රට භාරයි උන්ට පුතේ …!

මේ කියන්නට යන්නේ වසර කිහිපයකට පෙර සිදු වූ සිදුවීමකි.

ඒ සීතල ඔක්තෝබරයේ එක්තරා උදෑසනකි.

හිම පියල්ලෙන් දසත වැසී යන සීත සෘතුව ඇරඹෙන්නට ආසන්නව තිබූ බැවින් අවටින් හමා ආ සුළං රැළිවල පවා තැවරී තිබුණේ අධික සිසිලසකි. වසරේ වැඩිම කාලයක් හිමෙන් වැසී යන කැනඩාවේ ඇල්බර්ටා පෙදෙසට හුරු පුරුදු වූවකුට මෙම සීතල විද දරා ගැනීම සාමාන්‍ය දෙයක් වුවත් මේ කියන දිනයේ මා කැනඩාවට පැමිණ ගෙවී ගොස් තිබුණේ යම්තමින් දින දෙකක් පමණි. ඒ සීතල හිමිදිරි උදෑසන අපේ කුඩා දියණිය ද කැටුව අප යමින් සිටියේ අප රැදී සිටි නවාතැනට ආසන්නයෙන්ම පිහිටි රජයේ පාසල වෙතය. ඒ ඇය පාසලට ඇතුළත් කිරීම සදහාය.

ලංකාවේ පාසලකට ඇතුළත් කර ගැනීමේ දී කළ යුතු යුද්ධය පිළිබදව හොද හැටි අවබෝධයක් තිබූ බැවින් දියණියගේ උප්පැන්න සහතිකය පමණක් නොව මගේත් බිරිදගේත් විවාහ සහතිකයේ සිට අපගේ අධ්‍යාපන සහතික ගොන්න සහ ගුවන් බලපත් පවා මගේ ගමන් මල්ලේ සුරැකිව තිබිණ. එසේ වුවද දියණිය පාසලට ඇතුළත් කිරීම සදහා කිසිදු පෙර දැනුම් දීමක් හෝ කිසිදු ඉල්ලුම් පතක් පුරවා නොතිබීමත් ,  රටට පා තබා යම්තමින් දින දෙකක් පමණක් ගත වී තිබීමත් නිසා  අප පාසල වෙත ගමන් කළේ මේ නුපුරුදු දේශය තුළ එවැනි කටයුතු කෙසේ සිදු වන්නේ ද යන්න පිළිබද කිසියම් දෙගිඩියාවකින් යුක්තය.

ලංකාවේ පාසල් මෙන් හතර වටින් වටවූ උත්තුංග තාප්ප හෝ නිල ඇදුම් ඇදගත් ආරක්ෂක නිලධාරීන් කැනඩාවේ කිසිදු පාසලක නොමැති බැවින් කෙළින්ම පාසල් කාර්යාලය වෙත යාම සදහා කිසිදු බාධාවක් තිබුණේ නැත. බොහෝ කාලයක සිට දන්නා හදුනන තැනැත්තෙකු මෙන් ළෙංගතුව අප හා සිනාසුණු පාසල් ලේකම්වරිය මා ආ කාරණය විමසා තනි පිටුවක කුඩා අයදුම් පතක් පුරවා දෙන ලෙස මගෙන් ඉල්ලා සිටියාය. පාසලකට දරුවකු ඇතුළත් කිරීම සදහා උවමනා වූ කරුණු කිහිපයක් පමණක් ඇතුළත් වූ එය ඉතා සරල ඉල්ලුම් පතක් වූයේය. අඩුම තරමින් මගේත් බිරිදගේත් ජාතිකත්වය හෝ අප පැමිණියේ කවර රටකින්ද යන්නවත් සදහන් කරන්නට තැනක් එහි නොවූයේය. මා අත තිබූ සහතික පිටපත් ගොන්නෙන් ඇයට උවමනා වූයේ දරුවාගේ උප්පැන්න සහතිකයේ පිටපතක් පමණි. ඒ ඇය ඇතුළත් කළ යුතු පංතිය තීරණය කිරීම සදහාය. ඡායා පිටපත ද ඇය විසින්ම පිටපත් කරගනු ලැබූ අතර පාසලට ඇතුළත් කර ගැනීමේ සිට අද දක්වාම අධ්‍යාපන කාර්යය වෙනුවෙන් එකදු ඩොලරයක්වත් ගෙවන්නට සිදු වූයේ ද නැත.

මේ සියල්ල මිනිත්තු පහක පමණ කාලයක් තුළ නිමාවට පත් වූ බැවින් ඒ මොහොතේම දියණිය සිය නව පංති කාමරයේ ගුරුතුමිය වෙත භාර දෙනු ලැබීය.

දරුවා මව්කුස සිටියදීම පාසලට ගැලපෙන ලෙසින් උප්පැන්න සහතික වෙනස් කරමින් , චන්ද ලැයිස්තුවේ නම සටහන් කර ගැනීම සදහා තවත් යුද්ධයක් කරමින් හා එකී මෙකී අනේක විධ දුක්ඛ දෝමනස්සයන්ට ගොදුරු වෙමින් පමණක් නොව දෙමව්පියන් පවා අපහුසතාවට පත් කරන නිර්දය සම්මුඛ පරීක්ෂණයන්ට පවා ගොදුරු වෙමින් අන්තිමේ දී දේශපාලක වන්දනාවේ යමින් හා පාසෙල් පියන්ට පවා මුදල් දොළ පිදේනි පූජා කරමින් අපේ දෙමව්පියන් වසර පහක් හයක්ම කරන සිවිල් යුද්ධය කැනඩාවේ දී අතිශය ප්රසන්න වූ මිනිත්තු පහකට සීමා වූ අයුරුයි ඒ.

කැනඩාව යනු ජාතීන් 150 කට අධික ගණනක සම්ම්ශ්රණයක් බැවින් එහි පංති කාමරයක් ගත් විටද දැකිය හැකි වන්නේ එකිනෙකට වෙනස් ලොව විවිධ ජාතීන්ට අයත් දරුවන්ගේ මුහුණුය. ඉහතින් සදහන් කළ පාසලේ දී මෙන්ම මගේ දියණිය දැන් ඉගෙනුම ලබන වැන්කුවර් නගර සීමා පාසලේ ද සිටින එකම ලාංකික දැරිය ඇය වන අතර කැනඩාවට පැමිණෙන ඇය මෙන්ම වූ මෙවන් බොහෝ දරුවන්ට ඉංගිරිසිය යනු ආගන්තුක භාෂාවකි. එහෙත් විශේෂත්වය වන්නේ සාමාන්‍ය අධ්‍යාපන රටාව තුළින්ම මාස කිහිපයක් වැනි ඉතා කෙටි කාලයක් තුළ දී චතුර ලෙස ඉංගිරිසි බස හැසිරවීමේ හැකියාව දරුවන්ට ලබා දීම සදහා මෙම ගුරුවරුන් වෙත ඇති අපූරු හැකියාවයි.

මෙහිදී මා මුහුණ දුන් තවත් පුද්ගලික අත්දැකීමක් ද සිහියට නැගේ. දියණිය පාසලට ඇතුළත් කර මාසයක පමණ පසු මගේ නිවසට දුරකථන ඇමතුමක් දුන් කැනේඩියානු අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරිනියක මට පහසු දිනයක් හා වේලාවක් වෙන් කරගෙන විශේෂ සාකච්ඡාවක් සදහා පැමිණෙන ලෙස මගෙන් ඉල්ලා සිටියාය. තෝරා ගත් දිනයේ පාසලේම වෙන් කර තිබූ විශේෂ පංති කාමරයක පැවති මෙම සාකච්ඡාව සදහා සහභාගි වුයේ එම නිලධාරිනියත් , මාත් මගේ බිරිදත් පමණි. කැනේඩියානු අධ්‍යාපන රටාව පිළිබදව ඉතා සරලව හා නිරවුල්ව අපට පහදා දුන් ඇය මගේ දියණියට අදාළ විෂය නිර්දේශය ද සවිස්තරාත්මකව පහදා දුන්නාය. දරුවාගේ අධ්‍යාපනය සාර්ථක කර ගැනීම සදහා දෙමව්පියන් ලෙස අපේ කාර්යභාරය කුමක් විය යුතුද යන්න ගැනද පළ කෙරුණු එම සාකච්ඡාවේ අපේ සිත්ගත් විශේෂම කරුණ වූයේ ඇය විශේෂයෙන්ම අවධාරණය කළ එක් කරුණකි. එනම් තමන්ගේ ජාතියට අයත් ස්වභාෂාව රැකගන්නා ලෙස කළ ඉල්ලීමය.

කැනඩාවට සංක්රමණය වන බොහෝ ජාතීන් තමන්ගේ මව් භාෂාව අමතක කර දමා ඉංගිරිසි බසට පමණක් දරුවන් හුරු කරවීම දරුවන්ගේ මානසික ගැටලුවලට කිසියම් බලපෑමක් සිදු කරන බව සමීක්ෂණයකින් හෙළි වී ඇති බව පෙන්වා දුන් ඇය ස්වභාෂාව රැකගැනීමේ වැදගත්කම කැනේඩියානු අධ්‍යාපන ක්රමය විසින්ඉහළින් පිළි ගන්නා බව ද අවධාරණය කළාය. අවුරුදු දහයට අඩු දරුවකුට භාෂාවන් හයක් එකවර පහසුවෙන්ම අවබෝධ කර ගත හැකි බව විද්‍යාත්මකව තහවුරු වී ඇති බැවින් එසේ භාෂාවන් දෙකක් හෝ කිහිපයක් එකවර පුහුණු වන දරුවන්ගේ චින්තන ශක්තිය , පරිකල්පන හැකියාව ඉහළ යන අතරම ඔවුන් ඉහළම  අධ්‍යාපන කුසලතාවන් පෙන්නුම් කරන බව ද තහවුරු වී ඇතැයි ඇය අවධාරණය කළාය. ස්වභාෂාව රැකගැනීමේ වැදගත්කම පිළිබදව මෙවැනි අදහස් සමුදායක් බටහිර රටක නිලධාරියෙකුගෙන් ලැබේය යන්න බලාපොරොත්තු විය හැකි යැයි නොසිතුණු බැවින් මෙම කරුණ අප වඩාත් සිත් ගත්තේය.

“හොදම දේ දරුවන්ට ” යන්න වචනයෙන් මෙන්ම භාවිතයෙන් ද ඉහළින් ම පිළිපදින කැනේඩියානු අධ්‍යාපන ක්රමය තුළ දී දරුවන්ට ලැබෙන්නේ අතිශය විශේෂිත වූ පිළිගැනීමකි. පාසල තුළ දී දරුවට හිමිවන උපරිම ආරක්ෂාව පිළිබදව සියලු දෙමව්පියන්ට සෑහීමකට පත් විය හැකිය. පාසල් විවේක කාලය තුළ දී පවා දරුවන් කෙළි සෙල්ලම් කරන තෙක් පාසල් පිට්ටනිය වෙත නෙත් යොමා ගෙන ගුරුවරුන් පස් හය දෙනෙකු නිරන්තර සැලකිල්ලෙන් සිටීම සියලු පාසල්වල දැකිය හැකිය. පහ වසර ශිෂ්‍යත්වය වැනි ළදරු වියේ දීම දරුවන් මානසික රෝගයන්ට ගොදුරු කරන තරග විභාග මෙහි නැති බැවින් යහපත් මානසික මට්ටමකින් යුක්තව අධ්‍යාපනය ලැබීමේ හැකියාව දරුවන්ට ඇත. ටියුෂන් පංති සම්පදාය කැනඩාවේ පිළිගත් සම්පදායක් නොවන බැවින් පාසල් කාලයෙන් පසු සිය කාලය ළදරු වියේ දී ලැබිය යුතු මානසික සැහැල්ලුවෙන් ගත කිරීමේ හැකියාව දරුවන්ට උරුම වී ඇත. පාසලේ දරුවන් කොපමණ සංඛ්‍යාවක් සිටිය ද කිසියම් හෝ දරුවකු පාසල නොපැමිණිය හොත් එය දෙමව්පියන්ගේ දැනුවත්වීමක් මත සිදුවූවක් ද යන්න පිළිබද නිශ්චය කර ගැනීම සදහා නිවසට දුරකථනයෙන් ඇමතීම පාසල් කාර්ය මණ්ඩලයේ අනිවාර්ය දෛනික කටයුත්තකි.

ටයි කෝට් පැළද තමන්ටම හුදෙකලා වූ වීදුරු කූඩුවක දිවි ගෙවන අපූරු ගාම්භීර සත්ව කොට්ඨාශයක් වන් වූ විදුහල්පතිවරුන් කැනඩාවේ පාසල්වල නැත.  ඒ වෙනුවට ඇත්තේ දෙමව්පියන් සමග පමණක් නොව දරුවන් සමග පවා ඉතා සුහදව අල්ලාප සල්ලාපයෙහි යෙදෙමින් සිය කාර්යයන්හි යෙදෙන සුහද මිනිසෙකි. මා ඉහතින් සදහන් කළ ඇල්බර්ටා පාසලේ විදුහල්පතිවරයා බිමට නැමී කුඩා දරුවන්ගේ සපත්තු ලේස් ගැටගසන අයුරු මා දුටුවේ වරක් දෙවරක් නොවේ. එමෙන්ම ශිත කාලයේ දී නිතර හිමෙන් තෙත් වන පාසල් ගොඩනැගිල්ල නිරන්තරයෙන්ම පිරිසිදු කිරීමේ යෙදී සිටින විදුහල්පතිවරයා මා නුදුටුවේ ශිත සෘතුව නිමා වූ පසුව පමණි. පසුකාලීනව බිටිෂ් කොළම්බියානු පාන්තට පැමිණි පසු ද අද මා නිතර දකින්නේ උදෑසනින්ම පාසල් බිම පිරිසිදු කිරීමේ යෙදී සිටිමින් බිම වැටී තිබෙන සුන්බුන් එක් කරන අතරේ දරුවන් හා විහිලු තහලු කරන විදුහල්පතිවරයෙකි. පාසලට ගොඩ වදින කවර මොහොතක
වුව ද විදුහල්පතිවරයා හා අල්ලාප සල්ලාපයෙහි යෙදීමට කවර දෙමව්පියකුට වුව ද කලින් දින වෙන් කරගත යුතු නැත.

කැනේඩියානු අධ්‍යාපන ක්රමයේ ඇති සුවිශේෂී අංග පිළිබදව විස්තර සටහන් කිරීම මෙම ලිපියේ අරමුණ නොවන බැවින් ඒ පිළිබදව තවත් විස්තර මෙහි සටහන් නොවේ.

පෙර පාසලේ සිට සරසවි පිවිසුමට එන තෙක්ම කැනේඩියානු අධ්‍යාපන ක්රමය වචනයේ පරිසමාප්තියෙන්ම නිදහස් වූවකි. නිදහස් අධ්‍යාපනය නමින් ක්රියාත්මක වන අධ්‍යාපන පිළිවෙතක් ලංකාවේ ඇති අතර එය බලයට පත් වන සෑම දේශපාලකයකු විසින්ම තලුමරන සංකල්පයක් ද වන්නේය. එහෙත් ඒ නිදහස් නම් වූ අධ්‍යාපනය ලැබීම සදහා දෙමව්පියන් ගෙවිය යුතු මිල ගැන හැගීමක් කවරකුට වුව ද ඇත. දේශපාලකයන් පසුපස යමින් , මුදල් කුටිටි විසිකරමින් කරන යුද්ධයෙන් පසු දරුවා පාසලට ඇතුළත් කළ පසුව වුවද ලාංකීය දරුවාට මෙන්ම දෙම්ව්පියන්ට ද නිදහසක් ලැබෙන්නේ නැත.  අධ්‍යාපන අමාත්‍යාංශය නමින් වූ කාර්යාලයක් මෙන්ම ඇමතිවරුන් සහ නියෝජ්‍ය ඇමතිවරුන් සිව් දෙනෙක්ම යහතින් වැජඹුන ද පංති කාමරටය ගන්නා කොස්ස ඉදලේ සිට ඩෙස් බංකු පවා මිලදී ගැනෙන්නේ දෙමව්පියන්ගෙන් සූරා කන මුදලිනි. එමෙන්ම ගැටලු ගණනාවක් නිර්මාණය කර නොකර අවසන් වූ කිසිදු දීප ව්‍යාප්ත විභාගයෙක් මෑත කාලයේ දී ලංකාවෙන් අසන්නට ලැබුණේ නැත.

ලංකාවේ බොහෝ අධ්‍යාපන ඇමතිවරුන් නිල විදේශ සංචාර ලෙස මහජන මුදල් කෝටි ගණනින් නාස්ති කරමින් සිය අඹු සිගිත්තන් ද සමග විදේශ සවාරිවල නියැලෙන්නේ සැබෑ ලෙසින්ම එවැනි රටවල ඉගෙනුම ලබන සිය දූ දරුවන් බැලීම පිණිස බව වගකීමෙන්ම කිව හැකිය. විදේශ අධ්‍යාපන සැලසුම් පිළිබදව හැදෑරීම සදහා එන බව කියමින් නිල රාජකාරී නිවාඩු ලබා  තවත් කෝටි ගණන් මහජන මුදල් කාබාසිනියා කරමින් විදේශගතව සාප්පු සවාරියන්යහි නියැලී නැවත මව්රටට එන නිලධාරීන් අඩුම තරමින් එකම එක යහපත් සැලැස්මක්වත් අපේ රටට හදුන්වා දී නැති බව ද වගකීමෙන්ම කිව හැකිය.  එහෙත් කුසට වේලක් නොමැතිව බඩගින්නේ අකුරු කරන්නට එන දරුවන් සොයා යන්නට ගම් දනව් පීරා බැලිය යුතු නොවේ. කොළඹ දිසාවේ පාසල්වලින්ම එවැනි දරුවන් සිය දහස් ගණනින් සොයා ගන්නට පුලුවන. ආසියාවේ ආශ්චර්යය නම් වූ සෙලෝලයිඩ් බෝඩ්ලෑලි රට පුරා එල්ලන්ට මහජන මුදල් විසි කර දැමුවද කුසගින්න නිවා ගත නොහැකිව දරුවන් මරා දමන අම්මලා ඒ ආශ්චර්යවත් ආසියානු පුරවරයේ බොහෝය.

සාක්ෂරතාවයෙන් අපේ රට ඉහළ අගයක ඇති බව ට හැමදාමත් නගන රාවය පම්පෝරියක් පමණක්ම වන්නේ අසූව දශකයේ අප සමග සිටි සියලුම රටවල සාක්ෂරතාවය අප අබිබවා බොහෝ ඈතට පිය නගද්දී අප තවමත් එදා සිටි නිල අනුපාතයේම යම්තමින් එල්ලෙන්නට දගලන බැවිනි.

මේ සියල්ලම සිදුවන්නේ කිසියම් වූ සිද්ධි දාමයක පුරුකක් ලෙසින් බව පැහැදිලි වන්නේ එදා සිට අද දක්වාම අපේ අධ්‍යාපන රටාවේ සිදුවන චලනයන් දෙස විමසා බලද්දීය. දෙකෝටියක ජනතාවකගේ අනාගතය තීරණය කරන්නට තීන්දු ගැනීම සදහා ලාංකීය ජනතාවගේම චන්දයෙන් තේරී පත් වූ දේශපාලක නඩය රටටම මත් කුඩු ගෙන්වන අලෙවිකරුවන් , ලයිසන් ලද මිනීමරු චණ්ඩින් හා කප්පම්කරුවන් මෙන්ම වන්දිභට්ටයන්ගෙන් සමන්විත වූ රටක අපේ දූ දරුවන් සදහා යහපත් හෙට දවසක් උදාවනු ඇතැයි සිතීම තරම් පාපයක් තවත් තිබේද…?

Advertisements

8 thoughts on “රට භාරයි උන්ට පුතේ …!

  1. ඉතාම අගනා ලිපියක්. ළමය හදන්න පටන් ගන්න දවස තීරණය කරන දවසේ ඉඳල විශ්ව විද්‍යාලයෙන් එළියට එනකම්ම දෙමව්පියන් මොනතරම් බයකින් ගින්දරකින් ඉන්න ඕනෙද

    කැමතියි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )