භාෂාවට ගලා යන්න ඉඩ දෙන්න – මහාචාර්ය සිරි ගුනසිංහ

භාෂා ගණනාවක හසළ පඩිවරයකු වූ මහාචාර්ය සිරි ගුනසිංහ පුරෝගාමී සිංහල කවියෙකු , නවකතාකරුවෙකු , සාහිත්‍ය විචාරකයෙකු , සිනමාවේදියෙකු   මෙන්ම කලා ඉතිහාසඥයකු ලෙස ද විවිධ මං සලකුණු තැබූ මහාචාර්යවරයෙකි. 1956 දී නූතන නිසදැස් කවි සම්පදාය සිංහල සාහිත්‍යයට හදුන්වා දුන් ඔහු විසින් සිංහල භාෂාවේ වෙනස්වීම් අරබයා මතු කරන ලද අදහස් බොහෝ වාද විවාදයන්ට පාදක වෙමින් අද දක්වාම කතා බහට ලක්වෙමින් තිබේ. ලොව කීර්තිමත් සරසවියක් වන කැනඩාවේ වික්ටෝරියා සරසවියේ  මහාචාර්යවරයකු ලෙසින් වසර හතලියක කාලයක් පුරා සේවය කළ ඔහු පේරාදෙනිය සරසවියේ ද හිටපු ආචර්යවරයෙකි. පැසිපික් සාගරයෙන් වට වූ වැන්කුවර් දූපතේ වික්ටෝරියා නම් සුන්දර පරිසරයේ නිසංසල දිවියක් ගත කරන 85 හැවිරිදි මේ වියත්පඩිවරයා සොයා ගොස් කළ පිළිසදරකි මේ.

මෙම පිළිසදර සති අන්ත ඉරිදා සිංහල පුවත්පතක පළ වුව ද ඉඩකඩ ගැටලුව නිසා එහි බොහෝ කොටස් ඉවත් වී තිබිණ. ඔහු මතු කළ අදහස්වල විශේෂ වැදගත්කම සලකා ඔහු සමග කළ පිළිසදර කොටස් තුනක් ලෙසින් සිලිලාර බ්ලොග් අඩවියේ පළ කිරීමට මම තීරණය කළා. මේ පළ වෙන්නේ එහි පළමු වැන්නයි.

  • විවිධාකාර භූමිකාවන්ට පණ පොවමින් මව්බිමේ කැපී පෙනෙන මං සලකුණු තැබූ ඔබ අද මව්බිමෙන් බොහෝ දුර බැහැර කැනඩාවේ නිහඩ දිවියක් ගත කරනවා. වැන්කුවර් දූපතේ අද මේ ගත කරන නිසංසල දිවියේ සිට
    ක්‍රියාශීලීව ගෙවුණු අතීත ජීවිත මං සලකුණු දෙස ආපසු හැරී බලද්දී ඔබ සැබවින්ම තෘප්තිමත් ද  ?

සැප පහසුකම් අතින් ඉහළම රටක මං ඉන්න බව ඇත්ත. ඒත් ඒක භෞතිකයි. මා තුළ තිබෙන පුරුද්ද නිසා මට ඒක ඒ තරම් වැදගත් නැහැ. ඒ නිසා මානසිකමය වශයෙන් මට ඒ තරම් තෘප්තියක් නැහැ. සිංහලෙන් ලියන්න , කියන්න, සිංහල පොත පත කියවන්න තවමත් මං පුරුදු වෙලා ඉන්නේ ඒ තෘප්තිමත් බව ලබා ගන්නයි. ඒ වගේම අවුරුද්දකට සැරයක් ලංකාවට ගිහින් පැරණි මිතුරන් හමුවෙන්නේත් ඒ හැගීමෙන්ම තමයි. ඒ අතීත සබදකම් හරහා ජීවිතය අලුත් වෙනවා. ඒත් භෙතිකමය වශයෙන්වත් , මානසිකමය වශයෙන්වත් ලංකාවේ තත්ත්වය නම් සතුටුදායක බවක් පේනේනේ නැහැ.

  • සාහිත්‍යය කලාව , විචාරය , සිනමාව , කවිය , සිතුවම් කලාව මෙන්ම සරසවි ආචාර්ය වෘත්තිය යන කරුණු අතරින් ඔබ වඩාත් චමත්කාරයට පත් කළ විෂයක් තියෙනවාද ?

කලාවට ලැදි වූ කෙනෙකුට ඒ අතරින් යමක් ඉස්මතු කර පෙන්වන්නනට බැහැ. ඒකට හේතුව මොන මාධ්‍යකින් වුණත් අවසාන වශයෙන් විදින රසය එකයිනේ. රස විදින විදිය වෙනස් වුණත් සතුට එකයි. සිතුවමක් ඇන්දොත් එය කරන්නේ ඒ මොහොතේ සිතට සතුට ලැබෙන හොදම දෙය ඒ නිසයි.

  • ඔබේ අවසන් සහ එකම සිනමා නිර්මාණය සත් සමුදුර රාජ්‍ය සම්මානයෙන් පවා පිදුම් ලැබුවා. ඒත් එයින් පසුව අපි ඔබගේ සිනමා නිර්මාණයක් දැක්කේ නැහැ. ඒකට හේතුව රටින් පිටවී යාමට සිදුවීම ද ?

ඔව්… ඒත් සත් සමුදුරෙන් පසු මම සිනමා නිර්මාණයක් කළා. ඩඩ්ලි සේනානායක යුගයේ දී වී ගොවිතැන දිරිමත් කිරීමේ අරමුනින් “රන්වන් කරල් ” නමින් නාට්‍යමය ස්වරූපයෙන් යුත් වාර්තා සිනමාපටයක් කළා.

  • ඔබ විසින් බිහිකරන ලද නූතන සිංහල නිදහස් කවි සම්පදාය බොහෝ වාද විවාදයන්ට ලක් වුණා. නූතන නිදහස් කවි සම්පුදායේ පුරෝගාමියෙකු ලෙසින් අද ඔබ එහි ගමන්මග දකින්නේ කවරාකාරයෙන් ද ?

මට එහි ලොකු අඩුවක් දැනෙනවා. අද පත්තරයක කවි පිටුවක් ගත්තම පැරණි කවි සම්පුදායෙන් ලියැවුණු කවි පංති දෙක තුනක් හැරෙන්නට අනිත් ඔක්කොම නිසදැස් සම්පදායට බරවුණු ඒවායි. නිසදැස කියන මාධ්‍යය හදුනාගෙන එයින් වැඩක් ගන්න පුලුවන් කියලා දැන හදුනාගත්ත විශාල පිරිසක් බිහිවෙලා ඉන්න බව එයින් පෙනෙනවා. ඒත් ගැටලුව තියෙන්නේ ඇයි මේ විදියට ලියන්නේ කියන එක එයින් බොහොම දෙනෙක්ට හරියටම අවබෝධ වෙලා නැති එකයි. පැරණි සම්පුදාය අනුව එළිසමය ඇතිව රචනා කරන කවිය තුළින් ගීතවත් බවක් මතුවන බව අපි දන්නවා. ඒත් නිසදැස් ආකාරයේ කවි ආකෘතියකින් ඇතිවන රසය කුමක් ද කියලා හරියටම දැන හදුනාගෙන කවි ලියන පිරිස ඉන්නේ බොහොම අඩුවෙන් කියලයි මට හිතෙන්නේ. එහෙම අවබෝධයක් නැතිව ලියන කවිය පත්තරයේ තවත් එක් වාර්තාවක් පමණක් බවට පත්වෙනවා. ඒ දුර්වලතා ගැන වැටහීමක් ඒ අයට තියෙනවාද නැද්ද කියන එක ගැන නම් මට හරියට වැටහීමක් නැහැ.

  • ඔබ එයින් අදහස් කළේ නිශ්චිත ආකෘතිමය වෙනසක් අවශය බව ද ? නැතිනම් අන්තර්ගතමය වෙනසක් අවශ්‍ය බව ද ?

මම අදහස් කළේ අන්තර්ගතමය වෙනසක්. අදහස පාඨකයන්ගේ හිතට කාවදින විදියටයි ලියවෙන්න ඕනේ. ඒකට භාෂාව සකස් කර ගන්න ඕනේ. කවියා තමයි භාෂාව සකස් කරන්නේ කියලා කියමනක් තියෙනවා. එයින් අදහස්
කරන්නේ ව්‍යාකරණය රැකගැනීම කියන කරුණ නෙමෙයි. වචනවලට හිත් කාවදින විදියට අර්ථයක් ලබා දෙන්න ඕනේ කියන එකයි. සංකල්ප රූප කියන්නේ අලුතින් වචන හදන එක නෙමෙයි. පවතින වචන තුළින් ම අදහස් මතු කර ගන්නට හැකියාව ඇති කර ගැනීමයි.

  • පැරණි ව්‍යවහාර ව්‍යාකරණමය භාෂාව වෙනුවට නිදහස් කථන ශෛලියක් සිංහල සාහිත්‍යයට හදුන්වා දෙන්නටත් ඔබ පුරෝගාමී වුණා. එහෙත් අද වනවිට කතා කරන භාෂා ‍ශෛලිය ලෙස අර්ථ කථනය කෙරෙමින් විවිධාකාර වූ සිංහල නවකතා සහ විවිධ පොත් පත් බිහිවෙනවා.  මෙය සාධනීය ලක්ෂණයක් ලෙසින් දකින්න පුලුවන් ද ?

සමහර දෙනෙක්ගේ ලියන භාෂාවත් කතා කරන භාෂාවත් අතර ඝට්ටනයක් තියෙනවා. කථන භාෂාවෙන් ලියනවා කියලා හිතාගෙන ලියුවට මගට යද්දී ලියැවෙන්නේ අර පැරණි සාහිත්‍යමය භාෂාවෙන්. පොත් පත් ලියන්න ඕනේ
මිනිස්සු කතා කරන භාෂාවෙන් කියන එක ගැන තාම බොහොම දෙනෙකුට වැටහීමක් නැහැ. ඉංගිරිසි භාෂාවේ කතා කරන සහ ලියන යනුවෙන් භාෂා ශෛලීන් දෙකක් නැහැ. ඉංගිරිසියේ දී මිනිස්සු ව්‍යාකරණානුකූලව කතා කරනවා වගේම ලියනවා. සමහර තැන්වලදී ව්‍යාකරණය යටපත් වී ගියත් එහි තේමාව විදියට ව්‍යාකරණය යටින් තියෙනවා. අපි ව්‍යාකරණය කියලා කියන්නේ අර පැරණි ව්‍යාකරණයට. ඒ කියන්නේ “මම යමි , අපි යමු , ඈ ගියාය , ඇය යන්නීය” වගේ. ඒත් අපි දන්නවා අපේ ඉතිහාසය ගත්තම ශත වර්ෂයෙන් ශත වර්ශයට භාෂාව කොයි තරම් දුරට වෙනස් වෙලා
තියෙනවා ද කියලා. වැඩිය දුර යන්න ඕන නැහැ. නුවර යුගයේ තිබුණු භාෂාව නෙමයි අද තියෙන්නේ. මාතර යුගයෙන් පස්සේ අද භාෂාව සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා. මුල් යුගයේ පත්තරයක් අරගෙන බලන්න. ඒ පත්තර භාෂාව අද පත්තරවල නැහැ. ඒ කියන්නේ භාෂාව සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා. ඒත් මිනිස්සු පිළිගන්නේ නැහැ භාෂාව වෙනස් වෙනවා කියලා. භාෂාවේ ස්වභාවය තමයි වෙනස් වීම කියන්නේ. උදාහරණයක් විදියට දැන් අපි කියනවා ” එයා ඇමතිතුමා වෙනුවෙන් කඩේ යනවා ” කියලා. ඔය ” කඩේ යනවා ” කියන එක භාෂාවේ වෙනස්වීමක් නේ. ඒක හරිම
ප්රාණවත් රූපකයක්. ඒ ප්රාණවත් රූපකය ඇති වෙන්නේ නැහැ භාෂාවේ නිදහස නැති කළා නම්. භාෂාව වෙනස් වෙලා තියෙනවා , භාෂාව වෙනස් වෙමින් තියෙනවා , භාෂාව වෙනස් විය යුතුය කියන එක පිළිගන්න බැරි එක තමයි මෙතැන තියෙන මූලිකම දේ.

  • භාෂාව වෙනස් විය යුතුය යන්න පිළි ගැනීමට සමාජය මැලි වෙන්නේ ඇයි ?

ඒකට හේතුව භාෂාවේ වෙනස් වීම් පිළිබදව පාසල්වලින් උගන්වන්නේ නැති එක. කවදාවත් මගේ පොතක් පාසල්වල නිර්දිෂ්ට පොතක් බවට පත්වෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි මේ භාෂාවෙන් ලිවුවොත් භාෂාව කෙළෙසෙනවා , මේ භාෂාවෙන් ලියැවෙන පොත් ළමයින්ට කියවන්න දෙන්න හොද නැහැ කියන අදහස නිසයි. න-ණ-ල-ළ තියෙන්න ඕනේ. අර දේ මේ දේ තියෙන්න ඹ්නේ කියලා හිතනවා. ඒක ගැන මගේ මගේ කිසිම ගැටලුවක් නැහැ. මොකද ඒක ඒ අයගේ විශ්වාසය. මොකද ඒකත් හරියට ආගම විශ්වාස කරනවා වගේ වැඩක් නේ. ඒකට අගරු කරන්න බැහැ. ඒත් භාෂාවේ මේ යන ගමන ඒ නිසා වළකිනවා. දැන් ටයිප්රයිටයක් අරගනෙ බැලුවොත් සිංහල උ ශබ්දය ගන්න එක එක අකුරුවලට ටයිප්රයිටරයේ යතුරු තුනක් තියෙනවා. ඒකේ දීර්ගයත් එක්ක ගත්තම අකුරු හයක්. ඔය හය වෙනුවට අකුරු දෙකක් යොදා ගන්න පුලුවන්. එහෙම වුණොත් ඔය විදියට අනවශ්‍ය අකුරු කීයක් අයින් කරන්න පුලුවන්ද ? ඒක කොයි තරම් පහසුවක්ද ?

  • එතකොට මහප්රාණ අකුරු ගැන ඔබේ අර්ථ දැක්වීම කොහොම ?

ඇත්තටම අපේ සිංහල භාෂාවේ මහප්රාණ අකුරු නැහැ. ඒවා යොදා ගන්නේ පාලි සහ සංස්කෘත වචනවල අදහස් කියාපාන්න විතරයි. අපි කතා කරන සිංහලයේ මහප්රාන වචන නැහැ. ඒත් අපි පුරුද්දක් විදියට මහප්රාණ වචන දාලා කතා කරනවා. පුරුද්ද ඉතින් වෙනස් කරන්න බැහැනේ. මහප්රාණ දාලා ලියන්න ගිහින් දැන් ඕන තැනටයි එපා තැනටයි හැම තැනටම මහප්රාණ දාලා ලියනවා. වැරදි ව්‍යවහාරය පුරුද්දට ගියාම ඒක නිවැරදි දේ බවට පත්වෙනවා.

  • ඒත් මෙතැනදී මෙහෙම ගැලුවක් තියෙනවා නේද …. භාෂාව සම්බන්ධයෙන් තමන්ගේ තියෙන අඩු දැනුම වහගන්න බොහොම දෙනෙක් ට භාෂාවේ ව්‍යාකරණය අමතක කරන්න පුලුවන් නේද ? ඒ නිසා මේ වෙනස්වීමට ප්රමිතියක් තිබිය යුතු නැද්ද ?

ප්රමිතියක් තියෙන්න ඕනේ. හිතුමතයේ භාෂාවක් වෙනස් කරන්න බැහැ. භාෂාව වෙනස් විය යුත්තේ එය ගලා යන ආකාරයටමයි. මම කිසි දෙයක් හිතුමතයේ වෙනස් කරන්න ගිහින් නැහැ. මම භාෂාව යන විදියටමයි වෙනස්වීමට ඉඩ දුන්නේ. න-ණ-ළ-ල අත් හැරියේත් ඒ නිසයි. අපි කවුරුත් මූර්ධජ අකුරු වෙනස් විදියට ශබ්ද කරන්නේ නැහැ. දණ්ඩ කියන වචනයේ දී වුණත් මූර්ධජ ණ යන්න දැඩිව ශබ්ද කරලා කතා කරන්නේ නැහැනේ. දෙමළ භාෂාවේ නම් ඒ විදියේ ශබ්දයේ වෙනසක් තියෙනවා. ඒ අයගේ න අකුරු කිහිපයක් තියෙනවා. ඒ අය ඒ අකුරැ වෙනස් වෙනස් ශබ්දවලින් තමයි කියනනේ. වචනයේ ශබ්දය අනුව ඒ මොන නයන්න ද කියලා තේරුම් ගන්නවා. අපේ භාෂාවේ එහෙම දෙයක් නැහැ. ගොනා කියලා ශබ්ද කරන්න මොන නයන්න ලිවුවත් එකයි. අනිත් එක ඒක තේරුම් ගන්න බැරි කමකුත් නැහැ. හුගක් දෙනෙක් කියනවා මූර්ධජ නැතිව ලිවුවම ඒ මොන න යන්න ද කියලා තේරුම් ගන්න බැහැ කියලා. ඒක බොරු කතාවක්. මොකද වචනක් තනිව භාවිතා වෙන්නේ නැහැ. ” ගොනා තන කයි ” කියලා කිවුවම ගොනා කන්නේ මොනවද කියලා ඹ්නම කෙනෙකුට තේරෙනවා.  ඒ නිසා කිසිම කෙනෙකුට අත්තනෝමතිකව භාෂාව වෙනස් කරන්න බැහැ.

  • මෙතැනදී මේ ප්රමිතිය තීරණය වන්නේ කොහොම ද ?

ලේඛන සම්පුදාය අනුවගත්තම කතා කරන භාෂාවෙන් ලිවීම වැරදියි. එතැනදී තමයි අත්තනෝමතික කියන වචනය පැන නගින්නේ. ඒ අදහසින් නැතිව භාෂාව එහි ව්‍යවහාරමය වශයෙන්ම ලියනවා කියලා හිතලා ලියනවා නම් ඒක තමයි ප්රමිතිය. මම යමි කියලා අපි කතා කරන්නේ නැහැනේ. ප්රංශ , ජර්මන් , ඉංගිරිසි , පාලි , සංස්කෘත වගේ මම දන්නා භාෂා අතරින් සිංහල භාෂාව තරම් ව්‍යවහාරය තුළින් සරල වෙච්ච තවත් භාෂාවක් නැහැ. මම නොදන්නා භාෂාවල තියෙනවාද දන්නේ නැහැ.

  • ඒකට හේතුව මොකක්ද ?

පාලි සංස්කෘත වගේ භාෂාවන් ව්‍යවහාරයෙන් ගිලිහී යාම නිසාම නතර වුණා. ප්රංශ වගේ භාෂාවක ව්‍යාකරණය හරි දැඩියි. ඉංගිරිසි භාෂාවේ කතා කරන භාෂාවෙන්ම තමයි පොත් පත් ලියැවෙන්නේ. ඒකට හේතුව ව්‍යාකරණය එකක් වීමයි. ඒත් සිංහල භාෂාවේ කතා කරන විදිහයි ලියන විදිහයි දෙකක් වීම තමයි ඔය තරම්ම සරල බවට පත්වෙන්නට හේතුව. ඇත්තටම නම් වෙන්න ඕනේ ඒකේ අනිත් පැත්තයි. ලියන්න ඕනේ කතා කරන භාෂාවෙන්. ප්රාණය රැදිලා තියෙන්නේ ව්‍යවහාර භාෂාව තුළයි. මිනිස්සු කතා කරන භාෂාවෙනුයි පොත් පත් ලියැවෙන්න ඕනේ. යන භාෂාවට ඒ විදියටම යන්න දෙනවා නම් තමයි අර්ථ ප්රකාශ කරන්න ශක්තිය ලැබෙන්නේ.

(ඉතිරි කොටස පසුවට…)

Advertisements
This entry was posted in Uncategorized by කළු. Bookmark the permalink.

About කළු

ගලා යනු ඇත දිය පහර නොනැවතී ඉදිරියට , වැට කඩොළු සිර ගත නොවූ නිම්නයක... පමා නොවී ඔබත් නොවැරදීම එන්න ඒ නැවුම් පො‍ළොව මත නිදහසේ ගලා යන්නට....!

6 thoughts on “භාෂාවට ගලා යන්න ඉඩ දෙන්න – මහාචාර්ය සිරි ගුනසිංහ

  1. ආචාර්ය සිරි ගුණසිංහයන් භාෂාවේ විකාශනය ගැන දක්වන අදහස් ඉතාම වැදගත්. මේ ලිපියේ ඉතිරි කොටස කියවීමට බලපොරොත්තුවෙන් සිටිමි.

    කැමතියි

  2. සිරි ගුණසිංහ කියන්නෙ කවුද කියලා දන්නෙ නැති ජාතික පත්තර වල උන් කරන සාහිත්‍ය පිටු වලට ලියන්න ගියාම ඔය විදි‍යෙ දේවල් වෙනවා මහත්‍තයො…. මොනව උනත් මේ ලිපිය මෙහෙම පල කරපු එකට පින්. උඹට ජය

    කැමතියි

    • සම්පූර්ණ ඇත්ත… දේශපාලකයන්ගේ පල් හෑලි වමාරන්න පිටු ඕනෑම ගණනක් නොමසුරුව වෙන් කරන අපේ ජාතික පත්තරයක රටේ ඉතිහාසය – කලාව – සංස්කෘතිය ගැන යමක් පළ කර ගන්න පත්තර පිටු කාලක් වෙන් කර ගන්න අපි කොයි තරම් මහන්සියක් ගත්තා ද කියන එක අත්දැකීමෙන්ම දන්නවා නේද යාඵවා …!

      කැමතියි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )