රුපියලකින් සුමානයක් ම කන්න පුලුවන් …!

ආනන්ද විජයවීර මහතා මිය ගිය දුක්බර පුවත කිසියම් පුවත්පතක තිබී මගේ නෙත ගැටුණේ සති කිහිපයකට පෙරදීය. වසර 40 ක කාලයක් පුරා රාජ්‍ය සේවයේ බොහෝ තනතුරු දැරූ මේ සුන්දර මිනිසා සතුව බොහෝ අත්දැකීම් තිබූ අතරම ඔහු බොහෝ ඇසූ පිරූ තැන් ඇති මිනිසෙක් ද වූයේය. අද දවසේ පරිපාලන සේවයේ නිලධාරීන් ළග බෙහෙවින්ම දුර්ලභ වූ නිහතමානීකමින් පිරී සිටි ඔහු බෙහෙවින්ම සරල මිනිසෙක් ද වූයේය. වසර 50 කට අධික කාලයක් පුරා මාධ්‍ය කලාවේ ද නිරත වූ ඔහු පොත් පත් රැසක් ද ලියා පළ කළේය.

මා විසින් සංස්කරණය කරන ලද පුවත්පත් අතිරේකයක් සදහා අදින් වසර 11 කට පමණ පෙර මේ අපූරු මිනිසා සමග මා කළ සංවාදයක් සහිත පුවත්පත් පිටුවක් දින දෙක තුනකට පෙර මා නෙත ගැටුණේ අහම්බෙනි.  මේ සුන්දර මිනිසාට කරන ගරු කිරීමක් වශයෙන් එම සාකච්ඡාවෙන් උපුටා ගත් කොටස් කිහිපයක් මෙසේ පළ කරන්නේ ඔහුට නිවන් සුව ද පතමිනි. (මේ සමග පළ කිරීම සදහා ඒ මහතාගේ ඡායාරූපයක් මා සතුව නොවීම කණගාටුවට කරුණකි) (මෙම ලිපිය 2000 වසරේදී දිවයින පුවත්පතේ මුල් වරට පළවිය)

” මං උපන්නේ 1925 අවුරුද්දේ දෙවුන්දරදී. ඒ කාලයේ ඉංගිරිසි දැනුම නැතිව රස්සාවක්වත් හොයා ගන්න බැරි නිසා මම වැල්ලවත්තේ හිටිය මගේ මාමා කෙනෙක්ගේ ගෙදර ඇවිත් නතර වුණා. එදා අද වගේ නෙමෙයි. පාරක තොටක ඇවිදින්න කිසිම බයක් නැහැ. අද වගේ දරුණු මිනිස්සු හිටියෙත් නැහැ. කොළඹ හැම පත්තර කන්තෝරුවකටම මම ගියේ පයින්මයි. වැල්ලවත්තේ ඉදලා මරදානට , පිටකොටුවට ඔය හැම තැනකටම පයින්මයි ඇවිද්දේ. ගාලු පාර අද තියෙන පළලෙන් අටෙන් එකක්වත් නැහැ. බොහොම පටුයි. බස් දෙකක් මාරු වෙන්නත් බැරි තරම්. මුලු ගාලු පාර දිගටම විශාල ගස් වවලා තිබුණා. කොච්චර දුර ඇවිද්දත් ඇගට මහන්සියක් දැනෙන්නේ නැහැ. හුගාක් දෙනා පුරුදු වෙලා හිටියේ පයින්ම තමයි ගමන් බිමන් යන්න.

ඩබ්ලිව්. ඒ සිල්වා මහත්මයා පදිංචි වෙලා හිටියේ වැල්ලවත්තේ නිසා මමත් ඒ මහත්මයාව දැන හදුනාගෙන හිටියා. ඩබ්ලිව්. ඒ. සිල්වා පොත්පත් ලියනවාට අමතරව ” නුවණ ” කියලා බොහොම ජනප්රිය සගරාවකුත් කළා. මම ලිව්ව කවි පොතකට පෙරවදනක් ලියවගන්න 1943 අවුරුද්දේ දවසක මම ඒ මහත්තයව හමුවෙන්න නොරිස් පාරේ තිබුණු එයාගේ කන්තෝරුවට ගියා. අද ඒ පාරට කියන්නේ පිටකොටුවේ ඕල්කට් ‍මාවත කියලයි. ඩබ්ලිව්. ඒ සිල්වා ඒ කාලයේ ගමන් බිමන් ගියේ කෝච්චියෙන්. ටයි කොට් ඇදලා , තොප්පිය දාගෙන සම්පූර්ණ ඇදුමින් සැරසිලා තමයි හැම තිස්සේම ඉන්නේ. කතා බහ කරන්නේත් හුගාක් සද්දෙන් තමයි. ඒ වගේම ඕනෑම කෙනෙකුට කතා කරන්නේත් ” තමුසෙ ” කියලයි. ඉතින් මම පොතට පෙරවදනක් ලියවා ගන්න ගියාම , ” මේකට මං මොනව හරි ලිව්ව කියලා තමුසෙට ඇති වැඩය මොකක්ද.. ? එහෙම නෙමෙයි… මං තමුසෙට වචනයෙන් උදව්වක් කරන්නම්. තමුසෙට ඉංගිරිසි ටිකක් පුලුවන්නේ… පුලුවන් තරම් ඉංගිරිසි කියවනවා. ඉංගිරිසි පත්තර , සගරා , කතුවැකි , ලිපි  , නවකතා , කෙටිකතා පුලුවන් තරම් කියවනවා. ඒක තමයි අනාගතයේ දී තමුසෙට කවදාහරි හොදම උදව්කාරයා වෙන්නේ…” කියලා කිව්වා. ඇත්තටම ඒ අවවාදය මගේ ජීවිතයට ලොකුම උදව්වක් වුණා.

ජපන්නු ලංකාවට බෝම්බ දාපු වෙලාවේ මං හිටියේ වැල්ලවත්තේ. බෝම්බ දැන හැටිත් මං බලාගෙන හිටියා. කුරුල්ලෝ පෙළක් දෙපැත්තෙන් පියාඹගෙන යනවා වගෙයි ගුවන්යානා ටික ගියේ. බිමට ලෝහ කෑලි වැටෙන්න ගත්තා. මිනිස්සු කොට්ට පැදුරු අරගෙන ඔලුව හැරුණු අත දුවන්න තියා ගත්තා.

1939 යුද්ද කාලයේ ගාලු පාරේ බොහොම තැන්වල යුද්ධ භටයෝ සෑහෙන හිටියා. ඒ ඔක්කොම සුද්දෝ. ඒ අයගේ ලිංගික අවශ්‍යතාවන් ඉටු කරගන්න බොහොම හැඩි දැඩි සුදු ගැහැණු ලංකාවට ගෙන්වලා තිබුණා. ඒවා කෙරුණේ හැංගි හොරා නෙමෙයි. ඒත් ලංකාවේ සමහර ගැහැණු අයත් සල්ලිවලට හොර රහසේ ඒ කටයුතු කළා. වැල්ලවත්තේ සැවොයි සිනමා ශාලාවට ඉස්සර බායි කෙනෙකුට අයිති තට්ටු දෙකක විශාල ගෙයක මේ සුදු ගැහැණු 200 ක් විතර නවත්තලා තිබුණා. මේ අයව හැදින්වුවේ ” රෙන්ස් ” කියලයි. ඒ දවස්වල මේ අය නාන ඇදුම් ඇදගෙන පාර දිගේ වැල්ලවත්තේ මුහුදට නාන්න යනවා. අද වැල්ලවත්තේ ඇළ කුණු ඇළක් වුණත් එදා ඒක බොහොම පැහැදිලි පිරිසිදු වතුර තිබුණු තැනක්. සුදු පාට වැල්ල පවා පේන තරම් පැහැදිලියි. එදා බොහොම දෙනෙක් වැල්ලවත්ත ඇළේ නාන්න එනවා.

අංගොඩ මානසික රෝහලේ මම සේවය කළේ 1950 ගණන්වල. රෑට මුලු රෝහලම බලාගන්න සිද්ධ වුණේ මට. කාන්තා රෝගීන් සහ පිරිමි රෝගීන් වෙන් කරලයි වාට්ටු හදලා තිබුණේ. ඒ කාලයේ මානසික රෝහලේ අප්පුහාමි කියලා ලෙඩෙක් හිටියා. කොණ්ඩෙ එහෙම බැදලා පිරිසිදුව හිටිය කෙනෙක්. හරිම විශ්වාසවන්තයි. මේ නිසා මම කොහේ හරි යද්දී කාමරේ යතුර පවා දීලා ගියේ එයාට. බිබිලේ හරියේ දී පොලිසියෙන් අල්ලලයි මෙයාව පිස්සන් කොටුවට ගෙනැල්ලා දාලා තිබු‍ණේ. එයාගේ ගම , ගෙවල් දොරවල් ගැන මුකුත් කියන්න එයා දන්නේ නැහැ. හැබැයි අතේ තියාගෙන නළවපු පුංචි පුතෙක් හිටිය බව විතරක් එයාට මතකයි. ඉතින් අපි මේ පුද්ගලයා ගැන තොරතුරු දැනුම් දුන්නාම එක දවසක දොඩම් කූඩයකුත් අරගෙන තරුණයෙක් ආවා. අප්පුහාමිගේ පෙනුමමයි. කිසිම වෙනසක් නැහැ.

” අප්පුහාමි මෙන්න පුතා ඇවිත්… ” කියලා අපි කිව්වම අප්පුහාමිට යකා නැග්ගා.

” මට මේ තරම් ලොකු පුතෙක් හිටියේ කොහේ ද …? මේ මගේ හතුරෝ එවාපු බිල්ලක්. මට හිටියේ මේ තරම පුතෙක්…” කියලා දෝත දික්කරලා පෙන්නලා තරහින් යන්න ගියා.

මම මානසික රෝහලේ නැවතිලාමයි හිටියේ. රෑට කාන්තා වාට්ටුව පැත්තෙන් පැල් කවි , සීපද ඇහෙනවා. අඩනවා ඇහෙනවා. සමහර කාන්තාවන් පොල්ගස් පවා නගිනවා. පිරිමි අය නම් හුගාක් වෙලාවට හැසිරෙන්නේ බොහොම සැර පරුෂ විදියට. මම රෝහලේ සේවය කළ කාලයේ මානසික රෝගීන් එක්ක පෙම් සබදතා ඇති කරගත් ලිපිකරුවන් හිටියා. ඒ‍ වගේම රෝහලේ සේවිකාවන් එක්ක පෙම් සබදතා ඇති කරගත් රෝගීන් හිටියා. මට මතකයි ඒ කාලයේ හිටපු රෝහල් සාත්තු සේවිකාවට එක රෝගියෙක් පෙම් කළා. මේ සේවකාවත් මේක විහිලුවට අරගෙන එයාට ලියුම් ලියන්න පටන් ගත්තා. මේක දුරදිග ගිය නිසා රෝගියාව වෙනත් අංශයකට දාන්න සිද්ධ වුණා. මේකට රෝගියාට හොදටම තරහා ගියා. එයා තට්ටු තුනේ පරිපාලන ගොඩනැගිල්ලේ උඩම තට්ටුවට නැගලා මේ සාත්තු සේවිකාව ඉල්ලලා දවස් එක හමාරක්ම පෙම් ලියුම් ඉර ඉරා බිමට විසි කර කර හිටියා. මෙයාව බිමට ගන්න ගිනි නිවන හමුදාවත් ගෙන්නුවා. ඒත් ගිනි නිවන හමුදාවේ තිබුණු ඉනිමං මේ ගොඩනැගිල්ලේ මුදුනට නගින්න තරම් මදි. අන්තිමේ දී ඉනිමං දෙකක් එකතු කරලා තමයි උඩ තට්ටුවට ඒක තියන්න පුලුවන් වුණේ. ඔය වෙලාවේ අර රෝගියාට නින්ද ගිහිල්ලයි තිබුණේ. කොහොම හරි අහම්බෙන් නින්දෙන් නැගිටලා මේ ඉනිමං දැක්ක ගමන් රෝගියා එතැන ඉදන් බිමට පැන්නා. බිමට වැටෙද්දීම බිම හිටියා ගිනි නිවන හමුදාවේ නිලධාරියෙක් උඩ පැනලා මෙයාව ඈතට තල්ලු කළා. මේ නිසා කකුල විතරක් කැඩිලා බේරුණා. නැතිනම් මුලු ඇගම සුණු විසුණු වෙලා යනවා.

ජපන්නු ලංකාවට බෝම්බ දාපු වෙලාවේ එක් බෝම්බයක් පිස්සන් කොටුවටත් වැටිලා රෝගීන් පිරිසක් මිය ගියා. මේ අයව රෝහල් භූමියේම භූමිදාන කරලා තිබුණා.

යුද්ධ කාලයේ කොටුව ස්ටේසම ඉස්සරහ ආනන්ද භවන් , ලක්ෂ්මී භවන් කියලා හෝටල් දෙකක් තිබුණා. ආනන්ද භවන් හෝටලයේ අයිතිකාරයා කොළඹ හිටපු නගරාධිපති ටී. රුදා. යුද්ධ කාලයේ ඔය හරියේ බත් කන්න තැනක් තිබුණේ  නැහැ. ඉතින් අපි ඔය හෝටල් දෙක ඉස්සරහ පෝලිමේ ඉදලා තමයි තොසේ කෑවේ. තෝසේ එකක් සත පහයි. එකක් කෑවම හොදටම බඩ පිරෙනවා.

යුද්ධ කාලයේ සාමාන්‍ය මිනිස්සුන්ට කන්න තිබුණේ බජිරි , තිරිගු , කම්බෝ වගේ දේවල්. ඔය කියන කම්බෝ කියන ඒවා මුං ඇට වගේ ජාතියක්. තැම්බුවට ටිකක් සෙවල වගේ තියෙනවා. ඒවා තම්බලා තමයි බත් වෙනුවට කෑවේ. හාල් තිබුණේ නැතිම තරම්.

ඒ කාලයේ පිටකොටුව හරිම පාලුයි. සෙනගත් අඩුයි. ඒත් බයක් හැකක් නැතිව ඕන රැයක යන්න  එන්න පුලුවන්කම තිබුණා. ඒ කාලයේ මට මතකයි “චින්තාමනී ” කියලා සිනමා පටයක් පිටකොටුවට ආවා. මේක හරිම ජනපිය වුණා. කොයි තරම් ජනපිය වුණා ද කියනවා නම් සිනමා පටිය බලලා සමහර අය චින්තාමනීව හැබහින් බලන්න ඉන්දියාවටත් ගියා. එහෙම යන්න ගිහින් මගදී මැරුණු අයත් හිටියා. ඒ කාලයේ නාඩගම් එහෙමත් හරියට තිබුණා. පොල් අතු මඩුවල එක නාඩගම සුමානයක් විතර පෙන්වනවා. මරදානේ ගාමිණී හෝල් එක තිබුණු තැන එදා තිබුණේ ටකරන් මඩුවක්. එතැනත් නාඩගම් පෙන්නුවා. උස් ගොඩනැගිලි එදා තිබුණෙ නැහැ.

පිටකොටුවේ දෙමළ මිනිස්සුන්ගේ බත් කඩත් හරිම පසිද්දයි. ඒවායේ දිග මේසවල එක පෙළට දිග බංකු තියලා තිබුණා. කෑම කන්න ආවම කෙහෙල් කොළ එක දිගට බෙදාගෙන බෙදාගෙන යනවා. ඊට පස්සේ උණු උණුවේ බත් බෙදාගෙන යනවා. ඇති වෙනකල්ම බත් බෙදනවා. කොච්චර කෑවත් සත පනහයි. මස් මාලු නැහැ. සිකුරාදාට විතරක් ” පාසායම් ” කියලා විශේෂ බීම වීදුරුවක් දෙනවා. ඒක කහ පාටට හුරු කැද වගේ දෙයක්. ඉදියප්ප වගේ පොඩි පොඩි දේවලුත් ඒකට දානවා. ඒක හරිම රසයි.

චැතැම් වීදියට හැරෙන තැනම ඒ කාලයේ Grand Hotel කියලා හෝටලයක් තිබුණා. එතැනත් බත් එක සත පනහයි. එතැන තිබුණු විශේෂත්වය නම් මාලු ඔලුවක් සත 35 කට තිබුණු එකයි. ඒ මාලු ඔලුව හරිම ලොකුයි. ඒකේ කටු එහෙම අයින් කරලා , හොදට ලුණු මිරිස් දාලා උකුවට හදලා ලොකු පීරිසියක ලස්සනට තියලා තියෙනවා. ඒක විතරක් කෑවත් බඩ පිරෙනවා. හුගක් අය ඒක කන්නම එතැනට ගියා.

ඉස්සර පිටකොටුවේ දොඩම් වෙළෙන්දෝ හරියට හිටියා. ඒ ඔක්කොම බිබිලේ දොඩම්. ඒවා හරිම පැ‍ණි රසයි. ඒ දවස්වල ඒ කියන්නේ 1936 දී විතර රුපියලක් අරගෙන කඩේට ගියාම මුලු සුමානයටම සෑහෙන්න රට ලුණු  , රතු ලූණු , මිරිස් , තුනපහ , හාල් ඔය හැම දෙයක්ම අරගෙන තව සෑහෙන මුදලක් ඉතිරිත් වෙනවා.

මට මතකයි මගේ මාමා කෙනෙක් දුම්රිය දෙපාර්තමේන්තුවේ වැඩ කළා. එයාගේ මාසේ පඩිය රුපියල් 27.50 යි. මාමගේ ගෙදර ලොකු පෙට්ටගමක් තිබුණා. ඒකේ එක පැත්තක මාසයටම කන්න හාල් දාන්න පුලුවන්. අනෙක් පැත්ත ලාච්චුවලට වෙන් කරලා තිබුණා. තවත් පැත්තක් කුලුබඩු දාන්න පුලුවන්. ඉතින් මාමාට පඩි අරගෙන මුලු මාසයට ම සෑහෙන හාල් තුන පහ , කුලු බඩු එහෙම අරගෙන ඔය පෙට්ටගම පුරවන්න රුපියල් 7.50 ක් වත් වියදම් ගියේ නැහැ.

ඒ කාලයේ අපේ රට සුද්දන් පාලනය කළාට අපේ පාලකයන්ට වඩා හොදට ඒ අය රට පාලනය කළා. අද වගේ අයුතු අසාධාරණකම් එදා තිබුණේ නැහැ.

3 thoughts on “රුපියලකින් සුමානයක් ම කන්න පුලුවන්…!

Add yours

  1. අනේ අපේ රටේ ඇත්තටම එහෙම තිබුනද? විශ්වාස කරන්නත් අමාරැයි.මම කියන්නේ බඩු මිළ නෙවෙයි.ගාලු පාරේ දෙපැත්තේ තිබුන ගහ කොළ ගැන. සිලිලාර ඹයාට ස්තූතියි. මේ වගේ ලස්සන අතීතයක් අපේ රටට තිබුන බව මතක් කරනවට. සුදු හමුදාවේ අය වෙනුවෙන් මේ රටට ගෙන්වපු සුදු ගෑනු ආපහු සුද්දෝ අරගෙන ගියාද කියල ඔයා ඇහුවේ නැද්ද? මේක කියචපු නිසා මට හිතෙනවා ඒ අයගෙන් ආරම්භ උන පරම්පරාවකින් පැවතෙන අයද දේශපාලනය කරන්නේ කියලා.
    —–‍ෙක්තුමතී.—

    කැමතියි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.

ඉහළ ↑

%d bloggers like this: