කලාවැව හැදුවේ විජය රජ්ජුරුවෝ ද ….?

මගේ හිතවතෙක් ළගදී මට අපූරු කතාවක් කිව්වා.

මේ කතාව කොයි තරම් දුරට ඇත්ත කතාවක් ද කියලා කියන්න මිතුරා හරිහැටි දැන හිටියේ නැතත්  ඒ කතාවෙන් මතු කරන හාස්‍යය යටින් තියෙන්නේ කොයි තරම් කටුක ඇත්තක් ද කියලා මට ආපහු වතාවක් මතක් වුණේ ඊයේ පෙරේ දා දැක්ක පුවතක් නිසයි.

ඒ පුවත කියන්නට කලින් මිතුරාගේ කතාව කියන්නට සිද්ධ වෙනවා.

පහුගිය කාලය පුරාවටම බොහෝරජයේ රැකියාවල පුරප්පාඩු පිරවෙන්න පටන් ගත්තේ දේශපාලකයන්ගේ හරි ඒ අයගේ බිරින්දෑවරුන්ගේ(එහෙමත් නැතිනම් අනියම් බිරියන්ගේ ) , ඔවුන්ගේ දූ දරුවන්ගේ හිත මිතුරු හෙංචයියලාගෙන්බව කවුරුත් දන්නා දෙයක්. මේ නිසාම රජයේ රැකියාවන්වන් වෙනුවෙන් පුවත්පත්වල දැන්වීම් පළ වෙන්නේ ඇමතිවරයාගේ හිතවතා තනතුරට තෝරා ගැනීමෙන් පස්සේ කියලා හැමෝම දන්නවා.

මගේ මිතුරාගේ කතාවට පදනම්වෙච්ච තරුණයාත් ඔය කියන ඇත්ත හොදින්ම දැනගෙන හිටිය කෙනෙක්. අයදුම් කරන හැම රස්සාවක් ම ඇමති හෙංචයියන්ගෙන් පිරවෙන බව දැන දැනත් මේ තරුණයා රජයේ රැකියාවන්ටත් ඉල්ලුම් පත් දිගටම යැව්වේ ජීවත් වෙන්නට රස්සාවක් ඕන වෙලා තිබුණු නිසයි.

මේ තරුණයාට තිබුණේ ඉතිහාසය පිළිබද විශේෂ උපාධියක්. තමන්ගේ සුදුසුකම්වලට ගැලපෙන තනතුරක් රජයේ ආයතනයක තියෙනවා දැකපු මේ තරුණයා ඒ තනතුරටත් ඉල්ලුම් කළා වගේම සුපුරුදු විදියටම සම්මුඛ පරීක්ෂණයටත් ඔහුට කැදවීම ලැබුණා. සම්මුඛ පරීක්ෂණයට යන්න තීරණය කළාටත් පස්සේ තමයි ආයතනය ඇතුළේ ඉන්න හිතවතෙක්ගෙන් දැනගන්නට ලැබුණේ ඒ තනතුරටත් ඇමති හෙංචයියෙක්ගෙන් අරගෙන ඉවරයි කියලා. ඒත් හිතේ අමාරුවටත් එක්ක සම්මුඛ පරීක්ෂණයට යන්න තරුණයා තීරණය කළා.

පුරප්පාඩු වෙච්ච තනතුරට ගන්න කෙනා තීරණය කරලත් ඉවර වුණත් පුරුදු විදියටම මහා ගරු ගාම්භීර විදියට තමයි සම්මුඛ පරීක්ෂණය කෙරුණේ. පරීක්ෂණ මණ්ඩලයට නිලධාරීන් තුන් දෙනෙක්ම ටයි පටි ගැට ගහගෙන මහා බැරෑරුම් මුහුණු එහෙම හදා ගෙන තමයි හිටියේ. බොහොම අමාරුවෙන් ඉගෙන ගෙන ලබා ගත්ත අධ්‍යාපන සුදුසුකම් ටිකත් ෆයිල් කවර වල දාගත්ත අහිංසකයන් බොහොම දෙනෙක් බලාපොරොත්තු පොදි බැදගෙන සම්මුඛ පරීක්ෂණයට අවස්ථාව ලැබෙනකම් පෝලිම් ගැහිලා කාමරයෙන් එළියේ බලාගෙන ඉන්නවා.

ඉතින් මේ පෝලිමේ සෑහෙන වෙලාවක් කාලය ගත කරලා අන්තිමට අපේ තරුණයාටත් පරීක්ෂණ මණ්ඩලය ඉස්සරහට යන්න හම්බු වුණා. හැමදාමත් මේ කරන රැවටීම ගැන පුදුමාකාර කලකිරීමකින් වගේම දරා ගන්න බැරි තරහකිනුත් හෙම්බත්වෙලා තමයි අපේ තරුණයා ඒ වෙනකොට හිටියේ.

කවදත් අහන පුංචි පුංචි දේවල් ටික ඇහුවට පස්සේ එක් නිලධාරියෙක් බොහොම ගාම්භීරව කටහඩ අවදි කළා.

“ තමුන්ට තියෙන්නේ ඉතිහාසය ස්පෙෂල් උපාධියක් නේද… කියන්න බලන්න කලාවැව හැදුවේ කවුද කියලා…? ”

“ විජය රජ්ජුරුවෝ… ” තරුණයා ගත් කටටම කිව්වා. නිලධාරීන් ටික මුහුණට මුහුණ බලා ගත්තා.

“ එහෙමනම් කියන්න බලන්න රුවන්වැලිසෑය හැදුවේ කවුද කියලා…” තවත් නිලධාරීයෙක් කටහඩ අවදි කළා.

“ රාජසිංහ රජ්ජුරුවෝ…  ”තරුණයා එක සැරේම කිව්වා.

“ තමුන්ගේ උපාධිය නම් ඉතිහාසය ස්පෂෙල්.. එත් කලාවැව , රුවන්වැලිසෑය හැදුවේ කවුද කියලා කියාගන්න දන්නේ නැහැ… ” මෙතෙක් වෙලා නිහඩව හිටිය අනෙක් නිලධාරියා බොහොම අවඥාවෙන් කිව්වා.

කිසිවක් නොකිව්ව තරුණයා මේසය පුරා තිබුණු සහතික ටික තමන්ගේ ෆයිල් කවරයට දාගත්තා. ෆයිල්කවරයත් අරගෙන නැගිටලා යන්න ගිහින් ආපහු මේසය ළගට ඇවිත් නිලධාරීන් තුන්දෙනාගේ මුහුණට එබිලා බැලුව තරුණයා මෙහෙම කිව්වා.

“ හරි මම ඔය මුලින් අහපු දේට ධාතුසේන රජ්ජුරුවෝ කියලා දෙවැනියට අහපු දේට දුටුගැමුණු රජ්ජුරුවෝ කියලා කිව්ව නම් තමුසෙලා මාව රස්සාවට ගන්නව ද ….? ”

සමහර හාස්‍යයන් බොහොම කටුකයි. එහෙම වෙන්නේ ඒ හාස්‍යයට තුළින් කටුක සත්‍යයක් ඉස්මතු වෙන කොටයි.

මේ කතාව කියන්නට කලින් මා සදහන් කළ පුවත ගැන කියන්නට දැන් වෙලාව සුදුසුයි.

මේ පුවතට පදනම් වෙලා තිබුණේ විදේශ සේවා නිලධාරීන් බදවා ගැනීමක් ගැනයි. සාමාන්‍යෙයන් විදේශ සේවාවන්ට
නිලධාරීන් බදවා ගැනීම සිදුවෙන්නේ දැඩි තරගකාරී විභාගයකට පස්සේයි. ඒකට හේතුව විදේශ සේවා වෘත්තිය සාඩම්බර වෘත්තියක් ලෙසින් සැලකීමත් , එම තනතුරට පත් වෙන පුද්ගලයන්ට විශේෂ තානාපති වරපසාද සමග තම දරු පවුලත් සමගින් විදේශයන්හි ජීවත් වීමට ඉඩකඩ ලැබීමත් නිසයි. මේ නිසාම දැඩි තරග විභාගයකින් තෝරා ගන්නා සමතුන්ට කැබිනට් මණ්ඩලයේ ද අනුමැතියෙන් පස්සෙයි තනතුරු හිමිවන්නේ.

ඒත් පහුගිය දිනෙක අහන්නට ලැබුණේ කලින් කිව්ව කතාවේ වගේම ලංකාවේ අපට බොහොම සුපුරුදු දෙයක්. විභාගයේ සමතුන් පැත්තක සිටිය දී බලාපොරොත්තු විය හැකි පරිදිම ඇමතිවරුන්ගේ දරුවන්ට ඒ වගේම ආණ්ඩුවට කඩේ යන මහා කලාකරුවන් යැයි කියාගන්නා කලා හොරුන්ගේ දූ දරුවන්ට මේ කිසිම සුදුසුකමක් නැතිව තනතුරු ටික බෙදලා දීමයි.

මේ විදියට තාත්තලා කඩේ යාමේ පිනින්ම පමණක් දූවරුන් එකොළොස් දෙනෙක්ටම ඇමරිකාව ඇතුලු රටවල තානාපති කාර්යාලවලට තමන්ගේ දරු පවුල් පිටින්ම නවාතැන් ගන්න මෙලොව දී ම පිං පළ දුන්නා.

විය යුතු පරිදිම , ඒ වගේම විය හැකි පරිදිම මේ පුවත ලංකාවේ කිසිම පුවත්පතකින්වත් විද්යුත් මාධ්‍යයකවත් පළ වුණේ නැහැ. (එත් පුවත සත්‍යයක් බව තහවුරුයි). ඒත් මේ පුවත පළ කළ වෙබ් අඩවියයේ අදහස් පළ කරලා තිබුණු විභාගයට ඉදිරිපත් වුණු සැබෑ සුදුස්සන්ගේ අදහස්වලින් මුදා හැර තිබූ පීඩනය දැක්කම මේ සිද්ධ වෙන්නේ කොයි තරම් කාලකන්නි සහගත සිදුවිම් දාමයක් ද කියලා සිහි බුද්ධිය ඇති ඕනෑම කෙනෙකුට දැනෙනවා. අඩුම තරමින් විභාගය ෆේල් කියලා හිත හදාගන්න ලියුමක්වත් ඒ සැබෑ සමතුන්ට නොයාවාම තමයි පස්සා දොරෙන්ම තනතුරු බෙදලා දීලා තිබුණේ.

කොහොමටත් ලංකාවේ විදේශ සේවාවන්ගේ බොහොමයක් පුරප්පාඩු පිරවෙන්නේ විශාම ගිය දේශපාලකයන්ගෙන් , එහෙමත් නැතිනම් ආණ්ඩුවලට චන්දය දෙන්න කියලා හිගමන් ඉල්ලමින් පත්තර දැන්වීම්වල අත්සන් කරපු කලාකරුවන් කියලා හදුන්වන තොරම්බල්කාරයන්ගෙන් , එහෙමත් නැතිනම් උසාවියෙන් වැරදිකරුවන් වෙලා හිරේ යන්න ඔන්න මෙන්න තියෙද්දී පොදු සමාව යටතේ බේරුණු චණ්ඩින්ගෙන් , එහෙමත් නැතිනම්  කඩේ යමින් කරපු උදව්වලට දාන්නම තැනක් නැති තැන මුලු පවුලටම කරන තෑග්ගක් විදියට දාන පිරිසකගෙන් කියන එකත් හැමදාමත් හැමදෙනාමත් දන්න දෙයක්.  මේ තත්ත්වය මෑත කාලයේ බලයට ආපු හැම ආණ්ඩුවකින් ම සිද්ද වෙච්ච නිසා මේ වෙනකොට හැම ආණ්ඩුවක් යටතේ ම පත් වුණු මේ විදියේ ගුණ නැණ බෙලෙන් විතරක් නෙමෙයි සදාචාරබවින් පවා බිංදුවටම බැස්ස බොහොම පිරිසක් අපේ රට නියෝජනය කරමින් බොහොම සුව පහසු ජීවිත ගත කරනවා. යමක් කරන්නටවත් , අඩුම තරමින් රට වෙනුවෙන් කතා කරන්නටවත් දැනුමක් නැති නිසා මේ අයගේ සාමාන්‍ය දෛනික රාජකාරිය වෙන්නේ සාප්පු සවාරි යාම , අවුරුද්දකට සැරයක් නෑයන් බලන්නට ලංකාවට ඇවිත් යාම , ලංකාවේ නිදහස් දිනයට තමන්ගේ තානාපති කාර්යලයේ ජාතික කොඩිය උස්සලා වාර්ෂික සාදයක් සංවිධානය කිරීම වගේ බොහොම නිදහස් සරල කරුණු කාරණා.

ඒත් ඉතාම කාලකන්නි සහගත එහෙමත් නැතිනම් කටුකම යථාර්ථය නම් මේ පිරිස නියෝජනය කරන්නේ අපේ සමස්ත ජාතියේම අතීතය , වර්තමානය සහ අනාගතය වීමයි. රටක තානාපති කාර්ය මණ්ඩලය කියලා කියන්නේ රටක් ඇතුළේ  තියෙන තවත් ස්වාධීන රාජ්‍යයක් කියලයි ජාත්‍යන්තර නීතියේ පැහැදිලිවම හදුන්වලා දෙන්නේ. ඒ නිසා කිසියම් රටක තානාපති කාර්යාල භූමියකට ඇතුලු වෙන්න ඒ රටේ පොලිසියටවත් අවසර නැහැ. මේ තරම් භාරදුර සහ පූර්ණ බලතල රාශියක්ම තානාපති දූත මණ්ඩලයට හිමිවෙන්නේ ඒ අය නියෝජනය කරන්නේ සම්පූර්ණ රටක් , ජාතියක් නිසයි. රටක තානාපති කාර්යාලයෙන්  ඒ රටේ සංස්කෘතිය , හැදියාව වගේම ජාතියක ගමන්මග හදුනාගන්න පුලුවන්. ඒත් මද සරු ඔලු ගෙඩි සමූහයක් මුලු ලෝකය පුරාම අපේ රට නියෝජනය කරන්න ගත්තොත් සිද්ධ වෙන්නේ අන්තිමේ දී සමස්ත ජාතියක්ම ලෝකයා ඉදිරියේ කාණු පල්ලට වැටීමයි. ඒ තිත්ත විපාක මේ වෙනකොටත් අපි භුක්ති විදින බව අමතක කරන්නට බැහැ. පවුල් පිටින් කඩේ යාම නිසා තනතුරු ලබන මේ ජාතියේ නිලධාරීන්ට රට වෙනුවෙන් ප්‍රසිද්ධියේ විවාදයක් කරන්නට තබා තානාපති කාර්යාලයේ  තේ පැන් සංග්‍රහයට එන සුද්දෙක් අහන සරල ප්‍රශ්නයකටවත් උත්තරයක් දෙන්න හැකියාවක් නැහැ. තවත් බොහොම දෙනෙක්ට අපේ රටේ ඉතිහාසය කෙසේ වෙතත් අඩුම තරමින් පරාක්‍රමබාහු සමුද්‍රය කියන්නේ මුහුදක් නොවන බව කියන්න තරම්වත් රට ගැන අවබෝධයක් නැහැ.

ලක්ෂ්මන් කදිරගාමර් වගේ සැබෑ පරිණත රාජ්‍ය තාන්තිකයන් බිහිවෙන යුගයක ලකුණු වත් පේන්නට නැති නිසා අද දේශපාලන වේදිකාවත් කෝලම්කරුවන්ගේ තෝතැන්නක් බවට පත්වෙලා.

අපේ තානාපති දූත සේවාවන්ට සැබෑ සුදුස්සන් පත් වෙනවා නම් චැනල් 4  වීඩියෝ විතරක් නෙමෙයි  ජාත්‍යන්තරයෙන් සිදුවන බොහොමයක් අවලාද මඩ පහාරයන් උපන් ගෙයිදීම වළක්වා ගැනීම ජය ගන්නට අසීරු ඉලක්කයක් නෙමෙයි.ඒ නිසා සිද්ධ වෙන හැම දෙයක්ම කුමන්ත්‍රණයක් කියන බොහොම ලාභදායී ගැලරිය පිනවන ප්‍රකාශ එල්ල කරන්නට කලින් අපේ පැත්තෙන් සිද්ධවෙන සුදුස්සාට නිසි තැන හිමි නොවන මේ ජාතියේ කුමන්ත්‍රණයන් වැළැක්වීම ප්‍රායෝගික විසදුමක් කියලයි හිතෙන්නේ.

6 thoughts on “කලාවැව හැදුවේ විජය රජ්ජුරුවෝ ද ….?

Add yours

  1. පොඩි වරදක්… ථූපාරාමය දුටුගැමුණුගේ ගිණුමට බැරවීමයි ඒ. එය දේවානම් පියතිස්ස විය යුතුයයි සිතමි. අනෙක් කරුණු පිළිබඳ අර්බුදයක් නැහැ. ඒවා මේ ආශ්චර්යමත් ශ්‍රී ලංකාවේ ”පුංචි” ප්‍රාතිහාර්යයන්.

    කැමතියි

    1. බොහොම ස්තුතියි විපුල.. එය රචනයේ දී සිදු වූ අතපසු වූවක්. එය රුවන්වැලිසෑය ලෙස වෙනස් විය යුතුයි. එය පෙන්වා දුන්නාට ඔබට ස්තුතියි. (අතපසු වීම නිවැරදි කර ඇත)

      කැමතියි

  2. අනේ ‍මේ ගැන කතාකරලා වැඩක් නැහැ. මම දන්න කෙනෙක් රෝහිත බෝගොල්ලාගමට හොඳට කඩේ ගියා. මිනිහා පරිපාලන සේවා විභාගය කරලත් නැතුව අමාත්‍යංශ ලේකම් උනා. ඊට පස්සේ මානව හිමිකම් නඩුවක් වැටිලා ඒකෙන් එයා පරාද උනා. ඒ ගමන බෝගොල්ලගම එයාව උපදේශකයෙක කරගත්තා. අමැතිවරයා විදේශ ඇමති උනාම මේ මනුස්සයාව රැසියාවේ ශ්‍රීලංකා තානාපති කර්යාලයේ ලොක්කෙක් කරලා දරැ පවුල පිටින්ම රට ඇරියා. අද ඇමති පැරදිලා ගෙදර. අර මනුස්සයගෙ ළමයි රජයේ වියදමෙන් ඇමරිකාවේ ඉගෙන ගන්නවා. මිනිහා රැසියාවේ බිරිඳ එක්ක නිවාඩු පාඩුවේ සිලිලාර කියපුව කර කර ඉන්නවා.
    කේතතුමතී

    කැමතියි

Jayasri වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

WordPress.comහි බ්ලොග් සටහනක්.

ඉහළ ↑