මේ පිළිමය කාගේ ද …?
බොහෝ දෙනෙක් පරාක්රමබාහු පිළිමය නමින් හදුන්වන පොළොන්නරුවේ පිහිටි ලෝ පතල පිළිමය සැබැවින්ම කවුරුන් වෙනුවෙන් නිර්මාණය වූවක් ද යන්න එදා මෙන්ම අදත් කතා බහට ලක්වන්නකි. ඇතැමෙක් එය පරාක්රමබාහු රජුන් නියෝජනය කරන්නක් ලෙස සලකන අතර තවත් පිරිසක් එය අගස්ති වැනි ඍෂිවරයෙක් නියෝජනය කරන්නක් ලෙසින් සළකති. මෙම පිළිමය සම්බන්ධව ඉතාම මෑතක දී ලංකාවේ ඉංගිරිසි පුවත්පතක ලිපි දෙකක් පළ විය. එයින් පළමුවැන්න ලියනු ලැබ තිබුණේ හිටපු පුරාවිදු කොමසාරිස් රාජා ද සිල්වා විසිනි. පිළිමය අගස්ති ඍෂිවරයාගේ රුව නියෝජනය කරන්නක් බව ඔහුගේ අදහසයි. ඊට පිළිතුරක් ලෙසින් බන්දු ද සිල්වා විසින් සම්පාදනය කරන ලද ලිපිය මගින් ඔහු වෙනත් කරුණු සමුදායක් ගෙන හැර දැක්වුවද පිළිමය පිළිබදව කිසියම් නිශ්චිත අදහසක් ගෙන හැර නොපායි. මෙම ලිපි දෙකටම පිළිතුරක් ලෙසින් මහාචාර්ය සිරි ගුණසිංහයන් විසින් ඉංගිරිසි බසින් රචනා කරන ලද ලිපිය මෙසේ සිංහලයට පෙරලන්නට සිත් වූයේ එම පිළිමය පිළිබදව සාරවත් අදහස් සමුදායක් එයින් හෙළිදරව් කෙරෙන බැවිනි.
පරාක්රමබාහු පිළිමය නමින් බොහෝ දෙනෙක් විසින් හදුන්වනු ලබන පොළොන්නරුවේ පිහිටි ප්‍රතිමාව පිළිබදව යළි විමසීමක් කරන්නට ගත් නවතම උත්සාහයක් ලෙසින් මෙම ලිපි දෙක හදුන්වා දිය හැකිය. එහෙත් බලපොරොත්තු විය හැකි පරිදිම මෙම ලේඛකයන් දෙදෙනාම සිය උපකල්පනයන් ඔස්සේ නොමග ගොස් ඇති අතර සිය ලිපි මගින් හුවා දක්වන්නට උත්සාහ කරන තර්කයන් විශ්වසනීයත්වයකින් යුක්තව ඒත්තු ගන්වන්නට අසමත් වී තිබේ.
සෙසු බොහෝ පිළිමයන් මෙන්ම මෙම පිළිමය ද හුදෙක් තනි වූ පිළිමයක් ලෙසින් නොසැලකිය යුතුය යන්න මුලදීම සිත්හි තබා ගත යුතු වැදගත් කාරණාවකි. අවාසනාවකට මෙන් මෙතෙක් හරිහැටි කරුණු කාරණා ඉස්මතු කරගත නොහැකි වුවත් මෙම පිළිමය හා බද්ධ වූ සංදර්භයක් ඇති බව පැහැදිලිය. පොත්ගුල් වෙහෙර සහ ඒ අවට දැනට නටබුන් බවට පත්ව ඇති ගොඩනැගිලි සමුදායත් සමග මෙම පිළිමයේ අනිවාර්ය සබදතාවක් ඇතැයි ඇතැම්හු උපකල්පනය කරති. මහත් කැපවීමකින් සිදු කරන කැණීමකින් සහ දැඩි උනන්දුවකින් මතු කරගන්නා විස්තරාත්මක පර්යේෂණයක් තුළින් මෙම ගොඩනැගිලි සමුදාය සහ පිළිමය අතර ඇති සබදතාව පිළිබද ආලෝකයක් ලබා ගත හැකි වනු ඇත. එහෙත් කණගාටුවෙන් වුව ද අවධාරණය කළ යුත්තේ මෙම නටබුන් කිසිවක් තවමත් විස්තරාත්මක පර්යේෂණයකට බදුන් වී නැති බවය. මෙම බිම්කඩ පිළිබදව සිදු කෙරුණු විස්තරාත්මක පර්යේෂණයක් නොමැති බැවින් පිළිමය හදුනා ගැනීම සම්බන්ධයෙන් සිදු කෙරෙන සියලුම උත්සාහයන් මුලුමනින්ම රදා පවතින්නේ දැනට සැබවින්ම ඉතාම සීමිත විෂය පථයකට සීමා වී ඇති එහි ප්‍රතිමා කලා ශිල්පීය මූලධර්ම සාධක මතය.
මෙම පිළිමය සහ පුලස්ති සෘෂිවරයා අතර සබදතාවක් ඇතැයි යන්න සිතීමට නිරන්තරයෙන් අප පොළඹවන කරුණ වන්නේ පොළොන්නරුව යන නාමය නිර්මාණය වීමට හේතු වී ඇතැයි සළකන පුලත්තිනගර නම් වූ නාම රූපය දෙස බලාගෙනය. පුලත්තිනගර යන නාමය බිහි වී ඇත්තේ ඉන්දියාවේ සිටි සෘෂිවරයකු වන පුලස්තිගෙන් පසුව බවය එම උපකල්පනයට පදනම් වී ඇත්තේ.
එහෙත් හින්දු මිත්‍යා කතා සහ දේව කතා මාලාවේ කැපී පෙනෙන චරිතයක් නොවූ මෙවැනි අප්‍රධාන පුද්ගලයෙක් ලංකාවේ ප්‍රධාන අගනගරයක සංකේතාත්මක චරිතයක් බවට පත්වීමෙන් නතර නොවී තම නාමයට උපහාර පිණිස ජීවමාන කලුගලක ඓතිහාසික පිළිමයකින් පිදුම් ලබන්නට තරම් අසහාය චරිතයක් බවට පත් වූයේ කෙසේද යන්න විස්තර කරන්නට ඔවුහු අපොහොසත්වෙති. අප දන්නා තරමට හින්දු දේව කතා මාලාවේ කොතැනක හෝ පුලස්ති සහ ලංකාව අතර කිසියම් හෝ සම්බන්ධයක් තිබූ බවට කිසිදු සදහනක් දකින්නට නැත. පුලස්ති ඍෂිවරයාගෙන් පසුව පොළොන්නරුව යන නාමය බිහි වූ බවට තහවුරු කරන්නට උත්සාහ දරන අයට අතීතයෙන් ඇහිද ගත හැකි වන්නේ ඉතා දුර්වල වූ සිතිවිලි මාත්‍රයන් පමණකි. “ පොළොන්නරුවේ උපදේශාත්මක ඉසිවර චරිතය ” සහ “ පුරාතන පොළොන්නරුව කැප කොට සිටි පුද්ගලයා ” ලෙසින් රාජා ද සිල්වා පුලස්ති හදුන්වා දී ඇතත් එවැනි අනුමානයන් සදහා පාදක වන කිසිදු සාහිත්‍යමය හෝ ඉතිහාසමය සාධකයක් අපට නොපෙනේ. එහෙත් එවැනි නිගමණයන් මැද වුව ද පොළොන්නරුවේ පොත් ගුල් වෙහෙර භූමිය තුළ දැකිය හැකි මෙම මෙම පිළිමය පුලස්තිගේ වන බවට රාජා ද සිල්වා අනුමාන නොකරයි. ඒ වෙනුවට ඔහු සදහන් කරන්නේ එය අගස්තිගේ වන බවයි. සම්මත සිද්ධි මාලාව මෙහිදී වෛවාහික සංසිද්ධියක් බවට පෙරළී ඇති බව පෙනී යයි. එනම් අගස්ති විවාහ වී ඇත්තේ පුලස්තිගේ සොහොයුරිය වන ලෝපමුද්‍රා සමග බැවිනි. පුලස්තිගේ මස්සිනා වීමේ ආනුභාවයෙන් තමන්ගේ නාමයට ගරු කිරීමක් පිණිස පොළොන්නරුවේ පිළිමයක් ගොඩ නංවා ගැනීමේ වරය අගස්තිට තිබූ බවය මෙයින් පෙනී යන්නේ. පොත්ගුල් පිළිමය හදුනා ගැනීමේ දී ඊට අගස්ති සම්බන්ධ කර ගැනීමේ මේ සාධකය නිසා පුලස්තිට ලැබෙන්නේ දෙවැනි තැනක් බව මෙහිදී නොකිව මනාය. රාජා ද සිල්වා මෙම කරුණ ඍජුවම සදහන් කර නැති බව සැබෑවක් වුවත් අගස්ති පොළාන්නරුවේ පෙනී සිටීම සම්බන්ධයෙන් වන ඔහුගේ විග්‍රහය තේරුම් ගත හැක්කේ එම වෛවාහික සබදතාව අනුව යමින් පමණක්මය. මෙම දුර්වල මතවාදය පණ ගැන්වීම සදහා “ අගස්ති සතුව ලංකාවේ වාසස්ථානයක් තිබුණි ”යැයි පුරාතනයන්ගේ විශ්වාසයක් තිබූ බවට සදහන් කරන ඔහු සිය මතවාදය නිමා කරන්නේ පොළොන්නරුව සිංහල රජවරුන්ගේ අගනගරය වීමට පෙර සිටම මෙම පිළිමය එහි තිබූ බවත් , අය අගස්ති ඍෂිවරයාගේ රුව නිරූපනය කරන්නක් බව බවත් පෙන්වා දෙමිනි.
රාජා ද සිල්වා සිය නිගමණය සදහා ආධාර කර ගන්නා කරුණු කිහිපයක් වෙයි. ලංකාවේ “ අගස්ති ඇදහිල්ලක් ” තිබූ බවට වන පරණවිතානයන්ගේ යෝජනාවක් එවැනි එක් කරුණක් වන නමුත් එය බෙහෙවින්ම සැක සහිත වූ අනුමානයකි. නව වැනි සියවසේ දී මුරාරි විසින් සම්පාදනය කරනු ලැබූ “ අනංගරාඝව ”නම් වූ සංස්කෘතික නාටකයේ අගස්ති සතු ගෘහයක් සිංහලද්වීපයේ තිබූ බවට වන සදහනක් ගොඩකුඹුරයන් පෙන්වා දීම දෙවැනි කරුණයි. ඔහු ආධාර කර ගන්නා තෙවැනි කරුණ වන්නේ එක් පැත්තකින් ලංකාව නම් වූ නගරය ද සමග තිකුට මස්තකය පිහිටා ඇති මලයද්වීපයේ කන්දක් මත අගස්තියගේ ගෘහය පිහිටි බවට “ වායුපුරාණයේ ” වන සදහනකි. හින්දු දේව කතාවන්ගේ මෙවැනි ත්‍රිකුට ඇත්තේ එකක් දෙකක් නොවේ. එම දේව කතාවන්ට අනුව ත්‍රිකුට යනු දූපතක් නොවන අතර එය හුදෙක් සාගරයේ පිහිටි කන්දක් පමණි. ලංකාව යනු එහි මස්තකයේ පිහිටි නගරයක් වන නමුත් එය ලංකාව නම් වූ දූපත නොවන්නේය. බොහෝ කාලයක සිටම ලංකාව ස්ථානගත වී තිබූ ස්ථානය සම්බන්ධයෙන් ඉන්දීය බලධාරීන් අතර තිබුණේ නිශ්චිත වූ එකගතාවක් නොවේ. එය කෙසේ වුව ද “ මෙම මලයද්වීප යන දූපත යනු ලංකාව බවට කිසිවකු තුළ සැකයක් උපදිනු නැති බව ” ට රාජා ද සිල්වා දක්වන අදහස තහවුරු කිරීමට කිසිදු සාක්ෂික් නොමැත.
මෙහිදී ත්‍රිකුණාමලය සහ ත්‍රිකුට හෝ ත්‍රි – කෝණ – මලෙයි අතර වූ අනන්‍යතාවක් තහවුරු කරන්නට රාජා ද සිල්වා දරන උත්සාහය පිළිගන්නට කලින් එම අදහස යළිත් පරීක්ෂාවට ලක් කළ යුතුව ඇත. සැබෑව නම් ත්‍රිකුණාමලය යනු පැරණි සිංහල “ ගෝණ ”යන්නෙහි දෙමළ රූපය වූ “ කෝණ ”යන්නෙන් බිදී ආවකි. දෙමළ භාෂාවේ දී “ හ ” , “ ග ” , සහ “ ක ” යන ශබ්දයන් අතර වෙනස්වන සුලු අන්තර් සබදතාවක් ඇත. “ තිරු ” සහ “ මලෙයි ”යන පූර්ව නාමයන් මෙහි දී ගැටලුවක් මතු කරන්නේ නැත. අනෙක් අතට මස්තක තුනක් සහිත ත්‍රිකුට කන්දක් ලෙසින් හදුනාගන්නට හැකි යමක් ත්‍රිකුණාමලයේ භූ ලක්ෂණ තුළින් හමුවන්නේ ද නැත.
“ අගස්ති සතුව ගෘහයක් ලංකාවේ තිබූ බවට වන පුරාතන විශ්වාසය ” (එවැන්නක් පිළිගැනීමට උපකාරී වන යමක් ඉතිහාසයෙන් හමුවන්නේ නැත) අනුව යමින් පොළොන්නරුව සිංහල රජවරුන්ගේ රාජධානිය වන්නටත් පෙර සිට ම මෙම පිළිමය එහි තිබූ බවත් , එමගින් අගස්ති ඍෂිවරයා මූර්තිමත් වන බවටත් රාජා ද සිල්වා කරන නිගමණය මුලුමනින්ම ගැටලුසහගත සහ වචනයේ පරිසමාප්තියෙන්ම අනුමානකාරී උපකල්පනයක් වන අතර එය මතවාදයක් ලෙසින් පිළිගන්නට නම් බලසම්පන්න විශ්වාසයක් ඊට අනිවාර්යයෙන්ම ඇවැසි වන්නේය. නිගමණයක් හෝ මතවාදයක් ලෙසින් සලු පිළි දවටාගත් හුදෙක් උපකල්පනයක් පමණක් ම වන මෙවැනි අනුමානයන් තුළින් සිදුවන්නේ විෂය කරුණු සම්බන්ධයෙන් සැක නොසිතන සිසු පරපුර නොමග යාම පමණි.
පුලත්තිනගරය එලෙස නම් වූයේ ඇයි ද යන්න සොයා බැලීම මෙහි දී බෙහෙවින්ම වැදගත්ය. ඉහතින් සදහන් කළ ආකාරයට පොළොන්නරුව නගරයට එම නාමය ලැබෙන්නට පදනම් වී ඇත්තේ පුලත්ති නම් ඍෂිවරයාය. මෙහි දී මතුවන තර්කානුකූල පැනය නම් එවැනි ගරු සරුවක් ලබා දෙන්නට පුලස්ති තෝරා ගත්තේ ඇයි ද යන්නය. පුලස්ති යනු තමන්ගේ නිජ භූමිය වූ ඉන්දියානු භූමියේ පවා අප්‍රකට චරිතයක් වූ අතර සමස්ත ඉන්දියානු කලාවේ කිසිම තැනක ඔහුට සැලකිය යුතු නියෝජනයක් ලැබී ඇති බව තහවුරු කෙරෙන අවස්ථාවක් සොයා ගැනීම විරල බව ඉහත දී අපි දුටුවෙමු. අනෙක් අතට මහාවංශය හෝ සෙසු දේශීය සාහිත්‍යමය හෝ ඓතිහාසික මුලාශ්‍රයන්ගේ කවර තැනක හෝ ඔහු සම්බන්ධයෙන් තොරතුරු සොයා ගැනීම අසීරු වන තත්ත්වයක් යටතේ මධ්‍යකාලීන ලංකාවේ මෙවැනි වූ පිළිගැනීමක් ඔහුට ලැබෙන්නට හැකියාවක් තිබුණි යැයි වටහා ගැනීම දුෂ්කරය. තවත් දුරට කියනවා නම් පොළොන්නරුවට පුලස්ති හදුන්වා දී චෝලයන් විසින් වුවත් කරන්නට ඇතැයි විශ්වාස කළ හැකි නොවන්නේ ඔවුන් ශිව දෙවියන් වන්දනාමාන කළත් පුලස්ති සම්බන්ධයෙන් කිසිම සැලකිල්ලක් කළ බවක් කිව නොහැකි බැවිනි.
පොළොන්නරුවට පුලත්ති යන නාමය අනුගත වීම සම්බන්ධයෙන් වෙනස් වූ මූලයක් තිබිය යුතුය. පොළොන්නරුවේ පූර්ව නාමය පුලත්තිනගර වූ බවට රාජා ද සිල්වා කරන ප්‍රකාශය පැහැදිලිව ම අශ්වයාට පෙර කරත්තය තැබීමකි. පුලත්ති යන නාමය මුල්ම වරට හමුවන්නේ 13 වන සියවසේ අගාභාගයේ දී ලියැවුණු චූලවංශය තුළිනි. අනෙක් අතට එයින් සියවසකට හෝ ඊට පෙර ලියැවුණු පොළොන්නරුවේ වේලක්කාර ශිලාලේඛනයන් හි “ පුලනාරි හි විජයබාහු ” විසින් නිර්මාණය කරන ලද දළදා මාලිගාව සම්බන්ධයෙන් කරුණු දැක්වෙන අතර එම අවස්ථාව චූලවංශයේ ද විස්තර කෙරෙයි. ඒ අනුව යමින් පොළොන්නරුව පුලනාරි යන්නෙන් වටහා ගන්නට මනසින් සිතුවම් ඇදිය යුතු නොවේ. එසේ වුවද 12 වන සියවසේ දී පළමු වන විජයබාහු රාජ්‍ය සමය තුළ කෙරුණු ශිලා පුවරුවක ඇතුලු පැරණි ශිලා ලේඛනයන්හි පොළොන්නරුව එම නාමයෙන්ම හදුන්වා දී ඇති බව මෙහිදී විශේෂයෙන්ම සිහිපත් කළ යුතුය. පොළොන්නකර , පොළොන්නකරු යනු ශිලා ලේඛනනවල දැකිය දැකිය හැකි වන තවත් එවැනි පර්යාය නාමයන් වන අතර එම යෙදුම් සියල්ල පුලත්ති යන නාමය භාවිතයට ඒමටත් පෙර බොහෝ ඈතට දිව යන්නේය. මෙම කාලයට සමගාමීව පුලස්ති නමින් ඍෂිවරයකු ඉන්දියාවේ විසීම තවත් එක සහසංසිද්ධියක් පමණක්ම වන අතර පොළොන්නරුව එම නමින් නම් කිරීම සදහා ඔහු විසින් කිසියම් හෝ භූමිකාවක් රග දක්වන ලද බවට වන සාධකයක් ඉතිහාසයෙන් සොයා ගත නොහැකිය. පුලත්ති යනු පුලස්ති යන්නෙහි පාලි රූපය හැටියට ගෙන හැර පෑමේ ඇවැසිතාවක් මෙහිදී මතුවන්නේ නැත.
පුරාතන ඉතිහාසඥයන් සහ වංශකතාකරුවන් සිංහල ස්ථාන නාමයන් පුදුම එළවන ආකාරයෙන් පාලියට පෙරළීමේ ස්වභාවය නිසා පාලියෙන් , මෙහිදී නම් චූලවංශයේ කතුවරයා වූ ධම්මකිත්ති හිමියන් විසින් පොළොන්නරුව පුලත්ති බවට පත් කරනු ලැබූ බව මගේ යෝජනාවයි. මෙය අනුමානයක් වුවත් එය සාධාරණ සැකයක් නොමැතිව සිදු කරන්නක් නොවන බවට පහත දක්වන ස්ථාන නාමයන්ගෙන් වටහා ගත හැකි වනු ඇත. වාග් විද්යාත්මක සම්මත ධර්මයන්ට පටහැනිව යමින් සිංහල නාමයන් පද පෙරළියට ලක් කර ඇති ආකාරය වංශකතාවන්හි සහ ඉතිහාසමය ලේඛනයන් හි බෙහෙවින්ම සුලභව දැකිය හැකිය. නිදසුන් ලෙස දක්වතොත් සංකනායකතාලි (හත්නාගොඩ) , බඩලත්තලි (බතලගොඩ) , ගුත්හොළ (බුත්තල) , භීමතිත්ථ (බෙන්තොට) , ජබුකොළ (දඹුල්ල) , දොනිවග්ග (දෙනවක) , ගංගාසිරිපුර (ගම්පළ) එයින් කිහිපයකි. මා යෝජනා කරන ලෙසින් පුලත්තිනගර යන්න පොළොනරුව යන නාමය හුදෙක් විකෘති ලෙසින් පාලියට නැගීමක් වන්නේ නම් ඒ සදහා පුලස්ති නම් වූ ඉන්දීය ඍෂිවරයා සම්බන්ධ කර ගැනීමේ ඇවැසිතාවක් නැති අතර ම රාජා ද සිල්වා අනුමාන කරන ලෙස පොත්ගුල් විහාර පිළිමය සදහා මෙම ඉන්දීය ඍෂිවරයාගේ මස්සිනා වන අගස්ති ගාවා ගැනීමට ද ඇවැසිතාවක් නැත.
පොත්ගුල් විහාර පිළිමය සම්බන්ධව වන විවාදයේ දී බන්දු ද සිල්වාගේ දායකත්වය දෙස හැරී බලද්දී ඔහු ම සදහන් කරන ආකාරයට ස්ථිර අදහසක් ලෙස නොවුවත් මෙම පිළිමය අට වන හෝ නව වන සියවසේ විසූ කවර හෝ පාලකයකු (ඔහු පෙන්වා දෙන ආකාරයට පළමු වන සේන) , හෝ බෝධිසත්වයකු හෝ ධාර්මික පාලකයකු හෝ වෙනත් කවර හෝ ඉසිවරයකු විය හැකිය. ඔහුගේ මෙම හදුනා ගැනීම් මාලාව දෙස බලද්දී එකවරම මගේ මනසට හැගී යන්නේ ඒවා හුදෙක් තහවුරු කිරීමකට ලක් නොවූ අදහස් සමුදායක් ලෙසය. එමෙන්ම පිළිමය සම්බන්ධයෙන් මීට පෙර මතුවී ඇති අනුමානයන් ඔහු විසින් බැහැර කරනු ලබන්නේ ඒවා හුදෙක් උපකල්පනයන් හැර වෙනත් කිසිවක් නොවන බව සදහන් කරමිනි. මෙම නිරීක්ෂණයේ දී නම් මම ඔහු හා මුලුමනින්ම එකග වෙමි. එහෙත් පිළිමය හදුනාගැනීම සදහා ඔහු විසින් ඉදිරිපත් කරන තර්කයන් සහ අවසානයේ දී ඔහු එළඹෙන නිගමණයට මා එකග නොවන බව අනිවාර්යයෙන්ම කිව යුතුය.

පොත්ගුල් විහාර පිළිමය රජකුගේ විය නොහැකි බවත් එය ඍෂිවරයකු නියෝජනය කරන්නක් විය හැකි බවත් මා විසින් මීට කලින් ද සාකච්ඡාවට බදුන් කරනු ලැබ තිබේ. පරාක්මබාහු , විජයබාහු හෝ පළමු වන සේන යන කවර රජකු වුවත් ඍෂිවරයකු හෝ තවුසකු ලෙසින් ඉතිහාසයේ හදුන්වා දී නැති බැවින් මෙම පිළිමය එම කවර රජකු වුව ද නියෝජනය කරතියි සිතිය නොහැකිය. රජවරුන් යනු වීරයන් වන අතර ඔවුහු ජාතියේ ගැලවුම්කාරයෝ වන්නෝය. ජාතිය විසින් ඔවුන් පුදනු ලබන්නේ එම කරුණ අරබයා මිස තාපසවරුන් ලෙස කටයුතු කිරීම වෙනුවෙන් නොවේ. මෙහිදී ඇති එකම ව්‍යතිරේකය වන්නේ සිරිසගබෝ සම්බන්ධයෙන් පමණි. මධ්‍යකාලීන ලංකාවේ රජවරුන් හෝ වෙනත් එවැනි පුද්ගලයන් අරබයා පිළිම ඉදිකිරීමේ සම්ප්‍රදායක් නොවූ බව මෙහිදී අමතක නොකළ යුතුය. අප දන්නා ආකාරයට පිළිම , මූර්ති සහ සිතුවම් (සීගිරිය හැරුණු විට) හැමවිටම නිර්මාණය වූයේ ආගමික උත්තමයන් අරබයාය. රුවන්වැලිසෑය අබිමුවෙහි ඇති දුටුගැමුණු නමින් හදුන්වන පිළිමය සහ ඊට සමාන වෙනත් ස්ථානයන්හි හමුවන සෙසු මූර්ති සැබවින්ම බෝධිසත්ව රූපයන්ය. තම මතය තහවුරු කිරීම සදහා බන්දු ද සිල්වා ගෙනහැර දක්වන ශ්‍රී විජය සහ චම්පා මූර්තියන් භාවිතයේ දක්නට නොලැබෙන්නකි. මෙවැනි රටවල පාලකයන් තම ඇදහීමට ලක් වූ දෙවි දේවතාවන්ගේ දිව්‍යමය ආනුභාවය ලැබූවන් ලෙස ජීවමාන කාලය තුළ දී ම ඇගයුමට ලක් වූවන් වන අතර ඔවුන්ගේ මරණයෙන් පසු පිළි රූ ගොඩ නැංවුණේ දේවත්වයට නැගුණු එම චරිත යන්ගේ දේවමය ස්වරූපය මතු කරලීම සදහාය. එවැනි සම්ප්‍රදායක් ලංකාවේ තිබූ බවට වාර්තා වී නොමැත.
http://www.silumina.lk/punkalasa/20091129/_art.asp?fn=ar0911299
කැමතියිකැමතියි
ඔබට ස්තුතියි හසිත.
කැමතියිකැමතියි
E lipi wala link nadda
කැමතියිකැමතියි
මේ පිළිමය පුලස්ති ඍතිගේ තමයි ඒ ගැන ගොඩාක් පොත්වල තියෙනවා .මේ ඍති රාවණාගේ මුත්තණුවන් .😀😀😀👍ඔයාට ගොඩාක් 🙏 ස්තූති …….. මේ ගැන කීවට,….
කැමතියිLiked by 1 person
ඇත්තටම මේ අදහස් මහාචාර්ය සිරි ගුනසිoහගේ. එතුමාත් එක්ක මා කළ සාකච්ඡාවක්. ඔබේ ප්‍රතිචාරයට බොහොමත්ම ස්තුතියි
කැමතියිකැමතියි