(මහාචාර්ය සිරි ගුනසිංහ සමග කල සංවාදයේ අවසන් කොටස…)
- වසර 40 කට පෙර ලංකාවේ ඔබ ඉගැන්වූ සරසවි සිසු පරපුරත් , මෑතදී ගෙවී ගිය වසර 40 ක කාලයක තුළ කැනඩාවේ ඔබ ඉගැන්වූ සිසු පරපුරත් අතර වෙනසක් ඔබ දකිනවාද …?
ඔව් විශාල වෙනසක්දකිනවා. මෙහේ සිසුන් ඉගැනීම ලබන්නේ හරිම උනන්දුවකින්. අපේ සිසුන්ගේ ඒ ආකාරයේ උනන්දුවක් තිබෙන බවක් මට පේන්නේ නැහැ. උනන්දුවක් දක්වනවා ඉංගිරිසි ඉගෙන ගන්න නම්.ඒ වුණාට අධ්‍යාත්මික වශයෙන් දියුණුවක් ලබන්න ඕන දේවල් සම්බන්ධයෙන් නම් උනන්දුවක් දක්වන බවක් පේන්නේ නැහැ. ඒකට වරදක් කියන්නත් බැහැ. මොකද ආර්ථිකමය දියුණුවක් ලබන්න නම් ඒ අංශය ගැනයි හිතන්න වෙන්නේ. එහෙත් මෙහේ සිසුන් තුළ තිබෙන උනන්දුව බොහොම දැඩියි. එකක් තමයි නොදන්නා දෙයක් ඉගෙන ගැනීමට තියෙන ආසාව. එහෙම වෙලා තියෙන්නේ මෙහේ සිසුන්ට විශාල නිදහසක් තිබීම නිසයි. උදාහරණයක් විදියට කියනවා නම් ලංකාවේ බී. ඒ. උපාධියට ඉගෙන ගන්න ළමයා සිංහල තමන්ගේ විෂය විදියට තීරණය කරනවා නම් එයාට මූලික වශයෙන් ඉගෙන ගන්න පුඑවන් සිංහල විතරමයි. ඒත් මේ රටවල එහෙම නෙමෙයි තමන්ට අවශ්‍ය ඕනෑම විෂය කොටසක් තෝර ගෙන අවශ්‍ය ලකුණු ගණන සම්පූර්ණ කළාම තමන්ගේ උපාධිය නිම කරගන්න පුලුවන්. මේ නිසා මෙහේ සිසුන් පුදුමාකාර විදියට විවිධ වූ විෂයන් ඉගෙන ගන්නවා. අපේලංකාවේ සිසුන්ට ඒ නිදහස නැහැ.
- ඔබ සරසවි සිසුවෙක් ලෙසසිටිය කාලයේවත් ඒ නිදහස තිබුණේ නැද්ද…?
නැහැ…මම උපාධියට ඉගෙන ගන්න කාලයේ පාලි සංස්කෘත එක්ක ලතින් සහ ග්රීක භාෂාවන් ඉගෙන ගන්නත් මට අවශ්‍ය වුණා. ඒත් ලංකාවේ සරසවිවල විෂය වෙන් කිරීම් කරලා තිබුණේ එහෙම ඉගෙන ගන්න බැරි විදියටයි. කලාතුරකින් කෙනෙක් සිංහල එක්ක ඉංගිරිසි ඉගෙන ගත්තා. ඒ අය ඒක කළේ රහසින්. ඒ කියන්නේ ඒක කරන්න
සරසවිවලින් අවසරයක් ලැබුණේ නැහැ. එහෙත් මෙහේ වෙන්නේ ඒකේ අනිත් පැත්ත. තාරකා ශාස්තය ඉගෙන ගන්න ළමයා මගෙන් ඇවිත් බෞද්ධ සාහිත්‍යය ඉගෙන ගන්නවා. රසායන විද්‍යාව කරන ළමයා මගෙන් ඇවිත් ඉන්දියානු කලා ඉතිහාසය ඉගෙන ගන්නවා. ඒත් මේ විෂයන් අතර කිසිම සම්බන්ධයක් නැහැ නේද කියලා කෙනෙකුට හිතෙන්න පුලුවන්. ඒ සම්බන්ධය ඇත්තටම මතුපිටින් කෙනෙකුට පේන්නේ නැහැ. ඒත් එතැන සම්බන්ධයක් තියෙනවා මානසික වශයෙන්. ඉගෙන ගන්නේ මොනවද කියන එක නෙමෙයි වැදගත්. ඉගෙන ගැනීමයි වැදගත්. මොන දේ ඉගෙන ගත්තත් තමන්ගේ මනස දියුණු කර ගැනීමයි සිදු විය යුත්තේ. ඒත් ඒ නිදහස ලංකාවේ නැහැ.
- නැවතත් සාහිත්‍යය කියන අංශයට යොමු වුණොත් බොහෝ බටහිර රටවල පොත් සාප්පුවකට ගොඩ වැදුනාම පෙනී යන දෙයක් තමයි ආසියාවේ අපි සැලකිල්ලට නොගන්නා ඉතා සරල සහ සියුම් කරුණක් පවා මූලික කරගෙන බරපතල පොත පත දකින්නට ලැබීම. ඒ වගේම තමයි ඉතාම බරපතල සිනමා නිර්මාණ මේ රටවල බිහිවෙනවා අතිශය සරල මානසික ගැටුමක් පවා මුල්කරගෙන. මේ රටවල නිර්මාණකරුවන් ඒ තරම් සියුම් සබදතා තම නිර්මාණවලට දායක කරගන්න තරම් පුහුණුවක් ලබන්නට බලපාන්නට ඇත්තේ කුමක කරුණු කාරණාද …?
ඒකට හොදම උදාරණය තමයි ඉරාන සිනමාව. ඉරාන සිනමා නිර්මාණ දිහා බැලුවාම කතාවකුත් නැහැ. ඒත් ගැඹුරු දෙයක් සිද්ධි දාමයකින් අපිට පෙන්නුම් කරනවා. ඒත් අපේ අය බලන්නේ හැම දෙයක්ම බොහොම බරපතල දෙයක් හැටියට පෙන්වන්න. නවකතාවක් ලිවුවත් , කවියක් ලිවුවත් ඒක බරපතල කරලා ගන්නේ කොහොමද කියන එක ගැන තමයි හිතන්නේ. ඒ පුරුද්ද කොහෙන් ආවද කියලා මම දන්නේ නැහැ. සුලු දෙයක් ගැන කවියක් , සුලු දෙයක් ගැන නවකතාවක් ලියන්න අපි පුරුදු වෙලා නැහැ. අනිත් එක අපි නවකතාවක් ලිවුවත් ලියන්නේ මානසික කරුණු මුල්කරගෙන නෙමෙයි. මතුපිට ජීවිතයේ වෙනස්වීම්, ගමේ වෙනස්වීම් ඔය වගේ දේවල් තමයි අපි විෂය කරගන්න හදන්නේ. අපේ නවකතා ඉතිහාසය ගත්තම බොහොම වෙලාවට තියෙන්නේ ඔය වගේ දර්ශනයක්. අපේ උසස්ම නවකතාව විදියට සලකන ගම් පෙරළිය ගත්තත් එතැනදී මිනිසුන්ගේ මානසික ගැටුම් ගැන කතා කරන්නේ නැහැ. අපේ පුරුද්ද තියෙන්නේ කතන්දර ලියන්න. මේවා ගැන කවුරුත් විශ්ලේෂණයක යෙදිලා නැහැ. ඉතිහාසය කියන්නේ විචාරයක්නේ. ඉතිහාසය හරියට ලියනවා නම් ඒක ඇත්තටම විචාරයක්.
- අපේ සාහිත්‍ය කලා ඉතිහාසය ගත්තම විවිධත්වයක් දකින්නට තියෙනවා. උදාරණයක් විදියට සද්ධර්ම රතනාවලිය වගේ පැරණි සාහිත්‍ය පොත පත ගත්තම ඉතාම සරල බස් වහරක් යොදා ගෙන තියෙනවා. ඒත් ඒ යුගයේ දීම මහා සම්පදායකුත් අපිට තිබුණා. අපි මේ කතා කරන සරල බව අපෙන් ගිලිහිලා තියෙන්නේ අතීතයේ ඉදන්ම ද නැතිනම් වර්තමානයේ ගැට ගැහුණු දේශපාලන කරුණු කාරණාත් එක්ක ද …?
මම හිතන්නේ මෑත කාලයේ දී කියලයි. මේ වෙනස්වීම බෞද්ධ සංස්කෘතියෙන් ආව දෙයක් වෙන්නත් බැහැ. මොකද මුල් තිපිටක පොත් පත් කියවන කොට පේනවා ඉතාම ගැඹුරු ධර්මයක් වුණත් බුදු හාමුදුරුවෝ කොයි තරම් සරල විදියට ද කරුණු කාරණා පැහැදිලි කරලා දීලා තියෙන්නේ කියලා. ඒත් මෑත කාලීනව ඇතිවුණු ආර්ථිකම දේශපාලනමය කරුණුත් එක්ක ඒ වෙනස් වීම සිදුවුණා කියලා හිතන්න පුලුවන්.
- අපේ රටේ කලාව සාහිත්‍යයේ පිරිහීමක් තිබෙන බවට මෑත කාලයේ දැඩි චෝදනාවක් එල්ල වෙනවා ..?
කලාව , සාහිත්යය වගේ විෂයන් ගත්තත් අපේ රටේ කලාව සාහිත්‍යය හැමදාමත් දියුණු කළේ හාමුදුරුවරුන් සහ පිරිවෙන්වල උගත් උගතුන්. දැන් ඒ පරපුර ලංකාවේ නැහැ. මේ නිසා රට ආර්ථිකමය වශයෙන් දියුණු කරන්න උත්සාහ ගත්තත් කලාව සාහිත්යයේ ඒ ආකාරයේ දියුණුවක් දකින්න බැහැ. සැබෑ කලාකරුවන් බිහිවෙන්න නම් පුම්බපු කලාකරුවන් බිහි නොකරන්න ඕනේ. කලාකරුවන් කියලා අද ඉන්න බොහොමයක් බොරු කාරයන් හොරුන් අයින් කළොත් තමයි සැබෑ වශයෙන්ම කලාව අධ්‍යයනය කරන , කලාව පුහුණු කරන , කලාවට ආදරය කරන පිරිස බිහිවෙන්නේ. කලාව කියන එක උපතින් ලැබෙන දෙයක් නෙමෙයි. ඒක උත්සාහයෙන් දියුණු කරගත යුතු දෙයක්. සරස්වතී වරම අතින් අරගෙන බිහිවෙනවා කියන කතාව බොරුවක්. උප්පත්තියෙන් කිසිම දෙයක් ලැබෙන්නේ නැහැ. ජනකවිය කියලා දෙයක් තිබුණත් හොද කවියක් ලියන්න හැම කෙනෙක්ටම බැහැනේ. ඒකට හේතුව උප්පත්තියෙන් ගේන බැරි කමක් නෙමෙයි. කවි ලියලා පුරුද්දක් නැති කම. හොද කවියෙක් වෙන්න නම් අනෙක් අයගේ කවිත් කියවන්න ඕන. හොද නවකතාකාරයෙක් වෙන්න නම් ලෝකයේ විශිෂ්ට නවකතා කියවලා තියෙන්න ඕනේ. ඒවා කියවලා තමන් මානසික වශයෙන් දියුණුවක් ලබන්න ඕනේ. අධ්‍යාපනය කියන්නේ ඒකයි. තමන්ගේ ඇග ඇතුලේ තියෙන දෙයක් දියුණු කරලා ප්රයෝජනයක් ගැනීමයි. ඒක කරන්න බැහැ උනන්දුවක් හෝ පුහුණුවක් නැතිනම්.
- ඔබ මේ දිනවල කිසියම් ශාස්තීය කටයුත්තක යෙදෙනවාද …?
ඔව්… සිංහලෙන් නවකතාවක් ලියාගෙන යනවා. ඒත් ඒක සිද්ද වෙන්නේ බොහොම හෙමින්.
- ලාංකීය සමාජය තුළ සිදුවෙමින් පවතින බොහෝ දුර්වලතාවන් පිළිබදව අප කතා බහ කළා. මේ තත්ත්වය සාධනීය මට්ටමකින් වෙනස් කරන්න මොන වගේ දේවල් ද කරන්න පුලුවන්…?
අද තියෙන තත්ත්වය අනුව නම් වෙනස්කමක් කරන්න පටන් ගන්නේ කොතැනින්ද කියන එක නෙමෙයි ගැටලුව… පටන් ගන්න පුලුවන්ද කියන එකයි. මෑත අවුරුදු විස්සක කාලය ගත්තම මැතිවරණයෙන් මැතිවරණයට සමාජය පහතට ඇද වැටීම මිසක් ඉහළට යාමක් නම් සිදු වුණේ නැහැ. අඩුම තරමින් රටේ ආර්ථිකම දියුණුවක් හෝ තියෙනවා නම් අනිවාර්යයෙන්ම අනිත් අංශවලත් දියුණුවක් තියෙන්න ඕනේ. ලෝකයේ අනෙක් රටවල් ගත්තත් ආර්ථිකමය පදනමේ දියුණුවක් ඇතිවෙනවා නම් සමාජීය දියුණුවකුත් ඒ එක්කම ඇති වෙන්න ඕනේ. ලංකාවේ දේශපාලකයන් කියනවා නම් ආර්ථිකමය දියුණුවක් තියෙනවා කියලා ඒ අය රට දියුණු කරන විදියේ අඩුපාඩුවක් තියෙන්න ඕන. ඒකට හේතුව සමාජීය වශයෙන් එහෙම දියුණුවක් දකින්න නැති නිසා. අනිත් අතට එහෙම දියුණුවීමක් ඇති කරන්න සුදුසුකම් තියෙන මිනිස්සුත් ඉන්න ඕන නේ…! මේ කඩා වැටීම පහුගිය අවුරුදු පනහ තිස්සේම හෙමිහිට සිද්ධ වුණා. අපේ රට තියෙන්නේ දේශපාලනමය වශයෙන් ඇද වැටුණු තැනක. දේශපාලනමය සහ ආර්ථිකමය වශයෙන් ඇද වැටුණු රටක අනිවාර්යයෙන්ම සිදුවන දේවල් තමයි අපේ රටේ සිද්ධ වෙන්නේ.
(මහාචාර්ය සිරි ගුනසිංහ සමග කල සංවාදයේ අවසන්කොටසයි )
Sililara…,
Mama Upadhiyata Sinhala karanawa…. Gunasingha Sirge me Adahas mata hungak Watinawa… Me wage watina dewalata paththara wala ida nathi unath ehi agaya salaka mehi palakireema gana obata goda isthoothi… Canadawa wage ratak bawata ape rata path karanna nam dan me rate inna paksha vipaksha punchima punchi Deshapalakaya pawa allala sadahatama hire dala gal kadawanna ona… lankawa deshapremi ugath Prayogika Ekadhipathiyekuta baradenna ona..
Jayawewa!!!!!!!!
Mandri…
කැමතියිකැමතියි
ඒක ඇත්ත…අදහස් දැක්වූවාට බොහොම ස්තුතියි…
කැමතියිකැමතියි
Finding this post has slveod my problem
කැමතියිකැමතියි
අපේ නම් තියෙන්නේ පුලුල් විෂය සංවිධානයක්. උපාධිය ඉංජිනේරු (පේරා) උනාට මේ වෙනකොට සංගීතය, ව්‍යාපාර නීතිව වගේ හුගාක් පිට ඒත් වැදගත් විෂයයන් ගොඩක් අපේ නිර්දේශයේ තියෙනවා. ඒ වගේම අපිට එම විෂය ඉගෙන ගැනීම තරකම් අනිවර්යය වෙනවා. ඉතින් මෙලෙස කොටු වූ බවක් නෑ. සමහර විට මෙය පරණ ක්‍රමය සමග තිබූ දෙයක්ද දන්නෑ.
කැමතියිකැමතියි
මගේ අත්දැකීම අනුව ඔහු මෙතැනදී අදහස් කරන්නේ මෙහෙම දෙයක්… මෙහේ උපාධියක් කරන අයෙකුට තමන්ට කැමැති ඕනෑම විෂය කොටසක් නිදහසේ තෝරා ගෙන ලකුණු ගණන සම්පූර්ණ කර උපාධිය නිම කරන්න පුලුවන්. එතැනදී අතිරේක විෂය කොටස් තෝරා ගන්නේ තමන්මයි. ඒත් ඔබ කියන අවස්ථාවේ දී විෂයන් විවිධ වුවත් ඒ සදහා කිසියම් මග පෙන්වීමක් තියෙනවා නේද…? ඒ කියන්නේ සිසුවා තෝරා ගන්නට ඕනේ තමන්ගේ උපාධිය සමග නිර්දේශ කරන අතිරේක විෂය කොටස්වලින් තමන් තෝරා ගන්නා විෂයන් නේද…? ඒත් මේ කියන අවස්ථාවේදී සිසුවාට වෙනත් ඕනෑම උපාධි පාඨමාලාවක විෂය කොටස් තමන්ට අවශ්ය පරිදි ඉගෙන ගන්න පුලුවන්….. කොහොම වුණත් ඕබේ අදහස් දැක්වීමට බොහොම ස්තුතියි.
කැමතියිකැමතියි