පොතක් එක්ක කතා කරමු

සරේ මහජන පුස්තකාලය (Surrey City Center Library)
සරේ මහජන පුස්තකාලය (Surrey City Center Library)

සීතල වැහි බිඳු ඇද හැලෙමින් තිබූ සති අන්තයේ තවත් එක් සවස් වරුවකි ඒ. මේ සිරි පොද වැස්ස කැනඩාවේ වැන්කුවර් නගරයට බෙහෙවින්ම හුරු පුරුදුය.

සති අන්තයේ සවස් වරුවක් බොහෝ විට ගෙවී යන්නේ පුස්තකාලයේ බැවින් සිරි පොද වැසි ඇද හැලුණු එදින ද මා යමින් සිටියේ පුස්තකාලය වෙතය. එහෙත් ඒ සවස් වරුවේ නම් ඒ සදහා තවත් එක් සුවිශේෂී හේතුවක් ද තිබුණේය. පුස්තකාලයේ සුපුරුදු පොත් පත් රාක්ක වලට අමතරව මා එනතෙක් බලා සිටින තවත් එක් “සජීවී පොතක් ”ද එහි ඇති බව දැන සිටි හෙයිනි ඒ.  සජීවි පොත් (living Books) …? ඔව්… කැනඩාවේ පුස්තකාලයන්හි ක්රියාත්මක වන අලුත්ම ප්රවණතාවකි ඒ. මේ සංකල්පය ක්රියාත්මක වන්නේ මානව පුස්තකාලය (Human Library) නම් වූ නවතම සංකල්පයක් යටතේය.  මෙම සංකල්පයේ තේමාව වන්නේ කඩදාසි පිටු පුරා දිවෙන තීන්ත අකුරු අතරින් ලබා ගත නොහැකි දැනුමක් පාඨකයා වෙත සමීප කරවීමයි. මෙම මානව පුස්තකාලය ක්රියාත්මක වන්නේ තෝරා ගත් දිනයක තෝරාගත් තේමාවක් යටතේය. මෙවර මානව පුස්තකාලයේ තේමාව වී තිබුණේ “ සුවිශේෂී වූ වෘත්තීන්හි නියැලෙන සැබෑ මිනිසුන් ”යන්නයි. ඒ අනුව යෝගා උපදේශකවරයකු , වේශ නිරූපණ ශිල්පියෙකු , සපත්තු මෝස්තර නිර්මාණය කරන්නෙකු , පුද්ගලික රහස් පරීක්ෂකයකු , ගිනි නිවීමේ හමුදාවේ කාන්තා නිලධාරයෙකු , ජල නල කාර්මිකයෙකු , අවමංගල්ය‍ අධ්යක්ෂවරයකු ආදී වූ විවිධ විෂයන්හි නිරතවන වෘත්තිකයන් කිහිප දෙනෙක් ම ඒ සඳහා තෝරා ගෙන තිබුණි. මානව පුස්තකාලය සඳහා එක්වීමට කැමැති පාඨකයන් පුස්තකාලයෙන් අදාළ දිනයේ තමාට පහසු වේලාව මුලදී ම වෙන් කර ගත යුතුය.  මෙම සජීවී පොත් හෙවත් මානව පුස්තකාලයට සම්බන්ධ වන්නෝ සිය වෘත්තීන්හි ක්රියාකාරීව නිරතව සිටින අය වෙති. එබැවින් පුස්තකාලයේ කාමරයක් තුළ දී තමන් තෝරා ගත් සජීවී පොත තනිව හමු වී ඔවුන්ගේ  අත්දැකීම් බෙදා හදා ගන්නටත් , ඇවැසි කවර හෝ දෙයක් විමසා දැන ගන්නටත් මෙහිදී පාඨකයන්ට ඉඩකඩ ලැබෙයි. මෙය සාමාන්ය පොතකින් ලබා ගත හැකි දැනුම මෙන්ම සාමාන්යය පොතක විෂය පථය ද ඔබ්බවා යන්නකි. මානව පුස්තකාලය යටතේ ක්රියාත්මක වන සජීවී පොත් පත් හි ඇති විශේෂත්වය වන්නේ එයයි.

ආකර්ශනීය රැකියාවන් රැසක පුද්ගලයන් මෙවර මානව පුස්තකාලය හා එක්ව සිටිය ද අවමංගල්ය අධ්යක්ෂවරයා හමු විය යුතුය යන්න මට සිතුණේ වඩාත් සිත් ඇදගන්නා සුලු තොරතුරු ඔහු සතුව ඇතැයි සිතුණු බැවිනි. ඇතැම් විට ඒ සඳහා මා පොළඹවන්නට ඇත්තේ පුස්තකාලයෙන් ම ලබා ගෙන මෑතක දී මා විසින් නරඹනු ලැබූ සම්මානනීය සිනමා පටයක් ද  වන්නට ඇත. ඩිපාර්චර්ස් (Departures) නම් වූ එම ජපන් සිනමා පටය මළ මිනී හැඩ ගැන්වීමේ කලාව හෙවත් අවමංගල්ය අධ්යක්ෂවරයකුගේ භූමිකාව හා බැඳුණු අතිශය ආකර්ශනීය සිනමා පටයක් වූයේය.

මානව පුස්තකාලය ගැන තවත් යමක් කියන්නට මත්තෙන් සරේ (Surrey) මහජන පුස්තකාලය ගැන ද යමක් සටහන් කළ යුතු යැයි හැඟෙන්නේ එයින් අපට ද ලබා ගත හැකි ආදර්ශ බොහෝ ඇති බැවිනි. අති නවීන පහසුකම් සියල්ලෙන්ම පරිපූර්ණ  වුව ද මෙම පුස්තකාලය ක්රියාත්මක වන්නේ අතිශය පරිසර හිතකාමී අයුරිනි. වාස්තු විද්යාවේ අපූරු නිර්මාණයක් වන මෙම ගොඩනැගිල්ල නිම වී ඇත්තේ නෞකාවක් පරිද්දෙනි. එහි බොහෝ කොටස් වීදුරු වලින් නිර්මාණය වී ඇති නිසා පුස්තකාලය ඇතුළත ආලෝකවත් කිරීම සඳහා හිරු එළිය උපරිම මට්ටමන් භාවිතා කෙරෙන අතර පුස්තකාලයේ පියස්ස මුලුමනින්ම තෘණ වර්ග වවා ඇත්තේ යහපත් අභ්යමන්තර උණුසුමක් පවත්වාගෙන යාම සඳහාය. පුස්තකාලයේ වීදුරු බිත්තියක් මත විවිධ භාෂාවන්ගෙන් සුභ පැතීමේ වදන් සටහන් කර ඇති අතර එහි සිංහල භාෂාවෙන් ද ආයුබෝවන් කියා සටහන් කර ඇති බව ද මෙහි දී සඳහන් කරන්නේ අභිමානයෙනි.

පුස්තකාලයේ ඇතුළත දර්ශනයක්

පෙර කී දිනයේ දී ගිවිස ගත් පරිදි ම පුස්තකාලයේ සුවපහසු කාමරයක් තුළ ඒ සජීවී පොත මා එනතෙක් එහි රැඳී සිටියේය. ඔහුගේ සැබෑ නම ජස්ටින්ය. පුරා වසර 18 කට අධික කාලයක් අවමංගල්ය අධ්යක්ෂවරයකු ලෙස කටයුතු කර ඇති ඔහු පැවසුවේ සිය ආදරණීයයකුගේ වියෝවෙන් පීඩා විඳින පවුලේ සාමාජිකයන්ගේ සිත් තැවුල් තුනී කිරීම හා බැඳුණු තම රැකියාව සම්බන්ධයෙන් ඔහු බෙහෙවින් ම තෘප්තිමත් බවයි. විවිධාකාර වූ ආකර්ශනීය රැකියාවන්ගෙන් පිරී ඇති ලොවක මෙම ක්ෂේත්රයට සම්බන්ධ වීමට ඔහු පෙළඹ වූ කරුණු කාරණා කවරක්දැයි විමසූ විට ඔහු සඳහන් කළේ එය අහම්බෙන් සිදුවූවක් මිස මෙම වෘත්තිය තෝරා ගැනීමට ඔහු ළමා කළ සිහින මැව්වේ නැති බවය. මෘත දේහ හා කටයුතු කිරීමට බොහෝ දෙනෙක් දක්වන්නේ කිසියම් අප්රසන්න බවක් හා බියකි. මම ඒ පිළිබඳව ද ඔහුගෙන් විමසීමි. ්

ජස්ටින් (Justin Schultz)

සෑම සංස්කෘතියක් තුළම ගුප්ත සාධක රැසක් මරණය හා සම්බන්ධ කර තිබීම මේ බියට එක් ප්රධානතම හේතුවක් බව පෙන්වා දුන් ඔහු මරණය ජීවිතයේම කොටසක් ලෙස සිතන්නට තරම් අපට බුද්ධිමත් විය හැකි නම් එය කිසිසේත්ම බියජනක හෝ අප්රකසන්න යමක් නොවන බව අවධාරණය කළේය. තමන්ගේ දශක දෙකකට ආසන්න වෘත්තීය ජීවිතය තුළ දී මෘත දේහ සහ සුසාන භූමි ආශ්රිතව නිරන්තරයෙන්ම ගැවසුණ ද අවතාර හොල්මන් හෝ වෙනත් කිසිදු අසාමාන්ය සිදුවීමකට තමන් මුහුණ නොදුන් බව ද ඔහු සඳහන් කළේය. අවමගුල් කටයුතු සඳහා අධික වියදමක් වැය කරන්නට සිදු වන කැනඩාවේ අවමංගල්ය අධ්යක්ෂවරයකු වීම ද පහසු කටයුත්තක් නොවේ. ඒ සඳහා වසර තුනක පුර්ණ කාලීන පාඨමාලාවක් හැදෑරිය යුතු අතර ප්රායෝගික පුහුණුවක් ද අනිවාර්යය. වසර දෙකකට වරක් සිය රැකියාව සම්බන්ධයෙන් දැනුම වර්ධනය කර ගැනීමේ පාඨමාලාවන්ට සහභාගි වීම ද ඔවුනට අනිවාර්ය වන අතර වසරින් වසර සිය බලපත්රය අලුත් කර ගැනීම ද සිදු කළ යුතු වේ.  පාරිභෝගික ආරක්ෂක පනත යටතේ සිය යුතුකම් සහ වගකීම් කඩකළ අවමංගල්ය  අධ්යක්ෂවරයකුට එරෙහිව නීතිය ක්රියාත්මක කරන්නට කැනේඩියානුවන්ට අයිතිය ඇත.

සිය රැකියාවේ වඩාත්ම අභියෝගාත්මක කටයුත්ත හෝ එසේත් නැතිනම් වැදගත්ම අංශය වන්නේ කුමක්දැයි විමසූ විට ඔහු මට කීවේ එය සන්නිවේදනය බවයි. සිය ආදරණීයන්ගේ වියෝවෙන් පීඩා විඳින සිත් සතන් හා ගනු දෙනු කිරීමේ දී මෙන්ම එකම පවුලේ සහෝදර සහෝදරියන් අතර අවමගුල් කටයුතු සිදු කෙරෙන ආකාරය සම්බන්ධයෙන් විවිධාකාර ගැටුම් සහගත  අදහස් ඇති විටෙක දී ඉවසිලිමත්ව සහ ඉතාම පරිස්සම් සහගතව සන්නිවේදන කටයුතු සිදු කිරීම තම රැකියාවේ ප්රබලම අභියෝගය බව ඔහු පැවසුවේය. ඔහුගේ අත්දැකීම් සම්බන්ධයෙන් කළ කතා බහ සියල්ල සටහන් කර තැබීමට තරම් ඉඩකඩ ප්රමාණවත් නොවුණ ද අවසන් වශයෙන් එක් වැදගත් කරුණක් පමණක් මෙහි සඳහන් කිරීම සුදුසු යැයි හැඟේ.

කැනඩාවේ පුවත්පත්වල අවමංගල්යස දැන්වීම් පළ වන්නේ ලංකාවේ අපට හුරු පුරුදු ආකාරයට වඩා තරමක් වෙනස් ආකාරයෙනි. එනම් මිය ගිය තැනැත්තාගේ උපතේ සිට ඔහුගේ ජීවිතයේ වැදගත් අවස්ථාවන් , ඔහු විසින් කරන ලද වෘත්තිය හා ඔහුගේ සමාජ ජීවිතයේ විවිධ භූමිකාවන් විස්තර කරමින් පළ කෙරෙන මෙම අවමංගල්යු දැන්වීම් සිත් ඇදගන්නා සුලු කරුණු වලින් ගහණය. ලංකාවේ පුවත්පත්වල මරණ දැන්වීම් තීරුව කියවීමේ පුරුද්දක් නොතිබුණ ද කැනේඩියානු පුවත්පත් කියවීමේ දී අවමංගල්ය දැන්වීම් පිටුවේ ද සැලකිය යුතු වේලාවක් රැඳී සිටින්නට මා නිරායාසයෙන් ම හුරු වූයේ මෙම එම පිටුවේ ඇති මෙම විශේෂත්වය නිසාය. මෙම පිටු අතර සැරිසරද්දී මට හැගී ගිය වැදගත්ම කරුණ වූයේ ශෝකයෙන්  හා කඳුලින් පමණක් ම මරණය පිළි ගැනීමට හුරු පුරුදු වී සිටින අපට වඩා තරමක් ඔබ්බට ගොස් මරණය කිසියම් ආකාරයක ආදරණීය අනුස්මරණයක් ලෙස සලකන්නට කැනේඩියානුවන් හුරු වී සිටින ආකාරයයි. එක්තරා ආකාරයකින් කියනවා නම් එය මරණය “ සැමරීමක් ”බදුය. මේ නිසාම පුද්ගලයකුගේ මිය ගිය පසු ඔහුගේ අවසන් කටයුතු නිමා කළ මොහොතේ මිය ගිය පුද්ගලයා ජීවත්ව සිටිය දී කළ කී දෑ සිහිපත් කරමින් සියලු නෑ හිත මිතුරන් එක් වී ඉතා ඉහළ මට්ටමන් භෝජන උත්තසවයකට සහභාගී වීම කැනේඩියානුවන්ට හුරු පුරුදු අත්දැකීමකි. මෙවැනි භෝජන සංග්රහයන් පවත්වන උත්සව ශාලාවන් ද අවමගුල්  ශාලා පරිශ්රයේම පිහිටා ඇත.  මේ ගැන ද මම ඔහුගෙන් විමසුවෙමි.

කැනඩාවේ අවමංගල්ය ශාලාවක ඇතුළත ඇති භෝජන සංග්රහ කාමරයක්

“ ඔව් ඒක ඇත්ත. දුක්වෙලා ඇඩීමෙන් මිය ගිය පුද්ගලයාටවත් , ජීවත් වන පුද්ගලයන්ටවත් කිසිම වැඩක් වෙන්නේ නැහැ. මේ නිසා අඬා වැලපෙන්නේ නැතිව මිය ගිය පුද්ගලයාගේ ජීවිතයේ ආදරණීය මතක සටහන් සතුටින් සිහිපත් කරන්නට පුලුවන් මිය ගිය පුද්ගලයා හැමදාමත් අපේ හදවතේ සතුටුදායක හැගීමක් ඇති කරාවි. ඒක ජීවත් වන පුදගලයන්ටත් ධනාත්මකව ජීවිතයට මුහුණ දෙන්න මග පෙන්වාවි. ”

අධ්‍යාත්මික පෝෂණය ඉහළින් ම ලබන්නට හැකි ආගමික පසුබිම නොඅඩුව ඇති ලංකාව වැනි රටකට ඔහුගේ මේ අදහස් නුහුරු නුපුරුදු නොවන බව සැබෑය. එහෙත් ගැටලුව ඇත්තේ අප සතුව ඇති එවන් අධ්යාුත්මික අංග ලක්ෂණවලින් පෝෂණය වන්නට තරම් සමාජයක් ලෙසින් අප තවමත් පරිණත නොවීම ද යන්න ඔහුගෙන් සමුගෙන පුස්තකාලයෙන් පිටතට ආපසු එද්දී මා සිත්හි පැනයක් ලෙසින් ඉතිරි වී තිබිණ.

15 thoughts on “පොතක් එක්ක කතා කරමු

Add yours

  1. ගොඩක් හොද ලිපියක්..සරලවා ලියලා තියෙන නිසා කියවගෙන ගියා 🙂 ඇත්තටම මං ඉන්න රටේත් මරණයක් උනාම හිතින් දුක් උනාට එ යන කෙනාට අත්පොලසන් දිලා සතුටින් යන්න ඉඩ හරිනවා..අපේ රටේ වගේ හැඟිම් එලියට පෙන්නන්න උත්සහ කරන්නේ නැහැ..මරණය කියන්නේ කොයි වෙලේ කොතන හමුවේද කියලා හිතන්න බැරි දෙයක්..නමුත් එය අප හැමටම පොදු දෙයක්..

    කැමතියි

    1. ඒක ඇත්ත… අපිට ඒක තේරුම් ගන්න පුලුවන් නම් කොයි තරම් හොඳයිද…? මරණය අප හැමෝටම පොදුයි කියන එක හැමෝම දන්නවා වුණත් ඒක එහෙමයි කියලා මිනිස්සුන්ගේ හිත්වලට ඇත්තටම දැනෙන දවසක මීට වඩා ලස්සන ලෝකයකුත් නිර්මාණය වේවි.

      කැමතියි

  2. apuru lipiyak… apitath hithanna karana godak thiyenawa… Jevithaya saha maranaya gena… wenas saskruithiyaka athdakim beda ganimini apa danuwath kalata sthuthi… rata ratawala wisthara dena ganna mama harima asai… e wagema poth kiyawannath….

    Ape pusthakala nam bohoma durwala mattamaka thiyenne…. pusthakalaya yanna asa hithena, sobagdahamata ladi lassana thenak wenawanam godak hondai neda?

    කැමතියි

    1. සහතික ඇත්ත තරංගි… මේ රටවල පුස්තකාල කියන්නේ දරුවාගේ සිට මහල්ලා දක්වා හැම දෙනාටම බොහොම සතුටින් කාලය ගත කරන්න පුලුවන් තැනක්. පුස්තකාල විතරක් නෙමෙයි… පොත් කඩවල් පවා එහෙමයි. පොත් කඩවල දරුවන්ට නිදහසේ පොත් කියවමින් සෙල්ලම් කරන්න පුලුවන්. පොත් සල්ලි දීලා ගන්නවද නැද්ද කියන එක කිසිම ගැටලුවක් නැහැ. පොත් කඩයට එන ඕනෑම කෙනෙකුට නිදහසේ ඉඳගෙන මුලු පොතම වුණත් කියවලා යන්න පුලුවන්. අදහස් වලට බොහොම ස්තුතියි.

      කැමතියි

  3. මගේ හීනයක් තියෙනවා වෙනස් විදිහක පුංචි පුස්තකාලයක් කරන්න… මුදලට නෙවෙයි… සේවයක් විදියට…. දැනටම මා ළඟ පොත් එකතුවක් තියෙනවා… තව ටික කාලෙකින් පුළුවන් වේවි..
    අද කාලෙ පොඩි අය කියවන්න කම්මැලියි… කියවීම සෙල්ලමක් වගේ රසවත් අත්දැකීමක් කළොත් කියවන්න කැමති වේවි… බ්ලොග් ලියන අපි හැමෝටම එකතු වෙලා දුෂ්කර ඉස්කෝලෙකට පුංචි පුස්තකාලයක් හදල දෙන්න හරි පොත් ටිකක් අරන් දෙන්න හරි පුළුවන් නේද?
    ඔයාගෙ ලිපියේ ‍අකුරු තව ටිකක් ලොකු වුණා නම් හොඳයි කියල හිතුණා…
    ඔයාට අත්දකින්න ලැබෙන වෙනස් විදියේ දේවල් තව ලියන්න… අපටත් එයින් ඉගෙන ගන්න, රස විඳින්න යමක් තියේවි…

    කැමතියි

    1. බොහොම ස්තුතියි අදහස් වලට… ඔබේ අදහස ඉතාම අගය කළ යුතු දෙයක්. දිවයින පුවත්පතේ බදාදා ඇතිරේකය සංස්කරණය කරන කාලේදී දුෂ්කර පාසල් ගණනාවක පුස්තකාලවලට පොත් පත් දහස් ගණනක් බෙදා දීමේ කටයුත්තක් දිවයිනේ අප මිතුරු පිරිසක් දිගටම කරගෙන ආවා.
      ඇත්තටම අපිට යමක් කරන්න පුලුවන් නම් කළ යුතු හොඳම දේ දරුවන් වෙනුවෙන් යමක් කිරීමයි. කළ හැකි දෙයක් කරමු. දරුවන් සදහා වූ එවැනි පොත් පත් කටයුත්තක මේ වනවිට මමත් නිරත වෙලා ඉන්නවා.

      කැමතියි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

WordPress.comහි බ්ලොග් සටහනක්.

ඉහළ ↑