වැඩ නිමවා නිවසට පැමිණිමෙන් පසුව අන්තර්ජාලය ඔස්සේ දිනපතා සිංහල පුවත්පත්වල මුල් පිටු හරහා නෙත් යැවීම තවමත් පුරුද්දට මෙන් කෙරෙන කාර්යයකි.
මා වෙසෙන කැනඩාවට හිරු බැස යන හෝරාව මගේ මවුබිමට පසු දා අළුයම වන තරමට කාල වේලාවේ ඇත්තේ පැය දොළහක ම වෙනසකි. මේ නිසා සිංහල පුවත්පත් අන්තර්ජාලය ඔස්සේ මවුබිමේ පාඨකයන්ටත් කලින් කියවීමේ අවස්ථාව පිටරට වෙසෙන ලාංකිකයන්ට හිමිවෙයි.
ඒ සීත ඍතුවේ තවත් එක් රැයකි.
වෙනදා මෙන්ම පුවත්පත් පිටු හරහා නෙත් යැවීමේ දී මුල් පිටුවේ ම දුටු ඡායාරූපය මා දැඩි ලෙසම කම්පාවට පත් කරවූයේ ක්ෂණිකයෙනි.
එහි වූයේ මගේ මාධ්‍ය දිවියේ ආරම්භයේ සිට බොහෝ කාලයක් ම මගේ පුධානියා වූ උපාලි තෙන්නකෝන් නම් වූ කර්තෘවරයාගේ රුවයි. එහෙත් ඡායාරූපයේ වූයේ මට හුරු පුරුදු ඔහුගේ පිය මනාප මුහුණ නොවේ. මා කිසි දිනක දකින්නට සිදුවෙතැයි නොසිතූ රුධිරයෙන් නැහැ වී ගිය බිහිසුණු රුවකි. ඔහු පමණක් නොවේ. ඔහුගේ ආදරණීය බිරිදගේ ලේ වැකී ගිය තවත් ඡායාරූපයක් ද ඒ සමගින් ම පළ වී තිබුණි.
කම්පා වූ හදින් යුක්තව අදාළ පුවත කිය වූ මට දැන ගන්නට ලැබුණේ ඔහු තවත් ලසන්ත වික්රමතුංගයන් කෙනෙකු බවට පත් ව නැත්තේ දෛවයේ හාස්කමකින් බවය. ලසන්තයග් මිනීමරුවන් ඔහු සොයා ආවේ මහ මහගටය. එහෙත් මිනීමරුවන් උපාලි තෙන්නකෝන් සොයා ආවේ ඔහුගේ ගම්මානයටය. මිනීමරුවන්ට වැරදුණේ එතැනදීය.
අවසානයේ දී ඔහුට මරණයෙන් ගැලවී ගත හැකි විය. එහෙත් ජීවිතය රැක ගැනීම උදෙසා ඒ හා සමාන ම කැප කිරීමක් කරන්නට ඔහුට සිදු වී තිබිණ. ඒ තම ජීවිතය වන් වූ මාධ්‍ය ජීවිතයෙන් පමණක් නොව සිය මව්බිමෙන් පවා සමුගෙන හුදෙකලා දිවියකට කොටු වන්නටය.
මේ සිදුවීම සිදු වූයේ ඔහු රිවිර පුවත්පතේ කතුවරයා ලෙසින් මෙන් ම කර්තෘ මණ්ඩල සංසදයේ ද සභාපතිවරයා ලෙසින් සිටියදීය.
උපාලි තෙන්නකෝන් නම් වූ සුහද කතුවරයා මට හමු වූයේ වසර 15 කටත් පමණ පෙර දිවයින පුවත්පතේ මාධ්‍යවේදියෙකු ලෙස මා සම්බන්ධ වූ මොහොතේ දී ය. ඉතා දැඩි පාලනයක් තිබූ ප්රවෘත්ති කර්තෘවරයකු යටතේ සේවය කරන්නට සිදු වූ නවක අපට කතුවරයකු ලෙසින් ලැබුණු තෙන්නකෝන් මහතාගේ සුහද ඇසුර අස්වැසිල්ලක් විය. ඒ සියල්ලටම වඩා මා ඔහු තුළ දකින සුවිශේෂී ගුණය වන්නේ කතුවරයකු ලෙසින් තමන් යටතේ වූ කර්තෘ මණ්ඩලය සම්බන්ධයෙන් ඔහු දැක් වූ සුහද ආකල්පය ඔහුගෙන් ලැබුණු රැකවරණයයි. ජාතික පුවත්පතක ජනමාධ්‍යවේදියෙකු ලෙස කටයුතු කරද්දී නිරන්තරයෙන්ම විවිධාකාර වූ පුද්ගලයන් හා ගැටෙන්නට මෙන්ම හිරිහැරකාරී දුරකථන ඇමතුම්වලට මුහුණ දෙන්නට සිදු වීම සාමාන්‍ය දෙයකි. එහෙත් අප ලියූ ලිපියක් හෝ පුවතක්
සම්බන්ධයෙන් කතුවරයා ලෙසින් ඔහු වෙත ලැබුණු කවරාකාර හෝ හිරිහැරකාරී බලපෑමක දී අප පාවා නොදී ඊට මුහුණ දීම ඔහු තුළ වූ මා දුටු සුවිශේෂීම ගුණාංගයයි. අන් කතුවරුන් යටතේ සේවය කිරීමේ දී එය වඩාත් තදින් දැනුණේ එවැනි රැකවරණයක් ඉන් පසුව අපට නොලැබුණු බැවිනි.
කෙසේ හෝ තෙන්නකෝන් මහතාට මුහුණ දීමට සිදු වූ මේ ඛේදවාචකය සම්බන්ධයෙන් වූ සංවේදී මතකය යළිත් අවදි වූයේ ගෙවී ගිය සතියේ ලංකාවේ සියලුම සිංහල ජාතික පුවත්පත්වල පළ වූ ප්රවෘත්තියක් ඇස ගැටුණු බැවිනි. පුවතට පාදක වී තිබුණේ අරලිය ගහ මන්දිරයේ මාස් පතා පැවැත්වෙන ජාතික පුවත්පත් කතුවරුන් හා ජනාධිපතිවරයා අතර වන සුහද හමුවයි. ජනමාධ්‍යවේදීන්ට එල්ලවන තර්ජන සම්බන්ධයෙන් වූ මාතෘකාවේ දී ජනාධිපතිවරයා ප්රකාශ කර තිබුණේ තෙන්නකෝන් මහතා කිසිම සාක්කියක් නොදී රටින් පිටවී ගොස් ඇති බැවින් ඔහු සම්බන්ධයෙන් වූ පරීක්ෂණ කටයුතු අඩාල වී ඇති බවය. තමාට සිදු වූ හිරිහැරය සම්බන්ධයෙන් තෙන්නකෝන් මහතා විසින් ලබා දුන් ප්රකාශ පිළිබද දීර්ඝ විස්තර පුවත්පත්වල පවා පළ වූයේ ඒ දිනවලදීමය. එමෙන්ම තෙන්නකෝන් මහතාගෙන් පමණක් නොව ඔහුගේ බිරිදගෙන් පවා ලැබුණු කට උත්තර හා ප්රකාශ ඔස්සේ පොලිස් පරීක්ෂණ සිදු කෙරෙන බව ජනමාධ්‍ය ඇමතිවරයා පවා ප්රසිද්ධියේ ප්රකාශ කර තිබුණේ වරක් දෙවරක් නොවේ.
දේශපාලනය සහ දේශපාලඥයන් හරහා සත්‍යය මතු නොවන බවසැබෑවකි. එහෙත් පුදුමයට කරුණ වන්නේ සැබෑ සත්‍යය කවරක්දැයි දැන දැනත් තම සහෝදර කතුවරයකුට සිදු වූ විපත සම්බන්ධයෙන් ලංකාවේ සියලුම ජාතික පුවත්පත්වල කතුවරුන් ජනාධිපතිවරයා හමු වේ අපූරු මුනිවතක නිරතවීමයි. එවැනි නායකත්වයන් හමුවේ එම ජාතික
පුවත්පත් හරහා රටේ ජනතාවට සේවයක් සිදුවෙතැයි විශ්වාස කළ හැකි ද?
මිනිසෙකුට කවර හෝ දේශපාලන දර්ශනයක් හෝ තමන් ගරු කරන මතවාදයක් දැරීමට පරම වූ අයිතියක් ඇත්තේය.
සැබවින්ම අප මිනිසුන් වන්නේ ඒ නිසාය. එකම දර්ශනයක් හෝ එකම මතවාදයක් දරන්නට හැකි නම් ලෝකය මෙතරම් විවිධාකාර නොවන්නා සේම අප ද රෝබෝවරුන් මිස මිනිසුන් නොවන්නේමය. එහෙත් පුවත්පතක ලිපියක් පළ වූ පමණින් මාධ්‍යවේදියෙකුට හෝ කතුවරයකුට ජීවිතයෙන් වන්දි ගෙවන්නට සිදුවන්නේ නම් , එසේත් නැතිනම් සිය ජීවිතය රැකගැනීම උදෙසා රටින් පලා යන්නට සිදුවන්නේ නම් ලොව කොහේ කවර හෝ තැනක සිදු වුව ද එය ම්ලේච්ඡත්වයයි. කවර ආණ්ඩුවක් බලයට පත් වුව ද උපාලි තෙන්නකෝන් සිදුවීම වැනි සිදුවීම් මුල්ම සහ අවසාන
සිදුවීම නොවන්නේ නම් එවන් රටක පාලකයන්ගේ සහ විපක්ෂයේ දේශපාලන දර්ශනය තුළ ම්ලේච්ඡත්වය පවත්වා ගැනීම් සම්බන්ධයෙන් ද පොදු එකගතාවක් ඇතැයි සාධාරණ සැකයකින් තොරව සිතන්නට අපට ඉඩකඩ ලබා දෙයි.
මේ කතාව කවුරුන් හෝ ලිවිය යුතුයි. ඒක මෙහෙම ලියපු එකට ගොඩක් ස්තුතියි. තමුන් කර්තෘ සංසද හදාගෙන හිටියෙ මේ වගේ නරි ටිකක් එක්ක කියන එක උපාලි මහත්තය ප්‍රායෝගිකවම වටහා ගන්න ඇති. එක අතකට ඒක සෙන් බුදු දහමේ එන ක්ෂණිකව නිර්වාණය සාක්ෂාත් කරගන්න පුළුවන් තරමේ සිදුවීමක්. ජනාධිපති වරයා නටන්න කිවුවාම නටන, කරණම් ගහන්න කිව්වාම කරණම් ගහන අහිකුන්ටිනකයින්ගේ වදුරො වාගෙ ඉදන් ලෝකෙට අභීත මධ්‍ය ඔස්තාර්ලා වගේ ටෝක් වක්කරන මුන් එක්ක ඉන්නවට වඩා උපාලි තෙන්නකෝන් පිට රටක පේමන්ට් එකේ හරි ඉන්න එක හොදයි.
කැමතියිකැමතියි