ජාති ආලයේ තියරිය

“ පාදඩයකුට ඇති අන්තිම රැකවරණය ජාතිආලය හෙවත් දේශප්රේමයයි ” (The last refuge of a scoundrel is patriotism) යනුවෙන් ආචාර්ය සැමුවෙල් ජොන්සන් පැවසුවේ බොහෝ කාලයකට පෙරදීය. ඔහු විසින් ඒ ප්‍රකාශය කරන ලද්දේ අදින් වසර දෙසියයකටත් පමණ පෙර එක්තරා සවස්වරුවක දී ය.

වසර හැට හතරක “ නිදහස  ” සමරන මේ මොහොතේ ආචාර්ය සැමුවෙල් ජොන්සන්ගේ ඒ අදහස් යළි යළිත් සිහිපත් වන්නේ ආචාර්ය ජොන්සන් එය කවර සමාජ කොටසක් ඉලක්ක කරගෙන පැවසුව ද ලාංකීය සමාජයට නම් ඒ අදහස සියයට සියයක්ම වලංගු වන නිසාය.

“ නිදහස ” නම් වූ මේ අකුරු හතර ලංකාවේ නිල නාමයේ සැරසිල්ලක් ලෙස එක් වූ දා සිටම අපේ රටේ දේශපාලනය මුලුමනින්ම පදනම් වූයේ ජාතිආලය හෙවත් දේශප්රේමය තුළින් ලාංකීය ඡන්දදායකයින් ගොනාට අන්දවන්නේ කෙසේද යන තියරිය මත පිහිටාය. සිංහල දෙමළ සහ වාමාංශකියන් යැයි කියාගන්නා දේශපාලකයන් පමණක් නොව ප්රභාකරන් පවා මිනීමැරුවේ ජාති ආලයේ නාමයෙනි. ප්‍රභාකරන්ගේ ලේ පිපාසිත මානසිකත්වය ලොවට රහසක් නොවුණ ද එදා මෙදාතුර රට පාලනය කළ සහ පාලනය කරන සිංහල දෙමළ දේශපාලකයන්ගේ නාමයෙන් මිය ගිය අහිංසක සිංහල දෙමළ තරුණ තරුණියන්ගේ අවසන් සුසුම් සමාජයේ විරෝධත්වයකින් තොරවම හිස් වාතලයට මුසුව ගියේ ඒ සියලු ජීවිතවල ලන්සුව දේශපාලකයන්ගේ දේශප්රේමී ගණ තිර මතින් වැසී ගිය බැවිනි.

කන්නන්ගර අධ්‍යාපන ඇමතිවරයා නිදහස් අධ්‍යාපන පනත ව්‍යවස්ථාදායක මන්ත්‍රණ සභාවට ඉදිරිපත් කළ ඈත යුගයේ දී පවා දේශප්රේමී ජනතා නායකයන් ලෙස සලකන බණ්ඩාරණායකවරුන් මෙන්ම සේනානායකවරුන් ඊට එරෙහිව එක් කදවුරකට ගොනු වූයේ නිදහසේ පත පොත ඇසුරු කරන්නට හැමට ඉඩකඩ ලැබුණොත් වත්තේ පොල් කඩන්නටවත් කෙනෙක් ඉතිරි නොවනු ඇති බවට සිල්ලර බාල තර්ක ඉදිරිපත් කරමිනි. මැතිණියගේ යුගයේ දී ටයර් සෑය නම් වූ අලුත්ම සංකල්පය බිහිකරනු ලැබුවේ ද දේශප්රේමයේ නාමයෙනි. ඒ යුගයේ දේශප්රේමය හමුවේ හැට දහසකට අධික තරුණ ජීවිත පිපෙන්නටත් පෙර පරව ගියේය. එයින් ඇරඹී තරුණ සංහාරය අසූව දශකයේ දී උච්ච අවස්ථාවට පත් වූව ද ඒ තරුණ ජීවිතවල වටිනාකම අද ශේෂ වී ඇත්තේ ඒ වෙනුවෙන් ලියැවුණු කවි ගී පද පේළි හා නවකතාවල යල් පැන ගිය වස්තූ බීජයන් ලෙසින් පමණි. මේ නිසා අද දවසේ වුවද සුදු වෑන් රථයකින් යළි නොඑන ගමන් යන කවරකුගේ වුව ද ජීවිතයේ ඉරණම සටහන් වන්නේ දේශප්රේමය වෙනුවෙන් නොඑන ගමන් යන්නකු ලෙසිනි.

කොයි කවර හැටියෙන් වුවත් හැට හතර වෙනි නිදහස සමරන මේ මොහොතේ අපේ රටේ දේශප්රේමය ක්රියාත්මක වන්නේ හරිම අපූරු ආකාරයටය. ඒ කුමන්ත්‍රණ නම් වූ නවතම තියරිය යටතේය. ඒ අනුව රටේ සිදුවන හැම නස්පැතිතියක්ම සිද්ධවන්නේ කුමන්ත්‍රණයක් නිසාය. උසස් පෙළ විභාගයට මුහුණ දුන් දෙලක්ෂ තිස් නව දහසක් වූ දරුවන්ගේ අනාගාතය විනාස කෙරුණේ තකතීරු ඇමතිවරුන් සහ විභාග කොමසාරිස්වරයාගේ මන්ද බුද්ධික ඔල මොට්ටලකම් නිසා නොව විභාග පිළිතුරු පත් පරීක්ෂා කළ ගුරුවරුන්ගේ කුමන්ත්‍රණ නිසාය. හැම අතින්ම බිද වැටුණු සමාජයක දරුවන් සතුව තිබූ එකම ගැලවිල්ල වූ අධ්‍යාපනය නම් වූ මල්පෙති පවා කිළිටි අත්වලින් තලා පොඩි වී යද්දී අධ්‍යාපන ඇමති දෙබාන එය “ සුලු දෙයක් ”යැයි මාධ්‍ය සාකච්ඡා ඔස්සේ පවසන ආකාරය පිළිකුළෙන් යුක්තව බලා සිටිනු හැර අන් යමක් කරන්නට මේ දේශප්රේමී සමාජය තුළ ඉඩ කඩක් නැත. සමස්ත සිසු පරපුරටම දත නියවා හිටපු විභාග කොමසාරිස්වරයා විභාග දෙපාර්තමේන්තුවේ පඩි පෙළ බැස යද්දී නව කොමසාරිස්වරයා දෙකට නොව තුනටම නැවී වැද වැටී අධ්‍යාපන ඇමතිවරයා හමුවේ වැඩ භාරගත් අයුරු දුටු කවරකුට වුවද පිළිකුළට එහා ගිය යමක් ඉතිරි වනු ඇති බව අමුතුවෙන් කිව යුතු නැත. කොයි කවර හැටියෙන් වුවත් රට ගිනිබත් කළ උසස් පෙළ අවුල වැනි යමක් බටහිර රටක සිදු වන්නේ නම් අදාළ ඇමතිවරයා ඉල්ලා අස්විම සාමාන්‍ය පිළිවෙතක් නොවන්නේ දැයි පුවත්පත්කලාවේදියෙකු ඇසූ පැනයට බන්දුල ගුණවර්ධන ඇමතිවරයා දුන් පිළිතුර නම් සැමුවෙල් ජොන්සන්ගේ කතාව මෙන්ම නූතන මහාවංශයේ රන් අකුරින්ම ලියැවිය යුතු සටහනකි. එනම් ; වෙනත් රටවල එසේ සිදුවූවත් මේ ලංකාව නිසා එසේ ඉල්ලා අස්වීමේ හේතුවක් නැති බවය. විශ්රාම ගිය ටියුෂන් ගුරුවරයකු වූ ඇමතිවරයාගේ කතාවෙන් සමස්ත ලාංකීය දේශපාලනයේ ප්රතිපත්තිගරුක ස්වභාවය සහ අද දවසේ දේශපාලකයන්ගේ සාදාචාරය මැනවින් හෙළිදරව් කෙරෙන බැවින් ඒ සම්බන්ධයෙන් වෙනත් කිසිදු අදහසක් දැක්විය යුතු නොවේ.

(එම වීඩියෝව පහත සබැදුමෙන් නැරඹිය හැකිය)

http://www.youtube.com/watch?v=VXVGnUrtacg&feature=share

උසස් පෙළ අවුල් පමණක් නොව අද දවසේ බඩු මිල පවා ඉහළ යන්නේ වෙළෙදුන්ගේ සහ ගොවීන්ගේ කුමන්ත්‍රණ නිසාය. පාන් මිල ඉහළ ගියේ බේකරි හිමියන්ගේ සටකපට කම් නිසාය. බස් ගාස්තු ඉහළ යන්නේ බස් රථ හිමියන්ගේ කුමන්ත්‍රණ නිසාය. රටට කුඩු ගලා ගෙන එන්නේ අහිංසක ඇමතිවරුන් ජනතාවගේ වෛරයට ලක් කරවීමේ කුමන්ත්‍රයක ප්‍රතිපල නිසාය. බයිසිකල් පැද ගෙන එන තරුණයන් ඇමති පුතුන්ගේම වාහනවලට යට වන්නේ හිතාමතාම සිදු කරන කුමන්ත්‍රණ නිසාය. චීවරධාරීන් සිදු කරන සියලු දූෂණයන් සිද්ධවන්නේත් අන්‍යාගමික කුමන්ත්‍රණ නිසාය. ඒ තරමටම මේ සිරිලක් ද්වීපය කුමන්ත්‍රණයන්ට ගොදුරු වී හමාරය.මේ නිසාම රටේ පාලකයන්ට විශේෂයෙන්ම කරන්නට කියා කිසිවක් නැත. මන්දයත් පාලන තන්ත්‍රයම කුමන්ත්‍රණවලට හසු වී ඇති බැවිනි. අනෙක් අතට ඔබාමාගේ සිට ලොව සියලු බලවත් රටවල නායකයන් නින්දට යන්නේ සිරි ලංකාව නම් වූ ආසියවේ මේ නැගී ගෙන එන ජාතික බලවේගයන්ට මුහුණ දෙන්නේ කෙසේදැයි යන්න ගැන කණස්සල්ලෙන් ඔලුව පුරවා ගනිමිනි. මේ නිසා උසස් පෙළ විභාගයේ ප්‍රතිපල සකස් කරන පරිගණකයට වෛරසයක් ඇතුලු කර රටේ අනාගත බලවේග විනාශ කිරීම සී අයි ඒ නිලධාරීන් සහ කේ ජී බී ඔත්තුකරුවන්ට සුලු දෙයකි. (එවැනි කොණක් අල්ලා ගන්නට ආණ්ඩුවේ මාධ්‍යයන්ට තවමත් ඉඩක් නොලැබීම ඇත්තෙන්ම පුදුමයකි). විකිලීක්ස් නිර්මාර්තෘ ජුලියන් අසාන්ජේ ලංකාවේ ඇමරිකානු තානාපති කාර්යාලය විසින් ඇමරිකානු බලධාරීන්ට යවනු ලැබූ කේබල් පණිවිඩ රාජ්‍ය මාධ්‍ය ඔස්සේ ප්රසිද්ධියට පත් කළේ අසාන්ජේ අපේ කාලයේ වීරයකු බවට පත් කරමින් ලියැවුණු විශේෂාංග ලිපි ද සමගිනි. ඒත් ඊට සමගාමීව රටේ පාලකයන්ගේ සහ ආණ්ඩුවේ ඉහළ පුද්ගලයන්ගේ වත්කම් කොමිස් මුදල් සහ සියලු අක්‍රමිකතාවන් පිළිබද රහස් තොරතුරු විකිලීක්ස් මගින් ගලාගෙන එද්දී එක් රැයින්ම ඔහු දුෂ්ටයකු බවට පත්වන්නේ ද එවැනි “ රට කුපිත කරවන ආකාරයේ ” රහස් හෙළි කිරීම නිශ්චිතවම කුමන්ත්‍රණයක් වන නිසාය.

දේශප්රේමයේ දැවැන්ත කඩතිරයෙන් සියල්ල වසා දැමීමේ කලාව අපේ දේශපාලකයන් මෙන්ම පුරාණ පාලකයන් විසින් ද ප්‍රගුණ කරනු ලැබ ඇත්තේ අද ඊයේ නොවන බව සැබෑය. එහෙත් එය මෑත ඉතිහාසයේ තරම් පුලුල් ලෙස භාවිතයට ගත් අවස්ථාවක් මහාවංශයේ පමණක් නොව වෙනත් කිසිදු ඉතිහාස කතාවක් තුළින් හදුනා ගත නොහැකිය.

1948 දී අප නිදහස ලබා ගත්තේ ලේ බිදුවකුදු නොහැලීමෙන් බව අපේ පාසල් පොත පත දරුවන්ට කියා දෙන්නේ මහත් වූ අභිරුචියෙනි. එනම් එහි අනෙක් අර්ථය වන්නේ අද අපට ලැබී ඇතැයි කියන නිදහස අපට සුද්දන්ගෙන් තෑග්ගක් ලෙසින්ම ලැබුණක් මිස සමකාලීන සෙසු යටත්විජිතයන්හි මෙන් වීරත්වයෙන් ලබාගත්තක් නොවන බවය. තවත් සරලව අර්ථ දක්වන්නේ නම් වෙල්ලස්ස කැරැල්ල ආදී වූ සැබෑ ජන අරගලයන්ට දිවි පුදන වීරෝදාර පරපුර නිමා වී “ සුද්දන්ට දිවි පුදන ” පරපුරක් නව දේශපාලන පැලැන්තියක් ලෙස බිහි වූ යුගයක නිදහස තෑග්ගක් ලෙසින්ම දෙනු විනා අන් යමක් සිදුවෙතැයි අපේක්ෂා කළ යුතු වන්නේද…? එබැවින් නිදහස නම් වූ එහි සැබෑ (අ)මිහිරි රසය අපි අද ඉහළින්ම භුක්ති විදිමු.

දෙවැනි ලෝක මහා යුද්ධයේ දී හිරෝෂිමා සහ නාගසාකි යන නගර මුලුමනින්ම පොළොවට සමතලා කොට ආර්ථිකය සහමුලින්ම විනාශ කර දැමුව ද ජපානය අද මුලු ලොවම විස්මයට පත් කළ ආර්ථික ලෝකයේ දැවැන්තයෙකි. 1923 වසරේ ඔක්තෝබර් මාසය වනවිට බර්ලින් නගරයේ පාන් ගෙඩියක මිල ජර්මන් මාක් බිලියන 200 ක් දක්වා ඉහළ යන තරමට අතිශය දරුණු ආර්ථික කඩා වැටීමක් ජර්මනියේ විය. එහෙත් අද ජර්මනිය යනු සමෘද්ධිමත් රටකි. අපට වසරකට පෙර නිදහස ලැබූ ඉන්දියාව අභ්‍යවකාශ තරණයට ද අත ගැසුවේ මීට දශකයකටත් පෙරදීය. ඒ තම රටට පමණක් නොව තම ජනතාවට ද ආදරය කළ සැබෑ නායකයන් ඒ රටවලින් බිහි වූ බැවිනි. මුලු ලොවම කම්පා කළ 9/11 සිද්ධියේ දී ඇමරිකානු සෙනේට් මණ්ඩලයත් ඩිමොක්රටික් සහ රිපබ්ලිකන් යන සියලුම මන්තිරිවරුන් සමස්ත ඇමරිකානු ජාතිය වෙනුවෙන් එකාවන්ව නැගී සිටියේ ත්‍රස්ත ප්‍රහාරය හමුවේ තමන්ගේ දේශපාලන ගිනුම්වලට බැර කර ගත හැකි ජන්ද ලාභාංශ ගැන තැකීමකින් තොරවය. එහෙත් මෑත ලාංකීය ඉතිහාසයේ කම්පාසහගතම අත්දැකීම වූ සුනාමි ඛේදවාචකයේ දී පවා එකම එක දවසකටවත් ජනතාව වෙනුවෙන් එකට පෙළ ගැසෙන්නට නොහැකි වූ රටක ජනතා නියෝජිතයන්ගෙන් කවර අභිමානයක් බලාපොරොත්තු විය හැකි ද…?

“ පබාලා ” රට කරවන්නට තීන්දු ගන්නා අතර “ අබාලා ” රට කරවන්නට උපදෙස් දෙන යුගයක පුරවැසියන් ට බබාලා ලෙස බලා සිටිනු හැර නැගී සිටින්නට ඉඩක් නොමැත්තේ ඒ සියලු ජනතා අවදිවීම් කුමන්ත්‍රණ ලෙසින් සැරසිලි කරන්නට දේශප්රේමීන් ලක ලැහැස්ති වී සිටින බැවිනි. එහෙත් ඒ දේශප්රේමීන්ගේ දූ පුතුන් ඉගෙනුම ලබන්නේ විදේශයන් හිදීය. වාමාංශික යැයි කියාගන්නා වාසිදේවලාගේ පමණක් නොව ජාතික චින්තනය ගැන නන් දොඩවනන්නන්ගේ පවා දූ දරුවන් සිටින්නේ විදේශයන්හිය.

අද රටට කුඩු ගෙන්වන්නේ නිකම්ම නිකම් මන්තිරිවරුන් නොව ඇමතිවරුන්ගේම අනුග්‍රහයෙනි. සංචාරයට එන විදේශීය ලදුන් දූෂණය කරන්නේ නිකම්ම නිකම් පළාත් සභා මන්තිරිවරුන් නොව පළාත් සභා සභාපතිවරුන්ය. දූෂණ වංචාවන්ට පමණක් නොව මිනීමැරුම් සහ ස්ත්‍රී දූෂණයන්ට රටේ වැඩිම චෝදනාවන් එල්ල වී ඇත්තේ ජනතා නියෝජිතයන් යැයි කියාගන්නා පිරිසටය. ඒ අතර මන්තිරිවරුන් , ඇමතිවරුන් පමණක් නොව ඇමති දූ පුතුන් සහ ඔවුනගේ සිය නෑ පරපුර ද අන්තර්ගතය. නිදහසේ  “අභිමානයට ”ඇති එකම කරුණ නම් ජනගහනයට සාපේක්ෂව ලොව විශාලතම මහජන නියෝජිත පරපුර අප සතුව තිබීමය.

ඒ දැවැන්ත මහජන නියෝජිතයන්ට පිංසිදු වන්නට ගෙවී ගිය වසර 64 තුළ දී අපට උරුම ව ඇත්තේ කුමන ඉරණමක් ද…? 1948 වන විට අප යටත් වී සිටියේ එකම ජාතියකට පමණය. අද අප සමස්ත ලෝකයටම යටත්ය. එදා ඉන්දියන් සාගරයේ මුතු ඇටය අද අරාබිකරයේ කදුලු බිදුව වී අවසන්ය. 64 වසරක ජාතික අභිමානය වෙනුවෙන් ජාතික කොඩි ලෙළ දෙන රටක භාණ්ඩාගාරයේ බරණි පිරී යන්නේ මැද පෙරදිග වහල්භාවයට සින්න වූ අපේ පරපුරේ කාන්තාවන්ගේ කදුලු බිදු වලිනි. 1948 වන විට අයවැය අතිරික්තයක්ව තිබූ ලංකාව අද ලොව දුප්පත්ම රටවල් අතරට එක්ව ඇත්තේ 64 වසරක ජාතික අභිමානයේ මහිමයෙනි. සංවර්ධනයේ නාමයෙන් සිදුවන්නේ දූෂණයන්ය. 1948 සිටම මේ දක්වා ක්රියාත්මක වූ බොහෝ සංවර්ධන ව්‍යාපෘති කොමිස් ව්‍යාපෘති බව නොරහසකි. 1948 පසු ක්රියාත්මක වූ දැවැන්තම සංවර්ධන ව්‍යාපෘතිය ලෙස අර්ථ දැක්වෙන මහවැලි ව්‍යාපාරයට යට කළ මුදලින් සියයට 30 ක් ම වෙන් වූයේ කොමිස් සදහා බව හෙළිදරවු වූයේ අද ඊයේ නොවේ. එක්සත් රාජධානියේ විදේශ සංවර්ධන පරිපාලන ආයතනයේ වාර්තාවන්ට අනුව ලොව අසාර්ථකම ව්‍යාපෘති සදහා ඉදිරිපත් කර ඇති හොදම උදාහරණයක් වන්නේ ද ලංකාවේ වික්ටෝරියා ව්‍යාපෘතියයි. දුප්පත්කම තුරන් කර සමෘද්ධිමත් ජනතාවක් බිහි කිරීමේ අරමුණින් බිහි කළ බව කියන සමෘද්ධි අධිකාරියේ වියදම්වලින් සැබෑ වශයෙන්ම දුප්පත්කම තුරන් කිරීම සදහා වැය කළේ මුදල්වලින් සියයට 11 ක් පමණක් බවත් , ඉතිරි මුදලින් සියයට 89 ක්ම වැය වූයේ එහි නිලධාරී පැලැන්තිය නඩත්තුවට සහ ඔවුන්ගේ සුඛ විහරණය සදහා බව මීට දශකයට පමණ ඉහත දී හෙළි දරවු කර තිබිණ. ඒ තරමටම අපේ දේශපාලනය සහ අල්ලස අතර ඇත්තේ ලේ සබදතාවකි. මේ නිසාම අල්ලස් කොමිසම යන්න අද දේශපාලකයන්ට එක්තරා අකාරයක විනෝද සමයකි.

සංවර්ධනයේ ප්‍රතිලාභ රටේ ජනතාවට නොලැබෙන්නේ නම් එහි ප්‍රතිලාභ බැර වන්නේ කවර ගිණුම්වලට ද යන්න රහසක් නොවේ. යුද්ධයට කැප කළ අති විශාල ධනස්කන්ධය අද දවසේ සංවර්ධනය සදහා යෙදවෙන්නේ නම් එහි ප්‍රතිපල ජනතාවට දැනිය යුතුය ; ඔවුහු විදිය යුතුය. පාන් ගෙඩියක හෝ මිල අඩු නොවන්නේ නම් අඩුම තරමින් විරැකියාව හෝ අඩු විය යුතුය. එහෙත් සිදුවන්නේ බඩුමිල , විරැකියාව පමණක් නොව ඇමතිවරුන් සංඛ්‍යාව පවා වැඩි වීම පමණය. රටේ සාමාන්‍ය පුරවැසියෙකුට පය තබන්නට නොහැකි නම් නෙලුම් පොකුණු ඉදි වී කුමකට ද…? හාමතින් පෙළෙන නිසාම පාසල් යා නොහැකිව දරුවන් දස දහස් ගණනින් සිටින රටක අධිවේගී ගමන් මාර්ග ඉදි වී කුමකට ද …? පාසල් සිය ගණනින් වැසී යන රටක ආසියාවේ විශාලතම කුලුණු ඉදි කර කුමකට ද…?

“ නිදහස ” යන වචනය එදා මෙන්ම අදත් සියලු කල්හිම පාලකයන් අපේ ජනතාව ගොනාට අන්දවන්නට යොදා ගන්නා ඔවුනගේ දේශපාලන ශබ්දකෝශයේ තවත් එක් වචනයක් පමණකි. එහෙත් යුගයේ ඛේදවාචකය වන්නේ සිදුවීම් පෙළ ගැසෙන තෙක් බලා සිටීමේ ආස්වාදය අද දවසේ අපේ චන්දදායකයන් සිය කැමැත්තෙන්ම විද දරා ගනිමින් සිටීමය. මේ සියලු සිදුවීම් සමුදාය දේශපාලන පක්ෂ රාමුවෙන් මිදී සිය හදවතින්ම අර්ථ විවරණය කර ගත හැකි වූ දිනයක දී රටට පමණක් නොව තමන්ගේ හදවතට ද සැබෑ නිදහසේ අභිමානය භුක්ති විදිය හැකි වනු ඇති බව නම් නොකියාම බැරිය.

මේ පිළිමය කාගේ ද …?

මේ පිළිමය කාගේ ද …?

බොහෝ දෙනෙක් පරාක්රමබාහු පිළිමය නමින් හදුන්වන පොළොන්නරුවේ පිහිටි ලෝ පතල පිළිමය සැබැවින්ම කවුරුන් වෙනුවෙන් නිර්මාණය වූවක් ද යන්න එදා මෙන්ම අදත් කතා බහට ලක්වන්නකි.  ඇතැමෙක් එය පරාක්රමබාහු රජුන් නියෝජනය කරන්නක් ලෙස සලකන අතර තවත් පිරිසක් එය අගස්ති වැනි ඍෂිවරයෙක් නියෝජනය කරන්නක් ලෙසින් සළකති. මෙම පිළිමය සම්බන්ධව ඉතාම මෑතක දී ලංකාවේ ඉංගිරිසි පුවත්පතක ලිපි දෙකක් පළ විය. එයින් පළමුවැන්න ලියනු ලැබ තිබුණේ හිටපු පුරාවිදු කොමසාරිස් රාජා ද සිල්වා විසිනි. පිළිමය අගස්ති ඍෂිවරයාගේ රුව නියෝජනය කරන්නක් බව ඔහුගේ අදහසයි. ඊට පිළිතුරක් ලෙසින් බන්දු ද සිල්වා විසින් සම්පාදනය කරන ලද ලිපිය මගින් ඔහු වෙනත් කරුණු සමුදායක් ගෙන හැර දැක්වුවද පිළිමය පිළිබදව කිසියම් නිශ්චිත අදහසක් ගෙන හැර නොපායි. මෙම ලිපි දෙකටම පිළිතුරක් ලෙසින් මහාචාර්ය සිරි ගුණසිංහයන් විසින් ඉංගිරිසි බසින් රචනා කරන ලද ලිපිය මෙසේ සිංහලයට පෙරලන්නට සිත් වූයේ එම පිළිමය පිළිබදව සාරවත් අදහස් සමුදායක් එයින් හෙළිදරව් කෙරෙන බැවිනි.

 පරාක්රමබාහු පිළිමය නමින් බොහෝ දෙනෙක් විසින්  හදුන්වනු ලබන පොළොන්නරුවේ පිහිටි ප්‍රතිමාව පිළිබදව යළි විමසීමක් කරන්නට ගත් නවතම උත්සාහයක් ලෙසින් මෙම ලිපි දෙක හදුන්වා දිය හැකිය. එහෙත් බලපොරොත්තු විය හැකි පරිදිම මෙම ලේඛකයන් දෙදෙනාම සිය උපකල්පනයන් ඔස්සේ නොමග ගොස් ඇති අතර සිය ලිපි මගින් හුවා දක්වන්නට උත්සාහ කරන තර්කයන් විශ්වසනීයත්වයකින් යුක්තව ඒත්තු ගන්වන්නට අසමත් වී තිබේ.

සෙසු බොහෝ පිළිමයන් මෙන්ම මෙම පිළිමය ද හුදෙක් තනි වූ පිළිමයක් ලෙසින් නොසැලකිය යුතුය යන්න මුලදීම සිත්හි තබා ගත යුතු වැදගත් කාරණාවකි. අවාසනාවකට මෙන් මෙතෙක් හරිහැටි කරුණු කාරණා ඉස්මතු කරගත නොහැකි වුවත් මෙම පිළිමය හා බද්ධ වූ සංදර්භයක් ඇති බව පැහැදිලිය. පොත්ගුල් වෙහෙර සහ ඒ අවට දැනට නටබුන් බවට පත්ව ඇති ගොඩනැගිලි සමුදායත් සමග මෙම පිළිමයේ අනිවාර්ය සබදතාවක් ඇතැයි ඇතැම්හු උපකල්පනය කරති. මහත් කැපවීමකින් සිදු කරන කැණීමකින් සහ දැඩි උනන්දුවකින් මතු කරගන්නා විස්තරාත්මක පර්යේෂණයක් තුළින් මෙම ගොඩනැගිලි සමුදාය සහ පිළිමය අතර ඇති සබදතාව පිළිබද ආලෝකයක් ලබා ගත හැකි වනු ඇත. එහෙත් කණගාටුවෙන් වුව ද අවධාරණය කළ යුත්තේ මෙම නටබුන් කිසිවක් තවමත් විස්තරාත්මක පර්යේෂණයකට බදුන් වී නැති බවය. මෙම බිම්කඩ පිළිබදව සිදු කෙරුණු විස්තරාත්මක පර්යේෂණයක් නොමැති බැවින් පිළිමය හදුනා ගැනීම සම්බන්ධයෙන් සිදු කෙරෙන සියලුම උත්සාහයන් මුලුමනින්ම රදා පවතින්නේ දැනට සැබවින්ම ඉතාම සීමිත විෂය පථයකට සීමා වී ඇති එහි ප්‍රතිමා කලා ශිල්පීය මූලධර්ම සාධක මතය.

මෙම පිළිමය සහ පුලස්ති සෘෂිවරයා අතර සබදතාවක් ඇතැයි යන්න සිතීමට නිරන්තරයෙන් අප පොළඹවන කරුණ වන්නේ පොළොන්නරුව යන නාමය නිර්මාණය වීමට හේතු වී ඇතැයි සළකන පුලත්තිනගර නම් වූ නාම රූපය දෙස බලාගෙනය. පුලත්තිනගර යන නාමය බිහි වී ඇත්තේ ඉන්දියාවේ සිටි සෘෂිවරයකු වන පුලස්තිගෙන් පසුව බවය එම උපකල්පනයට පදනම් වී ඇත්තේ.

එහෙත් හින්දු මිත්‍යා කතා සහ දේව කතා මාලාවේ කැපී පෙනෙන චරිතයක් නොවූ මෙවැනි අප්‍රධාන පුද්ගලයෙක් ලංකාවේ ප්‍රධාන අගනගරයක සංකේතාත්මක චරිතයක් බවට පත්වීමෙන් නතර නොවී තම නාමයට උපහාර පි‍ණිස ජීවමාන කලුගලක ඓතිහාසික පිළිමයකින් පිදුම් ලබන්නට තරම් අසහාය චරිතයක් බවට පත් වූයේ කෙසේද යන්න විස්තර කරන්නට ඔවුහු අපොහොසත්වෙති. අප දන්නා තරමට හින්දු දේව කතා මාලාවේ කොතැනක හෝ පුලස්ති සහ ලංකාව අතර කිසියම් හෝ සම්බන්ධයක් තිබූ බවට කිසිදු සදහනක් දකින්නට නැත. පුලස්ති ඍෂිවරයාගෙන් පසුව පොළොන්නරුව යන නාමය බිහි වූ බවට තහවුරු කරන්නට උත්සාහ දරන අයට අතීතයෙන් ඇහිද ගත හැකි වන්නේ ඉතා දුර්වල වූ සිතිවිලි මාත්‍රයන් පමණකි. “ පොළොන්නරුවේ උපදේශාත්මක ඉසිවර චරිතය  ” සහ “  පුරාතන පොළොන්නරුව කැප කොට සිටි පුද්ගලයා ” ලෙසින් රාජා ද සිල්වා පුලස්ති හදුන්වා දී ඇතත් එවැනි අනුමානයන් සදහා පාදක වන කිසිදු සාහිත්‍යමය හෝ ඉතිහාසමය සාධකයක් අපට නොපෙනේ. එහෙත් එවැනි නිගමණයන් මැද වුව ද පොළොන්නරුවේ පොත් ගුල් වෙහෙර භූමිය තුළ දැකිය හැකි මෙම මෙම පිළිමය පුලස්තිගේ වන බවට රාජා ද සිල්වා අනුමාන නොකරයි. ඒ වෙනුවට ඔහු සදහන් කරන්නේ එය අගස්තිගේ වන බවයි. සම්මත සිද්ධි මාලාව මෙහිදී වෛවාහික සංසිද්ධියක් බවට පෙරළී ඇති බව පෙනී යයි. එනම් අගස්ති විවාහ වී ඇත්තේ පුලස්තිගේ සොහොයුරිය වන ලෝපමුද්‍රා සමග බැවිනි. පුලස්තිගේ මස්සිනා වීමේ ආනුභාවයෙන් තමන්ගේ නාමයට ගරු කිරීමක් පිණිස පොළොන්නරුවේ පිළිමයක් ගොඩ නංවා ගැනීමේ වරය අගස්තිට තිබූ බවය මෙයින් පෙනී යන්නේ. පොත්ගුල් පිළිමය හදුනා ගැනීමේ දී ඊට අගස්ති සම්බන්ධ කර ගැනීමේ මේ සාධකය නිසා පුලස්තිට ලැබෙන්නේ දෙවැනි තැනක් බව මෙහිදී නොකිව මනාය. රාජා ද සිල්වා මෙම කරුණ ඍජුවම සදහන් කර නැති බව සැබෑවක් වුවත් අගස්ති පොළාන්නරුවේ පෙනී සිටීම සම්බන්ධයෙන් වන ඔහුගේ විග්‍රහය තේරුම් ගත හැක්කේ එම වෛවාහික සබදතාව අනුව යමින් පමණක්මය. මෙම දුර්වල මතවාදය පණ ගැන්වීම සදහා “ අගස්ති සතුව ලංකාවේ වාසස්ථානයක් තිබුණි  ”යැයි පුරාතනයන්ගේ විශ්වාසයක් තිබූ බවට සදහන් කරන ඔහු සිය මතවාදය නිමා කරන්නේ පොළොන්නරුව සිංහල රජවරුන්ගේ අගනගරය වීමට පෙර සිටම මෙම පිළිමය එහි තිබූ බවත් , අය අගස්ති ඍෂිවරයාගේ රුව නිරූපනය කරන්නක් බව බවත් පෙන්වා දෙමිනි.

රාජා ද සිල්වා සිය නිගමණය සදහා ආධාර කර ගන්නා කරුණු කිහිපයක් වෙයි. ලංකාවේ “ අගස්ති ඇදහිල්ලක්  ” තිබූ බවට වන පරණවිතානයන්ගේ යෝජනාවක් එවැනි එක් කරුණක් වන නමුත් එය බෙහෙවින්ම සැක සහිත  වූ අනුමානයකි. නව වැනි සියවසේ දී මුරාරි විසින් සම්පාදනය කරනු ලැබූ “ අනංගරාඝව ”නම් වූ සංස්කෘතික නාටකයේ  අගස්ති සතු ගෘහයක් සිංහලද්වීපයේ තිබූ බවට වන සදහනක් ගොඩකුඹුරයන් පෙන්වා දීම දෙවැනි කරුණයි. ඔහු ආධාර කර ගන්නා තෙවැනි කරුණ වන්නේ එක් පැත්තකින් ලංකාව නම් වූ නගරය ද සමග තිකුට මස්තකය පිහිටා ඇති මලයද්වීපයේ කන්දක් මත අගස්තියගේ ගෘහය පිහිටි බවට “ වායුපුරාණයේ ” වන සදහනකි.  හින්දු දේව කතාවන්ගේ මෙවැනි ත්‍රිකුට ඇත්තේ එකක් දෙකක් නොවේ. එම දේව කතාවන්ට අනුව ත්‍රිකුට යනු දූපතක් නොවන අතර එය හුදෙක් සාගරයේ පිහිටි කන්දක් පමණි. ලංකාව යනු එහි මස්තකයේ පිහිටි නගරයක් වන නමුත් එය ලංකාව නම් වූ දූපත නොවන්නේය. බොහෝ කාලයක සිටම ලංකාව ස්ථානගත වී තිබූ ස්ථානය සම්බන්ධයෙන් ඉන්දීය බලධාරීන් අතර තිබුණේ නිශ්චිත වූ එකගතාවක් නොවේ. එය කෙසේ වුව ද “ මෙම මලයද්වීප යන දූපත යනු ලංකාව බවට කිසිවකු තුළ සැකයක් උපදිනු නැති බව ” ට රාජා ද සිල්වා දක්වන අදහස තහවුරු කිරීමට කිසිදු සාක්ෂික් නොමැත.

මෙහිදී ත්‍රිකුණාමලය සහ ත්‍රිකුට හෝ ත්‍රි – කෝණ – මලෙයි අතර වූ අනන්‍යතාවක් තහවුරු කරන්නට රාජා ද සිල්වා දරන උත්සාහය පිළිගන්නට කලින් එම අදහස යළිත් පරීක්ෂාවට ලක් කළ යුතුව ඇත. සැබෑව නම් ත්‍රිකුණාමලය යනු පැරණි සිංහල “ ගෝණ ”යන්නෙහි දෙමළ රූපය වූ “ කෝණ ”යන්නෙන් බිදී ආවකි. දෙමළ භාෂාවේ දී “ හ ” , “ ග ” , සහ “ ක ” යන ශබ්දයන් අතර වෙනස්වන සුලු අන්තර් සබදතාවක් ඇත. “ තිරු  ” සහ “ මලෙයි  ”යන පූර්ව නාමයන් මෙහි දී ගැටලුවක් මතු කරන්නේ නැත. අනෙක් අතට මස්තක තුනක් සහිත ත්‍රිකුට කන්දක් ලෙසින් හදුනාගන්නට හැකි යමක් ත්‍රිකුණාමලයේ භූ ලක්ෂණ තුළින් හමුවන්නේ ද නැත.

“ අගස්ති සතුව ගෘහයක් ලංකාවේ තිබූ බවට වන පුරාතන විශ්වාසය ” (එවැන්නක් පිළිගැනීමට උපකාරී වන යමක් ඉතිහාසයෙන් හමුවන්නේ නැත) අනුව යමින් පොළොන්නරුව සිංහල රජවරුන්ගේ රාජධානිය වන්නටත් පෙර සිට ම මෙම පිළිමය එහි තිබූ බවත් , එමගින් අගස්ති ඍෂිවරයා මූර්තිමත් වන බවටත් රාජා ද සිල්වා කරන නිගමණය මුලුමනින්ම ගැටලුසහගත සහ වචනයේ පරිසමාප්තියෙන්ම අනුමානකාරී උපකල්පනයක් වන අතර එය මතවාදයක් ලෙසින් පිළිගන්නට නම් බලසම්පන්න විශ්වාසයක් ඊට අනිවාර්යයෙන්ම ඇවැසි වන්නේය. නිගමණයක් හෝ මතවාදයක් ලෙසින් සලු පිළි දවටාගත් හුදෙක් උපකල්පනයක් පමණක් ම වන මෙවැනි අනුමානයන් තුළින් සිදුවන්නේ විෂය කරුණු සම්බන්ධයෙන් සැක නොසිතන සිසු පරපුර නොමග යාම පමණි.

පුලත්තිනගරය එලෙස නම් වූයේ ඇයි ද යන්න සොයා බැලීම මෙහි දී බෙහෙවින්ම වැදගත්ය. ඉහතින් සදහන් කළ ආකාරයට පො‍ළොන්නරුව නගරයට එම නාමය ලැබෙන්නට පදනම් වී ඇත්තේ පුලත්ති නම් ඍෂිවරයාය. මෙහි දී මතුවන තර්කානුකූල පැනය නම් එවැනි ගරු සරුවක් ලබා දෙන්නට පුලස්ති තෝරා ගත්තේ ඇයි ද යන්නය. පුලස්ති යනු තමන්ගේ නිජ භූමිය වූ ඉන්දියානු භූමියේ පවා අප්‍රකට චරිතයක් වූ අතර සමස්ත ඉන්දියානු කලාවේ කිසිම තැනක ඔහුට සැලකිය යුතු නියෝජනයක් ලැබී ඇති බව තහවුරු කෙරෙන අවස්ථාවක් සොයා ගැනීම විරල බව ඉහත දී අපි දුටුවෙමු. අනෙක් අතට මහාවංශය හෝ සෙසු දේශීය සාහිත්‍යමය හෝ ඓතිහාසික මුලාශ්‍රයන්ගේ කවර තැනක හෝ ඔහු සම්බන්ධයෙන් තොරතුරු සොයා ගැනීම අසීරු වන තත්ත්වයක් යටතේ මධ්‍යකාලීන ලංකාවේ මෙවැනි වූ පිළිගැනීමක් ඔහුට ලැබෙන්නට හැකියාවක් තිබුණි යැයි වටහා ගැනීම දුෂ්කරය. තවත් දුරට කියනවා නම් පොළොන්නරුවට පුලස්ති හදුන්වා දී චෝලයන් විසින් වුවත් කරන්නට ඇතැයි විශ්වාස කළ හැකි නොවන්නේ ඔවුන් ශිව දෙවියන් වන්දනාමාන කළත් පුලස්ති සම්බන්ධයෙන් කිසිම සැලකිල්ලක් කළ බවක් කිව නොහැකි බැවිනි.

පොළොන්නරුවට පුලත්ති යන නාමය අනුගත වීම සම්බන්ධයෙන් වෙනස් වූ මූලයක් තිබිය යුතුය. පොළොන්නරුවේ පූර්ව නාමය පුලත්තිනගර වූ බවට රාජා ද සිල්වා කරන ප්‍රකාශය පැහැදිලිව ම අශ්වයාට පෙර කරත්තය තැබීමකි. පුලත්ති යන නාමය මුල්ම වරට හමුවන්නේ 13 වන සියවසේ අගාභාගයේ දී ලියැවුණු චූලවංශය තුළිනි. අනෙක් අතට එයින් සියවසකට හෝ ඊට පෙර ලියැවුණු පොළොන්නරුවේ වේලක්කාර ශිලාලේඛනයන් හි “ පුලනාරි හි විජයබාහු  ” විසින් නිර්මාණය කරන ලද දළදා මාලිගාව සම්බන්ධයෙන් කරුණු දැක්වෙන අතර එම අවස්ථාව චූලවංශයේ ද විස්තර කෙරෙයි. ඒ අනුව යමින් පොළොන්නරුව පුලනාරි යන්නෙන් වටහා ගන්නට මනසින් සිතුවම් ඇදිය යුතු නොවේ. එසේ වුවද 12 වන සියවසේ දී පළමු වන විජයබාහු රාජ්‍ය සමය තුළ කෙරුණු ශිලා පුවරුවක ඇතුලු පැරණි ශිලා ලේඛනයන්හි පොළොන්නරුව එම නාමයෙන්ම හදුන්වා දී ඇති බව මෙහිදී විශේෂයෙන්ම සිහිපත් කළ යුතුය. පොළොන්නකර , පොළොන්නකරු යනු ශිලා ලේඛනනවල දැකිය දැකිය හැකි වන තවත් එවැනි පර්යාය නාමයන් වන අතර එම යෙදුම් සියල්ල පුලත්ති යන නාමය භාවිතයට ඒමටත් පෙර බොහෝ ඈතට දිව යන්නේය. මෙම කාලයට සමගාමීව පුලස්ති නමින් ඍෂිවරයකු ඉන්දියාවේ විසීම තවත් එක සහසංසිද්ධියක් පමණක්ම වන අතර පොළොන්නරුව එම නමින් නම් කිරීම සදහා ඔහු විසින් කිසියම් හෝ භූමිකාවක් රග දක්වන ලද බවට වන සාධකයක් ඉතිහාසයෙන් සොයා ගත නොහැකිය. පුලත්ති යනු පුලස්ති යන්නෙහි පාලි රූපය හැටියට ගෙන හැර පෑමේ ඇවැසිතාවක් මෙහිදී මතුවන්නේ නැත.

පුරාතන ඉතිහාසඥයන් සහ වංශකතාකරුවන් සිංහල ස්ථාන නාමයන් පුදුම එළවන ආකාරයෙන් පාලියට පෙරළීමේ ස්වභාවය නිසා පාලියෙන් , මෙහිදී නම් චූලවංශයේ කතුවරයා වූ ධම්මකිත්ති හිමියන් විසින් පොළොන්නරුව පුලත්ති බවට පත් කරනු ලැබූ බව මගේ යෝජනාවයි. මෙය අනුමානයක් වුවත් එය සාධාරණ සැකයක් නොමැතිව සිදු කරන්නක් නොවන බවට පහත දක්වන ස්ථාන නාමයන්ගෙන් වටහා ගත හැකි වනු ඇත. වාග් විද්යාත්මක සම්මත ධර්මයන්ට පටහැනිව යමින් සිංහල නාමයන් පද පෙරළියට ලක් කර ඇති ආකාරය වංශකතාවන්හි සහ ඉතිහාසමය ලේඛනයන් හි බෙහෙවින්ම සුලභව දැකිය හැකිය. නිදසුන් ලෙස දක්වතොත් සංකනායකතාලි (හත්නාගොඩ) , බඩලත්තලි (බතලගොඩ) , ගුත්හොළ (බුත්තල) , භීමතිත්ථ (බෙන්තොට) , ජබුකොළ (දඹුල්ල) , දොනිවග්ග (දෙනවක) , ගංගාසිරිපුර (ගම්පළ)  එයින් කිහිපයකි. මා යෝජනා කරන ලෙසින් පුලත්තිනගර යන්න පොළොනරුව යන නාමය හුදෙක් විකෘති ලෙසින් පාලියට නැගීමක් වන්නේ නම් ඒ සදහා පුලස්ති නම් වූ ඉන්දීය ඍෂිවරයා සම්බන්ධ කර ගැනීමේ ඇවැසිතාවක් නැති අතර ම රාජා ද සිල්වා අනුමාන කරන ලෙස පොත්ගුල් විහාර පිළිමය සදහා මෙම ඉන්දීය ඍෂිවරයාගේ මස්සිනා වන අගස්ති ගාවා ගැනීමට ද ඇවැසිතාවක් නැත.

පොත්ගුල් විහාර පිළිමය සම්බන්ධව වන විවාදයේ දී බන්දු ද සිල්වාගේ දායකත්වය දෙස හැරී බලද්දී ඔහු ම සදහන් කරන ආකාරයට ස්ථිර අදහසක් ලෙස නොවුවත් මෙම පිළිමය අට වන හෝ නව වන සියවසේ  විසූ කවර හෝ පාලකයකු (ඔහු පෙන්වා දෙන ආකාරයට පළමු වන සේන) , හෝ බෝධිසත්වයකු හෝ ධාර්මික පාලකයකු හෝ වෙනත් කවර හෝ ඉසිවරයකු විය හැකිය. ඔහුගේ මෙම හදුනා ගැනීම් මාලාව දෙස බලද්දී එකවරම මගේ මනසට හැගී යන්නේ ඒවා හුදෙක් තහවුරු කිරීමකට ලක් නොවූ අදහස් සමුදායක් ලෙසය. එමෙන්ම පිළිමය සම්බන්ධයෙන් මීට පෙර මතුවී ඇති අනුමානයන් ඔහු විසින් බැහැර කරනු ලබන්නේ ඒවා හුදෙක් උපකල්පනයන් හැර වෙනත් කිසිවක් නොවන බව සදහන් කරමිනි. මෙම නිරීක්ෂණයේ දී නම් මම ඔහු හා මුලුමනින්ම එකග වෙමි. එහෙත් පිළිමය හදුනාගැනීම සදහා ඔහු විසින් ඉදිරිපත් කරන තර්කයන් සහ අවසානයේ දී ඔහු එළඹෙන නිගමණයට මා එකග නොවන බව අනිවාර්යයෙන්ම කිව යුතුය.

රුවන්වැලිසෑය අබිමුවෙහි ඇති දුටුගැමුණු නමින් හදුන්වන පිළිමය

පොත්ගුල් විහාර පිළිමය රජකුගේ විය නොහැකි බවත් එය ඍෂිවරයකු නියෝජනය කරන්නක් විය හැකි බවත් මා විසින් මීට කලින් ද සාකච්ඡාවට බදුන් කරනු ලැබ තිබේ. පරාක්මබාහු , විජයබාහු හෝ පළමු වන සේන යන කවර රජකු වුවත් ඍෂිවරයකු හෝ තවුසකු ලෙසින් ඉතිහාසයේ හදුන්වා දී නැති බැවින් මෙම පිළිමය එම කවර රජකු වුව ද නියෝජනය කරතියි සිතිය නොහැකිය. රජවරුන් යනු වීරයන් වන අතර ඔවුහු ජාතියේ ගැලවුම්කාරයෝ වන්නෝය. ජාතිය විසින් ඔවුන් පුදනු ලබන්නේ එම කරුණ අරබයා මිස තාපසවරුන් ලෙස කටයුතු කිරීම වෙනුවෙන් නොවේ. මෙහිදී ඇති එකම ව්‍යතිරේකය වන්නේ සිරිසගබෝ සම්බන්ධයෙන් පමණි. මධ්‍යකාලීන ලංකාවේ රජවරුන් හෝ වෙනත් එවැනි පුද්ගලයන් අරබයා පිළිම ඉදිකිරීමේ සම්ප්‍රදායක් නොවූ බව මෙහිදී අමතක නොකළ යුතුය. අප දන්නා ආකාරයට පිළිම , මූර්ති සහ සිතුවම් (සීගිරිය හැරුණු විට) හැමවිටම නිර්මාණය වූයේ ආගමික උත්තමයන් අරබයාය. රුවන්වැලිසෑය අබිමුවෙහි ඇති දුටුගැමුණු නමින් හදුන්වන පිළිමය සහ ඊට සමාන වෙනත් ස්ථානයන්හි හමුවන සෙසු මූර්ති සැබවින්ම බෝධිසත්ව රූපයන්ය. තම මතය තහවුරු කිරීම සදහා බන්දු ද සිල්වා ගෙනහැර දක්වන ශ්‍රී විජය සහ චම්පා මූර්තියන් භාවිතයේ දක්නට නොලැබෙන්නකි. මෙවැනි රටවල පාලකයන් තම ඇදහීමට ලක් වූ දෙවි දේවතාවන්ගේ දිව්‍යමය ආනුභාවය ලැබූවන් ලෙස ජීවමාන කාලය තුළ දී ම ඇගයුමට ලක් වූවන් වන අතර ඔවුන්ගේ  මරණයෙන් පසු පිළි රූ ගොඩ නැංවුණේ දේවත්වයට නැගුණු එම චරිත යන්ගේ දේවමය ස්වරූපය මතු කරලීම සදහාය. එවැනි සම්ප්‍රදායක් ලංකාවේ තිබූ බවට වාර්තා වී නොමැත‍.

පොත් ගුල් විහාර පිළිමය අසම සම මූර්තියකි. ඒ නිසාම එම පිළිමය විනිශ්චය කිරීම සදහා යොදා ගත හැකි සමකාලීන හෝ පුර්වකාලීන ප්‍රතිමා කලා ශිල්පීය තොරතුරු කිසිවක් අප සතුව නොමැතිය. එහි බාහිර රූප ලක්ෂණ සම්බන්ධයෙන් නම් කිසිදු ගැටලුවක් නැත. ඍෂිවරයන් , බ්‍රාහ්මණයන් හෝ එවන් වූ චරිතයන් විදහා දැක්වීම සදහා පොළොන්නරුවේ දැකිය හැකි සමකාලීන බිතු සිතුවම් සමග මෙම පිළිමයේ බාහිර රූප ලක්ෂණ සමාන වන බැවින් ඒ ගැන වැඩි විස්තරයක් ඇවැසි වන්නේ නැත. මෙම සංවාදයේ අරටුව මතු කරගත හැක්කේ සැබෑ වශයෙන්ම පිළිමයේ දෑත් මත රැදී ඇති වස්තුව හදුනා ගැනීම තුළින්ය. එය පුස්තකයක් විය හැකිය යන මතය බන්දු ද සිල්වා විසින් බැහැර කරනු ලබනු ලබන්නේ මෙම පිළිමයේ දැකිය හැකි ආකාරයට පුස්කොළ පොත මැදින් එල්ලා වැටීම වැළැක්වීම සදහා ලෝහමය හෝ දැවමය ආවරණයක් එහි පිටතින් තිබිය යුතුය යන සාධකය මත පිහිටාය. ලංකාවේ බොහෝ විහාරස්ථාන සතු පුස්තකාලයන්හි එවැනි දැවමය හෝ ලෝහමය ආවරණ රහිත පුස්කොළ පොත් ඕනෑ තරම් දැකිය හැකි බව මෙහිදී ඔහු අමතක කොට ඇති බව පෙනෙයි. එම වස්තුව මැද ඇති වක්රාකාර නැමුම කලාත්මක අයුරකින් දකින ඔහු එය  “ ප්‍රතිමා කලා ශිල්පීය නව්‍යකරණයක් ” ලෙසින් හදුන්වා දෙන අතර ම මෙම වස්තුව “ එවැන්නකට තුඩු දිය හැකි වස්ත්‍ර ( චීවර – සිවුරු ) රැගත් පොදියක් හෙවත් පාර්සලයක් ”බවට යෝජනා කරයි. එසේ නමුදු තවදුරටත් එය කලාත්මක අලංකරණයක් යන තම මතයේ රැදී සිටීමට ඔහු රුචියක් දක්වයි. එහෙත් ඒ අතරම එය පොතක් විය හැකිය යන මතය ද ඔහු බැහැර නොකරයි. සැබවින්ම එය ව්‍යාකූලය.

පොතක් පිළිබද වූ සිද්ධාන්තය බන්දු ද සිල්වා බැහැර නොකරන බැවින් පිළිමයේ දෙඅත් මත රැදි මෙම වස්තුව ප්‍රඥාපාරමිතා සූත්‍රය (එය පොතක් බව කිව යුතුය) විය හැකි බවට ඔහු යෝජනා කරයි. එම දැක්ම සදහා ඔහු ආධාර කර ගන්නේ එම යුගය “ ලංකාවේ මහායන ධර්මයේ නැගීමක් ” සිදු වූ කාලවකවානුවක් බවත් , “ ධම්මකාය සංකල්පය නියෝජනය කරමින් වැදුම් පිදුම් කිරීම සදහා පැවැති මූලිකම වස්තුව ”මෙම ප්‍රඥාපාරමිතා සූත්‍රය බවත් පෙන්වා දෙමිනි. මෙම කවර හෝ යෝජනාවක් තහවුරු කළ හැකි කිසිදු සාක්ෂියක් කිසිවකුටවත් හදුනා ගත නොහැකිය. අනුරාධපුර යුගය වන විට ආධානග්‍රාහී මතයන්හි එළඹ නොසිටි අභයගිරිය සහ ජේතවන විහාරවාසී හිමිවරුන් මහායාන අදහස් වලින් ද උද්දාමයට පත්ව සිටි බැවින් මහායානයෙන් පෝෂිත වූ ථෙරවාද හිමිවරුන් ලෙස ඔවුන් හැදින්වීමට ලක් වූ බව අපි දනිමු. එතැන් සිට මහායානය ආගමික ජීවිතයේ කොටසක් ලෙසින් අඛණ්ඩව ගලා ආ නමුදු එය සැලකිය යුතු භූමිකාවක් රග දැක්වූයේ නැත. මෙම යුගය වනවිට මහා විහාරවාසී හිමිවරුන් ද ඒ අනුව යමින් ඊට ගැලපෙන පිළිවෙතක් අනුගමණය කළ බවට  සැකයක් නැත. සියවස් ගණනාවක් පුරා අප භුක්ති විදිමින් සිටින්නේ එහි ඵලයක් ලෙසින් බිහි වූ ථෙරවාද සහ මහායාන සම්මිශ්‍රණයකින් යුත් බුදුසමයයි. එසේ වුව ද ජනප්‍රිය ආගමික විශ්වාසයන්හි මුල් බැස ඇති මූලික ආගමික සංකල්පයන්ගේ පදනම වැටී ඇත්තේ ථෙරවාද පාලි ත්‍රිපිටකයෙන් මිස මහායාන සංස්කෘතික සූත්‍ර ධර්මයන්ගෙන් නොවේ. “ මහායාන ධර්ම පාඨ ”සහ “ මහායාන පුරුෂාර්ථ ”ආදී වූ කරුණු කාරණා සීරුමාරු කරමින් ඒ ඔස්සේ පිළිමය ස්ථාපිත කර ඇත්තේ මහායාන අරමුණු මූලික කරගෙනය යන තම මතය ස්ථාපිත කිරීම සදහා මහායානයේ “ නැගීමක් ”ගැන කතා කරනු මිස ඊට පාදක වන වෙනත් සාධක කිසිවක් බන්දු ද සිල්වා විසින් ඉදිරිපත් කරනු ලැබ නැත. මෙහිදී ඔහු පිළිමයේ දෙඅත් මත රැදි වස්තුව පුස්තකයක් නොවන බවට වන තම මතයට පටහැනිව යමින් එය බොහෝ දුරට ප්‍රඥා පාරමිතා සූත්‍රය විය හැකි බවට යෝජනා කරයි. මෙම මතය තහවුරු කිරීම සදහා ඔහු සතුව ඇති එකම සාක්ෂිය වන්නේ ජේතවන ස්තූපයෙන් සොයා ගත් මහායාන ධර්ම පාඨ රැගත් හුදෙකලා රන් පත් පාඨයකි. ලාංකේය බුදුසමයේ ඓතිහාසික විකාශය දෙස බලන විට එහිදී ථෙරවාද බුදුසමය සිය අද්විතීය ආස්ථානය නොබිදී අඛණ්ඩව පවත්වාගෙන ආ ආකාරය පැහැදිලිව දැකිය හැකි අතර මෙවැනි රන් පත් ඉරුවකින් මහායානයේ නැගීමක් ගැන සාක්ෂි සොයා ගැනීම අතිශය දුෂ්කර වෑයමක් බව කිව යුතුය. පිළිමයේ දෑත් ඇති වස්තුව අතිශය සම්භාවනාවට පත් වූ මහායාන මූලග්‍රන්ථයක් විය හැකි බවට සහ මෙම පිළිමය බෝධිසත්වයකු හෝ වෙනත් අධ්‍යාත්මික තැනැත්තෙකු හෝ ඉසිවර රජකු පවා විය හැකි බවට ඔහු දරන මතය හා අපට එකග විය නොහැකිය.

මෙම පිළිමය බෝධිසත්වයකුගේ යැයි පිළිගැනීම කිසිසේත්ම යථාරූපි වන්නක් නොවේ. බෝධිසත්ව රූපයක් හැම විටෙකදීම තරුණකම පිරුණු කුමාර ශරීර ලක්ෂණ පෙන්නුම් කරන අතර දළ රැවුළින් තොරව රාජකීය වස්ත්‍රාභරණයන්ගෙන් සහ ඔටුනු ආදියෙන් අලංකෘතය. එහෙත් මෙහිදී අපට දැකිය හැකි වන්නේ තාරුණ්‍යමය දේවානුභාවී රුවක් වෙනුවට ඝනැති රැවුළකින් සහ ආරෝහ පරිණාහ දේහයකින් සමන්විත ඉසිවරයකු බදු වූ මහලු රූපයකි. පොත්ගුල් විහාර පිළිමය හා සමාන රූප ලක්ෂණ සහිත රුවක් බෝධිසත්වයන් ලෙස හදුනා ගත් වෙනත් අවස්ථාවක් නැත. තවදුරටත් කියනවා නම් දෑත් මත රැදි වස්තුව ප්‍රඥාපාරමිතා සූත්‍රය ලෙසින් හදුනා ගැනීමට බන්දු ද සිල්වා දරන උත්සාහය මුලුමනින්ම නිරර්ථක එකක් වන්නේ වන්දනාමානයන්ට පත් වූ එවැනි මූලික වස්තුවක් මේ දිවයිනේ කවර යුගයක හෝ නොමැති වූ බැවිනි.

මෙම පිළිමය සම්බන්ධයෙන් අප සතුව ඇති සීමිත ශිල්ප කලා අවබෝධය සහ එහි සාමාන්‍ය බාහිර ස්වරූපය සලකා එය ඍෂිවරයකු හෝ වෙනත් ඉසිවර පුද්ගල චරිතයක් නිරූපණය කරන බව කවරකුට වුව ද කිව හැකිය. එහෙත් මුලදී  සදහන් කරන්නට යෙදුණු ආකාරයටම එය පුලස්ති හෝ අගස්ති හෝ වන්නේ නොවේ. ලංකාවේ ඓතිහාසික හෝ ආගමික සිද්ධීන් සම්බන්ධයෙන් ඔවුන් දෙදෙනාගෙන් කවරකුට හෝ කිසිදු සම්බන්ධයක් තිබූ බවට කවර හෝ සාධකයක් සපුරාම නැත. එවැනි සාධක කිසිත් නොමැති පසුබිමක් යටතේ පොළොන්නරුවේ ප්‍රතිමා කලා නිර්මාණ ශිල්පීන් ඔවුන් දෙදෙනාගෙන් කවරෙකුගේ හෝ රුවක් පොළොන්නරුවේ ඉදිකළේ ඇයි ද යන්න පිළිබදව නිගමණයක් ඉදිරිපත් කිරීමට කිසිවෙක් සමත් නොවෙති.

අප දන්නා අල්ප වූ විස්තරයට අනුව මෙම පිළිමයට කිසියම් හෝ සම්බන්ධයක් ඇතැයි විශ්වාස කළ හැකි එකම ඍෂිවරයා දේශීය අනන්‍යතාවක් තිබූ බවට ඇතැම් ඉතිහාසඥයන් විශ්වාස කරන කපිල පමණි. පුරාවෘත්තයන්ට අනුව තනිව දැඩි තපස්දම් රකිනු රිසි වූ භික්ෂු පිරිසකගේ (ධුතාංගධරභික්කුනම්) පුද්ගලිකත්වය ආරක්ෂා කරනු සදහා පරාක්රමබාහු රජතුමන් විසින් කපිල විහාර නමින් ආරාමයක් (තාපසාරාමයක්) ගොඩ නංවන ලද බවත් , කපිල ඍෂිවරයා වෙනුවෙන් ඔහු එහිම ගෙයක් (ආවාසත) ද ඉදිකළ බවත් විස්තර කොට ඇත. කපිල සම්බන්ධයෙන් අප දන්නේ එපමණකි. කපිල ඍෂිවරයා වෙනුවෙන් පරාක්රමබාහු රජුන් ඉදිකළ ගෘහය ගඩොලින් සැදුණු (ගිංජකාවාසත) එකක් ලෙස විස්තර කර ඇත. එය මෙම පිළිමය සමීපව තිබුණා යැයි සිතිය හැකි ගඩොලින් තැනුණු ගොඩනැගිල්ල සමග එකට පටලවා නොගත යුතුය.

පිළිමය සමීපව පවතින ගොඩනැගිලි කවරක් හෝ විනිශ්චය කරනු පිණිස ඒ විස්තරයෙන් පිටුවහලක් නොලැබෙන්නේ පොළොන්නරුවේ පවතින සියලුම ප්‍රාසාදයන් පාහේ ගඩොලින් බැදි නිර්මාණ වීම නිසාය. තවදුරටත් විස්තර කරන්නේ නම් පොත්ගුල් විහාර නටබුන් අතර ඇති වක්‍රාකාර ගොඩනැගිල්ලේ පවතින අසාමාන්‍ය ස්වරූපය නිසා එය ගඩොලු ගෘහයක් ලෙසින් පුරාවෘත්තයන්හි වෙසෙසින්ම සදහන් වී තිබේ. (ගිජ්ජකාවාසත නම් වූ මෙම සැක සහිත යෙදුම හේතුවෙන් ඇතැමෙකු එය ගිජුළිහිණියෙකුගේ ස්වරූපය සහිත වූවක් ලෙස අර්ථකථනය කර ඇත).

පුරාවෘත්තයන්ට අනුව කපිල ආරාමයට සමීපව පරාක්රමබාහු රජතුමන් විසින් මෙම ගඩොලු ගෘහය ඉදිකර ඇත්තේ ඔහු විසින් පොළොන්නරුවේ ස්ථාපිත කරන ලද උපනගර තුනෙන් එකක් වන විජිත හිය. එහෙත් අවාසනාවකට මෙන් මෙම විජිත ස්ථානගතව පිහිටි ස්ථානය සහ රාජධානියේ පිහිටීම අතර කවර සම්බන්ධයක් තිබුණි ද යන්න සම්බන්ධයෙන් පුරාවෘත්ත කිසිවක් හෙළිදරව් නොකරයි. වර්තමාන පොත්ගුල් විහාර සංකීර්ණය වටා ඇති ගොඩනැගිලි සමුදාය විජිත හි පිහිටි බව ගවේශනාත්මකව තහවුරු කර ගත හැකි වුවහොත් එම නටබුන් කපිල විහාරය බවට අනුමාන කිරීම යුක්ති සහගතය. එහෙත් ගැටලුව වන්නේ මෙම විජිත පිහිටියේ කවර නම් වූ ස්ථානයක ද යන්න අප නොදැන සිටීමයි. පිළිමය පිහිටි මෙම ස්ථානයේ අනන්‍යතාව හදුනා ගන්නා තෙක් පිළිමය හෝ කපිල විහාරය නිශ්චිතව හදුනා ගත නොහැකි බව පැහැදිලිය.

පොත්ගුල් වෙහෙර යන නාමය නිර්මාණය වන්නට හේතු විණැයි අනුමාන කළ හැකි වක්‍රාකාර ගොඩනැගිල්ල කවරක් ද යන්න හදුනා ගැනීම මෙම ආරාමික ගොඩනැගිලි සංකීර්ණය කවරක් ද යන්න නිශ්චය කර ගැනීම සදහා බෙහෙවින්ම ඉවහල් වෙයි. එම ගොඩනැගිල්ලේ බොහෝ ස්ථාන ගරා වැටී ඇති අතර දැනට ශේෂ වී පවතින කොටස් මගින් එහි මුල් ස්වරූපය නිශ්චිතව කවරාකාර වූයේ ද යන්න හෝ එය කුමන කරුණක් අරබයා එහි පැවතියේ ද යන්න ගැන හෝ අවබෝධයක් ලබා ගැනීමට අපහසුය. එය ලංකාවේ ථෙරවාද බුදුසමය ආශ්‍රිතව අනුරාධපුරයේ සහ පොළොන්නරුවේ ශේෂ වී පවතින සෙසු වාස්තු විද්‍යාත්මක සම්ප්‍රදායන්ට වෙනස් මගක් ගත්තක් බව පැහැදිලිය. සමහරවිට එය ඉහතින් සදහන් කළ අයුරින් තාපසාරාමවාසීව විසූ විශේෂ භික්ෂු පිරිසක් (ධුතංගධර) අරබයා බිහිවූවක් බව අනුමාන කිරීම වැරදි සහගත නොවිය හැකිය. ධුතංගධර මෙම හිමිවරුන්ගේ තපස් වෘතයන් ථෙරවාද විනය කර්මයන්ට පටහැණි වූ බව ද මෙහිදී විශේෂයෙන්ම සදහන් කළ යුතුය. එවැනි ආකාරයේ තවුස්දම් පිළිපැදි මෙම භික්ෂූන් සෙසු අයගෙන් පමණක් නොව අල්පේච්ඡ දිවියක් ගෙවමින් වනවාසීව විසූ (ආරණ්‍යක) හිමිවරුන්ගෙන් පවා වෙන් වූ සුවිශේෂී වූ කොටසක් ලෙස අනන්‍යතාවක් ගොඩ නගා ගන්නට ඇති බව නිසැකය. පරාක්රමබාහු රජුන් විසින් ආරාමයක් පිළිගන්වනු ලැබු ප්‍රධාන ධාරාවෙන් වෙන්ව ගිය මෙම විශේෂිත භික්ෂූන් සම්බන්ධයෙන් චූලවංශයේ සම්පාදකවරයා වන ධම්මකිත්ති හිමියන් අපගේ අවධානය යොමු කරවන බව සිහිපත් කිරීම මෙහිදී වැදගත් වන්නේය. සුවිශේෂී තපස්දම් රැකි මෙම භික්ෂූන් සහ ඔවුන් අනුගමනය කරන්නට ඇතැයි සිතිය විශේෂිත ආගමික වතාවත්වල පිළිඹිබුවක් මෙම ආරාම සංකීර්ණයේ කේන්ද්‍රස්ථානය වූ ගඩොල් ගෘහයෙන් නිරූපණය වෙතැයි සිතන්නට හැකි අතරම අතැම්විට එය ඔවුන්ගේ තාපස නිකායට ආවේණික සුවිශේෂී කටයුතු සම්බන්ධයෙන් පහසුකම් සැපයීමේ අරමුණින් එහි ඉදිකරන්නට ඇත. ඒ අරුතින් ගත්විට පුරාවෘත්ත අනුව යමින් පොත්ගුල් විහාර සංකීර්ණය පරාක්රමබාහු රජුන් විසින් කපිල ඍෂිවරයා වෙනුවෙන් නිර්මාණය කරනු ලැබ තාපසවෘතධාරී භික්ෂූන්ට පූජා කරන්නට ඇතැයි සිතිය හැකිය.

පරාක්රමබාහු රජුන් විසින් විජිත හි පිහිටි කපිල විහාරය තුළ එම ගඩොල් ගෘහය ඉදිකරන ලද්දේ ඒ වනවිටත් ජීවතුන් අතර සිටි කපිල ඍෂිවරයා වෙනුවෙන් ද , එසේත් නැතිනම් ඒ වනවිට ජීවතුන් අතර නොමැතිව සිටි කපිල ඍෂිවරයා වෙනුවෙන් ඔහුගේ නමින් නිර්මාණය කළ ආරාමයක් ලෙසින් ද යන්න පිළිබදව චූලවංශයෙන් පැහැදිලි විස්තර කිරීමක් කෙරෙන්නේ නැත. එම ගොඩනැගිල්ල ඉදිවූයේ ජීවමාන කපිල වෙනුවෙන් නම් ඔහුගේ පිළිමයක් පිළබදව ගැටලුවක් පැන නොනගින්නේ පූර්ව නූතන ලාංකීය සම්ප්‍රදාය තුළ ජීවමාන පුද්ගලයන්ගේ පිළිරූ ප්‍රසිද්ධ ස්ථානයන් හි ප්‍රදර්ශනය නොකෙරුණු බැවිනි. මෙහිදී බැහැර කළ නොහැකි යථාරථයන් තුනක් ඇති බැවින් , එනම්

01. ඉසිවර රුවක් හෙවත් පොත් ගුල් විහාර පිළිමය ,

02. කපිල ඍෂිවරයාගේ නාමයට ඉදි වූ ආරාමයක් පිළිබද චූලවංශයේ කෙරෙන සදහන ,

03. ආරාම සංකීර්ණය තුළ ඔහු වෙනුවෙන් ඉදි වූ ගඩොලු ගෘහය යන කරුණු සලකා බැලූ විට මෙම පිළිමය කපිල ඍෂිවරයා නියෝජනය කරන්නක් බව උපකල්පනය කිරීම යථාර්ථයෙන් බැහැරව යාමක් නොවිය හැකිය.

මෙහිදී විශේෂයෙන්ම අවධාරණය කළ යුත්තේ මෙහිදී අප සාකච්ඡාවට ලක් කරන්නේ අසමසම වූ පිළිමයක් , වාස්තු විද්‍යානුකුලව දුලබ වූ ගෘහයක් , මූලික ධාරාවෙන් වෙන් වූ භික්ෂූන් පිරිසක් සහ අපට ඉතා අල්ප දැනුමක් ඇති ඍෂිවරයෙක් සම්බන්ධයෙන් බවය. මෙම ආරාම සංකීර්ණය සම්බන්ධයෙන් සහ මෙම පිළිමයේ කලා ශිල්පය අරබයා අප සතුව අල්ප වූ තොරතුරු සමුදාය හේතුවෙන් ඒ පිළිබදව විවිධාකාර අදහස් පැන නැගීම නොවැළැක්විය හැකිය. පහසුවෙන් හදුනාගත හැකි සාධක අල්ප වූ පසුබිමක් තුළ උපකල්පනයන්හි ඇති වැදගත්කම කිසිවෙකුටවත් බැහැර කළ නොහැකිය. එහෙත් ‍ශේෂ වී ඇති තොරතුරු සමුදායේ සීමා මායිම් ඉක්මවා කෙරෙන උපකල්පනයන්හි දී එය නිරර්ථක වෑයමක් බවට පත් වීම ද නොවැළැක්විය හැකි සංසිද්ධියකි.

පොත්ගුල් වෙහෙර පිළිමය හදුනා ගැනීම සම්බන්ධයෙන් මෙහි දක්වා ඇති වෑයම ද වෙනස් වීමේ ස්වභාවය විෂය කොට ගත්තක් බව මා මෙහිදී සදහන් කළ යුතුය. මෙම සංදර්භයේ දී දැකිය හැකි එකිනෙකට වෙනස් වූ විෂය වස්තූන්ගේ විචල්‍යභාවය තුළ ඒවා අතර ඇති සබදතාවන් ද අපෙන් ගිලිහී යයි. කපිල ඍෂිවරයාගේ භූමිකාව සම්බන්ධයෙන් අප දන්නා යමක් නැත. කපිල ඍෂිවරයා සහ පරාක්රමබාහු රජුන් අතර කවර සබදතාවක් පැවතියේ ද යන්න පිළිබදව අප දන්නා යමක් නැත. එමෙන්ම කපිල ඍෂිවරයා සහ මෙම තාපසධාරී භික්ෂූන් (ධුතංගධර) අතර පැවැතියේ කවර සම්බන්ධතාවක් ද යන්න ගැන හෝ මෙම ආරාමය කපිල ඍෂිවරයාගේ නමින් නම් කොට පරාක්රමබාහු රජුන් විසින් එය මෙම භික්ෂූන්ට ප්‍රදානය කරන ලද්දේ කවර හෙයින් ද යන්න ගැන හෝ අප දන්නා කිසිවක් නැත. මෙම හිඩැස් අතරින් වුව ද පොත්ගුල් වෙහෙර වටා ඇති නටබුන් සමුදාය කපිල විහාරයට අයත් වූවක් බවත් , විශේෂයෙන් ම මෙහි ඇති එකම ඉසිවර පිළිමය පරාක්රමබාහු රජුන් විසින් ඉදිකරනු ලැබූ ගෘහයකින් (විහාර මන්දිරයකින්…?) පිදුම් ලද එකම ඉසිවරයා ලෙස පුරාවෘත්තයන්හි සදහන් වන කපිල ඍෂිවරයාගේ බවත් අපට අනුමාන කළ හැකිය.

මෙහිදී මා විසින් උත්සාහ කරන ලද්දේ පොත්ගුල් විහාර පිළිමය අගස්තිගේ හෝ රජෙකුගේ හෝ බෝධිසත්ත්වයකුගේ හෝ විය හැකිය යන සම්භාවිතාවන් පිළිබද උපකල්පනයන් මත රැදෙනු වෙනුවට දැනටමත් අප සතුව පවතින තොරතුරු සාධක ඔස්සේ අවංක සහ අපක්ෂපාති ප්රයත්නයක් තුළින් යළි විමර්ශනයක් කිරීමටය. සැබෑ වශයෙන්ම මෙහි ඇතැම් පුරුක් ගිලිහී ඇති බව සැබෑය. එම ගිලිහී ගිය පුරුක් ගොඩ නංවා ගනිමින් පිළිමය පිළිබදව පැහැදිලි සහ නිසැක හදුනා ගැනීමක් කරනු පිණිස මෙම භූමිය සහ එහි ඉතිහාසය පිළිබදව තව දුරටත් කරනු ලබන කැණීම් සහ විමර්ශනයන් අනිවාර්යයෙන්ම ඇවැසි බව අවසාන වශයෙන් පෙන්වා දිය හැකිය.

කොළඹ ඉදන් කතරගමට එදා ගියේ පයින්…! දොස්තර පී. ආර්. අන්තෝනිස්

ගෙවී ගිය සියවසේ මුල් භාගයේ ගාලු පාර

 

 

බොහොමයක් අතීත මතක සටහන් හරිම සුන්දරයි. මේ නිසාම ඒ අතීත මතකයන් සිහිපත් කිරීමත් සුන්දර අත්දැකීමක්.

පැරණි ලිපි ගොනු පෙරලා බලද්දී ඒ සුන්දර අතීත මතකයට ආයෙත් සිත ඇදිලා ගියේ නොදැනුවත්වමයි.

මීට අවුරුදු දහයකට විතර ඉස්සර දවසක කොළඹ නගරය ගැන සතිපතා පිටු හතරක විශේෂාංගයක් පටන් ගන්නට මට අවස්ථාව ලැබුණා. (ඒ අවස්ථාව මට ලබා දුන්නේ එවකට දිවයින පුවත්පතේ කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ එඩ්මන් රණසිංහ සහ ප්රධාන කර්තෘ උපාලි තෙන්නකෝන් මහත්වරුන් බවත් ස්තුති පූර්වකව සිහිපත් කරන්නට ඕනේ). අතිරේකය පටන් ගැනීමේ අරමුණ කොළඹ නගරයේ අඩුපාඩු වගේ දේවල් ගැන කතා බහ කිරී‍්ම වුණත් මගේ අතින් ඒක සකස් වුණේ ඒ අදහසට මුලුමනින්ම පටහැනි විදියට. ඒ කියන්නේ කොළඹ අතීතය යළි ආවර්ජනය කරන විදියට. අතිරේකය මට අවශ්‍ය විදියට කරන්න සම්පූර්ණ නිදහස කතුවරුන්ගෙන් ලැබුණු නිසාම අවසානයේ දී ඒක මුලුමනින්ම කොළඹ නගරයේ ඉතිහාසය සොයා යන අතිරේකයක් බවට පත්වුණා.

මේ අතිරේකයේ දී මං වඩාත් ම සතුටින් කළ කාර්යය වුණේ මව්බිමේ නම රැන්දූ විශිෂ්ට මිනිසුන් සොයා ගෙන ඔවුන්ගේ අතීත අත්දැකීම් මතු කරගන්නට දරපු උත්සාහයයි. මේ හැම දෙනාම සමාජයේ කැපී පෙනුණු බොහොම ගරු ගාම්භීර උදාරතර චරිතයන් වුණත් තමන්ගේ අතීත මතකයන් සිහිපත් කරද්දී ඒ හැම දෙනාම බොහොම සංවේදීව ඒ වගේම සැහැල්ලු මනසින් හා සුහදව කතා බහට එක්වෙච්ච හැටි නම් හරිම අපූරුයි. ඒත් ඒ  බොහොම දෙනෙක් අද ජීවතුන් අතර නැති බව නම් සිහිපත් වෙද්දී සිතට දැනෙන්නේ හරිම කණගාටුවක්.

මේ අතිරේකයේ මංගල කලාපයේ සාකච්ඡාවට මං එක්කර ගත්තේ විශේෂඥ දොස්තර පී. ආර්. අන්තෝනිස්.  ලංකාවේ සිටි  අංක එකේ ශල්‍ය වෛද්‍යවරයෙක් වූ ඔහු ලංකාවේ ශල්‍ය වෛද්‍ය විද්‍යාලයේ ආරම්භක විදුහල්පතිවරයා ද වුණා. මේ සාකච්ඡාව කරන කාලයේත්  වෛද්‍ය වෘත්තියෙහි නිරතව සිටි දොස්තර අන්තෝනිස් ඒ වනවිට කොළඹ සරසවියේ කුලපතිවරයා ලෙසයි සිටියේ. හිටපු අගමැති එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතාට වෙඩි වැදීමෙන් පසු කළ අවසන් ශල්‍ය කර්මයට සහභාගි වූයේත් දොස්තර අන්තෝනිස්.

මා ඔහු හමු වුණේ විහාර මහා දේවි උයන ඉදිරිපිට තියනෙ ඔහුගේ නිවසේ දී යි. ටයි පටියක් ද සමගින් සම්පූර්ණ යුරෝපීය ඇදුම් කට්ටලයකින් සැරසී සිටි ඔහු මා යනවිටත් කිසියම් රෝගියෙකු පරීක්ෂා කරමින් සිටි නිසා සුලු මොහොතක් එහි රැදී සිටින්නට මට සිදුවුණා. ඒ කාමරය පුරාම රසායන දියරින් පුරවා තිබූ බෝතල්වල මිනිස් අවයව රාශියක් දකින්නට තිබුණු  ආකාරය මට හොදට මතකයි. ඒ වනවිටත් ඔහු තම නිවසේ වෛද්‍ය සේවා කටයුතුවල නිරතව සිටි නිසයි ඒ. රෝගියා නික්ම ගිය පසු ඒ කාමරයේ දී ම අපි සාකච්ඡාව ආරම්භ කළත් තමන් නිතිපතා සිදු කරන බරපතල වෛද්‍ය සාකච්ඡාවන්ට වඩා වෙනස් මගක් ගනිමින් තමන්ගේම අතීතය සිහිපත් කරන මේ සංවාදය සුලු වේලාවකින්ම ඔහුගේ සිත් ඇද ගත්තා.

ඒ නිසාම සංවාදය සිදු කෙරුණේ රාජකාරී ස්වභාවයෙන් පිරී තිබුණු කාර්යාල කාමරයෙන් ඉවතට ගිහින් ගස් කොළං අවටින් පෙනෙන විසිත්ත කාමරයේ දී යි. 

හෝරා දෙකක පමණ කාලයක් ඉතාම සුහදව හා සැහැල්ලුවෙන් කෙරුණු කතා බහ අවසානයේ දී ඔහු තවත් රසවත් කරුණක් සදහන් කළා. බෙහොම දෙනෙක් තමන්ට  “ ඇන්තනිස් ” ලෙස කිව්වත් තමන් ඒකට අකමැති බවත් , තමන්ගේ නම “ අන්තෝනිස් ” මිස ඇන්තනිස් නොවන බවයි ඒ.

මේ ලිපිය දිවයින පුවත්පතේ පළ වුණෙ 1999 දී විතර. සාමාන්‍යෙයන් පුවත්පතක ලිපියක් පළ වුණාම ඇතැම් කෙනෙක් දුරකථනයෙන් කතා කරලා ස්තුති කිරීම පුවත්පත් කලාවේදියෙකු නිතර මුහුණ දෙන සුලභ අත්දැකීමක්. ඒත් දොස්තර අන්තෝනිස්ගෙන් සිදු වුණේ ඊට වඩා වෙනස් දෙයක්. ඔහු තමන්ගේ වටිනා කාලයෙන් කොටසක් වෙන් කරලා තමන්ගේම අත්සනින් යුක්තව ඉංගිරිසි බසින් ලියූ ස්තුති සටහනක් ලියාපදංචි තැපෑලෙන් මගේ නමට එවලා තිබුණේ ඔහු තුළ පැවැති ඒ නිහතමානී ගතිගුණ නිසා බවත් ඔහුට ගරු කිරීමක් ලෙසින් මෙහි සදහන් කරන්නට ඕනේ.

ගෙවී ගිය සියවස ආරම්භයේ දී ඒ කියන්නේ 1911 වසරේ දී උපත ලැබූ මේ විශිෂ්ට මිනිසා තමන්ගේ 90 වැනි උපන් දිනයට මාසයක් තිබිය දී සිය ජීවිතයෙන් සමුගත්තා. සැදැහැවත් බොදුනුවෙකු වූ දොස්තර අන්තෝනිස්ට නිවන් සුව ලැබේවා…!

  මම ඉපදුණේ බම්බලපිටියේ. අපේ ගෙදර ඇතුළේ බුදුහාමුදුරුවන්ගේ      රූපයක් රාමු කරලා එල්ලලා තිබුණා. ඒත් ගෙදර ඉස්සරහ එංගලන්ත රජ පවුලේ රූපයකුයි , සාර් රජ පවුලේ රූපයකුයි රාමු කරලා තිබුණා. රජ පවුලේ පිංතූරයක් එදා හැම ගෙදරකම වගේ තිබුණා.

එදා මුලු කොළඹම හුගාක් පාලුයි. ගෙවල් තිබුණේ හරිම අඩුවෙන්. ගාලු පාර හරිම පටුයි. ඇත්තටම කියනවා නම් ගාලු පාර විදියට තිබුණේ ගුරු පාරක්. ගාලු පාරට තාර දාපු දවසත් මට තාම මතකයි. එදා තාර දාන්න ගෙනාව යන්තරේ සද්දයට අශ්වයෝ හොදටම කුලප්පු වුණා. ඒ කාලයේ වැඩියෙන් ම තිබුණේ අශ්ව කරත්ත , බර කරත්ත , බක්කි කරත්ත තමයි. මෝටර් සයිකල් කිහිපයකුත් තිබුණා. ඒත් ඒවාට සයිලන්සර් තිබුණේ නැහැ. මේ හින්දා වැල්ලවත්තේ ඉදන් මෝටර් සයිකලයක් එනකොට කොල්ලුපිටියට ම ඇහෙනවා. ඒ සද්දේ ඇහෙන කොට අපි පාරට දුවගෙන ඇවිත් ඒක යනකම් බලාගෙන ඉන්නවා. අපි ඉස්කෝලේ ගියේ රික්ෂෝවල. ඒත් ටික කාලයකට පස්සේ “ බවුස්ටඩ් ”සමාගමේ බස් තුනක් පාරේ දිවුවා. මට මතක විදියට මෝටර් කාරෙකක් මුලින් ම කොළඹට ගෙනාවේ ඒ. එම්. ඩී. සිල්වා මහත්තයාගේ ගෙදරට. ඒ මහත්තයාගේ මාමා හිටියේ කොල්ලුපිටියේ මුහුද අයිනේ ලොකු ගෙදරක. එතැන ඉදන් වැල්ලවත්තේ ශ්රබරී උද්‍යානයට යනකල්ම ලොකු වත්තක් එයාට තිබුණා.

මම කලින්ම ඉගෙන ගන්න ගියේ බම්බලපිටියේ වජිරාරාමයට. පැලෑණේ ශ්රී වජිරඥාන හාමුදුරුවෝ තතමයි පන්සලේ වැලි මලුවේ “ අ ” යන්න ලියන්න මට මුලින්ම කියලා දුන්නේ.  ඒ කාලයේ බම්බලපිටියේ වජිර පාරේ ඉදන් එක දිගට ම තිබුණෙ රතු පාට බොරලු තිබ්බ පටු පාරක්. විශාඛා විද්‍යාලය ඒ වෙනකොට තිබුණේ නැහැ. එතැන තිබුණේ ලොකු කැලෑවක්. හැව්ලොක් පාරට යනකල් ම එකම ගෙයක්වත් දකින්න තිබුණේ නැහැ. එක දිගට ම රබර් වත්ත. රබර් වත්ත මැද්දෙන් අඩි පාරක් තිබුණා. අපි ඒ අඩි පාරේ තමයි ගමන් බිමන් ගියේ.

බුලර්ස් පාරේ ඉදන් මහ පාරට එන්නත් එදා පාරක් තිබුණේ නැහැ. බගතලේ පාරට යනකල් ම සම්පූර්ණයෙන් ම තිබුණේ ලොකු වත්තක්. ඒ වත්ත අයිති වෙලා තිබුණේ ශ්රීමත් චාල්ස් හෙන්රි ද සොයිසා මහත්තයට. ඒ වෙනකොට දෙහිවල සත්තු වත්ත හදලා තිබුණේත් නැහැ. චාල්ස් සොයිසා මහත්තයාගේ වත්තේ පුංචි සත්තු වත්තක් තිබුණා. ගෝන්නු , මුවෝ වගේ සත්තු ඒකේ හිටියා. චාල්ස් මහත්තයාගේ ගේ තමයි ලොකුම ගෙදර. කොළඹ කොහේවත් එදා තට්ටු ගෙවල් තිබුණේ නැහැ. කටුගේ තමයි තිබුණු ලොකුම ගොඩනැගිල්ල. උසම ගොඩනැගිලි නම් තිබුණේ කොටුවේ චැතැම් වීදියේ ඔරලෝසු කණුව ළගයි.

මම මුලින්ම ගිය ඉස්කෝලේ තමයි සෙන්ට් පීටර්ස් පාසල. අපිට ඉස්කෝලයට භාර ගත්තේ ගෙදරදීවත් සිංහලෙන් කතා කරන්නේ නැහැ කියන පොරොන්දුව උඩයි. එතකොට මට ඉංගිරිසි බැහැ. හාර මාසයක් ඇතුළත ඉංගිරිසි ඉගෙන ගත්තේ නැතිනම් ඉස්කෝලයෙන් අස් කරනවා කියලා ෆාදර් නිකලස් කිව්වා. කොහොම හරි මම ඉංගිරිසි ඉගෙන ගෙන පස් වැනි කැලෑසියේ ඉදන් ඉංගිරිසි තෑග්ගත් දිනුවා.

එදා කොළඹ ගෙවල්වල නාන කාමර , වැසිකිළි එහෙම තිබුණේ නැහැ. කොළඹ කවුරුත් නාන්න ගියේ “ බාල්දි වත්ත ” ට. ඒක තිබුණේ දැන් මල්ලිකා නිවාසය තියෙන වත්තට අල්ලපු වත්තේ. අපි බම්බලපිටියේ ඉදන් පයින් ම එතැනට යනවා. පාර වැටිලා තිබුණේ වතු මැද්දෙන්. ගෙවල් අඩු නිසා හැමෝම අදුනනවා. මේ නිසා නාන්න යනකොට හම්බු වෙන හැම ගෙයක් ම “ හා… හා…කෑම ටිකක් කන්න එන්න ” කියලා අපිට කතා කරලා කෑම බීම නොදී මිසක් යන්න දෙන්නේ නැහැ. බාල්දි වත්තේ ලොකු ළිදක් තිබුණා. ගැහැණු පිරිමි වෙන වෙනම කොටස් දෙකක එතැන නෑවා.

ගෙවල්වල වැසිකිළි තිබුණේ නැති නිසා සේරම ගෙවල්වල අය වතුර අරගෙන එක වත්තක තිබුණු බාල්දි වැසිකිළිවලට යනවා. ගැහැණු පිරිමි දෙගොල්ලන්ට වෙන වෙනම බාල්දි තිබුණා. මහ රෑට එන මනුස්සයෙක් ඒ බාල්දි සෝදනවා.

කඩවල් ගානේ ගිහින් එදා බඩු ගේන්න ඕන වුණේ නැහැ. ලූණුකාරයා , වට්ටි අම්මා ගෙදරට ම එනවා. දවල්ට පාන් අරගෙන කෙනෙක් එනවා. හවසට කේක් අරගෙන වෙළෙන්දෙක් එනවා. “ බ්ලූඩර් ”කියලා වර්ගයක් තමයි කේක් විදියට ඒ කාලයේ තිබුණේ. කරත්තෙන් එන වෙළෙන්දෙක් ගේ ඉස්සරහ පැත්තේ පැදුරක් එළලා කරත්තේ බඩු සේරම ඒ පැදුරට හලනවා. එතැන හොද ඇදුම් , අරුමෝසම් බඩු වගේ දේවල් තියෙනවා. රෙදි නැන්දාත් ගෙදර එනවා. රෙදි නැන්දාට සල්ලි වෙනුවට හාල් , පොල් තමයි දෙන්නේ. කොහොමටත් එදා කොළඹ කඩ තිබුණේ හරිම අඩුවෙන්. ඒවායේත් වැඩියෙන්ම වෙළදාම් කළේ මුස්ලිම් අය.

ඉස්කෝලේ යනකොට මට ගෙදරින් සත පහක් ලැබෙනවා. සත තුනකට දවල්ට එන පාන් වෙළෙන්දගෙන් පාන් පෙති අරගෙන කනවා. සත දෙකකට අයිස් ක්රීම් කනවා. තුට්ටුව , තුට්ටු දෙක , සත භාගේ , සත කාලේ මුදල් මට හොදට මතකයි.

රාජගිරිය හන්දියේ අද තියෙන බෝ ගහ ළග එදා තිබුණේ රේන්ද පොළක්. එතැනින් යන අය රේන්ද පොළට ශතයක් දාන්න ඕනේ. වැලිකඩ ඉදන් කලපලුවාවට යනකල්ම කන්ද. කන්ද නගින කොට පිරිමි ටික කරත්තෙන් බහිනවා. නැතිනම් කරත්තය අද්දන්න බැහැ. දියවන්නා ඔය ළග ඉදන් ඉස්සරහට යනකල් මුලු පැත්තටම තිබුණේ ගෙවල් දෙකයි.

මුලින්ම අපට චිත්තරපටියක් බලන්න ලැබුණේ කොල්ලුපිටියේ ශ්රබරී උද්‍යානයේ ටෙන්ට් එකක් ගහලා පෙන්වපු ජර්මන් චිත්රපටියක්. අපේ ගෙදර හැමෝම ඒක බලන්න ගියා. ඒකේ එක “ සීන් ” එකක කොල්ලයි කෙල්ලයි ඉඹිනවා. මේක දැකපු අපේ තාත්තා “ චිහ් … මේව බලන්න ද සල්ලි දීලා ආවේ ” කියලා ගෝරනාඩු කරලා අපිවත් ඇදගෙන නැගිටලා ගියා.

ඩාර්ලි පාරේ කෙළවරේ “ සීවලී තියටර් ”කියලා සිනමා ශාලාවක් තිබුණා. හවස තුනට තමයි චිත්රපට පෙන්වන්න පටන් ගන්නේ. ඒවා කලු සුදු. දෙබස් නැහැ. ඉංගිරිසියෙන් කතාව ලියැවෙනවා විතරයි. චිත්රපටය බලලා පයින් ම ආයෙත් බම්බලපිටියට එන්න ඕනේ. බම්බලපිටියේ ඒ කාලයේ බත් කඩ කිහිපයකුත් තිබුණා. අපේ තාත්තාටත් කුලියට දෙන්න ගෙවල් පහක් තිබුණා. ඒ ගෙවල් කුලියට දුන්නේ රුපියල් දහය ගානේ. අපේ ආච්චි අබිං කනවා. අපි බම්බලපිටියේ ඉදන් කොටුවට රික්ෂෝ එකකින් ගිහින් මේන් ස්ටීරීට් එකේ කඩයකින් අබිං ගන්නවා.

නිදහස් චතුරසය ලග අද තියෙන ස්වදේශීය කටයුතු හා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය තියෙන තැන එදා තිබුණේ පිස්සන් කොටුවක්. ඒකේ හිර කරලා තිබුණු පිස්සේ කෑ ගහන සද්දය ඈතට ඇහෙනවා. හරියට මී වදයක මී මැස්සෝ ගුමු ගුමු ගානවා වගේ. ඒ කාලයේ ඒවාට හරියට වෙදකමකුත් තිබුණේ නැහැනේ.

බුලර්ස් පාරේ ඉදන් බොරැල්ල කනත්ත ලගට යනකල්ම පාර හරිම පාලුයි. කිසිම මනුස්සයෙක් නැහැ. මිනිරන් පතල් වලින් ගන්න මිනිරන් ඒ කාලේ කනත්ත ලගට.

ඒ කාලේ කොළඹ මීනී මැරුම් වගේ දේවල් තිබුණේ ම නැති තරම්. එහෙම එකක් වුණොත් එහෙම කවි කොළ ගහලා විරිදු කියලා ඒකට ලොකු ප්රසිද්ධියක් දෙනවා. ගෙවල් බිදුම් නම් තරමක් තිබුණා. හරක්  හොරකමත් එදා කොළඹ තිබුණා.

එදා කොළඹ හිටිය පිරිමි හැමෝම වගේ ඇන්දේ පට සරම. එහෙම නැතිනම් පලේකාට් සරම. බැනියමකුත් ඇන්දා. ලේන්සුවක් නම් කරේ තියෙනවාමයි. අපේ තාත්තා නම් ඇන්දේ සරමයි , ලොකු සෙරෙප්පු දෙකකුයි විතරයි. හැබැයි ගමනක් යනකොට පනාව නම් කොණ්ඩේ ගහ ගන්නවාමයි. එතකොට සුදු කෝට් එකකුත් දාගන්නවා. ගෑණු අය හැමෝම ඇන්දේ සුදු පාට හැට්ට. සාය නම් එක එක පාටින් ඇන්දා. අපේ ඉස්කෝලේ ඇදුමට නිල ඇදුමක් කියලා දෙයක් තිබුණේ නැහැ. හැබැයි අපි හැමෝම තොප්පි දාගෙනයි ඉස්කෝලේ ගියේ.

කොළඹ එදා වැඩියෙන් ම තිබුණේ වඩු වැඩ , මේසන් වැඩ වගේ රස්සාවල්. බඩල් මිනිස්සු , නයිදෙ (කම්මල්කරුවන්) අනිවාර්යයෙන්ම හිටියා. කොළඹින් පිට නම් ඉතින් ගොවිතැන තමයි.

ට්රෑම් කාර් කොළඹට ආවේ පස්සේ කාලයක. පිටකොටුව ඉදන් ග්රෑන්ඩ්පාස් වලටත් , මරදානේ ඉදන් බොරැල්ලටත් උදේ ඉදන් රෑ වෙනකල්ම ට්රෑම් කාර් දෙකක් හැම තිස්සේ ම එහා මෙහා ගියා. හෝල්ට්ස් තිබුණේ නැහැ. ලණුව ඇද්දම ඕනෑම තැනක නවත්තනවා. ඩැයිවර් වගේ ම කොන්දොස්තරත් නිල ඇදුමක් ඇන්දා. ට්රෑම් කාර් එක තමයි වේගයෙන් ම යන්න තිබුණු වාහනේ. ගෙවල්වල පාවිච්චි කළේ භූමිතෙල් පහන්. ජර්මනියෙන් ගෙන්නපු චිමිනි තමයි හොදම චිමිනි. පාරවල්වල ගෑස් පහන් තිබුණා.

ඉස්සර අපි හැමෝම ආගම දහමට ලැදියි. පැය දෙක හමාරක් ම එක දිගට බණ කියනවා. අපි පැදුරු අරගෙන තමයි පන්සලට යන්නේ බණ අහන්න. බණ ඉවරවුණාම රතිඤ්ඤා මල් වෙඩි පත්තු කරනවා. මරණයක් වුණාමත් දවස් හතක් යනකල් එක දිගට ම වෙස්සන්තර ජාතකය කියවනවා. වට්ටක්කා , මෑ කරල් , කරවල තමයි දානෙට උයන්නේ. හැමෝම ඒ බත් කන්න ඕනේ. නොකා ගියොත් අමනාප වෙනවා.

ඒ කාලයේ කොළඹ තිබුණු පත්තරවලින් “ කවට කතිකයා ” හරිම ජනප්රියයි. “ මෝනිං ස්ටාර් ” පත්තරේත් තිබුණා. ඒත් ඉංගිරිසි දන්න අය හිටියේ අඩුවෙන්. කිකට් , ෆුට්බෝල් වගේ සෙල්ලම් තිබුණේ නැහැ. අපි බෝල ගහන එක තමයි කළේ.

මගුලක් වුණාම අස්ස කරත්තේ සුදු අස්සයෝ දෙන්නෙක් බැදලා මනාල ජෝඩුව යනවා. මගුල් මේසයේ පනහකට හැටකට කන්න දෙන්න පුලුවන්. පිට අය ඒ මේසයේ ඉද ගන්නේ නැහැ. කුල භේදය ඒ කාලයේ තදින්ම කොළඹත් තිබුණා.

කොළඹ මහ රෝහල එදත් තිබුණේ දැන් තියෙන තැනමයි. ගැබිණි වාට්ටුවකුත් ඒකේ තිබුණා. ඒත් ගෙදරම තමයි හුගාක් වෙලාවට  දරු උපත් සිද්ද වුණේ. විහාර මහා දේවි උද්‍යානයත් එදා තිබුණා.

අපේ ආච්චි තරුණ කාලයේ බම්බලපිටියේ ඉදල් කතරගමට වන්දනාවේ යන්නේ පයින්. කණ්ඩායම් හැදිලා. මාස තුනක් විතර යනවලු යන්න. අතරමග නවාතැන් ගන්නවා. අපේ ආච්චි බම්බලපිටියේ ඉදල් පයින් ම සිරීපාදේ දහ සැරයක් ගිහින් තියෙනවා. පයින් යන්න බැරි අය බර කරත්තවල යනවා. එදා කවුරු ගෙදරකට ආවත් නවාතැන් දෙන්න ඕනේ. නැතිනම් කන්න බොන්න තැනක් වෙන නැහැ. අපේ ගෙදරත් ඕනෑම වෙලාවක ඕනෑම කෙනෙකුට නවාතැන් දෙන්න පැදුරු තිබුණා. කෑම දෙන්නත් ලැහැස්ති කරලා තිබුණා.

ඒ කාලේ කොළඹ කෑම බීම හරිම පිරිසිදුයි. පළතුරු , එළවලු වත්තෙන්මයි ගත්තේ. හැමෝම එක වගේ එකමුතුයි. ඒ එකමුතුව සහෝදරත්වය අද දකින්නවත් නැහැ.

මෝඩයාගේ දවස කවදා ද …?

මෝඩයාගේ දවස යෙදෙන්නේ කවදා ද කියලා කියන්න හැමෝම දන්නවා.

මේ දවසට බොහොමයක් පත්තරවලත් මුල් පිටුවේ විකාර පුවතක් දෙකක් පළ කරන්නේ තමන්ගේ පාඨකයාව මෝඩයාට අන්දන්නටයි.

මෝඩයාගේ දවස ගැන ආපහු සැරයක් හිටි හැටියේම සිහිපත් වුණේ පහුගිය ඉරිදා දවසක රජයේ ප්රධානතම සිංහල සති අන්ත පුවත්පතක මුල්ම පුවත විදියට දැවැන්ත කලු අකුරින් පළ කරලා තිබුණු පුවතක් ඇස ගැටුණු හින්දයි. මේ පුවතෙන් කියවුණේ ඕනෑම පුවතක් ඇත්තක් නම් එය පළ කරන්නට පැකිළෙන්නට එපා යැයි ජනාධිපතිවරයා රජයේ මාධ්‍යයන්ට පවා දැනුම් දුන්නා කියලයි.

මේ වගේ අදහසක් ජනාධිපතිවරයා පැවසීම වෙනම කරුණක්. ඒත් ඒ අදහස විශේෂයෙන්ම සති අන්ත පත්තරයක මුල්ම පුවත විදියට පොල් ගෙඩි අකුරින් පළ වීම නම් කිහිප සැරයක්ම හිතන්න ඕන කරුණක්.

ඒකට හේතුව පොල් ගෙඩි අකුරින් පළ කරන්න සුදුසු පුවත් ඕන තරම් තියෙද්දී මේ වගේ අදහසක් මුල්ම පුවතවිදියට පළ කරන්නට මොකක් හෝ විශාල හේතුවකුත් තියෙන්නට ඕන කියලා ඇමතිවරයකුගේ චූටි මොළයකට වුණත් තේරෙන නිසයි. (මිහින්තලේ පහළ මලුවේ නායක චීවරධාරියා නොදරුවෙක් දූෂණය කිරීමේ සිද්ධිය ගැනවත් අඩුම තරමින් විශේෂාංග ලිපියක් තියා පුංචිම පුංචි නිවුස් කෑල්ලක්වත් මේ මහා ජාතික පුවත්පතේ පළ නොවුණ එක මෙතැනට අදාළ කාරණයක් නෙමෙයි)

කොහොම වුණත් කලින් කිවුව විදියට මේ පුවත පළ වුණු ඉරිදා දිනය මෝඩයාගේ දවස නොවුණත් මේ විදියේ පුවතක් එදා දවසේ මුල්ම පුවත විදියට පළ කරන්නට ඇත්තේ ලංකාවේ පුවත්පත් කියවන පාඨකයා අවුරුද්දේ දවස් 365 ම හැමදාමත් මෝඩයාගේ දවසට අදින හින්දා වෙන්න පුලුවන්.  (එහෙම කියන්නේ ඇයි කියලා මේ ලිපියෙන්ම කතා කරමු).

දෙවැනි කාරණය නම් පුවත්පතක් කියන්නේ ඒ වචනයෙන් කියැවෙන විදියටම ඇත්ත පුවත් පළ කරන මාධ්‍යයක්. එහෙම නැතිනම් ඒක කැලෑ පත්තරයක්නේ…! ඉතින් පුවත්පතින් ඇත්ත කියන්න පැකිලෙන්න එපා කියන අදහස පත්තරයකම මුල්ම පුවත විදියට පළ කෙරෙන්නේ ඒ අදහස පවා ඒ පුවත්පතට මහා ලොකු පුවතක් එහෙත් නැතිනම් මැජික් එකක් වෙලා නිසයි. ඒ කියන්නේ ජාතික යැයි කියාගන්නා මේ මහා සති අන්ත පුවත්පතේ මේතාක් කාලයක්ම පළ වෙලා තියෙන්නේ පල් හෑලි මිසක් පුවත් නෙමෙයි.

දැන් අපි ජනා‍ධිපතිවරයායි, ඔය ජාතික පත්තරයයි පැත්තකින් අයින් කරලා ජනාධිපතිවරයා කිවුව අදහස ගැන විතරක් හිතුවොත් ඒක මුලුමනින්ම විහිලුවක්… එහෙමත් නැතිනම් විකාරයක්. ඒකට හේතුව ලංකාවේ කිසිම මාධ්‍යයකට නිවැරදි සැබෑ පුවත් පළ කරන්නට හැකියාවක් නැති හින්දයි. එහෙමත්‍ නැතිනම් ඒ විදියේ අවශ්‍යතාවක් නැති හින්දයි. ඒක මේ ආණ්ඩුව යටතේ විතරක් වෙන දෙයක් නෙමෙයි. බලයට පත්වුණු සෑම ආණ්ඩුවක් යටතේම සිද්ධ වුණු , සිද්ධ වෙන දෙයක්. මාධ්‍ය නිදහස ගැන කොහොමටත් කාටත් මතක් වෙන්නේ විපක්ෂයට ගියාමනේ.

(සමහර විට ඔබට හිතෙන්න පුලුවන් බටහිර රටවල ඔය කියන පූර්ණ මාධ්‍ය නිදහස තියෙනවාද කියලා. ඒත් අපි මේ කතා කරන්නේ “ආසියාවේ ආශ්චර්යය”  වුණු ලංකාව කියන දූපත ගැනයි. ඒ නිසා බටහිර මාධ්‍ය භාවිතාව වෙනම ලිපියකට තියා ගනිමු)

හැම දෙයකටම ඇමතිවරයෙක් වගේම ඇමති කාර්යාලයකුත් තියෙන අපේ රටේ රෙදි ඇපිල්ලීමට විතරක් වෙනම අමත්‍යංශයක් නැත්තේ සියලු රෙදි ඇපිල්ලීමේ සහ සෝදා වේලීමේ කාර්යයන් රජයේ මාධ්‍යයන්ට නිල බලයෙන්ම පැවරිලා තියෙන නිසයි. මේ නිසා රජයේ මාධ්‍ය ගැන මෙතැනදී කතා කරන එකත් මේ ඉඩකඩ අපතේ යැවීමක්. ඒ හින්දා මහජන මුදලින් රෙදි ඇපිල්ලීමේ කාර්යය ඒ අයට දිගටම කරගෙන යන්න ඉඩදීලා අපි අනෙක් මාධ්‍ය දිහාවට හැරෙමු.

ලංකාවේ විද්යුත් හෝ මුද්රිත හෝ කිසිම පුද්ගලික මාධ්‍ය ආයතනයක් ස්වාධීනව ක්රියාත්මක වෙන්නේ නැහැ. ඒක බොහොම වගකීමෙන් කියන්න පුලුවන්. ඒ හැම ආයතනයක්ම ක්රියාත්මක වෙන්නේ එක්කෝ දේශපාලන අරමුණක් වෙනුවෙන්. එහෙමත් නැතිනම් සිය ව්‍යාපරික ජාලය පුලුල් කර ගැනීමේ තවත් එක් ව්‍යාපෘතියක් වෙනුවෙන්. ඒ කියන්නේ ජනතාව වෙනුවෙන් පුවත් පළ කිරීමේ අදහසින් පවත්වාගෙන කිසිම මාධ්‍ය ආයතනයක් ලංකාවේ නැහැ. මේ සෑම ආයතනයකම අයිතිකරුවා , සරලව කියනවා නම් මුදලාලි මහතා අනිවාර්යයෙන්ම දේශපාලනය එක්ක බද්ධ වෙච්ච කෙනෙක්. සමහරුන් සෘජුවම පාර්ලිමේන්තු මන්තිරිවරුන්. තවත් සමහරුන් සංස්ථා සභාපතිවරුන්.

අයිතිකරුවන් පමණක් නෙමෙයි මේ පත්තරවල කතුවරුවරුන් පවා රජයට සම්බන්ධ මොකක් හෝ ආයතනයක , එහෙමත් නැතිනම් මණ්ඩලයක සාමාජිකයන්. පොදුවේ ගත්තම මේ සියල්ලන්ම පවතින දේශපාලන දේහයේ බොහොම සජීවී කොටස්කරුවන්. ඒ වගේම ඒ ජරා ජීර්ණ ව්‍යුහයෙන් යැපෙන පිරිසක්. ඉතින් මේ ව්‍යුහය වෙනස් කරන්නට ඒ කිසිවෙකුට ඕනකමක් නැතිවා වගේම මතුපිටින් පෙනෙන බොහොම ලස්සන පටපිලී දැවටිල්ල ගලවලා දාලා මේ සමාජ දේහයේ සැබෑ නිරුවත අපේ ජනතාවට පෙන්වා දෙන්නත් මේ අය කැමති නැහැ. (තමන් හම්බු කරගෙන කන කප්රුකේ අතු පතර කපා දාන්න කැමති වෙන්නේ කවුද…?)

ඉතින් මේ හින්දා බොහොම රැඩිකල් විදියට පෙනෙන මාධ්‍ය ආයතන වලින් පවා රජයෙන් හරි විපක්ෂයෙන් හරි එහෙත් නැතිනම් ඇමතිවරයෙක්ගෙන් හරි කෙරෙන දහසකුත් එකක් නොසන්ඩාල වැඩවලින් අංශුවක් පෙන්වා දෙන්නේත් බොහොම සීරුමාරුවට අඩුම තරමින් ඒ ඇමතිවරයාටවත් කරදරයක් නොවන විදියට හරිම අහිංසක විදියට. ඒ මොකද කියනවා නම් මේ ජරා ජීර්ණ වේදිකාවේ එක කුලුණක් හරි දෙදරලා ගියොත් හැමෝම  නටන නැටුම් එළිවෙනවානේ. මේ හින්දා අඩුම තරමින් විපක්ෂය පවා පාර්ලිමේන්තුවේ ආණ්ඩුවේ වංචා දූෂණයක් ගැන කතා කරන්නේ බොහොම පරිස්සමින්. පාදමට කිසිම අනතුරක් නැතිව මතුපිටට විතරක් පොඩි තට්ටුවක් දාන විදියට. ඇයි බලයට ආවාම තමන්ටත් ඒකම කරන්න ඉඩ තියෙන්න ඕනනේ. ඉතින් මේ විදියට ආණ්ඩුවත් , විපක්ෂයත්  ,  ජාතික යැයි කියාගන්නා අපේ මාධ්‍යයත් එකට අත්වැල් අල්ලාගෙන නටන මේ මොනර නැටුමේ පිල් කළඹ දිහා විතරක් බලන්නට අපේ කීකරු පුරවැසියනුත් දැන් අඩසිය වසක කාලයක් තිස්සේම පුරුදු පුහුණු වෙලයි ඉන්නේ.

ලංකාවේ දිනපතා පුවත්පතක සාමාන්‍ය මිල රුපියල් විස්සක්. ඒත් එක් පත්තරයක නිෂ්පාදන වියදම රුපියල් හතලියක් විතර වෙනවා. ඒ කියන්නේ නිෂ්පාදන වියදම පුවත්පතේ මිලට වඩා වැඩියි. ඉතින් කොහොම ද මේ නිෂ්පාදන වියදම පියවා ගන්නේ…? ඒක පියවාගන්නේ දැන්වීම්වලින්. මේ නිසා පත්තරයේ පුවත් පළ වෙන්න ඕන කොයිතරම් පිටු ප්රමාණයකින්ද කියලා තීරණය කරන්නේ පත්තරයේ දැන්වීම් අංශයෙනුයි. ඒ කියන්නේ දැන්වීම් අංශයෙන් මෙන්න මේ ඉඩ දැන්වීම්වලට වෙන්කරන්න ඕනය කියලා කරන නියෝගය කඩ කරන්න පත්තරයක කතුවරයෙකුටවත් බැහැ. මේ නිසා දැන්වීම් අංශයෙන් වෙන් කර දෙන ඉඩකඩ ප්රමාණයේ විතරයි පත්තරයක පුවත් පළ වෙන්නේ. මේ නිසා ජනතාවගේ කියවීමේ අයිතිය තීරණය කරන්නේ රටේ මුදලාලිලා පිරිසයි. රටේ කොයි තරම් දේවල් සිද්ධ වුණත් පුවත් පළ කරන්නට හැකියාව තියෙන්නේ මුදලාලිලා වෙන් කරදෙන ඉඩකඩේ විතරයි.

මෙතැන තියෙන තවත් භයානකම කරුණ වෙන්නේ මේ මුදලාලිලාට සම්බන්ධ දැවැන්ත ව්‍යාපාර ජාලයේ කිසිම ආයතනයකින් සිද්ධ වෙන දූෂණ විතරක් නෙමෙයි ජනතාවට සිද්ධ වෙන කිසිම හිරිහැරයක් පුවත්පත්වල පළ කරන්නට අයිතියක් නැති වීමයි. මෑතකදී හිර කූඩුවේ පවා ලගින්නට සිද්ධ වුණු ලංකාවේ අංක එකේ කෝටිපතියෙකුගේ ආයතනවලින් ලැබුණු දැන්වීම්වලින් පමණක් බොහෝ මාධ්‍ය ආයතනවල සේවකයන්ගේ පඩි නඩි පවා ගෙවන්නට තරම් විශාල වුණු නිසා මේ කෝටිපතියාගේ ව්‍යාපාර ජාලයෙන් සිද්ධ වුණු මහජන හිරිහැර පමණක් නෙමෙයි ඔහුගේ බලපෑම මත සිද්ධ වුණු ආගම්වලට හැරවීමේ ව්‍යාපෘති ජාලය ගැන පවා වචනයක්වත් ලියන්නට සිංහල බෞද්ධ ජාතික පුවත්පත්වලට පවා හැකියාවක් තිබුණේ නැහැ. ලංකාවේ හැමෝම දන්නා මාජරින් වර්ගයක් අවුරුදු තුනෙන් අඩු දරුවන්ගේ වර්ධනයට හානි කරනවා කියලා මෑතකදී උසාවියෙන් පවා තීරණය වෙලා තියෙද්දීත් ඒ අධිකරණ තීන්දුවවත් පුවත්පත්වල පළ නොවන්නේ දරුවන් මැරිලා ගියත් දැන්වීම් කොන්තරාත්තුව අහිමි කර ගැනීම ඊට වඩා පාපයක් කියලා ජාතික පුවත්පත්වලට වගේම රූපවාහිනී නාලිකාවන්ටත් හිතෙන හින්දයි.

අද දවසේ පුවත්පත් රූපවාහිනී ආයතනවලට දැන්වීම් කොන්තරාත් හිමිවෙන්නේ ඊට සමගාමීව අදාල රූපවාහිනී ආයතනයේ ගුවන් කාලයෙන් හෝ පුවත්පතේ ඉඩකඩෙන් සැලකිය යුතු ඉඩක් ඒ ආයතනවල පුරසාරම ගැනකියැවෙන ලිපිවලට වෙන්විය යුතුය යන කොන්දේසියත් එක්කයි. මේ නිසා කතා කරන්නට මොන තරම් දේවල් තිබුණත් කතා කළ යුත්තේ මුදලාලිලා කතා කළ යුතු යැයි බල කරන දේවල් විතරයි. කොහේවත් යන තෙල් බෙහෙත් වෙළෙන්දෙක් බොහොම අනුහස් තියෙන ඉසිවරුන් විදියට සලු පිලි අන්දවලා ජනතාව පෝලිම් ගස්වමින් මරුවැල් කරා අද්දාගෙන යන ලිපි ලියැවෙන්නේත් මේ දාමයේම තවත් එක් පුරුකක් විදියටයි. ඒත් අන්තිමේ දී ඉසිවරයා තක්කඩියෙක් බව ඔප්පු වුණාට පස්සේ ඒ තක්කඩියා පසුපස්සේ ගිහින් අමාරුවේ වැටුණු පවුල් වලට ගිහින් ඒ අයගේ දුක් කදුලු රස කරමින් තවත් ලිපි පෙළක් පළ කරලා මුදල් හම්බු කරන්නට තරම් අපේ මාධ්‍යකලාවේ නිම් වළලු අද පුලුල් වෙලා තියෙනවා.

ඉතාම පිළිකුල් කටයුතු ඇත්ත නම් මහජන මුදලින් නඩත්තු වෙන රජයේ ආයතනවල දූෂණ පවා මේ විදියේම මුදලාලිකරණය වෙලා තිබීමයි. ඒ කියන්නේ රජයේ ආයතන වල දූෂණයක් ගැන වචනයක්වත් ලියැවුණොත් ඒ ආයතනයෙන් ලැබෙන දැන්වීම් කොන්තරාත්තුව ලැබෙන්නේ නැහැ. වැරදිලා හරි පුවතක් පළ වෙලා දැන්වීම් ටික නොලැබිලා ගියොත් ඒ දැන්වීම් කොන්තරාත්තුව ආයෙත් ලබා ගන්න ඒ ආයතනයත් , ඇමතිවරයාත් , සභාපතිවරයාත් වර්ණනා කරමින් විශේෂාංග ලිපි දෙක තුනක්වත් ලියලා පව් සමා කරගන්නට ඕනේ. යූ ඇන් පී ආණ්ඩුව කාලයේ වගේම වර්තමානයේත් සතොස වංචා දූෂණ හොදම උදාහරණයක්.

අද දවසේ ආණ්ඩුවලින් මාධ්‍ය ආයතන පාලනය කෙරෙන්නේ මීට දශක දෙකකට විතර කලින් තිබුණු විදියට තුවක්කු පෙන්වලා මිනීමරලාම නෙමෙයි. (තවමත් එහෙම වෙන අවස්ථාත් ඕනෑ තරම් තියෙනවා). අද මාධ්‍ය ආයතන පාලනය කෙරෙන්නේ බොහොම සුහදව කෙරෙන එක දුරකථන ඇමතුමකින් . මේ නිසා සමහර පුවත් සාකඡ්චාවල කරුණු කිසිම පුවත්පතක කිසිම විදයකින් පළවෙන්නේ නැහැ. මේ නිසා ඒ සාකචඡාවලදී කියැවුණු එහෙත් නැතිනම් හෙළිවුණු වංචා දුෂණ හැම දෙයක්ම ජනතාවට සාදාලිකවම රහසක්.

ගමේ මිනිහෙක් කිතුලක් කැපුවත් පුවතක් ලෙසින් පළ වෙන අපේ පුවත්පත්වල මැති ඇමතිවරුන්ගේ වංචා දූෂණයක් පළ කරන්නට තීන්ත වෙන් නොවන්නේ මේ හින්දයි. යූ ඇන් පී ආණ්ඩුව යටතේ වගේම මේ ආණ්ඩුව යටතේත් බරපතල මිනීමැරුම් චෝදනාවලට ලක්වුණු අමැතිවරුන්ගේ නඩු වාර්තා කිසිවක් අපේ පුවත්පත්වල පළ වෙන්නේ නැත්තේත් , ඒ වගේම කොළඹ හතේ ඉඩම් අක්කරය රුපියල් දහ හතර ගානේ ගත් ඇමතිවරුන් ගැන වචනයක් වත් පුවත්පත්වල පළ වෙන්නේ නැත්තේත් , ඒ විතරක් නෙමෙයි රජයේ බැංකුවලට කෝටි ගණනින් පොලු තැබූ අය ගැනවත් අකුරක්වත් පුවත්පත්වල පළ නොවන්නේත් මෙන්න මේ කාරණය හින්දයි. ඒ හින්දා මේ වගේ පිරිස් බොහොම සුචරිතවාදී විදියට ජනතාව ඉදිරියේ පෙනී ඉන්නවා විතරක් නෙමෙයි අවංක සත්ගුණවත් මහත්වරුන් විදියට නගරාධිපතිකම්වලට , මහ ඇමතිධුරයන්ට පවා බය නැතිව ඉදිරිපත් වෙනවා.  (ලංකාව කියන දූපත වටවෙලා තියෙන්නේ මොන සාගරයෙන්ද කියලා කියන්නවත් දන්නේ නැති තුට්ටු දෙකේ නලු නිලියන් පවා දෙකෝටියක ජනතාවගේ හෙට දවස තීරණය කරන තීන්දු ගන්නා රටක ඒක පුදුමයකුත් නෙමෙයි).

ජනතාව ඉදිරියේ දේශප්රේමීන් විදියට පෙනී ඉන්න ජනතා නායකයන් යැයි කියාගන්නා දේශපාලන වීරයන් , මහා කලාකරුවන් විදියට පෙනී ඉදිමින් සරස්වතිය පවා ගණිකා වෘත්තියේ යොදවන කලාහොරුන් , මහා පණ්ඩිතයන් විදියට පෙනී ඉදිමින් අන්තිමේදී මොකක් හෝ පක්ෂයකට චන්දය දෙන්නට කියාල චන්දය හිගාකන දැන්වීම් වලට අත්සන් තියන වියත් සේල්ස්රෙප්වරුන් ගැන හොද වැටහීමක් ලබා ගන්න නම් මාසයක් පුවත්පත් කාර්යාලයක රැදිලා හිටියොත් හොදටම ඇති. වීරයන් විදියට කෑ මොර දෙන බොහොමයක් දේශපාලන පුහු වීරයන් පාර්ලිමේන්තුවේ කතාව ඉවර කර ගමන්ම පත්තර වාර්තාකරුවන් රැදිලා ඉන්න ගැලරියට දුවගෙන ඇවිත් පිංසෙණ්ඩු වෙන්නේ තමන්ගේ කතාවෙන් හෙඩිමක් ගන්න කියලයි. ඒ වගේම පත්තරේ පළවෙන තමන්ගේ රූපය පරණ එකක් කියලා නොක්කඩු කියමින් රැඩිකල් පෙනුමක් තියෙන පිංතූර තොග පිටින් ගෙනත් දෙනත්නෙත් මේ මහා දේශප්රේමීන්ම තමයි. (මේ විදියට පුහු ප්රසිද්ධිය පස්සේ දුවගෙන නොගිය එකම දේශපාලන මහත්මයා විදියට මට නම් හමුවෙලා තියෙන්නේ ලක්ෂ්මන් කදිරගාමර් කියන චරිතය විතරයි.)

ඉතින් මේ දේශපාලකයන් එක්ක කතුවරුන්ගේ තියන සුහදත්වය එක්ක එහෙමත් නැතිනම් පත්තර අයිතිකාරයාගේ තියෙන සුහදත්වයේ ප්රමාණය අනුව කොයි තරම් ඉඩ ප්රමාණයකින් ඒ කතාව පළ වෙනවාද කියලා තීරණය කෙරෙනවා. ඒ බැදීම හුගාක් ඉහළ නම් පුවත්පත් සාකච්ඡාවක් පවා පළ කෙරෙනවා පමණක් නෙමෙයි ඒ පුවත්පත් සාකච්ඡාව පළ වෙන්නට කලින් ඒක සංස්කරණය කරන්න දේශපාලකයාටම ඉඩකඩ ලැබෙනවා. තවත් සමහර අවස්ථාවල වාර්තාකරුවෙක්ගේ නම පමණක් කුලියට අරගෙන දේශපාලකයාම ප්රශ්න හදලා එයාම ඒවාට පිළිතුරු ලියලා දෙනවා. දේශපාලකයාම තමන්ගෙන් අහගන්න බොහොම රැඩිකල් ප්රශ්න දකින අපේ අහිංසක පාඨකයන්ට හිතෙන්නේ බය නැතිව මේ විදියේ ප්රශ්න අහලා එන්න කොයි තරම් නිර්භීතකමක් තියෙන්න ඕනේද කියලා.  ඉතින් බොහොම හිත උණුවෙන පාඨකයන් බොහෝ පිරිසක් පත්තර කන්තෝරුවට කතා කරලා වාර්තාකරුවාට විතරක් නෙමෙයි කතුවරයාගේ අම්මාට තාත්තාට පවා සෙත් පතලා පරිස්සමින් ඉන්න කියලා කියන්න අමතක කරන්නේ නැහැ.

ඔය විදියටම කතුවරුන්ගේ හිත් ගත්ත එහෙමත් නැතිනම් පොඩි පොඩි වාසි එහෙම ලබා දෙන කලාකරුවොත් ඉන්නවා. මේ මහා කලාකරුවන් මොන ගොන් පාට් එකක් කළත් ඒක දැවැන්ත දෙයක් විදියට කතුවැකි පවා ලියැවෙනවා. ඒත් නමක් හදා ගත්ත නැති තරුණයෙක් බොහොම දුක් මහන්සියෙන් නිර්මාණයක් කළොත් ඒ නිර්මාණයට විතරක් නෙමෙයි තරුණයාගේ අග පසගවලට පවා පුද්ගලිකව පහර දෙන්න දෙසැරක් හිතන්නේ නැහැ. මේ නිසා නමක් හදාගත්ත මහා කලාකරුවන් කලාකාරිනියන් අනුන්ගේ සිංදු කියලා සීඩී පටියක් ගැහුවත් ඒ ගැන තීරු ලිපි ලියැවෙන්නේ ඒක හොරකමක් විදියට නෙමෙයි…බෙහොම වර්ණනාවක් ඇතිව නැවුම් සංකල්පයක් විදියටයි.  ඒත් අලුතින් බිහිවෙන කලාකරුවෙක් තමන්ගේ නිර්මාණයකට ග්රැම‍ෆෝන් සිංදුවක කෑල්ලක් යොදා ගත්තොත් අන්තිමට ඒ කලාකරුවාට රට හැර නොයන්න පාර නොකැපුණොත් පුදුමයක්.

ඉතින් මේ විදියට අපේ ජනතාව අවුරුද්දේ දවස් 365 ම මෝඩයාගේ දවසට අදින හැටි ගැන කතා කරන්න ගියොත් කෙළවරක් නැහැ.

මේ ලිපිය ඉවර කරන්න කලින් තවත් පොඩි කතාවක් සිහිපත් වෙනවා. එක්තරා කාලයක දිවයින පුවත්පතේ බොහොම ජනප්රිය අතිරේකයක්ව තිබුණු බදාදා අතිරේකය සංස්කරණය කළේ කිත්සිරි නිමල් ශාන්ත කියන බොහොම සුන්දර මිනිසෙක්. සාහිත කලාවටම වෙන්වෙලා තිබුණු මේ අතිරේකයේ ලිපියකට අදාල පිංතූරයකට වික්රමසිංහගේතේ , කුමාරතුංගගේත් පිංතූර දෙකක් පුස්තකාලයෙන් ගේන්නට කියලා නිමල් ශාන්ත කියන සංස්කාරකවරයා තමන් යටතේ හිටිය මාධ්‍යවේදීයෙකුට කිව්වා. සංස්කාරකවරයා එ නම් දෙකෙන් අදහස් කළේ අපේ සාහිත කලාවේ අමරණීය සලකුණු තැබූ දෙන්නෙක් ගැනයි.  ඒ කියන්නේ මාර්ටින් වික්රමසිංහ හා මුනිදාස කුමාරතුංගයි. ඒත් අපේ මේ මාධ්‍යෙව්දියා පුස්තකාලයෙන් අරගෙන ආවේ රනිල් වික්රමසිංහගේත්, චන්ද්රිකා කුමාරතුංගගේත් පිංතූර දෙකක්. ඒකට හේතුව පොතක් පතක් කියවීමේ පුරුද්දක් නොතිබූ මේ මාධ්‍යෙව්දියාගේ ලෝකයේ සිටි එකම කුමාරතුංග සහ වික්රමසිංහ චරිත දෙක රනිල් සහ චන්ද්රිකා වීමයි. මේ සිද්ධියෙන් මාස කිහිපයක් යන්නටත් කලින් මේ මාධ්‍යෙව්දියා පුවත්පතේ ප්රධාන ප්රවෘත්ති කර්තෘ ධුරයට පත් වුණා. මේ සිද්ධියත් මෙතැනට අදාළ කරගත්තේ ඒ මාධ්යවේදී  මිතුරා අවමානයට ලක්කිරීමේ අදහසින් නම් නෙමෙයි. පුවතක් ජනතාව කියවිය යුතුද යන්න නිගමණය කරන අද දවසේ පුවත් කතුවරුන් බොහොමයක් ඒ මට්ටමේ සිටින බව දන්නා නිසයි.

ඒ වගේම අවසාන වශයෙන් අපේ රටේ මාධ්‍ය ලෝකයේ සිද්ධ වෙන තවත් විකාරයක් ගැන නම් නොකියාම නවත්වන්නට හිතෙන්නේ නැහැ. ඒ තමයි කර්තෘ සංසදය මගින් සිද්ධ වෙන වසරේ විශිෂ්ටතම හා ජනප්රියතම මාධ්‍ය සම්මාන පිරිණැමීමේ උත්සවය ගැනයි. මේ සංසදය මගින් වසරේ විශිෂ්ටතම මාධ්‍යවේදියා , වසරේ හොදම පුවත්පත් ලිපි , කාටුන් , තීරු ලිපි , විද්යුත් මාධ්‍ය සදහා වන සම්මාන සියල්ලම පිරිනැමෙන්නේ අපූරුම ආකාරයටයි. ඒ කියන්නේ සම්මාන ගන්න අවශ්‍ය නම් තමන්ට සම්මානයක් ඕනේ කියලා ඉල්ලුම් කරන්නට ඕනේ. තවත් සරලව කියනවා නම් තමන්ම තමන්ගේ ලිපි , කාටුන් කපලා අලවලා අනේ මටත් සම්මානයක් දෙන්න සලකලා බලන්න කියලා කර්තෘ සංසදයට යවන්න ඕනේ. (විලි ලැජ්ජාවක් කියලා දෙයක් තියෙන කිසිම මිනිහෙක්ට ඒ වගේ දෙයක් කරන්න බැරි නිසා එහෙම දෙයක් තියෙන අය සම්මානයක් ගන්න ඉල්ලුම් කරන්නේ නැහැ.) ඉතින් මොකක් හෝ අංශයකට … උදාරහණයක් විදියට අපි හිතමු හොදම තීරු ලිපියට කියලා… කවුරුන්  හරි ඉල්ලීමක් කළොත් ඒ අංශයෙන් ඉල්ලීමක් කළේ එයාම විතරයි නම් වසරේ විශිෂ්ටතම තීරු ලිපි රචකයා වෙන්නේ එයයි. බොහොම වෙලාවට ඒ විදියට සම්මාන ඉල්ලලා ලියුම් යවන්නේ දක්ෂයන් නොවෙන හින්දා මේ සම්මාන ගන්න හරිම ලේසියි. ඒ නිසා විලි ලැජ්ජාව කියලා දෙයක් තියෙන මිනිහෙක් කොයි තරම් හොද තිරු ලිපි සිය ගණනක් ලියලා තිබුණත් , කොයි තරම් කාටුන් ඇදලා තිබුණත් , තමන්ගේ රැකියාව වෙනුවෙන් කොයි තරම් කැපවීමකින් කටයුතු කරලා තිබුණත් අඩුම තරමින් එයා පත්තරයක තේ හදන මල්ලි කෙනෙක් තරමටවත් පිළිගැනේනේ නැහැ. එක අතකින් ඒක වැරදිත් නැහැ. සම්මාන විතරක් නෙමෙයි ආචාර්ය උපාධිකම් එහෙමත් නැතිනම් අඩුම තරමින් මන්තිරිකෙනෙක් වෙන්නවත් ඕනේ නම් විලි ලැජ්ජාව කියන එක පැත්තකට දාන්න ඕන රටේ මාධ්‍ය කලාවට විතරක් මොකටද විලි ලැජ්ජාවක්…? අනෙක් අතට විලි ලැජ්ජාව තියාගෙන පත්තර ටීවී කරන්න ගියොත් ඒවා වහලා දාන්නනේ වෙන්නේ…!

ඉතින් මේ නිසා කාටුන් ගැන මෙලෝ දෙයක් දන්නේ නැතිව කතුවරයා කියන විදියට මොනව හරි දෙයක් ඇදලා දෙන තැනැත්තා වසරේ හොදම කාටුන් ශිල්පියා වෙනවා. (එහෙම වුණ අවස්ථා ඕන තරම් තියෙනවා).  දේශපාලන පක්ෂවලින් මුදල් ලබාගෙන ඒ ඒ පක්ෂවල දේශපාලකයන් ලියලා දෙන හෑලි ටික එකතු කරලා ඒක මොකක් හරි විග්රහයක් කියලා තමන්ගේ නමින් පළ කරන පුද්ගලයා හොදම තීරු ලිපිරචකයා වෙනවා. (ඒ විදියට ස්ථාවරම දේශපාලන පක්ෂවලින් මුදල් ගන්න අය පුවත්පත්වල වගේම රූපවාහිනී ආයතනවලත් ඉහළම පුටුවල ඉදන් පහළම පුටු දක්වා විවිධ තරාතිරම්වලින් ඉන්නවා) . මාර්ටින් වික්රමසිංහ කියන්නේ කවුද කියලා දන්නේ නැති කෙනෙක් වසරේ විශිෂ්ටතම පුවත්පත්කලාවේදියා බවට පත්වෙලා දහසින් බැදි පියලි වගේම පත්තරේ මුල්පිටුවේ පිංතූරයකුත් පළ කරගන්නවා. අන්තිමේදී මේ පිංතූර එක්ක ලැබුණු සම්මානය ඉදිරිපත් කරලා පිටරටින් ලැබෙන බොහොමයක් සංචාරවලට එක්වෙලා සල්ලි හම්බු කරගන්නවා විතරක් නෙමෙයි රටත් ගද ගස්සවනවා.

මේ ලිපිය අවසන් කරන්නට කලින් තවත් එක් දෙයක් කියන්නටම ඕනේ. මේ සිද්ධවෙන ජරා ජීර්ණ නාටකයට එක් නොවී ඒ වගේම නිරන්තරයෙන්ම දේශපාලකයන්ගෙන් ලැබෙන සාදයන්ට සහභාගි නොවෙමින් තමන්ට හැකි මට්ටමින් යමක් කරන්නට උත්සාහ දරන ඒ වගේම විලි ලැජ්ජාව කියන දෙයත් ඉතිරි වෙලා තියෙන සැබෑම සැබෑ මිනිසුන් පිරිසකුත් තවමත් පෑන අතැතිව ඉන්නවා.

ඒ දයාබර සොහොයුරන්ට මගේආචාරය..!

රුපියලකින් සුමානයක් ම කන්න පුලුවන්…!

රුපියලකින් සුමානයක් ම කන්න පුලුවන් …!

ආනන්ද විජයවීර මහතා මිය ගිය දුක්බර පුවත කිසියම් පුවත්පතක තිබී මගේ නෙත ගැටුණේ සති කිහිපයකට පෙරදීය. වසර 40 ක කාලයක් පුරා රාජ්‍ය සේවයේ බොහෝ තනතුරු දැරූ මේ සුන්දර මිනිසා සතුව බොහෝ අත්දැකීම් තිබූ අතරම ඔහු බොහෝ ඇසූ පිරූ තැන් ඇති මිනිසෙක් ද වූයේය. අද දවසේ පරිපාලන සේවයේ නිලධාරීන් ළග බෙහෙවින්ම දුර්ලභ වූ නිහතමානීකමින් පිරී සිටි ඔහු බෙහෙවින්ම සරල මිනිසෙක් ද වූයේය. වසර 50 කට අධික කාලයක් පුරා මාධ්‍ය කලාවේ ද නිරත වූ ඔහු පොත් පත් රැසක් ද ලියා පළ කළේය.

මා විසින් සංස්කරණය කරන ලද පුවත්පත් අතිරේකයක් සදහා අදින් වසර 11 කට පමණ පෙර මේ අපූරු මිනිසා සමග මා කළ සංවාදයක් සහිත පුවත්පත් පිටුවක් දින දෙක තුනකට පෙර මා නෙත ගැටුණේ අහම්බෙනි.  මේ සුන්දර මිනිසාට කරන ගරු කිරීමක් වශයෙන් එම සාකච්ඡාවෙන් උපුටා ගත් කොටස් කිහිපයක් මෙසේ පළ කරන්නේ ඔහුට නිවන් සුව ද පතමිනි. (මේ සමග පළ කිරීම සදහා ඒ මහතාගේ ඡායාරූපයක් මා සතුව නොවීම කණගාටුවට කරුණකි) (මෙම ලිපිය 2000 වසරේදී දිවයින පුවත්පතේ මුල් වරට පළවිය)

“ මං උපන්නේ 1925 අවුරුද්දේ දෙවුන්දරදී. ඒ කාලයේ ඉංගිරිසි දැනුම නැතිව රස්සාවක්වත් හොයා ගන්න බැරි නිසා මම වැල්ලවත්තේ හිටිය මගේ මාමා කෙනෙක්ගේ ගෙදර ඇවිත් නතර වුණා. එදා අද වගේ නෙමෙයි. පාරක තොටක ඇවිදින්න කිසිම බයක් නැහැ. අද වගේ දරුණු මිනිස්සු හිටියෙත් නැහැ. කොළඹ හැම පත්තර කන්තෝරුවකටම මම ගියේ පයින්මයි. වැල්ලවත්තේ ඉදලා මරදානට , පිටකොටුවට ඔය හැම තැනකටම පයින්මයි ඇවිද්දේ. ගාලු පාර අද තියෙන පළලෙන් අටෙන් එකක්වත් නැහැ. බොහොම පටුයි. බස් දෙකක් මාරු වෙන්නත් බැරි තරම්. මුලු ගාලු පාර දිගටම විශාල ගස් වවලා තිබුණා. කොච්චර දුර ඇවිද්දත් ඇගට මහන්සියක් දැනෙන්නේ නැහැ. හුගාක් දෙනා පුරුදු වෙලා හිටියේ පයින්ම තමයි ගමන් බිමන් යන්න.

ඩබ්ලිව්. ඒ සිල්වා මහත්මයා පදිංචි වෙලා හිටියේ වැල්ලවත්තේ නිසා මමත් ඒ මහත්මයාව දැන හදුනාගෙන හිටියා. ඩබ්ලිව්. ඒ. සිල්වා පොත්පත් ලියනවාට අමතරව ” නුවණ ” කියලා බොහොම ජනප්රිය සගරාවකුත් කළා. මම ලිව්ව කවි පොතකට පෙරවදනක් ලියවගන්න 1943 අවුරුද්දේ දවසක මම ඒ මහත්තයව හමුවෙන්න නොරිස් පාරේ තිබුණු එයාගේ කන්තෝරුවට ගියා. අද ඒ පාරට කියන්නේ පිටකොටුවේ ඕල්කට් ‍මාවත කියලයි. ඩබ්ලිව්. ඒ සිල්වා ඒ කාලයේ ගමන් බිමන් ගියේ කෝච්චියෙන්. ටයි කොට් ඇදලා , තොප්පිය දාගෙන සම්පූර්ණ ඇදුමින් සැරසිලා තමයි හැම තිස්සේම ඉන්නේ. කතා බහ කරන්නේත් හුගාක් සද්දෙන් තමයි. ඒ වගේම ඕනෑම කෙනෙකුට කතා කරන්නේත් ” තමුසෙ ” කියලයි. ඉතින් මම පොතට පෙරවදනක් ලියවා ගන්න ගියාම , ” මේකට මං මොනව හරි ලිව්ව කියලා තමුසෙට ඇති වැඩය මොකක්ද.. ? එහෙම නෙමෙයි… මං තමුසෙට වචනයෙන් උදව්වක් කරන්නම්. තමුසෙට ඉංගිරිසි ටිකක් පුලුවන්නේ… පුලුවන් තරම් ඉංගිරිසි කියවනවා. ඉංගිරිසි පත්තර , සගරා , කතුවැකි , ලිපි  , නවකතා , කෙටිකතා පුලුවන් තරම් කියවනවා. ඒක තමයි අනාගතයේ දී තමුසෙට කවදාහරි හොදම උදව්කාරයා වෙන්නේ…” කියලා කිව්වා. ඇත්තටම ඒ අවවාදය මගේ ජීවිතයට ලොකුම උදව්වක් වුණා.

ජපන්නු ලංකාවට බෝම්බ දාපු වෙලාවේ මං හිටියේ වැල්ලවත්තේ. බෝම්බ දැන හැටිත් මං බලාගෙන හිටියා. කුරුල්ලෝ පෙළක් දෙපැත්තෙන් පියාඹගෙන යනවා වගෙයි ගුවන්යානා ටික ගියේ. බිමට ලෝහ කෑලි වැටෙන්න ගත්තා. මිනිස්සු කොට්ට පැදුරු අරගෙන ඔලුව හැරුණු අත දුවන්න තියා ගත්තා.

1939 යුද්ද කාලයේ ගාලු පාරේ බොහොම තැන්වල යුද්ධ භටයෝ සෑහෙන හිටියා. ඒ ඔක්කොම සුද්දෝ. ඒ අයගේ ලිංගික අවශ්‍යතාවන් ඉටු කරගන්න බොහොම හැඩි දැඩි සුදු ගැහැණු ලංකාවට ගෙන්වලා තිබුණා. ඒවා කෙරුණේ හැංගි හොරා නෙමෙයි. ඒත් ලංකාවේ සමහර ගැහැණු අයත් සල්ලිවලට හොර රහසේ ඒ කටයුතු කළා. වැල්ලවත්තේ සැවොයි සිනමා ශාලාවට ඉස්සර බායි කෙනෙකුට අයිති තට්ටු දෙකක විශාල ගෙයක මේ සුදු ගැහැණු 200 ක් විතර නවත්තලා තිබුණා. මේ අයව හැදින්වුවේ ” රෙන්ස් “ කියලයි. ඒ දවස්වල මේ අය නාන ඇදුම් ඇදගෙන පාර දිගේ වැල්ලවත්තේ මුහුදට නාන්න යනවා. අද වැල්ලවත්තේ ඇළ කුණු ඇළක් වුණත් එදා ඒක බොහොම පැහැදිලි පිරිසිදු වතුර තිබුණු තැනක්. සුදු පාට වැල්ල පවා පේන තරම් පැහැදිලියි. එදා බොහොම දෙනෙක් වැල්ලවත්ත ඇළේ නාන්න එනවා.

අංගොඩ මානසික රෝහලේ මම සේවය කළේ 1950 ගණන්වල. රෑට මුලු රෝහලම බලාගන්න සිද්ධ වුණේ මට. කාන්තා රෝගීන් සහ පිරිමි රෝගීන් වෙන් කරලයි වාට්ටු හදලා තිබුණේ. ඒ කාලයේ මානසික රෝහලේ අප්පුහාමි කියලා ලෙඩෙක් හිටියා. කොණ්ඩෙ එහෙම බැදලා පිරිසිදුව හිටිය කෙනෙක්. හරිම විශ්වාසවන්තයි. මේ නිසා මම කොහේ හරි යද්දී කාමරේ යතුර පවා දීලා ගියේ එයාට. බිබිලේ හරියේ දී පොලිසියෙන් අල්ලලයි මෙයාව පිස්සන් කොටුවට ගෙනැල්ලා දාලා තිබු‍ණේ. එයාගේ ගම , ගෙවල් දොරවල් ගැන මුකුත් කියන්න එයා දන්නේ නැහැ. හැබැයි අතේ තියාගෙන නළවපු පුංචි පුතෙක් හිටිය බව විතරක් එයාට මතකයි. ඉතින් අපි මේ පුද්ගලයා ගැන තොරතුරු දැනුම් දුන්නාම එක දවසක දොඩම් කූඩයකුත් අරගෙන තරුණයෙක් ආවා. අප්පුහාමිගේ පෙනුමමයි. කිසිම වෙනසක් නැහැ.

” අප්පුහාමි මෙන්න පුතා ඇවිත්… ” කියලා අපි කිව්වම අප්පුහාමිට යකා නැග්ගා.

” මට මේ තරම් ලොකු පුතෙක් හිටියේ කොහේ ද …? මේ මගේ හතුරෝ එවාපු බිල්ලක්. මට හිටියේ මේ තරම පුතෙක්…” කියලා දෝත දික්කරලා පෙන්නලා තරහින් යන්න ගියා.

මම මානසික රෝහලේ නැවතිලාමයි හිටියේ. රෑට කාන්තා වාට්ටුව පැත්තෙන් පැල් කවි , සීපද ඇහෙනවා. අඩනවා ඇහෙනවා. සමහර කාන්තාවන් පොල්ගස් පවා නගිනවා. පිරිමි අය නම් හුගාක් වෙලාවට හැසිරෙන්නේ බොහොම සැර පරුෂ විදියට. මම රෝහලේ සේවය කළ කාලයේ මානසික රෝගීන් එක්ක පෙම් සබදතා ඇති කරගත් ලිපිකරුවන් හිටියා. ඒ‍ වගේම රෝහලේ සේවිකාවන් එක්ක පෙම් සබදතා ඇති කරගත් රෝගීන් හිටියා. මට මතකයි ඒ කාලයේ හිටපු රෝහල් සාත්තු සේවිකාවට එක රෝගියෙක් පෙම් කළා. මේ සේවකාවත් මේක විහිලුවට අරගෙන එයාට ලියුම් ලියන්න පටන් ගත්තා. මේක දුරදිග ගිය නිසා රෝගියාව වෙනත් අංශයකට දාන්න සිද්ධ වුණා. මේකට රෝගියාට හොදටම තරහා ගියා. එයා තට්ටු තුනේ පරිපාලන ගොඩනැගිල්ලේ උඩම තට්ටුවට නැගලා මේ සාත්තු සේවිකාව ඉල්ලලා දවස් එක හමාරක්ම පෙම් ලියුම් ඉර ඉරා බිමට විසි කර කර හිටියා. මෙයාව බිමට ගන්න ගිනි නිවන හමුදාවත් ගෙන්නුවා. ඒත් ගිනි නිවන හමුදාවේ තිබුණු ඉනිමං මේ ගොඩනැගිල්ලේ මුදුනට නගින්න තරම් මදි. අන්තිමේ දී ඉනිමං දෙකක් එකතු කරලා තමයි උඩ තට්ටුවට ඒක තියන්න පුලුවන් වුණේ. ඔය වෙලාවේ අර රෝගියාට නින්ද ගිහිල්ලයි තිබුණේ. කොහොම හරි අහම්බෙන් නින්දෙන් නැගිටලා මේ ඉනිමං දැක්ක ගමන් රෝගියා එතැන ඉදන් බිමට පැන්නා. බිමට වැටෙද්දීම බිම හිටියා ගිනි නිවන හමුදාවේ නිලධාරියෙක් උඩ පැනලා මෙයාව ඈතට තල්ලු කළා. මේ නිසා කකුල විතරක් කැඩිලා බේරුණා. නැතිනම් මුලු ඇගම සුණු විසුණු වෙලා යනවා.

ජපන්නු ලංකාවට බෝම්බ දාපු වෙලාවේ එක් බෝම්බයක් පිස්සන් කොටුවටත් වැටිලා රෝගීන් පිරිසක් මිය ගියා. මේ අයව රෝහල් භූමියේම භූමිදාන කරලා තිබුණා.

යුද්ධ කාලයේ කොටුව ස්ටේසම ඉස්සරහ ආනන්ද භවන් , ලක්ෂ්මී භවන් කියලා හෝටල් දෙකක් තිබුණා. ආනන්ද භවන් හෝටලයේ අයිතිකාරයා කොළඹ හිටපු නගරාධිපති ටී. රුදා. යුද්ධ කාලයේ ඔය හරියේ බත් කන්න තැනක් තිබුණේ  නැහැ. ඉතින් අපි ඔය හෝටල් දෙක ඉස්සරහ පෝලිමේ ඉදලා තමයි තොසේ කෑවේ. තෝසේ එකක් සත පහයි. එකක් කෑවම හොදටම බඩ පිරෙනවා.

යුද්ධ කාලයේ සාමාන්‍ය මිනිස්සුන්ට කන්න තිබුණේ බජිරි , තිරිගු , කම්බෝ වගේ දේවල්. ඔය කියන කම්බෝ කියන ඒවා මුං ඇට වගේ ජාතියක්. තැම්බුවට ටිකක් සෙවල වගේ තියෙනවා. ඒවා තම්බලා තමයි බත් වෙනුවට කෑවේ. හාල් තිබුණේ නැතිම තරම්.

ඒ කාලයේ පිටකොටුව හරිම පාලුයි. සෙනගත් අඩුයි. ඒත් බයක් හැකක් නැතිව ඕන රැයක යන්න  එන්න පුලුවන්කම තිබුණා. ඒ කාලයේ මට මතකයි “චින්තාමනී “ කියලා සිනමා පටයක් පිටකොටුවට ආවා. මේක හරිම ජනපිය වුණා. කොයි තරම් ජනපිය වුණා ද කියනවා නම් සිනමා පටිය බලලා සමහර අය චින්තාමනීව හැබහින් බලන්න ඉන්දියාවටත් ගියා. එහෙම යන්න ගිහින් මගදී මැරුණු අයත් හිටියා. ඒ කාලයේ නාඩගම් එහෙමත් හරියට තිබුණා. පොල් අතු මඩුවල එක නාඩගම සුමානයක් විතර පෙන්වනවා. මරදානේ ගාමිණී හෝල් එක තිබුණු තැන එදා තිබුණේ ටකරන් මඩුවක්. එතැනත් නාඩගම් පෙන්නුවා. උස් ගොඩනැගිලි එදා තිබුණෙ නැහැ.

පිටකොටුවේ දෙමළ මිනිස්සුන්ගේ බත් කඩත් හරිම පසිද්දයි. ඒවායේ දිග මේසවල එක පෙළට දිග බංකු තියලා තිබුණා. කෑම කන්න ආවම කෙහෙල් කොළ එක දිගට බෙදාගෙන බෙදාගෙන යනවා. ඊට පස්සේ උණු උණුවේ බත් බෙදාගෙන යනවා. ඇති වෙනකල්ම බත් බෙදනවා. කොච්චර කෑවත් සත පනහයි. මස් මාලු නැහැ. සිකුරාදාට විතරක් ” පාසායම් ” කියලා විශේෂ බීම වීදුරුවක් දෙනවා. ඒක කහ පාටට හුරු කැද වගේ දෙයක්. ඉදියප්ප වගේ පොඩි පොඩි දේවලුත් ඒකට දානවා. ඒක හරිම රසයි.

චැතැම් වීදියට හැරෙන තැනම ඒ කාලයේ Grand Hotel කියලා හෝටලයක් තිබුණා. එතැනත් බත් එක සත පනහයි. එතැන තිබුණු විශේෂත්වය නම් මාලු ඔලුවක් සත 35 කට තිබුණු එකයි. ඒ මාලු ඔලුව හරිම ලොකුයි. ඒකේ කටු එහෙම අයින් කරලා , හොදට ලුණු මිරිස් දාලා උකුවට හදලා ලොකු පීරිසියක ලස්සනට තියලා තියෙනවා. ඒක විතරක් කෑවත් බඩ පිරෙනවා. හුගක් අය ඒක කන්නම එතැනට ගියා.

ඉස්සර පිටකොටුවේ දොඩම් වෙළෙන්දෝ හරියට හිටියා. ඒ ඔක්කොම බිබිලේ දොඩම්. ඒවා හරිම පැ‍ණි රසයි. ඒ දවස්වල ඒ කියන්නේ 1936 දී විතර රුපියලක් අරගෙන කඩේට ගියාම මුලු සුමානයටම සෑහෙන්න රට ලුණු  , රතු ලූණු , මිරිස් , තුනපහ , හාල් ඔය හැම දෙයක්ම අරගෙන තව සෑහෙන මුදලක් ඉතිරිත් වෙනවා.

මට මතකයි මගේ මාමා කෙනෙක් දුම්රිය දෙපාර්තමේන්තුවේ වැඩ කළා. එයාගේ මාසේ පඩිය රුපියල් 27.50 යි. මාමගේ ගෙදර ලොකු පෙට්ටගමක් තිබුණා. ඒකේ එක පැත්තක මාසයටම කන්න හාල් දාන්න පුලුවන්. අනෙක් පැත්ත ලාච්චුවලට වෙන් කරලා තිබුණා. තවත් පැත්තක් කුලුබඩු දාන්න පුලුවන්. ඉතින් මාමාට පඩි අරගෙන මුලු මාසයට ම සෑහෙන හාල් තුන පහ , කුලු බඩු එහෙම අරගෙන ඔය පෙට්ටගම පුරවන්න රුපියල් 7.50 ක් වත් වියදම් ගියේ නැහැ.

ඒ කාලයේ අපේ රට සුද්දන් පාලනය කළාට අපේ පාලකයන්ට වඩා හොදට ඒ අය රට පාලනය කළා. අද වගේ අයුතු අසාධාරණකම් එදා තිබුණේ නැහැ.

කලාවැව හැදුවේ විජය රජ්ජුරුවෝ ද ….?

මගේ හිතවතෙක් ළගදී මට අපූරු කතාවක් කිව්වා.

මේ කතාව කොයි තරම් දුරට ඇත්ත කතාවක් ද කියලා කියන්න මිතුරා හරිහැටි දැන හිටියේ නැතත්  ඒ කතාවෙන් මතු කරන හාස්‍යය යටින් තියෙන්නේ කොයි තරම් කටුක ඇත්තක් ද කියලා මට ආපහු වතාවක් මතක් වුණේ ඊයේ පෙරේ දා දැක්ක පුවතක් නිසයි.

ඒ පුවත කියන්නට කලින් මිතුරාගේ කතාව කියන්නට සිද්ධ වෙනවා.

පහුගිය කාලය පුරාවටම බොහෝරජයේ රැකියාවල පුරප්පාඩු පිරවෙන්න පටන් ගත්තේ දේශපාලකයන්ගේ හරි ඒ අයගේ බිරින්දෑවරුන්ගේ(එහෙමත් නැතිනම් අනියම් බිරියන්ගේ ) , ඔවුන්ගේ දූ දරුවන්ගේ හිත මිතුරු හෙංචයියලාගෙන්බව කවුරුත් දන්නා දෙයක්. මේ නිසාම රජයේ රැකියාවන්වන් වෙනුවෙන් පුවත්පත්වල දැන්වීම් පළ වෙන්නේ ඇමතිවරයාගේ හිතවතා තනතුරට තෝරා ගැනීමෙන් පස්සේ කියලා හැමෝම දන්නවා.

මගේ මිතුරාගේ කතාවට පදනම්වෙච්ච තරුණයාත් ඔය කියන ඇත්ත හොදින්ම දැනගෙන හිටිය කෙනෙක්. අයදුම් කරන හැම රස්සාවක් ම ඇමති හෙංචයියන්ගෙන් පිරවෙන බව දැන දැනත් මේ තරුණයා රජයේ රැකියාවන්ටත් ඉල්ලුම් පත් දිගටම යැව්වේ ජීවත් වෙන්නට රස්සාවක් ඕන වෙලා තිබුණු නිසයි.

මේ තරුණයාට තිබුණේ ඉතිහාසය පිළිබද විශේෂ උපාධියක්. තමන්ගේ සුදුසුකම්වලට ගැලපෙන තනතුරක් රජයේ ආයතනයක තියෙනවා දැකපු මේ තරුණයා ඒ තනතුරටත් ඉල්ලුම් කළා වගේම සුපුරුදු විදියටම සම්මුඛ පරීක්ෂණයටත් ඔහුට කැදවීම ලැබුණා. සම්මුඛ පරීක්ෂණයට යන්න තීරණය කළාටත් පස්සේ තමයි ආයතනය ඇතුළේ ඉන්න හිතවතෙක්ගෙන් දැනගන්නට ලැබුණේ ඒ තනතුරටත් ඇමති හෙංචයියෙක්ගෙන් අරගෙන ඉවරයි කියලා. ඒත් හිතේ අමාරුවටත් එක්ක සම්මුඛ පරීක්ෂණයට යන්න තරුණයා තීරණය කළා.

පුරප්පාඩු වෙච්ච තනතුරට ගන්න කෙනා තීරණය කරලත් ඉවර වුණත් පුරුදු විදියටම මහා ගරු ගාම්භීර විදියට තමයි සම්මුඛ පරීක්ෂණය කෙරුණේ. පරීක්ෂණ මණ්ඩලයට නිලධාරීන් තුන් දෙනෙක්ම ටයි පටි ගැට ගහගෙන මහා බැරෑරුම් මුහුණු එහෙම හදා ගෙන තමයි හිටියේ. බොහොම අමාරුවෙන් ඉගෙන ගෙන ලබා ගත්ත අධ්‍යාපන සුදුසුකම් ටිකත් ෆයිල් කවර වල දාගත්ත අහිංසකයන් බොහොම දෙනෙක් බලාපොරොත්තු පොදි බැදගෙන සම්මුඛ පරීක්ෂණයට අවස්ථාව ලැබෙනකම් පෝලිම් ගැහිලා කාමරයෙන් එළියේ බලාගෙන ඉන්නවා.

ඉතින් මේ පෝලිමේ සෑහෙන වෙලාවක් කාලය ගත කරලා අන්තිමට අපේ තරුණයාටත් පරීක්ෂණ මණ්ඩලය ඉස්සරහට යන්න හම්බු වුණා. හැමදාමත් මේ කරන රැවටීම ගැන පුදුමාකාර කලකිරීමකින් වගේම දරා ගන්න බැරි තරහකිනුත් හෙම්බත්වෙලා තමයි අපේ තරුණයා ඒ වෙනකොට හිටියේ.

කවදත් අහන පුංචි පුංචි දේවල් ටික ඇහුවට පස්සේ එක් නිලධාරියෙක් බොහොම ගාම්භීරව කටහඩ අවදි කළා.

“ තමුන්ට තියෙන්නේ ඉතිහාසය ස්පෙෂල් උපාධියක් නේද… කියන්න බලන්න කලාවැව හැදුවේ කවුද කියලා…? ”

“ විජය රජ්ජුරුවෝ… ” තරුණයා ගත් කටටම කිව්වා. නිලධාරීන් ටික මුහුණට මුහුණ බලා ගත්තා.

“ එහෙමනම් කියන්න බලන්න රුවන්වැලිසෑය හැදුවේ කවුද කියලා…” තවත් නිලධාරීයෙක් කටහඩ අවදි කළා.

“ රාජසිංහ රජ්ජුරුවෝ…  ”තරුණයා එක සැරේම කිව්වා.

“ තමුන්ගේ උපාධිය නම් ඉතිහාසය ස්පෂෙල්.. එත් කලාවැව , රුවන්වැලිසෑය හැදුවේ කවුද කියලා කියාගන්න දන්නේ නැහැ… ” මෙතෙක් වෙලා නිහඩව හිටිය අනෙක් නිලධාරියා බොහොම අවඥාවෙන් කිව්වා.

කිසිවක් නොකිව්ව තරුණයා මේසය පුරා තිබුණු සහතික ටික තමන්ගේ ෆයිල් කවරයට දාගත්තා. ෆයිල්කවරයත් අරගෙන නැගිටලා යන්න ගිහින් ආපහු මේසය ළගට ඇවිත් නිලධාරීන් තුන්දෙනාගේ මුහුණට එබිලා බැලුව තරුණයා මෙහෙම කිව්වා.

“ හරි මම ඔය මුලින් අහපු දේට ධාතුසේන රජ්ජුරුවෝ කියලා දෙවැනියට අහපු දේට දුටුගැමුණු රජ්ජුරුවෝ කියලා කිව්ව නම් තමුසෙලා මාව රස්සාවට ගන්නව ද ….? ”

සමහර හාස්‍යයන් බොහොම කටුකයි. එහෙම වෙන්නේ ඒ හාස්‍යයට තුළින් කටුක සත්‍යයක් ඉස්මතු වෙන කොටයි.

මේ කතාව කියන්නට කලින් මා සදහන් කළ පුවත ගැන කියන්නට දැන් වෙලාව සුදුසුයි.

මේ පුවතට පදනම් වෙලා තිබුණේ විදේශ සේවා නිලධාරීන් බදවා ගැනීමක් ගැනයි. සාමාන්‍යෙයන් විදේශ සේවාවන්ට
නිලධාරීන් බදවා ගැනීම සිදුවෙන්නේ දැඩි තරගකාරී විභාගයකට පස්සේයි. ඒකට හේතුව විදේශ සේවා වෘත්තිය සාඩම්බර වෘත්තියක් ලෙසින් සැලකීමත් , එම තනතුරට පත් වෙන පුද්ගලයන්ට විශේෂ තානාපති වරපසාද සමග තම දරු පවුලත් සමගින් විදේශයන්හි ජීවත් වීමට ඉඩකඩ ලැබීමත් නිසයි. මේ නිසාම දැඩි තරග විභාගයකින් තෝරා ගන්නා සමතුන්ට කැබිනට් මණ්ඩලයේ ද අනුමැතියෙන් පස්සෙයි තනතුරු හිමිවන්නේ.

ඒත් පහුගිය දිනෙක අහන්නට ලැබුණේ කලින් කිව්ව කතාවේ වගේම ලංකාවේ අපට බොහොම සුපුරුදු දෙයක්. විභාගයේ සමතුන් පැත්තක සිටිය දී බලාපොරොත්තු විය හැකි පරිදිම ඇමතිවරුන්ගේ දරුවන්ට ඒ වගේම ආණ්ඩුවට කඩේ යන මහා කලාකරුවන් යැයි කියාගන්නා කලා හොරුන්ගේ දූ දරුවන්ට මේ කිසිම සුදුසුකමක් නැතිව තනතුරු ටික බෙදලා දීමයි.

මේ විදියට තාත්තලා කඩේ යාමේ පිනින්ම පමණක් දූවරුන් එකොළොස් දෙනෙක්ටම ඇමරිකාව ඇතුලු රටවල තානාපති කාර්යාලවලට තමන්ගේ දරු පවුල් පිටින්ම නවාතැන් ගන්න මෙලොව දී ම පිං පළ දුන්නා.

විය යුතු පරිදිම , ඒ වගේම විය හැකි පරිදිම මේ පුවත ලංකාවේ කිසිම පුවත්පතකින්වත් විද්යුත් මාධ්‍යයකවත් පළ වුණේ නැහැ. (එත් පුවත සත්‍යයක් බව තහවුරුයි). ඒත් මේ පුවත පළ කළ වෙබ් අඩවියයේ අදහස් පළ කරලා තිබුණු විභාගයට ඉදිරිපත් වුණු සැබෑ සුදුස්සන්ගේ අදහස්වලින් මුදා හැර තිබූ පීඩනය දැක්කම මේ සිද්ධ වෙන්නේ කොයි තරම් කාලකන්නි සහගත සිදුවිම් දාමයක් ද කියලා සිහි බුද්ධිය ඇති ඕනෑම කෙනෙකුට දැනෙනවා. අඩුම තරමින් විභාගය ෆේල් කියලා හිත හදාගන්න ලියුමක්වත් ඒ සැබෑ සමතුන්ට නොයාවාම තමයි පස්සා දොරෙන්ම තනතුරු බෙදලා දීලා තිබුණේ.

කොහොමටත් ලංකාවේ විදේශ සේවාවන්ගේ බොහොමයක් පුරප්පාඩු පිරවෙන්නේ විශාම ගිය දේශපාලකයන්ගෙන් , එහෙමත් නැතිනම් ආණ්ඩුවලට චන්දය දෙන්න කියලා හිගමන් ඉල්ලමින් පත්තර දැන්වීම්වල අත්සන් කරපු කලාකරුවන් කියලා හදුන්වන තොරම්බල්කාරයන්ගෙන් , එහෙමත් නැතිනම් උසාවියෙන් වැරදිකරුවන් වෙලා හිරේ යන්න ඔන්න මෙන්න තියෙද්දී පොදු සමාව යටතේ බේරුණු චණ්ඩින්ගෙන් , එහෙමත් නැතිනම්  කඩේ යමින් කරපු උදව්වලට දාන්නම තැනක් නැති තැන මුලු පවුලටම කරන තෑග්ගක් විදියට දාන පිරිසකගෙන් කියන එකත් හැමදාමත් හැමදෙනාමත් දන්න දෙයක්.  මේ තත්ත්වය මෑත කාලයේ බලයට ආපු හැම ආණ්ඩුවකින් ම සිද්ද වෙච්ච නිසා මේ වෙනකොට හැම ආණ්ඩුවක් යටතේ ම පත් වුණු මේ විදියේ ගුණ නැණ බෙලෙන් විතරක් නෙමෙයි සදාචාරබවින් පවා බිංදුවටම බැස්ස බොහොම පිරිසක් අපේ රට නියෝජනය කරමින් බොහොම සුව පහසු ජීවිත ගත කරනවා. යමක් කරන්නටවත් , අඩුම තරමින් රට වෙනුවෙන් කතා කරන්නටවත් දැනුමක් නැති නිසා මේ අයගේ සාමාන්‍ය දෛනික රාජකාරිය වෙන්නේ සාප්පු සවාරි යාම , අවුරුද්දකට සැරයක් නෑයන් බලන්නට ලංකාවට ඇවිත් යාම , ලංකාවේ නිදහස් දිනයට තමන්ගේ තානාපති කාර්යලයේ ජාතික කොඩිය උස්සලා වාර්ෂික සාදයක් සංවිධානය කිරීම වගේ බොහොම නිදහස් සරල කරුණු කාරණා.

ඒත් ඉතාම කාලකන්නි සහගත එහෙමත් නැතිනම් කටුකම යථාර්ථය නම් මේ පිරිස නියෝජනය කරන්නේ අපේ සමස්ත ජාතියේම අතීතය , වර්තමානය සහ අනාගතය වීමයි. රටක තානාපති කාර්ය මණ්ඩලය කියලා කියන්නේ රටක් ඇතුළේ  තියෙන තවත් ස්වාධීන රාජ්‍යයක් කියලයි ජාත්‍යන්තර නීතියේ පැහැදිලිවම හදුන්වලා දෙන්නේ. ඒ නිසා කිසියම් රටක තානාපති කාර්යාල භූමියකට ඇතුලු වෙන්න ඒ රටේ පොලිසියටවත් අවසර නැහැ. මේ තරම් භාරදුර සහ පූර්ණ බලතල රාශියක්ම තානාපති දූත මණ්ඩලයට හිමිවෙන්නේ ඒ අය නියෝජනය කරන්නේ සම්පූර්ණ රටක් , ජාතියක් නිසයි. රටක තානාපති කාර්යාලයෙන්  ඒ රටේ සංස්කෘතිය , හැදියාව වගේම ජාතියක ගමන්මග හදුනාගන්න පුලුවන්. ඒත් මද සරු ඔලු ගෙඩි සමූහයක් මුලු ලෝකය පුරාම අපේ රට නියෝජනය කරන්න ගත්තොත් සිද්ධ වෙන්නේ අන්තිමේ දී සමස්ත ජාතියක්ම ලෝකයා ඉදිරියේ කාණු පල්ලට වැටීමයි. ඒ තිත්ත විපාක මේ වෙනකොටත් අපි භුක්ති විදින බව අමතක කරන්නට බැහැ. පවුල් පිටින් කඩේ යාම නිසා තනතුරු ලබන මේ ජාතියේ නිලධාරීන්ට රට වෙනුවෙන් ප්‍රසිද්ධියේ විවාදයක් කරන්නට තබා තානාපති කාර්යාලයේ  තේ පැන් සංග්‍රහයට එන සුද්දෙක් අහන සරල ප්‍රශ්නයකටවත් උත්තරයක් දෙන්න හැකියාවක් නැහැ. තවත් බොහොම දෙනෙක්ට අපේ රටේ ඉතිහාසය කෙසේ වෙතත් අඩුම තරමින් පරාක්‍රමබාහු සමුද්‍රය කියන්නේ මුහුදක් නොවන බව කියන්න තරම්වත් රට ගැන අවබෝධයක් නැහැ.

ලක්ෂ්මන් කදිරගාමර් වගේ සැබෑ පරිණත රාජ්‍ය තාන්තිකයන් බිහිවෙන යුගයක ලකුණු වත් පේන්නට නැති නිසා අද දේශපාලන වේදිකාවත් කෝලම්කරුවන්ගේ තෝතැන්නක් බවට පත්වෙලා.

අපේ තානාපති දූත සේවාවන්ට සැබෑ සුදුස්සන් පත් වෙනවා නම් චැනල් 4  වීඩියෝ විතරක් නෙමෙයි  ජාත්‍යන්තරයෙන් සිදුවන බොහොමයක් අවලාද මඩ පහාරයන් උපන් ගෙයිදීම වළක්වා ගැනීම ජය ගන්නට අසීරු ඉලක්කයක් නෙමෙයි.ඒ නිසා සිද්ධ වෙන හැම දෙයක්ම කුමන්ත්‍රණයක් කියන බොහොම ලාභදායී ගැලරිය පිනවන ප්‍රකාශ එල්ල කරන්නට කලින් අපේ පැත්තෙන් සිද්ධවෙන සුදුස්සාට නිසි තැන හිමි නොවන මේ ජාතියේ කුමන්ත්‍රණයන් වැළැක්වීම ප්‍රායෝගික විසදුමක් කියලයි හිතෙන්නේ.

“රැවටීම සහ රැවට්ටීම”

ලොව දෙවැනි විශාලතම රාජ්‍යය වන කැනඩාවේ මහා මැතිවරණය නිමාවට පත් වූයේ නොබෝදාය.

කැනඩාවේ ප්රධානතම පුවත් ජාලය වන CBC රූපවාහිනී සේවාව මහා මැතිවරණ සමයේ විකාශය කළ පුවතකට පාදක වී තිබුණේ අපූරු තේමාවකි.

එහිදී රූපවාහිනී කණ්ඩායම , කැනඩාවේ සරසවි භූමියකට ඇතුලු වී යන එන සරසවි සිසුන් මොහොතකට නවතමින් ඔවුන් වෙත ඡායාරූප හතරක් පෙන්වමින් එම ඡායාරූපවල සිටින පුද්ගලයන් හදුනා ගත හැකි දැයි සිසුන්ගෙන් විමසති. මෙම ඡායාරූප හතරේ වූයේ කැනඩාවේ අගමැති ස්ටීවන් හාපර් (මැතිවරණයෙන් යළි අගමැති ධුරයට පත් වූයේ ද ඔහුමය.) සහ මැතිවරණයට තරග කළ සෙසු ප්රධානතම දේශපාලන පක්ෂ තුනේ නායකයන්ගේ ඡායාරූපයන්ය. සිත් ඇදගන්නා සුලු කරුණ වන්නේ සිසුන්ගෙන් අතිශය බහුතරයකට සෙසු දේශපාලන නායකයන් කෙසේ වෙතත් අඩුම තරමින් කැනඩාවේ අගමැතිවරයාවත් හදුනා ගන්නට නොහැකි වීමය.

විශාලත්වයෙන් රුසියාවට පමණක් දෙවැනි වන එමෙන්ම වසර පහකට වරක් පමණක් මහා මැතිවරණයක් පවත්වන කැනඩාව වැනි රටක අනාගතය භාර ගැනීමට සූදානමින් සිටින තරුණ පරපුර දේශපාලනය සම්බන්ධයෙන් මේ තරම්ම ඇල් මැරුණු ස්වභාවයක් දක්වන්නේ ඇයි…?

එහෙත් සැබෑ තත්ත්වය නම් මැතිවරණය සම්බන්ධයෙන් එවන් වූ අලස ස්වභාවයක් දක්වන පිරිස සරසවි සිසුන් පමණක් නොව පොදුවේ ගත් විට සමස්ත කැනේඩියානු පුරවැසි පරපුරම වීමය. මේ නිසාම කැනඩාවේ මැතිවරණයක් යන්න ආසියාවේ අපට සාපේක්ෂව උණුසුමින් තොර වූවකි. ගෙවී ගිය වසර පනහක කාලය තුළම කැනඩාවේ මැතිවරණය සදහා ඡන්දය පාවිච්චි කළ පිරිස ලියාපදිංචි ඡන්ද දායකයන්ගෙන් සියයට 65 ඉක්මවා නැත. රටේ ජනගහනය සමස්ත ලෙස ගෙන බැලූ විට ජනගහනයෙන් අඩක්වත් ඡන්දය පාවිච්චි කරන්නේ නැත. ඒ ඇයි…?

ඔව්.. එයට හේතුවක් තිබේ.

එනම් කවර ආණ්ඩුවක් බලයට පත් වුවද කැනේඩියානුවන්ගේ ඉහළ ජීවන තත්ත්වය සුරක්ෂිත කරවන ශක්තිමත් නීති රීති පද්ධතියක් ක්රියාත්මක වීමය. මේ නීති රීති පද්ධතිය බලවත් බැවින් දේශපාලකයා හෝ දේශපාලන පක්ෂය යන්න කැනේඩියානු ජීවන පරිසරයේ වැදගත් අංගයක් නොවේ. මැතිවරණයක දී ඡන්ද දායකයන් සිය ඡන්දය පාවිච්චි කරන්නේ ද තමන් ගරු කරන අදහස් සහිත දේශපාලන පක්ෂයට මිස තනි තනි දේශපාලකයට නොවේ. මේ නිසාම මැතිවරණයෙන් ජයගන්නා අගමැතිවරයාට පවා සිය පක්ෂයේ මූලධර්ම මත පිහිටා මිස සිය හිතුමතයේ වැඩ කරන්නට කිසිදු ඉඩක් කැනේඩියානු ව්‍යවස්ථාව තුළ නැත.

පොදුවේ ගත් විට කැනේඩියානු මැතිවරණය සම්පදාය තුළ දේශපාලකයා යන්න අවලංගු සාධකයකි. මේ නිසාම ඡන්දය දීමට පමණක් නොව මැතිවරණයෙන් පසු ජයගත්තේ කවර දේශපාලන පක්ෂය ද යන්න පවා දැන ගැනීමට බොහෝ දෙනෙකු තුළ උනන්දුවක් නැත. මේ තත්ත්වය කැනඩාවේ පමණක් නොව ලොව දියුණු යැයි සම්මත බොහෝ රටවල දක්නට ඇති සාමාන්‍ය කරුණකි.

ලංකාව හා සංසන්දනය කරද්දී කැනඩාව යනු අතිශය විශාල රටක් වන්නා සේම එහි එක් ප්රාන්තයක් පවා ලංකාවට නම් වූ දූපතට වඩා බෙහෙවින්ම විශාලය. එහෙත් මේ සා දැවැන්ත සමස්ත කැනඩාවම නියෝජනය කරමින් පාර්ලිමේන්තුවේ ඇත්තේ මන්තිරිවරුන් 308 ක් පමණි. එහෙත් ලංකාවේ ව්‍යවස්ථාවෙන් අපේ ජනාධිපතිවරයාට හිමිවන බලතල වලින් අඩුම තරමින් සියයට දහයක බලතලවත් මේ සා බලවත් රාජ්‍යයක අගමැතිවරයාට නැත. අඩුම
තරමින් පොලිස් දඩ කොළයකින් බේරෙන්නටවත් කැනේඩියානු අගමැතිවරයා හෝ වෙනත් කිසිදු මන්තිරිවරයකුට හැකියාවක් නැත. එනම් අගමැතිවරයා ද තවත්  පුරවැසියකුම පමණි. සාමාන්‍ය පුරවැසියකුට අහිමි කිසිදු වරපුසාදයක් අගමැතිවරයාට හිමිවන්නේ නැත. නීතිය කාටත් සමානය. නීතිය ක්රියාත්මක කරන්නට එන පොලිස් නිලධාරියකුට හෝ වෙනත් කිසිදු හෝ රජයේ නිලධාරියෙකුට “ මම අගමැති “ යැයි පැවසුවහොත් අගමැතිවරයාට
සිදුවන්නේ පසුදාම සිය තනතුරෙන් සමුගන්නටය.

සියලුම පුරවැසියන්ට නීතිය සමානව හිමිවන බැවින් කවර පුරවැසියකුට හෝ රටේ අගමැතිවරයාගේ සිට සමස්ත පාලන ක්රමය නිර්දය ලෙසින් විවෘත විවේචනය කරන්නට හෝ ලිපි ලේඛන පළ කරන්නට කිසිදු බාධාවක් නැත. කිසියම් දේශපාලකයෙන් සොරකමක් හෝ මහජන විශ්වාසය කඩ කරන කිසියම් වූ හෝ ක්රියාවක් සිදු කළහොත් ඔහුට  හෝ ඇයට සිදුවන්නේ දේශපාලනයෙන් සදහටම සමුගන්නටය. ජනාධිපති කොමිසම් පත් කරමින් වැරදි කරුවන්ට චරිත සහතික ලියා දී සියලු වැරදි මිටි තැනින් යැවීමේ ක්රමය වෙනුවට මෙහි සිදුවන්නේ සියලු වැරදි ඉහළ තැනින් ම ගලා යාමයි. මේ නිසා කැනේඩියානු දේශපාලකයා යනු වචනයේ පරිසමාප්තියෙන්ම ජනතා සේවකයෙක් පමණි.

මේ සටහන නිමා කරන්නට මත්තෙන් ලංකාවේ අපට වැදගත් වන කරුණක් ද සදහන් කළ යුතුමය. එකිනෙකාට හාත්පසින්ම වෙනස් වූ අතිශය විවිධාකාර සංස්කෘතීන්ට අයත් ජාතීන් 150 කට අධික සංඛාවක් කැනඩාවේ ජීවත් වුවද කැනඩාව යනු අතිශය සාමකාමී රටකි. කැනේඩියානු පුවත්පතක් ගත්විට එහි ඇත්තේ ලංකාවේ මට්ටමින් ගත් විට අතිශය නීරස වූ පුවත් කිහිපයක් පමණි. ගෙවී ගිය මාසයක එක් දිනක කැනඩාවේ ප්රධානතම පුවත්පතක මුල්ම පිටුව මුලුමනින්ම වෙන් ව තිබුණේ චාල්සි ඩිකන්ස්ගේ නවකතාවක පරිච්ඡේදයක් පළ කිරීම සදහාය. එහෙත් ප්රධාන ජාතීන් තුනක් පමණක් ජීවත් වන ලංකාව නම් වූ දූපත තුළ ලොව ඇතිතාක් සියලු ප්රශ්න පවතින්නේය. ලංකාවේ පුවත්පතක පළවන පුවත් ගෙන බැලූවිට මේ සියලු පුවත් මවා ඇත්තේ දේශපාලකයන් පිරිසගේ කාලකන්නි ක්රියාවන් නිසා බව අතිශය පැහැදිලි කරුණකි. දූෂිතයන් තනතුරුවල යහතින් වැජඹෙන්නේත් , මුලු රටටම මත්කුඩු ගෙන්වන අමන දේශපාලකයන් කැබිනට් ඇමති තනතුරුවලින් පිදුම් ලබන්නේත් , සංවර්ධනය නම් වූ වචනයට මුවාවෙමින් කෝටි ගණනින් ජනතා මුදල් කොල්ල කන්නේත් , නීතිය රැකිය යුතු පිරිස නගර සභා මන්තිරිවරයාට පවා සැලියුට් ගසා කොන්ද නමන තත්ත්වයට පත් ව ඇත්තේත් එදා මෙදා තුර බලයට පත් වූ දේශපාලකයන් නඩය නිසා බව රහසක් නොවේ. මේ නිසා මෑත ඉතිහාසය ඉතිහාසය පුරාවටම හැමදාමත් රැවටීමට ලක්වූයේත් ඉදිරියේ දී රැවටීමට ලක්වන්නේත් සිංහල – දෙමළ – මුස්ලිම් සමස්ත පීඩිත ජනතාවම මිස ඔවුන් නියෝජනය කරන දේශපාලකයන් නඩය නොවේ.

එදා සිට අද දක්වාම ලංකාවේ සමස්ත දේශපාලන ක්රමය ගත් විට එය වචන දෙකකට සංක්ෂිප්ත කළ හැකිය. ඒ “රැවටීම සහ රැවට්ටීම” යන වචන දෙකයි. මෑත ඉතිහාසය තුළ කිසිම අවස්ථාවක දී එදා සිට අද දක්වාම අපේ රටේ සියලු දේශපාලන ක්රියාදාමයන් මේ වචන දෙක තුළින් පිට පැන නැත.

ලංකාවේ අපේ අධ්‍යාපන රටාව තුළ පාසල්වලදී එදාත් අදත් අපට උගන්වන බරපතල මිථ්‍යාවක් තිබේ. එනම් ලංකාව වැනි රටවල් සුභ සාධක රටවල් බවත් , කැනඩාව , ඇමරිකාව වැනි රටවල් ධනවාදී පරිධියේ පවතින රටවල් බවත්ය. එහෙත් එය සැබෑවක් නොවේ. කැනඩාව පමණක් නොව ලොව බොහෝ දියුණු රටවල් සිය පුරවැසියන් සදහා සෞඛ්‍ය සේවාවන් ලබා දෙන්නේ නොමිලයේය. එමෙන්ම සරසවි අධ්‍යාපනය දක්වාම මේ බොහෝ රටවල පුරවැසියන් අධ්‍යාපනයට කිසිදු මුදලක් ගෙවිය යුතු නොවේ. ඒ සේවාවාන් ක්රියාත්මක වන්නේ වචනයේ පරිසමාප්තියෙන්ම නොමිලයේය. ලංකාවේ නිදහස් අධ්‍යාපනය සහ නිදහස් සෞඛ්‍ය සේවාවක් ක්රියාත්මක වන බව පැවසුවද එහි ප්රතිලාභ ලැබීම සදහා කොතරම් මිලක් ගෙවිය යුතු ද යන්න අමුතුවෙන් කිව යුතු නොවේ. රජයේ රෝහලක ලේ සාම්පලයක් පරීක්ෂා කර ගැනීමට පවා යා යුත්තේ පුදගලික ඩිස්පැන්සරියකට මුදල් ගෙවාය. පාසලට ඇතුලු කර ගැනීමේ දී සිට දරුවා පාසලින් ඉවත් කර ගන්නා තෙක්ම පාසලේ ඩෙස් බංකුවේ සිට කුණු බාල්දිය පවා මිලදී ගන්නේ
දෙමාපියන්ගේ මුදල් පොකට්ටුවෙන් මිස මහජන මුදලික් ලොව පුරා සවාරි යන ඇමතිවරුන්  සිව් දෙනෙක්ම යහතින් වැජඹෙන අධ්‍යාපන අමාත්‍යාංශයේ ගිනුමෙන් නොවේ.

කටුනායකින් රටට ඇතුලු වන හැම සුද්දෙක්ම රට ගිලගන්නට පැමිණෙන කුමන්තණකරුවන්ය යන මිථ්‍යාව අපේ දේශපාලකයන් විසින් දැනුවත්වම ජනතාව මත පටවනු ලබන්නේත් තම සියලු අමන ක්රියාවන් කුමන්තණ බිල්ලා මත පටවා සිය පරම්පරා ජාතකය ශක්තිමත් කරන්නට බව හදුනා ගන්නට අපේ ජනතාවගෙන් බොහෝ දෙනෙකුට තවමත් හැකියාවක් නැත. මේ දේශපාලුවන්ට අනුව ඉන්දියන් සාගරයේ වඩදිය රැල්ල පවා ඇතිවන්නේ ජාත්‍යන්තර කුමන්තණ ජාලයක කොටසක් ලෙසිනි. අනෙක් අතට එදා සිට අද දක්වා වූ අපේ දේශපාලකයන් රැල මහජන දේපළ සහ රටේ සම්පත් විනාශ කරන පි‍ළිකුල් සහගත ස්වභාවය ගත් විට පිටරටින් පැමිණ විනාශ කරන්නට තරම් යමක් රටේ ඉතිරි වී ඇති නම් එය ද පුදුමයකි.

යළිත් වරක් කැනඩාව දෙස හැරී බැලුවහොත් වසර දහයක කාලයක් කැනඩාවේ වාසය කරන සියලු පුරවැසියන්ට ඔවුන් ලොව කොහේ ජීවත් වුවත් විශ්රාම වැටුපක් අනිවාර්යයෙන්ම හිමිවන්නේය. එමෙන්ම කැනඩාවේ ජීවත්වන සියලුම දරුවන්ට ඔවුන්ගේ වයස් අවුරුදු 18 සම්පූර්ණ වනතෙක් මාස්පතා දීමනාවක් හිමිවන්නේ දරුවන් සතුටින් තැබීමේ
මූලික අපේක්ෂාව පෙරදැරි කරගෙනය. මේ සියලු වරපුසාද කැනේඩියානුවන්ට හිමිවන්නේ මහජන මුදල් කාබාසිනියා කරන දේශපාලක නඩයක් ඔවුන් වෙත උරුම වී නැති බැවිනි. එමෙන්ම අල්ලස හා දූෂණයෙන් තොර වූ මුලුමනින්ම විනිවිද පෙනෙන පාලන ක්රමයක් ඔවුන් හට උරුමව ඇති බැවිනි. මේ නිසාම මහජන බදු මුදල් සෑම සතයක්ම පෙරලා මහජනතාවගේ සේවය වෙනුවෙන්ම වැය වෙනු මිසක දේශපාලක පැලැන්තිය නඩත්තු කිරීම සදහා වැය කෙරෙන්නේ නැත.

මේ සියලු කරුණු පොදුවේ ගත් විට සදහන් කළ යුතු වැදගත්ම කරුණ වන්නේ කැනඩාව පමණක් නොව දියුණු යැයි සම්මත මේ බොහෝ රටවල දියුණුව පසුපස ඇති එක්තරා මහා පොදු සාධකයක් බවය. එනම් රටේ අගමැතිවරයාගේ සිට සාමාන්‍ය පුරවැසියා දක්වා සියලු දෙනාම එකාමෙන්ම එක්ව රට දියුණු කිරීම සදහා වැඩ කිරීමය

මැතිවරණයෙන් මැතිවරණයට සිද්ධ වෙන්නේ අපේ සමාජය කඩා වැටීමයි …!

(මහාචාර්ය සිරි ගුනසිංහ සමග කල සංවාදයේ අවසන් කොටස…)

  • වසර 40 කට පෙර ලංකාවේ ඔබ ඉගැන්වූ සරසවි සිසු පරපුරත් ,  මෑතදී ගෙවී ගිය වසර 40 ක කාලයක තුළ කැනඩාවේ ඔබ ඉගැන්වූ සිසු පරපුරත් අතර වෙනසක් ඔබ දකිනවාද …?

ඔව් විශාල වෙනසක්දකිනවා. මෙහේ සිසුන් ඉගැනීම ලබන්නේ හරිම උනන්දුවකින්. අපේ සිසුන්ගේ ඒ ආකාරයේ උනන්දුවක් තිබෙන බවක් මට පේන්නේ නැහැ. උනන්දුවක් දක්වනවා ඉංගිරිසි ඉගෙන ගන්න නම්.ඒ වුණාට අධ්‍යාත්මික වශයෙන් දියුණුවක් ලබන්න ඕන දේවල් සම්බන්ධයෙන් නම් උනන්දුවක් දක්වන බවක් පේන්නේ නැහැ. ඒකට වරදක් කියන්නත් බැහැ. මොකද ආර්ථිකමය දියුණුවක් ලබන්න නම් ඒ අංශය ගැනයි හිතන්න වෙන්නේ. එහෙත් මෙහේ සිසුන් තුළ තිබෙන උනන්දුව බොහොම දැඩියි.  එකක් තමයි නොදන්නා දෙයක් ඉගෙන ගැනීමට තියෙන ආසාව. එහෙම වෙලා තියෙන්නේ මෙහේ සිසුන්ට විශාල නිදහසක් තිබීම නිසයි. උදාහරණයක් විදියට කියනවා නම් ලංකාවේ බී. ඒ. උපාධියට ඉගෙන ගන්න ළමයා සිංහල තමන්ගේ විෂය විදියට තීරණය කරනවා නම් එයාට මූලික වශයෙන් ඉගෙන ගන්න පුඑවන් සිංහල විතරමයි. ඒත් මේ රටවල එහෙම නෙමෙයි තමන්ට අවශ්‍ය ඕනෑම විෂය කොටසක් තෝර ගෙන අවශ්‍ය ලකුණු ගණන සම්පූර්ණ කළාම තමන්ගේ උපාධිය නිම කරගන්න පුලුවන්. මේ නිසා මෙහේ සිසුන් පුදුමාකාර විදියට  විවිධ වූ විෂයන් ඉගෙන ගන්නවා. අපේලංකාවේ සිසුන්ට ඒ නිදහස නැහැ.

  •  ඔබ සරසවි සිසුවෙක් ලෙසසිටිය කාලයේවත් ඒ නිදහස තිබුණේ නැද්ද…?

නැහැ…මම උපාධියට ඉගෙන ගන්න කාලයේ පාලි සංස්කෘත එක්ක ලතින් සහ ග්රීක භාෂාවන් ඉගෙන ගන්නත් මට අවශ්‍ය වුණා. ඒත් ලංකාවේ සරසවිවල විෂය වෙන් කිරීම් කරලා තිබුණේ එහෙම ඉගෙන ගන්න බැරි විදියටයි. කලාතුරකින් කෙනෙක් සිංහල එක්ක ඉංගිරිසි ඉගෙන ගත්තා. ඒ අය ඒක කළේ රහසින්. ඒ කියන්නේ ඒක කරන්න
සරසවිවලින් අවසරයක් ලැබුණේ නැහැ. එහෙත් මෙහේ වෙන්නේ ඒකේ අනිත් පැත්ත. තාරකා ශාස්තය ඉගෙන ගන්න ළමයා මගෙන් ඇවිත් බෞද්ධ සාහිත්‍යය ඉගෙන ගන්නවා.  රසායන විද්‍යාව කරන ළමයා මගෙන් ඇවිත් ඉන්දියානු කලා ඉතිහාසය ඉගෙන ගන්නවා. ඒත් මේ විෂයන් අතර කිසිම සම්බන්ධයක් නැහැ නේද කියලා කෙනෙකුට හිතෙන්න පුලුවන්. ඒ සම්බන්ධය ඇත්තටම මතුපිටින් කෙනෙකුට පේන්නේ නැහැ. ඒත් එතැන සම්බන්ධයක් තියෙනවා මානසික වශයෙන්. ඉගෙන ගන්නේ මොනවද කියන එක නෙමෙයි වැදගත්. ඉගෙන ගැනීමයි වැදගත්. මොන දේ ඉගෙන ගත්තත් තමන්ගේ මනස දියුණු කර ගැනීමයි සිදු විය යුත්තේ. ඒත් ඒ නිදහස ලංකාවේ නැහැ.

  • නැවතත් සාහිත්‍යය කියන අංශයට යොමු වුණොත් බොහෝ බටහිර රටවල පොත් සාප්පුවකට ගොඩ වැදුනාම පෙනී යන දෙයක් තමයි ආසියාවේ අපි සැලකිල්ලට නොගන්නා ඉතා සරල සහ සියුම් කරුණක් පවා මූලික කරගෙන බරපතල පොත පත දකින්නට ලැබීම. ඒ වගේම තමයි ඉතාම බරපතල සිනමා නිර්මාණ මේ රටවල බිහිවෙනවා අතිශය සරල මානසික ගැටුමක් පවා මුල්කරගෙන. මේ රටවල නිර්මාණකරුවන් ඒ තරම් සියුම් සබදතා තම නිර්මාණවලට දායක කරගන්න තරම් පුහුණුවක් ලබන්නට බලපාන්නට ඇත්තේ කුමක කරුණු කාරණාද …?

ඒකට හොදම උදාරණය තමයි ඉරාන සිනමාව. ඉරාන සිනමා නිර්මාණ දිහා බැලුවාම කතාවකුත් නැහැ. ඒත් ගැඹුරු දෙයක් සිද්ධි දාමයකින් අපිට පෙන්නුම් කරනවා. ඒත් අපේ අය බලන්නේ හැම දෙයක්ම බොහොම බරපතල දෙයක් හැටියට පෙන්වන්න. නවකතාවක් ලිවුවත් , කවියක් ලිවුවත් ඒක බරපතල කරලා ගන්නේ කොහොමද කියන එක ගැන තමයි හිතන්නේ. ඒ පුරුද්ද කොහෙන් ආවද කියලා මම දන්නේ නැහැ. සුලු දෙයක් ගැන කවියක් , සුලු දෙයක් ගැන නවකතාවක් ලියන්න අපි පුරුදු වෙලා නැහැ. අනිත් එක අපි නවකතාවක් ලිවුවත් ලියන්නේ මානසික කරුණු මුල්කරගෙන නෙමෙයි. මතුපිට ජීවිතයේ වෙනස්වීම්, ගමේ වෙනස්වීම් ඔය වගේ දේවල් තමයි අපි විෂය කරගන්න හදන්නේ. අපේ නවකතා ඉතිහාසය ගත්තම බොහොම වෙලාවට තියෙන්නේ ඔය වගේ දර්ශනයක්. අපේ උසස්ම නවකතාව විදියට සලකන ගම් පෙරළිය ගත්තත් එතැනදී මිනිසුන්ගේ මානසික ගැටුම් ගැන කතා කරන්නේ නැහැ. අපේ පුරුද්ද තියෙන්නේ කතන්දර ලියන්න. මේවා ගැන කවුරුත් විශ්ලේෂණයක යෙදිලා නැහැ. ඉතිහාසය කියන්නේ විචාරයක්නේ. ඉතිහාසය හරියට ලියනවා නම් ඒක ඇත්තටම විචාරයක්.

  •  අපේ සාහිත්‍ය කලා ඉතිහාසය ගත්තම විවිධත්වයක් දකින්නට තියෙනවා. උදාරණයක් විදියට සද්ධර්ම රතනාවලිය වගේ පැරණි සාහිත්‍ය පොත පත ගත්තම ඉතාම සරල බස් වහරක් යොදා ගෙන තියෙනවා. ඒත් ඒ යුගයේ දීම මහා සම්පදායකුත් අපිට තිබුණා. අපි මේ කතා කරන සරල බව අපෙන් ගිලිහිලා තියෙන්නේ අතීතයේ ඉදන්ම ද නැතිනම් වර්තමානයේ ගැට ගැහුණු දේශපාලන කරුණු කාරණාත් එක්ක ද …?

මම හිතන්නේ මෑත කාලයේ දී කියලයි. මේ වෙනස්වීම බෞද්ධ සංස්කෘතියෙන් ආව දෙයක් වෙන්නත් බැහැ. මොකද මුල් තිපිටක පොත් පත් කියවන කොට පේනවා ඉතාම ගැඹුරු ධර්මයක් වුණත් බුදු හාමුදුරුවෝ කොයි තරම් සරල විදියට ද කරුණු කාරණා පැහැදිලි කරලා දීලා තියෙන්නේ කියලා. ඒත් මෑත කාලීනව ඇතිවුණු ආර්ථිකම දේශපාලනමය කරුණුත් එක්ක ඒ වෙනස් වීම සිදුවුණා කියලා හිතන්න පුලුවන්.

  •  අපේ රටේ කලාව සාහිත්‍යයේ පිරිහීමක් තිබෙන බවට මෑත කාලයේ දැඩි චෝදනාවක් එල්ල වෙනවා ..?

කලාව , සාහිත්යය වගේ විෂයන් ගත්තත් අපේ රටේ කලාව සාහිත්‍යය හැමදාමත් දියුණු කළේ හාමුදුරුවරුන් සහ පිරිවෙන්වල උගත් උගතුන්. දැන් ඒ පරපුර ලංකාවේ නැහැ. මේ නිසා රට ආර්ථිකමය වශයෙන් දියුණු කරන්න උත්සාහ ගත්තත් කලාව සාහිත්යයේ ඒ ආකාරයේ දියුණුවක් දකින්න බැහැ. සැබෑ කලාකරුවන් බිහිවෙන්න නම් පුම්බපු කලාකරුවන් බිහි නොකරන්න ඕනේ. කලාකරුවන් කියලා අද ඉන්න බොහොමයක් බොරු කාරයන් හොරුන් අයින් කළොත් තමයි සැබෑ වශයෙන්ම කලාව අධ්‍යයනය කරන , කලාව පුහුණු කරන  , කලාවට ආදරය කරන පිරිස බිහිවෙන්නේ. කලාව කියන එක උපතින් ලැබෙන දෙයක් නෙමෙයි. ඒක උත්සාහයෙන් දියුණු කරගත යුතු දෙයක්. සරස්වතී වරම අතින් අරගෙන බිහිවෙනවා කියන කතාව බොරුවක්. උප්පත්තියෙන් කිසිම දෙයක් ලැබෙන්නේ නැහැ. ජනකවිය කියලා දෙයක් තිබුණත් හොද කවියක් ලියන්න හැම කෙනෙක්ටම බැහැනේ. ඒකට හේතුව උප්පත්තියෙන් ගේන බැරි කමක් නෙමෙයි. කවි ලියලා පුරුද්දක් නැති කම. හොද කවියෙක් වෙන්න නම් අනෙක් අයගේ කවිත් කියවන්න ඕන. හොද නවකතාකාරයෙක් වෙන්න නම් ලෝකයේ විශිෂ්ට නවකතා කියවලා තියෙන්න ඕනේ. ඒවා කියවලා තමන් මානසික වශයෙන් දියුණුවක් ලබන්න ඕනේ. අධ්‍යාපනය කියන්නේ ඒකයි. තමන්ගේ ඇග ඇතුලේ තියෙන දෙයක් දියුණු කරලා ප්රයෝජනයක් ගැනීමයි. ඒක කරන්න බැහැ උනන්දුවක් හෝ පුහුණුවක් නැතිනම්.

  •  ඔබ මේ දිනවල කිසියම් ශාස්තීය කටයුත්තක යෙදෙනවාද …?

ඔව්… සිංහලෙන් නවකතාවක් ලියාගෙන යනවා. ඒත් ඒක සිද්ද වෙන්නේ බොහොම හෙමින්.

  •  ලාංකීය සමාජය තුළ සිදුවෙමින් පවතින බොහෝ දුර්වලතාවන් පිළිබදව අප කතා බහ කළා. මේ තත්ත්වය සාධනීය මට්ටමකින් වෙනස් කරන්න මොන වගේ දේවල් ද කරන්න පුලුවන්…?

අද තියෙන තත්ත්වය අනුව නම් වෙනස්කමක් කරන්න පටන් ගන්නේ කොතැනින්ද කියන එක නෙමෙයි ගැටලුව… පටන් ගන්න පුලුවන්ද කියන එකයි. මෑත අවුරුදු විස්සක කාලය ගත්තම මැතිවරණයෙන් මැතිවරණයට සමාජය පහතට ඇද වැටීම මිසක් ඉහළට යාමක් නම් සිදු වුණේ නැහැ. අඩුම තරමින් රටේ ආර්ථිකම දියුණුවක් හෝ තියෙනවා නම් අනිවාර්යයෙන්ම අනිත් අංශවලත් දියුණුවක් තියෙන්න ඕනේ. ලෝකයේ අනෙක් රටවල් ගත්තත් ආර්ථිකමය පදනමේ දියුණුවක් ඇතිවෙනවා නම් සමාජීය දියුණුවකුත් ඒ එක්කම ඇති වෙන්න ඕනේ. ලංකාවේ දේශපාලකයන් කියනවා නම් ආර්ථිකමය දියුණුවක් තියෙනවා කියලා ඒ අය රට දියුණු කරන විදියේ අඩුපාඩුවක් තියෙන්න ඕන. ඒකට හේතුව සමාජීය වශයෙන් එහෙම දියුණුවක් දකින්න නැති නිසා. අනිත් අතට එහෙම දියුණුවීමක් ඇති කරන්න සුදුසුකම් තියෙන මිනිස්සුත් ඉන්න ඕන නේ…!  මේ කඩා වැටීම පහුගිය අවුරුදු පනහ තිස්සේම හෙමිහිට සිද්ධ වුණා. අපේ රට තියෙන්නේ දේශපාලනමය වශයෙන් ඇද වැටුණු තැනක. දේශපාලනමය සහ ආර්ථිකමය වශයෙන් ඇද වැටුණු රටක අනිවාර්යයෙන්ම සිදුවන දේවල් තමයි අපේ රටේ සිද්ධ වෙන්නේ.

(මහාචාර්ය සිරි ගුනසිංහ සමග කල සංවාදයේ අවසන්කොටසයි )

විචාර කලාවක් අද ලංකාවේ නැහැ …! – මහාචාර්ය සිරි ගුනසිංහ (දෙවන කොටස)

(පළමු කොටස මෙතැනින් යන්න )

  • ඔබ සංස්කෘතික භාෂාව පිළිබදවත් වියතෙක්. සංස්කෘතික භාෂාවේ වර්තමානය සහ අනාගතය අද පවතින්නේ කවර පසුබිමක ද ?

ඇත්තටම කියනවා නම් සංස්කෘතික භාෂාව අද මළ භාෂාවක් බවට පත්වෙලා තියෙනවා. ඉන්දියාවේ එක්තරා කාලයක් පුවත් විකාශය සංස්කෘතික භාෂාවෙන් කළා. ඉන්දියාවේ සමහර සරසවිවල තවමත් සංස්කෘත භාෂාව සහ සාහිත්‍යය උගන්වනවා. සංස්කෘත භාෂාව පැතිරවීමේ අරමුණින්ම ඉන්දියාවේ සංගමයක් පවා පිහිටුවා ගත්තා. දිනපතා ප්රවෘත්ති සංස්කෘත භාෂාවෙන් කරන්න පුලුවන් තරමට ම ඒ සංස්කෘත භාෂාව දියුණු කරලයි තියෙන්නේ. මට මතකයි එක සැරයක් මම ඉන්දියාවට ගිය වෙලාවක සංස්කෘතික මහාචාර්යවරයකුට මාව හදුන්වලා දුන්නා. මමත් සංස්කෘත උගන්වනවා කියලා දැනගත්ත නිසා ඒ මහාචාර්යවරයා මාත් එක්ක සංස්කෘතයෙන් කතා කරන්න පටන් ගත්තා. ඒත් ඒක මට ඒ තරම් පහසු වුණේ නැහැ. ඒකට හේතුව අපට ඒ පුරුද්ද නැති නිසයි. එක සැරයක් මට තායිලන්තයේදීත් ඔය විදියේ සිද්ධියකට මුහුණ දෙන්න වුණා. ඒකියන්නේ පාලි භාෂාවෙන් සංවාදයක යෙදෙන්නට සිද්ධ වුණා. සංස්කෘතයට වඩා පාලි භාෂාව හසුරුවන්න ලේසියි. කොහොම වුණත් මේ භාෂාවන් අද මළ භාෂාවන් බවට පත්වෙලා කිවුවොත් නිවැරදියි.

  •  ලංකාවේ සෑම සාහිත්‍ය සම්මාන උළෙලකින් පසුවම ඒ සම්මානයන් පිළිබදව බරපතල චෝදනාවන් එල්ල වෙනවා. ඒ වගේම ලංකාවේ විචාර කලාවක් හෝ විචාරකයන් හෝ යනුවෙන් පිරිසක් නැති බවට එක්තරා උගත් මහාචාර්යවරයෙක් සති අන්ත පුවත්පතකට සදහන් කර තිබුණා. ඔබ හිතන ආකාරයට ලංකාවේ සැබෑ විචාර කලාවක් හෝ විචාරකයන් කියා පිරිසක් හෝ සිටිනවාද ?

ඇත්ත වශයෙන්ම නැහැ. විචාරය කියලා අද කෙරෙන්නේ පොතක් පළ වුණාම කවුරු හරි කෙනෙක් ඒක ගැන විස්තරයක් කරන එක විතරයි. අලුත් නවකතාවක් ලියවුණත් පොතේ කතාව විස්තර කරලා පිටකවරය ගැනත් ටිකක් කියලා අන්තිමට විචාරය කියලා පලවෙන්නේ බොහොම සුලු දෙයක්. බොහොම වෙලාවට හොද පොතක් ගැන දෙයක් ලියැවෙන්නේ සිංහල භාෂාවටත් වඩා ඉංගිරිසියෙන් තමයි.

  • ලංකාවේ සැබෑ විචාර කලාවක් හෝ විචාරකයන් පිරිසක් බිහි නොවන්නට හේතුව කුමක් ද ?

ඒකට මූලිකම හේතුව තමයි විචාරය කියන එක ඕනෑම කෙනෙකුට කරන්න පුලුවන් කියලා හිතන එක. මොකද ඹ්න කෙනෙකුට සිනමාපටයක් , සිංදුවක් හෝ පොතක් ගැන මොනව හරි ලියන්න පුලුවන්නේ. ඒත් විචාරය කියන එක වෙනමම ඉගෙන ගන්න ඕන විෂයක්. විචාරය කියන්නේ මොකක්ද … යමක් විචාරය කළ යුත්තේ කොහොමද කියන එක ගැන ලංකාවේ සරසවිවලවත් උගන්වන්නේ නැහැ. එහෙම විෂයක් අපේ සරසවිවල නැහැ. ඒ කාලයේ තිබුණෙත් නැහැ. සාහිත්‍යය උගන්වනවා කියලා ඇත්ත වශයෙන්ම කළේ පොතේ ව්‍යාකරණය උගන්වන එකයි. කවි සිළුමිණ ගත්තොත් ඒක සරල බසින් කියලා දීලා ව්‍යාකරණ කරුණු සාකච්ඡා කිරීම තමයි සරසවිවල සිංහල සාහිත්‍යය උගන්වනවා කියලා එදත් කළේ. මම උනත් සිංහල සාහිත්‍යය ඉගෙන ගත්තේ ඔය විදියට තමයි. ඒත් එයින් පිට පැනලා සාහිත්‍ය කෘතියක කතාව නෙමෙයි සැබෑ සාරය සොයන්න අපට හැකියාව ලැබු‍ණේ විචාරය කියන විෂය ඉංගිරිසි භාෂාවෙන් හැදෑරුවට පස්සේ තමයි. අපේ පුවත්පත්වල ඉංගිරිසියෙන් ගුණාත්මක විචාර ලිපි පළ වුණත් ඒවා කියවන පිරිස බොහොම සීමිතයි. අනෙක් අතට ඒ ලිපි ලියන පිරිස සිංහල පොත පත කියවන්නේත් නැහැ. ඒක කනගාටුවට කරුණක්. ඉන්දියාවේ ඉංගිරිසි උගතුන් හින්දි භාෂාවෙන් පළවෙන පොත පත කියවනවා. ඒත් අපේ රටේ සිංහල පොත පත කියවන ඉංගිරිසි උගතුන් පහුගිය කාලය පුරාවටම බිහිවුණේ දෙතුන් දෙනයි.

  • ඒකියන්නේ විචාරය සිදු කෙරෙන ආකාරය දිහා බලද්දී භාෂාව අනුව එහි බෙදීමක් තිබෙන බවක් ද ?

ඔව්… ලොකු බෙදීමක් තිබෙනවා. දැන් ඒ බෙදීම වැඩිවෙලා. මොකද ඉස්සර සිංහල ඉගෙන ගන්න උත්සාහ කළ අය පවා දැන් බලන්නේ ඉංගිරිසි ඉගෙන ගන්නයි. ඒකට ඒ අයට දොස් කියන්න බැහැ. මොකද රැකියාවක් කරන්නත් අද ඉංගිරිසි ඕනේ. සිංහල සාහිත්‍යය උගන්වනවා කියලා අද සිද්ධ වෙන්නේත් සිංහල පොතකින් ගත්ත කොටසක් උගන්වන එකයි. ඒත් ඉස්සර ඒ විදියට කෑලි කෑලි ඉගැන්නුවේ නැහැ. සම්පූර්ණ පොතම තමයි නිර්දේශ කළේ. මේ නිසා අද ළමයින්ට සිංහල සාහිත්‍යය ගැන ආසාවක් ඇති වෙන්නේත් නැහැ. පාසල් යන වයසේ දී සාහිත්‍යය ගැන ආසාවක් ඇති වෙන්නේ නැත්නම් ඒ අය වැඩිහිටියන් බවට පත්වුණාම අමුතුවෙන් ආයෙත් ආසාවක් ඇති වෙන්නේ නැහැනේ. මේ නිසා ඉංගිරිසි භාෂාව පිළිබදව දැනුම ලබන ඉංගිරිසි උගතුන් ඒ ඔස්සේ ලැබෙන සාහිත්‍ය රසාස්වාදනය හමුවේ තව තවත් පුලුල් දැනුම සොයා ගෙන යනවා මිසක් නැවත සිංහලයට යොමු වෙන්නේ නැහැ.

  • අද දවසේ තාක්ෂණය අතින් හිනිපෙත්තේම සිටින රටවල පවා බොහෝ ගුණාත්මක පොත පත බිහිවෙනවා. පුවත්පත්වල විචාර ලිපි පළවෙනවා. මෙවැනි දියුණු රටවල් පවා සාහිත්‍යමය කරුණු සම්බන්ධයෙන් මේ තරම් සංවේදී වෙද්දී අපේ රට ඊට වෙනස් මගක ගමන් කරන්නේ ඇයි ?

ඒකට මම දකින හේතුවක් තමයි මේ රටවල තාක්ෂණය මේ තරම් දියුණු වුණ නිසාම ඒ අයට හැගීමෙන්ම දැනෙනවා තාක්ෂණය පමණක් ජීවිතයට ප්රමාණවත් නැහැ කියලා. මේ දියුණුව මේ තරම්ම ඇති වුණේ මෑතකදී. 1970 ගණන්වල මම කැනඩාවට එන කාලේවත් සාහිත්‍යමය කරුණු ගැන මේ තරම්ම හැගීමක් තිබුණාය කියලා කියන්න බැහැ. ඒත් පහුගිය අවුරුදු පනහක කාලය තුළ දී මේ රටවල කලාව කියන අංශයේ පුදුමාකාර දියුණුවක් ඇති වුණා. ඉතාම හොද පොත පත බිහිවෙද්දී ඊට සමගාමීව දියුණු ගුණාත්මක විචාර කලාවකුත් බිහිවුණා. මේ නිසා හොද පොතක් රස විදිය යුත්තේ කොහොමද කියන එක ගැන උගැන්මක් සාමාන්‍ය ජනතාවට ඇති වුණා. මිනිස්සු රස වින්දනයට හුරුවුණා. මේ නිසාම පොත පත පමණක් නෙමෙයි සිනමා කලාව පවා මේ රටවල දැන් හුගාක් දියුණුයි. එත් අපේ රට කියන්නේ ඉතාම දියුණු කලාවක් තිබුණු රටක්නේ. තාක්ෂණය තමයි අලුතින් ලැබුණු දෙය. ඉතින් මේ නිසා තිබුණු දේවල් ගැන සැලකිල්ල නැති වෙලා අලුතින් ලැබුණු දෙය තමයි අද උතුම් හැටියට සලකලා තියෙන්නේ.

  • ඒකියන්නේ ලෝකයේ දියුණු යැයි සම්මත රටවල් ගුණාත්මක කලාවක් සොයා ගෙන ඉදිරියට පියවර මනිද්දී අපි ඊට මුලුමනින්ම විරුද්ධ වූ මාර්ගයක ගමන් කරන බව ද ?

ඔව් … අපේ අය හිතන්නේ ආර්ථික දියුණුව ලබා ගන්නට ඕනේ තාක්ෂණික දියුණුවෙන් පමණක්ම කියලයි. අලුතින් ආව තාක්ෂණය හිස් මුදුනින්ම පිළිගත්ත නිසා අතීත කලාව නැති වී ගියා. අනෙක් අතට අපේ සාහිත්‍යය හා කලාව කඩා වැටෙන්නට තවත් මූලිකම හේතුවක් තමයි විශාල වශයෙන් බිහිවුණු කිසිම වැඩකට නැති බාල මට්ටමේ පොත පත , සිනමාපට , ටෙලි නාට්‍ය ඉතා උසස් මට්ටමේ ඒවා විදියට පුම්බන්න පටන් ගත්ත එක. විචාරයේ දුර්වලකම් නිසා නිසරු
කෘතීන් උසස් නිර්මාණ බවට පත්වෙලා ඒ නිසරු දේ බිහිකළ මිනිස්සු  දැවැන්ත නිර්මාණකරුවන් බවට පත්වුණා. අන්තිමේදී ඒ අය වීරත්වයෙන් පිදුම්ලබන්නන් බවට පත් කෙරුණා. මේකෙන් වුණේ මේ නිසරු දේවල් පිළිගත් ප්රමිතියක් විදියට හිතන්න මිනිසුන් පෙළඹුණු එකයි. ඇත්තටම කියනවා නම් අද අපි බොහොම අගය කරලා පිළිගන්න කලා කෘතීන් බොහොමයක් ඒ මට්ටමේ නිසරු ඒවයි. මේකට ප්රධානතම හේතුව විචාරය නොමග යාමයි.

  • බටහිර රටවල බිහිවන බොහෝ කලාකෘතීන් හා සිනමාපටවලින් මානුෂීය සම්බන්ධතාවන් සහ මිනිසුන්ගේ චෛතසික කරුණු බොහොම සියුම්ව හා ගැඹුරින් සාකච්ඡාවට ලක්කෙරෙනවා. වාරණයේ පවතින ලිහිල් බවත් මීට එක් හේතුවක් බව පෙනෙනවා. වාරණය හමුවේ තමන් සිරවී ඇති බවට ඇතැම් ලාංකීය කලාකරුවන් චෝදනා කරනවා. නූතන සමාජ ගමන්මග ඔස්සේ වාරණය තව දුරටත් වලංගු සාධකයක් ද ?

ලංකාවේ තියෙන වාරණය නම් කිසිම තේරුමක් නැති දෙයක් . සිනමා නිර්මාණයක් පෙන්නුවත් සමහර තැන්වල කොටු දානවා. ඒත් හැමෝම දන්නවා ඔය කොටු දාන්නේ එක්කෝ කවුරු හරි සිගරැට් එකක් බොනවා… එහෙමත් නැතිනම් ගැහැණියෙක් මිනිසෙක් සිප ගන්නවා වගේ දර්ශනයක් හින්දා කියලා. ඉතින් ඔය කොටු දාන එකේ තේරුම මොකක්ද … ලංකාවේ වාරණය ක්රියාත්මක වෙන්නේ කලාව විනාශ කෙරෙන විදියට. දැන් මේ රටවලත් වාරණයක් තියෙනවා. සමහර සිනමාපට අවුරුදු දහ හතරෙන් පහළ ලමයින්ට බලන්න බැහැ. ඒත් ලංකාවේ තියෙන්නේ එහෙම වාරණයක් නෙමෙයි. හැමෝටම වහලා දානවා. අවුරුදු දහ හතර ද  ? 20 ද ? 50 ද ? 60 ද ? කියලා නෙමෙයි … හැමෝටම බලන්න බැරි වෙන්න වහලා දානවා. අනිත් එක ගැහැනු පිරිමි අතින් අල්ලගෙන පාරේ යනවා නම් ඒකත් පෙන්නන්න තහනම්. ගැහැනු ලමයෙක් කෙටි ගවුමක් ඇදලා තියෙනවා නම් ඒකත් තහනම්. මේක මම හිතන්නේ 19 වැනි ශත වර්ෂයේ නෙමෙයි ඊටත් ඈත යුගයේ තිබුණු වාරණයක් තමයි අද ලංකාවේ තියෙන්නේ. කලා කෘතියකට අවම මට්ටමේවත් නිදහසක් අවශ්‍යයි. සිනමා පටයක සිගරැට්ටුවක් බිවුවා කියලා මිනිස්සු සිගරැට් බොන්න පුරුදු වෙනවද ?නොබොන මිනිහා කොහොමත් බොන්නේ නැහැ. මේ වාරණය කලාවේ දියුණුවට විශාල බාධාවක්.

(අවසන් කොටස ලගදීම…)

භාෂාවට ගලා යන්න ඉඩ දෙන්න – මහාචාර්ය සිරි ගුනසිංහ

භාෂා ගණනාවක හසළ පඩිවරයකු වූ මහාචාර්ය සිරි ගුනසිංහ පුරෝගාමී සිංහල කවියෙකු , නවකතාකරුවෙකු , සාහිත්‍ය විචාරකයෙකු , සිනමාවේදියෙකු   මෙන්ම කලා ඉතිහාසඥයකු ලෙස ද විවිධ මං සලකුණු තැබූ මහාචාර්යවරයෙකි. 1956 දී නූතන නිසදැස් කවි සම්පදාය සිංහල සාහිත්‍යයට හදුන්වා දුන් ඔහු විසින් සිංහල භාෂාවේ වෙනස්වීම් අරබයා මතු කරන ලද අදහස් බොහෝ වාද විවාදයන්ට පාදක වෙමින් අද දක්වාම කතා බහට ලක්වෙමින් තිබේ. ලොව කීර්තිමත් සරසවියක් වන කැනඩාවේ වික්ටෝරියා සරසවියේ  මහාචාර්යවරයකු ලෙසින් වසර හතලියක කාලයක් පුරා සේවය කළ ඔහු පේරාදෙනිය සරසවියේ ද හිටපු ආචර්යවරයෙකි. පැසිපික් සාගරයෙන් වට වූ වැන්කුවර් දූපතේ වික්ටෝරියා නම් සුන්දර පරිසරයේ නිසංසල දිවියක් ගත කරන 85 හැවිරිදි මේ වියත්පඩිවරයා සොයා ගොස් කළ පිළිසදරකි මේ.

මෙම පිළිසදර සති අන්ත ඉරිදා සිංහල පුවත්පතක පළ වුව ද ඉඩකඩ ගැටලුව නිසා එහි බොහෝ කොටස් ඉවත් වී තිබිණ. ඔහු මතු කළ අදහස්වල විශේෂ වැදගත්කම සලකා ඔහු සමග කළ පිළිසදර කොටස් තුනක් ලෙසින් සිලිලාර බ්ලොග් අඩවියේ පළ කිරීමට මම තීරණය කළා. මේ පළ වෙන්නේ එහි පළමු වැන්නයි.

  • විවිධාකාර භූමිකාවන්ට පණ පොවමින් මව්බිමේ කැපී පෙනෙන මං සලකුණු තැබූ ඔබ අද මව්බිමෙන් බොහෝ දුර බැහැර කැනඩාවේ නිහඩ දිවියක් ගත කරනවා. වැන්කුවර් දූපතේ අද මේ ගත කරන නිසංසල දිවියේ සිට
    ක්‍රියාශීලීව ගෙවුණු අතීත ජීවිත මං සලකුණු දෙස ආපසු හැරී බලද්දී ඔබ සැබවින්ම තෘප්තිමත් ද  ?

සැප පහසුකම් අතින් ඉහළම රටක මං ඉන්න බව ඇත්ත. ඒත් ඒක භෞතිකයි. මා තුළ තිබෙන පුරුද්ද නිසා මට ඒක ඒ තරම් වැදගත් නැහැ. ඒ නිසා මානසිකමය වශයෙන් මට ඒ තරම් තෘප්තියක් නැහැ. සිංහලෙන් ලියන්න , කියන්න, සිංහල පොත පත කියවන්න තවමත් මං පුරුදු වෙලා ඉන්නේ ඒ තෘප්තිමත් බව ලබා ගන්නයි. ඒ වගේම අවුරුද්දකට සැරයක් ලංකාවට ගිහින් පැරණි මිතුරන් හමුවෙන්නේත් ඒ හැගීමෙන්ම තමයි. ඒ අතීත සබදකම් හරහා ජීවිතය අලුත් වෙනවා. ඒත් භෙතිකමය වශයෙන්වත් , මානසිකමය වශයෙන්වත් ලංකාවේ තත්ත්වය නම් සතුටුදායක බවක් පේනේනේ නැහැ.

  • සාහිත්‍යය කලාව , විචාරය , සිනමාව , කවිය , සිතුවම් කලාව මෙන්ම සරසවි ආචාර්ය වෘත්තිය යන කරුණු අතරින් ඔබ වඩාත් චමත්කාරයට පත් කළ විෂයක් තියෙනවාද ?

කලාවට ලැදි වූ කෙනෙකුට ඒ අතරින් යමක් ඉස්මතු කර පෙන්වන්නනට බැහැ. ඒකට හේතුව මොන මාධ්‍යකින් වුණත් අවසාන වශයෙන් විදින රසය එකයිනේ. රස විදින විදිය වෙනස් වුණත් සතුට එකයි. සිතුවමක් ඇන්දොත් එය කරන්නේ ඒ මොහොතේ සිතට සතුට ලැබෙන හොදම දෙය ඒ නිසයි.

  • ඔබේ අවසන් සහ එකම සිනමා නිර්මාණය සත් සමුදුර රාජ්‍ය සම්මානයෙන් පවා පිදුම් ලැබුවා. ඒත් එයින් පසුව අපි ඔබගේ සිනමා නිර්මාණයක් දැක්කේ නැහැ. ඒකට හේතුව රටින් පිටවී යාමට සිදුවීම ද ?

ඔව්… ඒත් සත් සමුදුරෙන් පසු මම සිනමා නිර්මාණයක් කළා. ඩඩ්ලි සේනානායක යුගයේ දී වී ගොවිතැන දිරිමත් කිරීමේ අරමුනින් “රන්වන් කරල් ” නමින් නාට්‍යමය ස්වරූපයෙන් යුත් වාර්තා සිනමාපටයක් කළා.

  • ඔබ විසින් බිහිකරන ලද නූතන සිංහල නිදහස් කවි සම්පදාය බොහෝ වාද විවාදයන්ට ලක් වුණා. නූතන නිදහස් කවි සම්පුදායේ පුරෝගාමියෙකු ලෙසින් අද ඔබ එහි ගමන්මග දකින්නේ කවරාකාරයෙන් ද ?

මට එහි ලොකු අඩුවක් දැනෙනවා. අද පත්තරයක කවි පිටුවක් ගත්තම පැරණි කවි සම්පුදායෙන් ලියැවුණු කවි පංති දෙක තුනක් හැරෙන්නට අනිත් ඔක්කොම නිසදැස් සම්පදායට බරවුණු ඒවායි. නිසදැස කියන මාධ්‍යය හදුනාගෙන එයින් වැඩක් ගන්න පුලුවන් කියලා දැන හදුනාගත්ත විශාල පිරිසක් බිහිවෙලා ඉන්න බව එයින් පෙනෙනවා. ඒත් ගැටලුව තියෙන්නේ ඇයි මේ විදියට ලියන්නේ කියන එක එයින් බොහොම දෙනෙක්ට හරියටම අවබෝධ වෙලා නැති එකයි. පැරණි සම්පුදාය අනුව එළිසමය ඇතිව රචනා කරන කවිය තුළින් ගීතවත් බවක් මතුවන බව අපි දන්නවා. ඒත් නිසදැස් ආකාරයේ කවි ආකෘතියකින් ඇතිවන රසය කුමක් ද කියලා හරියටම දැන හදුනාගෙන කවි ලියන පිරිස ඉන්නේ බොහොම අඩුවෙන් කියලයි මට හිතෙන්නේ. එහෙම අවබෝධයක් නැතිව ලියන කවිය පත්තරයේ තවත් එක් වාර්තාවක් පමණක් බවට පත්වෙනවා. ඒ දුර්වලතා ගැන වැටහීමක් ඒ අයට තියෙනවාද නැද්ද කියන එක ගැන නම් මට හරියට වැටහීමක් නැහැ.

  • ඔබ එයින් අදහස් කළේ නිශ්චිත ආකෘතිමය වෙනසක් අවශය බව ද ? නැතිනම් අන්තර්ගතමය වෙනසක් අවශ්‍ය බව ද ?

මම අදහස් කළේ අන්තර්ගතමය වෙනසක්. අදහස පාඨකයන්ගේ හිතට කාවදින විදියටයි ලියවෙන්න ඕනේ. ඒකට භාෂාව සකස් කර ගන්න ඕනේ. කවියා තමයි භාෂාව සකස් කරන්නේ කියලා කියමනක් තියෙනවා. එයින් අදහස්
කරන්නේ ව්‍යාකරණය රැකගැනීම කියන කරුණ නෙමෙයි. වචනවලට හිත් කාවදින විදියට අර්ථයක් ලබා දෙන්න ඕනේ කියන එකයි. සංකල්ප රූප කියන්නේ අලුතින් වචන හදන එක නෙමෙයි. පවතින වචන තුළින් ම අදහස් මතු කර ගන්නට හැකියාව ඇති කර ගැනීමයි.

  • පැරණි ව්‍යවහාර ව්‍යාකරණමය භාෂාව වෙනුවට නිදහස් කථන ශෛලියක් සිංහල සාහිත්‍යයට හදුන්වා දෙන්නටත් ඔබ පුරෝගාමී වුණා. එහෙත් අද වනවිට කතා කරන භාෂා ‍ශෛලිය ලෙස අර්ථ කථනය කෙරෙමින් විවිධාකාර වූ සිංහල නවකතා සහ විවිධ පොත් පත් බිහිවෙනවා.  මෙය සාධනීය ලක්ෂණයක් ලෙසින් දකින්න පුලුවන් ද ?

සමහර දෙනෙක්ගේ ලියන භාෂාවත් කතා කරන භාෂාවත් අතර ඝට්ටනයක් තියෙනවා. කථන භාෂාවෙන් ලියනවා කියලා හිතාගෙන ලියුවට මගට යද්දී ලියැවෙන්නේ අර පැරණි සාහිත්‍යමය භාෂාවෙන්. පොත් පත් ලියන්න ඕනේ
මිනිස්සු කතා කරන භාෂාවෙන් කියන එක ගැන තාම බොහොම දෙනෙකුට වැටහීමක් නැහැ. ඉංගිරිසි භාෂාවේ කතා කරන සහ ලියන යනුවෙන් භාෂා ශෛලීන් දෙකක් නැහැ. ඉංගිරිසියේ දී මිනිස්සු ව්‍යාකරණානුකූලව කතා කරනවා වගේම ලියනවා. සමහර තැන්වලදී ව්‍යාකරණය යටපත් වී ගියත් එහි තේමාව විදියට ව්‍යාකරණය යටින් තියෙනවා. අපි ව්‍යාකරණය කියලා කියන්නේ අර පැරණි ව්‍යාකරණයට. ඒ කියන්නේ “මම යමි , අපි යමු , ඈ ගියාය , ඇය යන්නීය” වගේ. ඒත් අපි දන්නවා අපේ ඉතිහාසය ගත්තම ශත වර්ෂයෙන් ශත වර්ශයට භාෂාව කොයි තරම් දුරට වෙනස් වෙලා
තියෙනවා ද කියලා. වැඩිය දුර යන්න ඕන නැහැ. නුවර යුගයේ තිබුණු භාෂාව නෙමයි අද තියෙන්නේ. මාතර යුගයෙන් පස්සේ අද භාෂාව සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා. මුල් යුගයේ පත්තරයක් අරගෙන බලන්න. ඒ පත්තර භාෂාව අද පත්තරවල නැහැ. ඒ කියන්නේ භාෂාව සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා. ඒත් මිනිස්සු පිළිගන්නේ නැහැ භාෂාව වෙනස් වෙනවා කියලා. භාෂාවේ ස්වභාවය තමයි වෙනස් වීම කියන්නේ. උදාහරණයක් විදියට දැන් අපි කියනවා ” එයා ඇමතිතුමා වෙනුවෙන් කඩේ යනවා ” කියලා. ඔය “ කඩේ යනවා ” කියන එක භාෂාවේ වෙනස්වීමක් නේ. ඒක හරිම
ප්රාණවත් රූපකයක්. ඒ ප්රාණවත් රූපකය ඇති වෙන්නේ නැහැ භාෂාවේ නිදහස නැති කළා නම්. භාෂාව වෙනස් වෙලා තියෙනවා , භාෂාව වෙනස් වෙමින් තියෙනවා , භාෂාව වෙනස් විය යුතුය කියන එක පිළිගන්න බැරි එක තමයි මෙතැන තියෙන මූලිකම දේ.

  • භාෂාව වෙනස් විය යුතුය යන්න පිළි ගැනීමට සමාජය මැලි වෙන්නේ ඇයි ?

ඒකට හේතුව භාෂාවේ වෙනස් වීම් පිළිබදව පාසල්වලින් උගන්වන්නේ නැති එක. කවදාවත් මගේ පොතක් පාසල්වල නිර්දිෂ්ට පොතක් බවට පත්වෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි මේ භාෂාවෙන් ලිවුවොත් භාෂාව කෙළෙසෙනවා , මේ භාෂාවෙන් ලියැවෙන පොත් ළමයින්ට කියවන්න දෙන්න හොද නැහැ කියන අදහස නිසයි. න-ණ-ල-ළ තියෙන්න ඕනේ. අර දේ මේ දේ තියෙන්න ඹ්නේ කියලා හිතනවා. ඒක ගැන මගේ මගේ කිසිම ගැටලුවක් නැහැ. මොකද ඒක ඒ අයගේ විශ්වාසය. මොකද ඒකත් හරියට ආගම විශ්වාස කරනවා වගේ වැඩක් නේ. ඒකට අගරු කරන්න බැහැ. ඒත් භාෂාවේ මේ යන ගමන ඒ නිසා වළකිනවා. දැන් ටයිප්රයිටයක් අරගනෙ බැලුවොත් සිංහල උ ශබ්දය ගන්න එක එක අකුරුවලට ටයිප්රයිටරයේ යතුරු තුනක් තියෙනවා. ඒකේ දීර්ගයත් එක්ක ගත්තම අකුරු හයක්. ඔය හය වෙනුවට අකුරු දෙකක් යොදා ගන්න පුලුවන්. එහෙම වුණොත් ඔය විදියට අනවශ්‍ය අකුරු කීයක් අයින් කරන්න පුලුවන්ද ? ඒක කොයි තරම් පහසුවක්ද ?

  • එතකොට මහප්රාණ අකුරු ගැන ඔබේ අර්ථ දැක්වීම කොහොම ?

ඇත්තටම අපේ සිංහල භාෂාවේ මහප්රාණ අකුරු නැහැ. ඒවා යොදා ගන්නේ පාලි සහ සංස්කෘත වචනවල අදහස් කියාපාන්න විතරයි. අපි කතා කරන සිංහලයේ මහප්රාන වචන නැහැ. ඒත් අපි පුරුද්දක් විදියට මහප්රාණ වචන දාලා කතා කරනවා. පුරුද්ද ඉතින් වෙනස් කරන්න බැහැනේ. මහප්රාණ දාලා ලියන්න ගිහින් දැන් ඕන තැනටයි එපා තැනටයි හැම තැනටම මහප්රාණ දාලා ලියනවා. වැරදි ව්‍යවහාරය පුරුද්දට ගියාම ඒක නිවැරදි දේ බවට පත්වෙනවා.

  • ඒත් මෙතැනදී මෙහෙම ගැලුවක් තියෙනවා නේද …. භාෂාව සම්බන්ධයෙන් තමන්ගේ තියෙන අඩු දැනුම වහගන්න බොහොම දෙනෙක් ට භාෂාවේ ව්‍යාකරණය අමතක කරන්න පුලුවන් නේද ? ඒ නිසා මේ වෙනස්වීමට ප්රමිතියක් තිබිය යුතු නැද්ද ?

ප්රමිතියක් තියෙන්න ඕනේ. හිතුමතයේ භාෂාවක් වෙනස් කරන්න බැහැ. භාෂාව වෙනස් විය යුත්තේ එය ගලා යන ආකාරයටමයි. මම කිසි දෙයක් හිතුමතයේ වෙනස් කරන්න ගිහින් නැහැ. මම භාෂාව යන විදියටමයි වෙනස්වීමට ඉඩ දුන්නේ. න-ණ-ළ-ල අත් හැරියේත් ඒ නිසයි. අපි කවුරුත් මූර්ධජ අකුරු වෙනස් විදියට ශබ්ද කරන්නේ නැහැ. දණ්ඩ කියන වචනයේ දී වුණත් මූර්ධජ ණ යන්න දැඩිව ශබ්ද කරලා කතා කරන්නේ නැහැනේ. දෙමළ භාෂාවේ නම් ඒ විදියේ ශබ්දයේ වෙනසක් තියෙනවා. ඒ අයගේ න අකුරු කිහිපයක් තියෙනවා. ඒ අය ඒ අකුරැ වෙනස් වෙනස් ශබ්දවලින් තමයි කියනනේ. වචනයේ ශබ්දය අනුව ඒ මොන නයන්න ද කියලා තේරුම් ගන්නවා. අපේ භාෂාවේ එහෙම දෙයක් නැහැ. ගොනා කියලා ශබ්ද කරන්න මොන නයන්න ලිවුවත් එකයි. අනිත් එක ඒක තේරුම් ගන්න බැරි කමකුත් නැහැ. හුගක් දෙනෙක් කියනවා මූර්ධජ නැතිව ලිවුවම ඒ මොන න යන්න ද කියලා තේරුම් ගන්න බැහැ කියලා. ඒක බොරු කතාවක්. මොකද වචනක් තනිව භාවිතා වෙන්නේ නැහැ. ” ගොනා තන කයි ” කියලා කිවුවම ගොනා කන්නේ මොනවද කියලා ඹ්නම කෙනෙකුට තේරෙනවා.  ඒ නිසා කිසිම කෙනෙකුට අත්තනෝමතිකව භාෂාව වෙනස් කරන්න බැහැ.

  • මෙතැනදී මේ ප්රමිතිය තීරණය වන්නේ කොහොම ද ?

ලේඛන සම්පුදාය අනුවගත්තම කතා කරන භාෂාවෙන් ලිවීම වැරදියි. එතැනදී තමයි අත්තනෝමතික කියන වචනය පැන නගින්නේ. ඒ අදහසින් නැතිව භාෂාව එහි ව්‍යවහාරමය වශයෙන්ම ලියනවා කියලා හිතලා ලියනවා නම් ඒක තමයි ප්රමිතිය. මම යමි කියලා අපි කතා කරන්නේ නැහැනේ. ප්රංශ , ජර්මන් , ඉංගිරිසි , පාලි , සංස්කෘත වගේ මම දන්නා භාෂා අතරින් සිංහල භාෂාව තරම් ව්‍යවහාරය තුළින් සරල වෙච්ච තවත් භාෂාවක් නැහැ. මම නොදන්නා භාෂාවල තියෙනවාද දන්නේ නැහැ.

  • ඒකට හේතුව මොකක්ද ?

පාලි සංස්කෘත වගේ භාෂාවන් ව්‍යවහාරයෙන් ගිලිහී යාම නිසාම නතර වුණා. ප්රංශ වගේ භාෂාවක ව්‍යාකරණය හරි දැඩියි. ඉංගිරිසි භාෂාවේ කතා කරන භාෂාවෙන්ම තමයි පොත් පත් ලියැවෙන්නේ. ඒකට හේතුව ව්‍යාකරණය එකක් වීමයි. ඒත් සිංහල භාෂාවේ කතා කරන විදිහයි ලියන විදිහයි දෙකක් වීම තමයි ඔය තරම්ම සරල බවට පත්වෙන්නට හේතුව. ඇත්තටම නම් වෙන්න ඕනේ ඒකේ අනිත් පැත්තයි. ලියන්න ඕනේ කතා කරන භාෂාවෙන්. ප්රාණය රැදිලා තියෙන්නේ ව්‍යවහාර භාෂාව තුළයි. මිනිස්සු කතා කරන භාෂාවෙනුයි පොත් පත් ලියැවෙන්න ඕනේ. යන භාෂාවට ඒ විදියටම යන්න දෙනවා නම් තමයි අර්ථ ප්රකාශ කරන්න ශක්තිය ලැබෙන්නේ.

(ඉතිරි කොටස පසුවට…)