“රැවටීම සහ රැවට්ටීම”

ලොව දෙවැනි විශාලතම රාජ්‍යය වන කැනඩාවේ මහා මැතිවරණය නිමාවට පත් වූයේ නොබෝදාය.

කැනඩාවේ ප්රධානතම පුවත් ජාලය වන CBC රූපවාහිනී සේවාව මහා මැතිවරණ සමයේ විකාශය කළ පුවතකට පාදක වී තිබුණේ අපූරු තේමාවකි.

එහිදී රූපවාහිනී කණ්ඩායම , කැනඩාවේ සරසවි භූමියකට ඇතුලු වී යන එන සරසවි සිසුන් මොහොතකට නවතමින් ඔවුන් වෙත ඡායාරූප හතරක් පෙන්වමින් එම ඡායාරූපවල සිටින පුද්ගලයන් හදුනා ගත හැකි දැයි සිසුන්ගෙන් විමසති. මෙම ඡායාරූප හතරේ වූයේ කැනඩාවේ අගමැති ස්ටීවන් හාපර් (මැතිවරණයෙන් යළි අගමැති ධුරයට පත් වූයේ ද ඔහුමය.) සහ මැතිවරණයට තරග කළ සෙසු ප්රධානතම දේශපාලන පක්ෂ තුනේ නායකයන්ගේ ඡායාරූපයන්ය. සිත් ඇදගන්නා සුලු කරුණ වන්නේ සිසුන්ගෙන් අතිශය බහුතරයකට සෙසු දේශපාලන නායකයන් කෙසේ වෙතත් අඩුම තරමින් කැනඩාවේ අගමැතිවරයාවත් හදුනා ගන්නට නොහැකි වීමය.

විශාලත්වයෙන් රුසියාවට පමණක් දෙවැනි වන එමෙන්ම වසර පහකට වරක් පමණක් මහා මැතිවරණයක් පවත්වන කැනඩාව වැනි රටක අනාගතය භාර ගැනීමට සූදානමින් සිටින තරුණ පරපුර දේශපාලනය සම්බන්ධයෙන් මේ තරම්ම ඇල් මැරුණු ස්වභාවයක් දක්වන්නේ ඇයි…?

එහෙත් සැබෑ තත්ත්වය නම් මැතිවරණය සම්බන්ධයෙන් එවන් වූ අලස ස්වභාවයක් දක්වන පිරිස සරසවි සිසුන් පමණක් නොව පොදුවේ ගත් විට සමස්ත කැනේඩියානු පුරවැසි පරපුරම වීමය. මේ නිසාම කැනඩාවේ මැතිවරණයක් යන්න ආසියාවේ අපට සාපේක්ෂව උණුසුමින් තොර වූවකි. ගෙවී ගිය වසර පනහක කාලය තුළම කැනඩාවේ මැතිවරණය සදහා ඡන්දය පාවිච්චි කළ පිරිස ලියාපදිංචි ඡන්ද දායකයන්ගෙන් සියයට 65 ඉක්මවා නැත. රටේ ජනගහනය සමස්ත ලෙස ගෙන බැලූ විට ජනගහනයෙන් අඩක්වත් ඡන්දය පාවිච්චි කරන්නේ නැත. ඒ ඇයි…?

ඔව්.. එයට හේතුවක් තිබේ.

එනම් කවර ආණ්ඩුවක් බලයට පත් වුවද කැනේඩියානුවන්ගේ ඉහළ ජීවන තත්ත්වය සුරක්ෂිත කරවන ශක්තිමත් නීති රීති පද්ධතියක් ක්රියාත්මක වීමය. මේ නීති රීති පද්ධතිය බලවත් බැවින් දේශපාලකයා හෝ දේශපාලන පක්ෂය යන්න කැනේඩියානු ජීවන පරිසරයේ වැදගත් අංගයක් නොවේ. මැතිවරණයක දී ඡන්ද දායකයන් සිය ඡන්දය පාවිච්චි කරන්නේ ද තමන් ගරු කරන අදහස් සහිත දේශපාලන පක්ෂයට මිස තනි තනි දේශපාලකයට නොවේ. මේ නිසාම මැතිවරණයෙන් ජයගන්නා අගමැතිවරයාට පවා සිය පක්ෂයේ මූලධර්ම මත පිහිටා මිස සිය හිතුමතයේ වැඩ කරන්නට කිසිදු ඉඩක් කැනේඩියානු ව්‍යවස්ථාව තුළ නැත.

පොදුවේ ගත් විට කැනේඩියානු මැතිවරණය සම්පදාය තුළ දේශපාලකයා යන්න අවලංගු සාධකයකි. මේ නිසාම ඡන්දය දීමට පමණක් නොව මැතිවරණයෙන් පසු ජයගත්තේ කවර දේශපාලන පක්ෂය ද යන්න පවා දැන ගැනීමට බොහෝ දෙනෙකු තුළ උනන්දුවක් නැත. මේ තත්ත්වය කැනඩාවේ පමණක් නොව ලොව දියුණු යැයි සම්මත බොහෝ රටවල දක්නට ඇති සාමාන්‍ය කරුණකි.

ලංකාව හා සංසන්දනය කරද්දී කැනඩාව යනු අතිශය විශාල රටක් වන්නා සේම එහි එක් ප්රාන්තයක් පවා ලංකාවට නම් වූ දූපතට වඩා බෙහෙවින්ම විශාලය. එහෙත් මේ සා දැවැන්ත සමස්ත කැනඩාවම නියෝජනය කරමින් පාර්ලිමේන්තුවේ ඇත්තේ මන්තිරිවරුන් 308 ක් පමණි. එහෙත් ලංකාවේ ව්‍යවස්ථාවෙන් අපේ ජනාධිපතිවරයාට හිමිවන බලතල වලින් අඩුම තරමින් සියයට දහයක බලතලවත් මේ සා බලවත් රාජ්‍යයක අගමැතිවරයාට නැත. අඩුම
තරමින් පොලිස් දඩ කොළයකින් බේරෙන්නටවත් කැනේඩියානු අගමැතිවරයා හෝ වෙනත් කිසිදු මන්තිරිවරයකුට හැකියාවක් නැත. එනම් අගමැතිවරයා ද තවත්  පුරවැසියකුම පමණි. සාමාන්‍ය පුරවැසියකුට අහිමි කිසිදු වරපුසාදයක් අගමැතිවරයාට හිමිවන්නේ නැත. නීතිය කාටත් සමානය. නීතිය ක්රියාත්මක කරන්නට එන පොලිස් නිලධාරියකුට හෝ වෙනත් කිසිදු හෝ රජයේ නිලධාරියෙකුට “ මම අගමැති “ යැයි පැවසුවහොත් අගමැතිවරයාට
සිදුවන්නේ පසුදාම සිය තනතුරෙන් සමුගන්නටය.

සියලුම පුරවැසියන්ට නීතිය සමානව හිමිවන බැවින් කවර පුරවැසියකුට හෝ රටේ අගමැතිවරයාගේ සිට සමස්ත පාලන ක්රමය නිර්දය ලෙසින් විවෘත විවේචනය කරන්නට හෝ ලිපි ලේඛන පළ කරන්නට කිසිදු බාධාවක් නැත. කිසියම් දේශපාලකයෙන් සොරකමක් හෝ මහජන විශ්වාසය කඩ කරන කිසියම් වූ හෝ ක්රියාවක් සිදු කළහොත් ඔහුට  හෝ ඇයට සිදුවන්නේ දේශපාලනයෙන් සදහටම සමුගන්නටය. ජනාධිපති කොමිසම් පත් කරමින් වැරදි කරුවන්ට චරිත සහතික ලියා දී සියලු වැරදි මිටි තැනින් යැවීමේ ක්රමය වෙනුවට මෙහි සිදුවන්නේ සියලු වැරදි ඉහළ තැනින් ම ගලා යාමයි. මේ නිසා කැනේඩියානු දේශපාලකයා යනු වචනයේ පරිසමාප්තියෙන්ම ජනතා සේවකයෙක් පමණි.

මේ සටහන නිමා කරන්නට මත්තෙන් ලංකාවේ අපට වැදගත් වන කරුණක් ද සදහන් කළ යුතුමය. එකිනෙකාට හාත්පසින්ම වෙනස් වූ අතිශය විවිධාකාර සංස්කෘතීන්ට අයත් ජාතීන් 150 කට අධික සංඛාවක් කැනඩාවේ ජීවත් වුවද කැනඩාව යනු අතිශය සාමකාමී රටකි. කැනේඩියානු පුවත්පතක් ගත්විට එහි ඇත්තේ ලංකාවේ මට්ටමින් ගත් විට අතිශය නීරස වූ පුවත් කිහිපයක් පමණි. ගෙවී ගිය මාසයක එක් දිනක කැනඩාවේ ප්රධානතම පුවත්පතක මුල්ම පිටුව මුලුමනින්ම වෙන් ව තිබුණේ චාල්සි ඩිකන්ස්ගේ නවකතාවක පරිච්ඡේදයක් පළ කිරීම සදහාය. එහෙත් ප්රධාන ජාතීන් තුනක් පමණක් ජීවත් වන ලංකාව නම් වූ දූපත තුළ ලොව ඇතිතාක් සියලු ප්රශ්න පවතින්නේය. ලංකාවේ පුවත්පතක පළවන පුවත් ගෙන බැලූවිට මේ සියලු පුවත් මවා ඇත්තේ දේශපාලකයන් පිරිසගේ කාලකන්නි ක්රියාවන් නිසා බව අතිශය පැහැදිලි කරුණකි. දූෂිතයන් තනතුරුවල යහතින් වැජඹෙන්නේත් , මුලු රටටම මත්කුඩු ගෙන්වන අමන දේශපාලකයන් කැබිනට් ඇමති තනතුරුවලින් පිදුම් ලබන්නේත් , සංවර්ධනය නම් වූ වචනයට මුවාවෙමින් කෝටි ගණනින් ජනතා මුදල් කොල්ල කන්නේත් , නීතිය රැකිය යුතු පිරිස නගර සභා මන්තිරිවරයාට පවා සැලියුට් ගසා කොන්ද නමන තත්ත්වයට පත් ව ඇත්තේත් එදා මෙදා තුර බලයට පත් වූ දේශපාලකයන් නඩය නිසා බව රහසක් නොවේ. මේ නිසා මෑත ඉතිහාසය ඉතිහාසය පුරාවටම හැමදාමත් රැවටීමට ලක්වූයේත් ඉදිරියේ දී රැවටීමට ලක්වන්නේත් සිංහල – දෙමළ – මුස්ලිම් සමස්ත පීඩිත ජනතාවම මිස ඔවුන් නියෝජනය කරන දේශපාලකයන් නඩය නොවේ.

එදා සිට අද දක්වාම ලංකාවේ සමස්ත දේශපාලන ක්රමය ගත් විට එය වචන දෙකකට සංක්ෂිප්ත කළ හැකිය. ඒ “රැවටීම සහ රැවට්ටීම” යන වචන දෙකයි. මෑත ඉතිහාසය තුළ කිසිම අවස්ථාවක දී එදා සිට අද දක්වාම අපේ රටේ සියලු දේශපාලන ක්රියාදාමයන් මේ වචන දෙක තුළින් පිට පැන නැත.

ලංකාවේ අපේ අධ්‍යාපන රටාව තුළ පාසල්වලදී එදාත් අදත් අපට උගන්වන බරපතල මිථ්‍යාවක් තිබේ. එනම් ලංකාව වැනි රටවල් සුභ සාධක රටවල් බවත් , කැනඩාව , ඇමරිකාව වැනි රටවල් ධනවාදී පරිධියේ පවතින රටවල් බවත්ය. එහෙත් එය සැබෑවක් නොවේ. කැනඩාව පමණක් නොව ලොව බොහෝ දියුණු රටවල් සිය පුරවැසියන් සදහා සෞඛ්‍ය සේවාවන් ලබා දෙන්නේ නොමිලයේය. එමෙන්ම සරසවි අධ්‍යාපනය දක්වාම මේ බොහෝ රටවල පුරවැසියන් අධ්‍යාපනයට කිසිදු මුදලක් ගෙවිය යුතු නොවේ. ඒ සේවාවාන් ක්රියාත්මක වන්නේ වචනයේ පරිසමාප්තියෙන්ම නොමිලයේය. ලංකාවේ නිදහස් අධ්‍යාපනය සහ නිදහස් සෞඛ්‍ය සේවාවක් ක්රියාත්මක වන බව පැවසුවද එහි ප්රතිලාභ ලැබීම සදහා කොතරම් මිලක් ගෙවිය යුතු ද යන්න අමුතුවෙන් කිව යුතු නොවේ. රජයේ රෝහලක ලේ සාම්පලයක් පරීක්ෂා කර ගැනීමට පවා යා යුත්තේ පුදගලික ඩිස්පැන්සරියකට මුදල් ගෙවාය. පාසලට ඇතුලු කර ගැනීමේ දී සිට දරුවා පාසලින් ඉවත් කර ගන්නා තෙක්ම පාසලේ ඩෙස් බංකුවේ සිට කුණු බාල්දිය පවා මිලදී ගන්නේ
දෙමාපියන්ගේ මුදල් පොකට්ටුවෙන් මිස මහජන මුදලික් ලොව පුරා සවාරි යන ඇමතිවරුන්  සිව් දෙනෙක්ම යහතින් වැජඹෙන අධ්‍යාපන අමාත්‍යාංශයේ ගිනුමෙන් නොවේ.

කටුනායකින් රටට ඇතුලු වන හැම සුද්දෙක්ම රට ගිලගන්නට පැමිණෙන කුමන්තණකරුවන්ය යන මිථ්‍යාව අපේ දේශපාලකයන් විසින් දැනුවත්වම ජනතාව මත පටවනු ලබන්නේත් තම සියලු අමන ක්රියාවන් කුමන්තණ බිල්ලා මත පටවා සිය පරම්පරා ජාතකය ශක්තිමත් කරන්නට බව හදුනා ගන්නට අපේ ජනතාවගෙන් බොහෝ දෙනෙකුට තවමත් හැකියාවක් නැත. මේ දේශපාලුවන්ට අනුව ඉන්දියන් සාගරයේ වඩදිය රැල්ල පවා ඇතිවන්නේ ජාත්‍යන්තර කුමන්තණ ජාලයක කොටසක් ලෙසිනි. අනෙක් අතට එදා සිට අද දක්වා වූ අපේ දේශපාලකයන් රැල මහජන දේපළ සහ රටේ සම්පත් විනාශ කරන පි‍ළිකුල් සහගත ස්වභාවය ගත් විට පිටරටින් පැමිණ විනාශ කරන්නට තරම් යමක් රටේ ඉතිරි වී ඇති නම් එය ද පුදුමයකි.

යළිත් වරක් කැනඩාව දෙස හැරී බැලුවහොත් වසර දහයක කාලයක් කැනඩාවේ වාසය කරන සියලු පුරවැසියන්ට ඔවුන් ලොව කොහේ ජීවත් වුවත් විශ්රාම වැටුපක් අනිවාර්යයෙන්ම හිමිවන්නේය. එමෙන්ම කැනඩාවේ ජීවත්වන සියලුම දරුවන්ට ඔවුන්ගේ වයස් අවුරුදු 18 සම්පූර්ණ වනතෙක් මාස්පතා දීමනාවක් හිමිවන්නේ දරුවන් සතුටින් තැබීමේ
මූලික අපේක්ෂාව පෙරදැරි කරගෙනය. මේ සියලු වරපුසාද කැනේඩියානුවන්ට හිමිවන්නේ මහජන මුදල් කාබාසිනියා කරන දේශපාලක නඩයක් ඔවුන් වෙත උරුම වී නැති බැවිනි. එමෙන්ම අල්ලස හා දූෂණයෙන් තොර වූ මුලුමනින්ම විනිවිද පෙනෙන පාලන ක්රමයක් ඔවුන් හට උරුමව ඇති බැවිනි. මේ නිසාම මහජන බදු මුදල් සෑම සතයක්ම පෙරලා මහජනතාවගේ සේවය වෙනුවෙන්ම වැය වෙනු මිසක දේශපාලක පැලැන්තිය නඩත්තු කිරීම සදහා වැය කෙරෙන්නේ නැත.

මේ සියලු කරුණු පොදුවේ ගත් විට සදහන් කළ යුතු වැදගත්ම කරුණ වන්නේ කැනඩාව පමණක් නොව දියුණු යැයි සම්මත මේ බොහෝ රටවල දියුණුව පසුපස ඇති එක්තරා මහා පොදු සාධකයක් බවය. එනම් රටේ අගමැතිවරයාගේ සිට සාමාන්‍ය පුරවැසියා දක්වා සියලු දෙනාම එකාමෙන්ම එක්ව රට දියුණු කිරීම සදහා වැඩ කිරීමය

4 thoughts on ““රැවටීම සහ රැවට්ටීම”

Add yours

  1. //එදා සිට අද දක්වාම ලංකාවේ සමස්ත දේශපාලන ක්‍රමය ගත් විට එය වචන දෙකකට සංක්ෂිප්ත කළ හැකිය. ඒ “රැවටීම සහ රැවට්ටීම” යන වචන දෙකයි.//

    දේශපාලන ක්‍රමයට විතරක් අදාල වන්නෙ නැහැ. පුද්ගලයන් ගත්තාම ලංකාවේ වාසය කරන පුද්ගලයා ද කැනඩාවට ගිය ලාංකිකයා ද අතර වෙනස ද එයම වනවා ද?

    ලංකාව තුල වාසය කරන්නා රැවටීම සහ රැවැට්ටීම කරද්දී කැනඩාවට යන ලාංකිකයා තමන් රැවටී සිටීම හා අනුන් රැවැට්ටීම බැහැර ලා ජීවත් වනවා ද?

    කැමතියි

  2. මිනිස්සුන්ට රජ්ජුරුවන්ගෙ හැම වැඩක්ම ආතල්. අනර්කලීව පබාව මන්ත්‍රීකම් වලට තෝරගත්තු මිනිස්සු ඉන්න රටේ රජ්ජුරුවොත් ආතල් ගන්නවා ඇරෙන්න මක් කරන්නද. මල්ලි … මේ පරණ ලංකාවම තමයි. උඹ කැනඩාවෙ ඉන්න හින්දා දැන් එළියේ ඉදලා පෙනෙන දේ හරි‍යටම දකිනවා.
    මචං.. මිනිස‍්සුන්ට අවශ්‍ය හිනදා කැනඩාවේ උන් හරියට දේශපාලනය කරනවා. අපේ හරකුන්ට ඕන නැති හින්දා මුන් මුන්ට ඕන දේ කරනවා. මිනිස්සුන්ට ඕන නැති දේවල් දේශපාලකයින් දෙන්නේ නෑ. මේක විශ්වීය ඇත්තක්.
    අවසානයේ වෙන්නෙ නැව පිටින්ම ගිලෙන එක. දැන් වෙමින් තියෙන්නේ ඒක. මේ තියෙන්නෙ හුස්ම හිරවෙන්න කලින් තියෙන ආතල් එක.
    හේමන්ත රන්දුනු කුඩුකාර දුමින්ද ගැන ලියපුවාම ගාමිණී සුමනසේකර ‍ඇහුවලු මේක ලියුවොත් ආණ්ඩුවට ප්‍රශ්නයක් වෙයිද කියලා

    කැමතියි

  3. කැනඩාව ඔය තත්වයට එන්න අපි වගේ කාලයකුත් පහු කරන්න ඇති. නිවන් යන්නත් මාර්ග ඵල ලබල ඉන්න එපායැ. අංගුලිමාලත් පස්සෙ රහත් උනානේ. ඒ වගේ ලංකාවත් කාලෙකදි කැනඩාව වගේ වෙන්න පුලුවනි. කේතුමතී

    කැමතියි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.

ඉහළ ↑

%d bloggers like this: