පොත් වලට පුළුවන් ද අපේ ජීවිත වෙනස් කරන්නට…?

පොත් පත් සම්බන්ධ කරුණක් ගැන අන්තර්ජාලයෙන් තොරතුරු හොයද්දී මෙහි දැක්වෙන කාටුනය නෙත ගැටුණේ අහම්බයෙන්. පොත පත තුළින් විවිර කරන අපූරු ආස්වාදනීය ලෝකය ගැන ගැඹුරු අදහසක් ඉතා සරලව මේ කාටුනයෙන් පෙන්වා දෙනවා. පොත් පත් කියවීමට නුහුරු නුපුරුදු  බොහෝ දැවැන්ත මිනිසුන් ලෝකය හරිහැටි වටහා ගන්නට අසමත්ව සිටින පසුබිමක් යටතේ පොත් පත් කියවීමට හුරු වූ කුඩා දරුවන් පවා පොත පත තුළින් විවර වෙන දොරටු තුළින් ලෝකයේ චමත්කාරය අත්විදින ආකාරය මේ කාටුනයෙන් අපූරුවට විස්තර කෙරෙනවා. මෙහිදී ලෝකයේ චමත්කාරය කියලා කියන්නේ නෙත් දෙකින් දකින ලෝකය විතරක් ම නෙමෙයි. පොත් පත් කියවීමට හුරු වූ මිනිසුන් අතිශය සියුම් මානුෂීය සම්බන්ධතා පහසුවෙන් වටහා ගන්නට තරම් සංවේදී වුණත් පොත් පත් කියවීමට නුහුරු නුපුරුදු මිනිසුන් තුළින් එවන් සංවේදී බවක් බලාපොරොත්තු වෙන්නට බැහැ.

මේ කාටුනයෙන් දැක්වෙන අදහස ම මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් බොහොම කාලයකට ඉස්සර තමන්ගේ ලිපියක සටහන් කර තිබුණු බව මතකයි. එහිදී ඔහු ඒ ලිපිනයට පාදක කර ගෙන තිබුණේ ලංකාවේ එක්තරා ප්‍රසිද්ධ පුද්ගලයෙක් කළ ප්‍රකාශයක් ගැනයි. එම ප්‍රසිද්ධ පුද්ගලයා සදහන් කර තිබුණේ නවකතා කියවන්නට තරම් වෙලාවක් තමන්ට නැති බවයි. මෙහිදී මහාචාර්යවරයා පෙන්වා දී තිබුණේ ඔහුගේ ඒ ප්‍රකාශයෙන් සැබැවින්ම ඔහු කියන්නට උත්සාහ කරන්නේ නවකතා පොත් කියවීම තමන්ට තරම් නොවන බවත් , එවැනි නොවටිනා දේවලට කාලය මිඩංගු කරනවාට වඩා කරන්නට ‘ වැදගත් ’ දේවල් තමන්ට තිබෙන බවකුයි. (එවැනි අදහස් අපි ඇසුරු කරන අයගෙන් ඕන තරම් අහන්න ලැබෙන බව අමුතුවෙන් සදහන් කරන්නට ඕන නැහැනේ). සමාජයේ කොයි තරම් ඉහළ තත්ත්වයක සිටින බව කිවුවත් , මොන විදියේ ඉහළ රැකියාවක් කරන බව කීවත් පොතක් පතක් කියවා රස විදින්නට හැකියාවක් නැති මිනිසාට ජීවිතය විනිවිද දකින්නටවත් අඩුම තරමින් ජීවිතය කියන්නේ කුමක්දැයි නිවරුදිව වටහා ගන්නටවත් හැකියාවක් නැති බවයි මහාචාර්යවරයා සිය ලිපියෙන් අපූරුවට විස්තර කර තිබුණේ. (මේ ලිපිය මා දුටුවේ ඔහුගේ කවර පොතකද කියා මට හරියටම මතක නැහැ).

අපරාධයක් කිරීමෙන් පසු මිනිස් සිතක ඇතිවන හැගීම් සහ එවැන්නෙකුගේ හැසිරීම සියුම්ව වටහා ගන්නට දොස්තයොව්ස්කිගේ “අපරාධය සහ දඩුවම” (Crime and Punishment)  වැනි පොතකින් හැරෙන්නට වෙනත් ක්‍රමයක් නැති බව කිව්වොත් ඒක අතිශයෝක්තියක්ම කියලා කියන්නට බැහැ. මේවගේ උදාහරණ දහස් ගණනක් ලෝක සාහිත්යයෙන් පෙන්වා දෙන්න පුලුවුන්. පොතක් පතක් කියන්නට රසවිදින්නට හුරු වූ මිනිසාට තමන්ගේ පුද්ගලික ජීවිතයේ දී මුහුණ දෙන්නට සිදුවන සිදුවීම් වඩාත් සමීපව හා යථාර්ථවාදීව වටහා ගන්නටත් ඒ නිසාම තමන්ගේ ජීවිතයේ බොහෝ අංශවලින් සාර්ථකත්වයක් ලබා ගන්නටත් පුලුවන්.

කොහොම වුණත් පොතක් පතක් කියවා රසවිදින්නට හැකියාවක් නැති මිනිසුන් පිළිබදව මේ විදියේ අදහස් පළ කරලා තියෙන්නේ මහාචාර්ය සරච්චන්ද්‍රයන් , මාර්ටින් වික්‍රමසිංහ , ජී. බී. සේනානායක වගේ අපේ ලේඛකයන් විතරක් නෙමෙයි. ලෝක පූජිත ලේඛකයන් බොහෝ දෙනෙක් පොත පත තුළින් තමන්ගේ ජීවිත වෙනස් ක‍ළ ආකාරය පිළිබදව වෙනමම පොත් ලියා තිබෙනවා. පොත් පත් නිසා තමන්ගේ ජීවිතය වෙනස් වුණු ආකාරය ගැන මැක්සිම් ගෝර්කි ලියූ පොතක් සිරිල් සී පෙරේරා විසින් “ පොතයි මමයි ” යනුවෙන් පරිවර්තනය කරනු ලැබ තියෙනවා. මේ විදියට ලෝකයේ විශිෂ්ට ලේඛකයන් සියලු දෙනාම පාහේ පොත් පත් නිසා තමන්ගේ ජීවිතය වෙනස් වුණු ආකාරය ගැන අපූරුවට විස්තර කරනවා. මාර්ටින් වික්‍රමසිංහයන්ගේ “උපන් දා සිට ” කෘතියත් , ජී. බී. සේනානායකගේ “ මම එදා සහ අද ”කෘතියත් සැබෑ වශයෙන්ම ඒ අයගේ ජීවිත කතාවන්ට වඩා පොත් පත් නිසා තමන්ගේ ජීවිත වෙනස් වුණු ආකාරය විස්තර කෙරෙන පොත් දෙකක්. මේ වගේ උදාහරණ ඕන තරම්  අපට තියෙනවා.

ලේඛකයන් අමතක කර දැමුවත් ලෝක පූජිත විද්‍යාඥයන් , ලොවම වෙනස් කළ මිනිසුන් හැම දෙනාම පාහේ පොත් පත් තුළින් තමන්ගේ ජීවිතය වෙනස් කළ ආකාරය තමන්ගේ චරිතාපදානවලින් පවා විස්තර කර තිබෙනවා. පොත පත තුළින් වෙනස් කර ගත් තමන්ගේ ජීවිත ඔස්සේ මුලු ලෝකයම වෙනස් කරන්නට ඔවුන්ට පුලුවන් වුණා. මෙහිදී පොත පත කියන්නේ විවිධ විෂයන් ගැන ලියැවුණු පොත පත වගේම උසස් ගණයේ නවකතා , කෙටිකතා , කවි ගැන බවත් අමතක නොකළ යුතුමයි. පොදුවේ ගත්තම හොද නවකතාවක් , කෙටිකතාවක්  රසවිදීමෙන් තමන්ගේ ජීවිතවල කොයි තරම් කම්පනයක් ඇතිවෙනවාද කියන එක වටහා ගන්නට පුලුවන් වෙන්නේ පොත් පත් කියවන්නට පුරුදු පුහුණු වූ මිනිසුන්ටම විතරයි. (පුංචිම පුංචි කාලයේ ඔබ කියවූ ලස්සන ළමා කතා පොතක කතාව එහි පිංතූර විතරක් නෙමෙයි පොතේ පිටු පෙරලද්දී නැගුණු සුවද පවා ඔබට තවමත් අමතක නැහැ නේද..?)

ඉහතින් දැක්වුණු කාටුනය එක්ක මේ අදහස් ලියන්නට සිත් වුණේ පසුගිය සති අන්තයේ දවසක සහභාගි වෙන්නට ලැබුණු දේශනයක් නිසයි. දේශනය තිබුණේ Surrey (Vancouver) මහජන පුස්තකාලයේ. දේශනයට මාතෘකාව වෙලා තිබුණේ Can Great Books Change Our Lives? යන්නයි. දේශකයා වුණේ  Amy Li. දේශනය ඕනෑම කෙනෙකුට විවෘත වෙලා තිබුණත් මේ දේශනය අහන්නට වැඩිපුරම හිටියේ වයස අවුරුදු 50 ට ඉහළ වැඩිහිටි පුද්ගලයන් වීමත් විශේෂයෙන්ම සදහන් කරන්නට ඕනේ. මේ දේශනයෙන් සහ දේශනයෙන් පසුව කෙරුණු සාකච්ඡාවේ දී හෙළි වූ කරුණු වලින් වගේම ඒ ඔස්සේ තව දුරටත් තොරතුරු හොයා යාමෙන් එක්රැස් කරගත් කරුණු ටිකක් සටහන් කිරීමයි මේ ලිපියේ අරමුණ වෙන්නේ.

උසස් පොතක් (Great Book) එහෙමත් නැතිනම් හොද පොතක් කියන්නේ මොකක්ද කියන එක අදුනගන්න කලින් හොද පොතක් සහ ජනප්‍රිය රැල්ලේ පොතක් (Popular Book) අතර වෙනස කිසියම් උදාහරණයකින් වටහා ගන්නට උත්සාහ කරමු. උසස් මට්ටමේ පොතක් කාබනික පොහොර යොදා සැකසූ හොද ආහාර වේලකට සමාන කළොත් ජනප්‍රිය රැල්ලේ පොතක් මැක්ඩොනල්ඩ්ස් අවන්හලකින් ඔබ ගන්නා ආහාර වේලකට සමාන කරන්න පුලුවන්. කලින් සදහන් කළ කාබනික ආහාර (organic food) රසයෙන් තරමක් අඩුවිය හැකි නමුත් පෝෂණ ගුණයෙන් බොහොම ඉහළයි. වෙනත් අතුරු ආබාධයන්ට ඔබට මග පාදන්නට තියෙන ඉඩකඩ හරිම අඩුයි. ඒත් මැක්ඩොනල්ඩ් අවන්හලින් ඔබ ගන්නා ආහාර වේල (junk food / fast food) හරිම රසවත් වුණත් පෝෂණ ගුණයක් නැහැ. පෝෂණ ගුණය නැති වුණත් බරපතලම දේ නම් ඔබේ නිරෝගී දිවියට ඉතාම අහිතකර වෙන්න පුලුවන් වීමයි. ඒ කියන්නේ බාල ගණයේ පොත්පත් වලින් ඔබේ මනස වගේම චර්යාවත් අබල දුබල කරන්නට පුලුවන්.

ලෝක ඉතිහාසයේ විශිෂ්ට පොත් යොදා සකස් කළ නාමාවලීන් ගණනාවක් අන්තර්ජාලයේ ඔබට දකින්නට පුලුවන්. ඒත් මේ පොත් බොහොමයක් බටහිර එහෙමත් නැතිනම් යුරෝපීය සංස්කෘතිය තුළ විශිෂ්ටගත වූ පොත් පත්. ආසියාවේ අපි ගත්තම පොදුවේ ආසියාවට විතරක් නෙමෙයි ලංකාවේ අපිටත් විශිෂ්ට පොත් පත් ඕනෑ තරම් ඉතිහාසයේ ඉදන් අද දක්වාම මතු කර ගන්න පුලුවන්.  යුරෝපීය හෝ බටහිර සංස්කෘතිය මත පදනම් වෙලා සකස් කළ විශිෂ්ට පොත් සම්බන්ධයෙන් ගත්තම ඒ අතර එක් සුවිශේෂී ලක්ෂණයක් දකින්නට පුලුවන්. ඒ තමයි ඒ හැම පොතක්ම පාහේ යුගයෙන් යුගයට ගලා ගෙන එන සර්වකාලීන වටිනාකමකින් යුත් පොත් පත් වීම. මේ පොත් පත් නැවත නැවතත් කියවා රසවිදින්නට පුලුවන්. ඒ වගේම හැම පරපරාවකටම ඒ පොත් පත්වලින් පල නෙලා ගන්න පුලුවන්. කියවන හැම අවස්ථාවේ අලුත් රසයක් විදගන්නත් පුලුවන්. ගෝර්කි , ශේක්ස්පියර් , චාල්ස් ඩිකන්ස් , චෙකොප් , ඉබ්සන් ආදී වූ විශිෂ්ට ලේඛකයන්ගේ නවකතා යළි යළිත් මුද්‍රණය වෙන්නේත් , තව තවත් භාෂාවලට පරිවර්තනය වෙන්නේත් , ඒ අසුරින් සිනමා නිර්මාණ නාට්‍ය බිහිවෙන්නේත් මේ සැබෑ යථාර්ථය නිසයි.

ලංකාවේ අපිටත් එවැනි පරම්පරාවෙන් පැවැත එන ඉහළ සාහිත්‍යයක් තිබීම වාසනාවට කරුණක්. අපේ ඉපැරණි සම්භාව්‍ය පොත් පත් හැම එකක්ම පාහේ බුදුදහම මත පදනම් වෙච්ච පොත් පත්. ජාතක පොත , සද්ධර්ම රත්නාවලිය හොදම උදාහරණ දෙකක්.

පොත් ගැන උසස් – බොරු මත මහත්

උසස් මට්ටමේ පොත් පත් ගැන සමාජයේ බොරු මත බොහොමයක් තියෙනවා.

එයින් මුල්ම කරුණ තමයි විශිෂ්ට පොත් පත් කියවන්න අමාරුයි කියන එක.  ඒක සමහර අවස්ථාවල ඇත්ත තමයි. එත් හැම අවස්ථාවේදීම නෙමෙයි. ලෝක ඉතිහාසයේ විශිෂ්ටතම නවකතා කෙටිකතා ගත්තම ඇත්තෙන්ම ඒවා හරිම රසවත්. ඩිකන්ස්ස්ගේ A Tale of Two Cities (දෙනුවර අන්දරය) , Great  Expectations (රොමාගේ වාසනාව) , වික්ටර් හියුගෝගේ Les Miserable  (මනුතාපය) වගේ විශ්ව කීර්තියට පත් විශිෂ්ට පොත්පත් හා ඒ ඇසුරින් තැනුණු සිනමා නිර්මාණ අපේ පාඨකයන්ට එදා මෙන්ම අදත් රස විදින්නට පුලුවන්.

නවකතාවලින් පරිබාහිරව දාර්ශනික තලයේ නිර්මාණ ගත්තත් උදාහරණයක් විදියට ග්‍රීක දාර්ශනික ප්ලේටෝගේ කෘතීන් පවා බොහෝ සිත් ඇදගන්නා සුලු කරුණුවලින් සමන්විත බව බොහෝ දෙනෙක් දන්නේ නැහැ. ප්ලේටෝගේ The Republic වගේ කෘතියක් තරමක් ගැඹුරු කරුණු කාරණා සාකච්ඡා කළත් ඔහුගේ බොහොමයක් සෙසු කෘතීන් පිටු සංඛ්‍යාවෙන් පවා කුඩා වගේම කතාන්දරයක් වගේ කියවාගෙන යන්න පුලුවන් හැකියාවකිනුත් යුක්තයි. එත් බොහෝ දෙනෙක් දාර්ශනිකයෙක් ලෙසින් ප්ලේටෝට හිමි වී තිබෙන ඉහළ ස්ථානය නිසාම ඔහුගේ පොතක් කියවන්නටවත් උත්සාහ නොකරන්නේ එය තේරුම් ගැනීමට දුෂ්කර වේවි යන අනියත බිය නිසයි. සොක්රටීස් , ඇරිස්ටෝටල් වගේ දාර්ශනිකයන්ගේ නිර්මාණවලටත් මේ කරුණ අඩු වැඩි වශයෙන් අදාළයි.

අපේ සාහිත පොත පත ගත්තත් බොහොමයක් සම්භාව්‍ය කෘතීන් ඉතාම ආස්වාදයෙන් විදින්නට පුලුවන් පොත් පත්. උදාරහණයක් විදියට ජාතක පොත කියන්නේ ඉතාම සුන්දරත්වයෙන් රස විදිය හැකි පොතක්. ඒ වගේම ජාතක පොතින් ජීවිතයට අදාළ කරගත හැකි කරුණු කාරණා බොහොමයක් ඇතිවාක් මෙන්ම නිර්මාණකරුවෙකුට සිය නිර්මාණකරණයන්ට පාදක කර ගත හැකි වස්තු බීජ අසීමිතයි. අද දවසේ අලුතින්ම නිපදවෙන සිනමා නිර්මාණයන්ට පවා තවමත් ජාතත පොත මූලාශ්‍රයක් වන්නේ ඒ නිසයි. අපේ සාහිත වංශ කතාවේ අමරණීය නාමයෙන් සටහන් වුණු සද්ධර්ම රතනාවලිය පවා නවකතාවක් තරම්ම රසවත් බවින් යුක්තව රස විදිය හැකි සරල පොතක් බව එය වරක් කියවූ කවරෙකුට වුණත් රහසක් නෙමෙයි.

උසස් ගණයේ පොත් පත් යල් පැන ගිය කරුණු වලින් යුක්තය යන්න ඒ පිළිබදව ඇති දෙවැනි මිත්‍යාවයි. මේ කරුණට පිළිතුරත් ඉහත ඡේදයේම තියෙනවා. උසස් පොතක් කියන අදහසේම තියෙන සැබෑ යථාර්ථය නම් එවැනි පොත් පත් වල ඇති සර්ව කාලීන වටිනාකමයි. බොහෝ පැරණි පොත් පත් වල වගේම අදින් අවුරුදු සියයකට දෙසියයක කලින් ලියැවුණු නවකතාවකට පාදක වුණු සිද්ධීන්ට අදාළ වටපිටාව ඒ කියන්නේ බාහිර සමාජ පරිසරය අද වෙනකොට මුලු මනින්ම වෙනස් වෙලා තිබුණත් ඒ පොත් පත්වලින් හෙළි දරව් කෙරෙන මිනිස් සිතේ ස්වභාවය , සමාජ සබදතාවල හැඩ රුව වගේම මානුෂීය කරුණු එදා මෙන්ම අදටත් එකසේ වළංගුයි. ජනප්‍රිය රැල්ලේ නවකතා කෙටිකතා කොතරම් බිහි වුණත් අතීත කෘතීන් පාදක කර ගෙන තවමත් සිනමා නිර්මාණ සිදු කෙරෙන්නේත් , එවැනි නිර්මාණයන්ට ඔස්කාර් සම්මාන පවා හිමිවන්නේත් ඒ පොත් පත්වල කරුණු එදා මෙන්ම අදටත් එකසේ වළංගු නිසයි. ජනප්‍රිය රැල්ලේ පොත් පත් ඒ රැල්ලත් එක්කම ගහගෙන ගියත් විශිෂ්ට පොත පත කිසිදා යල් පනින්නේ නැහැ.

උසස් පොත් පත් ගැන තියෙන තවත් මිත්‍යාවක් වෙන්නේ ඒ පොත් පත් නීරසයි කියන කරුණයි. විවිධ විෂයන්ට අදාළව ලියැවුණු විශිෂ්ට පොත් පත් ගත්තොත් ඒ විෂයන්ට එ‍ තරම්ම සමීප නොවෙන කෙනෙකුට එවැනි පොත් පත් නීරස වීම ඒ තරම් පුදුමයක් නෙමෙයි. ඒත් ඒක හැම විශිෂ්ට පොතකටම පොදුවේ අදාළ කරගන්න පුලුවන් කරුණක් නෙමෙයි. නවකතා සම්බන්ධයෙන් ගත්තම පිටු සංඛ්‍යාව විශාල වීම නිසාම නීරසයි කියලා බොහෝ දෙනෙක්ට හිතෙන The Count of Monte Cristo (මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා) ,  War and Peace (යුද්ධය හා සාමය) , Anna Karenina (ඇනා කැරනිනා) , Doctor Zhivago (ඩොක්ටර් ෂිවාගෝ) වගේ පොත් පත් හරිම රසවත් බව අපේ සිංහල පාඨකයන් බොහොම දෙනෙක් දන්නවා.

විශිෂ්ටයි කියලා කියන පොත පත ඔලුවට හරිම බරක් කියලා හිතීම තවත් මිත්‍යාවක්.  ඒක ඇත්තෙන්ම තමන් හිතින්ම හදාගත්ත මායාවක් විතරයි. පොත පත කියවන්න පුරුදු පුහුණු වුණු කෙනෙකුට පොතක් නීරස වෙන්නේ බොහෝ දුරට වෙනත් තාක්ෂණික හේතු නිසයි. උදාහරණයක් විදියට දුර්වල පරිවර්තනයකින් ඕනෑම රසවත් පොතක් නීරස කරන්න පුලුවන්. ඒ වගේ නීරස පරිවර්තන ඕනෑ තරම් අපේ සිංහල පොත පත අතරින් දකින්නට පුලුවන්. බොහොමයක් පරිවර්තකයන් මුල් ලේඛකයාට වඩා උඩට ගිහින් තමන්ගේ පණ්ඩිතමානී බව පෙන්වන්නට යාම නිසා ඇත්තෙන්ම ඒ මුල්ම කෘතියට සිද්ධ වෙන්නේ බරපතල අසාධාරණයක්. ඉතාම ලස්සන පිට කවරවලින් යුක්තව නිකුත් වන ඉතාම නීරස මෙවැනි පරිවර්තන බොහොමයක් පාඨකයන් මුලා කරනවා වගේම මුල් ලේඛකයාත් නොමරා මැරීමකුයි සිදු කරන්නේ.

අලියා ඉදිරිපිට අපි තවමත් අන්ධයන් ද….?

විශිෂ්ට පොත පත අප කියවිය යුත්තේ ඇයිද කියන කාරණයට නම් කතා බහ කළ යුතු කරුණු කාරණා ඕන තරම් තියෙනවා.

මේ කරුණ සාකච්ඡා කරන්න කලින් අප හැමෝම දන්නා සරල කතාවක් සිහිපත් කරන්නට සිද්ධ වෙනවා. ඒ තමයි අලියා සහ අන්ධයන් හය දෙනාගේ කතාව. අලියා කොයි වගේද යන්න කියලා විස්තර කරන්නට ගිහින් අන්ධයන් දුන්නු උත්තර ඔබ දන්නවා. අලියාගේ උදරය , කකුල් , වලිගය . කන්පෙති . හොඩවැල වගේ විවිධ අවයව අතගාලා බලලා මේ අන්ධයන් අලියාගේ හැඩරුව කිව්වේ එකිනෙකාට වෙනස් ආකාරයෙන්. අලියාගේ වලිගය අතගාපු අන්ධයාට අලියා කියන්නේ කඹයක් වගේ සතෙක් වුණත් අලියාගේ උදරය අතගාපු අන්ධයාට නම් අලියා කියන්නේ තාප්පයක් වගේ සතෙක්. කොහොම වුණත් මේ අන්ධයන් හය දෙනාම අලියා ගැන කිව්ව කතා එකක්වත් සැබෑ අලියාගේ ස්වරූපය විස්තර කරන්නේ නැති බව ඇස් ඇති ඔබ දන්නවා. අපේ ලෝකය අලියාට සමාන කළොත් අපිව සමාන කරන්නට සිද්ධ වෙන්නේ අර අන්ධයන්ට. ඒකට හේතුව නම් උසස් පොත පත කියවීමෙන් තොරව ලෝකයේ යථා ස්වභාවය දැන හදුනා ගන්නට අපිට නොහැකි වීම නිසයි. පෙනෙන රූපය සහ සැබෑව (whole picture and the large truth) නිවරුදිව තෝරා බේරා ගන්නට නම් අපි දැනුමෙන් සන්නද්ධ විය යුතුමයි.

උසස් පොත පත නිතර ඇසුරු කරන පුද්ගලයන් අතර දැකිය හැකි තවත් එක් විශේෂත්වයක් ලෙසින් බොහෝ විද්වතුන් පෙන්වා දෙන්නේ ඔවුන් Out of the Box එහෙමත් නැතිනම් සම්මත රාමුවෙන් පිටතට ගිහින් හිතන්න පුළුවන් අය වීමයි. මේ Out of the Box කියන සම්මත යෙදුම හදුන්වන්න අපූරු උදාහරණයක් තියෙනවා. මෙහි දැක්වෙන තිත් නවය ඉරි හතරක් විතරක් යොදා ගෙන ඒ වගේම පැන්සල ඉවතට නොගෙනම සෑම ඉරක්ම කැපී යන ලෙසින් යා කරන්නට ඔබට පුඵවන් ද ….?

මෙහිදී බොහෝ දෙනෙක් උත්සාහ කරන්නේ තිත් ඉරි අතරම සිරවී එයට පිළිතුරක් සොයන්නට උත්සාහ කිරීමයි. එහෙත් තිත් වලින් සීමා වී තිබෙන රූපය තුළ සිර නොවී තිත් නවය දැක්වෙන පෙට්ටියේ සීමාවෙන් පිටතට ආවොත් එහි පිළිතුර ඔබට පහසුවෙන්ම සොයා ගන්නට පුළුවන්.

තමන්ගේම පුද්ගල විමුක්තිය එහෙමත් නැතිනම් තමන්ගේම පුද්ගල නිදහස (self emancipation) විදගන්නට ඔබට හැකියාවක් ලැබෙන්නේත් උසස් පොත පත කියවීමෙන් පමණයි. නැතිනම් ඔබට සිදුවන්නේ මෝහය නම් වූ අන්ධකාරය තුළම ගිලී ජීවත් වෙන්නටයි. ඒ වගේම ඔබ තුළ තිබිය යුතු එහෙමත් නැතිනම් ඔබ විසින් ඔබ වටා නිර්මාණය කර ගත යුතු ඔබේ වපසරිය (your ethical compass) ඔබට හදුනාගන්නට හැකි වන්නේත් පොත පත තුළිනුයි. මේ වපසරිය කවර සීමා මායිම්වලින් යුක්ත විය යුතුද යන්න තෝරා බේරා ගැනීමේ වගකීම ඇත්තේ ඔබ සතුවයි.

පොත පත කියවීම නිසා අපේ වාංමාලාව දියුණු කරගන්න පුලුවන්. ඔබ ඉංගිරිසි භාෂාවෙන් පොත පත කියවන්නට උත්සාහ දරනවා නම් නොදන්නා ඉංගිරිසි වචනයක තේරුම එය යෙදෙන ආකාරයත් සමග වටහා ගන්නටත් , එය කාලයක් සිතේ ධාරණය කර ගන්නටත් හොදම අවස්ථාව නම් පොත් පත් කියවීමයි. එයින් ඔබේ වාග්කෝෂය දියුණු වෙනවා වගේම ඔබ නිර්මාණ කරණයේ යෙදෙන්නෙක් නම් බොහොම පොහොසත් අත්දැකීම් මාලාවකින් සන්නද්ධ වීමටත් හොදම අවස්ථාවක්. පොහොසත් ශබ්ද මාලාවක් තමන් සතුව නොමැති වුණොත් ඔබට කියාගන්නට ඇවැසි කරුණ ඔබට ඕන විදියටම තවත් කෙනෙකුට සන්නිවේදනය වෙන්නේ නැහැ.

උසස් මට්ටමේ පොත පත කියවීමේ තවත් වාසියක් වෙන්නේ ඔබට ඉතාම හොද රස වින්දනයක් (Intellectual taste) එමගින් නිර්මාණය වීමයි. මේ නිසාම සරු දේ සරු ලෙසත් නිසරු දේ නිසරු ලෙසත් වෙන් කර ගැනීමේ හැකියාව ඔබ සතුවන්නේ නිරායාසයෙන්මයි. ඒ සදහා ඔබ වෙහෙසෙ විය යුතු නැහැ. ඒ පොත්පත් මගින්ම ඒ මග වෙත ගෙන යන්නේ ඔබ නොදැනුවත්වමයි. ඒත් බාල රැල්ලේ පොත් පත් කියවීමෙන් ඔබට එවැනි අවස්ථාවක් කිසිදා හිමිවෙන්නේ නැහැ.

උසස් මට්ටමේ පොත් පත් කියවීමෙන් කලින් කිව්වාක් වගේම ඔබේ රසවින්දය පමණක් දියුණු වීමෙන් නතර වෙන්නේ නැහැ. ඔබේ පරිකල්පන හැකියාව සහ ඔබේ දැක්මත් පුලුල් වෙන බව අවධාරණයෙන්ම සදහන් කරන්නට ඕනේ. මේ පිළිබදව ඉතිහාසයෙන් එක්තරා උදාරණයක් ගන්න පුලුවන්. ගුරුත්වාකර්ෂණය පිළිබදව තම මතය ලොවට හෙළි කරමින් මානව ඉතිහාසයේ මෙතෙක් ඇස නොගැටුණු යථාර්ථයක් ලොවට හෙළිදරව් කළ සර් අයිසැක් නිව්ටන්ගේ ප්‍රසිද්ධ ප්‍රකාශයක් සමහර විට ඔබ අහලා ඇති. එනම්  “If I have seen farther, it is by standing on the shoulders of giants”. (දුර දිග දකින්නට මට හැකිවුණා නම් ඒකට හේතුව යෝධයන්ගේ උරමත පා තබන්නට හැකිවීම නිසයි) නිව්ටන් මේ අදහස ඉදිරිපත් කළේ 1676 තරම් ඈත වකවානුවකදී. මෙහිදී ඔහු යෝධයන් ලෙස අදහස් කළේ තමන් දැනුම උකහා ගත් වියතුන් ගැනයි. යෝධයකුගේ උර තලය මත නගින්නෙකුට ඒ යෝධයාටත් වඩා බොහෝ ඈත දකින්නට පුලුවන්. ඒ වගේම උසස් පොත පත කියවන්නෙකුට ඒ ඔස්සේ තමන් ලබන පරිකල්පන ශක්තිය ඔස්සේ අදාළ ලේඛකයාටත් වඩා එහෙමත් නැතිනම් තමන් දැනුම උකහා ගත් ගුරුවරුන්ටත් වඩා ඉහළ මට්ටමේ දැනුමක් ලොවට දායාද කරන්න පුලුවන්.

තමන් උදේ පාන්දර දත් මදින අවස්ථාවේ දී භගවත් ගීතාවේ පාඨයන් කියවීමට පුරුදුව සිටි බවත් ඒ පුරුද්ද තමන්ගේ පසුකාලීන ජීවිතය හැඩ ගැස්වීමට දැඩි ලෙසම බල පෑ බවත් මහත්මා ගාන්ධි වරක් සදහන් කර තිබුණා. බොදු පොත පත කියවීමෙන් තමන්ගේ චරිතය හැඩ ගැස්වුණු ආකාරය නේරු සිය කෘතියක සදහන් කර තිබුණා. මෙවැනි කරුණු ගැන උදාහරණ දීමට කාලය වැය කළ යුතු නොවන්නේ ලෝක පුජිත සියලුම විශිෂ්ට මිනිසුන් පාහේ තමන්ගේ ජීවිත හා පොත පත අතර ඇති බැදීම ගැන මෙවැනි විස්තර සදහන් කර තිබෙන නිසයි.

පොත පත කියවන්නෙකුට හිමිවන තවත් එක් සුවිශේෂී වරප්‍රසාදයක් තියෙනවා. ඒ තමයි අධිකාරි බලය පිළිබද කිසියම් බියක් ඇති නම් එය තුරන් වීමයි. මේ අදහස තරමක් සරලව පැහැදිලි කරනවා නම් බොහෝ විට බොහෝ දෙනෙකු නිවට නියාලු තත්ත්වයට පත්වන්නේ තමන්ගේ නොදන්නාකම නිසයි. මේ නිසාම දේශපාලකයන්ට හැමදාමත් තමන්ගේ පුරවැසියන් ගොනාට අන්දන්න පුලුවන් වෙනවා වගේම වෙළෙද ව්‍යාපාරිකයන්ට පාරිභෝගික ජනතාව සූරා කන්නටත් ඉඩ කඩ ලැබෙනවා. ඒ වගේම තමන්ගේ නොදන්නා කම නිසා තමන්ට අහිමි වී යන අයිතිවාසිකම් ගැන අඩුම තරමින් හැගීමක්වත් බොහෝ දෙනෙක් තුළ නැහැ. ඒත් පොත පත කියවා ඇසූ පිරූ තැන් ඇති කිසිවෙකු ලෙහෙසියෙන් රවටන්නට දේශපාලකයන්ට විතරක් නෙමෙයි තමන් හා සමීප සිටින කිසිවෙකුටවත් ඉඩ කඩක් නැහැ. කිසියම් අංශයකින් ඉහළට ගිය කෙනෙකුට තමන්ගේ දැනුම නිසා හිමිවන අධිකාරි බලයට ශිෂ්ට සම්පන්න ලෙස ඔබට අභියෝග කළ හැකි එකම මාර්ගය ඔබත් ඒ හා සමාන දැනුමකින් සන්නද්ධ වීම පමණයි. ඔබට සමීප නොමැති වූ දැනුමක් ඔබට ලබා ගත හැකි ඒකායන මාර්ගය ඒ හා සම්බන්ධ උසස් පොත පත කියවීමයි. ඒත් බාල පොත පත කියවීම තුළින් ඔබට සිදු වන්නේ තව දුරටත් බලවතුන්ගේ අධිකාරි බලයට යටත්ව නිවටව නියාලුව සිටීමට සිදුවීමයි. මේ නිසාම “ උගත මනා ශිල්පයමයි මතු රැකෙනා ”කවි පදය “ මතු රැකෙනා ශිල්පයකුයි උගත මනා ”යනුවෙන් තරමක වෙනසකට භාජනය කළත් එහි වැරැද්දක් ඇතැයි කියන්නට බැහැ.

උසස් පොත පත කියැවීමෙන් ඔබට ලබා ගත හැකි තවත් ආස්වාදයක් වන්නේ විස්මයයි. අපේ සීමිත ජීවිත කාලය තුළ අපට විදිය නොහැකි සිය දහස් ගණනක් අත්දැකීම් සමුදායක් උසස් පොත පත කියවීමෙන් විදින්නට පුලුවන්. මේ අත්දැකීම් ඇතැම් විට විස්මිතයි. මේ නිසා ජීවත් වීමෙන් පමණක්ම ලබා ගත නොහැකි බොහෝ අත්දැකීම් සමුදායක් ඔබට පොත පතින් සමීප කරගන්නට පුලුවන්. රුසියානු ලේඛක බොරිස් පලෙවෙයි (Boris Polevey) ගේ Story of a Real Man (සැබෑ මිනිසෙකුගේ කතාව) මේ වගේ අත්දැකීමකට සරල උදාහරණයක්. මේ කතාවට පසුබිම් වෙලා තියෙන්නේ සැබෑම කතාවක්. මෙවැනි කතාවක් කියවීමෙන් ලැබෙන විස්මයජනක ආස්වාදය අපේ ජීවිතවලට පවා එක්කරන්නේ ධෛර්යයක් වගේම නව ජවයක්.

Plato

මේ වගේම විස්මයක් ලබන්නට පුලුවන් පොත්පත් ඉතිහාසයේ ඕන තරම් හමුවෙනවා. ප්ලේටෝගේ සම්භාව්‍ය කෘතියක් ලෙසින් සියවස් ගණනාවක් පුරා බොහෝ සේ කතාබහට ලක්වන Symposium නම් රසවත් කෘතියෙන් හෙළිදරව් කෙරෙන පැරණි ග්‍රීක සමාජයේ ඇතැම් කරුණු අද දවසේ අප මවිතයට පත් කරන්නට සමත්. සමලිංගිකත්වය යන්න එදා සමාජය තුළ සාමාන්‍ය කරුණක් බවට පත් වෙලා තිබුණා වගේම සමලිංගික විවාහයන් සම්මත විවාහයන්ට වඩා වැඩි ප්‍රතිශතයකින් එදවස සිදුවුන බවත් එම පොතෙන් හෙළිවන එක් කරුණක්.  ඇත්තෙන්ම මේ සමලිංගික විවාහයන් බොහෝ දුරට සිද්ධ වෙලා තියෙන්නේ වයස්ගත පිරිමින් සහ තරුණ පිරිමි ළමයින් අතරයි. ඒකට හේතුව ඇතැම් විට ඔබ විස්මයට පත් කරන්නට සමත් වේවි. එවැනි විවාහයන් දැනුම ලබා ගැනීමේ නිශ්චිත ක්‍රමවේදයක් විදියටයි එදවස සැලකුණේ. ඒ කියන්නේ වැඩිහිටි පරපුරෙන් තරුණ පරපුරට දැනුම ගලා යාමේ ක්‍රමවේදයක් විදියටයි සමලිංගික විවාහයන් පැරණි ග්‍රීක සමාජය තුළ පැළපදියම් වෙලා තිබුණේ. පාසල් පොත පතින් අප දැන හදුනාගෙන නොසිටි මෙවැනි කරුණු ගැන දැනගන්නට නම් ඔබට පොත පත කියවන්නටම සිද්ධ වෙනවා.

මහා කවි හෝමර් (Homer) විසින් රචනා කරන ලද බව කියන ඉලියඩ් (Iliad) හා ඔඩිසි (Odyssey) නම් වූ ලෝක ප්‍රසිද්ධ විශිෂ්ට පොත් පත් දෙකට මුල් වෙලා තිබුණේ ට්‍රෝයි නම් වූ පුරවරයක්. මේ පොත්වලට පදනම් වෙලා තියෙන්නේ හරිම රසවත් සහ සුන්දර කතාවක්. එත් සියවස් ගණනාවක් පුරා හැම දෙනාම මේ පොත් දෙකට පදනම් වූ කතාව හෝමර්ගේ චින්තනයෙන් බිහි වුණු සුන්දර කතාන්දරයක් විදියට විතරයි සැලකුවේ. ඒ කියන්නේ ඒක ඇත්තටම සිද්ධ වෙච්ච දෙයක් විදියට කවුරුත් හිතුවේ නැහැ. එත් අන්තිමේ දී පුරාවිද්‍යාඥයන් විසින් මේ ට්‍රෝයි (Troy) පුරවරය මතුකර ගැනීමත් එක්ක හෝමර්ගේ පොත් දෙක හුදු සුරංගනා කතාවක් නොවන බවත් එය සැබෑ සිදුවීමක් පාදක කරගෙන නිර්මාණය වූවක් බවත් ලෝකය හදුනා ගන්න පෙළඹූණා.

සියවස් ගණනාවක් පුරා මුලු ලෝකයම කුතුහලයට පත් කළ අත්ලාන්තික් (Atlantis) පුරවරය ගැනත් ඔබ අහලා ඇති. ඉතාම සමෘද්ධිමත් පුරවරයක් වූ අත්ලාන්තික් පුරවරය ධනයෙන් , බලයෙන් මෙන්ම සැප සම්පතින් අනූන වූ පුරවරයක්. එහෙත් පාලකයන්ගේ බල තණ්හාව නිසා එක්තරා රැයක දී මේ සමෘද්ධිමත් පුරවරය සදහටම සාගරයෙන් වැළලී ගියා. මේ කතාව ලොවට කිව්වේ අදින් අවුරුදු 2370 කටත් කලින් ප්ලේටෝ විසිනුයි. මේ පුරවරය අත්ලාන්තික් කියා නම් කළේත් ඔහු විසිනුයි. ඔහු ඒ පුරවරයේ අවසානය ගැන තම පොතේ සටහන් කර තිබුණේ පහත විදියටයි. “In a single dreadful day and night …. the island of Atlantis was swallowed up by the sea and vanished”.

Atlantis

ඔහු මේ කතාවෙන් අත්ලාන්තික් පුරවරය , එහි මිනිසුන් සහ ඔවුන්ගේ දක්ෂතා විතරක් නෙමෙයි පුරවරයේ භූ විෂමතා ගැනත් ඉතාම විස්තරාත්මක විවරණයක් කරනවා. ප්ලේටෝගේ මේ කතාන්දරය සියවස් ගණනාවක් පුරා ලොව පුරා සියලු ජනතාවගේ සිත් ඇද බැද ගත් කතාවක්. ඒත් ප්ලේටෝ සදහන් කළ ආකාරයේ පුරවරයක සළකුණු මුහුදු පත්ලෙන් සැබෑ ලෙසින්ම සොයා ගැනීමත් සමගම මේ සියල්ල කණපිට පෙරළෙන්නට පටන් ගත්තා. මෙතෙක් කාලයක් පුරාවෘත්තයක් ලෙසින් පමණක්ම සැලකූ අත්ලාන්තික් පුරවරය ගැන අද වනවිටත් පර්යේෂණ කෙරෙනවා. විද්‍යාත්මක පොත් පත් ලියැවෙනවා. ඒ තවදුරටත් අත්ලාන්තික් පුරවරය පුරාවෘත්තයක් නොවන නිසයි.

ලංකාවේ අතීත සමාජ පරිසරය ගොඩ නංවන්න විතරක් නෙමෙයි ඉන්දියාවේ ඉතිහාස කතාව ගොඩ නංවන්නත් මූලික වුණේ මහාවංසය බව ඔබ දන්නවා. ඉන්දියාවේ ඉතිහාසය ලංකාවේ මෙන් අඛණ්ඩව සටහන්ව නොතිබීමත් , ඉන්දියාවෙන් හමු වූ සෙල් ලිපිවල  තිබූ කරුණු බොහෝ විට පරස්පර වීමත් නිසා ඉන්දියානු ඉතිහාසය ගොඩ නැංවීමේ දී ඉතාම විශ්වසනීය මූලාශ්‍රයක්  ලෙසින් සැලකුණේ අපේ මහාවංසයයි.

අප ජීවත් වෙන්නේ තොරතුරු බොහෝ වේගයෙන් ගලා යන තොරතුරු තාක්ෂණික ලෝකයකයි. මේ තොරතුරු තාක්ෂණික ලෝකය තුළ නොවැටී නොසැලී පය තබා සිටින්නට ඔබට හැකිවන්නේ පොත පත තුළින් ඔබ ලබන දැනුමත් එක්කයි. නැතිනම් ඔබට සිද්ධ වෙන්නේ මිය යන්නාක් මෙන් ජීවත් වෙන්නටයි. ඒකට හේතුව තමන් වටා සිද්ධ වෙන දේවල් සිහි බුද්ධියෙන් වටහා ගන්නට තරම් හැකියාවක් ඔබ සතුව නොතිබීමයි. තීක්ෂණව සිතන්නට ඔබ මෙහෙය වන්නේ පොත පත තුළින් ලබන දැනුම අවබෝධයයි. තීක්ෂණව සිතන්නට නොහැකි පුද්ගලයන් සමාජයේ අහු මුලු වලට තල්ලු වී යාම ස්වභාවයෙන්ම සිද්ධ වෙන්නක්. තාක්ෂණික ලෝකය තුළ ඔබට ඇති එකම රැකවරණය කියැවීමයි. ඒ ඔබේම ආත්මාරක්ෂාවටයි. (intellectual self-defense).

ලෝකයේ පිළිගත් සම්ප්‍රදායන් මති මතාන්දර හැම දෙයක්ම යුගයෙන් යුගයට වෙනස් වුණේ පොත් පත් තුළින් විවිර කෙරුණු මං පෙත් තුළින් බව ඉතිහාසය පුරාම අපිට දකින්නට පුලුවන්. ඒකට හේතුව තීක්ෂණ ලෙසින් සිතන්නට හැකි වීම සම්බන්ධයෙන් ඇතී ජීවමාන උදාරහණය පොත පත වීමයි. උදාහරණයක් විදියට චාල්ස් ඩාවින් පරිණාමවාදය පිළිබද තම මතය The Origin of Species පොතෙන් හෙළිදරව් කරන තෙක්ම ලෝකය පුරාම පැතිර තිබුණු සම්මත මතය වුණේ පල්ලිය විසින් හදුන්වා දුන් දෙවියන් වහන්සේ විසින් මිනිසුන් මවන ලද බවට වූ විශ්වාසයයි. මේ නිසාම ඔහුගේ කෘතියට එරෙහි විවිධ ආකාරයේ චෝදනා එල්ල වෙන්නට පටන් ගත්තා. ඔහුට එරෙහිව උසුළු විසු‍‍‍‍‍ළු කෙරෙන කාටුන් පළ වුණා.  එහෙත් සිය මතවාදය ඔහු විසින් ඉතාම විශ්වසනීයත්වයකින් යුක්තව තම කෘතියෙන් හෙළි කර දීමේ අනිවාර්ය ඵලයක් ලෙසින් අවසානයේ දී මැවීම්වාදයේ පදනම් දෙදිරී ගියාක් මෙන්ම පරිණාමවාදය පිළිබද ඔහුගේ මතය ලොව පුරා නව දැනුමක් ලෙසින් ස්ථාපිත වුණා.

අද වනවිට මුලු ලෝකයම භාවිතයට ගන්නා චන්ද්‍රිකා තාක්ෂණය ගැන මුල්ම අදහස ආතර් සී. ක්ලාක් විසින් තම කෘතියකින් ලොවට හදුන්වා දෙනු ලැබුවේත් එවැනි තාක්ෂණයක් ගැන ලෝකය සිතන්නටත් කලින්. ඒ වගේම ඔහු සිය පොත් පත් මගින් හදුන්වා දුන් බොහෝ කරුණු අද වනවිට සනාථ වෙමින් පවතිනවා. ඔබ ඔහුගේ පොත් කියවා තිබේ නම් මේ වෙනස්වීම් සම්බන්ධයෙන් නෙත් අයාගෙන මවිත වීමට ඔබට ඇවැසි වන්නේ නැහැ.

ඒ වගේම විශිෂ්ට පොත් පත් කියවීමේදී සැලකිලිමත් විය යුතු ආකාරය ගැනත් මොහොතකට අවධානය යොමු කිරීම වැදගත්. උසස් මට්ටමේ පොතක් රස විදින්නේ කෙසේද යන්න ගැන ලියැවුණු සම්භාව්‍ය කෘතියක් ගැනත් මෙහිදී සදහන් කරන්නට ඕනේ. Mortimer Adler විසින් ලියැවුණු How to Read a Book නම් මෙම කෘතිය මුල්ම වරට නිකුත් වුණේ 1940 දී. ඒත් තවමත් එහි නව පිටපත් මුද්‍රණය වෙනවා. මේ වගේ ලියැවුණු ඉංගිරිසි පොත ඕනෑ තරම් තිබුණත් එවැනි පොත පත සිංහල සාහිත්‍යයට තවමත් ආගන්තුක වීම කණගාටුවට කරුණක්.

ඒ වගේම හැම අවස්ථාවක දී ම තමන් ගැන විශ්වාසය තිබීමත් හරිම වැදගත්. ඒ කියන්නේ කිසියම් පොතක් ගැන තවත් කවුරුන්ගේ හෝ මතයකට වඩා වැදගත් වන්නේ ඒ පොත ගැන ඔබට තියෙන මතය. මේ නිසා පොත් පත් ගැන කෙරෙන විචාරයන්වල සිරගත වෙලා අනුන්ගේ අදහස්මත වහලෙකු වෙනවාට වඩා තමන්ම කියවලා බලලා ඒ පොත ගැන තමන්ගේම මතයක් ඇති කර ගැනීමයි වැදගත්. බොහෝ ගාම්භීර විචාර මැද්දේ අද දවසේ සම්මාන ලබන බොහෝ පොත්වලට ඇත්තටම ඒ සම්මානය ලැබුණේ ඇයිද කියලා එහෙමත් නැතිනම් ඒ සම්මානයට ඒ පොත සුදුසු වුණේ කොහොම ද කියන පැනය ඔබට ඇතිවුණේ වරක් දෙවරක් නෙමෙයි නේද..? ඒකට හේතුව ඔබේ ජීවිතයට ඔබට වඩාත් වැදගත් වන්නේ ඒ පොත ඔබට දැනෙන විදිය මිස අනෙකකුට එය දැනෙන විදිය නිසා නොවන නිසයි.

විසිවන සියවසේ ලෝකයේ සිටි විශිෂ්ටතම චින්තකයකු වෙන ෂොපන්හවර් (Schopenhauer) සදහන් කරන්නේ පොතක් කියවීමෙන් අප සිදු කරන්නේ තවත් කෙනෙකුගේ හිස ඇතුළට එබී බැලීමක් වගේ දෙයක් කියලයි. (Reading is equivalent to thinking with someone else’s head instead of with one’s own) මේ නිසා අපේම බුද්ධියෙන් හිතා බලන දේවල් එහෙමත් නැතිනම් අපේ බුද්ධියට මෙතෙක් ගෝචර නොවූ දැනුමක් තවත් ආකාරයකින් හිතන්නට දකින්නට අපිට අවස්ථාවක් හිමිවෙනවා. හැබැයි ඒ සදහා අපි ඒ මුල් ලේඛකයාගේම කෘතිය මිස කාගේවත් විචාර කියවිය නොයුතු බව ඔහු පෙන්වා දෙනවා. මේ අදහස තව දුරටත් විග්‍රහ කරනවා නම් ඔබ කිසියම් පොතක් කියවිය යුත්තේ ඔබ ඔබම ලෙසින් මිස ඔබ අන් කවරකු ලෙසින්වත් නෙමෙයි. අනුන්ගේ අදහස් මත පදනම් වෙලා පොත පත කියවනවාට වඩා තමන්ගේම බුද්ධියට ගෝචරවෙලා පොත රසවිදීමයි වැදගත් වන්නේ.  විභාගයකට වුණත් නියමිත පොතක් කියවිය යුත්තේ පොත රසවිදීමේ අරමුණ මූලික කරගෙන මිසක් විභාගය මූලික කරගෙන නෙමෙයි. පොත රස වීදීමේ අරමුණ ඉස්මතු වුණොත් විභාගයෙන් ඉහළින්ම ජය ගැනීමේ හැකියාව ලැබෙනවා වගේම ඒ පොත තුළින් ඔබේ ජීවිතයට අත්පත් කර ගත හැකි ඉහළම වටිනාකමත් ළගා කරගන්න පුලුවන්.

ඒ වගේම ඔබ කියවන්නේ පරිවර්තනයක් නම් එය මුල් කෘතියේ අසංක්ෂිප්ත පරිවර්තනයක් මිස සංක්ෂිප්ත පරිවර්තනයක් නොවන බවට වගබලා ගැනීමත් වැදගත්ම කාරණයක්. සංක්ෂිප්ත පරිවර්තනයේ දී පොතේ පරිවර්තකයා පොතේ කතුවරයාට වඩා ඉහළින් ගිහින් තමන්ට ඕනෑ එපා අයුරින් පොත කපා කොටා හකුළුවා දැමීමෙන් පොතට විතරක් නෙමෙයි පොතේ කතුවරයාටත් බරපතල අසාධාරණයක් සිද්ධ වෙනවා.

මේ විදියට උසස් පොත පත මගින් අපේ ජීවිත වෙනස් කරන ආකාරය ගැන ඕනෑ තරම් කරුණු ගෙන හැර දක්වන්ට පුළුවන්.

අවසාන වශයෙන් සදහන් කරන්නට තියෙන්නේ පොත පත කියවන ඔබට අන් කිසිම තැනැත්තෙකුට හිමි නොවන සුවිශේෂී වරයක් හිමිවී ඇති බවයි. ඒ උසස් පොතක් කියවීමෙන් ලැබෙන සතුට එහෙමත් නැතිනම් ආනන්දය (Ecstasy) යි. ඒ ආනන්දය වෙනත් කිසිම ආකාරයකින් ලබා ගන්නට බැහැ.

16 thoughts on “පොත් වලට පුළුවන් ද අපේ ජීවිත වෙනස් කරන්නට…?

Add yours

  1. ඉතාමත් ප්‍රශස්ත සටහනකි. නොවක් තුති පුදමි. ඇත්තෙන්ම එචකයාගේ පරිකල්පනයට රිංගා ඔහුට ලොව පෙනෙන ආකාරයට හෝ ඔහු ලොව දකින්නට උත්සාහ දරණ ආකාරය ඕනෑම පොතකින් අපට දැකගන්න පුළුවනි. නමුත් විශිෂඨ කාතියක් හා අවර ගනයේ කෘතියක් එක්වරම හදුනා ගැනීම නම් සෑම පාඨකයෙකුටම එකසේ පහසු නොවනු ඇත. එයට හේතු රාශියක් වර්ථමානයේ දක්නට ලැබේ. එනම් පොදු ජනයාට දකින්නට ලැබෙන්නාවූ බහුතරයක් මාධ්‍ය කෙක්කෙන් හෝ කොක්කෙන් බා ගැනීමට බහුතරයක් වූ බාලයෝ සමත්වී (සමාවෙන්න, ‘‘සමත්වෙනවා“ යන්න මෙම වචනයට සුදුසු නැති බව දනිමි.) ඇත. එහෙයින් හුදී ජනයා බොහෝවිට අදහන්නේ එවන් වූ අදබාලයන්මය. වර්ථමානයේ සකල සමාජයෙන් විද්‍යාමාන වන සමාජ විරෝධි දේ ඒවූ බාල ගනයේ දේ පරිශීලනයේද සිදුවන්නකි.
    මේ සඳහා නිශ්චිත වූ සැලැස්මක් සාදා සර්ව කාලීන ජීවන රටාවකට හුරු කරැවීමේ වැඩ සටහනක් අනිවාර්යයෙන්ම සකසා ගත යුතුව ඇත. හුදෙක් විවේචනයෙන් තොරව යලිඳු නිර්මාණකරණයට බහුශ්‍රැතයන් ඉදිරිපත් විය යුතුය. එම නිර්මාණයන් සකලවිධ සමාජ තලයන්ට ගැලපෙන පරිද්දෙන් සැකසිය යුතුය. මක්නිසාද යත් සකලවිධ සමාජයේ සියල්ලන්ම ලෝකයේ පැවැත්මට අත්‍යාවශ්‍ය බැවිනි.

    අවසාන වශයෙන්ද මෙම සටහන තබා අප අවදි කරන්නට ඔබ ගත් උත්සාහය පිලිබඳ හදවතින්ම තුති පුදන බව සටහන් කල යුතුය…

    තෙරුවන් සරණයි..

    Liked by 1 person

ප්‍රතිචාරයක් ලබාදෙන්න

WordPress.comහි බ්ලොග් සටහනක්.

ඉහළ ↑