(පළමු කොටස මෙතැනින් යන්න )
- ඔබ සංස්කෘතික භාෂාව පිළිබදවත් වියතෙක්. සංස්කෘතික භාෂාවේ වර්තමානය සහ අනාගතය අද පවතින්නේ කවර පසුබිමක ද ?
ඇත්තටම කියනවා නම් සංස්කෘතික භාෂාව අද මළ භාෂාවක් බවට පත්වෙලා තියෙනවා. ඉන්දියාවේ එක්තරා කාලයක් පුවත් විකාශය සංස්කෘතික භාෂාවෙන් කළා. ඉන්දියාවේ සමහර සරසවිවල තවමත් සංස්කෘත භාෂාව සහ සාහිත්‍යය උගන්වනවා. සංස්කෘත භාෂාව පැතිරවීමේ අරමුණින්ම ඉන්දියාවේ සංගමයක් පවා පිහිටුවා ගත්තා. දිනපතා ප්රවෘත්ති සංස්කෘත භාෂාවෙන් කරන්න පුලුවන් තරමට ම ඒ සංස්කෘත භාෂාව දියුණු කරලයි තියෙන්නේ. මට මතකයි එක සැරයක් මම ඉන්දියාවට ගිය වෙලාවක සංස්කෘතික මහාචාර්යවරයකුට මාව හදුන්වලා දුන්නා. මමත් සංස්කෘත උගන්වනවා කියලා දැනගත්ත නිසා ඒ මහාචාර්යවරයා මාත් එක්ක සංස්කෘතයෙන් කතා කරන්න පටන් ගත්තා. ඒත් ඒක මට ඒ තරම් පහසු වුණේ නැහැ. ඒකට හේතුව අපට ඒ පුරුද්ද නැති නිසයි. එක සැරයක් මට තායිලන්තයේදීත් ඔය විදියේ සිද්ධියකට මුහුණ දෙන්න වුණා. ඒකියන්නේ පාලි භාෂාවෙන් සංවාදයක යෙදෙන්නට සිද්ධ වුණා. සංස්කෘතයට වඩා පාලි භාෂාව හසුරුවන්න ලේසියි. කොහොම වුණත් මේ භාෂාවන් අද මළ භාෂාවන් බවට පත්වෙලා කිවුවොත් නිවැරදියි.
- ලංකාවේ සෑම සාහිත්‍ය සම්මාන උළෙලකින් පසුවම ඒ සම්මානයන් පිළිබදව බරපතල චෝදනාවන් එල්ල වෙනවා. ඒ වගේම ලංකාවේ විචාර කලාවක් හෝ විචාරකයන් හෝ යනුවෙන් පිරිසක් නැති බවට එක්තරා උගත් මහාචාර්යවරයෙක් සති අන්ත පුවත්පතකට සදහන් කර තිබුණා. ඔබ හිතන ආකාරයට ලංකාවේ සැබෑ විචාර කලාවක් හෝ විචාරකයන් කියා පිරිසක් හෝ සිටිනවාද ?
ඇත්ත වශයෙන්ම නැහැ. විචාරය කියලා අද කෙරෙන්නේ පොතක් පළ වුණාම කවුරු හරි කෙනෙක් ඒක ගැන විස්තරයක් කරන එක විතරයි. අලුත් නවකතාවක් ලියවුණත් පොතේ කතාව විස්තර කරලා පිටකවරය ගැනත් ටිකක් කියලා අන්තිමට විචාරය කියලා පලවෙන්නේ බොහොම සුලු දෙයක්. බොහොම වෙලාවට හොද පොතක් ගැන දෙයක් ලියැවෙන්නේ සිංහල භාෂාවටත් වඩා ඉංගිරිසියෙන් තමයි.
- ලංකාවේ සැබෑ විචාර කලාවක් හෝ විචාරකයන් පිරිසක් බිහි නොවන්නට හේතුව කුමක් ද ?
ඒකට මූලිකම හේතුව තමයි විචාරය කියන එක ඕනෑම කෙනෙකුට කරන්න පුලුවන් කියලා හිතන එක. මොකද ඹ්න කෙනෙකුට සිනමාපටයක් , සිංදුවක් හෝ පොතක් ගැන මොනව හරි ලියන්න පුලුවන්නේ. ඒත් විචාරය කියන එක වෙනමම ඉගෙන ගන්න ඕන විෂයක්. විචාරය කියන්නේ මොකක්ද … යමක් විචාරය කළ යුත්තේ කොහොමද කියන එක ගැන ලංකාවේ සරසවිවලවත් උගන්වන්නේ නැහැ. එහෙම විෂයක් අපේ සරසවිවල නැහැ. ඒ කාලයේ තිබුණෙත් නැහැ. සාහිත්‍යය උගන්වනවා කියලා ඇත්ත වශයෙන්ම කළේ පොතේ ව්‍යාකරණය උගන්වන එකයි. කවි සිළුමිණ ගත්තොත් ඒක සරල බසින් කියලා දීලා ව්‍යාකරණ කරුණු සාකච්ඡා කිරීම තමයි සරසවිවල සිංහල සාහිත්‍යය උගන්වනවා කියලා එදත් කළේ. මම උනත් සිංහල සාහිත්‍යය ඉගෙන ගත්තේ ඔය විදියට තමයි. ඒත් එයින් පිට පැනලා සාහිත්‍ය කෘතියක කතාව නෙමෙයි සැබෑ සාරය සොයන්න අපට හැකියාව ලැබුණේ විචාරය කියන විෂය ඉංගිරිසි භාෂාවෙන් හැදෑරුවට පස්සේ තමයි. අපේ පුවත්පත්වල ඉංගිරිසියෙන් ගුණාත්මක විචාර ලිපි පළ වුණත් ඒවා කියවන පිරිස බොහොම සීමිතයි. අනෙක් අතට ඒ ලිපි ලියන පිරිස සිංහල පොත පත කියවන්නේත් නැහැ. ඒක කනගාටුවට කරුණක්. ඉන්දියාවේ ඉංගිරිසි උගතුන් හින්දි භාෂාවෙන් පළවෙන පොත පත කියවනවා. ඒත් අපේ රටේ සිංහල පොත පත කියවන ඉංගිරිසි උගතුන් පහුගිය කාලය පුරාවටම බිහිවුණේ දෙතුන් දෙනයි.
- ඒකියන්නේ විචාරය සිදු කෙරෙන ආකාරය දිහා බලද්දී භාෂාව අනුව එහි බෙදීමක් තිබෙන බවක් ද ?
ඔව්… ලොකු බෙදීමක් තිබෙනවා. දැන් ඒ බෙදීම වැඩිවෙලා. මොකද ඉස්සර සිංහල ඉගෙන ගන්න උත්සාහ කළ අය පවා දැන් බලන්නේ ඉංගිරිසි ඉගෙන ගන්නයි. ඒකට ඒ අයට දොස් කියන්න බැහැ. මොකද රැකියාවක් කරන්නත් අද ඉංගිරිසි ඕනේ. සිංහල සාහිත්‍යය උගන්වනවා කියලා අද සිද්ධ වෙන්නේත් සිංහල පොතකින් ගත්ත කොටසක් උගන්වන එකයි. ඒත් ඉස්සර ඒ විදියට කෑලි කෑලි ඉගැන්නුවේ නැහැ. සම්පූර්ණ පොතම තමයි නිර්දේශ කළේ. මේ නිසා අද ළමයින්ට සිංහල සාහිත්‍යය ගැන ආසාවක් ඇති වෙන්නේත් නැහැ. පාසල් යන වයසේ දී සාහිත්‍යය ගැන ආසාවක් ඇති වෙන්නේ නැත්නම් ඒ අය වැඩිහිටියන් බවට පත්වුණාම අමුතුවෙන් ආයෙත් ආසාවක් ඇති වෙන්නේ නැහැනේ. මේ නිසා ඉංගිරිසි භාෂාව පිළිබදව දැනුම ලබන ඉංගිරිසි උගතුන් ඒ ඔස්සේ ලැබෙන සාහිත්‍ය රසාස්වාදනය හමුවේ තව තවත් පුලුල් දැනුම සොයා ගෙන යනවා මිසක් නැවත සිංහලයට යොමු වෙන්නේ නැහැ.
- අද දවසේ තාක්ෂණය අතින් හිනිපෙත්තේම සිටින රටවල පවා බොහෝ ගුණාත්මක පොත පත බිහිවෙනවා. පුවත්පත්වල විචාර ලිපි පළවෙනවා. මෙවැනි දියුණු රටවල් පවා සාහිත්‍යමය කරුණු සම්බන්ධයෙන් මේ තරම් සංවේදී වෙද්දී අපේ රට ඊට වෙනස් මගක ගමන් කරන්නේ ඇයි ?
ඒකට මම දකින හේතුවක් තමයි මේ රටවල තාක්ෂණය මේ තරම් දියුණු වුණ නිසාම ඒ අයට හැගීමෙන්ම දැනෙනවා තාක්ෂණය පමණක් ජීවිතයට ප්රමාණවත් නැහැ කියලා. මේ දියුණුව මේ තරම්ම ඇති වුණේ මෑතකදී. 1970 ගණන්වල මම කැනඩාවට එන කාලේවත් සාහිත්‍යමය කරුණු ගැන මේ තරම්ම හැගීමක් තිබුණාය කියලා කියන්න බැහැ. ඒත් පහුගිය අවුරුදු පනහක කාලය තුළ දී මේ රටවල කලාව කියන අංශයේ පුදුමාකාර දියුණුවක් ඇති වුණා. ඉතාම හොද පොත පත බිහිවෙද්දී ඊට සමගාමීව දියුණු ගුණාත්මක විචාර කලාවකුත් බිහිවුණා. මේ නිසා හොද පොතක් රස විදිය යුත්තේ කොහොමද කියන එක ගැන උගැන්මක් සාමාන්‍ය ජනතාවට ඇති වුණා. මිනිස්සු රස වින්දනයට හුරුවුණා. මේ නිසාම පොත පත පමණක් නෙමෙයි සිනමා කලාව පවා මේ රටවල දැන් හුගාක් දියුණුයි. එත් අපේ රට කියන්නේ ඉතාම දියුණු කලාවක් තිබුණු රටක්නේ. තාක්ෂණය තමයි අලුතින් ලැබුණු දෙය. ඉතින් මේ නිසා තිබුණු දේවල් ගැන සැලකිල්ල නැති වෙලා අලුතින් ලැබුණු දෙය තමයි අද උතුම් හැටියට සලකලා තියෙන්නේ.
- ඒකියන්නේ ලෝකයේ දියුණු යැයි සම්මත රටවල් ගුණාත්මක කලාවක් සොයා ගෙන ඉදිරියට පියවර මනිද්දී අපි ඊට මුලුමනින්ම විරුද්ධ වූ මාර්ගයක ගමන් කරන බව ද ?
ඔව් … අපේ අය හිතන්නේ ආර්ථික දියුණුව ලබා ගන්නට ඕනේ තාක්ෂණික දියුණුවෙන් පමණක්ම කියලයි. අලුතින් ආව තාක්ෂණය හිස් මුදුනින්ම පිළිගත්ත නිසා අතීත කලාව නැති වී ගියා. අනෙක් අතට අපේ සාහිත්‍යය හා කලාව කඩා වැටෙන්නට තවත් මූලිකම හේතුවක් තමයි විශාල වශයෙන් බිහිවුණු කිසිම වැඩකට නැති බාල මට්ටමේ පොත පත , සිනමාපට , ටෙලි නාට්‍ය ඉතා උසස් මට්ටමේ ඒවා විදියට පුම්බන්න පටන් ගත්ත එක. විචාරයේ දුර්වලකම් නිසා නිසරු
කෘතීන් උසස් නිර්මාණ බවට පත්වෙලා ඒ නිසරු දේ බිහිකළ මිනිස්සු දැවැන්ත නිර්මාණකරුවන් බවට පත්වුණා. අන්තිමේදී ඒ අය වීරත්වයෙන් පිදුම්ලබන්නන් බවට පත් කෙරුණා. මේකෙන් වුණේ මේ නිසරු දේවල් පිළිගත් ප්රමිතියක් විදියට හිතන්න මිනිසුන් පෙළඹුණු එකයි. ඇත්තටම කියනවා නම් අද අපි බොහොම අගය කරලා පිළිගන්න කලා කෘතීන් බොහොමයක් ඒ මට්ටමේ නිසරු ඒවයි. මේකට ප්රධානතම හේතුව විචාරය නොමග යාමයි.
- බටහිර රටවල බිහිවන බොහෝ කලාකෘතීන් හා සිනමාපටවලින් මානුෂීය සම්බන්ධතාවන් සහ මිනිසුන්ගේ චෛතසික කරුණු බොහොම සියුම්ව හා ගැඹුරින් සාකච්ඡාවට ලක්කෙරෙනවා. වාරණයේ පවතින ලිහිල් බවත් මීට එක් හේතුවක් බව පෙනෙනවා. වාරණය හමුවේ තමන් සිරවී ඇති බවට ඇතැම් ලාංකීය කලාකරුවන් චෝදනා කරනවා. නූතන සමාජ ගමන්මග ඔස්සේ වාරණය තව දුරටත් වලංගු සාධකයක් ද ?
ලංකාවේ තියෙන වාරණය නම් කිසිම තේරුමක් නැති දෙයක් . සිනමා නිර්මාණයක් පෙන්නුවත් සමහර තැන්වල කොටු දානවා. ඒත් හැමෝම දන්නවා ඔය කොටු දාන්නේ එක්කෝ කවුරු හරි සිගරැට් එකක් බොනවා… එහෙමත් නැතිනම් ගැහැණියෙක් මිනිසෙක් සිප ගන්නවා වගේ දර්ශනයක් හින්දා කියලා. ඉතින් ඔය කොටු දාන එකේ තේරුම මොකක්ද … ලංකාවේ වාරණය ක්රියාත්මක වෙන්නේ කලාව විනාශ කෙරෙන විදියට. දැන් මේ රටවලත් වාරණයක් තියෙනවා. සමහර සිනමාපට අවුරුදු දහ හතරෙන් පහළ ලමයින්ට බලන්න බැහැ. ඒත් ලංකාවේ තියෙන්නේ එහෙම වාරණයක් නෙමෙයි. හැමෝටම වහලා දානවා. අවුරුදු දහ හතර ද ? 20 ද ? 50 ද ? 60 ද ? කියලා නෙමෙයි … හැමෝටම බලන්න බැරි වෙන්න වහලා දානවා. අනිත් එක ගැහැනු පිරිමි අතින් අල්ලගෙන පාරේ යනවා නම් ඒකත් පෙන්නන්න තහනම්. ගැහැනු ලමයෙක් කෙටි ගවුමක් ඇදලා තියෙනවා නම් ඒකත් තහනම්. මේක මම හිතන්නේ 19 වැනි ශත වර්ෂයේ නෙමෙයි ඊටත් ඈත යුගයේ තිබුණු වාරණයක් තමයි අද ලංකාවේ තියෙන්නේ. කලා කෘතියකට අවම මට්ටමේවත් නිදහසක් අවශ්‍යයි. සිනමා පටයක සිගරැට්ටුවක් බිවුවා කියලා මිනිස්සු සිගරැට් බොන්න පුරුදු වෙනවද ?නොබොන මිනිහා කොහොමත් බොන්නේ නැහැ. මේ වාරණය කලාවේ දියුණුවට විශාල බාධාවක්.
(අවසන් කොටස ලගදීම…)
අලුත් – අර්තවත් අදහස් හා විවරණයකින් යුත් අපූරු කතිකාවතක්.
කැමතියිකැමතියි
ඔව්.. ඔහුගේ අදහස් ඇත්තෙන්ම වැදගත්… සංවාදයේ අවසන් කොටස දින කිහිපයකින් පළ කරනවා. ඔබට ස්තුතියි.
කැමතියිකැමතියි