක්තව පටු ප්‍රවේශ මාර්ගය ඔස්සේ ඇවිද යමින් ආලෝකවත් වූ විශාල ගොඩනැගිල්ලට ඔවුන් ඇතුලු වෙද්දී පුවත්පත් වාර්තාකරුවෝ රැසක් පොලිස් රථ පිරිවරා ගනිමින් සිටියහ.

අවසානයේ දී ඔහුට නතර වන්නට සිදු වූයේ මිනිසුන් තිදෙනෙකු පිරිවරාගෙන විශාල කාර්යාල කාමරයක් තුළය. මුලදී ම ඔහුට අනතුරු හැඟවීමක් සිදුකළ තැනැත්තා එම දැඩි හඬින් ම යළිත් ඔහු ආමන්ත්‍රණය කළේ පුළුල් වූ මේසයට එපිටින් හිඳගෙනය. “ මම ඉන්ස්පෙක්ටර් වින්ටර්ස්. කතාව මුලින් ම තමුන්ගෙන් ම පටන් ගන්න එක හොඳයි… ඒක අපි හැමෝටම පහසුවක් වේවි. විශේෂයෙන් ම තමුන්ට. ”

කැරලි ගැසුණු කළු පැහැති කොණ්ඩයෙන් යුත් තරුණයා සිය දෙතොල තෙත් කර ගත්තේය. “ ඔයගොල්ලෝ හිතන්නේ මම අර ඒ දරුවාව පැහැර ගත්තා කියලයි…. ඒත් ඔයාලට වැරදීමක් වෙලා තියෙන්නේ. ”

පොලිස් පරීක්ෂකවරයාට තිබුණේ පුළුල් මුහුණකි ; තියුණු මුවකි. එහෙත් ඔහුට මෙවර සිනහ ගියේය.

“ ඒක අඩුම තරමින් හොඳ ආරම්භයක්වත් නෙමෙයි… ” ඔහු පෝරම කොළයක් එළියට ඇද පෑනක් අතට ගත්තේය. “ නමයි… ලිපිනයයි…? ”

“ ජෝ මැනෙටි , අංක 284 , හැත්තෑ නමය වීදිය ” ඔහුගේ ස්වරය උද්යෝගිමත් නැත. එහි ගැබ්ව ඇත්තේ අපේක්ෂා භංගත්වයකි.

පොලිස් පරීක්ෂකවරයා හිස සෙළවූයේය. “ රැකියාව…? ”

“ මම සංගීතවේදියෙක් … ඒත් දැන් මම ඒක කරන්නේ නැහැ.. ”

“ විවාහ වෙලා ද ….? ”

ජෝ හිස සෙළවූයේය. “ ඔව්…. ඒත් දැන් එයා මාව අත්හැරලා ගිහින්. එයා දැන් පදිංචි වෙලා ඉන්නේ වෙන තැනක ”

පොලිස් පරීක්ෂකවරයා හැම දෙයක් ම සටහන් කර ගත්තේය. ඉන් අනතුරුව ඔහු එක එල්ලේ හිස ඔසවා ඔහු දෙස බලමින් මෙසේ ඇසීය. “ මොකක්ද හේතුව…? මම අදහස් කරන්නේ මුලින් ම ළමයා පැහැර ගත්ත එකයි පස්සේ ආපහු ඒ විදියට ළමයාව ගෙනත් භාර දුන්නු එක ගැනයි… ”

ජෝ ගැඹුරු හුස්මක් ගත්තේය. “ මම ළමයව පැහැර ගත්තේ නැහැ… මම ළමයාව ගෙනල්ලා භාර දුන්නා විතරයි…”

අඳුරු පැහැති පෙනුමකින් යුත් තරුණයා දෙපැත්තෙන් සිටි තම සහායකයන් දෙදෙනා දෙස පොලිස් පරීක්ෂකවරයා බැල්මක් හෙළුවේය. ඉන් පසුව ඔහු සිය සිරකරුවා දෙස හෙළුවේ මිත්‍රශීලී බැල්මක් නොවේ. “ දැන් අපි ඔය තේරවිලි කතා නවත්වමු… මොකක්ද තමුන්ට කියන්න තියෙන්නේ…? ”

ජෝ යාන්තමින් සෙළවුණේය. “ මම කාරෙක එළව එළවා හිටියේ… මම හුඟාක් දුර කාරෙක අරගෙන ගියා… ටික වෙලාවකට මම නතර වෙලා ඉන්න තැනින් ඈත් වෙලා ඉන්නයි මට ඕන වුණේ. මම සුපර් මාර්කට් එක ළඟ කාරෙක නතර කරලා බඩු වගයක් අරගෙන එන්න ගියා. මම ඇවිත් බලනකොට දරුවා මගේ කාරෙකේ ඉස්සරහ සීට් එකේ හිටියා. එතැන පොඩි සටහනක් තිබුණා මේ මිලර්ගේ දරුවා කියලා ”

පොලිස් පරීක්ෂකවරයා අවිශ්වාසයෙන් හිස සෙළවූයේය. “ ඒ සටහනට මොනව ද කළේ…? ”

“ මම ඒක දරුවාගේ කමිසයෙන් ගලවලා ගත්තා ” ජෝ පැවසුවේය. “ දරුවා වෙහෙස නිසා අඬ අඬා තමයි හිටියේ. ඒ නිසා මම එයාට කිරි ටිකක් දුන්නා. ඊට පස්සේ මම ඒ සටහන ඉරලා දැම්මා. ”

“ ඔය කිවුව හැම දෙයක්ම බොරු මනස්ගාත නෙමෙයි කියලා ඔප්පු කරන්න නම්… ” තවත් කඩදාසියක් සොයන අතරේ කටහඬ අවදි කළ පොලිස් පරීක්ෂකවරයා , “ අපිට කියන්න තමුන් ගිය කඩයේ නමයි , තැනයි , ඔයා එතැනට ගිය වෙලාවයි… ”

ජෝ එම තොරතුරු ලබා දුන්නේ මෙසේ ද කියමිනි. “ ඊට පස්සේ දරුවත් අරගෙන කාරෙකින්ම මම ඉන්න තැනට ආවා.. ”

“ හොඳයි දැන් අපි එතැනට එමු ” පොලිස් පරීක්ෂකවරයා එසේ කීවේ තමන් ලියාගත් තොරතුරු ඇතුළත් කඩදාසිය තම සහායකයකුට පවරා ඔහුට මෙසේ ද අණ දෙමිනි. “ මේ ගැන හොයලා බලන්න ”.

පොලිස් පරීක්ෂකවරයා යළිත් සිය අවධානය ජෝ වෙත යොමු කළේය. “ මිලර්ගේ දරුවා පැහැර ගෙන ගිහින් කියන එක තමුන් නොදැන හිටියා වෙන්න බැහැනේ…? ”

අඳුරු පෙනුමැති තරුණයා හිස සෙළවූයේය. “ මම හවස කාරෙක එළවනකොට කාර් එකේ රේඩියෝ එකෙන් ඒ ගැන මට අහන්න ලැබුණා. ”

සිය දෑත් එකිනෙක තදින් පිරිමැදි පොලිස් පරීක්ෂකවරයා මේසය ඉදිරියට නැඹුරු වූ අතර ඔහුගේ ස්වරයෙහි ගැබ්ව තිබුණේ බරපතල චෝදනාත්මක ස්වරූපයකි. “ ඒ කියන්නේ මෙච්චර දෙයක් වෙලත් දරුවා තමුන් ළඟ පැය ගාණක් තියාගෙන හිටියා මිසක් වගකිව යුතු තැනකට ගෙනි යන්න කිසිම උත්සාහයක් ගත්තේ නැහැ. මේ කතාන්දරයට මම රැවටෙයි කියල ද තමුන් හිතුවේ…? ”

ජෝ දෙවුර හැකිළුවේය. “ මම කියන්නේ ඇත්ත ” , ඔහු පැවසුවේ සාවධානවය.

“ මම හිතන්නේ තමුන් මිලර්ගේ දරුවා පැහැරගෙන අන්තිමට තමුන්ට ම තමුන් කරන්නේ කියන්නේ මොනවද කියන එක හිතාගන්න බැරිව ගියා…” පොලිස් පරීක්ෂකවරයා ගිගිරුවේය. “ ඒකයි තමුන් ආපහු සැරයක් දරුවව එයාගේ දෙමව්පියන් ළඟට අරගෙන ගියේ.”

පොලිස් පරීක්ෂකවරයාගේ මේසය මත ඇති දුරකථනය නාදවූයෙන් රිසීවරයා ඔසවා මිනිත්තු කිහිපයක් එයට සවන් දුන් පොලිස් පරීක්ෂකවරයා කිසියම් දෙයක් වටහා ගත්තාක් මෙන් තරහින් ගෙරවූයේය. අවසානයේ දී රිසීවරය තබා ඔහු ජෝ මැනෙටි දෙස ඔරවා බැලුවේ සිය දෙනෙත්වලින් අමුතුම ආකාරයේ දීප්තියක් මවමිනි. එම දීප්තිය කිසියම් ආකාරයක අවබෝධයක් නිසා ඇති වූවක් බව පෙනෙන්නට තිබිණ.

“ ජෝ ” ඔහු කටහඬ අවදි කළේය , “ ඒ කෝල් එක ආවේ ඔයාගේ මහල් නිවාසයෙන්. අපේ අයගෙන් කෙනෙක් ඔයා ගැන සමහර දේවල් හොයා ගෙන තියෙනවා. මාස කීපයකට කලින් ඔයාට ඔයාගේ අවුරුදු හයේ පුතා නැතිවුණා කියන්නේ ඇත්ත ද…? ”

ඒ ප්‍රශ්නයත් සමග ජෝ මැනෙටි ඊට ප්‍රතිචාර දැක්වූයේ අස්වාභාවික ස්වභාවයකිනි. ඔහුගේ මුහුණ වඩාත් සුදුමැලි වූ අතර සිය අසුනේ හරි බරි ගැසුණු ඔහුගේ මුහුණෙන් කිසිදු ආකාරයක හැඟීමක් පළ නොවීය. ඔහු පිළිතුරු දුන්නේ ඒකාකාරී ස්වරයකිනි. “ පාරේ ගිය ට්‍රක් එකකට හැපිලයි පුතා නැතිවුණේ… ඒක වුණේ මම රස්සාවේ වැඩකට ටවුන් එකෙන් පිටට ගිහින් හිටිය වෙලාවකයි. ”

පොලිස් පරීක්ෂකවරයාගේ ගාම්භීර මුහුණේ වූයේ විනිවිද යන බැල්මකි. සිය මේසය මතුපිට වෙත නෙත් යොමු කළ පොලිස් පරීක්ෂකවරයා කටහඬ අවදි කළේ සිහින් ස්වරයෙනි. “ මේ රස්සාවෙදි පුලුවන් තරම් මානුෂික වෙන්න මම උත්සාහ කරනවා කියන එක තමුන්ට කියන්න මං කැමතියි ජෝ…ඒක හැම වෙලාවෙදිම කරන්න පහසු දෙයක් නෙමෙයි, ඒත් මම එහෙම කරනවා. තනියම දරුවෙක් හදා වඩා ගන්න එක ඒ තරම් ලේසි වැඩක් නෙමෙයි කියලා මං දන්නවා. ඒත් හැම සාක්ෂියක් ම තියෙන්නේ තමුන්ට විරුද්ධවයි. හුඟාක් වෙලාවට තමුන් වගේ පසුබිමක් තියෙන කෙනෙක් මේ වගේ දේකට ගෑවුණාම සිද්ධ වෙන දේ තමයි මෙතැන වෙලා තියෙන්නේ. බොහොමයක් වෙලාවට ඒක සිද්ධ වෙන්නේ අම්මා කෙනෙක්ට තමගේ දරුවෙක් නැති වුණාමයි. තමුන් මං කියන එක අහගෙන ද ඉන්නේ…?

ජෝ ඔහු දෙස බැලුවේ විඩාපත් දෑසිනි. “ මම ඒක කළේ නැහැ ඉන්ස්පෙක්ටර් ” , ඔහුගේ හඬෙහි ගැබ්ව තිබුණේ මෘදු ස්වරයකි.

“ හොඳයි… ” පොලිස් පරීක්ෂකවරයා විඩාපත් ස්වරයෙන් කතාව ඇරඹුවේය. “ දැන් අපි බලමු ළමයා පැහැර ගත්ත වෙලාවේ තමුන් හිටියේ කොහේද කියලා. අද උදේ එකොළහයි තිහට විතර තමුන් හරියට ම  හිටිය තැන කියමු බලන්න ..? ”

ජෝ හිස පහතට නැමුවේය. “ මම දන්නේ නැහැ. කොහේ හරි තැනක කාරෙක එළවන ගමන්…”

“ ඒක ඒ තරම් සාර්ථක පිළිතුරක් නෙමෙයි… එහෙම නේද …? ” පොලිස් පරීක්ෂකවරයාගේ කටහ‍ඬෙහි ගැබ්ව තිබුණේ තරමක උපහාසාත්මක ස්වරයකි. “ ළමයව අරගෙන ගිහින් තියෙන්නේ එයාගේ මහල් නිවාසය ඉස්සරහින් එකොළහයි තිහත් එකොළහයි හතළිස් පහත් අතර වෙලාවේ. ඒ වෙලාවේ තමුන් වෙන තැනක හිටියා කියලා ඔප්පු කරන්න බැරි වුණොත් තමුන්ට සිද්ධ වෙන්නේ ලොකු අමාරුවක වැටෙන්න.”

තරුණයා යළිත් හිස එසවූයේය. “ මේ කිසිම දෙයක් ඔප්පු කරන විදිහක් ගැන මට පේන්නේ නැහැ ” ඔහු පැවසුවේය. “ මගෙ ඔළුවට ලොකු බරක් දැනුන ම මට මගේ කාමරයේ ඉන්න පුළුවන් කමක් නැහැ. මම කාරෙක අරගෙන එළවනවා. කොහොට හරි… මගෙ ඔළුවට සහනක් දැනෙනකම් නිකම් ඔහේ කාරෙක එළවනවා…”

“ තමුන් අද ගියේ කොහාට ද…? ”

“ ටවුන් එකෙන් උතුරු පැත්තට. මම ගම්මානය පැත්තේ ටිකක් ඈතට ගිහින් ආපහු අනිත් පැත්තට ආවා.”

“ ඒකත් එහෙම ද…? ”පොලිස් පරීක්ෂකවරයා පැවසීය. “ එතකොට තමුන් එක්ක කවුරුත් හිටියේ නැද්ද…? තමුන්ව දන්න අඳුනන කවුරුවත් මුණ ගැහුණේ නැද්ද…? එහෙමත් නැතිනම් පෙට්‍රල් ෂෙඩ් එකක හරි රෙස්ටෝරන්ට් එකක හරි පොඩ්ඩකටවත් නැවතුණේ නැද්ද…? ”

“ කාරෙකේ පෙට්‍රල් පිරිලා තිබුණා. ඒ වගේම මේ දවස්වල මට වැඩිය කෑමට ප්‍රියක් නැහැ.. ”ඔහුගේ ස්වරය අධෛර්යවත්ය.

ප්‍රශ්න කිරීම දිගින් දිගට ම සිදු වූ අතර ලැබුණු පිළිතුරුවල ගැබ්ව තිබුණේ ආරම්භයේ දී මෙන්ම බලාපොරොත්තු විරහිත ස්වභාවයකිනි. බොහෝ වේලාවකට පසුව පොලිස් පරීක්ෂකවරයා බාහුවෙන් ඔහු ග්‍රහණය කරගෙන කාමරයේ දොර වෙත රැගෙන ගියේය. කොරිඩෝවේ රාජකාරියේ යෙදී සිටි නිල ඇඳුම් ලා ගත් පොලිස් නිලධාරියා ඔහු සාමාන්‍ය සිර මැදිරියක් වෙත ගෙන ගියේය.

පසුදා උදෑසන දහයට ඔහු නැවතත් පොලිස් පරීක්ෂකවරයාගේ කාමරයේ තිබූ මේසය අනෙක් පැත්තේ හිඳ ගෙන සිටියේ යළිත් වරක් ඒ විසල් මුහුණැති මිනිසා ඉදිරිපිටය.

පොලිස් පරීක්ෂකවරයා ඉදිරියට නැමුණේය. “ මැනෙටි… මම කැමතියි තමුන්ගේ කතාන්දරයට ආපහු එක සැරයක් යන්න…. තමුන් ඊයේ උදේ නැගිට්ට වෙලාවේ ඉඳන් වෙච්ච දේවල් හැම එකක් ම.”

සිය අසුනේ විඩාපත්ව එල්ලී වැටුණු කළු පැහැති හිසකෙසින් යුත් තරුණයා සිය සුපුරුදු කතාන්දරය යළිත් වරක් කටපාඩමින් මෙන් කියන්නට වූයේ කෙතරම් වේදනාබර සහ විඩාපත් පහත් හඬකින් ද යත් ඔහු කී දේ තෝරා බේරා ගන්නට පොලිස් පරීක්ෂකවරයාට තරමක වෙහෙසක් ගන්නට සිදු විය.

“ මම කිව්ව සේරම ඇත්ත ” අවසානයේ දී ඔහු කීවේය.

පොලිස් පරීක්ෂකවරයා සිගරැට්ටුවක් දල්වා ගත්තේය. “ තමුන්ට ඒක එහෙම වෙන්න පුලුවන්. ඒත් මට නම් ඒක පේන්නේ පැහැර ගෙන යාම කියන චෝදනාව යටතේ තමුන්ට නඩුවකට මුහුණ දෙන්න සිද්ධ වෙන්න යනවා වගෙයි. ”

ඒ මොහොතේ ම දොරට තට්ටු කරන හඬක් ඇසුණු අතර පොලිස් නිලධාරියෙකු කාමරයට ඇතුලු වූයේ අළු පැහැති නිල ඇඳුමකින් සැරසී ගත් තවත් මිනිසෙකු ද සමගය.

පොලිස් නිලධාරියා ,  පොලිස් පරීක්ෂකවරයා ඇමතුවේය. “ මේ මහත්මයාට ඕනලු සර්ට යමක් කියන්න ”

“ ඒක හුඟාක් වැදගත් දෙයක් ද…? ”පොලිස් පරීක්ෂකවරයාගෙන් දිස් වූයේ කෝප සහගත පෙනුමකි.

අළු පැහැති නිල ඇඳුමින් සැරසුණු කුඩා මිනිසා පියවරක් ඉදිරියට පැමිණ ඔහු ම කතාව ආරම්භ කළේය.  “ මම හිතන්නේ ඒක එහෙමයි කියලා සර් ” ඔහු ජෝ මැනෙටි වෙත මිත්‍රශීලී සිනහවක් පෑවේය. “ මේ තරුණයා මිලර්ගේ දරුවාව පැහැර ගත්තේ නැහැ.”

ඔහු කී දෙයින් කාමරය තුළ පැතිර ගියේ ඉදිකටුවක් පවා බිම වැටුණ ද හඬ නැගෙන තරමේ පුළුල් නිශ්ශබ්දතාවයකි.

පොලිස් පරීක්ෂකවරයා මවිත වූ බවක් පෙන්නුම් කළේය. “ මොකක්ද තමුන් කිව්වේ…? ”

“ මම අද උදේ පත්තරේ කියවද්දී මැනෙටි මහත්මයාගේ පිංතූරය පත්තරයේ දැක්ක ගමන් මේ එයා කියලා ඒ මොහොතේ ම අඳුන ගත්තා. ” අළු පැහැති ඇඳුමින් සැරසුණු කුඩා මිනිසා පැවසුවේ තරමක අභිමානයකිනි.

“ එයා කවුරු කියල ද …? ”පොලිස් පරීක්ෂකවරයා ප්‍රශ්න කළේ සිය ඉවසීමේ සීමාව ඉක්මවා යන ස්වභාවයක් පළ කරමිනි.

“ මම රාජකාරි කළ හයි වේ එකේ ගේට්ටුවේ දී තමන්ගේ ඉතුරු සල්ලි ගන්න නතර වුණේ නැති එක්කෙනා විදියට. එයා මට ඩොලරයක් දුන්නා. ඒත් මම ඉතිරි සල්ලි දෙන්න කලින් එයා යන්න ගියා. එයා හොඳ කල්පනාවකින් හිටිය බවක් පෙනුණේ නැහැ. මම එයා යනවත් එක්ක කෑ ගැහුවා… ඒත් ඒක වැඩක් වුණේ නැහැ. ඒ මෙයා ම තමයි. ඒ වගේම එතකොට වෙලාව හරියටම එකොළහයි තිහයි. ඒක මම හරියට ම දන්නේ මගේ ඩියුටි ඉවර වෙන්න තිබුණේ ඒ වෙලාවේ නිසා මම අනිත් එක්කෙනා එනකම් බලාගෙන හිටිය නිසයි. එකම වෙලාවේ ටවුන් එකෙන් එළියට යන්නයි ඒ වෙලාවෙ ම ටවුන් එක ඇතුළේ ඉන්න දරුවෙක් පැහැර ගෙන යන්නයි එයාට බැහැනේ  ”

පොලිස් පරීක්ෂකවරයා රවා බැලුවේය. “ මේ හැම දෙයක් ම මීට කලින් තමුන්ට වාර්තා කරන්න බැරි වුණේ ඇයි…? ”

කුඩා මිනිසා දෙවුර හැකිළුවේය. “ මේ කතාව පත්තරේ දකිනකල් ඒක එච්චර වැදගත් දෙයක් වෙයි කියලා මම හිතුවේ නැහැ.”

පොලිස් පරීක්ෂකවරයා ජෝ මැනෙටි වෙත බැල්මක් හෙළූ අතර ධෛර්යවත් කරවන සිනහවක් ඔහුගේ විසල් මුහුණේ ඇඳී යමින් තිබිණ. “ තමුන් නිර්දෝෂයි කියලයි පේන්නේ තරුණයා…”

සුදුමැලි මුහුණින් සහ කළු පැහැති කැරලි හිසකෙසින් යුත් තරුණයාගේ මුහුණේ සැනසුම් සහගත බවක් පෙන්නුම් කරන කිසිදු විශේෂ සළකුණක් දැකිය හැකි වූයේ නැත. “ මං කිව්වා මම කියන්නේ ඇත්ත කියලා. ” ඔහු පැවසීය.

ටික වේලාවකට පසු පොලිස් පරීක්ෂකවරයා ඔහු දුටුවේ පොලිස් මූලස්ථානයේ දොරටුව අබියසදීය. මෙම උස් මහත් මිනිසාගෙන් දක්නට ලැබුණේ අසාමාන්‍ය ස්වභාවයක් වූ අතර නුහුරු පෙනුමක සේයාවක් ඔහු වෙත ඇදී ගොස් තිබිණ. එහෙත් සිය සුරත ගෙන ජෝ මැනෙටි වෙත අතට අත දීමේ දී එහි වූයේ දැඩි ග්‍රහණයක් සහ මිත්‍රශීලී ස්වභාවයකි.

“ මෙතැන මට තේරුම් ගන්න බැරි එක ම එක දෙයක් තියෙනවා. ” ඔහු පැවසුවේ සිය විමසිලි සහගත දෑසින් තරුණයා  දෙස විපරම් කරමිනි. “ ඇත්තටම ඒ ඇයි කියලා තාම තේරුම් ගන්න බැහැ… ඇයි තමුන් ඒ දරුවා කෙළින් ම අපි ළඟට ගෙනාවේ නැත්තේ….? ”

ජෝ මැනෙටි පිළිතුරු දීමට පැකිළුණේය. පොලිස් පරීක්ෂකවරයාගෙන් ඔබ්බෙහි වූ කලබලකාරී මාවත අද්දර කුඩා දරුවන් කෙළි සෙල්ලම් කරන ස්ථානය වෙත ඔහු නෙත් රැඳවූයේය. “ මම හිතන දේ ඉන්ස්පෙක්ටර්ට තේරුම් ගන්න පුලුවන් වෙයි ද කියන එක ගැන මට සැකයි ” ඔහු කීවේ නිසොල්මන්වය.

“ මට ඒකට අවස්ථාවක් දෙන්න ” පොලිස් පරීක්ෂකවරයා පැවසුවේය.

“ හොඳයි ” තරුණයා කීවේ ගැඹුරු සුසුමක් ද හෙළමිනි. “ මට ඕන වුණේ තමන්ගේ නැති වුණු දරුවා ආපහු ලැබුණු තාත්තා කෙනෙක්ගේ මුහුණේ පෙනුම බලාගන්නයි. ”

ආපසු හැරී නොබලා ම පිය ගැට පෙළ සෙමින් බැස ගිය ඔහු ජනාකීර්ණ වීදියේ නොපනී ගියේය.

Advertisements
This entry was posted in Uncategorized by කළු. Bookmark the permalink.

About කළු

ගලා යනු ඇත දිය පහර නොනැවතී ඉදිරියට , වැට කඩොළු සිර ගත නොවූ නිම්නයක... පමා නොවී ඔබත් නොවැරදීම එන්න ඒ නැවුම් පො‍ළොව මත නිදහසේ ගලා යන්නට....!

18 thoughts on “සියල්ලටම හේතුවක් ඇත….!

  1. මෙය සැබවින්ම කෙටිකතාවක් ආකෘතික වශයෙන්. ඒවගේම සංවේදී සරල බස් වහරකින් ඔබ පරිවර්තනය කර තිබීමත් විශිෂ්ටයි. මෙවැනි උත්සාහයන්හී වැදගත්කම නම් ඉඳහිට හෝ විදෙස් සාහිත්‍ය නිර්මාණයක පහස ලබන්නට අපට හැකිවීමයි. කියවා අමතක කලේනම් මෙය අපට කියවන්න ලැබෙන්නේ නැහැ. මේ නිසා මේ පරිවර්තන කාර්යය ඉතාම ඉහළින්, බැතිබරව මා පසසනවා. මෙවැනි සමාන අත්දැකීමක් මා ලංකාවේදීද විඳ තිබෙනවා. ඒ නිසා සැබවින්ම මට නම් මෙය ඉතාම සංවේදී කෙටිකතාවක්. මගේ ඊළඟ කෙටිකතා පොත එළියට ආපු දිනක එය කියවන්නට පුලුවන් වේවි… ඔබට මගේ සුබපැතුම් හා ආශීර්වාදය මතුමතුත් මෙවන් සාහිත්‍ය කාර්යයන් හි නියලෙන්න…

    කැමතියි

    • බොහොම ස්තුතියි විපුල ඔබේ දිරිමත් අදහස් වලට. මේ විදියේ පුද්ගලික අත්දැකීමක් ඔබ අත්විද තියෙනවා නම් මගේ හිත සසල කළ ඒ අත්දැකීම ඔබට මටත් වඩා සංවේදීව දැනෙන්නට ඇති. ඒ නිසා ඔබේ අලුත් පොත පිටවූ පසුව අනිවාර්යයෙන්ම එය කියවා බලන්නම්. ඔබේ නිර්මාණ චාරිකාවට මගේ සුභ පැතුම් විපුල…!

      කැමතියි

  2. //(මේ පරිවර්තනයෙන් ඒ හැගීම ඔබ තුළ ඇති නොවුණොත් එය මගේ පරිවර්තනයේ දුර්වලකමක් බව ද අවධාරණය කරන්නට කැමැතියි).// ඇත්තටම සිත සසල වුනා. කොයිතරම්ද කියනවනම් ‍ජෝ ගෙ අවසන් පිලිතුර කියවද්දි මගේ ඇසෙහි කඳුලක් උපන්නා
    ඔබට සුභ පැතුම්….

    කැමතියි

    • බොහොම ස්තුතියි නාමල්…. මුල් ලේඛකයාට සාධාරණයක් ඉෂ්ට වී ඇති බවක් ඔබේ පිළිතුරෙන් වැටහෙනවා. එය මට සතුටක්. නැවතත් ඔබට ස්තුතියි.

      කැමතියි

    • ඔබ නිවැරදියි නාලක… මේ කෙටිකතාවේත් සියල්ල තීරණාත්මක අවසානයකින් නිමාවට පත්වෙන්නේ අන්තිම තත්පරයේදීයි. අදහස් දැක්වූවාට ඔබට බොහොමත්ම ස්තුතියි නාලක.

      කැමතියි

  3. රසවත් ලෙසින් පරිවර්තනය කරලා තියෙනවා. ස්තූතියි.

    Ann of Green Gables ලියූ Lucy Maude Montgomery ලාංකිකයන් බොහොමයක් දන්නා කැනේඩියානු ලේඛිකාවයි. ඒ වගේම Michael Ondaatje ව සමහරු ලංකාවේ අයෙක් හැටියට හැඳින්වූවාට ඔහු කැනේඩියානු ලේඛකයෙක්.

    කැමතියි

    • Ann of Green Gables පාසල් වයසේ දරුවන් අතර බෙහෙවින්ම ජනප්රිය පොතක්. ඒ නිසා මෙහේ පොත් සාප්පුවල තාමත් ඒ පොත හොදට අලෙවි වෙනවා. මයිකල් ඔන්ඩට්චි අලුතින්ම ලිවුව පොත The Cat’s Table කැනඩාවේ බොහොම කතාබහට ලක්වෙච්ච පොතක්. පහුගිය අවුරුද්දේ තිබුණු වසරේ විශිෂ්ටතම පොත් අතර අවසන් වටයේ කරට කර හිටියේ මයිකල්ගේ පොතයි තවත් පොතකුයි. ඒත් එහි අවසන් ජය හිමිවුණේ අනිත් පොතට. කොහොම වුණත් ලාංකිකයෙක් විදියට The Cat’s Table කියවද්දී අපූරු ආස්වාදයක් මට දැනුනා. ඒකට හේතුව ඒ මුලු පොත පුරාම ගලාගෙන යන බොහොමයක් අත්දැකීම් සිද්ධි ලංකාවේ තොරතුරුත් එක්ක බද්ධ වෙලා තිබුණු නිසයි. පොත කියවද්දී එය ප්රීබන්ධයක්ද එහෙමත් නැතිනම් සැබෑම සිද්ධියක් ද යන්න ගැන සැක සංකාවන් දෝලනය වන්නේ එයට ලංකාවේ නම ගිය පුද්ගලයන්ගේ තොරතුරු ද ඈදී තිබීම නිසයි.
      ඔබේ අදහස්වලට බොහොම ස්තුතියි.

      කැමතියි

  4. ‍කොල්ලො. මේක මැක්සා වැඩක්. ‍මේ පරිවර්තනය විශිෂ්ටයි. උඹ නිහතමානී වැඩිද මන්දා.. නැත්නම් “මේ පරිවර්තනයෙන් ඒ හැගීම ඔබ තුළ ඇති නොවුණොත් එය මගේ පරිවර්තනයේ දුර්වලකමක් බව ද අවධාරණය කරන්නට කැමැතියි” වගේ ටෝක්ස් දෙයිද? . වැඩේ සිරා මචං. මේ විදිහටම අනික් කතා ටිකත් පරිවර්තනය කරපන්.

    කැමතියි

  5. පුතෙක් නැතිවුන තාත්තා කෙනෙකුට පුතෙක් ලැබුනම පෙනුම කොහොම වේවිද? මට හරිම දුකයි. ඒ වගේම ගොඩක් පින් මේ වගේ දේවල් පරිවර්තනය කරලා අපිට කියවන්න දෙනවට. මට හිතෙන්නේ….. පිය සෙනෙහසට කවි ගී කියවුනා මදී… කියලයි.

    කැමතියි

  6. ඉස්සර රුසියන් පරිවර්තන මතක් වුනා.හරිම අපූරුයි.නන්දා මාලනියගෙ ” සරුංගලේ” සින්දුව හැම තැනටම හරියන්නෙ නෑ කියල මට දැණුන.”රට හැරයන අපේ ළමයි” අපිට ලෝකය පෙන්වන්න හදනව.ඉතින් කොහොමද එයාල නරක් වෙන්නෙ.

    කැමතියි

    • ලස්සන අදහසක්….. බොහොම ස්තුතියි….. ඇත්තෙන්ම කියනවා නම් කරන කියන දේ ඉන්න රටට වඩා වැදගත් නේද….? තමන්ගේම රටේ හිටියත් වැඩක් නැහැනේ රටට අවැඩක් කරනවා නම්….!

      කැමතියි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )